නාඩි සෙට් එක

Sunday, December 14, 2014

වැස්ස - ආදරය හා හිඟන්නෙක්

www.washingtonpost.com
උදේ ඉඳන් බිම් කළුවර වැටෙන තුරා 
වැහි කළුවර ඉර හොරෙන්ම වසන් කළා 
හීතල හුළඟට එරෙහිව අත පය හකුළා 
බුදිය ගන්න පුළුවන් මට අලස වෙලා 

හොඳ උණුසුම් ඇඳ ඇතිරිලි - දුම් දමනා කෝපි එක්ක 
සීතල යන්නට හපන්න- කටට සැරට කට ගැස්මක් 
විදුලි කොටයි හඳ ගෙරවිලි - ගස් වල් අඹරා හමනා සුළං එක්ක 
කියවන්නට අතට ගන්න - අලුත් සුවඳ හොඳම පොතක් 

අතට අරං සෙල්ෆෝනය - අමතන්නට හිතාන උඹ 
අහන්න ආසයි කටහඬ - තොදොල් වෙන්න උඹත් එක්ක 
ජනේලයේ වීදුරුවෙන් - හූරාවැටෙනා වැහි බිඳු 
බලාන මං කවි ලිව්වා - මතක් කරන් උඹේ උණුසුම 

ගෙයි එළියේ කුණු කානුව - උතුරනවා වැහි වතුරට 
කානුව ළඟ පිළ උඩ ඌ - බුදිනයනවා හැමදාකම 
ගඳ ගහනා රැළි කඩමලු - ඔතන් ඇඟේ හැම තැනකම 
සුදූ ඌව එලෙව්වා මං - ගඳ ගහනා කැහැටු එකා!

මක්නිසාද යත්...

ඌ හිඟන්නෙක්!

Friday, December 5, 2014

හිනාව

image source - sushkrsh.blogspot.com
“මචං!!!”
නේපාලෙන් ආපු දීපෙන්ද්‍ර සීතලට රතු වෙච්චි නාහේ කස කසා හින් ඇස් පොඩි කරගෙන මට ඇහැරවනවා!” ගුඩ් මෝනින්”. ඌ හිනා වෙනවා. “අද උදේ ලෙක්චර් යන්නේ නැද්ද?” හිනා වේවි ඌ අහනවා. හීනියට හිනාවේගන ගුඩ් මෝනින් කියන ගමන් මං බාත්රුම් එකට රිංගනවා. 

හදිස්සියෙන් ලැස්ති වෙලා ඊයේ පහළ මාකට් එකෙන් ගත්තු සැන්ඩ්විච් එක කටේ ඔබාගෙන එළියට බහිද්දී රූම් සර්විස් එකේ කළු මිටි මහත සුසෑන් දොර ගාව ඉන්නවා. සුසෑන් ගේ කටේ ඉස්සරහ එක දතක් නෑ. හැබැයි සුසෑන් “හෙලෝ හව් ඩු යූ ඩු” කියාගෙන සුභ දවසක් කියලා කියනවා. මමත් හිනාවේගනම පහළට බහිනවා. ලිෆ්ට් එකේදී හැමදාම හම්බෙන ඉහළ තට්ටුවේ ඉන්න අකී අදත් ඉන්නවා. අකී ආවේ ජපානෙන්. අකී ගුඩ් මෝනින් කියද්දී පොඩ්ඩක් ඉස්සරහට නැමෙනවා. පිට රටකදී උනත් අකී තමන්ගේ රටේ සංස්කෘතිය රකිනවා.
“අද හවස අපේ බැච් එකේ පාටියක් තියනවා. එනවා නේද?” අකී දිගටි ඇස් රවුම් කරගෙන අහනවා. මං හිනාවේගන “ඔව් ඔව් අනිවාර්යෙන් එනවා” කියාගෙන එළියට යනවා.

දොර ඇරගෙන එළියට යද්දී ඉදිකටු වලින් අනින්නා වගේ සියැටෙල් වල හීතල හුළඟ ඇඳගෙන ඉන්න ඕවර්කෝට් එක පසාරු කරගෙන ඇතුලට එනවා. මං බස් ස්ටේෂම ඇතුලට රිංගනවා. 

වැඩි සද්දයක් නැතිව ලතාවකට පැද්දී පැද්දී එන දෙකට කැඩෙන බස් එක පේමන්ට් එකටම ලං කරලා නවත්තනවා. රෝදෙකින් හුළං යනවා වගේ සද්දයක් දාගෙන බස් එක පාත් වෙනවා. “Kneeling busses” ඒ අය කියන්නේ එහෙම. රෝද පුටුවෙන් කැම්පස් එන චාලිට උනත් අමාරුවක් නැතිව රෝද පුටුව බස් එක ඇතුලට ගන්න පුළුවන්. 

