නාඩි සෙට් එක

Friday, October 9, 2015

ආෆියා

“දැන් සෙල්ලම් කළා ඇති. හොඳටෝම හවස් වෙලා”

සාරි එකතු කරලා හදපු සෙල්ලම් ගේ අස්සෙන් එළියට ආවේ අම්මාගේ සද්දෙට. ආෆියා සෙල්ලම් ගෙදර අම්මා වෙද්දී මං තාත්තා උනා. දුඹුරු පැටි. අපේ ගෙදර පූසා... ගෙදර පොඩි එකා! මයිල් ගහක්වත් හොලවන්නේ නැතිව සැපේට නිදාගෙන ඉන්න පූස් තඩියා වඩාගෙන අපි සෙල්ලම් දොස්තර ළඟට බේත් ගන්න ගියා. 

සෙල්ලම් ඉස්කෝලේ දාන දවසට මං ළමයා... එයා ටීචර්. අපේ අම්මගෙන් ඉල්ලගත්තු පරණ සාරිය පටලවාගෙන පේර කෝට්ටක් අතට අරගෙන එයා මට ඉගැන්නුවා. 

“මේ ළමයාට මොකක්වත් මතක හිටින්නේ නෑ! හරිම දඟයි. කෝ දික් කරන්න අත!”

බොරු තරහක් අරගෙන කට උල් කරගෙන අතේ තිබ්බ පේර කෝට්ටෙන් එකක් දෙකක් තැලුවා. ඒ කාලේ හරිම සුන්දරයි. 

ආෆියා හිටියේ අපිට එහා පැත්තේ ගෙදර. ආෆියාගේ තාත්තා, ඉම්රාන් අංකල් අපේ අප්පච්චිත් එක්ක එක ඉස්කෝලේ ඉගැන්නුවා. 

දිග කලිසමක් ඇඳගෙන, ඒ උඩින් සුදු ගවුම ඇඳගෙන ආෆියා ඉස්කෝලේ ගියා. උදේ අපිත් එක්කම එකම වෑන් එකේ. හවස ඉස්කෝලේ ඇරිලා අපේ අම්මා අපි දෙන්නවම එක්කගෙන ගෙදර ආවේ හන්දියේ කඩෙන් චොකලට් බෝල පැකට් දෙකක් දෙන්නගේ අතට අරං දීගෙන. 

මුෆිඩා, ආෆියාලගේ අම්මට රසට වටලප්පන් හදන්න පුළුවන්. හැමදාම රාමලාන් වලට හදන පැණි රහ වැඩි වටලප්පම් කන්න අපේ ගෙදර අය මඟ බලාගෙන හිටියා. 

ශිෂ්‍යත්වේ පාස් වෙලා මං කොළඹ ගියත්, හැම සිකුරාදාම හවස මම ගෙදර ආවේ ආෆියා එක්ක කතා කරගෙන. ඕ ලෙවල් ලං උනා. ගණන් හැදිල්ල අරහං වෙච්චි මට ගණන් කියලා දුන්නේ ආෆියා. 

“කොච්චර කිව්වත් මතක හිටින්නේ නැත්තේ හිත වෙන තැනකද දන්නේ නෑ!”

එයා මට විහිළු කළා. 

ඒ ලෙවල් වලින් පස්සේ මං කැම්පස් යද්දී ආෆියා ගෙදර නැවතුනා. එයාගේ මාමා කෙනෙක්ට අයිති බිස්නස් එකක accounting assistant කෙනෙක් විදිහට එන්න කියලා ආෆියාට කියලා තිබ්බා. 

“කැම්පස් ගිහාම ඉතිං අපිව අමතක වෙයිද දන්නේ නෑ”

“පිස්සුද! එතකොට මං කියන පිස්සු කතා අහගෙන ඉන්නේ කවුද?”

ඉස්සර වගේම බොරු තරහක් අරගෙන අහද්දී මං හිනාවෙන් උත්තර දුන්නා. 


...............................................


විභාගේ ඉවර වෙච්චි දවසක තඩි බෑග් එකත් එල්ලගෙන ගෙදර එද්දී ආෆියාලගේ ගෙදර ඉස්සර අලුත් වෑන් එකක් නවත්තලා තිබ්බා. මුළු ඇඟම කළු පර්දාවකින් වහ ගත්තු ගෑනු කෙනෙක් වෑන් එකට නගින ගමන් මං දිහා බැලුවා. තෙත් වෙච්චි කතා කරන ඇස් දෙකක් ඒ අස්සේ හිර වෙලා තිබ්බා.
Related Posts Plugin for WordPress, Blogger...