නාඩි සෙට් එක

Sunday, November 24, 2013

රේල් පාර

 පීලි දෙකම එක වගේ.....
එකම හැඩ...එකම ගනකම......
කාටවත් කරදරයක් නොවී....
මජං තැවරිච්ච සිල්පර කොට උඩ.....
බලං ඉන්නවා හැමදාම...

හම්බෙන්නේ නෑ කවදාවත්ම....
කොතනදිවත්.....

ඒත්......

ටොන් ගානක් බර සිතුම් පොදියක්
උඩින් යනවා හැමදාම......

Tuesday, November 19, 2013

චෝගම් දෙබරෙට ගල් ගැසීම


කලින් නාඩියා දෙබරෙට ගල් ගැසුවා වගේ CHOGM කතාවක් ලියා කස්ටිය ඇවිස්සුවේය! දැන් ඉතිං උත්තර දිය යුතුය. වැඩේ සාධාරණය. මොකෝ උඩින් පල්ලෙන් කියෙව්වාට අපේ උන්ට හරි යන්නේ නැති බැවිනි.
ඒත් ඉස් ඉස්සරින් කරණු කාරණා තුනක් සිතේ තබා ගන්නවානම් හොඳය.


  1. නාඩියා මේ සමුළුවට සහභාගී වූයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන තරුණයන්ගෙන් සුසැඳි සමාජ සේවා ආයතනයක් නියෝජනය කරමින් විනා පාලක පක්ෂය හෝ දේශපාලන මතයක් නියෝජනය කරමින් නොවේ. 
  2.  නාඩියා පාලක තන්ත්‍රයට හෝ යම් දේශපාලන ප්‍රවාහයකට කඩේ යන්නෙක් නොවේ!
  3. CHOGM පසුපස ඇති දේශපාලන භූමිකාව හෝ ඒ හා බැදී පවත්නා වූ දුෂණ වංචා ආදිය මේ නාඩි තුලින් සාකච්චා කිරීමට මම බලාපොරොත්තු නොවෙමි! (එසේ ඒවා සිදු නොවුනා කියා සුදු හුණු ගෑමට කිසිඳු අවශ්‍යතාවයක් මට නොමැත)

හරි. එහෙනම් පටන් ගමු. කලින් නාඩිය කියවලා ආවොත්හොඳා! මොකෝ ඒකෙ ඒවා ආයේ කොටන්න කම්මැලියි. 

නොවැම්බර් 9 වෙනිදා මහරගම youth එකෙන් උදේ 9 ට විතර අපි පිටත් උනා. ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම අධිවේගී මාර්ගය ඔස්සේ හම්බන්තොට ටත් විදේශ නියෝජිත කණ්ඩායම විශේෂ ගුවන් යානයකින් කටුනායක සිට මත්තල ඔස්සේ හමබන්තොට ටත් ලඟා උනා. 

සමුළුවේ ආරම්භක සැසිවාරය පටන් ගන්න ඉස්සරින්දා රාත්‍රියේ පෙරහැර සමඟින් සංස්කෘතික සංදර්ශනයක් තිබ්බා රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේ. එතැනදී අපේ අය උත්සාහ කලා ලංකාවේ සංස්කෘතිය විදේශ නියෝජිතයන්ට විදහා පෙන්නන්න. හැබැයි මගේ මතය අනුව එතැනදී අපේ සාර්ථකත්වය 60% පමණ. මොකද ලංකාවට ආපු විදේශ තරුණ නියෝජිතයෝ මෝඩයෝ නෙවෙයි! රටකින් එන්නේ දෙන්නයි! ඒ කියන්නේ ඒ ඒ රටවල් වල gist එක! ඒ අය ලංකාව ගැන පොත පත අන්තර්ජාලය ඇසුරින් කියවලා කරලා තමයි එන්නේ. එතැනදී අපිට ඊට වඩා දෙයක් දෙන්න තිබ්බා.

