නාඩි සෙට් එක

Monday, April 27, 2015

ඉන්ටවිව්

“ඔයාගේ නම්බර් එක ෆෝර්ට් සෙවන්. ඉස්සරහට වෙලා ඉඳගෙන ඉන්න. නම්බර්ස් පිළිවෙළට තමයි ඇතුලට ගන්නේ”

ටයි පොල්ල ටිකක් තද කරගෙන ඇතුළට AC එකෙන් සීත කරපු කාමරේ ඇතුලට එබුන ගමන් ඉස්සරහ ඩෙස්ක් එක ළඟ වාඩි වෙලා හිටිය සිරියාවන්ත ගෑනු ළමයා බාගයක් ඉංගිරිසියෙන් කෙටුවා. එහෙම්මම අනිත් පැත්ත හැරුණු මම බිත්තිය දිගට තියලා තිබිච්ච ප්ලාස්ටික් පුටු පේළියේ ඉතුරු වෙලා තිබ්බ පුටුවකට බර දුන්නා. 

පුටු පේළිය පිරෙන්න ළමයි ඇවිත්. ඔක්කොම මේ ජොබ් එකටමද දන්නේ නෑ...

හොඳටෝම දාඩිය දාල. බයට නෙවෙයි. පැයක් විතර සාඩින් වගේ පැක් කරපු 154 බස් එකේ හිරවෙලා ඇවිත් බැහැපුවහම දාඩිය විතරක් දාල බේරුනොත් ඇති. ලේන්සුව සාක්කුවෙන් ඇඳලා ගන්න ගමන් මං ඉස්සරහ දිලිසෙන වීදුරුවෙන් ලාවට පේන මං දිහාම බැලුවා. 

ටොපියාගෙන් ඉල්ල ගත්තු කලිසම නම් ගානට හරි! බැච් එකේ හැමෝගෙම ඉනේ ගානට හිල් හදලා තියෙන ලෑටියාගේ බෙල්ට් එක මං අරං ඇවිත් සතියකටත් වැඩියි. ඇයි ඉතිං හැමදාම මේ වගේ බඩ ගැන එකනේ වැඩේ. සපත්තු දෙක ගලෝගන්න තිබ්බනං මරු. හරි අමාරුවෙන් සොක්කා ට බටර් පාර ගාල සපත්තු කුට්ටම ඉල්ල ගත්තේ. හැබැයි ඇඟිලි හරියෙන් ටිකක් හිරයි වගේ... ලේස් එක පොඩ්ඩක් බුරුල් කරලා තියා ගත්තහම හරි. 

එහා පැත්තේ ඉන්න එකානම් ෆුල් රෙඩි පිට වගේ ඇවිත් තියෙන්නේ. ඌ ළඟින් එන්නේ මහ සැර සෙන්ට් පුසුඹක්. අපිට කොයින්ද ඉතිං ප්‍රෝ ස්පෝර්ට්. ඔඩිකොලෝන් පිහිට තමා. 

නිකමට වගේ මං කොනේ ඉඳන් ඉගෙන ඉන්න කට්ටිය දිහා බැලුවා. ගොඩක් උන් ඉන්නේ බයෙන් වගේ. සමහරු තනියම හිමින් මොනවාද කියවනවා. සමහර කෙල්ලෝ ෆෝන් එක දිග ඇරගෙන ඒ දිහා බලාගෙන ඉන්නවා. ෆයිල් එක හදනවා. වැඩ ගොඩයි.

මට පුටු හතරක් එහායින් ඉන්න ගෑනු ලමයානම්.. අප්පේ... ඒකිගේ මූණේ තියෙන මේකප් තට්ටුව! ෆයිල් එක අතේ තිබුනේ නැත්නම් ඇදගෙන හිටිය කොට්ට උරේ දිගේ හැටියට අවීචි මහා නරකාදියම බලාගන්න තිබ්බා. මට හීන් හිනාවක් ගියා. 

ෆයිල් එක ඇතුලට නැමිලා මොනවාද කියෝන කන්නාඩි දාපු පිරිමි ළමයාට එහා පැත්තේ ඉන්න කෙල්ල නම් කොහේදී හරි දැකලා තියනවා වගේ. පිකට් එකකදී වෙන්න ඇති. නැත්නම් කොහේ හරි පෙරලා ගත්තු බකට් එකක සම්මාදම් කාරියක්ද දන්නෙත් නෑ. මොනා උනත් සිරියාවන්ත ළමයා. හිනා වෙනකොට හරි ලස්සනට කම්මුලේ වලක් හැදෙනවා.

