නාඩි සෙට් එක

Friday, July 5, 2013

රතු පාට ලේ

මේ නාඩිය කොටන්න ඉස්සරලා ප්‍රමුදි ළමයාට ස්තුතියි කියන්න ඕනේ.. මොකෝ ඒ ළමයා තමයි මේ අපූරු වැඩේට පලයන් කියලා මාව තල්ලු කලේ! හැබැයි එහෙම ටෝක්ස් දීපු එයානම් ඇවිත් හිටියේ නෑ...

Future Leaders Conference Season5 – 2013; Sri Lanka Unites නැත්නම් “එක්වෙමු ශ්‍රී ලංකා” සංවිධානය පස්වෙනි වරටත් සංවිධානය කරපු අනාගත නායකයන්ගේ සමුළුව!

ශ්‍රී ලංකාවේ හතර දිග්බාගයෙන්ම විවිධ ජාතින් නියෝජනය කරන පාසල් ළමුන් 500කත අධික ප්‍රමාණයක් එක තැනකට ගෙනල්ලා සාමය හෑ සංහිඳියාව පිලිබඳ ඔවුන් තුළ යහපත් ආකල්ප ඇති කිරීම තමයි මේ සමුළුවේ අරමුණ.

ගිය අවුරුද්දේ යාපනේ පැවතිච්ච මේ සමුළුව මේ සැරේ තිබ්බේ ගාල්ල සංඝමිත්තා පාසලේ. නාඩියා මේකට සහසම්බන්ධ උනේ ස්වෙච්චා සේවකයෙක් විදිහට.. අපිට තිබිච්ච වගකීම තමයි ලංකාවේ දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරන ළමුන් 25 විතර ඉන්න කණ්ඩායමක් හසුරුවන එකත්..ඒ අයට මග පෙන්වන එකත්..

අලුතින් හදපු high way එකේ උදේ රැයින්ම ගාල්ලට ගියා. ඒ යද්දිත් ලංකාවේ එහා කොනේ ඉදලා මෙහා කොනට එනකම් පාසල් වලින් එක එක හැඩයේ ළමයි එනවා. ලියාපදිංචි වෙනවා. කවුරු මොනවා කිව්වත් ළමයි ටිකක් කුලෑටියි වගේ.

කට්ටිය කතා බහ කරන්නේ තමන්ගේ ඉස්කෝලෙන් ආපු යාලුවෝ එක්ක විතරයි.. කොහොම කොහොම හරි teams බෙදුවා.. Badulla Braves, Colombo Chargers, Anuradhapura Avengers, Mathara Magicians, Galle Gladiators, Ampara Astros, Baticaloa Bandits, Gampaha Gators, Hambanthota Hurricanes, Jaffna Giants, Kandy Knights, Kegalle Kawhawks, Kilinochchi Kingsmen, Mannar Maestros, Mulathivu Mustangs, Polonnaruwa Pirates, Putalam Powerhouse, Rathnapura Rhinos, Trinco Titans, Vavniya Vikings  වගේ නම් වලින් මේ teams හැදින්වුනා. එක ටීම් එකක හැම ජාතියක්ම නියෝජනය කරන සිසුන් හිටියා.

පලවෙනි දවස ඉවර වෙද්දී නාඩියාට නම් හිතුනේ මේක මහා අභියෝගයක් විදිහට! මොකෝ ඒ ළමයි එකිනෙකා අවබෝධ කරගන්නේ හරිම හිමින් කියලා මට හිතුනා. මොකද කරන්නේ??

අපේ කණ්ඩායම උනේ Badulla Braves! මතී සහ දෙවන්ෂි; මාත් එක්ක හිටිය අනිත් ස්වෙච්චා සේවකයන් දෙන්නටත් ඒ හිතුවිල්ල ආවට කිසිම සැකයක් නෑ! හැබැයි මේ දවස් පහ ඉවර වෙද්දී මේ හැමෝම එකෙක් මෙන් සලකන සහෝදර පිරිසක් කල යුතුමයි...

නියමිත කාලසටහනක් ඇසුරින් වැඩසටහන ක්‍රියාත්මක උනා. තම තමන්ගේ කණ්ඩායම් එක්ක එකතු වෙච්චි පාසල් සිසුන් විවිධ ක්‍රීඩා වල නිරත උනා.