දෙවැනි දවසේ ආරම්භක උත්සවය ජනාධිපතිතුමාගේ මුලිකත්වයෙන් තිබ්බා. තිබ්බේ MRICC නැත්නම් මාගම් රුහුණුපුර අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ. එය ඇත්තටම විශාල ඉදිකිරීමක්. නමුත් මට ඇති වෙච්චි ප්‍රශ්නයක් තමයි අන්තර්ජාතික සම්මන්ත්‍රණයක් පැවැත්වීමට තරම් යටිතල පහසුකම් ඒ ආශ්‍රිතව ඉදි වෙලා තියනවද කයන එක. මොකද සංවිධායකයන් මුහුණ දීපු ලොකු ගැටලුවක් තමයි නවාතැන් සැපයීම. සමහර නියෝජිතයන් කතරගම, අම්බලන්තොට, රන්න ආදී තැන් වලත් නවාතැන් ගෙන තිබුනා. ඒ Logistic ඉතා විශාල ප්‍රශ්නයක් බවට හැරිලා තිබ්බේ මේ වගේ කරුණු නිසා. 

සමාරම්භක උත්සවය ප්‍රසංශනීයයි. අබාධිත තරුණයන් ඉදිරිපත් කල Heal the world ගීතය හැමටම කඳුලක් එක් කලා. මම ඒකෙ video එකක් කලින් නාඩියේ attach කරලා තිබ්බා.ඔන්න ඔය අතරේ නාඩියා ට පොඩ්ඩක් හිනා කටක් පහල උනේ අපේ  R දුමින්ද සිල්වා මහත්තයා අනර්කලී නඟා වත් පෙරටු කරගෙන අපිට පොඩ්ඩක් එහා පැත්තේ සිට් එකක ඉගෙන ඉන්නවා දැකලා. :D වෙඩි වදිලත් මැරෙන්නේ නැති මිනිස්සු! :P

සමාරම්භක උත්සවයෙන් පස්සේ ආරම්භ උනා සම්ලුව. මම දැක්ක දෙයක් තමයි නියම වෙලාවට වැඩ කිරීම. මොකද විදෙස් නියෝජිතයන් බොහෝ වෙලාවට විවාද සාකච්චා සඳහා පරක්කු උනේ නෑ! සමහර අය බෙදා ගත්ත කෑම එකත් අතින් අරගෙනම සාකච්චා මේසේ වාඩි උනා. අංක 1 වැඩ!
පහුගිය ලිපියේ කියලා තිබිච්ච විදිහට කාරණා අටක් යටතේ සාකච්චා පැවැත්වුනා. ආයෙත් මතක් වෙන්නත් එක්ක ඔන්න ඒ අට.

• 2015 න් පසු ජාත්‍යන්තර සංවර්ධන සැලැස්ම සදහා තරුණයන්ගේ කාර්යභාරය 
ප්‍රතිසංවිධානය සහ සමාජ ඒකාබද්ධතාවය. 
 සුබසාධනය සහ සංවර්ධන ක්‍රියාවලිය 
අරමුණු සපුරාලන ගුණාත්මක අධ්‍යාපනයක්..  
තරුණයන් උදෙසා ශිෂ්ඨ සමිපන්න ඵලදායි රැකියා අවස්ථා උත්පාදනය  
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය  
ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය අයිතිවාසිකම්  
තරුණ කටයුතුවල වෘත්තීයභාවය ඇතිකිරීම

මං තුමා ඔය කරුණු අටෙන් සහභාගී උනේ  අරමුණු සපුරාලන ගුණාත්මක අධ්‍යාපනයක්” සහ “තරුණයන් උදෙසා ශිෂ්ඨ සමිපන්න ඵලදායි රැකියා අවස්ථා උත්පාදනය” කියන කරුණු දෙකේ විවාද සඳහා. මොකෝ රාජ්‍ය විශ්වවිද්‍යාල ශිෂයෙක් නිසා මම ආස කලේ පොඩ්ඩක් අධ්‍යාපනේ ගැන කතා කරන්න. රැකියා ගැන කතා කරන්න යන්න හිතුවේ ඉස්සර ඉදන්ම ඔලුවේ වැඩ කරන මගේම කියලා business එකක් පටන් ගැනීමේ ඇම්ම තව පොඩ්ඩක් වැඩි කර ගන්න.

අධ්‍යාපනය සඳහා තිබිච්ච සාකච්චාවට මොහාන් ලාල් ග්‍රේරු මහත්තයත් එක්ක ආචාර්ය සුනිල් නවරත්න ලංකාව නියෝජනනය කරමින් අදහස් දැක්වුවා. මෙහිදී මතුවෙච්ච වැදගත් කරුණක් තමයි වෘතීය අධ්‍යාපනය (vocational education) ප්‍රචලිත කල යුතුයි කියන එක. මොකද පවත්නා අධ්‍යාපන රටාව රැකියා වෙළඳ පොලට සරිලන මනුස්සයෙක් බිහි කරන්නේ නෑ කියන එක තරුණ නියෝජිතයෝ එක හෙලා කියා සිටියා.

