නාඩි සෙට් එක

Tuesday, December 27, 2016

අශෝකමාලා


වනේ වන කුසුම් පරයන පැහැ වත කමලේ
බාලේ ඉඳන් රැහැ බබලපු නෙත් සඟලේ
කොමළ සිනා කැන් වගුරපු දසන් පෙලේ
මිහිර කෙලෙස මකවන්න ද පපු මඩලේ

උක්දඬු බටනලා සර රස හිඟ උනාදෝ
මොර පලු කෝන් දිව තෙත් නොකලාදෝ
තුන් ගල් ලිපේ ඉදෙනා බත් රස නොවුනාදෝ
පුලා යදින්නට හිත දිරි මදි උනාදෝ

ඇත් අස් සෙනග පිරිවර නැත රැකවල් යන්න
රන්වන් දුහුල් සළු නැත සතපන්න
තන්තිරි මාල නැත ගෙල පටලා රදවන්න
ආල පිරුණු හිත ඇත මදි නොකියන්න

රන්මසු උයන් කෙළි කැප නැත රොඩි දනන් හට  
අඩ මස්සටත් වේ මහජන වැද යදින්නට
සාලිය නාමේ ළඟකින් බෑ තබන්නට
ඒත් හිතේ ආලේ බෑ වහන්නට  

රජ කුමරෙකු රවටපු මායම්කාරි
චණ්ඩාලියකැ වාසල අවමන්දාරි
රන්මසු උයනේ මල් නෙලනා කටකාරි
ඔබමයි තවත් මගේ හිත දිනු හැඩකාරි   



සාලිය අශෝකමාලා පවත ලක් ඉතිහාසයේ පරසිඳු පෙම්  වෘතාන්තයකි. සාලිය කුලගොත් නොසලකා රාජ සම්පත් අතහැර අශෝකමාලා සරණ කොටගත් බව සැබෑව...

නමුදු....

අශෝකමාලාවන්ට පෙම් බැඳී රැහේ එකෙක්ගේ සරය මෙසේ විය නොහැකිද...?


Thursday, November 24, 2016

කාසි

“මෙදා පොටේ නම් පිල්ලෑවේ ගෙදර බබානිස් ගොයියට හොඳටම සරු පාටයි. තාර පීප්පේ වගේ හිටියට ඔය ගෙනාවේ යස රන් තැඹිලි ගෙඩියක් වගේ හාමිනේ පොඩ්ඩක්...”

ආයෙත් අහලා.... කිව්වට ඇස් වහක් කටවහක් නෑ.. අහළ ගම්තුලානක නම් නෑ ඒ වගේ හැඩකාරියක්”
ගම්සභා හන්දියේ සිමියොන්ගේ කඩේ හැමෝගෙම කතාව බබානිස්ගේ කසාදේ ගැන..  

“දවස් තුනක් ම ඔය මඟුල් කෑවේ.. ආයේ අඩුවක් පාඩුවක් කළේ නෑ. රට බීම ගෙනත් දුන්නේ ගමේ උන්ට ඉස්ම යන්ඩ බොන්ඩ! සුදුවා අරවා මෙව්වා වගේද එව්වා! අන්න මඟුල්!”

“ඔව් ඉතිං... රට වටේ ඉන්න උන්ට ගිනි පොලියට ණය දීලා බලෙන්ම වගේ ඉඩම් කඩම් ලියා ගත්තු එකාට බැරියැ ගමට බැරිනං අල්ලපු ගං තුන හතරකට කියලා මඟුල් කන්න!”

මෙච්චර වෙලා සද්ද බද්දයක් නැතිව කොනේ බැංකුවේ කෝපි කෝප්පයක් බිබී හිටපු පීටර් සීයා කියපු කතාවෙන් පස්සේ කවුරුත් මීක් නැතිව ගියා...

බබානිස්.. අවුරුදු හතරකට පස්සේ ගමට ඇවිත් හා හා පුරා කියලා ආයෙත් අහන්න උනේ ඒ මූසල නම! ගම රට අත ඇරලා ගිනි ගහන කට්ට අව්වේ කර වෙවී වැස්සට තෙමි තෙමි සිමෙන්ති එක්ක ඔට්ටු වෙලා හම්බ කරපු හැම තුට්ටුවම ඒ මනුස්සයාට ගිනි පොලී ගෙව්වා.

