නාඩි සෙට් එක

Thursday, December 12, 2013

මනුස්සකම

පහුගිය සිකුරාදා. ඒ කිව්වේ දෙසැම්බර් 6 වෙනිදා මගේ අතිජාත මිත්තර අසීම්, මටයි පොලොස් මාමාටයි එවලා තිබ්බා අපූරු ආරාධනා පත්‍රයක්. සිරස News First, UN Volunteers සමඟ සමාජ සේවා දෙපාර්තමේන්තුව සංවිධානය කරපු V Awards 2013 අවසන් රාත්‍රිය බලන්න එන්න කියලා. Volunteering කියන එක ඔළුවට ගහපු එවුන් වෙච්චි අපිට ආයේ හිත හිතා ඉන්න දෙයක් තිබ්බේ නෑ! එක පයින් එතන! තිබ්බේ සිරස රත්මලාන Stein Studio එකේ.
 
සමහර අය මේ අපූරු වැඩසටහන live බලන්න ඇති එදා සිරසෙන්. මෙහෙමයි.මෙතෙක් කාලෙකට මම රූප පෙට්ටියේ දැකපු වැඩසටහන් වලින් මගේ ඇස් දෙක තෙත් කරන්න පුළුවන් වෙච්චි එකම වැඩසටහන මේක!
අපි මිනිස්සු. ඒ කිව්වේ මනසින් උසස් යැයි කියා ගන්නා ජාතියක්. සමාජ සත්ත්වයෝ වෙච්චි අපි කරන සමහර වැඩ දැක්කහම මනුස්සයෝ කියලා කියා ගන්නත් ලජ්ජා හිතෙනවා. එහෙව් වෙච්චි ලෝකෙක තමන්ගේ ජීවිතය සමාජයේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන් කැප කරපු අපේ කාලයේ වීරවරු එකතු කරපු අපූරු උත්සවයක්.

මේ සම්මාන ප්‍රදාන උත්සවයට අයදුම්පත් දහස් ගණනක් අතරින් තේරුණු උදාර සමාජ සේවකයෝ 12 දෙනෙක් අවසන් වටයේ තරඟකරුවන් විදිහට පෙනී සිටියා.



මේ අතරින් වසරේ හොඳම සමාජ සේවකයා විදිහට තේරුනේ බිහිරි ජනතාව වෙනුවෙන් තමන්ගේ කාලය ධනය කැප කරපු ආනන්ද ගුරුගේ මහත්තයා. ඔහුත් ඒ වගේම ආබාධිතයෙක්. තමන් විදිනවා සමාන වූ දුකක් විදින තාමගේම ජනතාව වෙනුවෙන් හැකි විදිහට උදව් කරන්න ඒ අපූරු “මනුස්සයා” ඉදිරිපත් වෙලා තිබ්බා. සම්මානය ලබාගත්තට පස්සේ සංඤ භාෂාවෙන් ඔහු කරපු කතාව අංග කීරි ගැස්සුවා. මුදල් පස්සේ හබාගෙන යන මිනිස්සු වෙච්චි අපිට හිතන්න ගොඩක් දේවල් එතන තිබ්බා. තමන්ගේම රැහේ එකෙක් ලස්සන වේදිකාවක සම්මානයක් ගද්දි එන සතුට ඒ අහිංසක මිනිස්සුන්ගේ ඇස් වලින් දෝරේ ගැලුවා.

ලංකාවේ හරියට youth ගැන කතා කරනවා. ආඩම්බරේකට වගේ යොවුන් පාර්ලිමේන්තුවක් හිටං අපිට තියෙනවනේ. ;) හැබැයි අපේ රටේ වැඩක් කරන්න පුළුවං වෙච්චි youth වෙච්චි අපි සමාජෙට දෙන්නේ මොනවාද කියන එකනං පොඩි ප්‍රශ්නාර්ථයක්! රියලිටි ෂෝ වලින් බිමට බැහැපු හතු පිපෙනවා වගේ එලියට බහින වීරයෝ ඉන්න රටක, වසරේ හොඳම තරුණ සමාජ සේවකයා විදිහට සම්මාන ලබපු අරලියා අබේසේකර තරුණිය නමටම හරියන විදිහට මුළු ලෝකෙටම සුවඳ බෙදන අපූරු චරිතයක්. ඈ මානසික උපදේශිකාවක්.  තමන් ලබා ගත්ත දැනුම සමාජයෙන් කොන් වෙච්චි ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් ඇය කැප කරලා. අපි???

