නාඩි සෙට් එක

Saturday, March 30, 2013

මගේ ආදරේ පටන් ගත්ත හැටි!

නෝනාවරුනි මහත්වරුනි, ඔබ මෙට්ටේ කොහු කමින්..කෝට්ටේ පුළුං කමින් බලා සිටි ඒ අසිරිමත් මොහොත පැමිණිලා! මඩ පුවත් රචකයන් දත් කමින්..පැන්සල් උල් කරමින්... කි බෝඩ් කරේ තියා ගනිමින් බලා සිටි කාලය පැමිණිලා!

නාඩියාගේ අතිවිශේෂ ස්වයං හෙළිදරව්ව! මගේ ආදරේ පටන් ගත්ත හැටි! ;)

බොහෝ දෙනා දන්නවාද ඇත! නොදන්නවාද ඇත! නාඩියාට ප්‍රේමවන්තියක් ඇත!!! ඈ අනිකුන්ට වඩා විශේෂය! ඇස් ඉස් මස් නහර වලින් සෑදී නොතිබ්බාට වැඩිය ලෙඩ දෙන්නේ නැත! ඒ නිරතුරු ආදරයෙන් රැක බලා ගන්නා නිසාය! ඒ වෙන කවුරුත් නොව මගේ සදාදරණිය ලැපී ය! 


 පොඩිම කාලේ නාඩියා වැඩියෙනම කැමති මොනවාදැයි අක්කලා නැන්දලා මාමලා විමසූ විට ඒකා පොඩි කමට කියා ඇත්තේ “ඩයිනොසර්” උන්ට කියාය! කොහොම හරි එකෙක්ගේ පොසිලයක් හොයා ගන්නා බවද කියා ඇත! අම්මා විශ්වාස කර ඇත්තේ මේකා ගිය ආත්මෙක කොහේ හෝ කාන්තාරෙක ඩයිනොසර් ඇටකටු හොයපු එකෙක් කියලාය!



ඊට පස්සේ මේ ආදරේ කොම්පිතර දෙසට හැරුනේය! ඒ මාමා කෙනෙක් 133MHz පරිගණක රාජයෙක් ගෙදරට ගෙනත් දීමත් සමඟය! මේ ආදරය කෙමෙන් කෙමෙන් දළු ලා වැඩුනි! ඉස්කෝලේ ලැබ් එකේ පරිගණක සමුහයාට නාඩියාගේ ස්පර්ශයෙන් විකසිත වන ලද්දාහ!

මෙහි climax point එක උනේ 2008 දිය! OL එහෙම කරලා ඉවරය! කොහොම හරි කොළඹ විශ්වවිද්‍යාලිය පරිගණක අධ්‍යනායතනය හා Dialog එක්ව කරනවා කියපු “Sri Lanka Genius 2008” එකකට නාඩියා ගියේය! මුලින්ම තිබ්බේ ප්‍රාදේශීය වටයේ තරඟය! වයඹ කැම්පස් එකේ තවත් ඩයල් දෙක තුනක් එක්ක ගිහින් ලිව්වේය! ඊට පස්සේ කුරුණෑගල ගිහිනුත් එකක් ලිව්වා වගේ මතකය!

කොහොමෙන් කොහොම හරි නාඩියා අන්තිම 100 ට තේරිලා තිබුනේය!

Sri Lanka Genius 2008
කොළඹ එන්ට කියා පණිවිඩයක් තිබුණි! දවස් තුන හතරක් නතර වෙලා ඉන්ට කියාද තිබුණි! මගේ ඉස්කෝලේ වෙන එකෙක්වත් හිටියේ නැත! මං තුමා පමණකි! පොඩි බයකුත් තිබුණි...අවුලක් නැත! ඕනේ *කක්! ප්‍රීති වෙසක්! 

