නාඩි සෙට් එක

Sunday, October 12, 2014

හීන


පින්තුරය - srilankanweddingphoto.blogspot.com

මොකෝ බං උඹ අහස දිහා බලාගෙන අනිමිස ලෝචන පුජාවද?

මාතලීගේ සද්දෙන් මං ගැස්සිලා ඇහැරුනා.. දන්නේ නැතිවම පොඩ්ඩක් නින්ද ගිහිං.. මාතලී කියන්නේ ඒකිගේ උප්පැන්නේ නම නෙවෙයි. හැම විශ්වවිද්‍යාල ජිවියෙක්ම ආඩම්බරෙන් උරුම කර ගත්තු කාඩ් එක. ඒකිට ඒ කාඩ් එක වැදුනේ ගම මාතලේ හින්දා නෙවෙයි. දවස තිස්සෙම කොක්ක අතේ පටලෝගෙන පිස්සිට හැතැම්ම නෑ වගේ කැම්පස් එක වටේ රවුම් ගහන්න ගත්තට පස්සේ.

“මෙහෙ බලපන් කවී.. උඹ ඔහොම බකං නිලාගෙන බලං ඉන්නවා දැක්කහම අපිටත් අවුල් යනවා බං. මොනවා උනත් ක්ලාස් එකක් ගහන්න ඉන්න කෙල්ලෙක් නේ.. නිදිමතනම් හිටපන් ගෙනාපු කිරි පැකට් එකේ අන්තිම ටික ඇති කිරි එකක් හදලා දෙන්නම්. සීනි නෑ. අතේ කාල බීපන්..”

මොනවා උනත් හිත හොඳ කෙල්ල. අවුරුදු තුනකට ඉස්සරලා අප්පච්චිත් එක්ක ඇඳ යට තියෙන පත බෑග් එකත් අරගෙන බස් එකෙන් බැහැලා පැණි මුල්ල පැත්තට එද්දී මුලින්ම හිනා වෙලා කතා කළේ ඒකි. එදා ඉදන් අතීසාර රූමා. 

තේ මන්ඩි වලට කළු පාට ගැහිච්චි ජෝගුවට ෆිල්ටරෙන් ගෙනාපු වතුර එකක් පුරෝලා සුදු පාටට කුඩු බැදිච්චි හීටරේ උණු වෙන්න දාල මාතලී ඒ දිහා බලාගෙන ඉන්නවා. වතුර රත් වෙද්දී සෝ ගාල හීනි සද්දයක් දාගෙන පුංචි බුබුළු ජෝගුවේ උඩට නගිනවා. ඇවිත් පෙන්නේ නැතිව යනවා.. හරියට අපේ ජිවිතේ හීන වගේ..

“අපි කොහොමත් දැනගෙන හිටියා මේ ළමයා විශ්වවිද්‍යාලෙ යන විත්තිය. හරිම සන්තෝෂයි. පාසලට ආඩම්බරයක්.”

කැම්පස් තේරුණු ලියුම අරගෙන ඉස්කෝලේ ගිය වෙලේ ප්‍රින්සිපල් මැඩම් කිව්වේ එහෙම. ක්ලාස් යද්දී සර්ලා කිව්වේ “පුතා AL තමයි විභාගේ.. කැම්පස් ගිහාම කිසි ප්‍රශ්නයක් නෑ.” සුධර්මාරාමේ හීනි බංකු වල වාඩි වෙලා අපි එදා සුරංගනා ලෝක මැව්වා. Physics පේපර් එකේ අමාරු ගානක් හදා ගන්න බැරි උනාම මේසෙට උඩින් බිත්තියේ ගහලා තිබ්බ කළු පාට ලෝගුවක් දාගෙන ඉස්සරහ බලාගෙන ඉන්න ඇස් හීනි කෙල්ල දිහා බලලා තනියම කියා ගත්තේ කෙල්ලේ මමත් උඹ වගේ ඩිග්‍රියක් ගන්නවාමයි කියලා. 