මට එහා පැත්තේ පුටුවේ ඉන්න කොල්ලා ආපු වෙලේ ඉඳන් තනියම මොනවාද කියනවා. ඉස්සරහ තියන ජනේලයෙන් එළිය බලනවා. බෑග් එකේ තියෙන වතුර බෝතලයක් ඇදලා අරගෙන ගුඩු ගුඩු ගාලා වතුර බොනවා. මිනිහා ඉන්නේ බයෙන් වගේ. පලවෙනි ඉන්ටවිව් එක වෙන්නැති. අපි වගේ ඉන්ටවිව්මැ දහයකට පහළවකට ගිහිං තෙම්පරාදු උනාම ඔය බය ඉබේම නැති වෙලා යයි. මං ඒ කොල්ලා දිහා බලලා හිනා උනා. ඌ බයෙන් වගේ බිම බලා ගත්තා. පව්...

“හෙලෝ.. How are you? Which university you from?”

මට එහා පැත්තේ ඉන්න එකා කඩ්ඩෙන් වැනුවේ නැතැයි! යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නයි! ඔන්න ඔහේ මමත් ඇදලා දානවා.

විස්තර ටික කියලා කරලා බලපුවහම ඌ කොහෙද මන්දා උපාධි දෙන ආයතනයකින් උපාධි ගත්තු එකෙක්. ඌ මගෙන් අහනවා රජයේ කැම්පස් වල උන් හැමදාම මේ පාරවල් ගානේ උද්ඝෝෂණ කරන්නේ ඇයි කියලා...

“උන් ඒ විදිහටවත් කෑ ගැහුවේ නැත්නම් උඹේ පොඩි එකාට ඉස්කෝලෙට ෆීස් ගෙවලා ඉගෙන ගන්න වෙයි බං”

ඒ ටික විතරක් කියල මං අනිත් පැත්ත හැරුනා. 

මං අතේ තිබිච්චි ෆයිල් එක දිග ඇරියා. රිසල්ට් ෂීට් එක.

ඉස්සර ක්ලාස් යද්දී, ඉස්කෝලෙදි ගුරුවරු කිව්වේ “කැම්පස් පලයන්. එතකොට අමාරු විභාග ඔක්කොම ඉවරයි” කියලා. එහෙම කියපු කට්ටිය හොයලා ග්‍රීක් භාෂාවෙන් අන්ඩර දෙමළ කියලා දෙනවා වගේ තියෙන ලෙක්චර් එකක වාඩි කරලා තියන්න හිතෙනවා. ඇසයින්මන්ට්, මිඩ් එක්සැම්, වයිවා, ප්‍රොජෙක්ට් මෙකි නොකී හැම විකාරයක්ම කරලා හරි අමාරුවෙන් ගොඩ දාගන්නේ. එක්සැම් එක කට උඩ තියලා අපේම එකෙක් කරන කුප්පිය නැත්නම් අපි තාමත් කැම්පස් එකේ! 

ෆ්රෙෂර්ස් මීට්, කලා දින, පිකටින් අස්සේ අවාරෙට පොල් වැටෙනවා වගේ එහෙමත් දවසක ලෙක්චර්ස් ගියත් එදාටත් කළේ නිදා ගත්තු එක. නැත්නම් මනෝ පාරක් ගහගෙන ඔහේ බකං නිලාගෙන හිටිය එක. නැත්නම් කියන එකක් තේරෙනවා කියලයි!

“අද” පත්තරේ වැඩිම දවස් ගානක් විකුනපු එකට සහතිකයක් හම්බවෙනවා නම් මේ ෆයිල් එකටම දාගන්න තිබ්බා. එහෙම හරි කරලා නංගිට පන්ති සල්ලි ටික යවපු එක ලොකු දෙයක්. ඒකි යාන්තම් මේ අවුරුද්දේ විබාගේ ගොඩ දාගත්තොත් ඒ ඇති.   

ඒ අස්සේ ඇන්ටි කෙනෙක් ඇවිත් පෝලිමේ ඉඳන් ඉන්න උන්ට තේ අල්ලනවා. 

“තැන්ක්යූ...”

තේ කෝප්පේ ගත්තු ගමන් මතක් උනේ සීනි රහ නැති කැන්ටිමේ පහේ තේ එකයි, කවදාවත් හපලා ඉවර කරන්න බැරි වඩයයි. විසි පහේ බත් එකෙන් අවුරුදු හතරක් බඩ පුරෝගෙන කැන්ටිමේ කෑම නැති දවසට හන්දියට බඩ ගාල සීයේ බත් එක කද්දී බත් හිර උනේ ඒ වේල් හතරක සල්ලි හින්දා.

