නාඩි සෙට් එක

Monday, August 10, 2015

හොලොලෙන්ස්


මේ නාඩිය කොටන්න කියලා පටන් ගත්තේ මහා පොළොවේ ඉඳන් අඩි තිස් හතරදාහක් උඩ ඉදන්. හැබැයි ඉවර කර ගන්න හම්බුනේ මහ පොළොවේදී. 

පහුගිය දොහොක මං තුමා ඔබාමා ගොයියාගේ රටට ගැච්චුවා. ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ සියැටෙල් නුවර රෙඩ්මන්ඩ් වල තියෙන මයික්‍රොසොෆ්ට් ප්‍රධාන ආයතනයේ තිබිච්ච Worldwide MSP Summit එකට සහභාගී වෙන්න තමා මං තුමා ගියේ. 

පැය 18ක ගුවන් ගමනක්. එක දිගට නෙවෙයි. ඩුබායි වල පැය දෙකක විතර transit එකක් එහෙම ඉඳලා තමා ගමන. 

සියැටෙල් නුවර කියන්නේ ලෝකේ මං ආසම නගරයක්. ගිය අවුරුද්දේ මාසයක් විතර හිටියනේ. ඒ විස්තරේ මෙතැනටඇමුනුවා. මොකෝ ආයේ කොටන්න කම්මැලියි.

මෙදා සැරේ එච්චර ඇවිදින්න කරන්න හම්බුනේ නෑ. මොකෝ දවස් පහම එක දිගට වැඩ තිබ්බා.
මේ දවස් ඇමරිකාවේ summer එක. ඒකත් එක්ක හරි අපූරු දේවල් ගොඩක් එහෙ සිද්ධ වෙනවා. 

අහලා තියනවද Microsoft Imagine Cup Competition එක ගැන. මයික්‍රොසොෆ්ට් ආයතනය මඟින් වාර්ෂිකව පවත්තවන තරඟයක්. Games, Innovation, World Citizenship කියන අංශ තුනෙන් මේ තරඟය පැවැත්වෙනවා. එක් එක් රටවල් වලින් තරඟ වැදිලා අවසාන වටේට තේරිච්ච ලෝක ශුරයෝ තමන්ගේ අපූරු සොයාගැනීම් එක්ක සියටෙල් වලට ඇවිත් හිටියා. ඒත් එක්ක TechReady event එක. Microsoft OneWeek වගේ IT related event නිසා ලෝකේ හතරදික්බාගෙන්ම කොම්පීතර කාරයෝ ඇවිත් හිටියා එකම තැනකට.

මේ දවස් පහේ මගේ නවාතැන උනේ වොෂිංටන් සරසවිය. හරිම ලස්සන තැනක්. ලෝකේ ලස්සනම පුස්තකාල දහයෙන් එකක් තියෙන්නේ මේ සරසවියේ. ඒ වගේම ඇමරිකාවේ හොඳම medical faculty එක තියෙන්නේ මේ සරසවියේ. 

උදේ හතට රෙඩ්මන්ඩ් මයික්‍රොසොෆ්ට් ඔෆිස් එකට යන්න බස් එකට නගිනවා. ආපහු එන්නේ රෑ 9 ට විතර. හැබැයි එද්දිත් ඉර බැහැලා නෑ!

බිල් ගේට්ස් ගොයියා පටන් ගත්තු මයිකොසොෆ්ට් එක දැන් Satya Nadella යටතේ තමයි තියෙන්නේ. ඉස්සර operating system එක්ක හැප්පුණු කොම්පැනිය දැන් අලුත් පැති හොයාගෙන යන්න පටන් අරගෙන. Windows Phone, Microsoft Band, Microsoft Azure cloud වගේ අලුත් පැති ඉස්සරහට එන්න පටන් අරගෙන ඒ වගේම Visual Studio වගේ IDE open source වල‍ට support කරන්න පටන් අරගෙන. 

දෙවෙනි දවසේ අපිට හරි අපූරු අත්දැකීමක් අත්දකින්න පුළුවන් උනා. Microsoft Hololens. මුලින්ම මේ වීඩියෝ එක බලලා ඉන්නකෝ..

බළලා මල්ලෙන් එළියට පැනලා හිටියට තාම මේ අපූරු ගැජට් එක මාකට් එකට ඇවිත් නෑ. Augmented Reality සාමාන්‍ය භාවිතයට ගේන මරු බඩුවක්. තාම තියෙන්නේ experimental stage එකේ. වැඩිය හින්ට් එළියට දෙන්න බෑ. ඔන්න මං තුමාම ලියපුබ්ලොග් පෝස්ට් එකක් තියනවා. කියවලා බලන්නකෝ ඔච්චර interesting නම්...