ලොකු නැන්දා ගේ පුතා, සහන් ඉංජිනේරින් වලට තේරුනා කියපු දවසේ ඉඳන් අම්මාට ඕනේ උනේ මාව කැම්පස් යවන්න. “ක්ලාස් යන්නේ නැතිව ඌ කට්ටි පැනපු හැටි දන්නේ අපිනේ. ඌට පුළුවන් නම් ඇයි ඉතිං උඹට බැරි!” අම්මා එදා ඒ කෑ ගැහුවේ තරහකට නෙවෙයි. හැබැයි ඒ කටේ වරුණේ හින්දා තමයි අපි මෙතන. 

“මනෝ පාර දාන්නේ නැතිව මේ තේ එක බීපන්! ඔන්න ඕකට කුඹිත් වහලා! මොකෝ බං උඹ? ඊතල පාරක් වත් කාලද?”

“අනේ පලයන් උඹලට විසේ ගැහුවට අපිව ඒකට ගාව ගන්නේ නැතිව ඉඳපන්”

“අම්මේ කොල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නැති සීදේවි කෙලි පොඩ්ඩ! මේ ටිකට උඹ කොල්ලොන්ට අහපු ගමන් දීපු ඇණ ටික එකතු කරගත්තනම් ඇති අවුට් වෙලා හාඩ්වෙයාර් එකක් දාන්න.පව් බං උන්. කොච්චර උඹ හින්දා නැහුණු උන් හිටියද! බලපන් අර අවුට් වෙලා ගිය බැච් එකේ අයියා. කී පාරක් නම් මගෙන් උඹේ නොමබරේ ඉල්ලුවද!හා හා ඔය මනෝ රාජ්ජෙන් බැහැලා ඇවිත් මෙන්න මේ තේ එක බීපන්”

අතට බෝතලෙන් සිනි ටිකක් හලා ගත්තු මං මාතලිගේ මේසේ පැත්තට පොඩ්ඩක් ඔලුව දැම්මා. පව් කෙල්ල. පෙර වැරදි බොහොමයි! රිපීට් දෙකක්ම එක ළඟ සෙට් වෙලා. 

“උඹලා වගේ ඉතිං අපි මීටර් නෙවෙයිනේ බං. පුළුවන් හැටියට C එකක් වත් දා ගන්න තමයි මේ සැරේ බලන්නේ.”

“උදව්වක් ඕනෙනම් කියපන්. මැත්ස් එච්චර මතක නෑ. හැබැයි පොඩ්ඩක් tute එකක් බැලුවොත් ගොඩ දාල දෙන්න පුළුවන්. අනිත් එක චීනා සර් දෙන්නේ කොහොමත් පාස් පේපර්ස් වලින් නේ...”

“හම්මේ එහෙමවත් බලමු කවී.. මේ ඒක නෙවෙයි කෙල්ලේ සඳලිගේ බර්ත් ඩේ එක ලබන සතියේ. මොනවා හරි present එකක් දෙන්න වෙයි නේද?”

සඳලි, එහා පැත්තේ රුම් එකේ හිටියට ගොඩක් වෙලාවට පොඩි කයියක් දාගන්න මේ පැත්තට එනවා. ගිය සැරේ මගේ බර්ත් ඩේ එකටත් පුංචි ලස්සන ප්‍රසන්ට් එකක් අරගෙන ආවා. ඉතිං නොදී කොහොමද? ඒත්... ගිය සතියේ වැටුණු බර්සරිය ඉවර වෙලා. ඇයි ෆොටෝ කොපි වලටම බර ගානක් ගියානේ. ගෙදරින් ඉල්ලන්නේ කොහොමද ආයේ. 20 වෙනකං අප්පච්චි හම්බෙන ගානෙන් අදින්නත් එපැයි. මල්ලිගේ ක්ලාස් ෆීස් වැඩි උනා කියලත් කිව්වනේ..

“ම්ම්... ප්‍රසන්ට් එකක් නම් දෙන්නත් වෙනවා. අතේ සතේ නැති එක තමයි ප්‍රශ්නේ. ගෙදරින් ඉල්ලන්නත් ටිකක් අමාරුයි මාතලී...මේ උඹ මේ පැත්තේ නිසා බැරිවෙයිද මට ක්ලාස් එකක්වත් සෙට් කරලා දෙන්න කරන්න. මොකෝ අපිට කොල්ලෝ වගේ පත්තරේ යන්නවත් පුළුවන් එකක්යැ...”

