නාඩි සෙට් එක

Sunday, July 12, 2015

උඹ එනකම් අපි බලාගෙන ඉන්නවා. #RanaViruMeetup


ඒ 2008 අවුරුද්ද, ගෙදරින් එළියට බැහැලා කොළඹ ආපු මුල්ම කාලේ. උතුරුකරේ ඇවිලිච්චි යුද්ධේ භයානකකම, මිලේච්ඡත්වය කොළඹට විතරක් නෙවෙයි. ලංකාවේ දකුණු කෙළවරටත් කාන්දු වෙලා තිබ්බා. අපේ අම්මා මං උදේ ගෙදරින් ගිහාම ආයේ එනකම් කෝල් කර කර කොහෙද ඉන්නේ මොනවාද කරන්නේ කියලා අහපු වාර අනන්තයි. ඒ සාමාන්‍ය ජන ජිවිතේ කාලකන්ණි යුද්ධයක් හින්දා උඩු යටිකුරු වෙලා තිබිච්චි හින්දා. උදේ ගෙදරින් ගිය තමන්ගේ අප්පච්චි හවසට යහතින් ගෙදරට එයිද කියලා සැකයක් හැම ගෙදරකම ඇවිලුනා. 

සිංහ කොඩිය පොරවාපු මිනී පෙට්ටියක් හමුදා ආචාර මැදින් නොආපු ගමක් ලංකාවේ කොහෙන්වත් හොයා ගන්න බැරි උනා. දහස් ගානක් අපේ ත්‍රිවිධ හමුදා, පොලිසියේ වීරවරු තමන්ගේ අවසාන හුස්ම පොද ශ්‍රී ලංකාවේ ඒකීයත්වය උදෙසා පූජා කළා. කකුල් අත පය, ඇස් එකම කොඩියක් යට අපි හිනෙහෙනවා දකින්න කැප කළා. දින ගණන් සති ගණන් කුසට හරි ආහාරයක් නැතිව, බොන්න වතුර පොදක් නැතිව, වන්නි මහා කැලයේ ඒ අභීත විරවරු සටන් කළා. 

කවුරුත් වෙනුවෙන් නෙවෙයි! ඒ “අපි” වෙනුවෙන්...

යුද්ධේ ඉවරයි. දෙස්පාලුවොන්ට යුද්ධේ වවාගෙන කන තුවාලයක් උනාට,තමන්ගේ මුළු ජිවිතයම කැප කරලා ලංකාවේ ඒකීයත්වය වෙනුවෙන් සටන් කරපු අපේම සහෝදරවරු තවමත් ඒ අතීත ස්මරණයන් එක්ක ජිවත් වෙනවා. සමහරු රෝද පුටුවකට සිමා වෙලා... සිය ගණන් සතුරු ඉලක්ක හඹාගෙන ගිය උකුසු ඇස් අන්ධ වෙච්චි සමහර වීරවරු සුසුම් හඩකට සංවේදී වෙලා ... 

රාගම “රණවිරු සෙවණ” 

යුද්ධයෙන් අසරණ වෙච්චි රණවිරුවන් පුනුරුතාපනය කරන එක තැනක්. යුද්ධේ ඉවර උනාට ඒ විරවරු අමතක කරන එක මහා නිගාවක්. ඒ නිසයි ශ්‍රී ලංකාවේ Tweeps ලා එකතු වෙලා අපේ රණවිරුවන් හමු වෙන්න තීරණය කළේ.

දවස මේ මාසේ (ජූලි) 25 වෙනිදා. සෙනසුරාදා. උදේ නවයයි තිහේ ඉඳන් හවස පහ වෙනකම් ඒ අභීත විරවරුන්ගේ අඩවියේ ගත කරන්න අපි ඔබට ආරාධනය කරනවා.
මේ සත්කාරයට ඔබටත් සම්මාදම් වෙන්න පුළුවන්. 