ලෝකේ රටවල් 75කින් විතර එකතු වෙච්චි ඩයල් එක්ක වැඩ කරද්දී මරු මරු වැඩත් වෙනවා. මගේ room mate උනේ ජපන් ඩයල් එකක්. මරුම සිද්ධිය ඌට සිංහල බෑ. මට ජපන් බෑ. ඊටත් වඩා ඌට එච්චර ඉංගිරිසිත් බෑ! අතින් පයින් තමා වැඩියෙන්ම ගනුදෙනු. පොඩි කාලේ ඉඳලා ටිකක් හරි අපිට ඉංගිරිසිය කට ගාපු ඒ ගුරු උත්තමයොන්ට පිං අයිති වෙන්න ඕනේ. :D
ලෝකයම එක තැනක
තවත් මගේ හිතට වැදිච්චි දෙයක් තමයි innovative thinking කියන එක. ලංකාවේ හැම තැනම දැන් IT කාරයෝ. ඒ වගේම අපි හැම වෙලේම කතා කරනවා සීගිරිය වගේ අරුම පුදුම නිර්මාණ ගැන. Innovation ගැන උපන් හැකියාවක් තියෙන අපි හැබැයි ඒ හැකියාවෙන් ප්‍රයෝජන ගන්නේ නෑ. 

අපි බලන්න ඕනේ ඇමරිකාව වගේ හඳට යන නිර්මාණ කරන්න නෙවෙයි (පුළුවන් නම් කිසි වැරැද්දක් නෑ) අපි කරන්න ඕනේ අපේ වටපිටාවට ගැලපෙන නිර්මාණ. උදාහරණ දෙකක් තුනක් කියන්නම්. 

නයිජීරියාව කියන්නේ අප්‍රිකාවේ තියෙන රටක්. ඒ රටේ විශ්වවිද්‍යාල කණ්ඩායමක් නිර්මාණය කරලා තිබ්බා ඇස්මා රෝගීන්ට අතේ පළදින්න පුළුවන් උපකරණයක්. ඒ මඟින් පුළුවන් වෙනවා ඇස්මා රෝගීන්ට අහිතකර තත්ත්ව හදුනා ගන්න. 

සයිප්‍රස් රටේ කෘෂිකර්මාන්තය ඉතා දියුණු රටක්. ඒ අය නිර්මාණය කරලා තිබ්බේ automated green house එකක්. ඒ කියන්නේ ඒ රටට ඉතා වැදගත් දෙයක්.

අපි කරන්න ඕනේ අපිට තියෙන දේවල් තාක්ෂණයත් එක්ක මුහු කරන්නේ කොහොමද කියලා බලන එක. 

කොහොමෙන් කොහොම හරි වැඩ කටයුතු ඉවර වෙලා මංතුමා ලංකාවට සැපත් උනා. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටින්. ආපහු ලංකාවට එද්දී මට එක දෙයක් හිතුනා. ගුවන් තොටුපොල කියන්නේ ලංකාවට එන විදේශිකයෙක්ට මුලින්ම පේන කරන තැන. හරියට ගෙදර ඉස්සරහ දොර වගේ. ඉතිං ඒ තැන ලස්සනට තියෙන්නේ එපැයි. ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ලස්සනට පේන විදිහට මේ තැන හදන්න අපේ ලොකු මහත්තුරු ටිකක් හිතලා බලනවනම් කොච්චර හොඳඳ...

ෆොටෝ නෑ කියලා බනිනවනේ! මෙන්න ඇල්බම් එකක්ම! 

Sunday, July 12, 2015

උඹ එනකම් අපි බලාගෙන ඉන්නවා. #RanaViruMeetup


ඒ 2008 අවුරුද්ද, ගෙදරින් එළියට බැහැලා කොළඹ ආපු මුල්ම කාලේ. උතුරුකරේ ඇවිලිච්චි යුද්ධේ භයානකකම, මිලේච්ඡත්වය කොළඹට විතරක් නෙවෙයි. ලංකාවේ දකුණු කෙළවරටත් කාන්දු වෙලා තිබ්බා. අපේ අම්මා මං උදේ ගෙදරින් ගිහාම ආයේ එනකම් කෝල් කර කර කොහෙද ඉන්නේ මොනවාද කරන්නේ කියලා අහපු වාර අනන්තයි. ඒ සාමාන්‍ය ජන ජිවිතේ කාලකන්ණි යුද්ධයක් හින්දා උඩු යටිකුරු වෙලා තිබිච්චි හින්දා. උදේ ගෙදරින් ගිය තමන්ගේ අප්පච්චි හවසට යහතින් ගෙදරට එයිද කියලා සැකයක් හැම ගෙදරකම ඇවිලුනා. 