“ක්ලාස් කරනවා කියන්නෙත් ලේසි වැඩක් නෙවෙයි කවී. අන්න මැනේජ්මන්ට් එකේ අපේ පැරා ළමයෙක් ක්ලාස් කරන්න ගිහිං ගෙදරකට. ගෙදර හිටිය මිනිහා මොකක්ද ඕන්නැති කතාවක් කියලා ආපහු ඇවිත්. ඒ මාසේ සල්ලි අරගන්නවත් ඒකි ආපහු ගිහිං නෑ.”

“ඒත්.... කියක් හරි අතට තියනවා නම් හොඳයි බං. තව අවුරුද්දක් මේකේ ඉන්නත් එපැයි.”

කියක් හරි හොයා ගන්න තියනවා නම් හොඳයි කියලා හිතුනේ අද ඊයේ නෙවෙයි. හැබැයි ගිය සතියේ නෙහාරා ගේ වෙඩින් එකට ගිය වෙලේ ඉඳලා ක්ලාස් හරි කරනවා කියලා හිතා ගත්තා. නෙහාරා මගෙත් එක්ක එක පන්තියේ හිටිය කෙල්ල. වැඩිය ඉගෙන ගන්න බැරි උනාට OL වලින් පස්සේ මොකක්ද කෝස් එකක් කරලා දැන් කොළඹ ප්‍රයිවට් කම්පැනි එකක වැඩ. බැන්දේ ඒ කම්පැනි එකේම HR එකේ executive කෙනෙක්. 

“Hello… කවින්ද්‍යා විමලවීර”

වෙඩින් එකට සතියකට විතර ඉස්සරලා පොෂ් වෙච්චි කටහඩකින් ඒකිම කතා කරලා එන්න කිව්වහම නොගිහිං කොහොමද. අනිත් එක ඉස්කෝලේ කාලේ යාළුවෝ ටික ආයේ හම්බෙන්නේ එහෙමත් තැනකදී නේ. 

වෙඩින් එක තිබ්බේ මීගමුවේ බීච් සයිඩ් එකේ ලොකු හොටෙල් එකක. Flower arrangement වලටම ලොකු ගානක් ගියාලු. නෙහාරා ගේ තාත්තා දෑවැද්ද කියලා එදා වෙඩින් එක වෙලේම අලුත්ම හයිබ්‍රිඩ් කාර් එකක් ඒකිට දුන්නා. කපල් එක නුවර එළියේ හනිමූන් ගියෙත් ඒකෙමයි. 

“උඹට දෑවැදි ඕනේ නෑනේ දුවේ.. උඹ ඉගෙන ගත්තු ටිකම ඇතිනේ නේද”

පහුගිය දවසක ගෙදර ගිය වෙලාවක අප්පච්චි ගේ ඉස්සරහ හාන්සි පුටුවේ වාඩි වෙලා කිව්වේ හුඟ කාලෙකින් පෝර සාත්තුවක් ලැබිච්චි නැති මහ ගෙදර වත්තේ උස පොල් ගස් ටික දිහා බලාගෙන. 

හාන්සි පුටුවට එහා පැත්තේ කනප්පුවේ එදා අරගත්තු ඉරිදා ලංකාදීපේ මංගල යෝජනා අතිරේකේ දිග ඇරිලා තිබ්බා.

  

71 comments:

  1. පුංචි කතාවක් අස්සේ ලොකු කතා ගොඩක් අපිට කියෝගන්න ඇරලා, ග්‍රේට් මල්ලියා

    ReplyDelete
    Replies
    1. කියවන කෙනාට දෙයක් ඉතුරු කළේ නැත්නම් හරි නෑනේ

      Delete
  2. මේකේ තව කොටසක් තියෙනවද? හපොයි ඇයි ඉවර කලේ?

    ReplyDelete
    Replies
    1. කිව්වත් වගේ මේකෙ තව කොටසක් තියේද නාඩියො... ?