චාමර කියලා අයියා කෙනෙක් ඇවිත් අපේ group එක බාරව තියෙන්නේ එයාට කිව්වේය! මනුස්පයාට පොඩ්ඩක් තට්ටේ තිබ්බා වගේ මතකය! ;) අපිට නවතින්න තිබ්බේ සුගතදාස හොටෙල් එකය! එතනනම් මල් හතයි ඈ!

සුගතදාස හොටෙල් එකේ!
මතක විදිහට මහරගම youth එකෙත් සෙට් එකක් නතර උනේය! නුවර පැත්තේ ඉස්කෝලෙක කොල්ලෝ ටිකක් හිටපු කාමරයකට මාව ඇඩ්මිට් උනි! ඒකෙ ගමයා කියලා එකෙක් සිටියේය! ඒකා හැකින් රජෙකි! තව ඉනෝෂ කියලා එකෙකුත් සහන් හා ලෙනාඩ් කියලා එකෙකුත් සිටියාහ! 

මං තුමා අහිංසකයා වගේ සිටියෙමි! අල්ලපු කාමරේ සිටියේ ගාල්ලේ කොල්ලෝ වගයකි! ප්‍රමුඛ කියා මහා නසරානියෙක් සිටියේය! :D පසිදු කියා පරිගණකයක් සිටියේය! තව කලිදු කියා පොඩි එකෙකුත් (එකා දැන් නම් පොඩි නැත) පැතුම් කියා එකෙකුත් සිටියාහ! ( මේ පැතුම් කියන එකා ගැන පසුව ලිවිය යුතුමය!)

ගැහැණු ළමයි????? සිටියාහ! නමුත් අපි හොඳ උන්ය! මොකුත් නොකිව්වෙමු!  

හොඳ හොඳ වැඩ උනේ මේ කාල වකවානුවේය! උදේ සිට රෑ වෙන තුරු අපිට ලෙක්චර්ස් තිබ්බේය! Introduction to Software Engineering, Open Source, System Security, Multimedia වගේ ඒවාය! මං තුමාට නම් සමහර ඒවා මැජික්ය! මොකෝ මං වැඩිය ඕවා ගැන දන්නේ නැති නිසාය! ඒවා අතර නිදා අන්න උන්..චිට් පාස් කරන උන් සිටියෙම නැත! ;)

රෑ උනාට පස්සේ අපිව අර හෝටලේට ගෙනිච්චාය! ඇත්තටම කිව්වොත් ඒ ටිකේ UCSC අයියලා අක්කලා දෙමව්පියෝ වගේ අපිව බලා කියා ගත්හ...

හෝටලේ හොඳ හොඳ සෙල්ලං පෙන්නිමටද අපේ අය වග බලා ගත්හ! ප්‍රමුක කොල්ලා කාන්තා වොලිබෝල් ටීම් එකක් සමඟ මොකද්දෝ අලකලංචියක් තිබූ බව නාඩියාට මතකය! මහ රෑ ඩිනර් ටයිම් එකක ලෙනාඩ් ළමයා ඇද වැටුණු බවද යාන්තමින් මතකය!

එක දවසක් ඔය අලකලංචි ඉවර වෙලා රෑ නිවෙස් බලා ඒමට විදිහක් නැත! නාඩියා තුමාට [රවාහන පහසුකම් ලවා දිමා කුරුණෑගල බාලිකා පාසලක නංගිලා වගයක් සැදී පැහැදී බලා සිටියහ! මටත් මොකෝ මම ඒකෙ ආවෙමි! ;)

BMICH එකේ..තරඟයට මොහොතකට පෙර....
තරඟ විභාග තිබ්බේය! ඊට පස්සේ තිබ්බේ TV round කියන ඒවාය! Shooting තිබ්බේ BMICH එකේය! හරිම සුන්දර අත්දැකීමකි! කොහොම හරි නළු නිලි කැළ ඉතා විශිෂ්ට ලෙස තරඟ කළහ! ඒත් යාලු පිට් එකනම් හොඳටම තිබුනේය! නාඩියා හෙන උස එකා නිසා අර ප්‍රශ්න අහන්න තියෙන තැන මේසේ කොට වැඩිය! ඒ නිසා පෙට්ටියක් වගේ එකක් මත සිට ගැනීමට සිදු වූ බවටද කට කතා පැතිර ගියේය! බණ්ඩාරවෙලින් ආ කුමුදු ළමයාටද එසේ වූ බවට ලාවට වගේ මතකය! ;)

