නාඩි සෙට් එක

Thursday, May 31, 2012

කොම්පීතර


අද නාඩියා කොටන්න හිතුවේ පහු ගිය දොහක ඇතුගල්පුර කොරපු මෘදුකාංග එක්සිබිසං එකේ ඉද්දි ඔළුවට එන්ටර් වෙච්ච අයිඩියාර් ටිකක්..

ඔන්න ඉතින් උදේ පාන්දරම ආදරණිය ඉස්කෝලේ නංගිලා මල්ලිලා ටික ටිචර්ලත් එක්ක ප්‍රදර්ශනේ බලන්න ආවා...අවුරුදු දෙක තුනකට ඉස්සර වෙලා අපිත් මෙහෙම් ආවනේ කියලා ඒක දැකල මට හිතුනා..සමාරම්භක උත්සවේ එහෙම තියලා...පොල්තෙල් පහන එහෙම පත්තු කොරලා...වැඩේ පටාන් ගත්තා....

අපිත් ඉතින් දන්න කියන වැඩ දාල අපි දන්නා කියන දේවල් මතු පරපුරට කියලා දෙන්නා සෙට් උනා.ඉස්කෝල වලින් එන්න කියලා තිබ්බේ O/L, A/L තොරතුරු තාක්ෂනය ඉගෙන ගන්න ළමයින්ටයි..ඒ විෂය වලට සම්බන්ධ ගුරුවරුන්ටයි..

පැහැදිලි කිරීම් පටන් ගත්තා..විස්තර කරන්නේ Software Development ගැන..Java ක්‍රමලේඛන භාෂාවේ තියන වරුණේ ගැන එහෙම ඉතින් කියනවා.ළමයි පුදුම වෙලා වගේ ඒක එක්කෙනාගේ මුණු දිහා බලන්න පටන් ගත්තා!පේන විදිහට වැඩේ අවුල් වගේ!කරගෙන ගිය ඒක නවත්තලා අපි පොඩ්ඩක් audience ඒකෙන ප්‍රශ්න අහන්න පටන් ගත්තා..

IT කියන්නේ මොන වගේ subject එකක් කියලද නංගිලා මල්ලිලා හිතන්නේ?”
“..........(නිශ්ශබ්දතාවය)”

Software එකකින් අපි කරන්නේ මොනවගේ දෙයක්ද?”
“ම්ම්ම්.......ම්ම්ම්.....”

මොනවද නංගි මල්ලි ඔයාලා දන්න software?”
ම්.....word….windows…….ම් .....”

මාර සිද්ධිය!ඉස්කෝලේ ICT විෂය කරන අයවත් මේ ගැන කිසිම අවබෝධයක් නෑ!හරිම දුකයි!අපි මහා ලොකුවට කියනවා ලංකාවේ තොරතුරු තාක්ෂණ දැනුම හරිම දියුණුයි...පරිගණක සාක්ෂරතාව බොහොම වැඩියි කියලා!හැබැයි ඒක නෙවෙයි  ලංකාවේ ඇත්ත තත්වේ!

ඇත්තම කිව්වොත් අපි සංගණන වලදී පරිගණක සාක්ෂරතාව මනිනවා කියලා කරන්නෙත් බොරුවක්!2011 සංගනනේ(හැබැයි ඒක තිබ්බේ 2012 මේ අවුරුද්දේ!)අපි සාක්ෂරතාව කියලා ගත්තේ කොම්පිතරයක් ඕන් කරගන්න පුලුවන් කස්ටියනේ!ඇත්තටම ඒකටද  පරිගණක සාක්ෂරතාව කියන්නේ????

  ඉස්කෝල වලත් කියන්න හැම වෙලාවෙම අපිට පහසුකම් නෑ!ප්‍රමාණවත් තරම් ගුරුවරු නෑ!ඒ වගේ චොකා බයිලා!හැබැයි ඇහුවොත් internet නම් තියනවා කියලා කියනවා!ප්‍රයෝජනයක් ගන්න පාටක් නම් පෙන්න නෑ!පාසල් බොහොමයකගේ පරිගණක විද්‍යාගාර ප්‍රින්සිපල්ගේ  හරි සර් කෙනෙක්ගේ හරි පෞද්ගලික දේපලක් බවට පත් කොරගෙන!

