නාඩි සෙට් එක

Friday, October 9, 2020

සැලෝන් සහ බාබර් සාප්පු

 

සීතල කරපු කාමරේ සැප පුටුවට බර වෙලා වටේට ලයිට් හයි කරපු කන්නඩියෙන් මං බලාගෙන ඉන්නවා. දකුණු අර්ධගෝලේ තියෙන ලොකුම ශොපින් සෙන්ටර් එකේ මේ ‘සැලෝන්’ එක හැම වෙලාවෙම බිසි. අඩුම ගානේ දවස් දෙකකට කලින්වත් බුකින් එකක් දාගන්න ඕනි. ඒත් ඒක එච්චර අමාරු වැඩක් නෙවෙයි. වෙබ් එකට ගිහිං ෆ්‍රී වෙලාවක් හොයාගෙන බුකින් එක දැම්මහම කොන්ඩේ කපාගන්න ඕනි දවසට වෙලාවත් එක්ක මතක් කරලා මැසේජ් එකක් එනවා. ගොඩක් වෙලාවට කොන්ඩේ කපන්න ඉන්න ඇස් පොඩි රටේ කිරි සුදු පාට ගෑල්ලමයි.

“What’s your preferred style?” කියලා අහපුවහම මං නම් කරන්නේ මූණට ගැලපෙන හොඳ කට් එකක් දාන්න කියන එක. එතකොට ඉතිං ඒ ළමයා හරිම අපූරුවට හිනා වෙලා හරිම හුරුබුහුටි විදිහට වැඩේ පටන් ගන්නවා. කොන්ඩේ කපන්න කලින් හෝදන්නත් ඕනි.. ඊට පස්සේ කැපුවට පස්සේ හෝදලා ඔයිල් මසාජ් එකක් දාන්නත් ඕනි.. ඔය ඔක්කොම කරලා ඉවර වෙලා කාඩ් එකෙන්ම ලොකු ගානක් ගෙවලා.. ආපහු එද්දි ආයෙත් සැරයක් එන්න කියලත් කියනවා. ආපහු එන්න ඉතිං කොන්ඩේ වැවෙන්න එපැයි!

අවුරුදු තුන හතරකට කලින් කොළඹට හිර වෙච්චි ජීවිතේ මොකක් හරි හදිස්සියකට පිළිවෙලකට යන්න ඕනි උනහම දුවගෙන ගිය සැලෝන් දෙක තුනක්ම තිබ්බා. නවම් මාවත පැත්තේ තිබ්බ සැලෝන් එකත් ටිකක් අලුත් පහේ එකක්. කොන්ඩේ කපන්න හිටිය මල්ලී ඇඟට හොර වෙන්න කළු පාට කලිසමක් කමිසයක් එහෙම ඇඳලා ජැන්ඩි පහට හිටියේ. කොන්ඩෙත් හරි අපූරුවට රතු පාටින් පාට කරලා, ඇහි බැම් එහෙම හදලා… හරිම ජේත්තුකාරයෙක් කොන්ඩේ කපලා පිළිවෙලක් කරලා.. “අයියා.... හෙඩ් මසාජ් එකක් දාන්නද” කිව්වහම විනාඩි පහළොවක් විතර දාන මසාජ් එකෙන් කොළඹ කළු දුමට කරකුට්ටං වෙලා ගිය ඔලු ගෙඩිය ටිකක් රිලැක්ස් වෙනවා.

කොළඹ සැලෝන් තිබ්බට අපේ ගමේ තිබ්බේ බාබර් සාප්පු. මතක ඇති පොඩි කාලේ අප්පච්චි එක්කං ගියේ “බොස්ගේ” බාබර් සාප්පුවට. බොස් අපේ අම්මලාගෙත් කොන්ඩේ කපලා තියේලු පොඩි කාලේ. එච්චර වයසක් උනාට ටක්කෙට පීරපු කළු කොන්ඩයක් බොස්ට තිබ්බා. කිරි කිරි ගාන ෆෑන් දාපු හීනි කඩ කෑල්ලේ තිබ්බ රතු පාට උස පුටුවට අපිව වාඩි කෙරෙව්වේ පුටු ඇන්දට ලෑල්ලක් දාලා. “බොස්” මුලින්ම කරන්නේ “චිස් චිස්” ගාලා වතුර විදින බෝතලෙන් ඔළුව තෙමන එක. ඊට පස්සේ පනාව අරගෙන සිරිමත් කට් එකට කොන්ඩේ පීරනවා. “ඉස්කෝලේ යන විදිහට කපන්න බොස්” කියලා අප්පච්චි කිව්වහම කතුර අරගෙන “කට කට” ගාලා පනාවෙන් උස්සන කොන්ඩ කෑලි ටික කපාගෙන කපාගෙන යනවා. ඒ කොන්ඩ කෑලි බෙල්ලේ ඔතලා තියෙන සිල්ක් රෙද්දට අස්සෙන් ගිහාම හීනියට කසන්න ගන්නවා. පොඩ්ඩක් බෙල්ල කසන්න කියලා අත පය හෙල්ලුවොත් “හා හා කැපෙයි කැපෙයි” කියලා බොස් අපිව බය කරනවා. බොස් කොන්ඩේ කපලා ඊළඟට කරන්නේ බය හිතෙනම වැඩේ තමයි දැලි පිහියෙන් ලයින් කපන එක. බ්ලේඩ් තලේ දෙකට කඩලා අලුත් එකක් දානවද කියලා අප්පච්චි හොඳට බලාගෙන ඉන්නවා. ඊට පස්සේ වතුර ටිකක් ගාලා “සරස් සරස්” කියලා ඔලුව වටේටම ලයින් කපනවා. සමහට වෙලාවට පොඩි බිබිලක් එහෙම කැපිලා එතැන දන්න ගන්නවා. කොන්ඩේ කපලා ඉවර වෙලා තුවායක් අරගෙන ඇ‌ඟ ගසලා දාලා බොස් ඊළඟට අතට ගන්නේ පියරු මල. බෙලෙක් කෝප්පෙක තියෙන පියරු මලෙන් අරගෙන ඔලුව වටේට ගාලා.. “හා එහෙනං ගිහිං එන්න” කියනවා. අප්පච්චි බොස්ට සල්ලි කොළයක් දෙනවා.

