නාඩි සෙට් එක

Sunday, October 16, 2016

සදාදර හිමාලි

සදාදර හිමාලි,
කඩදාසියක් හොයාගෙන මොනවා හරි කුරුටු ගාන්න ඕනේ කියලා හිතා ගත්තේ හිතේ පිරිච්චි කතා ඔක්කොම අකුරු වලට ගුලි කරනවා කියලා හිතාගෙන. කොළඹ හරි නපුරුයි.. කවුදෝ කියලා තිබ්බා. ඔව්... කොළඹ හරි නපුරුයි.. වියලුවේ ඉඩෝරෙට ඔක්කෝම වේලලා කරකුට්ටන් කරලා දාන ගිනි ගහන අව්වටත් වඩා කොළඹ නපුරුයි.
කතාවෙන් කතාව ඔය පැත්තේ විස්තර අහන්නත් බැරි උනා. කොහොමද ඉතින්? අම්මා මේ මාසේ බේත් ගන්න ක්ලිනික් එකට ගියා නේද?මං ගිය සතියේ මනි ඕඩරයක් එව්වා. ඒකෙන් අප්පච්චිටත් බේත් ටික ගන්න පුළුවන් වෙයි. දෙයියන්ගේ පිහිටෙන්  පහුගිය මාසේ දවස් දෙකේ නිවාඩුවට ගෙදර ඇවිත් ආපහු යද්දී බස් හෝල්ට් එකට වෙලා ඔයා කඳුළු පුරෝගෙන මං දිහා බලාගෙන හිටියා මං දැක්කා. දැක්කේ නෑ වගේ බස් එකේ එල්ලුනේ ආපහු බැලුවොත් ආයේ කඳුළු අලුත් වෙයි කියලා හිතලා.
“මමත් එනවා ඊළඟ පාර අයියත් එක්ක කොළඹ යන්න” බරක් පතලක් නොදන්න උඹ එහෙම කියන්නේ ටී.වී එකේ පෙන්නන කොළඹ දැකලා. ඔව්... ඒ කොළඹ හරි ලස්සනයි. උසට උසේ ලයිට් දාපු පතාර බිල්ඩින්. ඒ බිල්ඩින් ඔක්කොම සීත කරලා. උඩහා කන්දේ හුළං කපොල්ලෙන් යද්දී ඇඟට වදින හුළඟටත් වඩා ඒ බිල්ඩින් අස්සේ සීතලයි. හවසට පාට පාට සපත්තු දාගෙන සිමෙන්ති ගඩොල් අල්ලපු පාරවල් වල දුවන මිනිස්සු ගෑනු... හන්දියේ සයිබු නානාගේ කඩේ වගේ සිය ගුණයක් විතර ලොකු කඩවල්. මං දන්නවා උඹ ගොඩක් ආස විදුරු කූඩු ඇතුලේ ලස්සනට පේන්න එක එක ඇඳුම් අන්දපු ප්ලාස්ටික් මිනිස්සු බලන්න කියලා. ඒත් හිමාලි කොළඹ එච්චර ලස්සන නෑ.
කොළඹ වකාරෙට තියෙන පාට පාට තොරොම්බල් ඇතුලේ කළු පාට කතා ගොඩක් හැංගිලා තියනවා. සතියේ දවස් පහේ කිසිම දවසක හරි හමං විදිහට ඉර එළියවත් දකින්නේ නැති අපි වගේ කන්තෝරුකාරයෝ ගිලගන්න ඒ කළු පාට කතාකාරයෝ බලාගෙන ඉන්නවා.
පඩියෙන් හතරෙන් එකක්ම ගෙවලා ඉන්න බෝඩිමේ ඉඳන් ඔපිසියට තියෙන්නේ හැතැම්ම හයක් උනාට උදේ හයටවත් බස් එක අල්ලගත්තේ නැත්නම් රතු ඉර තමයි. එක එක සුවඳ කොලෝන් එක්ක දාඩිය ගඳ කරකැවෙන සින්දු පටෝපු සෙනග අදින බස් එකේ ගුලි වෙලා කන්තෝරුවට ආපුවහම හවස් වෙනකං එකම සුමයයි. උදේට හැටේ බත් එක. දවල්ට කැන්ටිමේ සීයේ බත් එක. චිකන්ද මාළුද එළවලු ද.... කැකුළු බතට ගලේ අඹරපු සම්බෝලෙත් එක්ක උණු උණුවේ කන බත් කටේ රහ ඒ එකකවත් නෑ හිමාලි...
හැමදාම කළුවර වැටුනාම එකම වෙලාවට එළියට පැනලා... කොළ එළිය වැටුනාම එකම කහ ඉරෙන් පාර පැනලා, කණ බීරි කරන හෝන් සද්දේ දාගෙන එන බස් එකකට පැටවිලා, වැරදිලා හරි ඇඟේ වැදුනොත් ගන සැරේට ඔරවලා බලන නෝනා මහත්තුරු ඉවසා වදාරගෙන.... බස් හෝල්ට් එක ළඟ නවත්තන ඉඳි ආප්ප වෑන් එකෙන් රුපියල් පනහේ පාර්සලයක් සිලි මල්ලක දාගෙන බෝඩිමට එද්දී හොඳ පණ ගිහිං.
පයිප්පෙන් සලාකෙට එන වතුර ටිකෙන් නා ගත්තට ඇල වක්කලම ළඟ ලිඳෙන් වතුර දෙකක් ඇඟට හලා ගද්දි එන සනීපෙ කවදාවත් එන්නේ නෑ. ප්ලාස්ටික් කෝප්පෙට හීටරේ ගහලා උණු කරගත්තු වතුර ඩිංගෙන් තේ කහට හදා ගත්තට උඹම හදලා හකුරු ඇබිත්තක් එක්ක දෙන කහට කෝප්පේ එක්ක ඒක ළඟින්වත් තියන්න බෑ.
ආයෙත් හෙට උදේට එකම සිංදුව... මොනවා කියලා කරන්නද... මීගහකිවුලේ උඩහ ගෙදර මද්දුම එකා කොළඹ ලොකු රස්සාවක් කරලා ගෙදර එනකං ගෙදරටම නාකි වෙවී උඹ බලාගෙන ඉන්න ඕනෙම නෑ හිමාලි....
තෙරුවන් සරණයි!
මීට,
ආදර,
බණ්ඩාර