අපි ලංකාවේ ඇත්තටම වැඩිය දැක්කේ නැති දෙයක් තමයි ප්‍රාථමික අධ්‍යාපනයක් වත් නොලබපු මිනිස්සු. නමුත් අප්‍රිකානු කලාපයට ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුනේ. ඒ සඳහා අවශ්‍ය තීරණ ගන්න යෝජනා උනා.

ලංකාවේ නියෝජිත කණ්ඩායමේ සහභාගී උනා  ආබාධිත තරුණයෙක්. ඔහු අදහසක් මතු කලා සැමටම අධ්‍යාපනයේ සම අයිතිය ලැබිය යුතුයි කියන එක. මොකද ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයන්ගේ සමහර පාඨමාලා වලට අබාධිත අයවලුන් ඇතුලත් කරගන්නේ නෑ ඔවුන්ට අවශ්‍ය access නැති වීම ආදී ගැටළු නිසා. මේ නිසා ඒ සඳහා පිළියම් සෙවීම කාලින අවශ්‍යතාවයක් වෙලා.

ඌරුවරිගේ සුමනසේන ආදිවාසින් නියෝජනය කරපු අපේ නියෝජිතයා රටවල් වල ආදිවාසි ජනයාගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අදහස් මතු කලා. ඇත්තටම මම දැකපු එක සාධනීය කාරණයක් තමයි ඒක! අපි කියනවා වැද්දෝ වැද්දෝ විදිහට ඉන්න ඕනේ. කැලේම ඉන්න ඕනේ කියලා. හැබැයි ඒ අයගේ සමහර ප්‍රශ්න අපි කවුරුත් හරියට දැකලා නෑ! අධ්‍යාපනය, මුල්‍ය වගේ ප්‍රශ්න ගණනාවක් නිසා තමයි ඒ අයගේ උරුමය විනාශ වෙලා යන්නේ. 

ආදිවාසි නිෂ්පාදන අලෙවි කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීමට (ලක්සල, සමුපකාරය ආදී ආයතන උදව්වෙන්) අපි යෝජනා ඉදිරිපත් කලා.

ඒ විතරක් නෙවෙයි අප්‍රිකානු කලාපයේ අයට තිබිච්ච ප්‍රශ්නයක් තමයි අඩු වයස් මාතෘත්වය. ඒ නිසා ගොඩක් ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙලා. මේ සමුළුවට අප්‍රිකානු රටකින් ආපු එක නියෝජිතවරියක් single mother කෙනෙක්! ඇත්තටම ඒ අයට ඒ වගේ ප්‍රශ්න විසදගන්න එක හරිම වැදගත් සංවර්ධනය සඳහා.
මේ සමුළුවට සහභාගී වෙච්චි සමහර රටවල් වලට ඇති ප්‍රශ්නයි ඒවාගේ සමාජ ස්වභාවයයි තේරුම් ගන්න හරිම අමාරුයි! බෘනායි රටට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අඩු ජනගහන අනුපාතය. අපිට ඉතිං උදව් කරන්න බැරි කමකුත් නෑ! ;) 

අනිත් එක මම තව දැක්ක දෙයක් තමයි අප්‍රිකානු කලාපයේ රටවල් අතර තියෙන බැඳියාව! බොහෝ රටවල් අතර අභ්‍යන්තර අර්බුද තිබ්බත් ඔවුන් පොදු ප්‍රශ්නයකදී බොහෝ වෙලාවට මහාද්වීපයක් විදිහටම එකතු වෙනවා. ඇත්තටම මම ආසියාතිකයන් වෙච්ච අපේ එහෙම දෙයක් දැක්කේ නෑ. 