පහත දේවල් තමයි එහෙට අවශ්‍යයි කියලා දන්වලා තියෙන්නෙ:
  • රෝද පුටු
  • වැලමිටි අත්වාරු
  • සිවිලිම් පංකා
  • ලිපිද්‍රව්‍ය
  • මුද්‍රණ යන්ත්‍ර සඳහා LQ2090 රිබන්

මුදලින් දායක වීමට කැමතිනම් මෙන්න ඒ ගැන විස්තර:
සම්පත් බැංකුව, Colombo Super ශාඛාව
නම: එම්. ඩී. සෙනරත් යාපා හෝ ඩබ්. ජී. ටී. ප්‍රනාන්දු
ගිණුම් අංකය: 1175-5482-2773

වැඩි විස්තර ඕනිනම් @RanaViruMeetup එකට tweet එකක් දාන්න, නැත්නම් muditha7@gmail.com හෝ gihangamos@gmail.comට ඊමේල් එකක් දාන්න. 

මෙන්න website එකේ ලින්ක් එක. 
http://ranavirumeetup.org/

දේශපාලනේ පැත්තකින් තියමු. අපි හැමෝගෙම ඇඟේ දුවන්නේ එකම රතු පාට ලේ. ඉතිං සත්කාරයකට එකතු වෙන්න තවත් මොන සීමා ද....?

ඔව්... උඹ එනකම් අපි බලාගෙන ඉන්නවා.


17 comments:

  1. වටිනා වැඩක් නාඩියා..... අපේ සුභපැතුම්

    ReplyDelete
  2. මේ වැඩේ නරකයි කියලා කියනවා නෙවෙයි. ඔබ හිතන ආකාරය හොඳයි. කරන වැඩෙත් හොඳයි. නමුත් රණවිරු සෙවන නඩත්තු කරගන්න බැරිවෙන තරමට හමුදාව බංකොලොත් වෙන්න බැහැ.

    හමුදාවට වාර්ෂිකව අදාළ ප්‍රතිපාදන වෙන්වෙනවා. කාලතුවක්කු, යුද්ධ ටැංකි, MBRL, වැනි බර අවි නඩත්තුව සඳහා යන වියදම දැන් බින්දුවට ආසන්න තරම් පහල මට්ටමක තියෙන්නේ. හමුදා කඳවුරු සඳහා ගොඩනැගිලි ඉදිකිරීමත් සෑහෙන්න දියුණු වෙලා තියනවා, ස්ථිර කඳවුරු නැති බලඇණි රැඳවීම සඳහා.

    අලුතෙන් මහා පරිමාන බඳවා ගැනීම් කෙරෙන්නෙත් නැහැ. ඒ නිසා මේ ගැන හමුදා මූලස්ථානය මීට වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි.

    රෝදපුටු 500ක්, අත්වාරු 2000ක්, සිවිලිම් පංකා 100ක්, ප්‍රින්ටර් රිබන් 1000ක්, සඳහා යන වියදම, හමුදා අයවැය අනුව බොහොම සුළු දෙයක්.

    ReplyDelete
    Replies
    1. විචාරක තුමා, ඔය අරම්භය විතරයි.. නුදුරේදිම ඔබත් ඇතුළු සියළු රණ විරුවන් ද්‍රෝහීන් හැටියට ලේබල් ගැහෙනවා සිකුරුයි.... මේ පාර වැරදුනොත් වැරදුනාම තමා...අපරාදෙ රටේ ඒකීය භවය වෙනුවෙන් දිවි දීපු, අංග විකල වූ රණ්විරුවන්ගේ වටිනා ජීවිත...

      Delete
    2. සෙන්නා, ඔබේ දැනගැනීම සඳහා ජාත්‍යන්තර නීතිය නැවත සඳහනක් කරන්නම්. යුද අපරාධ ගණයට වැටෙන කිසිදු අපරාධයක් කරන නීත්‍යානුකූල හමුදාවක සාමාජිකයකු එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති අනුව කරන්නේ වරදක්. එය සාධාරණ සැකයකින් තොරව ඔප්පු කලොත් පමණයි දඬුවම් දෙන්න පුළුවන් වෙන්නේ. මා හිතන්නේ නැහැ LTTE ඩයස්පෝරාවට අවශ්‍ය විදිහට චෝදනා ගොනු කරන්න හෝ නඩු අහන්න පුළුවන් කියලා. අපිටත් රාජ්‍ය මට්ටමෙන් කරන්න බොහෝදේ තිබෙනවා. පහුගිය රජය කළේ, පපුවට ගහගනිමින් විදුලි පුටුවට යන්න සූදානම් වීම විතරයි. චෝදනාවට මුහුණ දෙන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාටවත් අවස්ථාවක් දුන්නේ නැහැ.