අප්පච්චි හතර අතේ ණය වෙලා වපුරපු කුඹුරු කෑල්ල පුරන් උනේ මං උසස් පෙළ ඉවර වෙච්චි ගමන්මයි.
“වෙන කරන්න දෙයක් නෑ. කෙල්ලටවත් කොහොම හරි හොඳට උගන්නමු. බබානිසා දැන් ගිනි පොලියටවත් සතයක් දෙන්නේ නෑ හිලව්වට ඔප්පුවක් නැතිව. කොහෙද ඉතිං අපි බැංකු ගානේ යන්ඩයැ! සේසතකට තියෙන්නේ මේ ගේයි ඉඩම් කෑල්ලයි තමා.”

නංගි උසස් පෙළ කරන්න කුරුණෑගල ඉස්කෝලේට ගියා. පන්ති සල්ලි... බෝඩින් සල්ලි... බස් ගාස්තු... වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ. පුරන් වෙච්චි කුඹුරේ කීයක් හරි හොයන්න කියලා ගොඩ වගාවක් දාන්න වෙලට යද්දී සර්පයෙක් කාලා ඔත්පල වෙච්චි අප්පච්චි අතින් පිරවෙච්චි ගෙදර හැඹිලිය පුරවන්න උනේ මට.

“ඔයාට ගම දාල... මේ මං දාලා... කොළඹ ගිහිං ඉන්න පුලුවන්ද අයියේ...”

“වෙන කරන්න දෙයක් නෑ හිමාලි... වැල යන අතට මැස්ස ගහන්න එපැයි ඉතිං... ඇරත් වැඩි කාලෙකට නෙවෙයි. මේ ණය තුරුස් ටික ඉවර කර ගන්නකම් විතරයි.”

වැලි කෙළියේ ඉඳන් එකට හිටිය හිමාලි ඩිංගෙන් ඩිංග පපු කැවුත්තට ලං උනේ ඇවැස්ස නෑනා හින්දම නෙවෙයි.  ඒකිගේ තිබිච්චි අපූරු ලෙංගතුකම ලේ නෑකමටත් එහා ගිය උනුහුමක් ගෙනාවා. සල්ලි වල ඉඩම් කඩම් වල තිබිච්චි හයිකාරකමට නැන්දා අපේ සම්බන්දෙට කොච්චර අහු කොන් පෑවත් නිවාඩු නිස්කලංක වෙලාවක කාටත් හොරා අපි මහ නියරේ කඩාඩුව කැඩෙන වක්කඩ ළඟ මුලච්චි උනා.

උපන්තේකට මේසන් හැන්දක් අල්ලලා නැති මට අහස උසට බදින කොළඹ බිල්ඩින් වල පලංචි දිගේ බඩ ගාන්න උනා. උසස් පෙළ ඉහළින් පාස් වෙච්චි නංගි හන්තානට සින්න උනා.

බීලා ඉවර කරපු කහට කෝප්පේ කඩ ලෑලි ගොඩ උඩින් තියලා මං පාරට බැස්සා. ගම හුඟක් වෙනස් වෙලා. දූවිලි අහුරගෙන රතු පාට ලකඩ බස් එකක් දුවපු පාරට තාර කට්ටයක් වැටිලා.  හන්දියේ තොග කඩෙන් ගෙදරට ගත්තු සිල්ලර බඩු ටිකයි, ඩිස්පැන්සරියෙන් ගත්තු බේත් අප්පච්චිගේ බේත් කවරෙයි අත් දෙකට අරං මං අවුරුදු හතරකට එහා පිටමං වෙච්චි ගෙයි කඩුල්ල හොයාගෙන තාර කට්ටේ අයිනෙන් කකුල් ඉක්මන් කළා...