අපි දන්නා කියන විදිහට ඉන්දියාව පකිස්තානය පස මිතුරෝ! හැබැයි තරුණ සමුළුවේදී මේ අය හැමෝම හිටියේ හරිම මිත්‍රශීලි විදිහට! අපි ඉතිං විහිලුත් කලා “Beware!! We have to inform about this for your embassies! :D “ කියලා! තරුණ හිත් වල කහටක් නෑ.. (බොහෝ වෙලාවට)

පොදුවේ ගත්තහම අප්‍රිකානු කස්ටිය හරිම මිත්‍රශිලියි! නටන්න කරන්න හරිම කැමතියි! දකින්න ඇතිනේ දගලපු දැගලිල්ල. සිරා අයියේ රජෝ..... ඒ මිත්‍රශීලිකම වැඩි වෙලා! :D

සමුළුවට එංගලන්තේ ඕස්ට්‍රේලියාවේ නියෝජිතයෝත් සහභාගී උනානේ. මම note කරපු දෙයක් තමයි ඒ රටවල ප්‍රතිපත්ති සකස් කරන්න, රාජ්‍ය පාලනයට වගේ දේවල් වලට තරුණ සහභාගිත්වය වැඩියි! ඒ අය ඉතා බුද්ධිමත් විදිහට රාජ්‍යතාන්ත්‍රික කටයුතු කරගෙන යනවා.

අනිත් වැදගත් දෙයක් තමයි ආපු එක නියෝජිතයෙක් වත් එක පැත්තකට කොටු වෙච්චි අය නෙවෙයි. ඔක්කොම multitasking මිනිස්සු. ගොඩක් පැති ගැන දන්නවා. හරිම ප්‍රායෝගිකයි! ඒ ඉතිං ඇත්තටම අධ්‍යාපන ක්‍රමය ඇසුරින් නිර්මාණය වෙච්චි දෙයක්ම නෙවෙයි! තම තමන්ගේ කැපවීම හා උත්සාහය.

අරූ අයියා අහලා තිබ්බා link එකක් දාලා සමුළුවට hotels අල හිටිය සුද්දෝ ගෙන්නුවද කියලා! :D මම දන්නා විදිහටනම් නෑ! මොකෝ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් වැඩි ගණනක් අප්‍රිකානු, කැරබියන් හා ආසියානු කලාපයේ රටවල් ඉතිං ඒවාගේ කොහොමද සුදු අය! හැබැයි ලස්සන සුදු අක්කලා ටිකක් ඇවිත් හිටියා UK වලින් volunteers ලා විදිහට.මම දන්නා විදිහට එතන volunteers ලා 80 ක් සහභාගී උනා. ඒ අයත් සමාරම්භක උත්සවයට අවසාන උත්සවයට එහෙම සහභාගී උනා. සමහර විට ඒ media show එකට වෙන්නත් පුළුවන්! ;) 

ගස් හිටෝපු සීන් එක ගැනත් අහලා තිබ්බනේ. ඒ ගස් හිටෙව්වේ මිරිජ්ජවිල වියලි කලාපිය උද්භිද උද්‍යානේ... ළමයි බමයි ඉන්න කාලෙක හිගින් මෙන්න පුතේ අපි හිටෝපු ගහක් කියලවත් කියන්න බැරියැ... ;) 

Beach party එකකුත් තිබ්බා අන්තිම දවසේ. නරකක් කියන්න බෑ. මොකෝ youth නේ. හැබැයි ඒ වැඩේ එච්චර සංවිධානාත්මක බවක් මම දැක්කේ නෑ. මොකද තවම අපේ ලංකාවේ අයට සුදු හැම තියෙන මොකෙක් හරි දැක්කහම මොකද්දෝ වෙන ගතියක් තියනවා. ඉතිං ඒ වගේ වෙලාවක අපි ඒ අයගේ ආරක්ෂාව ගැන ටිකක් සැරට බලන්න වෙනවා. මොකෙක් උනත් රාජ්‍ය නියෝජිතයෙක් නේ.

Youth forum එකේ අමතක කරන්නම බැරි සෙට් එක තමයි අපේ ලංකාවේ නියෝජිතයෝ ටික! ආයේ එක බඩවැල කඩාගෙන ආපු සෙට් එක වගේ අපි ඔක්කොම එකට හිටියා. අපේ මව්බිම වෙනුවෙන් කතා කලා. රෑ වෙනකම් පිස්සු කෙලියා. හිනා උනා. සීරියස් වෙන්න ඕනේ තැන් වලදී සීරියස් උනා. මොනවා උනත් ඒ සෙට් එකනම් මරු! :D