      රණවිරුවන්ට ද්‍රෝහී ලේබල් ගැහෙන්නේ නැහැ. ඔය කතාවලට කියන්නේ මනෝවිද්‍යාත්මක ක්‍රියාන්විත මගින් ඡන්දේ ඉල්ලීම කියලයි. ඒ කියන්නේ තවමත් හොරු හොඳයි කියන එක. දුෂ්ඨයන් නැවත බලයට එන්නේ නැහැ. ජනතාව මෙවර පුදුම හිතෙන තීන්දුවක් දෙනවා. බලයට එන අයට පිස්සු කෙලින්න ලැබෙන්නෙත් නැහැ. ජනතා පරමාධිපත්‍යය නැගීසිටිනවා. ඉදිරියේදී මිනිස්සුන්ගේ දේශපාලන චින්තනයේ බරපතළ වෙනසක් සිදුවෙනවා. සෑම පක්ෂයකම ඉන්න හොඳ මිනිස්සුන්ට තැනක් ලැබෙනවා. ඔවුන්ට සිදුවෙනවා තමන් කැමතිවුනත් අකමැතිවුනත් සමගිව රට පාලනය කරන්න. ඒ ආදර්ශය තරුණ පරපුරට ලැබුනම, අද අපි මේ වැටිලා ඉන්න දේශපාලන නරාවලෙන් ගොඩ එන්න පුළුවන් වෙනවා.

      Delete
    3. සෙන්නා
      මේකට විසදුම් ආයි ජරාපස්සව බලේට ගේන එක නෙමෙයි. මොලයක් තියනවනම් මේ හිටපූ හමුදා
      නිලධාරියා කියන දේ නැවත කියවල තේරුම් ගන්න .අයි මරාට බලය ගියොත් ලංකාව අපායක් වෙයි.පොල්පොට් පාලනයක් එයි.

      Delete
    4. විචාරක, මේක මේ පෝස්ටුවට අදාල නැහැ. නමුත් ඔබේ දැනුමෙන් සහ අත්දැකීමෙන් අපට කියලා දෙන්න පුලුවන්ද විවිධ අවි වර්ග සහ ඒවායේ ප්‍රයෝජන භාවිතා වන අවස්ථා ආදිය. අර පදක්කම් ගැන අනර්ඝ විස්තරය වගේ. ස්තුතියි

      Delete
    5. @ AnonymousJuly 13, 2015 at 1:22 AM

      ඔබෙන් ඉතා කාරුණිකව ඉල්ලනවා මගේ අඩවියේ මුල්ම කාලයේ ලිපි වලින් පටන්ගෙන කියවන ලෙස. මා පිස්තෝලයේ සිට කාලතුවක්කුව දක්වා විවිධ අවි රාශියක් ගැන ලිපි ලියා තිබෙනවා. ඒවා කියවා බලා, තවත් අවි ගැන විස්තර අවශ්‍යනම් මගේ අඩවියේ කමෙන්ට් එකක් දාන්න.

      Delete
    6. දුෂිත රාජපක්ෂ රෙජීමය මෙදාපාර තමයි හාන්සි වෙන්නෙ..බලයට කෑදර පෙරේතයො...

      Delete
  3. ඒ හෙනං ඇයි එයාල ඕවා ඕනෙයි කියල කියන්නේ , කොතනක හරි වැරුද්දක් තියනව නේද

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. විචාරක තුමා කියන දේත් හරි

      Delete
    2. වැරද්දක් තියනවා අටම්. එය නිවැරදි කරගන්න පුළුවන් වෙන්නෙත් හමුදාවටම තමයි.

      Delete
  4. යුද්ධයේ අත්දැකීම් මෙහෙම හරි බෙදා ගමු....

    ReplyDelete
  5. ඉතාම හොඳ වැඩක් ... ජයවේවා!!

    ReplyDelete
  6. ස්තූතියි නාඩියා දැනුවත් කිරීමට. පුලුවන් දෙයක් කරමු.

    ReplyDelete
  7. ඉතාම අගය කරනවා මේ වෑයම...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...