අනිත් දුක හිතෙන දේ තමයි ලංකාවේ ළමයි කොම්පීතර කියලා හිතන්නේ windows වලට!Bill Gates මාමට පශ්චාත් භාගෙනුත් හිනා යයි මේවා අහලා!පවු නේ!මොකද ඉතින් අපි මේකට කොරන්නේ????ඇස් ඇරගෙන කට බලියන් බලන් ඉමුද???අපිය කොරන්න පුළුවන් දෙයක් කොරමුද??මොකද පඩුපුල් ආසනේ කවදා උණු වෙයිද දන්නේ නෑනේ!

Saturday, May 26, 2012

අම්මියෝ මට බැරියෝ!!!!

අද උදේ මම ශරීර කර්තව්‍යන් එහෙම ඉෂ්ට සිද්ද කොරලා ඊයේ ඇදපු shirt එකටම සෙන්ට් ජුන්ඩියක්  හලාගෙන පාරට බැහැලා ඇතුගල්පුර සුන්දර වීදි දිගේ පිය මනින්නට පටන් ගත්තා...අතිඅලන්කෘත විදිහට ජාතික සුනඛ ප්‍රජාව සලකුණු කරපු පාර දිගේ යනකොට දුක හිතෙන සිද්දියක් සෙන්ටිමෙන්ටල් උනානේ...

තොල් රතු කොරපු කොන්ඩේ කොටට කපලා...තෙල් ගාලද කොහෙද ඇද ගත්ත ඩෙනිමකට අඩියක් විතර උස ටොක ටොක සපත්තු 2 ක් දා ගත්ත අම්මා කෙනක්?(හරියට දන්නේ නෑ..මම ළමයාගේ උප්පැන්න සහතිකෙයි..නෝනගේ කසාද සහතිකෙයි බැලුවේ නෑ!හික්ස්...) ළමයෙක්වත් ඇදගෙන ටියුෂන් කඩයක් පැත්තට දුවනවා!!පොඩි එකාගේ ඇස් වල කඳුළු...ඌ පන්ති යන්න බැරියෝ කියලා අඩනවා..නාඩියට පවු කියලා හිතුනා..

පොඩ්ඩක් වට පිට බලපුවහම ඒ මොඩල් එකේ items 20 ක් 30 ක් ළමයි ඇදගෙන යනවා!!පිස්සු බම්ප් වෙනවා!අඩේ...මොකද්ද යකෝ මේ අද්‍යාපන ක්‍රමේ??

ළමයෙක් ඉපදුන ගමන්ම ඒකට හොද බුද්ධිමය තත්ත්වයක් ලබා දෙන්න කියලා අම්මල පොඩි එකාට කියාකාරකම් කරෝනවා!ඒකනම් අවුලක් නෑ කියමුකෝ...පොඩි එකාට අම්මා තාත්තා කියලා යන්තම් කියා ගන්න පුළුවන් උන ගමන් එලකියුෂන් කියලා ටියුසන් කඩ හොයා හොයා යවනවා..පොඩි එකා අඩුම ගානේ සිංහල භාෂාවේ අකුරු කීයක් තියනවද කියලා දන්නෙත් නෑ!ඌට ඉන්ගිරිසි අකුරු 26 පාඩම් කොරවනවා!

යන්තම් අවුරුදු 3 ක් උන ගමන් මොන්ටිසෝරි!ගමේ එකට බැරි නම් “ඉන්ටනැෂනල්” එකක් හොයලා යවනවා!උදේ පාන්දර 6 ට විතර නැගිටලා..ටයි බයි තද කොරගෙන පුංචි උන් යන හැටි දැක්කම දුකේ බැරුවා!

මොන්ටිසෝරි විතරක්නම් මදැයි!ඒකටත් ටියුෂන්!රවුම් අදින්න බෝල පාට කරන්න මොන ටියුෂන්ද බොලවූ!

ඊට පස්සේ කොහොම හරි try එක දෙන්නේ ගෙදර ඉදන් පැය දෙක තුනක දුරින් තියා ලොකුයි කියන ඉස්කෝලෙකට පොඩි එකාව තල්ලු කර ගන්න.එකට ඉතින් විවිධ වූ ක්‍රම සහ විධි අනුගමනය කරන්න වෙනවා!අත යටින් ගනුදෙනු බැරිනම් වෙන වෙන ඒවා හරි ප්‍රින්සිපල්ට දීල වැඩේ ගොඩ දා ගන්න තමයි හැමෝම බලන්නේ...