      Delete
    2. මේ විදිහට ඉවර කරන්න හිතුවා. ඕනෙනම් කියවන කෙනාට හිතෙන විදිහට තව ඉස්සරහට අරගෙන යන්න පුළුවන්..එක එක්කෙනාගේ රුචිකත්වය වගේම හීනත් වෙනස් නේ

      Delete
    3. Keti kathawak hari widihatama awasan karala.

      Delete
  3. දෙවැනි පාරත් කියෝල බලපුවාම තමා තේරුනේ උඹ කතාවෙන් ලොකු ලොකු කතා ගොඩක් කියන්න හදනවැයි කියල.
    නියමයි නාඩියො

    ReplyDelete
    Replies
    1. ඔව්.. හැංගිච්ච දේ දැක්කනම්...

      Delete
  4. හම්මෙ .....මං මේ තිරේ දිහා බලාගෙන කල්පනා කලේ මොනවද කියන්න ඕන කියලා .......කතා ගොඩයි ,හීනත් එහෙමමයි ...හැබැයි සමහර දේවල් වෙන්නෙ හොදට කියලා මට නම් හිතෙනවා ඒ වෙලාවෙ අමාරු වුණත් .

    ...පට්ටයි බන් ..උඹ දැන් ලියන එවා සුපිරි ,එහෙම කිව්වාම ඇති ....

    ReplyDelete
    Replies
    1. ඔව්.. ගොඩක් දේවල් වෙන්නේ හොඳට කියලා හිතපුවාම හරි

      Delete
  5. අයියෝ.. මංගල අතිරේකෙද....

    අර ඉස්සර තිබ්බෙ හිනා යන කතා තියෙන කෑල්ලක් ඔය පත්තරේ... ඒක වෙනුවට දාලා තියෙන්නෙ ඔය අතිරේකෙද කොහෙද... අවුරුදු 20 කොල්ලන්ටත් අම්මල පත්තරේ දානව... 65 කෙල්ලනුත් පත්තරේ දානව.. සමහර වෙලාවට හිතෙනව මේ රටේ මෙච්චරටම කෙල්ලෙක් කොල්ලෙක් හොයා ගන්න බැරි එවුන් ඉන්නවද කියල... ඒ මදිවට කැම්පසුත් ගිහින් උපාධිත් කරල... අ‌නේ මන්ද...

    ReplyDelete
    Replies
    1. කැම්පස් ගිහින් උපාධි ගත්තා කියල ඔක්කොම හරි කියල හිතන්නේ කොහොමද? මම නම් හිතන්නේ ඒක අධ්‍යාපන සුදුසුකමක් මිසක් ජිවන සුදුසුකමක් කරගන්නේ සුළු පිරිසයි. කැම්පස් එකෙන් එලියට සිංගල් විදියට එනවා කියන්නේ අබග්ගයක් කියල හිතන එකට මම විරුද්ධයි. මොකද එතැනදී අපේ චරිතයේ එක පැත්තක් විතරයි පිරෙන්නේ.

      මංගල අතිරේකය දැක්කම මට එන්නේ දුකක්... තමුන්ගේ සහකරුවා/සහකාරිය හොයාගන්න කොතරම් දෙනෙක් වෙහෙසෙනවද? කොතරම් අවිනිශ්චිත කාරණයක්ද?

      Delete
    2. අබග්ගයක් කියල හිතන්නෙ නෑ.. ඒත් ඊට පස්සෙවත් එච්චර සාමාජයක ගැවසිලත් තමන්ට ගැලපෙන කෙනෙක් හොයාගන්න බැරි එක්කො ඒ මනුස්සයා පොතෙන් ඔලුව උස්සලා බලපු නැති පොත් ගුල්ලෙක් වෙන්න ඕනෙ.. නැත්තං වෙන මොකක් හරි ලොකු බරපතල වැඩක යෙදිල ඉඳලා කෙල්ලෙක් හොයාගන්නවත් වෙලාවක් නැති වෙච්ච එක්කෙනෙක් වෙන්න ඕනෙ... නැත්තං ඉතිං කසාද බඳින්න උවමනාවක් නැති කෙනෙක් වෙන්න ඕනෙ... ( අම්මලා තාත්තලනෙ ඔය පත්තරේ යෝජනා දාන්නෙ..)