තේ කෝප්පේ බොන ගමන් මං ආයේ ඉඳන් හිටිය උන් දිහා බැලුවා. ඔන්න එක්කෙනක් ඇතුලේ ඉඳන් එලියට ආවා. උගේ මුණ නිකම් දෙඹරු ඇනපු ගානයි! ආයේ දෙකක් නෑ ඉන්ටවිව් බෝඩ් එක හොඳටම අන්නන්න ඇති. මොනවා කරන්නද! හරි යනකං ඉතිං මුන්ගේ රැස්පට් බලන්න ඕනෙනේ. 

“තර්ටි ෆයිෆ්....”

අර ඉඳගෙන හිටිය සිරියාවන්ත ගෑනු ළමයා නම්බර් කියවනවා. ෆයිල් එකත් උස්සගෙන තව එකෙක් ඉබේ වැහෙන විදුරු දොරෙන් ඇතුලට ගියා. 

“ඔයාට මේ ජොබ් එක හම්බුනොත් අපි අද හවස මැක්ඩොනල්ඩ් එකට යමු”
“ඒ මොකටද?”
celebrate කරන්න නේ අනේ..”

අද උදේ “එයා” කෝල් කරද්දී කිව්වේ ඒ ටික. මැක්ඩොනල්ඩ් යන්න තියා හවස බෝඩිමට යන්න බස් එකට දෙන්නත් වෙන්නේ පර්ස් එකේ අඩිය හූරලා... ආදරේ කියන්නේ සල්ලි.. සල්ලි කියන්නේ ආදරේ වෙන්න වැඩි දවසක් යන්නේ නැති වෙයි. 

ඉස්සර පච බංකුවේ ඉඳන් අපි දෙන්නා මවපු හීන... ලොකු හෝටලේක වෙඩින් එකක්... සිංගප්පුරු හනිමුන්... අපිටම කියලා පුංචි කාර් එකක්... හීන.....

විදුරු දොරෙන් එළියට එන සමහර එවුන් එන්නේ සතුටින් ඉපිලී ඉපිලී. මහා ලොකු බරක් ඉටවිව් ටේබල් එක උඩින් තියලා එනවා වගේ. සමහරු එන්නේ නිකම් දාහට අරං සීයට දීපු ගානට. 

“තව ටිකක් තෙම්පරාදු වෙලා වරෙන්” 

AC එකේ වැඩි වෙලාවක් හිටිය හින්දද මන්දා ඔළුව ටිකක් රිදෙනවා. මොනවා කරන්නද.. ඉවසන් ඉන්නත් එපැයි. ඔරලෝසුවේ කට්ට වේගෙන් කැරකෙනවා. ඒ කියන්නේ අපි වයසට යනවා. 


“නම්බර් ෆෝර්ට් සෙවන්....”  


පින්තූරය - www.collegemagazine.com

56 comments:

  1. ඇප්ලිකේෂන් දාපු බහුතරයකට ඉන්ටර්වීව් කෝල් කිරීමයි, ඒ හැමෝටම එකම වෙලාවට එන්න කීමයි තමයි ලොකුම ජෝක් එක!

    ReplyDelete
    Replies
    1. එකගයි..
      අනිත් එක අයියන්ඩි බ්‍රා හදන කම්පැනියක ඉන්ටවිව් එකට එන්න කියලා බෝඩ් එකේ වුන් රෝකට් හදන හැටි අහනවා

      Delete
    2. දැන්නම් ගොඩක් තැන්වල එකම වෙලාවට එන්න කියන්නේ නැතුව විනාඩි පහළොවේ ගැප් තියල එන්න කියනවා...

      Delete
    3. සමහර වෙලාවට ඉටවිව් එන උන්ගේ ඉවසීම චෙක් කරන්න එහෙම කරනවද කියලත් හිතෙනවා.

      Delete
  2. නාඩියා! උඹ නම් මාරයි මල්ලි.

    //විසි පහේ බත් එකෙන් අවුරුදු හතරක් බඩ පුරෝගෙන කැන්ටිමේ කෑම නැති දවසට හන්දියට බඩ ගාල සීයේ බත් එක කද්දී බත් හිර උනේ ඒ වෙල් හතරක සල්ලි හින්දා.//
    මෙන්න මේක කියවෙනකොට මගෙත් උගුර හිරවෙනවා වගේ දැනුනා.