අනිත් සෙට් එක volunteers ලා. හැමදෙයක්ම කැප කරගෙන ස්වේච්චාවෙන් මේ event එක ගොඩ දාන්න ලොකු කැපකිරීමක් කලා. ඒ තමයි තරුණ ජවය! #HatsOff

යසිත් කොලුවා කියලා තිබ්බේ මම ඇමති පුතෙක් කියලා! :D අනේ නෑ යකෝ අපේ අපුච්චා රජයේ දෙපාර්තමේන්තුවක වැඩ කරලා දැන් පෙන්ෂන් පිට ගෙදර ඉන්නේ. අනේ මන්දා ඉතිං කොහොමෙන් කොහොම හරි මං තුමාට ඔය ගොඩක් ඒවාට යන්න එන්න සිද්ධ වෙලා තියනවා.

ෆොටෝ ගොඩක් add කලේ නෑ. බුකියේ මදි නොකියන්න ඇති. අනිත් එක මේ සමුළුවේ outcome document එක. මෙන්න මෙතනින් ගන්න. වැදගත් වෙයි කියලා හිතනවා.

වැදගත්ම දේ මෙන්න මේකයි! අපි වැඩ විවේචනය කරන ගමන්ම වැදගත් වැඩක් කරන්නත් පුරුදු විය යුතුයි. තනි තනියෙන් හරි....

Sunday, November 17, 2013

CHOGM ගිය නාඩියා


මේ ටිකේ ලංකාවේ කඩේ පිලේ වෙලේ ඉපනැල්ලේ වැඩියෙන්ම කතා වෙන්නේ CHOGM ගැන. ඕන චුයින්ගම් එකක් කියලා නාඩියා CHOGM ගත වෙච්චි හැටි කොටන්න හිතා ගත්තා. නාඩියාත් ඔන්න CHOGM ගියා. CHOGM කියන්නේ Commonwealth Heads Of Governments Meeting කියන එකලුනේ! නාඩියා සහභාගී උනේ ඊට සමගාමිව පවත්වපු Commonwealth Youth Forum ( පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සමුළුව) කියන එකට! තිබ්බේ හම්බන්තොට මාගම් රුහුණුපුර අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ(MRICC)!

චෝගම් අස්සේ මොකෝ උනේ. හොරෙන් පිල්ලි ගහපු සල්ලි නාස්ති අරවා මේවා කතා කරන්න... ලංකාවෙන් මේක ප්‍රයෝජනයක් ගත්තද නැත්නම් කාගේ කාගේ හරි පුද්ගලික උවමනා එපාකම් මේකෙන් සපුරා ගත්තද කියන ඒවා කතා කරන්න මං තුමා හිතුවේ නෑ! ඒ ඔක්කොම පාට කන්නාඩි අයින් කරලා ස්වාධින පුද්ගලයෙක් විදිහට මම ඒ දවස් පහ හයේ ගත්ත අත්දැකීම් ටිකක් කොටන්න හිතුවා!

මිට මාස දෙක තුනකට කලින් බුකියේ දාල තිබ්බා මේ සමුළුවට තරුණ නියෝජිතයෝ තෝරා ගන්නවා කියලා! නාඩියා ත් ඉතිං නිකම් ඉන්න බැරි කමට කියලා තිබ්බ විදිහට abstract එකක් ලියලා කරලා යැව්වා! ඉන්ටවිව් දෙක තුනක් තිබ්බා. අමුතු අමුතු ප්‍රශ්න ඇහුවා. කොහොම කොහොම හරි අන්තිමට කෝල් එකක් ආවා ලංකාව නියෝජනය කරන්න තෝරාගෙන ඉන්න නියෝජිතයෝ 25න් එකෙක් මංතුමා කියලා! නියෝජනය කලේ IMCD ආයතනය.

මෙන්න මේ විදිහට තමයි ඔය තිබිච්ච එකේ official media release එක තිබ්බේ...