කොම්පැනි රබර් කෑල්ල ළඟ වංගුව හැරුණු ගමන් පාර අයිනේම බබානිස්ගේ ගෙදර. මඟුල් කාපු ඉතුරු පතුරු තාම අස් පස් වෙලා නෑ වගේ... බබානිස් ගේ ඉස්සරහ හෙන්දිරික්කා ගහ මුල බංකුවේ ඉඳගෙන සද්දෙට සිරික්කිය! අලුත ගෙනා මනමාලිත් එක්ක.

අඩියට දෙකට ඇස් වලට කටු අනින්නා වගේ වෙච්චි මනුස්සයා දෑහට නොපෙනෙන්න පහු කරන්න යද්දී ඇහැ කොනින් දැක්ක දෙයින් මං ගල් උනා!


හිමාලි!!!




Sunday, October 16, 2016

සදාදර හිමාලි

සදාදර හිමාලි,
කඩදාසියක් හොයාගෙන මොනවා හරි කුරුටු ගාන්න ඕනේ කියලා හිතා ගත්තේ හිතේ පිරිච්චි කතා ඔක්කොම අකුරු වලට ගුලි කරනවා කියලා හිතාගෙන. කොළඹ හරි නපුරුයි.. කවුදෝ කියලා තිබ්බා. ඔව්... කොළඹ හරි නපුරුයි.. වියලුවේ ඉඩෝරෙට ඔක්කෝම වේලලා කරකුට්ටන් කරලා දාන ගිනි ගහන අව්වටත් වඩා කොළඹ නපුරුයි.
කතාවෙන් කතාව ඔය පැත්තේ විස්තර අහන්නත් බැරි උනා. කොහොමද ඉතින්? අම්මා මේ මාසේ බේත් ගන්න ක්ලිනික් එකට ගියා නේද?මං ගිය සතියේ මනි ඕඩරයක් එව්වා. ඒකෙන් අප්පච්චිටත් බේත් ටික ගන්න පුළුවන් වෙයි. දෙයියන්ගේ පිහිටෙන්  පහුගිය මාසේ දවස් දෙකේ නිවාඩුවට ගෙදර ඇවිත් ආපහු යද්දී බස් හෝල්ට් එකට වෙලා ඔයා කඳුළු පුරෝගෙන මං දිහා බලාගෙන හිටියා මං දැක්කා. දැක්කේ නෑ වගේ බස් එකේ එල්ලුනේ ආපහු බැලුවොත් ආයේ කඳුළු අලුත් වෙයි කියලා හිතලා.
“මමත් එනවා ඊළඟ පාර අයියත් එක්ක කොළඹ යන්න” බරක් පතලක් නොදන්න උඹ එහෙම කියන්නේ ටී.වී එකේ පෙන්නන කොළඹ දැකලා. ඔව්... ඒ කොළඹ හරි ලස්සනයි. උසට උසේ ලයිට් දාපු පතාර බිල්ඩින්. ඒ බිල්ඩින් ඔක්කොම සීත කරලා. උඩහා කන්දේ හුළං කපොල්ලෙන් යද්දී ඇඟට වදින හුළඟටත් වඩා ඒ බිල්ඩින් අස්සේ සීතලයි. හවසට පාට පාට සපත්තු දාගෙන සිමෙන්ති ගඩොල් අල්ලපු පාරවල් වල දුවන මිනිස්සු ගෑනු... හන්දියේ සයිබු නානාගේ කඩේ වගේ සිය ගුණයක් විතර ලොකු කඩවල්. මං දන්නවා උඹ ගොඩක් ආස විදුරු කූඩු ඇතුලේ ලස්සනට පේන්න එක එක ඇඳුම් අන්දපු ප්ලාස්ටික් මිනිස්සු බලන්න කියලා. ඒත් හිමාලි කොළඹ එච්චර ලස්සන නෑ.
කොළඹ වකාරෙට තියෙන පාට පාට තොරොම්බල් ඇතුලේ කළු පාට කතා ගොඩක් හැංගිලා තියනවා. සතියේ දවස් පහේ කිසිම දවසක හරි හමං විදිහට ඉර එළියවත් දකින්නේ නැති අපි වගේ කන්තෝරුකාරයෝ ගිලගන්න ඒ කළු පාට කතාකාරයෝ බලාගෙන ඉන්නවා.
පඩියෙන් හතරෙන් එකක්ම ගෙවලා ඉන්න බෝඩිමේ ඉඳන් ඔපිසියට තියෙන්නේ හැතැම්ම හයක් උනාට උදේ හයටවත් බස් එක අල්ලගත්තේ නැත්නම් රතු ඉර තමයි. එක එක සුවඳ කොලෝන් එක්ක දාඩිය ගඳ කරකැවෙන සින්දු පටෝපු සෙනග අදින බස් එකේ ගුලි වෙලා කන්තෝරුවට ආපුවහම හවස් වෙනකං එකම සුමයයි. උදේට හැටේ බත් එක. දවල්ට කැන්ටිමේ සීයේ බත් එක. චිකන්ද මාළුද එළවලු ද.... කැකුළු බතට ගලේ අඹරපු සම්බෝලෙත් එක්ක උණු උණුවේ කන බත් කටේ රහ ඒ එකකවත් නෑ හිමාලි...
හැමදාම කළුවර වැටුනාම එකම වෙලාවට එළියට පැනලා... කොළ එළිය වැටුනාම එකම කහ ඉරෙන් පාර පැනලා, කණ බීරි කරන හෝන් සද්දේ දාගෙන එන බස් එකකට පැටවිලා, වැරදිලා හරි ඇඟේ වැදුනොත් ගන සැරේට ඔරවලා බලන නෝනා මහත්තුරු ඉවසා වදාරගෙන.... බස් හෝල්ට් එක ළඟ නවත්තන ඉඳි ආප්ප වෑන් එකෙන් රුපියල් පනහේ පාර්සලයක් සිලි මල්ලක දාගෙන බෝඩිමට එද්දී හොඳ පණ ගිහිං.
පයිප්පෙන් සලාකෙට එන වතුර ටිකෙන් නා ගත්තට ඇල වක්කලම ළඟ ලිඳෙන් වතුර දෙකක් ඇඟට හලා ගද්දි එන සනීපෙ කවදාවත් එන්නේ නෑ. ප්ලාස්ටික් කෝප්පෙට හීටරේ ගහලා උණු කරගත්තු වතුර ඩිංගෙන් තේ කහට හදා ගත්තට උඹම හදලා හකුරු ඇබිත්තක් එක්ක දෙන කහට කෝප්පේ එක්ක ඒක ළඟින්වත් තියන්න බෑ.
ආයෙත් හෙට උදේට එකම සිංදුව... මොනවා කියලා කරන්නද... මීගහකිවුලේ උඩහ ගෙදර මද්දුම එකා කොළඹ ලොකු රස්සාවක් කරලා ගෙදර එනකං ගෙදරටම නාකි වෙවී උඹ බලාගෙන ඉන්න ඕනෙම නෑ හිමාලි....
තෙරුවන් සරණයි!
මීට,
ආදර,
බණ්ඩාර