මේ උදාර සමාජ සේවකයෝ අතර හිටි සචින්ද දුලංජන තවත් අපූරු තරුණයෙක්. අපි සමාජයට අයිති නෑ කියලා අත හැරලා දාපු අහිංසක මිනිස්සු වෙනුවෙන් කැප වෙච්චි ඔහු ඇත්තටම ධීර තරුණයෙක්. කාඩ්බෝඩ් වීරයෝ පස්සේ යන අපේ තරුණ පරපුරට හොඳ ආදර්ශයක්. අපිත් එක්ක තරුණ සමුළුවට සහභාගී උනා. ඇත්තටම ඔහු “මනුස්සයෙක්”.

මේ කවුරුත් ලක්සෙට කොඩි දාපු ධන කුවේරයෝ නෙවෙයි! නැත්නම් මේ කවුරුත් සුදු නැෂනල් ඇඳගෙන වියලි ආහාර පාර්සල් ටිකක් බෙදලා චන්දේ හිඟා කන තුට්ටු දෙකේ දේශපාලුවෝ නෙවෙයි. මේ හැමෝම අපේ සමාජ පන්තියේ ජිවත් වෙන අපිත් එක්ක හුස්ම ගන්න මිනිස්සු. වෙනස තියෙන්නේ තමන් එක්ක එකට වැටිලා ඉන්න මිනිස්සුන්ගේ නාඩි වැටෙන තාලේ උන් හොයාගෙන. ඒ මිනිස්සුන්ට මොකක් හරි කරන්න ඕනේ කියලා උන්ට හිතිලා. ඒ “මනුස්සකම”.

සමාජ සාධාරණත්වය උදෙසා කියලා කෑ ගහන අපේ කාලයේ “විරවරු” ගොඩක් කරන්නේ තේරෙන්නේ නැති වචන වලින් මොනවාදෝ කියවන එක විතරයි. ලොකු ලොකු තැන් අල්ලන්න කලින් තමන්ගේ වටේ පිටේ එකට හුස්ම ගන්න මිනිස්සු දිහා බලන්නවත් උන් ඉගෙන ගත්තොත්...


සමාජයේ විවිධ අහුමුලු ස්පර්ශ කරමින් මේ උදාරතර මිනිස්සු ගැන නිර්මාණය වෙච්චි ඇස් තෙත් කරවන මේ video ටික බලන්න. අනිවාර්යෙන්ම... මෙගා බයිට් ටිකක් ගියාට කමක් නෑ. අත පය හතර හොඳට තියෙන මිනිස්සු වෙච්චි අපි මොනවාද කරන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න.
එතකොට අපි?????


ආ.. තව දෙයක්.... අපිත් මේ පුංචි පහේ සමාජ සත්කාරයක් කරන්න හිතුවා මෙදා සැරේ නත්තලට. අපි එකතු වෙන්නේ කළුතර මාක් ශ්‍රී සරණ නිවාසයට.. උදුවප් මාසේ 28 වෙනිදා. මේ බුකියේ event එක. කැමති කෙනෙක් ඉන්නවනම් අපිත් එක්ක යමු හිනා වෙන්න. අපේම සහෘදයොත් එක්ක.

"ජනතාව වෙත ගියෙමි.

ඔවුන් සමඟ ජිවත් වුනෙමි. ඔවුන්ට ආදරය කලෙමි.

ඔවුන් දන්නා තැන සිට පටන් ගත්තෙමි. ඔවුන් සතු දෙය මත ගොඩ නැංවූයෙමි.

මා කලේ එයයි."
දොස්තර ආරියසේන යූ ගමගේ.

Thursday, December 5, 2013

භූත රේල්ලුව

දෙසැම්බර් 5 ලංකාවට නොව මුළු ලෝකෙටම වැදගත් දවසක්ය! අපේ උත්තම පුරුෂයෝ අද උත්කුරුෂ්ට සොයා ගැනීමක් කලෝය! ප්‍රශ්න ගොඩකට එවෙලේම බඩු පැකට් විසඳුම් ගෝනි ගණන් ලැබිණි! අනේ වාසනාවන්!

අපි ඩයිවර් නැතිව කෝච්චි එලෝන තාක්සනේ සොයා ගත්තෙමු!