ඒ මේ ඇහැව් අස්සේ රජරටින් ආ තරුණ කොල්ලන් දෙදෙනෙකු ( තරිඳු හා සත්‍යජිත් නෙවෙයි ඈ) උඩරට පැත්තේ ලලනාවන් දෙදෙනෙකුට ඇහැ දමාගෙන සිටි බවටද අපිට ආරංචිය!
අන්තිම 64 ද කොහෙද?

Genius හොයාගෙන යන ගමනේ පස් වෙනියාටද කොහෙද ඉවත් වූයේ මං තුමාය! ඇහුවේ Linux ගැන ප්‍රශ්නයකි! මම කොර විය! මොකෝ එතකොට මම ඒ ගැන මෙලෝ දෙයක් දන්නේ නැත!
සේනානි ළමයාගේ ෆොටෝ එකතුවෙන්

අන්තිමේ පැතුමා කප් එක ගත්තේය! නමුත් ඌ පාටි දුන්නේ නැත! 2010 ආයේ සෙට් එක එකතු වූ වෙලේදීද මූ හොරෙන් පැන්නේය! එදා නම් කවුදෝ ස්ත්‍රී පරාණයක් එක්කන් ඇවිත් තිබ්බ බවත් මතකය! හැබැයි ඒ කාන්තා රත්නය මව් තුමිය කැටුව පැමිණීම පැතුමා හෙලා දැක්කේ පොළොවේ හැපී වැලපෙමිනි!

2010 IFO++ එකේදී...
ඒ වෙනකොට මං තුමා බුකිය ගැන අහලා තිබ්බා පමණකි! 56K මොඩම් එකෙන් නෙට් යන කාලේය! කොහොම හරි මේ අතිජාත මිත්තර සෙට් එක Keep In Touch විය යුතු නිසා මං තුමා බුකි ගත උනේය! 

2008 සිද්ධ වූ මේ අල කලන්චි නිසා මට අතිජාත මිත්තර සෙට් එකක් සෙට් විය! අදත් උන් එහෙ මෙහේ කලාතුරකින් හම්බ වෙති! බුකියේ නම් මොනවා හෝ කියති! මා ලැබූ ලොකුම දේ එයයි! සහතිකෙයි සල්ලියි නම් මොනවාද ඈ!

මමනම් කරන්නේ IT ම තමයි කියා හිතට මාරම හැඟීමක් වගේ එකක් ආවේ මේ එක්කමය! ඒ UCSC එකේ VK සමරනායක හෝල් එකේදිය! ඒ නිසා මං තාමත් එතනට ආදරය කරමි! එතනින් පටන් ගත් ආදරය එලෙසම මම අදත් මා සදාදර ලැපී උදෙසා වෙන් කර ඇත්තෙමි...

අන්තිමේ පොඩි පහේ යෝජනාවක් කරන්නට සිත් වුනෙමි! ඒ 2008 ය! දැන් 2013 ය! මතක විදිහට ඊට පස්සේ ඒ වගේ දැවැන්ත පාසල් අතර තොරතුරු තාක්ෂණ දැනුම මිනුම තරඟයක් තිබුනේ නැත! අපි දැන් එදා අමිල අයියලා චාමර අයියලා හිටපු තැන් වලට ටිකක් හෝ ලඟින් සිටිමු! අපේ සෙට් එකේ බොහෝ උන් තාමත් IT කෙල්ලට පෙම් කරමින් සිටිමු!

ආයෙත් කරමුද ඒ වගේ වැඩක්??????????

Sri Lanka Genius 201* ?????