හෝඩියේ පන්තියේ ඉදන් ශිෂ්‍යත්ව පන්ති!ලකුණු 200න් 300 ක් ගන්න විතර පන්ති තොගයකට පොඩි උන් ටික තල්ලු කරනවා!අම්මලා ටිකටත් වෙන වැඩක් නෑ..class එක ඉවර වෙනකම් අනිත් බවලත් ජනතාවත් එක්ක එකතු වෙලා කොන්ඩේ අයන් කොරන හැටි!බිත්තර නැතිව වටලප්පන් හදන හැටි!එහා ගෙදර සිල්වා ඇන්ටිගේ බාල දුව ජම්ප් ඇන්ඩ් ගොයින් කොරපු හැටි....සිද්ධි ගොඩයි!

සිස්සත්වේ හදලා තියෙන්නේ අඩු අදායම් ලබන පවුල් වල ඉන්න දුප්පත් දක්ෂ දරුවන්ට ඉගෙන ගන්න උදව්වක් කරන්නයි...නේවාසික පහසුකම් තියන පාසලකට යන්නයි කියන එක තේරෙන්නේ නෑනේ මේ අම්මලා වහන්සේලාට!

නාඩියත් සිස්සත්තේ ලිව්වා!හැබැයි හොද වෙලාවට අපේ අම්මටයි අප්පච්චිටයි  එච්චර කැසිල්ලක් තිබ්බේ නෑ මාව ඒකට මරවන්න..යන්තම් කොල්ලා පාස් උනා!ලකුණු 150 යි!132 න් පාස් කොලේ!ඇතිනේ..හැබැයි ඉතින් ඔය හොදයි කියා ගන්න ඉස්කෝල වලට කොල්ලව ගන්න බෑ කිව්වා!යාලුවෝ ටික ඔක්කොම් ඒ ඒ ඉස්කෝල වලට ගියා!
 “හොද වැඩේ!දැන් ඉතින් ඔයාගේ පුතාට ඉන්න වෙන්නේ ගමේ මෝඩ ළමයි ටිකක් එක්ක තමයි!” 
අපේ අම්මට කවුදෝ කෙනෙක් කියලා තිබ්බා!කොහොම කොහොම හරි O/L වලදී නාඩියා “A” ම 10 ක් ගත්තා! එක සැරෙන්ම කැම්පස් එකටත් ගියා..තනිවම නෙවෙයි!අර මෝඩයි කියලා ගමේ ඉස්කෝලෙම හිටිය කොල්ලෝ කෙල්ලෝ 13 ක් එක්ක!හැබැයි දුක තමයි අර 5 න් ටවුමේ ඉස්කෝලෙට ගිය යාලුවෝ කවුරුත් අපිත් එක්ක කැම්පස් යන්න ඇවිත් හිටියේ නෑ!

සිස්සත්වේ ඉවර වෙලත් නවත්තන්නේ නෑ!එක විෂයට පන්ති 3 කාටවත් අඩුම ගානේ යවන්න ඕනේ!නැත්තං තත්ත්වෙට හරි නෑ..බුද්ධාගමටත් ටියුෂන්!නයි කයිද බුල්ටොත් එක්ක පාන් කියපි!!

නාඩියට මීටර් වෙච්ච අලුත්ම ජල්තරේ තමයි දැන් ළමයින්ට sports එහෙම කොරවන්නෙත් status තියා ගන්නලු!
 “අපේ පුතා chess කරනවනේ..මේ ටිකේ එයාට leather  practice වැටීලත් තියනවා මෙයා..ඒ නිසා swimming වලට යන්නත් බැරි උනා!!” 
දවසක් මම ඉස්කෝලයක් ලගට වෙලා බුල්ටෝ එකක් හප හපා ඉද්දි මීටර් උන ටෝක්ස් එකක් ඔය..(බාලිකා පාසලක් නොවේ!නැත්නම් උඹලා මං ගැන වැරදියට හිතන්න පුළුවන්!) පවු ඉතින් පොඩි එකා!අඩුම ගානේ ඌට දවල් එළියේ ගෙදර මිදුල දකින්නවත් වෙලාවක් නැතිව ඇති!  