සිංහ කොඩිය පොරවාපු මිනී පෙට්ටියක් හමුදා ආචාර මැදින් නොආපු ගමක් ලංකාවේ කොහෙන්වත් හොයා ගන්න බැරි උනා. දහස් ගානක් අපේ ත්‍රිවිධ හමුදා, පොලිසියේ වීරවරු තමන්ගේ අවසාන හුස්ම පොද ශ්‍රී ලංකාවේ ඒකීයත්වය උදෙසා පූජා කළා. කකුල් අත පය, ඇස් එකම කොඩියක් යට අපි හිනෙහෙනවා දකින්න කැප කළා. දින ගණන් සති ගණන් කුසට හරි ආහාරයක් නැතිව, බොන්න වතුර පොදක් නැතිව, වන්නි මහා කැලයේ ඒ අභීත විරවරු සටන් කළා. 

කවුරුත් වෙනුවෙන් නෙවෙයි! ඒ “අපි” වෙනුවෙන්...

යුද්ධේ ඉවරයි. දෙස්පාලුවොන්ට යුද්ධේ වවාගෙන කන තුවාලයක් උනාට,තමන්ගේ මුළු ජිවිතයම කැප කරලා ලංකාවේ ඒකීයත්වය වෙනුවෙන් සටන් කරපු අපේම සහෝදරවරු තවමත් ඒ අතීත ස්මරණයන් එක්ක ජිවත් වෙනවා. සමහරු රෝද පුටුවකට සිමා වෙලා... සිය ගණන් සතුරු ඉලක්ක හඹාගෙන ගිය උකුසු ඇස් අන්ධ වෙච්චි සමහර වීරවරු සුසුම් හඩකට සංවේදී වෙලා ... 

රාගම “රණවිරු සෙවණ” 

යුද්ධයෙන් අසරණ වෙච්චි රණවිරුවන් පුනුරුතාපනය කරන එක තැනක්. යුද්ධේ ඉවර උනාට ඒ විරවරු අමතක කරන එක මහා නිගාවක්. ඒ නිසයි ශ්‍රී ලංකාවේ Tweeps ලා එකතු වෙලා අපේ රණවිරුවන් හමු වෙන්න තීරණය කළේ.

දවස මේ මාසේ (ජූලි) 25 වෙනිදා. සෙනසුරාදා. උදේ නවයයි තිහේ ඉඳන් හවස පහ වෙනකම් ඒ අභීත විරවරුන්ගේ අඩවියේ ගත කරන්න අපි ඔබට ආරාධනය කරනවා.
මේ සත්කාරයට ඔබටත් සම්මාදම් වෙන්න පුළුවන්. 

පහත දේවල් තමයි එහෙට අවශ්‍යයි කියලා දන්වලා තියෙන්නෙ:
  • රෝද පුටු
  • වැලමිටි අත්වාරු
  • සිවිලිම් පංකා
  • ලිපිද්‍රව්‍ය
  • මුද්‍රණ යන්ත්‍ර සඳහා LQ2090 රිබන්

මුදලින් දායක වීමට කැමතිනම් මෙන්න ඒ ගැන විස්තර:
සම්පත් බැංකුව, Colombo Super ශාඛාව
නම: එම්. ඩී. සෙනරත් යාපා හෝ ඩබ්. ජී. ටී. ප්‍රනාන්දු
ගිණුම් අංකය: 1175-5482-2773

වැඩි විස්තර ඕනිනම් @RanaViruMeetup එකට tweet එකක් දාන්න, නැත්නම් muditha7@gmail.com හෝ gihangamos@gmail.comට ඊමේල් එකක් දාන්න. 

මෙන්න website එකේ ලින්ක් එක. 
http://ranavirumeetup.org/

දේශපාලනේ පැත්තකින් තියමු. අපි හැමෝගෙම ඇඟේ දුවන්නේ එකම රතු පාට ලේ. ඉතිං සත්කාරයකට එකතු වෙන්න තවත් මොන සීමා ද....?

ඔව්... උඹ එනකම් අපි බලාගෙන ඉන්නවා.


Sunday, June 21, 2015

සංවේදනා

සුලෝචනා කම්බි දැල අතරින් බලාගෙන හිටියා. කොච්චර වෙලාවක් එකම විදිහට එහෙම බලාගෙන හිටියද කියන්නේ සුලෝචනා දැනගෙන හිටියෙත් නෑ. ලස්සනට මැද්දෙන් බෙදපු බෙල්ල ගාවට දික් වෙච්චි කොන්ඩේ උලුවස්සෙන් ඈතට පේන්නේ නැතිව යනකං බලාගෙන හිටියා. 

