නාඩි සෙට් එක

Friday, July 31, 2020

ඉවර නැති කතාවක්



“723”
ටීවී එකේ එහෙම කිව්වා. ඒ මං ඉන්න වික්ටෝරියා ප්‍රාන්තේ ඊයේ දවස ඇතුළත කොවිඩ් පොසිටිව් වෙච්චි ගාන.. මැච් එකක රිසල්ට් බලනවා වගේ හැමදාම උදේට ඇඳෙන් නැගිටින්නේ මේ අංක ටික චෙක් කරගෙන. දැන් මාස පහක වෙලේ ඉඳන් හැමදාම උදේට මේ වගේ අංක අප්ඩේට් එකක් එනවා.
සීතලට බ්ලැන්කට් එක අස්සෙම ගුලි වෙලා ෆෝන් එක අතට අරගෙන ඊළඟට බැලෙන්නේ ඊ-මේල් ටික. “පේපර් සබ්මිශන් ඩෙඩ්ලයින් එක හෙට...අද හවස් වෙද්දී experiment results ටික ගමු.” මාත් එක්ක වැඩ කරන බංගලි මිත්‍රයා සොහෙල් මට මැසේජ් එකක් දාලා තියෙනවා. “Server එකේ නම්බර් 5 නෝඩ් එකේ driver conflict එකක්. පොඩ්ඩක් බලනවද?” DNA වල සැකැස්ම ගැන මොකද්ද රිසර්ච් එකක් කරන චීන කෙල්ල මින්හුවා වටේටම CC කරලා මේල් එකක් දාලා තියෙනවා. නිදියන ඇඳේ ඉහපත්තේ ඉඳන් හරියටම අඩි හතයි අඟල් හයක දුරකින් තියෙන කම්පියුටර් screen එක දිහා මං හොරෙන් වගේ බලනවා. කරන්න දෙයක් නෑ. ආයෙත් දවසක් පටන් ගන්න දැන් වෙලාව හරි.
“Hey Google.. Good morning”
මං එහෙම කිව්වහම කාමරේ හයි කරලා තියෙන පොඩි ස්පීකර් ගැජට් එකකින් ගැහැණු කටහඩකින් දවසේ නිව්ස් ටික කියනවා. වෙනසක් නෑ. ඒ කතා කරන්නෙත් කොවිඩ් ගැනම තමයි.
“අද උදේ 11 ට ප්‍රෝග්‍රස් මීටින් එකක්. ඇසිස්ටන්ට් ඒත් එක්කම මතක් කරනවා. අවුලක් නෑ. සරමට උඩින් ජැකට් එකක් දා ගත්තහම ඇති. නිදියන ඇඳේ ඉහපත්තේ ඉඳන් හරියටම අඩි පහළවයි අඟල් අටක දුරින් තියෙන කුස්සියට බඩ ගාලා කිරි එකක් හදාගෙන ඇවිත් මැෂින් එක ඉස්සරහින් ඉඳ ගද්දී දහයයි. තව පැයක් තියෙනවා. මං වැඩ පටන් ගන්නවා.
මීටින් එක පටන් ගන්නවා. අපි හැමෝම එකම විදිහට ඉඳගෙන “Can you hear me” කියන සුපුරුදු වාක්‍යයෙන් පටන් අරගෙන කරපු වැඩ ගැන කියාගෙන යනවා. මීටින් එකේ ඉන්න ඒඩ්න් ගේ මිදුල කැමරාවෙන් මට යාන්තමට පේනවා. කොළ හැලිච්චි ගහක් වළාකුළු නැති නිල් පාට අහස ඩිහා බලාගෙන හෙලවෙනව මං බලාගෙන ඉන්නවා. ප්‍රොෆෙසර් ගේ පොඩි එකා දුවගෙන ඇවිත් මීටින් එක අස්සෙම තාත්තාගේ ඔඩොක්කුවේ ඉඳගන්නවා. මීටින් එක ඉවරයි. නිදියන ඇඳේ ඉහපත්තේ ඉඳන් හරියටම අඩි දෙකයි අඟල් තුනක් දුරින් තියෙන පොත් රාක්කෙන් මං reference පොතක් ගන්නවා. අලුත් ප්‍රොජෙක්ට් එකට කියවගන්න පොඩි පැසේජ් එකක් තියෙනවා.