පින්තූරය - http://www.udawalawesafari.com/Udawalawe-Village/

Friday, September 16, 2016

වෝක් GMOA සහ තවත් අතුරු කතා

සිරි ලංකාවේ සයිබර් වාසී අපි සති පඩි කාරයෝය! ඒ කියන්නේ සතිය ගෙවා ගන්නට හොඳ ලෙල්ලක් අනිවා හැම සතියෙම සුවර් ය. සමහර සති වල බෝනස් එක්ක දෙකක් තුනක් එනවාය. අපි ඉතිං තියෙන ඩේටා ටිකටත් කෙලෝගෙන ඒවාට හුරේ දමනවාය. මොනවා ආවත් ප්‍රභා කිව්වා මෙන් අනිත් සතියේ කලින් එක අතමකය. :D

මං තුමා කොහොමත් ගැජමැටික් වලට ආසා එකා වෙච්චි අයි පෝන් හත එළියට දාපු එක හෙනම ඉන්ටරස්ටින් සිද්ධියක් උනේය. ඊටත් වඩා ආතල් උනේ අපේ උන් ඒවා ගැන හදලා දාපු පොස්ට් බලන එකය. සමහර උන් කියන කතා වලට ස්ටීව් ජොබ්ස් වලෙන් නැගිටලා එයිද කියලත් සුවර් නැත. ඇවිත් අයි පෝන් සෙවන් හැම එකේම බුරුමෙන් හිලක් විද්දවා හෙඩ් පෝන් එක නැත්නම් ඕනේ ඉලව්වක් ගහ ගන්න කියනවා සිකුරුය! 

