නාඩි සෙට් එක

Sunday, October 16, 2016

සදාදර හිමාලි

සදාදර හිමාලි,
කඩදාසියක් හොයාගෙන මොනවා හරි කුරුටු ගාන්න ඕනේ කියලා හිතා ගත්තේ හිතේ පිරිච්චි කතා ඔක්කොම අකුරු වලට ගුලි කරනවා කියලා හිතාගෙන. කොළඹ හරි නපුරුයි.. කවුදෝ කියලා තිබ්බා. ඔව්... කොළඹ හරි නපුරුයි.. වියලුවේ ඉඩෝරෙට ඔක්කෝම වේලලා කරකුට්ටන් කරලා දාන ගිනි ගහන අව්වටත් වඩා කොළඹ නපුරුයි.
කතාවෙන් කතාව ඔය පැත්තේ විස්තර අහන්නත් බැරි උනා. කොහොමද ඉතින්? අම්මා මේ මාසේ බේත් ගන්න ක්ලිනික් එකට ගියා නේද?මං ගිය සතියේ මනි ඕඩරයක් එව්වා. ඒකෙන් අප්පච්චිටත් බේත් ටික ගන්න පුළුවන් වෙයි. දෙයියන්ගේ පිහිටෙන්  පහුගිය මාසේ දවස් දෙකේ නිවාඩුවට ගෙදර ඇවිත් ආපහු යද්දී බස් හෝල්ට් එකට වෙලා ඔයා කඳුළු පුරෝගෙන මං දිහා බලාගෙන හිටියා මං දැක්කා. දැක්කේ නෑ වගේ බස් එකේ එල්ලුනේ ආපහු බැලුවොත් ආයේ කඳුළු අලුත් වෙයි කියලා හිතලා.
“මමත් එනවා ඊළඟ පාර අයියත් එක්ක කොළඹ යන්න” බරක් පතලක් නොදන්න උඹ එහෙම කියන්නේ ටී.වී එකේ පෙන්නන කොළඹ දැකලා. ඔව්... ඒ කොළඹ හරි ලස්සනයි. උසට උසේ ලයිට් දාපු පතාර බිල්ඩින්. ඒ බිල්ඩින් ඔක්කොම සීත කරලා. උඩහා කන්දේ හුළං කපොල්ලෙන් යද්දී ඇඟට වදින හුළඟටත් වඩා ඒ බිල්ඩින් අස්සේ සීතලයි. හවසට පාට පාට සපත්තු දාගෙන සිමෙන්ති ගඩොල් අල්ලපු පාරවල් වල දුවන මිනිස්සු ගෑනු... හන්දියේ සයිබු නානාගේ කඩේ වගේ සිය ගුණයක් විතර ලොකු කඩවල්. මං දන්නවා උඹ ගොඩක් ආස විදුරු කූඩු ඇතුලේ ලස්සනට පේන්න එක එක ඇඳුම් අන්දපු ප්ලාස්ටික් මිනිස්සු බලන්න කියලා. ඒත් හිමාලි කොළඹ එච්චර ලස්සන නෑ.
කොළඹ වකාරෙට තියෙන පාට පාට තොරොම්බල් ඇතුලේ කළු පාට කතා ගොඩක් හැංගිලා තියනවා. සතියේ දවස් පහේ කිසිම දවසක හරි හමං විදිහට ඉර එළියවත් දකින්නේ නැති අපි වගේ කන්තෝරුකාරයෝ ගිලගන්න ඒ කළු පාට කතාකාරයෝ බලාගෙන ඉන්නවා.
පඩියෙන් හතරෙන් එකක්ම ගෙවලා ඉන්න බෝඩිමේ ඉඳන් ඔපිසියට තියෙන්නේ හැතැම්ම හයක් උනාට උදේ හයටවත් බස් එක අල්ලගත්තේ නැත්නම් රතු ඉර තමයි. එක එක සුවඳ කොලෝන් එක්ක දාඩිය ගඳ කරකැවෙන සින්දු පටෝපු සෙනග අදින බස් එකේ ගුලි වෙලා කන්තෝරුවට ආපුවහම හවස් වෙනකං එකම සුමයයි. උදේට හැටේ බත් එක. දවල්ට කැන්ටිමේ සීයේ බත් එක. චිකන්ද මාළුද එළවලු ද.... කැකුළු බතට ගලේ අඹරපු සම්බෝලෙත් එක්ක උණු උණුවේ කන බත් කටේ රහ ඒ එකකවත් නෑ හිමාලි...
හැමදාම කළුවර වැටුනාම එකම වෙලාවට එළියට පැනලා... කොළ එළිය වැටුනාම එකම කහ ඉරෙන් පාර පැනලා, කණ බීරි කරන හෝන් සද්දේ දාගෙන එන බස් එකකට පැටවිලා, වැරදිලා හරි ඇඟේ වැදුනොත් ගන සැරේට ඔරවලා බලන නෝනා මහත්තුරු ඉවසා වදාරගෙන.... බස් හෝල්ට් එක ළඟ නවත්තන ඉඳි ආප්ප වෑන් එකෙන් රුපියල් පනහේ පාර්සලයක් සිලි මල්ලක දාගෙන බෝඩිමට එද්දී හොඳ පණ ගිහිං.
පයිප්පෙන් සලාකෙට එන වතුර ටිකෙන් නා ගත්තට ඇල වක්කලම ළඟ ලිඳෙන් වතුර දෙකක් ඇඟට හලා ගද්දි එන සනීපෙ කවදාවත් එන්නේ නෑ. ප්ලාස්ටික් කෝප්පෙට හීටරේ ගහලා උණු කරගත්තු වතුර ඩිංගෙන් තේ කහට හදා ගත්තට උඹම හදලා හකුරු ඇබිත්තක් එක්ක දෙන කහට කෝප්පේ එක්ක ඒක ළඟින්වත් තියන්න බෑ.
ආයෙත් හෙට උදේට එකම සිංදුව... මොනවා කියලා කරන්නද... මීගහකිවුලේ උඩහ ගෙදර මද්දුම එකා කොළඹ ලොකු රස්සාවක් කරලා ගෙදර එනකං ගෙදරටම නාකි වෙවී උඹ බලාගෙන ඉන්න ඕනෙම නෑ හිමාලි....
තෙරුවන් සරණයි!
මීට,
ආදර,
බණ්ඩාර

පින්තූරය - http://www.udawalawesafari.com/Udawalawe-Village/

Related Posts Plugin for WordPress, Blogger...