මං තුමා එකතු කර ගත්තු පොඩි පොඩි වීඩියෝ කෑලි දාලා හදපු මෙව්වා එකක්! මේ 2008 ඈ!!!! )


Saturday, March 23, 2013

කැම්පස් සහ පැම්පස්




ගොඩ කාලයක් තිස්සේ කොටන්නම් කියලා හිතාගෙන හිටියට එක එක හේතු නිසා කොටන්න බැරි වෙච්ච එව්වා මෙව්වා ටිකක් ඔන්න අද නාඩියා කොටනවා! මේ නාඩිය කියවන්න ඉස්සරලා කස්ටියම දාගෙන ඉන්න පාට කන්නාඩි ගලවලා පැත්තකින් තියන්න! නිල්,කොළ,රතු,කහ එක එක පාට කන්නාඩි දාගෙන මේ නාඩිය කියවන්න බෑ!

ඒත් එක්කම නාඩියා හෙවත් මංතුමා ගැන තියෙන මතක, ප්‍රතිරුප(තියනවනම්), ඇදුනුම්කම්, ආලවන්තකම් ;) ඔක්කොම ටිකකට පැත්තකින් තියන්න. මොකෝ මේකේ අකුරු ගැලපිලා තියෙන හැටියට සමහර විට ඔබ අකමැති වෙන්න පුළුවන් නිසා! කියවලා ඉවර උනාම මතක ඇතිව ඒ ටික ආයේ install කරගන්න! 

“සරසවිය” ලංකාවේ ජිවත් වෙන 18 කෝටියක් වෙච්ච ජනතාවගේ වැඩි ප්‍රතිශතයකගේ හීනයක්! අපේ ගෙදර පොල් කඩන සිමියොන් පහ වසරටවත් ඉස්කෝලේ ගියේ නැති උනාට සිමියෝන්ගේ පොඩි එකා ඉස්කෝලේ යවන්නේ කන්තෝරුවක ලියන රස්සාවක්වත් ලැබෙයි කියලා බලාගෙන...

කන්නන්ගර මහත්තයාට පින් සිද්ධ වෙන්න නිදහස් අධ්‍යාපනේ බුක්ති විදින්න අපිට පුළුවන් උනා.අපේ අම්මලා තාත්තලාටත් පුළුවන් උනා! අපේ සියා කියන විදිහට ඒ කාලේ University of Ceylon තියෙන කාලේ උපාධියක් ගත්තා  කියන්නේ රටක් රාජ්‍යයක් ගත්තා වගේ දෙයක්!

හැබැයි සකල සිරින් පිරි සිරි ලංකාවේ අදනම් ඕනේ තැනකින් උපාධියක් ගන්න පුළුවන්! සතිය අන්තිමේ පත්තරයක් බැලුවොත් අඩු ගානට හොඳ කන්ඩිෂන් තියෙන local හරි international හරි imported හරි අකුරු ටිකක් නම ඉස්සරහින් ගහ ගන්න ක්‍රම සහ විධි ඕනේ තරම් තියනවා!

මෙන්න මේ නිසා ලංකාවේ උපාධි කාරයෝ දැන් කොටස් දෙකක් ඉන්නවා! එකක් රජයේ විශ්ව විද්‍යාල වල උපාධිධාරීන් සහ පුද්ගලික විශ්ව විද්‍යාල වල උපාධි සහිත අය!

මුලින්ම කිව්වා පාට කන්නාඩි එව්වා මෙව්වා අයින් කරන්න කියලා! මොකෝ නැත්නම් අනිවාර්යෙන්ම කියයි මේකා රජයේ කැම්පස් එකක එකෙක් නිසා ඒවාට ආවඩන්න...කැම්පස් නොයන උන්ට උසස් අධ්‍යාපනය එපා කියන තාලේ එකක් කියලා!