හැබැයි ඉතින් O/L විතර වෙද්දී අම්මලාගේ විභාග ගුරුවරුන්ගේ විභාග වලට හැරෙනවා!ගුරුවරු තමයි ළමයින්ටත් වඩා මහන්සි වෙන්නේ...

5 වසරේදී පොඩි එකා කොහොම හරි දොස්තර කෙනෙක් කොරනවා කියපු අම්මලා සමහරක් A/L කරද්දී තමන්ගේ එකා කොන්දොස්තර කෙනෙක් වෙයිද කියලවත් හොයලා බලනවා හරිම අඩුයි!(අනේ හැබැයි බහුතරය එහෙම නෙවෙයි!!!)

A/L කාලේ class යන හැටි ඉතින් වෙනම subject එකක්! ඒ ගැන පස්සේ කොටන්නම්.....අද ගොඩක් කොටන්න අමාරුයි..දවස් දෙකක්ම software exhibition කියලා එකක් කොලානේ...මහන්සියි...එකේ විස්තර ටිකත් ලගදීම කොටන්නම්කෝ..


ප.ලි.
අර උදේ ගිය ඇන්ටිගේ නොම්බරේ තියනවනම්…..මොනවා උනත් සීදේවී ඇන්ටි පොඩ්ඩ! Hikzzz

Monday, May 21, 2012

මම....


අම්මා කියන්නේ...
අවුරුදු තුනකින් හොද රස්සාවක් එක්ක ගෙදර එන ලොකු මහත්තයෙක්..

තාත්තා කියන්නේ..
මගේ දාඩියෙන් කාල ඇදලා ඉන්න ලොකු උගතෙක්..

පන්සලේ ලොකු හාමුදුරුවෝ හිතන්නේ..
ගමටම ආදර්ශයක් වෙච්ච ධෛර්යවන්ත තරුණයෙක්!

යාළුවෝ හිතන්නේ...
ආතල් life එකක් ගත කරන කොල්ලෙක්! 

ගමේ අය කියන්නේ..
ආ....රතු පක්ෂේ එකෙක්!!

රටේ මිනිස්සු හිතන්නේ..
පොඩි දේටත් උත්ගෝෂණ පිකටින් කරන උගත් මෝඩයෝ රැලක්!

පොලිසිය හිතන්නේ..
බැටන් පොල්ලේ හයියයි..කඳුළු ගෑස් සැරයි test කරන්න ඉන්න ඩමියක්!

දියවන්නාවේ ඇත්තෝ හිතන්නේ..
නිදහස් අධ්‍යාපනයේ වැරදි අතුරුපලයක්!

ලෝක බැංකුව හිතන්නේ..
සංවර්ධනයට තියන ලොකු බාධාවක්!
ඒත්....
මම නම් හිතන්නේ....
මම....
කකුල් අත පය බැදලා දාපු...
කටට ප්ලාස්ටර් අලවපු
ආඩම්බරකාර තාත්තගේ අවජාතක පුතෙක්!!

Tuesday, May 15, 2012

සැප් 22 අනතුර - නාඩියා සහ තල් කිරි!


 මේ නාඩිය ටිකක් පරණ එකක්!ටිකක් කිව්වට ටිකක්මත් නෙවෙයි....මාස 7 ක් 8 ක් විතර...නාඩියාට සිද්ද වෙච්ච පොඩි ජල්තර් කේස් එකක්!බුකියේ තමයි පබිලිස් කොරලා තිබ්බේ...



මා මේ ලිපිය ලිවීමට අදහස් කළේ මගේ ශ්‍රි නාමයට අපහාස වන අයුරේ ප්‍රකාශ ෆේස්බුකිය හරහා පැතිර යාමට පටන් ගෙන ඇති නිසාය.
මා හට අනතුරක් සිදු වූ බව ඇත්තකි....එය සැකවින් මෙසේය....