පින්තූරය - http://www.udawalawesafari.com/Udawalawe-Village/

37 comments:

  1. බංඩාරයා එනකන් බලං ඉන්න එපා හිමාලි...මට දුක හිතෙය

    ReplyDelete
    Replies
    1. යකෝ.. මෙන්න බාර ගන්න මිනිස්සු

      Delete
  2. හම්මේ බං. මෙහෙම පපුවට අනිනවා වගේ ලියන්න එපා..

    ReplyDelete
  3. ඔක්කොටම වඩා මටනම් වටින්නේ, අපේ කාලයේදී වගේ, මේ විදිහට ලියුමක් ලිවීමය. ඇත්තටම හොඳ ප්‍රේම සාහිත්‍යයක් බිහිවෙන්නේ, මේ වගේ ලිපි ලිවීම නිසා ඇතිවන පරිචය තුලින්ය.

    බණ්ඩාරගේත් හිමාලිගේත් කතාව, සුඛාන්තයක් වේවා!

    ReplyDelete
    Replies
    1. අනිවා. දැන් තියෙන්නේ එස්.එම්.එස් නේ....

      Delete
  4. පඩියෙන් කාලක් බෝඩිමටයි, තව කාලක් කෑමටයි වියදම් කරගෙන කොලඹ රස්සා කරන බණ්ඩාර ලා ගැන බලා ඉන්න එපා හිමාලී. ගමේ තියෙන දෙයක් දෙන්නත් එක්ක එකතුවෙලා වැඩි දියුණු කරගෙන ජීවත් වෙන්න කැමති කෙනෙක් හොයා නොගත්තොත් උඹලා දෙන්නම අනාථයි.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනම් ඇත්ත කතාවක්. ඔන්න ඔය වගේ දෙයක් තමයි කරන්න ඕනේ

      Delete
  5. මේක නං වැදුනා කඳුළු පනින්නම. ඇයි යකූ මෙහෙම ලියන්නේ!