හැබැයි ඉතින් කොච්චර ස්මාට් පෝන් ගත්තත් සම හරක් අපේ උන් එව්වා පාවිච්චි කරන්න තරම් ඉස්මාට් නැත. වට්සැප් වයිබර් කොලාට තමන්ගේ පෝන් එකෙන් හැමදාම මේල් එකවත් චෙක් කරන්නේ, කැලැන්ඩරේ ඕනේ කරන එව්වා දාගෙන කොරගෙන ඉන්නේ එහෙමත් එකෙක්ය! හැබැයි හැමෝම අතේ කොට්ටයක් වගේ ලෑලි පතුරක් නම් තියනවාමය.  

ස්ලිට් වෝක්
ඒ අල්ල පනල්ලේ අපේ ස්ලිට් එකේ උදවිය වෝක් එකක් ගියේය. ඒ මේ හැමදාම උදේට බඩ අඩු කරගන්න යන වෝක් එකක් නෙවෙයි ය. නැත්නම් ඔය “අන්තරේ” කියන කස්ටිය යන උද්ඝෝෂණ පා ගමනක් එහෙම නෙවෙයි ය. මේවා ටිකක් පොෂ් එකට “චැරිටි” කරන්න “ෆන්ඩ් රේස්” කරන්න යන රේස් ය. මොනවා කිව්වත් වැරිටි කරන එක පට්ට හොඳය. කොල්ලෝ කෙල්ලෝ කාලේ ඔව්වා නොකලොත් වැඩක් නැත. ෆන් ද ගත යුතුය. නැත්නම් ඇත්තටම උන්ගේ ඊස්ට්‍රජන් ටෙස්ටෙස්ටෙරෝන් ශ්‍රාවය වෙනවාදැයි සොයා බැලිය යුතුය. 
අනික උන් දැන ගතයුත්තේ චැරිටි කරන්නේ උන් පමණක් නොවන බවය. ව්ශ්වවිද්‍යාල වල උන්ද බහුතරයක් කොහේ හෝ ඉස්කෝලයක බිල්ඩින් එකක් හදන්න සිමෙන්ති අනා ඇත. පොඩි උන්ට මාස ගණන් නොමිලේ උගන්නා ඇත. AL/OL වර්ක්ෂොප් කර ඇත. උතුරු මැද ඉස්කෝල ගානක ජල පිරිපහදු පද්ධති වලට ටැංකි උස්සං යන්නට ඇත.  වෙනස තියෙන්නේ උන් වෝක් යන්නේ නැතිව කැට හොල්ලලා ස්ටිකර් ටිකක් විකුණා ඒ ටික කර ගැනීමය. 
කොටින්ම කිව්වොත් ඕනෑම කොම්පැනියක් ද CSR කියා චැරිටි එකක් කළ යුතුය. :D 
හැබැයි හැමෝම පීචන් වෙන්නේ ඔය නිදහස වල් බූරු නිදහසක් උනාමය. “ස්ලිට් එකේ ෆර්ස්ට් ඉයර් එකේ කෙල්ලෝ වර්ජින්ද” “නරි බිරුවට සයිටම් වහන්නේ නෑ” වගේ ගොන් පාට් වලින් වෙන්නේ තියෙන හොඳ නමත් කැත වීමය. ඔව්වා ඉතින් කජු කැලේකට හරි පඩිපෙළකට හරි ගිහිං කියා ගත්තාට අපිට කම් නැත.
වෙන රටවල “Reduce the fees” කියා බෝඩ් අල්ලං යද්දී අපේ උන් “ල ළමයාව දාපං ස්ලිට් එකට” කියා බෝඩ් අල්ලං යන්නේ අපි සාපේක්ෂව වෙනස් නිසාය! සමහර විට අපේ මිනිස්සු අම්මටසිරි වෙන්න රිච් නිසාද වෙන්න ඇතිය. :D
අර කවුරුදෝ බුකියේ කියලා තිබ්බා වගේ “සල්ලි දීලා උගත්තු වෙන්න දගලන මෝඩයෝ සෙට් එකයි - නොමිලේ උගත්තු වෙන්න දගලන මෝඩයෝ සෙට් එකයි” පයිට් දමා ගද්දි හබන් කුකුළන්ට ජය මඟුල් ය.