      සාමාන්‍යයෙන් කැම්පස් ළමයි ඒ වයසෙ අනිත් ළමයින්ට වැඩිය සම වයසෙ අයත් එක්ක ගැවසෙනවා වැඩියි.. ගොඩක් ඔය මංගල යෝජනා වලට හේතුව කැම්පස් ලවු එක අසාර්ථක වෙලා හරි ඒකට අම්මල තාත්තලා බාල්දි දාලා හරි... ඊටත් වඩා මේ කාලෙ තමන්ට ගැලපෙන කෙනෙක් අම්මලට හොයල දෙන්න වෙනව කියන්නෙ මගේ අයිඩියා එකේ හැටියට නං ඒ මනුස්සයා අන්තිම අසාර්ථක මනුස්සයෙක්..

      අනිත් එක ඔය මංගල යෝජනා ගොඩක් දාන්නෙ අම්මලා තාත්තල.. දෑවැදි ප්‍රශ්න, කේන්දර ප්‍රශ්න, කුල ප්‍රශ්න, සල්ලි ප්‍රශ්න අරවා මේවා හින්ද එක්කො යාලු වෙච්ච එක කඩලා දාලා.. නැත්තං බඳින එකාට බඳින එකත් එපා වෙලා අම්මලට ඕනෙ එකක් කරගන්න කියපුව... ඕවා නැති කේස් ඇවිල්ල අත්සනට පමණක් සීමා වූ විවාහයකින් වෙන් වෙච්ච ඒවයි, නැත්තං පැමිණිලිකාර පාර්ශවය වෙලා දික්කසාද වෙච්ච ඒවයි... අනිත් ඒවා වයස 40 පැනපු කෙල්ලන්ගෙ... අනිත් සහෝදර සහෝදරියන්ට මෙයාගෙන් ගැලවෙන්න ඕනෙ වෙලා දාන යෝජනා...

      ඔය අවුරුදු 20 විතර ළමයින්ට යෝජනා කර තැබීම සඳහා කියන ඒවත් මහ විකාරයි මට නං... ඒ අම්මලට පිස්සුද කියල හිතෙන්නෙ ඉතිං...

      Delete
    3. හ්ම්ම්..... අනේ මන්දා... සමහර වෙලාවට කැම්පස් එක ඇතුලේ හිච් වෙලා ඉඳලා එළියට ගිහාම බදින දවසට එවනවනේ වෙඩින් කාඩ් එකක්. කාඩ් එකේ තියෙන්නේ අපි දන්නා කොක්කගේ නම නෙවෙයි ගොඩක් වෙලාවට! :D

      Delete
    4. නාඩියා : ඔව් යකූ! මේ අද උදෙත් හොල්මන්ද පොල්කොල වෙලා ගියා කාර්ඩ් එකක් දැකල

      Delete
    5. හැබැයි බස්සි අක්කේ පොල්කොළ ගොක් කොළ පේන්න ඉස්සරලා වෙඩින් කේක් කෑල්ලක රහ බලන්න අපිත් ආසයි!

      Delete
    6. This comment has been removed by a blog administrator.

      Delete
  6. අම්මේ හීන ලෝකයක්.. ඇත්තටම මේකේ තව කාලක් තිබ්බනම් රසවත් නේද..

    ReplyDelete
    Replies
    1. තව කාලක්..... ම්ම්..... ඕනේ විදිහට දා ගන්න.. :D

      Delete
  7. එල ද බ්‍රා...ඒ වුනාට උඔ කම්මැලි වෙලා...තව ටිකක් වෙලා අරගෙන ලියපන් අතපය දිග ඇරලා.

    ReplyDelete
    Replies
    1. අප්පේ... බලන්න තියෙන චෝදනා... අන්තිමට කමෙන්ට් එකක් විදිහට දාන්නම් තව ටිකක්... අර කාලට හරි යන්න!

      Delete
    2. මෙන්ඩියටනං කාලක් මදිවෙයි, තව බාගයක්වත් දෙන්නවෙයි.

      බ්‍රෑන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    3. බයිට් එකට ගිගා බයිට්

      - ස්තුතියි-

      Delete
    4. අපේ නම් බ්‍රෑන්ඩ් එක වතුර තමා! බයිට් එකට බත්!