“එයාගේ නම නිසල්” 

ගිය සතියේ දවසක පන්ති ඔක්කොම එකතු වෙලා කරපු ක්‍රීඩා උත්සවේ වෙලාවේ හරිම අමාරුවෙන් නම හොයා ගත්තේ. අනිත් ළමයි ඔක්කොම සෙල්ලම් කරත් නිසල් සෙල්ලම් කළේ නෑ. හිනා වේවි පැත්තකට වෙලා බලාගෙන හිටියා විතරයි. හැබැයි ඇස් වලින් හිනා වෙන ඒ අපූරු මූණ දිහා බලන්නේ නැතිව ඉන්න සුලෝචනාට බැරි උනා. හැංගිච්චි අහිංසකකමක් ඒ ඇස් වල තිබ්බා.

එදා සුලෝචනා නිසල් දිහා බලලා හිනා උනා. හැබැයි නිසල් දැක්කේ නෑ වගේ අහක බලාගෙන හිටියේ. “අපෝ ඒ කොල්ලගේ ගණන්!” උඩු හිත එහෙම කිව්වට යටි හිත හැම වෙලේම ඒ ඇස් මතක් කළා. 

හැම අවුරුද්දේම ඉස්කෝලේ විවිධ ප්‍රසංගය දවස කියන්නේ සුලෝචනා ආසම දවසක්. “ඔයා හරි ලස්සනට නටනවා. බලාගෙන ඉන්න ආසයි.” ඉස්කෝලේ ළමයි විතරක් නෙවෙයි. ටිචර්ලත් සුලෝචනා ලඟට ඇවිත් කියනවා අහන්න ඈ ආස උනා. උඩරට නැට්ටුකාරියක් විදිහට දිලිහෙන ඇඳුම් ඇඳලා ඉණ ලඟට වැටෙන බර කොන්ඩේ ඉහළට කරලා ගැට ගහගෙන පාහින්පතෙන් වහගෙන ස්ටේජ් එක උඩට යන්න සුලෝචනා හැම වෙලේම ආස උනා. 

“නටද්දී ඉස්සරහ විතරක් බලලා මදි!!!” නැටුම් ටීචර් රිහසල් කරද්දී කෑ ගහද්දි සුලොචනාට ලජ්ජා හිතුනා. හොරෙන්ම කම්බි දැලට එහා පැත්තේ නිසල්ලෑ පන්තිය දිහා බලනවා ටීචර් දැකලාවත්ද... 

ඉන්ටවල් එකේ අත හෝදන්න ටැප් එක ලඟට ගියත් සුලෝචනා බැලුවේ නිසල් ඉන්නවද කියලා. ඒ වෙද්දීත් එයා අත හෝදගෙන යන්න ගිහිං. තව යාලුවෙක්ගෙ කරට අත දාගෙන කැරළි ගැහිච්චි ඒ කොන්ඩේ ආපහු පන්තිය ඇතුළට යනවා සුලෝචනා දැක්කා. 

ගඟ ඉහත්තාවට වැස්ස දවසට වෙලේ කඩාඩුව කඩාගෙන මහා හයිකාරයෙක් වගේ පහළ ඇළ වෙල ඇතුලට කඩා වදින්නා වගේ සුලොචනාගේ හිතට කිදා බැහැපු ඒ අපූරු හැඟීම තවත් හංගගෙන තියාගන්න ඒ අහිංසක හිතට ඕනේ උනේ නෑ.

පහුවදාම සුලෝචනා ලස්සන රවුම් අකුරෙන් සුවඳ කොළේක එයා ලෝකේ දැනගෙන හිටපු ලස්සනම වචන තුන ඇන්දා...

“මං ඔයාට ආදරෙයි”

ඉන්ටවල් එක ඉවර වෙන්න බෙල් එක වදින්න ඔන්න මෙන්න තියලා සුලෝචනා ඒ අපූරු සුවඳ කොළේ නිසල් අතට ගුලි කළා. 

“මොකද්ද මේ...?” 

නිසල් කොළේ දිහාවත් සුලොචනාගේ මූන දිහාවත් බලන්නේ නැතිව ඈත බලාගෙන ඇහුවා.

සුලෝචනා දන්න විදිහට අත් පය කරකවා කරකවා කොළේ තියෙන දේ එයාට පුළුවන් භාෂාවෙන් කියන්න බැලුවා. 

“මට කියවන්න ඇස් පේන්නේ නෑනේ. ඔයාට මේක මට කියවන්න පුලුවන්ද..” නිසල් හරි අහිංසක විදිහට ඇහුවා. 

“උපතින්ම ගොළු වෙච්චි සුලෝචනාගේ මුවින් හීනි ඉකිබිඳුමක් හුළඟට එකතු උනා.  


පින්තූරය - shayari-ki-diary.blogspot.com
Related Posts Plugin for WordPress, Blogger...