මෙන්න මේ දෙකොටස අතර ගැටුම නිර්මාණය වෙන්නේ එකම රැකියා වෙළඳපොලක තරග කිරීමේදී විතරක් නෙවෙයි! පෙලවහක් කරගද්දී...සමාජ තත්ත්වය කියන ප්‍රස්තුතය තුලදී වගේ කරුණු කාරණා වලදී මේ පිරිස ගැටෙනවා!

අපි එකින් එක අරං බලමු!

පටන් ගන්න හැටි - 

නොවදිනා දුක් විඳලා එක වසරට තමන්ගේ පොඩි එකා ඇතුල් කරන අම්මා තාත්තා හිතන්නේ ළමයා දොස්තර කෙනෙක් කරන්න.නැත්නම් ඉංජිනේරුවෙක් කරන්න! සිහිනය සර්ව සාධාරණයි! ඒ සමාජය හැඩ ගැහිලා තියෙන හැටි! ඊට පස්සේ අර ටියුෂන් මේ ටියුෂන් ඔක්කොම කරවලා ලෝකේ තියෙන අමාරුම විභාගේ වෙච්චි උසස් පෙළ කලාට පස්සේ හැමෝම දත කට මැදගෙන බලාගෙන ඉන්නේ දෙයි හාමුදුරුවන්ගේ පිහිටෙන් අජපල් වෙච්ච නැති රිසල්ට් එකක් ඇවිත් සරසවියට පිය නගන්න!

හැබැයි මේ වරම හිමි වෙන්නේ ඉතා අඩු ප්‍රතිශතයකට! ලංකාවේ තියෙන නිදහස් විශ්ව විද්‍යාල ප්‍රමාණය හා එහි පහසුකම් අවම විම මේකට හේතුවක්.

මාර වැඩේ...Exam කළා! ඒත් කැම්පස් යන්න ලකුණු මදි..ආයේ පාරක් කළා...ඒත්..... ආයේ මදි..මොනවා කරන්නද? දොස්තර ඉංජිනේරු සිහිනය බොඳ කරගන්නත් බෑ! ඒ වෙලාවේ තමයි පුත්ගලික උපාධි ප්‍රදානය කරන ආයතන අපේ අම්මලා තාත්තලාගේ උදව්වට එන්නේ!

උසස් පෙළ කඩයිම ඉහලින්ම පනින අය රටේ බදු ගෙවන ජනතාවගේ වියදමින් ඉගෙන ගද්දි.. උසස් පෙළ ඉහලින්ම පාස් වෙන්න බැරි වෙච්චි, නැත්නම් රාජ්‍ය විශ්ව විද්‍යාල යාන්ත්‍රනයට එකතු වෙන්න අකමැති(එහෙම ය ඕනේ තරම් ඉන්නවා!) අය යම් මිලකට නියම වෙච්චි උසස් අද්‍යාපනයක් සඳහා යොමු වෙනවා!

අන්න එතැනදී “මුදල්” කියන සාධකය “දැනුම හා දක්ෂතාව” කියන සාධකය අතර ගැටුමක් නිර්මාණය කරනවා!
 
ඇතුලේ මොකෝ වෙන්නේ???

සරසවි ජීවිතය කියන්නේ වෙනමම එකක්! එකේ අටුවා ටීකා ටිප්පනි වෙන දවසක කොටමු! සරසවි කුලකය සරසවිය ඇතුලේ සමාසික ක්‍රමයකට ලොව පිළිගත් විෂය නිර්දේශයන්ට අනුකුලව ඉගෙනුම් කරයුතු කරගෙන යනවා! වැඩ වර්ජන, ඉල්ලීම්, පිකටින් මැද අවුරුදු 3ක් නැත්නම් 4ක් සමහර විට ඊට වැඩි කාලයක් ගත කරලා උපාධියක් අරගෙන එලියට එනවා!