9 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුඵවට සමගාමීව 9 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සමුඵව මෙම 10 දා පෙ.ව 11 අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී ආරම්භ විය. මෙම 10 වැනි දා සිට 14 වැනි දා දක්වා පැවැත්වෙන මෙම සමුඵව සදහා රටවල් 44 තරුණ නියෝජිතයන් 102 දෙනෙකු ද නිරීක්ෂකයන් 20 දෙනෙකුද , කාර්ය සාධන බලකාය සදහා 05 දෙනෙකුද , ශ්‍රිලංකාවේ නියෝජිතයන් 25 දෙනෙකුද, නිරීක්ෂකයන් 20 දෙනෙකුද, කාර්ය සාදක බලකාය සඳහා 05 දෙනෙකුද සහභාගිවීමට නියමිතය. ශ්‍රී ලංකාව ඇතුඵ පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 54 ක තරුණ නායක නායිකාවන් ගේ ප්‍රධානත්වයෙන් 1997 වර්ෂයේදී ආරම්භ වූ මෙම තරුණ නායක සමුඵවේ 08 වැනි තරුණ නායක සමුඵව 2011 වර්ෂයේදී ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පැවැත්වූ අතර වසර 02 කට වරක් මෙම සමුඵළු පැවැත්වේ. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සමුඵවේදී ඒ ඒ රටවල් අභිනවයෙන් එකගවූ පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ කවුන්සිලය හා එහි ව්‍යවස්ථාව අනුමත කර විධායක මණ්ඩලයක් පත්කර ගැනීම විශේෂ සිදුවීමක් වනු ඇත.මෙම නව නිළධාරී මණ්ඩලය ඉදිරි සතියේදී කොළඔදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුඵවේදී රාජ්‍ය නායකයන් මුණගැසීමටද නියමිතය. 2013 වර්ෂයේදී පැවැත්වෙන මෙම පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ නායක සමුඵව පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ ජනයාගේ හැරවුම් ලක්ෂයක් බවට පත්වනු ඇතැයි පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයේ තරුණ කටයුතු පිළිබද අධ්‍යක්ෂිකා කැතරින් එල්ස් පැවසීය. මේ සදහා ශ්‍රීලංකාවේ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා විසින් තරුණ කාර්ය සාධන බලකායක් පත්කර ඇත. මෙම සමුඵවේදී උප මාතෘකා 08 යටත් කරුණු සාකච්ඡා වට ගැනීමට නියමිතය. ඒවා නම් • 2015 න් පසු ජාත්‍යන්තර සංවර්ධන සැලැස්ම සදහා තරුණයන්ගේ කාර්යභාරය ප්‍රතිසංවිධානය සහ සමාජ ඒකාබද්ධතාවය. සුබසාධනය සහ සංවර්ධන ක්‍රියාවලිය අරමුණු සපුරාලන ගුණාත්මක අධ්‍යාපනයක්.. තරුණයන් උදෙසා ශිෂ්ඨ සමිපන්න ඵලදායි රැකියා අවස්ථා උත්පාදනය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය අයිතිවාසිකම් තරුණ කටයුතුවල වෘත්තීයභාවය ඇතිකිරීම
මෙම සමුඵව ආරම්භයේදී වෙනස් වූ හැකියාවන් සහිත තරුණ තරුණියන් ඉදිරිපත් කළ සංස්කෘතික ප්‍රසංගය අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ සියලුම ආරාධිත අමුත්තන්ගේ හා සහභාගිකයන්ගේ නෙතට කදුලක් එක්කළ දර්ශනයක් විය.
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල වයස අවුරුදු 18 ත් 29 අතර තරුණ තරුණියන් සහභාගිවන මෙම තරුණ සමුඵව ශ්‍රිලංකාවේ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය , ජාතික තරුණ සේවා සභාව හා පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයේ තරුණ කටයුතු අංශය, පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ හුවමාරු කවුන්සිලය එක්ව සංවිධානය කරනු ලැබේ.

මං තුමා ඔය කරුණු අටෙන් සහභාගී උනේ  අරමුණු සපුරාලන ගුණාත්මක අධ්‍යාපනයක්” සහ “තරුණයන් උදෙසා ශිෂ්ඨ සමිපන්න ඵලදායි රැකියා අවස්ථා උත්පාදනය” කියන කරුණු දෙකේ විවාද සඳහා. මොකෝ රාජ්‍ය විශ්වවිද්‍යාල ශිෂයෙක් නිසා මම ආස කලේ පොඩ්ඩක් අධ්‍යාපනේ ගැන කතා කරන්න. රැකියා ගැන කතා කරන්න යන්න හිතුවේ ඉස්සර ඉදන්ම ඔලුවේ වැඩ කරන මගේම කියලා business එකක් පටන් ගැනීමේ ඇම්ම තව පොඩ්ඩක් වැඩි කර ගන්න.

