නාඩි සෙට් එක

Sunday, June 21, 2015

සංවේදනා

සුලෝචනා කම්බි දැල අතරින් බලාගෙන හිටියා. කොච්චර වෙලාවක් එකම විදිහට එහෙම බලාගෙන හිටියද කියන්නේ සුලෝචනා දැනගෙන හිටියෙත් නෑ. ලස්සනට මැද්දෙන් බෙදපු බෙල්ල ගාවට දික් වෙච්චි කොන්ඩේ උලුවස්සෙන් ඈතට පේන්නේ නැතිව යනකං බලාගෙන හිටියා. 

“එයාගේ නම නිසල්” 

ගිය සතියේ දවසක පන්ති ඔක්කොම එකතු වෙලා කරපු ක්‍රීඩා උත්සවේ වෙලාවේ හරිම අමාරුවෙන් නම හොයා ගත්තේ. අනිත් ළමයි ඔක්කොම සෙල්ලම් කරත් නිසල් සෙල්ලම් කළේ නෑ. හිනා වේවි පැත්තකට වෙලා බලාගෙන හිටියා විතරයි. හැබැයි ඇස් වලින් හිනා වෙන ඒ අපූරු මූණ දිහා බලන්නේ නැතිව ඉන්න සුලෝචනාට බැරි උනා. හැංගිච්චි අහිංසකකමක් ඒ ඇස් වල තිබ්බා.

එදා සුලෝචනා නිසල් දිහා බලලා හිනා උනා. හැබැයි නිසල් දැක්කේ නෑ වගේ අහක බලාගෙන හිටියේ. “අපෝ ඒ කොල්ලගේ ගණන්!” උඩු හිත එහෙම කිව්වට යටි හිත හැම වෙලේම ඒ ඇස් මතක් කළා. 

හැම අවුරුද්දේම ඉස්කෝලේ විවිධ ප්‍රසංගය දවස කියන්නේ සුලෝචනා ආසම දවසක්. “ඔයා හරි ලස්සනට නටනවා. බලාගෙන ඉන්න ආසයි.” ඉස්කෝලේ ළමයි විතරක් නෙවෙයි. ටිචර්ලත් සුලෝචනා ලඟට ඇවිත් කියනවා අහන්න ඈ ආස උනා. උඩරට නැට්ටුකාරියක් විදිහට දිලිහෙන ඇඳුම් ඇඳලා ඉණ ලඟට වැටෙන බර කොන්ඩේ ඉහළට කරලා ගැට ගහගෙන පාහින්පතෙන් වහගෙන ස්ටේජ් එක උඩට යන්න සුලෝචනා හැම වෙලේම ආස උනා. 

“නටද්දී ඉස්සරහ විතරක් බලලා මදි!!!” නැටුම් ටීචර් රිහසල් කරද්දී කෑ ගහද්දි සුලොචනාට ලජ්ජා හිතුනා. හොරෙන්ම කම්බි දැලට එහා පැත්තේ නිසල්ලෑ පන්තිය දිහා බලනවා ටීචර් දැකලාවත්ද... 

ඉන්ටවල් එකේ අත හෝදන්න ටැප් එක ලඟට ගියත් සුලෝචනා බැලුවේ නිසල් ඉන්නවද කියලා. ඒ වෙද්දීත් එයා අත හෝදගෙන යන්න ගිහිං. තව යාලුවෙක්ගෙ කරට අත දාගෙන කැරළි ගැහිච්චි ඒ කොන්ඩේ ආපහු පන්තිය ඇතුළට යනවා සුලෝචනා දැක්කා. 

ගඟ ඉහත්තාවට වැස්ස දවසට වෙලේ කඩාඩුව කඩාගෙන මහා හයිකාරයෙක් වගේ පහළ ඇළ වෙල ඇතුලට කඩා වදින්නා වගේ සුලොචනාගේ හිතට කිදා බැහැපු ඒ අපූරු හැඟීම තවත් හංගගෙන තියාගන්න ඒ අහිංසක හිතට ඕනේ උනේ නෑ.

පහුවදාම සුලෝචනා ලස්සන රවුම් අකුරෙන් සුවඳ කොළේක එයා ලෝකේ දැනගෙන හිටපු ලස්සනම වචන තුන ඇන්දා...

“මං ඔයාට ආදරෙයි”

ඉන්ටවල් එක ඉවර වෙන්න බෙල් එක වදින්න ඔන්න මෙන්න තියලා සුලෝචනා ඒ අපූරු සුවඳ කොළේ නිසල් අතට ගුලි කළා. 

“මොකද්ද මේ...?” 

නිසල් කොළේ දිහාවත් සුලොචනාගේ මූන දිහාවත් බලන්නේ නැතිව ඈත බලාගෙන ඇහුවා.

සුලෝචනා දන්න විදිහට අත් පය කරකවා කරකවා කොළේ තියෙන දේ එයාට පුළුවන් භාෂාවෙන් කියන්න බැලුවා. 

“මට කියවන්න ඇස් පේන්නේ නෑනේ. ඔයාට මේක මට කියවන්න පුලුවන්ද..” නිසල් හරි අහිංසක විදිහට ඇහුවා. 

“උපතින්ම ගොළු වෙච්චි සුලෝචනාගේ මුවින් හීනි ඉකිබිඳුමක් හුළඟට එකතු උනා.  


පින්තූරය - shayari-ki-diary.blogspot.com
Related Posts Plugin for WordPress, Blogger...