උපාධි ප්‍රදාන ආයතන වල සමාසිකයට නියමිත මුදල් ගෙව්වාට පස්සේ ගුරුවරු පිරිසක් විසින් වෙනත් රටක විශ්වවිද්‍යාලයක හරි ස්වයං නිර්මිත විෂය පථයක හරි දැනුම ශිෂ්‍යාට ලවා දෙනවා! මේ එක් එක් ආයතනයකට අනාන්‍ය වූ උප සංස්කෘතියක් ඉබේම නිර්මාණය වෙනවා! මේ ළමයාත් අවුරුදු 3කින්...මුදල් හදල් අමාරු උනොත් මැද පොඩි විරාමයක් අරගෙන හරි උපාධි සහතිකයක් ලබා ගන්නවා!
ගැටුම ඊළගට!

කාගේ එකද වඩා හොඳ????

මේක සාපේක්ෂයි! රජයේ විශ්ව විද්‍යාලයක උනත් update නොවිච්චි ඉතා පරණ විෂය නිර්දේශයක් ඉගෙන ගෙන එලියට එන එකා කොහාට යවන්නද? වැඩ ලෝකෙට ගැලපෙන දැනුමක් ඒ උපාධිධාරියා සතුව අනිවාර්යෙන් තියෙන්න ඕනේ!

අනික “අපි මේක සල්ලි දීලා ගත්තේ! University of &^^$%^$,*&& පිටරටක උනත් වැඩක් නැත්නම් වැඩක් නෑ! ඒ යකා සල්ලි දීලා ඉගෙන ගෙන තියෙන්නේ විෂය කරුණු විතරයි නම්..සමාජය ගැන අවබෝධය බින්දුවයි නම්...ඒ වගේ එකෙක් පොල් පිත්තකින් උනත් කපා ගන්න පුළුවන්! 

University Ranking???

ලෝකේ විශ්ව විද්‍යාල යම් කිසි ප්‍රමිතියක් අනුව rank කරලා තියනවා! මේකෙන් කියන්නේ නෑ යට තියෙන්නේ පිචන් ඒවා කියලා! Rank එක සඳහා විවිධ කරුණු බලපානවා! ශිෂ්‍ය සංඛ්‍යාව, පහසුකම්, ජයග්‍රහණ මේ වගේ කරුණු. සමහර වෙලාවට ලංකාවේ පුද්ගලික උපාධි ආයතන රාජ්‍ය විශ්ව විද්‍යාල වලට වඩා උඩින් ඉන්නවා!

ඒ ඇයි????

මම දකින විදිහට අංක එකේ වැරදිකරුවා විශ්ව විද්‍යාල පරිපාලනය හා දේශපාලනය! විශ්ව විද්‍යාල තුල තිබිය යුත්තේ ශිෂ්‍ය දේශපාලනය පමණයි! ඒ නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ උදාරතර අරමුණ සහිත වූ එකක්! රටේ දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ඔවුන් නැගී සිටිය යුතුයි! ඒත් දේශපාලන ඉත්තන් නොවිය යුතුයි!

විශ්ව විද්‍යාල පරිපාලනය තමන්ගේ වාසි සඳහා කොටු නොවී විෂය යාවත්කාලින කිරීම් ආදිය කල යුතුමයි!
රටේ භෞතික සම්පත් දියුණු කරනවා සේම දැනුමේ තිඹිරි ගෙය වන විශ්ව විද්‍යාල සඳහා පාලකයන් ආයෝජනය කල යුතුයි! එය වියදමක් නොව ආයෝජනයක් ලෙස සිතිය යුතුයි!

මීළඟ වැරදිකරුවා සරසවි ශිෂ්‍යයා! ඇයි ඒ??මගේ ඇඟට ගොඩ වෙන්න එපා! සරසවි ශිෂ්‍යයා කියන්නේ රටේ උගත් යැයි සම්මත පිරිසක්! එහෙව් අය තමන්ගේ අසරණ දෙමව්පියන් ඇතුළු රටේ බඩු ගෙවන ජනතාගේ මුදල් වලින් ඉගෙන ගන්නවා යැයි කියා කරන්නේ පිස්සු කෙලිමනම්??? පොතේ ගුරන් නොවිය යුතුයි! සරසවි ජීවිතය විදිය යුතුයි! අසාධාරණයට එරෙහිව හඬ නැගිය යුතුයි! ඒත් සමඟ ඉගෙනීම හරියට කල යුතුයි! අනිවා එතකොට කැම්පස් ranking ඉහළ නගිනවා ෂුවර්! එහෙම නැතිව හැමදාම කරන්නේ පාරට බැහැලා කෑ ගහන එක විතරක් නම්...................

