නාඩි සෙට් එක

Thursday, March 20, 2014

රාධා


“යුද්දේ ඉවර වෙලා අවුරුදු ගානක් ගියත් අපේ අයගේ හිත් ඇතුලේ යුද්ධේ තාම ඉවර වෙලා නෑ රාධා..” 

මොනරගල කෙළවරින් රතු පාටට ගිනියම් වෙච්චි ඉර බැහැලා යනවා. ආකාසේ පාවෙන වලාකුළු අමුතුම පාටක් අරගෙන සැර හුළං කොඩේට අහු වෙලා ආරාධනා ගල පැත්තට තල්ලු වෙනවා. හුළඟ නැවතිලා ඉගිල්ලිලා යන්න හදපු කොහොඹ ගහේ අලුතින් ලියලපු දළු සද්ද නැතිව පාතට වැක්කෙරෙනවා. තාමත් මෙහෙන්දි පාට ගිහිං නැති හීනි දිග ඇඟිලි වලින් මෙච්චර වෙලා හුළඟට දඟ කරපු කෙස් කැරැල්ල ආයේ උඩට කරන ගමන් රාධා මං දිහා බලනවා.

“ඒක මම දන්නවා.. ඒත්....”

“නෑ රාධා කවදාවත් අපේ අප්පච්චිලගේ අම්මලාගේ හිතන විදිහ වෙනස් කරන්න බෑ. එකම රතු ලේ අරවා මේවා කොච්චර බයිලා ගැහුවත් ඔයා ගැන කිව්වහම මං දිහා බලන්නේ නිකම් මිනියක් මරලා ගෙදර එනවා කියන්නා වගේ.”

රාධා.. ඔව්.. එයා දෙමළ... පුංචි කාලේ යාපනේ හැදිලා වැඩිලා තිබ්බට යුද්දේ පටන් ගන්නකොටම වගේ යාපනේ ගෙවල් දොරවල් අත ඇරලා කොළඹ ඇවිත්. අවුරුදු දෙකකට ඉස්සරලා කයිමන් දොරකඩින් ඇතුලට ඇවිත් “අමරේ” රෙජිස්ටර් වෙන්න ආපු දවසෙත් ඉනෙන් පහළටත් කඩා හැලෙන ගොතපු දිග කොන්ඩේ උඩට වෙන්න පොඩි පිච්ච මල් දෙකක් තුනක් ගහලා තිබ්බා මට මතකයි.

“ආ.. කෙල්ලට තේ දළු කඩන්න කියලා තෝ වත්තේ මහත්තයා වගේ රඟ පාපන් බලන්න”

සින්නෝ ටිකක් “හිල්ටන්” එක ලඟදි අල්ලගෙන පුංචි පහේ rag එකක් කරද්දී ලෙච්චමී උනේ “රාධා. එදා ඉඳන් උදේ හවස හම්බුනත් හිතේ කියාගන්න බැරි මොකක් හරි හිර වෙලා තියනවා කියලා දෙන්නටම තේරිලා තිබ්බා. 

“උඹ සෝෂල් එක පැත්තේ රවුම් ගහනවා වැඩියි.....”

 මෙලෝ හසරක් තේරෙන්නේ නැති සුගතයාගේ ලෙක්චර් එක කට් කරලා සෙනට් එකේ පඩි පෙළ යටට වෙලා සිය ගානක් වෙච්චි සෝෂල් කෙල්ලෝ මැද්දෙන් මතු වෙන ඒ දොඹ ගෙඩි වගේ ඇස් දෙක බලාගන්න වලි කාපු මාව අපේ උන්ට නෝට් වෙලා තිබ්බා.   

“අම්මලා අප්පච්චිලා හිත රිදෙන දෙයක්නම් නොකරන එක හොඳයි... ඒත්.....” 

“පච බංකුවේ” එහා පැත්තේ ඉඳගෙන රාධා ඇස් දෙක තවත් ලොකු කරගෙන මං දිහා බලාගෙන ඉන්නවා. කවදත් හෙවණේට තිබිච්ච පච ගහ මැද්දෑවෙන් හීනියට එන රතු පාට ඉර අව්වට ඒ ඇස් දිලිසෙනවා. කඳුළු....

“මෙයා දැන් කවි පොත් කියනවා වැඩියි!”

“ඇයි අපිට කවි අකැප ද?”

“නෑ ඕවා කියවලා ඔය කෝඩ් බෝඩ් ඔක්කොම අමතක වෙලා යයි!”

ලයිබ්‍රිය ඉස්සරහ තෙල් බැම්මට වෙලා අපි වාද කළා. ෂ්‍යාම් සෙල්වදුරෙයි අමුතු ඉලන්දාරියෙක් උනේ ඇයි කියලා අපි පැය ගණන් කතා කළා. මෙච්චර තාක්ෂනේ දියුණුයි කියලා කෑ ගහන ලෝකේ ප්ලේන් එකක් නැති උනොත් හොයා ගන්න සති ගානක් යන එකේ මගේ කන්නාඩි දෙක හොයාගන්න මට පැය ගානක් යන එක පුදුමයක් නෙවෙයි කියලා රාධා මට විහිළු කළා.  

ඒ දවස ආවා. කළු පාට ලෝගුව පොරෝගෙන එයා යන්න ගියා. තවත් අවුරුද්දක් ලුණු නැති බත් එකේ රහ බල බල හිටපු මම ඇස් ලොකු කරලා හීනියට හිනා වෙන රාධා අමතක කරන්න වලි කෑවා.

අවුරුද්දක් ගිහිං. අලුතින් කාපට් දාපු කැම්පස් එකේ ඇතුලේ පාරවල් පිරෙන්න කිචි බිචි ගැන සෙනඟ පිරිලා. රතු පාට ලෝගු දාපු කට්ටිය පිටිපස්සෙන් අපිත් ඇතුලට ගියා. උපාධි බම්බුව අතට අරගෙන එලියට බහිද්දී මං ගල් ගැහුනා!

 Congratulations….ආ.. අපේ cousin නංගි කෙනෙක් medical එකේ හිටියා. එයත් අද cloak දානවා. ඒ නිසා ආවා. Sorry... අදුන්නලා දෙන්නත් අමතක උනා. මේ රාජ්.... My husband. We married last December.”




ඔව්.. ඒ රාධා!


පසුසටහන : අකුරු ඇමුණුමේ සමහර වදන් රජරට සරසවි උප සංස්කෘතියෙන් පෙරී ආ ඒවාය. රාධා මනකල්පිත චරිතයක් නොවුනත් මේ මගේ කතාව නොවේ. Off road යාමට බිය වූ කතා කාරයා මෙන්ම රාධා seat belt තද කරගත් යෞවනයේ තවත් එක් කැඩපතක් පමණි. 
  
Related Posts Plugin for WordPress, Blogger...