අන්තරේ
හැමදාම මොකක් හරි නිව්ස් එකක් අන්තරේ දෙනවාමය. මේ වෝක් අස්සේ ඔව්වත් එළියට ආවේය. පක්ෂ පාට පැත්තක දාල කතා කලොත් අන්තරේ හොඳ වෙච්චි වෙලාවල් ගොඩක් තියනවාය. උතුරු කොළඹ මෙඩිකල් ෆැකල්ටිය (අද රාගම), අධ්‍යාපන ධවල පත්‍රිකාව, පොඩ්ඩක් හරි හරි ගිය 6% සටන වගේ එව්වාට නරකක් කියන්න බැරිය. නිෂ්මිලා, ත්‍රිමාලා, වෙනුර එදිරිසිංහ ලා ඇත්තටම සමස්ත ශිෂ්‍ය ප්‍රජාවටම ප්‍රේම කළේය. ඇත්ත සමාජවාදියෝ උනේය. 
හැබැයි ඉතිං අද වෙන සමහර එව්වා නම් අනුමත කරන්න බැරිය. උගත් මෝඩයෝ ලෙස හැසිරෙනවා බලං ඉන්න පවුය.  “මිනිසා දේශපාලන සත්වයෙකි” කවුද කියලා තියනවාය. එහෙම කිව්වා කියා ශිෂ්‍ය දේශපාලනය බංකොලොත් පක්ෂ දේශපාලනය එක්ක පටලාවා ගත්තහම නවනින්ගිරියාව ඔක්කොටමය. පේරා උන් මේ ලඟදි electricity පැත්තේ මරු මරු වැඩ කිඩ දමා තිබ්බේය. මොරටුවේ උන් ෆෝමියුලා කප් ගැසුවේය. තව සෙට් එකක් ඉමැජින් කප් එක ලංකාවට ගෙනාවේය. ඔන්න ඔහොම එව්වා පොඩ්ඩක් අප් කරලා ගත යුතුය. 

GMOA මොන්ටිසෝරිය
ඒ අහව් අස්සේ වෙද්‍ය සබාවේ ලොකු උදවිය කේස් එකක් දාගෙනය. ඒ උත්තමයොන්ගේ දරු උත්තමයෝ ටික උත්තම පාසල් වලට විතරක් ඇතුළු කරගන්න කියා වැඩ වර්ජනේ කරන්න යනවාය. දොස්තරලා ජිවකවරු බව සැබෑය. එය රැකියාවක් නොව වෘත්තියකි. තමන්ගේ ගෞරවේ රැක ගන්නට සුදු කෝට් දාන උදවිය දැන ගත යුතුය. නැත්නම් බමුණු පැලැන්තියක් විදිහට අහසින් බැසීම ගෞරවේ ලබා ගැනීමේ උප්පරවැට්ටියක් නොවේ. ඉගෙන ගන්න එකා රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ නෙවෙයි හොරොව්පතානේ මහදිවුල්වැව කනිටු විදුහලට ගියත් ඉගෙන ගන්නවාය. දැනුම් තේරුම් තියෙන මිනිස්සු විදිහට ඩොක්ටර්වරු හිතන්නෙත් මේ විදිහටනම් ඉතිං කවද කතාද?
මේ විදිහට ස්ට්‍රයික් කිරිල්ලෙන් ඔක්කොම ප්‍රශ්න විසඳෙනවානම් කොරන්න තියෙන්නේ පාර පිරිසිදු කරන සින්නම්මාටත් ස්ට්‍රයික් කරන්නටය! රෝයල්ම දියන් කියා කෑ ගහන්නටය!රතු P අකුරු ගැසූ පර්මිට් වාහන පාරේ යන්න බැරි වෙන තුරු කුණු කන්දක් ගොඩ ගැසුවානම් මල් හතය! 