උන් අපිට අරහං!උන්ට අපි අරහං!

රාජ්‍ය සරසවි ශිෂ්‍යයා හා පුද්ගලික උපාධි සිසුවා අතර ගැටුමේ එක් අවස්තාවක් තමයි එකිනෙකා නොරුස්සන ස්වභාවය! ඔවුන් අයත් වනවා යැයි සිතන සමාජ පන්තියේ ඇති වෙනස මේකට එක හේතුවක්!

මේ මම කියන්න යන කරුණ ඔයාලා පිළිගනිද දන්නේ නෑ! පුද්ගලික උපාධි ශිෂ්‍යයා තුල ඉබේ ජනිත වෙන අධි මානයක් තියනවා!(සමහරකගේ පමණයි!) ඔවුන් එක්ක එක පන්තියේ හිටපු කොල්ලා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පිකට් එකකට ගිහින් බැටන් පොලු පහරක් කද්දී ඔහු සියුම් සතුටක් ලබනවා! ඒ උසස් පෙලින් ඔහුව පරාජයට පත් කරන්නට නොහැකි විම මෙතැනදී හැකි උනා කියන දැක්ම!

කැම්පස් එකා strike නිසා ගෙදරට වෙලා ඉද්දි..කැට යද්දී... සල්ලි හොයා ගන්න, සමහර විට ගෙදරට සල්ලි යවන්න පාරේ “අද” පත්තර විකුනද්දී ප්‍රමෝෂන් යද්දී ඒ දිහා බලාගෙන කෙනෙක් හිනා වෙනානම්??? එය සාධාරණීකරණය කරන්න පුළුවන් නම්!!!!!

ඔහු ඒ තත්ත්වයට පත් වෙන්න කරපු එකම වරද උසස් පෙළ උසස් ලෙස සමත් විම හා පුද්ගලික උපාධි සහතිකයක් ලබා ගැනීමට තරම් ඔහු ඇති දැඩි කරපු මව්පියන්ට කාසි පනම් නොතිබීම පමණයි!!!!

සිත් රිඳීම් ඇත්නම් සමාව දෙත්වා! මේ සම “හරක්” පමණයි!

දෙපිරිසේම සම සමව වැරදි ඇති! සම්පුර්ණ නිවැරදි පුද්ගලයෙක් සෙවීම කළු නික හොයනවාටත් වඩා අමාරු වැඩක්! හැබැයි වැදගත්ම දේ සින්තටික් ලෝක වලින් මිදිලා ඇත්ත ඇති සැටියෙන් ලෝකය දැකීම!

නැත්නම් ලංකාවේ කැම්පස් කියන එක නිදහස් අධ්‍යාපනය කියන එක, රෙද්ද පල්ලෙන් බේරෙන ගෞරවේ ලීක් වෙන එක නවත්තන පැම්පස් එකක් විතරක් වේවි!!

සංවාදයට විවෘතයි....

Friday, March 22, 2013

මලේ පිපුණු මලක්...




Needy Readers; නාඩියාගේ බ්ලොග් එකේ දකුණු පැත්තේ තියෙන අපූරු පින්තුරේ දැකලා පුරුදු අපේ අයටනම් අමුතු වචනයක් නෙවෙයි! 2012 අවුරුද්දේ පටන් අරගෙන, ලංකාවේ අවශ්‍යතා ඇති පාසල්, පුස්තකාල, සංස්කෘතික මධ්‍යස්ථාන වලට කියවන්න පොත් බෙදා දෙන අපේ පුංචි වෑයම!