      Delete
  8. අපූරුයි නාඩි...

    ReplyDelete
  9. කතාවෙන් කියවෙන කතාවට මං කැමති. එහෙම කතා කොච්චර නම් දකිනව ද අපි. මේක අවසන් කරල තියන විදිහ එහෙම නියමයි නාඩියෝ !!

    ReplyDelete
    Replies
    1. ඒකනේ... හැබැයි ඒ කතා වලට උත්තරේ කොතනද?

      Delete
  10. ඔය හීන කවදා හැබෑවෙයිද බං?

    පොඩි කතාවක් ඇතුලෙ උඹ කතා ගොඩක් කියලා. පට්ටයි නාඩියො. නියමයි.

    ReplyDelete
    Replies
    1. xකවදා හැබෑ වෙයිද කියලා තමයි කියන්න බැරි

      Delete
  11. විවාහය , දෑවැද්ද , මංගල තීරය , අධ්‍යාපනය ... හැමතැනකම හීන ... හීනෙන් ඇහැරිලා බලනකොට අතරමන් වෙලා නොතිබ්බොත් හොඳයි, ජීවත් වෙන්න හීන තියෙන්න ඕන, එත් හීන වලින් නැගිටින්න වෙන එක නම් දුකයි.

    ReplyDelete
    Replies
    1. හීන වලම ජිවත් උනා කියලා හීන හැබෑ වෙන්නේ නෑනේ

      Delete
  12. හීන...! පට්ටයි නාඩි මල්ලියා....
    අවුරුදු හතරක් තිස්සෙ ඇස් පනාපිට දැකපු අහපුවා උඹ අපූරුවට අකුරු කරල තියෙන හැටි දැක්කම වෙන කියන්න දෙයක් හිතාගන්නත් බැරුව ගියා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. ඇතුලේ වෙන ඒවා ඇතුලේ එකෙක් මිස එළියේ එකෙක් කොහොම කියන්නද

      Delete
  13. මේ කොටසෙන් කැම්පස් ගියපු ජීවිතවල හරස්කඩක් පෙන්නපු එක ගැන මම සතුටු වෙනවා. සමහර වෙලාවට මටත් ඔහොම චරිත හම්බෙනවා. එක්කෝ කැම්පස් එකේ අවසන් වසර වෙනකල් මතක් වෙන්නේ නැහැ එයාලට පොතින් පතින් විතරක් මේ අවුරුදු හතර කවර් කරන්න හොඳ නැහැ කියල. මම කියන්නේ ප්‍රේම සම්බන්ධකම් ගැන විතරක් නෙවෙයි.

    කැම්පස් ඇතුලෙදි ප්‍රේම කරලා, ඒක බිඳුනොත් ඇත්තටම ගොඩක් දෙනෙක් අගාධෙට වැටෙනවා, ඇසින් දුටු සිද්ධි එමටයි.

    ඒ වගේම දුප්පත් ගොවි පවුල් වලින් ඇවිත් මහන්සියෙන් ඩිග්‍රිය කරන ගමන්, නිවාඩු කාලේ ගොයම් කපපු කොල්ලෝ අපේ බැච් එකෙත් හිටිය. උන්ගේ ජිවිතත් ඇත්තටම මේ වගේ දෙබස් වලින් පිරිලා. සාධාරණ කතා...

    ReplyDelete
    Replies
    1. හරිම සාධාරණයි. හැබැයි ඒ කතා වලට සාධාරණේ ඉෂ්ට වෙනවද?

      Delete
  14. මේක මන:කල්පිත කතාවක්ද? එහෙම නැත්නම් නාඩිය ගර්ල්ස් හොස්ටල් පැත්තෙ බැල්මක්වත් දාලද? :පී
    කතාව දිග මදි වගේ... තියන ටික එලස්ම තමා..

    ReplyDelete
    Replies
    1. ගර්ල්ස් හොස්ටල් එක පැත්තේ බැල්ම දාන්න ඕනේ නෑ. නිතර අහන්න දකින්න තියෙන දේවල් නේ

      Delete
  15. ඇයි කතාව බලෙන් නැවැත්තුවෙ ...!