බඩගිනියි.. මොනවා හරි කන්නත් ඕනි. ඊයේ හදපු මාළු හොද්දක් තියේ.. ඒකට සම්බෝලයක් කොටලා ගත්තහම ඇති. ඩෙසිකේටඩ් පොල් ටිකකට උණු වතුර දාලා මයික්‍රොවේව් එකෙන් අරං ලී වංගෙඩියේ කොටන සම්බෝලෙත් එක්ක බඩ පුරෝගන්නවා. රයිස් කුකර් එකේ මොකද්දෝ කේස් එකකට බත් එක පොඩ්ඩක් අඩිය අල්ලලා වගේ. ඒ ටික කන්න බලාගෙන කුරුල්ලෝ සෙට් එකක්ම පිටිපස්සේ කොළ හැලිච්චී මේපල් ගහේ වහලා ඉන්නවා. කුස්සියේ දොර ගාව ඉඳන් හරියටම අඩි දාහතරයි අඟලක් දුරින් තියෙන ලෑල්ල උඩට බත් ටික දාලා මං ආපහු හැරෙද්දිම කුරුල්ලෝ ටික බස බස ගාල ඒ ටිකට වැඩේ දෙන්න පටන් ගන්නවා.
හරියටම අඟල් විසි එකේ මොනිටර් දෙකක් අස්සෙන් කෝඩ් කෑලි එහෙ මෙහෙ කර කර ඉද්දී කොහොම හරි වෙලාව යනවා. වෙලාව පහයි. ඉර බැහැලා ගිහිං. ජැකට් ජර්සි ඔක්කොම පොරෝගෙන මාස්ක් එකත් මූණට දාගෙන මං එළියට බහිනවා. සීතල යන්නත් එක්ක ටිකක් හයියෙන් හයියෙන් ඇවිදගෙන කඩේට ගිහිං එළවළු ටිකකුයි පාන් ගෙඩියකුයි අරං එනවා. ගෙදර දොර ගාව ඉඳන් හරියටම අඩි එක්දහස් නවසිය හැට අටක් කඩේට තියෙනවා.
ගෙදරට එද්දී අම්මා ලංකාවේ ඉදන් කතා කරනවා. ලංකාවේ කොරෝනා උණ අඩු වෙලා චන්ද උණ වැඩි වෙලා කියලා අම්මා කියනවා. ෆෝන් එකෙන් ළඟ ඉඳලා වගේ කතා කෙරුවට හරියටම බන්දුරා හංදියේ ඉඳලා අඩි විසි හත් මිලියන තුන්සිය අනූඅට දහස් දෙසිය අනූහතරක් පන්නල අපේ ගෙදරට තියෙනවා.
කාලා බීලා ඉවර වෙලා මං ෆෝන් එක අතට ගන්නවා. හරියටම අඟල් පහයි ද‌ශම හතක් වෙච්චි screen එකේ මං ඉහළ පහළ යනවා. ඒ අස්සේ උඹව හොයනවා.. මගේ ඇඳ විට්ටමේ ඉඳන් හරියටම….

12 comments:

  1. වින්ටර් එකට සරම් අඳින්න එපා. ට්‍රක් පෑන්ට්ස් වගේ දිග කලිසම් තියෙනවා, ෆැනල් රෙද්දෙන් මහපු. මං හිතන්නේ එකක් ඩොලර් දහයකට විතර ගන්න පුළුවන්. ඊළඟට මතක ඇතුව සොක්ස් දෙකක් දාන්න.

    ReplyDelete
    Replies
    1. කාමරේ ඇතුලේ හෝටර් එකත් දාගෙන ෆැනල් කලිසං ඇදගෙන ඉන්න පට්ට අමාරුයි. :D එළියට යද්දී නම් හොදයි. ගෙදරට ඉතිං සරම තමා. සරමයි අගීස් දෙකයි.

      Delete
  2. la trobe වගේ පේන්නේ. ලංකාවෙන් ආපු අයගෙන් ඕකේ ඉස්සර වැඩිපුරම හිටියේ economics සහ agriculture කාරයෝ

    ReplyDelete
  3. La Trobe තමා. දැනුත් ගොඩක් ඉන්නේ Business school එකේ සහ nursing එකේ උදවිය.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...