    ReplyDelete
    Replies
    1. හයියෝ.... මොනවා කරන්නද ඉතින්

      Delete
  6. හිමාලි ඔයාට මං ඉන්නව.. බණ්ඩාරය අමතක කරල දාමු හිමාලි

    ReplyDelete
  7. සුපිරියට ගලපලා බන් අපි අපි ගැනම එල නියමයි

    ReplyDelete
  8. හුඟ කාලෙකින් ලියුමක් කියෙව්වේ. අවුරුදු ගානකින් වගේ.

    ReplyDelete
    Replies
    1. දැන් ඉතිං මෙව්වා නෑනේ ඉතිං

      Delete
  9. ගම, නගරය, මුදල් ඔස්සේ ගලා යන අපේ ජීවිත. දෙන්නම පව්. ලියමන අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මුදල් තමයි ඉතිං මූලික...

      Delete
  10. මේක කියවන් යද්දී මට හිතුනේම මේ අපේ හැඟිම්, අපි වටේ ඉන්න හැමෝගෙම හැගීම කියලයි... අපූරුයි.. හිතට වදින්න ලියලා..

    ReplyDelete
    Replies
    1. අපේ කතාව තමයි ඉතිං හැම තැනම....

      Delete
  11. කඳුළු අතරින් ලියුම කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. දැන් ඉතිං කඳුළු පිහ දාගන්න...

      Delete
  12. ගමේ ඉඳල කොළඹ ගිහිල්ල ඔෆිස් වල වැඩ කරන අයගෙ තත්වෙ ඔහොමනං ඔය බිල්ඩිං සයිට් වල කුළියට වැඩ කරන කොල්ලංගෙ තත්වෙ කොහොම වෙයිද.
    ඉයන් කියල තියෙනව වගේ ගමේ ඉඳගෙන කරන්න පුලුවන් දෙයක් කරල ජීවත්වෙන්න උත්සාහ කරන එක තමයි හොඳම දේ.

    ReplyDelete
    Replies
    1. ඒ මිනිස්සු ගැන නම් හරිම දුකයි හිතපුවහම...

      Delete
  13. මට තෙරෙන්නේ නැත්තේ ලොකු රස්සාවක් කරන්න කොලඹම එන්න ඔනේ ඇයි.. මොකද්ද ඒ ලොකු රස්සාව මනින මිනුම් දණ්ඩ...

    ReplyDelete
  14. අප්පා දුක හිතුනා මහ ගොඩක්... මේ වගේ බණ්ඩාරලා හිමාලිලා කොච්චරක්නම් ඇද්ද හැබෑවටම

    ReplyDelete
    Replies
    1. හැමෝම බණ්ඩාර ලෑ හිමාලි ලා තමයි

      Delete
  15. වේදනාව පිරිච්ච දූපතක් මේක

    ReplyDelete
    Replies
    1. වේදනාව විතරක් නෙවෙයි...

      Delete
  16. මක් කොරන්ඩද බණ්ඩෝ දුක තමයි

    ReplyDelete
  17. බහුතරයකගේ ජිවිත වල ඇතුල් පැත්ත බොහොම ලස්සනට ලියල...

    ReplyDelete
  18. හරිම රහයි නාඩියො...උඹ ඉතාම ව්‍යක්ත ලේඛකයෙක් තරමට මේ ප්‍ර‍ස්තූතය මැනවින් ඉදිරිපත් කොට තිබෙනවා.

    ReplyDelete
  19. කොළඹ රහයි කියලා හිතාගෙන මාත් ආවා හිමාලි ඒත් ඉතිං දුක තේරුනේ ඊට පස්සෙයි. බංඩාර අයියා කියන කතාව හරි හිමාලි කොළඹ හරිම නපුරුයි.

    ReplyDelete
  20. ගමත් නපුරු වෙනවා මල්ලි කසාද බදින්නේ නැතුව ගෙදරම හිටියොත්. ආයේ කොළඹ ගම කියල වෙනසක් නැහැ. සංවේදී ලිපියක්නේ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...