2013 අවුරුද්දෙත් අපි දුෂ්කර පළාත් වල ආදරණිය නංගිලා මල්ලිලාගේ අතට කියවන්න පොතක් දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා. මේ අවුරුද්දේ අපි මුලින්ම පොත් බෙදා දෙන්න හිතුවේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ අවශ්‍යතා ඇති පාසල් වලට...

පොත් 10,000 ක් අරගෙන ඉස්කෝල 12ක නංගිලා මල්ලිලා බලන්න යන මේ ගමනේදී අපිට යෝධ හයියක් උනේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 4 වෙනි සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවේ මේජර් මැක්සිවෙල් මහත්තයා ඇතුළු අපේ යුධ හමුදා සහෝදර පිරිස..

“නලීන් අයියේ....”
“ඔව්...කතා කරනවා....”
“අයියේ..මම නාඩියා...මට පොඩි උදව්වක් ඕනේ...”

ඒ විදිහට පුංචි දුරකථන ඇමතුමකින් සමකය වටේ නලීන් අයියා අපිට ලොකු උදව්වක් දුන්නා.. දිනය මාර්තු මාසේ 15 වෙනිදා.... මෙන්න දිනමිණ පත්තරේ විස්තරේ...



13 රෑ පොත් ඔක්කොම ලොරියක පටවාගෙන මරදානේ ඉස්ටේසමට ආපු වෙලාවේ ඉඳන් අපේ කට්ටිය නොසෑහෙන්න මහන්සි උනා. කිලෝ අටසිය ගානක් අපි දහ පහළොස් දෙනෙක් අතින් එහා මෙහා අදිද්දී වැටුණු දහදිය බින්දු පැණි රස උනේ ඒ පොත් අතට ගත්ත අහිංසක නංගිලා මල්ලිලාගේ සතුටු සිනා නිසා...


මොරවැව දකුණ සිංහල විද්‍යාලය, මහදිවුල්වැව විද්‍යාලය, ත්‍රිකුණාමලය කාන්තා විද්‍යාලය, ශ්‍රී සිධාර්ථ විද්‍යාලය, රොටවැව මුස්ලිම් විද්‍යාලය, ශ්‍රී මිහිදුපුර විද්‍යාලය, කිවුල්කඩ මහා විද්‍යාලය, අවිනගර් දෙමළ විද්‍යාලය, ගෝමරන්කඩවල මහා විද්‍යාලය ඇතුළු ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පාසල් වලට අපි මේ පොත් 10,000 බෙදා දුන්නා .


ත්‍රිකුණාමලය දිසාපති මේජර් ජෙනරාල් T.T.R ද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ත්‍රි’මලේ චීන වරාය නාලන්දා විද්‍යාලේ තිබිච්ච උත්සවේ සාර්ථක කරගන්න අපිට ගොඩක් කට්ටිය උදව් කළා..ලංකාවේ විතරක් නෙවෙයි..මහ සයුරින් එහා ඉන්න තෙත් හදවත් තියෙන ශ්‍රී ලාංකිකයෝ විශාල ප්‍රමාණයක් අපිත් එක්ක එකතු උනා. ඒ හැමෝටම බොහොම ස්තුතියි!


කියවලා ඉවර වෙලා පොත් රාක්කේ කොනක තියෙන පොතක් හරි...අලුත්ම පොතක් හරි අපේම සහෝදරයෙක්ට පරිත්‍යාග කරමු...

තවත් විස්තර ඕනෙනම් 071-6663282 න් උපුල් හරි 071-6312367 නාඩියාට හරි කතා කරන්නකෝ....

මේ අහිංසක මල් කැකුළු හිනා වෙන්නේ ඔයාලා දීපු පොත් නිසා.... එන්න අපි එකතු වෙමු.... මල් කැකුලකට පාට දෙමු...... 
Related Posts Plugin for WordPress, Blogger...