    ReplyDelete
    Replies
    1. නැවැත්තුවේ නෑ. නැවතුනා

      Delete
  16. කතාව නියමයි හිතන්න ගොඩක් දේවල් ඉන්නවා .. නොදැක්ක වෙනස්ම ජීවිතයක් වෙනස්ම මිනිස්සු කොට්ටාශයක් වෙනස් ම පරිසරයක් මම කැම්පස් එකේදී දැක්කේ කැම්පස් ජීවිතය මාව සම්පූර්ණ වෙනස් කලාදෝ කියලත් හිතෙනව තව කල් තියනවා කැම්පස් අවුට් වෙද්දී මම මොන කියයිද ,මම කොහොම ඉඳීද කවුද දන්නෙ :)

    ReplyDelete
    Replies
    1. අවුට් වෙද්දී එළියට යන ජීවියා තවත් වෙනස්!

      Delete
  17. මිනිස්සු මිනිස්සු විදිහට හිතන පතන විදිහ හරි ද කියල හිතන්න මගපාදන කතාවක්....

    ReplyDelete
    Replies
    1. මිනිස්සු ද කියලා තමයි දැන් හිතන්න වෙලා තියෙන්නේ

      Delete
  18. අපූරුම කෙටි කතාවක්.. කෙටි කතාවක නොව ඕනෑම නිර්මාණයක විය යුත්තේ මෙයයි.. එනම් රසිකයාටත් කතාවක් ගොතා ගැනීමට ඉඩ තැබීම. එහෙම නැත්නම් ඉතින් බිහිවන්නේ නිර්මාණකරුවෝ නෙමෙයිනේ.. නඩුකාරයෝ...

    ReplyDelete
    Replies
    1. ඔව්... අවසානය ගැන නිර්මාණකාරයා විනිශ්චය කරන්න ඕනේ නෑ.

      Delete
  19. මිනිස්සුන්ගෙ ජීවිතවල අපි හිතනවට වඩා දකිනවට වඩා හැංගිලා තියෙන දේවල් ගොඩක් තියෙනව..

    ReplyDelete
    Replies
    1. ඔව්.. මිනිස්සු ඒවා එළියට පෙන්නන්න කැමති නෑ

      Delete
  20. කතාව අමුණල තියෙන්නේ බර සාර කෝචිචියකට බං.. එළ

    ReplyDelete
    Replies
    1. දැන් කෝච්චි ගැන මෙච්චර කතා වෙන එක අපි කෝච්චියක් ගැන කතා කරපුවහම මොකෝ

      Delete
  21. නාඩියා මේ කතාව නවත්තපු තැන තමයි මරු. ටොප්. නැත්නම් මේකත් සාම්ප්‍රදායික කතාවක් වගේ වෙනවා. මම නම් කැමති ඒකට.

    ReplyDelete
    Replies
    1. සාම්ප්‍රදායික කතාවක අපිට හිතන්න තැන් අඩුයි නේ

      Delete
  22. මේ තමයි ඇත්ත. දැන් නෙවෙයි මීට අවුරුදු විස්සකට ඉස්සරත් ඔහොමමයි.කතාවේ පෙළගැස්මට හා අවසාන කරපු විදිහට මමත් කැමතියි

    ReplyDelete
    Replies
    1. විස්සකට පස්සෙත් මෙහෙම වෙයිද දන්නේ නෑ

      Delete
  23. නියමයි .කතා ගොඩයි

    ReplyDelete
  24. අපි ඉතිං කැම්පස් ගිහිල්ල නැති නිසා ඕව ගැන කොහෙම දැනගන්නද.
    කියවන මනුස්සයටත් ගොඩක් පැති වලට හිතන්න පුලුවං විදියට කතාව පෙල ගස්සල තියෙන්නෙ.
    නියමයි.

    ReplyDelete
    Replies
    1. කැම්පස් ඇතුලේ විතරක් නෙවෙයි. එලියේත් මිට ටිකක් ලඟින් යනවා

      Delete
  25. කථාව අප වඩේ යනවද - අපි කථාව වටේ යනවද

    කොහේ ගියත් නියමයි..

    ජ ය වේ වා !!!!!!