සැප් 22  රාත්‍රි 10.05 පමණ නාඩියා නාඩිරත්න  වන මම මාගේ නිවසේ කෑම කාමරයට වී තල් කිරි කෝප්පයක් පානය කරමින් සිටියෙමි.හදිසියේ  මේ මල ඉලව් තල් කිරි මාගේ පිට උගුරේ ගියාය...මට සිහි නැති විය!නිව්ටන් ගේ නියම සියල්ල සනාථ කරමින් මා බිම ඇද වැ‍ටුනි!!

විනාඩි 2ක පමණ භයානක කාලයකට පසුව මට සිහිය ලැබුණි...නමුත් වැටීමේ ආනුභාවයෙන් මුහුණ ඩැමේජ් වී ඇත...මාගේ මව්පියන් බිය වූයේ ඉහින් බහින ලෙඩක් මා වැනි සුවච කීකරු පුත්‍රයෙකු හට වැලදී නොතිබු නිසාය....

වහා ක්‍රියාත්මක වන පරිදි මා කුරුණෑගල මාමාගේ පවුලේ හොස්පිටලය වෙත ට්‍රාන්ස්ෆර් කෙරුණි..සියලු වේග සීමා බිද හෙලමින් පියා කුරුණෑගල කරා ධාවනය කලේය...

මාමාද නැන්දාද හනික පැමිණියේය...මාමා මාගේ හදවත තවමත් මා සතුව ඇති බව සොයා ගත්තේය!නැන්දා මාගේ හුස්ම වැටෙන බව සොයා ගත්තාය....!!! නාඩියා ජීවතුන් අතරය!!

නමුත් සැමගේ සුව සෙත තකා මට බෙඩ් රෙස්ට් කොරන්නට නියම විය...ඒ අනුව මම බෙල්ලත් ඇමැස්ටි කරගෙන ඇදට වී සිටීමි.....!

මේ ජාතික විවසන තත්වයේ ප්‍රයෝජන ගැනීමට සිතූ මාගේ අති ජාත මිත්‍රයන් සෙට් එක මාධ්ය සාකච්චාවක් කැදවා මාගේ අසරණ රසිකයන් භීතියෙන් මුසපත් කර ඇත!!ඒ අවලමුන් මීට කාන්තා පාර්ශවයක සම්බන්ධයක් ඇති බව ලෝකයටම දැනුම් දී තිබේ!!

මල කෙලියකි!!මාගේ ජංගම දුරකතනය 23 උදේ සිට හඩ තලයි!!දස් දෙසින් ශෝක ප්‍රකශය!!"ඔව්වා ඔහොම තමයි බන් ගනන් ගන්න එපා....කෙල්ලෝ ඔක්කොම එකයි!"මා හට වැඩේ මීටර් වූයේ එවිටය!!වහා ක්‍රියාත්මක වන පරිදි මම ශර්ලොක් හෝම්ස්ට එස්.එම්.එස්. 1ක් යවා මේ ප්‍රචාර යැවූ එකා සොයා ගැනීමට නියම කලෙමි!! විනාඩි 14 තුල වාර්තාව ලැබුණි!!වෙන් එකෙක් නොවේ!ඒ හිතාදර පුශ්පයාය!!!(ඌ කොහොමත් අන්තිම කුප්ප රජෙකි!)ඌට කතා කර මුලින්ම ආදරයෙන් ජාතිය ඇමතුවෙමි!!

ඊට පසුවද කෝල්ස් ඒම අඩු උනේ නැත!තවමත් මම ජාතිය අමතමින් සිටිමි!

ඔබාමා අය්යා කථා කර ලෝකයේ සියලු තල් ගස් කපා දාන්නද කියා ඇසුවේය!!!එලිසබත් ඇන්ටී මෙය මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දෙමු කියා කීවාය! ගඩා‍ෆි බොස් සැගවී සිට එස්.එම්.එස්. 1ක් එවමින් දුක ප්‍රකශ කළහ....(මෙය ගඩාෆි අයියා වැලිගම් යාමට පෙර පලවූ ලිපියක් බව කරුණාවෙන් සලකන්න )

අනේ පව්!!ලෝකයක් මං වෙනුවෙන් දුක් වෙන හැටි!!!

මම තවමත් මෝල් ගසක් ගිල්ලා මෙන් ඇදකට වී සිටිමි....සුව පැතූ සැමට ජය.........

Related Posts Plugin for WordPress, Blogger...