ඔයිට ටිකක් වයසට ගිහිං දැලි රැවුල් එන කාලේ වෙද්දී බාබර් සාප්පු අපේ නවාතැන්පොළවල් වෙනවා. ඉස්කෝලේ ඇරිලා ගෙදරට යන්න කලින් බස් ස්ටෑන්ටඩ් එක ළඟ තියෙන බාබුගේ සැලුන් එකට ඉබේම වගේ යැවෙනවා. කොන්ඩේට වතුර පොඩ්ඩක් ඉහගෙන කන්නඩියෙන් බලලා කොන්ඩෙ පොඩ්ඩක් හදාගද්දී රාඝු.. බාබුගේ මල්ලී කෑ ගහනවා. “වතුර ඉවර කරනවනම් ටැප් එකෙන් පුරවං වරෙල්ලා!”

ඒ කාලේ හවසට පොඩි කයියක් ගහන්න ඕනි උනාමත් කරන්න සැලුන් එකට රිංගන එක. කොහොමත් කොල්ලො හතර පස් දෙනෙක් සැලුන් එකේ වරදින්නේ නෑ. රාගු දෙමළ.. උදේම ප්‍රාදේශය සභා කුණු ට්‍රැක්ටරේ එළවලා ගෙදර ගිහිං නාලා කරලා දිලිසෙන ශර්ට් එකක් සුදු සරමට ඇදලා තමයි ඩයල් එක සැලුන් එකට බහින්නේ. පොර කොන්ඩේ කැපුවේ මැශින් එකෙන්. හැබැයි ලයින් කපලා වැඩේ පිළිවෙලක් කළේ කතුරෙනුයි දැලි පිහියෙනුයි. හරිම අපූරු “පේසල්” කිරිල්ලක් රාගු දැනගෙන හිටියා. කොහෙන් හරි හොයා ගත්තු ෆේස් වොශ් එකකුයි scrub එකකුයි මූණේ හරි සැරට අතුල්ලලා අපේ මූණු වල කුණු තට්ටුව යැව්වා. ඊට පස්සේ මූණ හෝදගන්න කියලා අර පේසල් පිරිච්චි මූණෙන් අපිව අරං ගියේ ත්‍රී විල් පාක් එක ළඟ ටැප් එකට. මොකෝ රාගුගේ කඩ කෑල්ලේ ටැප් එකක් තිබ්බේ නෑ.

“මසාජ් එකක් දානවා නේද?” කොන්ඩේ කපලා ඉවර වෙද්දී අහද්දී ඉබේම ‘හා’ කියවෙන්නේ මිනිහගේ රළු පරළු හෙඩ් මසාජ් එක අපිට ඒ කාලේ හොඳට අල්ලලා ගිහිං තිබ්බ නිසා. ටොනික් ටිකක් ඉස් මුදුනට දාලා “පුස්’ ගාලා පිඹලා සීතල කරලා පටන් ගන්න මසාජ් එක ඉවර වෙන්නේ බෙල්ල දෙපැත්තේ කරගැටත් කඩලා.

ඊට පස්සේ කාලෙක නිවාඩුවට ගමට ගිහාම බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැලා පුරුද්දට වගේ රාගුගේ සැලුන් එකට ගොඩ උනොත් “මොකෝ බං.. කොන්ඩෙත් වැවිලා” කියලා පුරුද්දට වගේ ඌ කිව්වා. කොන්ඩේ කපාගෙන, මසාජ් එකත් දාගෙන සල්ලි කොළ දෙක තුනක් මිට මොලවලා අපි ඉක්මනට සැලුන් එකෙන් ආවා.

එක එක සුවඳ පිරිච්චි සීතල ‘සැලෝන්’ කාමරේ කොන්ඩේ කැපුවට අදටත් අර ටොනික් සුවඳ පිරිච්චි හන්දියේ රාගුගේ බාබර් සාප්පුව තරම් ගතියක් නම් මට තාම දැනිලා නෑ.

4 comments:

  1. ගමේ බාබර් සාප්පුව මතක් උන..

    ReplyDelete
  2. අපි පොඩි කාලෙනං ඔය බ්ලේඩ්තල කැඩිල්ල තිබ්බෙ නෑ. දැලි පිහිය හං පටියෙ මැදල තමයි කැපුවෙ.

    ReplyDelete
  3. ඒක ඔය ළඟදී ආපු එකක් මං හිතන්නේ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...