බ්ලොම් එකේ දවස් දෙකක්
කොළඹ මෙඩිකල් ෆැකල්ටියේ බ්ලොම් එකේ කොල්ලෙක් සියදිවි හානි කරගෙනය. අන්ත පව් වැඩකි. පට්ට අවුල්ය. ඊටත් වඩා ප්‍රශ්නේ හොස්ටල් එකක් ඇතුලේ මිනියක් දවස් දෙකක් තිබ්බේ කොහොමද කියන එකය. අපි තුමාලත් අවුරුදු හතරක් හොස්ටල් කල්දේරමේ බත් කෑවෙමු. ඒ දවස් වල හොස්ටල් එකේ දොරක් වහපු දවසක් මටනං මතක නැත. අල්ලපු කාමරේ නෙවෙයි පල්ලෙහාම තට්ටුවේ එකෙක්ට හයියෙන් පඩයක් ගියත් අපේ උන් දනී. එච්චර පිට්ය! සමහර විට කොළඹ ඩොක්ටර් පැකල්ටිය වෙනස්ද අපි දන්නේ නැත.  එහෙ ඉන්න අපේ මලයෙක් කියපු හැටියට “අපිට හොඳටම වැඩ නේ අයියේ. රෑ හතෙන් විතර පස්සේ ඉතින් පාඩම් කරනවා. කට්ටිය මොනවා වෙනවද එහෙම දන්නේ නෑ” ඔහොම ඉගෙනගෙන දොස්තර නෙවෙයි කොන්දොස්තර කෙනෙක් උනත් වැඩක් නැතිය!

මනුස්සකම් නැති එකාගේ ඉලව් මගුල් නෙවෙයි මිනියවත් අපිට එපාය! 

කතා හතර පහක් උනාට පේන කෙරෙන හැටියට මේ ඔක්කොම එකට ඈදෙනවාය. රටේ උගත්තු, තරුණ කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම කාගේ කාගේත් නූල් රූකඩ වේගන එන බව නාඩි අන්නශ්‍රෝතයට වැටහීගෙන එනවාය.

Monday, August 22, 2016

රංගධරයාගේ බිරිඳ

ඔහු නැත සැම විටම ළඟ පාතක...
ඇත ඒ විටක ඈ ළඟ තිරය පිටුපස...
සුසුම් හෙලුවත් දැනුනේ මටම මිස
වළකනු කෙලෙස ඉකි බිඳුමන් ගැහැණු හිතකට

ආලින්දය පිරි පිත්තල සම්මාන ගොන්නට
පෙනෙනා ආලිංගන රඟනා ඔහු මැදි කොට
සැප එරෙන මෙට්ටයට බර දී
නො ඔරවා සිටින්නේ කෙලෙස රූ පෙට්ටියට

බදු ගත් පළල් උර මත සැතපෙවෙන ළඳකට
බුරුසු රැවුලේ පහස ලැබූ ඕ ගත පිපුණු හිරි ගඩුවකට
සාප නොකරනු කියම් කෙලෙසද
කෙලෙස් සපිරුණු මිනිස් ළඳකට

නිදහසේ තොදොල් වන්නට
යන විටෙක උයන් කෙළියට
කෙලෙස ඉවසම්ද කරන කෝලම
ඇදෙන කෙල්ලෙන් සෙල්පි ගැනුමට  

යනෙන හැම තැනකම
ලැබෙනා පුද සත්කාර අඩු නැතිවම
කඳුළු ගෙන දෙයි දෑසට
උදම් වනවා වෙනුවට
Related Posts Plugin for WordPress, Blogger...