ලංකාවේ හැටි එහෙමය. මෙච්චර ලොකු වැදගත් සොයා ගැනීමක් කරලත් වැඩිය එලියට පහලියට ෂෝ එක දමන්නේ නැත. කියන්නේ අත් වැරදීමකින් හරි මොකක් හරි එකකින් කෝච්චිය අච්චර දුරක් හැල හොල්මනක් නැතිව ගෑටුවා කියාය! ඒ නිහතමානිකමය!

නිහතමානිකම වැඩිකමට එන්ජින් ඩයිවර් උන්නාන්සේ එක්ක ක්ලිනර් උන්නාන්සේගේත් සේවය අත් හිටෝලාය! සමහර විට තාක්ෂණික රහස් එලියට යයි කියා බයට වෙන්ඩත් පුළුවන!

දැන් ආයේ කෝච්චි එලෝන අයියලා ස්ට්‍රයික් කොලාට අවුලක් නැත! ඔටෝමටික් දුවන්ට පුළුවන! සිග්නල් කණු. ආරක්‍ෂිත ගේට්ටු මේ අටමන්ගල්ල මොකුත් ඕන වෙන්නේ නැත! ඇයි යකෝ අර මහ රෑ දුවන්ට පුළුවන් නම් කෝච්චි වලට හොඳට පේන දවල්ට කොහොම යන්ට පුළුවන් ඇත්ද!

කොහොමත් අපේ කෝච්චි දෙපාර්තමේන්තුවේ මාමලා හරිම ෂෝයි වැඩ කරන්ට හපන්නුය! කිලිනොච්චි යන්න රේල් පාර හැදුවෝය! ඒකනම් හොඳය! පලවෙනි දවසේ ඉන්දියන් සුරුට්ටුව යවන්න තියාගෙන චීන බඩ්ඩක් යවලා පරිප්පු කෑවාට කමක් නැත. 

දැන් අලුත්ම සෙල්ලම යාල් දේවි මෙලෝ රහක් නැති schedule එකකට දිවීමය! යාලේ ඔෆිස් ඇරිලා ගෙදර එන්ට යන්ට හිටිය උන්ට පාන්ය! ඒ මදිවට උදේට දෙනෝ දාහක් යන යාලේ wagon එකක් ගලවා observation පෙට්ටියක් සෙට් කරලාය! උතුරු දුම්රිය මාර්ගයට ඒ වගේ පෙට්ටියක් ඕනැද කියා මගේ ටිකිරි මොලයට නම් නොතේරේ! මොකෝ බැලු බැලු හැමදාම ඒක හිස් ය!

කොහොමත් වෙලාවක් කිව්වොත් කෝච්චිය එන්නේ එකේ ග්‍රිනිච් වෙලාවටය! සමහර විට එන්ජිම හදපු රටේ ටයිම් එකටය! 

කෝච්චි වල යන එන අපෙත් වැරදි තියනවාය! සමහර උන් හිතන්නේ කෝච්චිය කුණු බක්කියක් කියාය! රටේම තියන හා ජරාව ඒක අස්සේ දාල යනවාය! ඉතිං මෙලෝ මලදානෙකට යන්නට බැරිය!

හැමදාම කියන්නේ දුම්රිය සේවය පාඩු ලබන ආයතනයක් කියාය! හැබැයි හරි සැලසුමකට වැඩ කලොත් ලාභ ගන්නටද බැරිකමක් නැත!

කෝකටත් කියා ආයේ කෝච්චියේ යන්ඩ ඉස්සරලා එන්ජිමේ ඩයිවර් ඉන්නවද කියා බැලුවොත් ඇඟට ගුණය!!

ආ.. අනිත් සීන් එක ඔය භූත කෝච්චිය ඇවිත් නතර වෙලා තියෙන්නේ ආරංචි හැටියට ගල්කිස්ස හරියේය!

Sunday, November 24, 2013

රේල් පාර

 පීලි දෙකම එක වගේ.....
එකම හැඩ...එකම ගනකම......
කාටවත් කරදරයක් නොවී....
මජං තැවරිච්ච සිල්පර කොට උඩ.....
බලං ඉන්නවා හැමදාම...

හම්බෙන්නේ නෑ කවදාවත්ම....
කොතනදිවත්.....

ඒත්......

ටොන් ගානක් බර සිතුම් පොදියක්
උඩින් යනවා හැමදාම......
Related Posts Plugin for WordPress, Blogger...