    ReplyDelete
    Replies
    1. අපිත් වටේ යනවා. අපි වටේට කතාත් යනවා

      Delete
  26. උඹ කාලෙකට පස්සෙ කම්මැලි කම අත ඇරලා මහන්සි වෙලා ලියපු බොග් සටහනක් කියලා කටපුරා කියන්න පුලුවන්. මේ වගේ ලස්සනට ලියන්න හැකියාව තියෙද්දි කම්මැලි කම් කරන්න එපා කොලුවො...මේ කථාව බොහොම රහයි...විශ්ව විද්‍යාලය ඇතුලෙ තියෙන උප සංස්කෘතික ලක්ෂන වලින් සමහර දේ ගැන මගෙත් දැනුවත් භාවයක් තියෙනවා. විශ්ව විද්‍යාලයට යන එක හරිම සුන්දර අත්දැකීමක් උනේ 80 දශකයට එහා කාලෙදි කියලයි මගේ හැගීම. අද ඉතිං මොන තරම් ප්‍රශ්න එක්කද ළමයි අධ්‍යාපනයෙ නිරත වෙන්නෙ. සබරගමුව විශ්ව විද්‍යාලයේ විශාල ගැටලුවක් නේද මේ දවස් වල... ලංකාවෙ විශ්ව විද්‍යාල ලමයි විවිධ ආයතන වල පාර්ට් ටයිම් රැකියා කරන්නෙ නැද්ද ? විදේශ රටවල නම් බහුතරයක් සිසුන් තමන්ගෙ වියදම ඒ විදියට හොයාගන්නවා නේද ?

    ReplyDelete
    Replies
    1. දැනුත් ඒක සුන්දර අත්දැකීමක්. හැබැයි කටු මල් දෙකම පරිච්ච සුන්දර අත්දැකීමක්. ලංකාවේ උනත් අපේ අය ඕනේ තරම් part time කරනවා. මම කලින් අ.පො.ස. කියලා කෙටුවේ ඒ වගේ සිද්ධියක් තමා.

      ඉස්පාසු තියෙන විදිහට එපැයි අයියේ කොටන්නත්

      Delete
    2. සබරගමුවේ ප්‍රශ්නේ ඇතිවුනේ අපේ අති උත්තම සුදු බණ්ඩා මහත්තයා ආවනේ.. ඊට පස්සේ. ඇයි අර ප්‍රකාශයක් එහෙම කරලා තිබ්බේ චන්දෙ නැත්නම් මේ අයට සලකන හැටි දන්නවා කියලා.

      Delete
  27. එල කොල්ලෝ ..ඔහොම ලියපන් ... පුලුවන්නම් කවිත් ලියපන්

    ReplyDelete
  28. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  29. කැම්පස් ලමයි විඳින දුක ලොකු නිලධාරින්ට තේරෙන්නෙ නැති එකනෙ ප්‍රස්නෙ. කතාව හරියට හිතට කා වැදුනා.

    ReplyDelete
    Replies
    1. මේකනේ ඒ අය හැසිරෙන්නේ හරියට කවදාවත් කැම්පස් එකක් දැකලාවත් නැති විදිහට

      Delete
  30. පොඩි මල්ලිOctober 21, 2014 at 1:27 AM

    ඩිග්‍රී කොලේ අතට අරන් රස්සාවකුත් හොයාගෙන වයසට ගිහින් කසාද බඳින්න හදනකොට දැන් පිහිටට තියෙන්නේ ඔය පත්තර අතිරේකේ විතරයි. මෙහෙම උන එකට ගොඩක් ය වග කියන්න ඕන.

    චීන සර්ගේ පේපර් එක නම් අමාරු වෙන එකක් නෑ. කලින් හදන්න tute එකකුත් දෙනවනේ. :ඩි

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං වගකිවයුත්තෝ අපමණයි!

      Delete
  31. එල බං.... එක ගලෙන් කුරුල්ලෝ කීයකට විදලද උබ...
    එල එල... කට්ට කාලා දුක් විදලා ආයිත් විදින්නේ දුක්නේ බං.

    ආපස්සට හැරිලා බලන බහුතරයකට ජිවිතේ බොහෝ දේවල් මග හැරිලා....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...