    සුපිරියි කියනවා ඇර වෙන මොනව කියන්නද!

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් රහට ලියවෙනවා අක්කේ

      Delete
  3. මම උඔලාගේ කැම්පස් අත්දැකිම් ආසාවෙන් කියවනවා.
    එල ද බ්‍රා වගේ ලියලා
    ඡොබ් එක සෙට් වෙන්නෙ නෑ වගේ තේරෙනවානම් ලොකු ටෝක් දෙන බෝඩ් එකේ වුන්ට දෙකක් කතා කරලා එන්නෙ.

    ReplyDelete
    Replies
    1. මමත් ඉන්ටවිව් බෝඩ් වල එවුන්ට දෙක තුනක් කියපු වෙලාවල් නම් එමටයි!

      Delete
  4. //Which university you from?//

    ඉන්ග්ලිෂ් නොදන්නා බව ප්‍රශ්නෙන්ම තේරෙනවා මචෝ

    ReplyDelete
    Replies
    1. අපෝ උබලා..... උ මේ ලියලා තියෙන්නේ ප්‍රශ්නේ අහපු එකා අහපු විදියටනේ බන්

      Delete
    2. හරියට ඇහුවනම් "Which university you are from?" නැත්නම් "From Which university you are?" කියලා helping verb එකක් ඇතිව ලියන්න ඕනේ නේද? මොකෝ Verb එකක් නැති වාක්‍යයක් තියෙන්න බෑනේ. ;)

      කඩ්ඩ...

      Delete
  5. කතාව මල් මසුරං, කැම්පස් එකකින් අවුට් වෙලා ජීවිතේ පටන් ගන්න එකෙක් ඔය කට්ට නොකා හිටියනම් උගේ ජීවිතෙන් බාගයක් නෑ වගේ, ඉන්ටවිව් එකට ගිහින් එලියට ඇවිත් බෙල්ට් එකයි , ටයි එකයි ගලවලා අනික් එකාට දෙන එවුන් මේ කට්ට කාලා තියෙනවා බං

    ReplyDelete
  6. ///වීසි පහේ බත් එකෙන් අවුරුදු හතරක් බඩ පුරෝගෙන කැන්ටිමේ කෑම නැති දවසට හන්දියට බඩ ගාල සීයේ බත් එක කද්දී බත් හිර උනේ ඒ වෙල් හතරක සල්ලි හින්දා.///

    අපි කැම්පස් යන කාලේ බත් එක රුපියල් එකොළහයි. අඩුවක් රුපියල් තුනයි... එළියේ බත් එකක් 30 යි 35 යි.

    මම මුලින්ම රස්සාවකට යන්න ඉන්ටර්විව් එකකට ගියේ බොහොම සැහැල්ලුවෙන්, ටි ෂර්ට් එකක්, ඩෙනිමක් ඇඳගෙන. එතැනදී මාව සිලෙක්ට් උනේ නැහැ. (ඒ ආයතනයේ ස්වභාවය අනුව මගේ ඇඳුම ඔවුන්ට ගැටළුවක් උනේ නැහැ. ගැටළුව තිබුනේ මගේ) ඉන්ටර්විව් එකට ගතවූ කාලය - විනාඩි 20 ක් පමණ

    ඊට පස්සේ මම තව ඉන්ටර්විව් තුනකට ගියා.
    පළවෙනි එක මම ට්‍රේනින් හිටපු තැන. එතනින් මාව ජොබ් එකට ගන්න කැමති උනා. පඩි මදි නිසා මම කැමති උනේ නැහැ. - කාලය විනාඩි 10 ක් පමණ
    දෙවෙනි තැනටත් මාව ගන්න කැමති උනා. පඩි මදි. - කාලය පැය දෙක හමාරක් තුනක් පමණ වල්පල් කතා සමග තේ බිබී...
    තුන්වෙනි එකත් එහෙමයි. කාලය පැය දෙකකට වඩා වැඩියි. පැයක ප්‍රායෝගික පරීක්ෂණයක් සමග
    මේ එකක්වත් ඉන්ටර්විව් බෝඩ් වලින් කරපු ඒවා නෙමෙයි... තනි පුද්ගලයින් විසින් කරපු ඒවා...

    හතරවෙනි අවස්ථාව මගේ ගාණට ආවා. එතන නතර වුනා.