ලංකාව නියෝජනය කරන අපේ අය අතරේ සුවිශේෂ පුද්ගලයෝ හිටියා. ආබාධිත පරිගණක දෘඩාංග ශිල්පියෙක්, ඒත් එක්ක ලංකාවේ ආදිවාසි ජනතාව නියෝජනය කරන තරුණයෙක් වගේ අය. 

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් ඇතුලෙන් ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය ආදී රටවල් ඇතුළු රටවල් 44කින් ආපු තරුණ නියෝජනය දවස් 5ක් තිස්සේ මේ කරුණු ගැන සාකච්චා පවත්තලා අන්තිමට සකස් කලා “Declaration by the young people of the commonwealth Hambantota, Sri Lanka 2013” කියන පත්‍රිකාව. මේකේ අඩංගු උනේ අර ඉහල තියෙන බරසාර කරුණු 8 සම්බන්ධයෙන් රටවල් වල ආණ්ඩු කරයුතු කරන්න ඕනේ ආකාරය දක්වන ලියවිල්ලක්! කොහොමෙන් කොහොම හරි මේක සම්මත වෙලා කෙරිලා ඉවට වෙද්දී එක දවසක පාන්දර 3යි! (සම්මත කරන්න එච්චර අමාරු උනේ ඇයි මොනවාද තිබ්බ ප්‍රශ්න කියන ඒවා ඉතිං...... )

මම දැක්ක විදිහට ඒ යෝජනාවලියේ තියෙන කරුණු හරියට ක්‍රියාත්මක උනොත් තරුණ ගැටළු ගොඩකට විසදුම් හොයන්න පුළුවන්!

කතා බහ කරගෙන යද්දී දැක්ක දෙයක් තමයි අප්‍රිකා මහද්විපේ සමහර අයට තවම අධ්‍යාපනය කියන එක prestige දෙයක් විතරයි! ඒ රටවල් වල ප්‍රාථමික අධ්‍යාපනයට නැඹුරු වෙන ප්‍රතිශතය හරිම අඩුයි! අඩු වයස් විවාහ, විරැකියාව, ව්‍යවසායකත්වය වගේ කරුණු කාරණා වලට අපූරු විසඳුම් ගොඩක් තරුණ නියෝජිතයෝ ඉදිරිපත් කලා.

තව කොටන්න ගියොත් පණ යනකම් කොටන්න පුළුවන්! වෙච්චි කෙරිච්චි ආතල් සිද්ධි, දුක හිතෙන සිද්ධි එමටයි! හැබැයි ඒ ඔක්කොම මටනම් මිල කරන්න බැරි අත්දැකීම්!
 ඒත් එක්ක ගොඩ නැගිච්ච සම්බන්ධතා...... ;)

මේ CYF එකේදී මම අහපු ලස්සනම කතන්දරේ. සම්පුර්ණ ඇත්ත. මොකෝ මේ කියන මනුස්සයා එක්ක හම්බවෙලා කතා කරලා තමයි මේ කියන්නේ.

මේ ඉන්නේ රවී තේජා මුතු. ඉන්දියන් ජාතික තරුණයෙක්. අවුරුදු 22යි! Green Energy තමයි මිනිහා කරන business එක! සාර්ථක ව්‍යවසායකයෙක් . මෙයා ඉන්දියාවේ තියෙන දුප්පත් කරන්ට් නැති ගමකට දෙනවා solar powered ලාම්පු! හැබැයි ලාම්පුවේ power එක දවස් එකෙන් දෙකෙන් ඉවරයි! කොහොමද ආයේ charge කරගන්නේ ??? මිනිහා දීලා තියෙන්නේ මරු උත්තරයක්! Solar charging panel එක හයි කරලා තියෙන්නේ ගමේ ඉස්කෝලේ! ගෙදර ළමයා ඉස්කෝලේ ගියොත් විතරක් ළමයට පුළුවන් අර ලාම්පුව එදා දවසට ඉස්කෝලෙන් charge කරගෙන එන්න! එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි! 

තරුණ මොළයක්.. තරුණ ශ්‍රමයක් හරිම අපූරු විදිහට ලෝකේ වෙනස් කරන්න යොදවලා... 

ඇයි අපිට බැරි??????
Related Posts Plugin for WordPress, Blogger...