“Hello good morning. Have a nice day”. හැමදාම මේ පතරංග බස් එක එලෝන බස් ඩ්‍රයිවර් ගෑනු කෙනා කට කණ ගාවට පළල් කරගෙන හිනා වෙනවා. ටිකට් දෙන්නෙත් එයාමයි. මං Orcha කාඩ් එක මැෂින් එකේ තියලා ඇතුලට යනවා. බස් එකේ ඉඳගෙන ඉන්න හැමෝම හිනා වෙලා ඉන්නවා මට පේනවා. 

බස් එකෙන් බැහැලා සූසලෝ හෝල් එකට යනකම් ඇවිදගෙන යන්න තියේ. මං බස් එකෙන් බහිද්දිම කොහෙද ඉඳන් දුවගෙන ආපු සීමි “හායි හරී... ගුඩ් මෝනින්” කියාගෙන ඉස්සරහට පනිනවා. සීමි ආවේ ඉන්දියාවෙන්. දිගටි මූණේ සීමි හිනාවෙනකොට කම්මුලේ වලක් හැදෙනවා. ලස්සන තොල් දෙක හිනාවත් එක්ක ඉස්සෙනකොට හිනියට නල දතක් පේනවා. 

හරියටම උදේ 9 ට ලෙක්චර් එක පටන් ගන්නවා. ෆොටෝග්‍රැෆි උගන්නන ඇලෙක්ස් අඩි හයකටත් වඩා උස මනුස්සයෙක්. බර අඩි තිය තිය ලෙක්චර් රුම් එකට එන එයා අතේ ගෙනාපු කෝපි කෝප්පේ මේසේ උඩින් තියලා මුලිනම “ගුඩ් මෝනින්” කියලා මුළු පන්තියත් එක්කම හිනා වෙනවා. 

ආපහු ලංකාවට එන දවස ලං වෙලා. ඩලාස් එයාපෝර්ට් එක ඉස්සරහ අපේ සෙට් එක එක එක්කෙනා බදාගෙන ඉවරවෙලා කලබලෙන් වගේ බෑග් මලු ටිකත් උස්සගෙන ඇතුලට යනවා. ඉබේ ඇරෙන වැහෙන දොර ළඟ ඉන්න කළු උස මහත්තයා අපි හැමෝම යනකම් දොර අල්ලාගෙන ඉන්නවා. පාස්පෝට් චෙක් කරන තැනින් ඇතුළට ගිහිං පෙන්නේ ඇතිව යනකම් කැතී අත වනනවා. “අයි මිස් යූ” කැති කෑ ගහනවා අපිට ඇහෙනවා.

ප්ලේන් එකට නගිද්දී ලස්සනට ඇදගෙන තොල් පාට කරපු ගුවන් සේවිකාව හරිම ලස්සනට හිනා වෙලා එන හැමෝම පිලිගන්නවා. පැය 18ක් ප්ලේන් එකේ එක තැන වාඩි වෙලා අමාරුවෙන් ඇඹරි ඇඹරි ඉද්දි ලඟට ඇවිත් හිනා වෙලා “සර්.. වට් ඩු යූ වෝන්ට්” කියලා අහනවා. 

අතේ කරේ මළු උස්සගෙන ලංකාවේ එයාපෝර්ට් එකෙන් මං එළියට එනවා. ටැක්සි ඩ්‍රයිවර්ලා රොත්තක්ම එළියට එන මිනිස්සු දිහා හිනාවේගන දිලිසෙන ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්නවා. ඒ අස්සේ මගේ ෆෝන් එකට මැසේජ් එකක්. “I safely returned home :) What about you? “ මේධා ඉන්දියාවේ ඉඳන් හිනා මූණක් දාල වට්ස්ඇප් මැසේජ් එකක් දාල තියනවා.

තෙහෙට්ටුවයි බඩගින්නයි දෙකම එකට එකතු වෙලා. මහන්සි යන්නත් එක්ක ප්ලේන්ටියක් බොන්න කියලා මං පාර අයිනේ තියෙන පෙට්ටි කඩේක වාහනේ නවත්තනවා. සල්ලි දීලා ඉතුරු සල්ලි දිපුවහම මං “බොහොම ස්තුතියි” කියනවා. කැෂියර් කුඩුවේ ඉන්න මහත මුදලාලි මං දිහා බය වෙලා වගේ බලාගෙන ඉන්නවා.

Related Posts Plugin for WordPress, Blogger...