    ReplyDelete
    Replies
    1. මම එක දවසක් ඉන්ටවිව් එකට ගියේ රැවුල වවාගෙන. full shave කරලා නෙවෙයි. උන් අහපු එක මොකෝ මේ රැවුල වවාගෙන කියලා! උත්තරේ "My choice" :D

      Delete
  7. මං ගිය පළවෙනි ඉන්ටවිව් එක මතක් උනා. මං ගියෙ කළු ඩෙනිම ගහලා, සුදු ෂර්ට් එක යටකරලා ඇඳගෙන, වවපු කොණ්ඩෙ තෙල් ගාලා පීරලා, මහ මොකෙද්ද වගේ. ඇවිත් හිටපු අනිත් උං නම් මගෙ මූන බැලුවෙත් නෑ. පිළීම වගේ ෂර්ට් එක පොඩි කරගන් නැතුව සීරුවට වාඩි වෙලා හිටියා. ඉන්ටවිව් එකේදි අහපු හැම ප්‍රශ්නෙකටම කඩ්ඩ නම් වනාගත්තා. හැබැයි හම්බුණ ජොබක් නෑ.

    අන්තිම ඉන්ටවිව් එකට මං ගියෙ ටයි එකත් නැතුව. එච්චරට එපා වෙලා තිබ්බෙ. හැබැයි ජොබ හම්බුණා. ජොබ වගේම, මං ජීවිතේටම දැකපු හොඳම නායකත්ව කුසලතා තිබ්බ බොස්ල දෙන්නගෙන් එක්කෙනෙකුත් හම්බුණා.

    ReplyDelete
    Replies
    1. උන් ගොඩක් ඔය appearance බලනවා බං. හැබැයි සමහර තැන් වලින් විතරයි

      Delete
  8. අපූරුයි ඇත්ත කතා මේ වගේ සරළව කිව්වාම. දැනෙනවා වැඩියි..

    ReplyDelete
  9. //අපිට කොයින්ද ඉතිං ප්‍රෝ ස්පෝර්ට්// රුපියල් 6 ට පැකට් තියෙන්නෙ. :D

    //උඹේ පොඩි එකාට ඉස්කෝලෙට ෆීස් ගෙවලා ඉගෙන ගන්න වෙයි// දැන් කියලත් වැඩි වෙනසක් නෑ.

    කතාව නියමයි. ඉන්ටවිව් එකත් දානවද?

    ReplyDelete
    Replies
    1. ඔව්.. පහසුකම් හා සේවා ගාස්තු. ආරක්ෂක ගාස්තු.

      බලමු.. හොඳ අදහසක්. ඉන්ටවිව් එක

      Delete
  10. "ඉස්සර පච බංකුවේ ඉඳන් අපි දෙන්නා මවපු හීන... "
    මචං උඹ UCSC ද? අහන්නත් සන්තෝසයි..

    ReplyDelete
    Replies
    1. මේක තමයි මටත් මුලින්ම හිතුනෙ. මං දන්න විදියට නම් පච බංකු තියෙන්නෙ UCSC විතරයි

      Delete
    2. UCSC නම් නෙවෙයි :D හැබැයි ඒ දේවල් උගන්නන වෙන කැම්පස් එකක්. පච බැංකු, තෙල් බැමි, ගොඩක් කැම්පස් වල තියනවා.

      Delete
    3. තෙල් බැම්බෙ ඉදං හිටිය එකෙක් මමත් කැම්පස් නොගියට..සයිබෙ හරහා තමයි එදා එළියට ආවෙ...

      Delete
    4. හ්ම්ම්.. ගියත් නොගියත් ඒකෙ රහ දාන්න එකා දන්නවා..

      Delete
  11. සුපිරි මචං කැම්පස් ජීවිතෙත් නොදැනීම ගෙවිලා යනවා..

    ReplyDelete
  12. ///උන් ඒ විදිහටවත් කෑ ගැහුවේ නැත්නම් උඹේ පොඩි එකාට ඉස්කෝලෙට ෆීස් ගෙවලා ඉගෙන ගන්න වෙයි බං”//
    අන්න ඉන්දිකත් පෝස්ට් එකක් ලියල තියෙනව ඒකත් බලපංකො