උන් ක්‍රිකට් ගැහුවා. දිව්වා..පැන්නා.. සිංහල දෙමළ මුස්ලිම් කියලා බෙදිලා ජිවත් වෙන්න හුරු වෙච්චි ළමයි එකම කණ්ඩායමක දිනුමක් ලබා ගන්න තමන්ගේ දහඩිය හෙලුවා. උගුර ලේ රහ වෙනකම් කෑ ගැහුවා... “සහෝදරත්වය...”

අගවිනිසුරුතුමිය, හිටපු තානාපතිවරුන් ඇතුළු විශේෂ අමුත්තන් රැසක් මේ සහෝදරත්වයෙන් එක් වෙච්ච ළමයි බලන්න ආවා. ඒ අය එක්ක කතා කළා. ශ්‍රී ලංකාව තුළ නැවත යුධ අරගල ඇති නොවීමට වග බලා ගන්නා හැටි කියා දුන්නා.

අනාගත නායකයන් එක්ක ගාලු පුරවරේ ගෙවපු ඒ සුන්දර දවස් පහේ රැයවල් අමතක කරන්නම බෑ. රන්දීර්, දුෂ්යන්ත් වීරමන් වගේ ගායක ගායිකාවෝ රැසක් ඒ වේදිකාව ගීතවත් කළා හැමදාම! ශ්‍රී ලංකාවේ අපූරු විවිධත්වය විදහා පෙන්වමින් අපේ සහෝදර සහෝදරියෝ අත්වැල් අල්ලාගෙන නැටුවා.ප්‍රීති උනා.

මම ජිවිතේ ගත්ත අත්දැකීම් ඇතුලේ අපූරුතම අත්දැකීම් ගොන්නක් මේ දවස් 5 ඇතුලේ හැංගිලා තියනවා. ඉස්කෝලේ යන වයසේ ඉන්න විවිධ භාෂා කතා කරන විවිධ සමාජ මට්ටම්වල ළමයින් පාලනය කරන එක.. ඔවුන්ගේ අවශ්‍යතා හොයා බලන එක! ඇත්තටම අභියෝගයක්! 

විටෙක අභියෝගයක් වගේ පෙනුණු... ජය ගන්න බැරි ඉලක්කයක් වගේ පෙනුණු.. එකම රටක එකම මවකගේ දරුවන් වගේ අපි හැමෝම ජිවත් වෙන දවසක් ගැන බලාපොරොත්තු අපිට ආයේ තියාගන්න පුළුවන් කියලා නාඩියාට හිතුනා.

ශ්‍රී ලංකාව විවිධ ජාතින් සහයෝගයෙන් සාමදානයෙන් ජිවත් උණු රටක්. හැබැයි නිදහසෙන් පස්සේ අවුරුදු 65ක් ගත උනත් අපි තාම තුන්වෙනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටක්. ඇයි ඒ??? අවුරුදු 30ක් අපි යුද්ධයක් වවාගෙන කෑවා! ඊට කලින් ඉඳලම ජාතින් අතර විවිධ ප්‍රශ්න ඇති උනා. හැබැයි මේ දේවල් වලින් වාසි ගත්තේ පිට ඉන්න එවුන්!

අනාගතයේ අපේ දරුවන්ට “යුද්ධය” කියන වචනය ශබ්ද කෝෂයෙන් ඉවත් කරන්න වගකීම තියෙන්නේ අපිට! මේකට දේශපාලන විසඳුම්... විවිධ බැරෑරුම් කාරනා පස්සේ යන්න ඉස්සරලා අපි හිතන පතන විදිහ වෙනස් කරගන්නයි ඕනේ!

හිතන්න ඕනේ මෙච්චරයි!

“අපි හැමෝගෙම ඇඟේ දුවන්නේ එකම රතු පාට ලේ!”

වෙච්චි කෙරිච්චි විදිහ බලා කියා ගන්න ෆොටෝ ඇල්බම් දෙක තුනක ලින්කු ඔන්න එබුවා!

     
Related Posts Plugin for WordPress, Blogger...