නාඩි සෙට් එක

Saturday, May 19, 2018

ඉර


දවස් ගානක් වැහැලා මුළු කොළඹ ම තෙත බරියන් වෙච්චි සතියකට පස්සේ හරි අපූරුවට ඉර එළිය වැටිලා තිබිච්චි දවසක අවසානේ.. වැස්සට ලුණු කහට හේදුනු තට්ටු බර ගාණක බිල්ඩිමේ ජනේලයකින්, රතුවට රතුවේ ගිලෙන්න යන්න ඉර ගෙඩිය දිහා මං බලාගෙන ඉන්නවා.

වැස්සට හේදිලා කළු පාට උනු පාර දිගේ කහ පාට ලයිට් පත්තු කරගෙන හිමිහිට ගාටන වාහන කන්දරාව දිහා බලාගෙන හිටිය මට හදිස්සියේම පොඩ්ඩක් එළියට යන්න ඕනේ කියලා හිතෙනවා. පාට පාට සරුන්ගෝල ඉගිලෙන ගෝල් ෆේස් එක. හැමදාම වගේ ලොකු බර හුස්මක් පහළ දාන්න ඕනේ උණු වෙලාවට ඉබේටම වගේ කකුල් දෙක ඇදෙන්නේ එතැනට.

කොළඹ වරායේ බඩු බාන ජිරාෆ්ලාගේ බෙල්ලේ හයි කරපු ලයිට් හරි අපූරුවට ඈතට පේනවා. හැබැයි වෙනදට නිල් පාට සාගරේ මැද්දෑවෙන් පෙනෙද්දී තිබුණු ලස්සන අලුත ගොඩ දාපු මඩ පාට වැලි අස්සෙන් පෙනෙද්දී නැත්දෝ මන්දා කියලා හිතෙනවා.

මොන මොනවාදෝ කියවා කියවා හයියෙන් හිනාවෙන සුදුමිටි ඇස් පුංචි මිනිස්සු හතර පස් දෙනෙක් මාව පහු කරගෙන යනවා. හැමදාම වගේ රතු වෙන්න බැඳපු ඉස්සෝ වඩයකට කැරට් රට ළුණු ටිකක් ඉහගෙන අතට අරගෙන මං හිස් වෙලා තිබිච්චි බංකුවක ඉඳගන්නවා.

ඉර හරි අපූරුවට බැහැලා යනවා. මහ මුහුද මැද්දේ නැව් දෙක තුනක් හීනියට ඉහළ පහල යන හැටි හුළඟත් එක්ක මුහු වෙලා බලාගෙන ඉන්නකොට කවුරු හරි පිටිපස්සෙන් මගේ නම කියනවා ඇහෙනවා.

“ඔයා මොකෝ මෙතැන කරන්නේ?

අනූ! පොඩි කාලේ ඉඳන් එකට ඉස්කෝලේ ගිය එකී දැන් ලොකු තැනක ලොකු රස්සාවක්! මට හීනියට හිනාවක් යනවා.

“අපි ඉතිං කොහොමත් එහා වැටේනේ ඉන්නේ. මොකෝ මේ හදිස්සියේ ලොකු නෝනා කලින් ඔෆිස් එකෙන් පැනලා වගේ”

“නෑ අනේ.. මේ නංගි මගේ බෝඩිමේ මයි. අද ගෝල් ෆේස් එන්නම ඕනේ කිව්වා. ඉතිං එක්කගෙන ආවා.”

අනූ ත් එක්ක කොන්ඩේ කැරලි ගැහිච්චි හරිම ලොකු හිනාවක් තියෙන කෙල්ලෙක්.. ඒ ළමයා හිනා වෙද්දී කම්මුලේ හරිම අපූරුවට වලක් හැදෙනවා.

“ආ.. නංගි.. මේ නාඩි.. ඉස්කෝලේ කාලේ ඉඳන් දන්න පරාළ ඇණයක්!” අනූ කියවන්න පටන් ගන්නවා.

ඒ ළමයා කියන හැම ඒකට හරිම අපූරු විදිහට හිනා වෙනවා.

කොයි වෙලෙත් කරදර කරන මෝබයිලේ ඒ වෙලෙත් සද්ද කරනවා.
“ඔව්. මං ඉක්මනට එනවා ඔෆිස් එකට. පොඩ්ඩක් එළියට ආවා.” තට්ටු තිහක් උඩින් එන කෝල් එකකට මං උත්තර දෙනවා.

“දැන් හරි බිසී මිනිහෙක් නේ..” යන්න යන්න ඉතිං” අනූ ආයෙත් කින්ඩි දානවා.

“අනේ අයියේ.. යන්න කලින් අපි දෙන්නගේ ෆොටෝ එකක් අරගෙන දෙන්නකෝ..” හිමාලි; අනූත් එක්ක ආපු ළමයා ෆෝන් එකක් දික් කරන ගමන් කියනවා.

පොඩි වෙලාවකට ෆොටෝග්‍රෑෆර් කෙනෙක් වෙච්චි මං ඒ දෙන්නගේ ෆොටෝ එකක් අරගෙන ෆෝන් එක ආපහු දෙනවා..

“අයියේ.. ඉර බහින එකෙත් ෆොටෝ එකක් අරගෙන දෙන්න. අද හරි ලස්සනට ඉර බහිනවා ඇති”

.... “ඇති”???

හිමාලි එහෙම කියනවා. අනූ ගේ අත අත අරින්නෙම නැතිව හයියෙන් හිනාවෙන, කළු පාට අඩු අව පාට ඇස් කොහේදෝ ඈත බලාගෙන මට කතා කරනවා.  

6 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...