    ReplyDelete
    Replies
    1. දැන් කියව්වේ. හරිම හොඳ පොස්ට් එකක්

      Delete
  13. ///උන් ඒ විදිහටවත් කෑ ගැහුවේ නැත්නම් උඹේ පොඩි එකාට ඉස්කෝලෙට ෆීස් ගෙවලා ඉගෙන ගන්න වෙයි බං”// මේ කතාව ඇරෙන්න අනිත් සියල්ල බොහොම ආසාවෙන් වින්දා... කැම්පස් නොගිය මට ඒ දේවල් තදට වැදුනා...
    ශිෂ්‍ය අරගල වලින් හැමදේම දිනාගන්න පුළුවන් සහ ඒ මගින් ඔක්කොම දේවල් යහමගට ගන්නවා කියන කතාවට මට නම් එකඟ වෙන්න බෑ... ඔය දේවල් දේශපාලනික කාරණා වලින් ශිෂ්‍යයන්ගේ ඔලු කුරුවල් කරවපු දේශපාලුවන්ගේ මතවාද.. ලංකාවෙ අරගල කරලා දිනාගන්න පුළුවන් වෙන්නෙ අත්‍යාවශ්‍ය සේවා වල වැඩ කරන එවුන්ගෙ පඩි වැඩි වීම් විතරයි.

    ReplyDelete
    Replies
    1. දැන් කාලේ ශිෂ්‍ය අරගල සහ ශිෂ්‍ය ව්‍යාපාරය ගැන නම් ඉතිං කතා කරලා වැඩක් නෑ. ඒ ඇතුලේ සිද්ධ වෙන දේවල් එච්චර සුභදායි නෑ. හැබැයි හැම තැනම එහෙම නෙවෙයි.

      ශිෂ්‍ය අරගල වලින් දිනා ගත්තු දේ තියනවා. උතුරු කොළඹ පෞද්ගලික උපාධි පිඨය, මහපොළ වාරිකය, රජරට විශ්වවිද්‍යාලයේ අසාධාරණ පන්ති තහනම, අධ්‍යාපන ධවල පත්‍රිකාව වගේ දේවල් වලදී ශිෂ්‍ය අරගල තමයි ගැටළු වලට විසඳුම සෙවීමට මූලික උනේ.

      Delete
  14. ඇත්තටමට ලස්සනයි කියවන්න ආස හිතුනා...මරු කතාව

    ReplyDelete
    Replies
    1. කතාව වගේම ඇතුලටත් එබිලා බලන්න.

      Delete
  15. "ඌ කොහෙද මන්දා උපාධි දෙන ආයතනයකින් උපාධි ගත්තු එකෙක්. "
    ප්‍රයිවට් උන්ව බලු ගානට දාලා අන්තිමට උඩ බලාගෙන කෙල ගහගෙන... :P
    "අවාරෙට පොල් වැටෙනවා වගේ එහෙමත් දවසක ලෙක්චර්ස් ගියත් එදාටත් කළේ නිදා ගත්තු එක. නැත්නම් මනෝ පාරක් ගහගෙන ඔහේ බකං නිලාගෙන හිටිය එක. නැත්නම් කියන එකක් තේරෙනවා කියලයි"

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන්...

      මිනිහෙක්ට ස්වායක්තව ඕනේ එකක් හිතන්න පුළුවන් නේ...

      Delete
  16. ඇයි දන්නේ නෑ ' Rocket Singh ' කියන ෆිල්ම් එකේ රන්බීර් කපූර්ගේ රූපේ තමා ඔලුවේ ඇඳුනේ මුලින්ම තියෙන නාඩිගේ විස්තර දැක්කාම. :D

    අපූරුවට ලියලා. බීට්ල්ගේ කතා විලාසයත් මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. බලලා නම් නෑ ඒ ෆිල්ම් එක. හොයලා බලන්න ඕනේ

      Delete
  17. මේක කියෙව්වම මම මගේ ඉන්ටර්විව් ජිවිතේ මතක් කොරා මොන පිනකට හරි ලැබීමකට හරි මම ගිය ඉන්ටව් හතක පහෙන් හැම එකකම මාව තෙරුනානේ බොලන්........ සමහර විට ඒ තැන්වල මාත් එක වැඩකරපු එවුන්ගේ පව්කාර කමට වෙන්නත් පුළුවන් එහෙම උනේ

    ReplyDelete
    Replies
    1. අන්න ඒ උන්ගේ පව්කාර සීන් එකනං හින්දා වෙන්න ඇති! :D

      Delete
  18. මොකක් හරි නිර්මාණයක් කළාම, ඒක කුහක ඇසින් බලන අයත් ඉන්නවා. මම මේක කියෙව්වේ උඹේ අත්දකෙමක් විදියට නෙවෙයි. මේ රටේ මිනිහෙක්ට ඉංග්‍රීසි පුළුවන් කියන එක නම්බුවක්ද ?

    අපි හැමෝටම මේ වගේ අත්දැකීමක් තියෙනවා. යම් කෙනෙක් පුද්ගලිකව් දරන මතය මේ වගේ පොදු මාතෘකාවක් සාකඡාවක හරි කරන්න යන එක විහිළුවක්. දක්ෂයන් රජයේ වගේම පුද්ගලික ආයතන වලිනුත් බිහි වෙනවා. මේ වගේ කල්ලි වාද නිසා තමයි මේ රට දියුණු වෙන්නේ නැත්තේ.

    ReplyDelete
    Replies
    1. මේ මගේ අත්දැකීමක් නෙවෙයි! හැබැයි බහුතරකගේ අත්දැකීමක් වෙන්න පුළුවන්...

      ඉංගිරිසි! ඔය ගැන හොඳ කතා දෙක තුනක් තියනවා. හිමිහිට කොටන්න ඕනේ... "Russians went to space with a system made by Russians using 100% Russian language" ඔච්චරයි කතාව...

      අනිවාර්යෙන්ම. ලංකාවේ හැම තැනම තියෙන්නේ කල්ලිවාදේ!

      Delete
  19. අවාසනාවකට මට ඔය අත්දැකීම් දෙකම නෑ.. විසි පහේ බත් කන්න වෙලත් නෑ.. ඉන්ටර්වීව් වලට පෝළිමේ ඉන්න වෙලත් නෑ. නේවි එකේ සිලෙක්ට් කරන්නේ ට්‍රේනින් කරන්නනේ. ඒකට මුලින් තියෙන්නේ ගොඩක්ම ගෲප් ඉන්ටෙර්වීව්.. එහෙම හතරක් පහකින් සිලෙක්ට් වෙලා ෆයිනල් ඉන්ටර්වීව් එක නේවි කමාන්ඩර් එක්ක තියෙනවා කියන්නේ යු ආර් ඕල්මෝස්ට් පික්ඩ්. (එතනදි තඩි බුලක් ගැහුවේ නැත්නම්). දෙයියනේ කියල ඇතුළට ගත්ත දවසේ ඉඳලා හොඳට කන්න දෙනවා තුන්වේලටම අනිත් දස වද ඔක්කෝම දෙන ගමන්..

    නේවි එකෙන් අයින් වෙච්චි ගමන් ගිය රස්සාවට මොකුත් ඉන්ටවීව් නෑ. අන්තිම නේවි දවස් ටිකේ නිවාඩු දාල ගිහින් තමයි මං වැඩ බාර ගත්තේ. දැන් කරන රස්සාවට හා මීට කලින් කරපු තැනට ගියේ 'ඇපොයින්මන්ට්' එකක් අරං කතා කරලා.. ඔය කට්ටේත් පොඩි රසක් තියෙනව කියල උඹේ පෝස්ට් එක කියෙව්වම දුක අස්සෙන්ම හිතෙනවා.

    මං හොඳට දැකපු එක දෙයක් තමයි ප්‍රයිවට් සෙක්ටර් එකේදී.. ඔය වගේ මිඩ්ල් මැනේජ්මන්ට් වේකන්සි වලට ගොඩාක්ම යන්නේ කන්ටෑක්ස් හරහා. ඉන්ටවීව් ගොඩක් නාමිකව විතරයි. මේක උඹේ අත්දැකීමක්නම් බෙටර් ට්‍රයි දැට් වේ ටූ මල්ලි. ඉන්ටර්වීව් එක උනු විදියත් ලියනවනම් මරු.

    ReplyDelete
    Replies
    1. අප්පේ ඔය විදිහට තමයි ගොඩක් තැන් වල වැඩේ වෙන්නේ..

      නෑ බං අයියේ.. මං තාම ඉන්ටවිව් යන්න පටන් ගත්තේ නෑ. යන දවසට බලමු!

      Delete
  20. කියන්න වෙන මොකුත් නෑ...මමත්( අසංක ) කැම්පසුත් ගියා, ඉන්ටවීව් ගියා, ෆේල් වුණා, නෝන්ඩි වුණා උපරිමේටම...ඒ කාලෙ මතක් වෙනකොට සතුටුයි වගේම බයයි බං...මේ ජොබත් නැති වුණොත් ආයෙත් ඉන්ටවීව් පෝලිම් වල ඉන්න වෙයිද කියලා...ලංකාවෙ ගොඩක් ජොබ් ඉන්ටවීව් ලොකු බොරුවක් බං...

    ReplyDelete
    Replies
    1. බොරුවක් වගේම කාලේ කාල දැමීමක්

      Delete
  21. chuty nadiya sittami awith kiyawala yanawa ...... asawen baluwa.... akane halo api campus nogiye....

    thamath mage 4to aka oya ellagena innawa dakkama godak sathutuyi..

    ReplyDelete
    Replies
    1. අප්පේ.. මේ අපේ සිත්තමි අක්කානේ...
      ෆොටෝ එක මොකට අයින් කරන්නද.. මම ඔය ලස්සනට ඉන්නේ ඒකෙ ;)

      Delete
  22. මම ගිහිං තියෙන්නෙ ඇඩ්වර්ටයිසින් ඒජන්සි වල ඉන්ටර්වීව් විතරමයි බං. කල්‍යාණ මිත්‍ර කිව්ව වගේ ඒවා ගොඩක් යන්නේ කන්ටෑක්ට් උඩ. හැබැයි උන් අධ්‍යාපන සුදුසුකම් අහන්නෙ නෑ අපි යන්නෙ ක්‍රියේටිව් සයිඩ් එකට නම්. මාර්කටින් වලට බලනවා ඇති. මම අවුරුදු දෙකක් වැඩ කරා ලංකාවේ නම ගිය ඇඩ් ඒජන්සි එකක. හැබැයි නිකමටවත් අධ්‍යාපන සහතිකයක් ඉල්ලුවෙ නෑ. ඒකෙත් මරු ආතල් එකක් තියෙනව බං

    ReplyDelete
    Replies
    1. ඔව්.. ගොඩක් තැන් වලින් බලන්නේ වැඩ පුලුවන්ද කියලා විතරයි

      Delete
  23. නාඩියා මේක හරි රහයි බං...ලගකදි උඹ කම්මැලි නැතුව ලියපු ලිපිය මේක වෙන්න ඕනෙ. කැම්පස් ගියා කිව්වම හැමදේම දැන් ඉතින් හරි කියලා තමයි අදටත් සමාජයේ ගොඩාක් දෙනා හිතාන ඉන්නෙ. නමුත් ඒ අත්දැකීම විඳින එකා තමයි ඒකෙ තියෙන යථාර්තය දකින්නෙ. වතාවක් ගණිකාවක් හොයාගෙන ගිය මම අදුරන හාදයෙක්ට සරසවි යුවතියක් මුන ගැහිලා තිබුනා. රෝගීව ඉන්න තාත්තටත් බේත් කරන ගමන් ඇය ඒ මාර්ගයෙන් උපයා ගන්නා මුදලින් අධ්‍යාපන කටයුතුත් කරගෙන යනවා. මම කිව්ව එකා ඇගට අතවත් නොතියා රු 2000 දීලා අාවා කිව්වා. මට කථාව කියනකොටත් මිනිහා සෑහෙන්න හැගීම්බර වෙලා උන්න නිසා ඒ කථාව සත්‍යයක් කියලා මම පිළිගත්තා.

    ගොඩාක් තැන්වලදි උගතුන් හැලෙන්නෙ කඩ්ඩෙන්..සමහර පුද්ගලික ආයතන විශ්ව විද්‍යාල වල අය ගන්න අකමැතියි...ඇතුලෙ යුනියන් හදලා යකා නටයි කියන බයට...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කිව්වොත් කාලෙකින් අත දිග ඇරලා කෙටුවා.
      ඔය කැම්පස් උන් ඔක්කොම යුනියන් හදන්න යයි කියන සීන් එකනං බොරු බයක්

      Delete
  24. වාසනාවකට ඔය ඉන්ටවීව් කට්ට නම් කන්න ලැබිලා නැහැ. මොකද ඉන්ටර්වීව් 4යි ගියේ. ඒ හතර පොලේ තමයි වැඩ කලෙත්.

    කැම්පස් බත් එක මතක් වෙද්දිත් ආසයි. ගොඩක් උන් අවුරුදු හතරෙදි ඒක කාලා කෙට්ටු වෙනකොට මම නම් කිලෝ 54 ඉඳන් 74 වෙනකම් බර වැඩිකරගත්තා.

    ReplyDelete
    Replies
    1. ඇත්තට කියන්න කැම්පස් බත් කාල මගෙත් බර වැඩි උනා! :D

      Delete

Related Posts Plugin for WordPress, Blogger...