නාඩි සෙට් එක

Saturday, February 14, 2015

සුද්දෝ සහ ලංකාව


නාඩියක් කොටනවා කියලා ගොඩ දවසක් බලං හිටියා. ඉස්පාසුවක් හම්බුනේ නෑ ඒකක් කොටා ගන්නවත්! හොස්ස ළඟටම වැඩ!

මේක කොටන්න හිතුනේ පහුගිය දොහක නාඩියා විඳපු අත්දැකීමක් හින්දා.. 

ස්ලෝවේකියාවේ ඉඳලා ලංකාවට ආපු අපේ යාලුවෝ දෙන්නෙක් මාස දෙකක් ලංකාවේ වැඩ කරලා අන්තිම සතියේ ලංකාව බලන්න ඕනේ කිව්වා! සකළ සිරින් පිරි සිරි ලංකාවේ අසිරිය මේ සුද්දෝ දෙන්නට පෙන්නන්න ඕනේ කියලා ලංකාව වටේ යන ගමන් අනුරාධපුරේ පැත්තට ගච්චන්න කියලා මංතුමා කිව්වා. 

අප්පේ.. ලංකාව සංචාරක ව්‍යාපාරේ අතින් කොච්චර දියුණුද කියලා තේරුනේ සුදු හම තියෙන ඒ ජෝඩුව එක්ක එළියට බැස්සහම. කෝච්චියෙන් බැස්ස ගමන්ම ගයිඩ් ලා තුන් දෙනෙක් විතර අපේ ඩයල් දෙකව වට කරගෙන. මං එතනට එන ටිකට මුන් දෙන්නා පුදුම අමාරුවකින් ඒ සෙට් එකෙන් බේරිලා තියෙන්නේ. වටවන්දනාවේ එක්කන් යන්න. නවාතැන් හොයලා දෙන්න හරිම උනන්දුවක් තිබ්බේ ගයිඩ් ලා සෙට් එකට. හැබැයි ගාන එහෙම අහලා බලපුවහම අස්ප ගණන්!

කෑම කන්න කියලා හැමදාම වගේ අපි යන එන කඩේකට ගොඩ උනා. මොකෝ ව්ලැඩ්මීර්, මගේ යාලුවා හරි ආසයි බත් මාළුපිණි කන්න.  කාලා බිලා ඉවර වෙලා බිල ආපුවහම වෙනදා ගානට වඩා වැඩියි. කැෂියර් ගෙන් අහපුවහම ඒ සුද්දොන්ට දාන ගානලු! කාපන්කෝ බුල්ටොත් එක්ක පාන් කියපි!

හැම තැනම බලන්නේ කීයක් හරි වැඩියෙන් කඩා වඩා ගන්න. කොටින්ම කිව්වොත් පන්සලක් නැත්නම් ආගමික සිදධස්ථානයක් වෙච්චි මිහින්තලේ වදින්න රුපියල් 500ක් ගෙවලා ටිකට් එකක් ගන්න ඕනේ. අවුකන වදින්න රුපියල් 750යි!

මෙහෙමයි. සංචාරක ව්‍යාපාරයෙන් හම්බ කරන්න ඕනේ. ඒක ඇත්ත. හැබැයි ඒ කරන විදිහේ මොකක් හරි සීමාවක් තියෙන්න ඕනේ. ඒ වගේම නිසි පාලනයක් තියෙන්නේ ඕනේ. (යහපාලනයක් තිබ්බත් කමක් නෑ! :D ) මෑතක ඉඳන් කියවෙන දෙයක් තමයි ලංකාවට එන සංචාරකයෝ ප්‍රමාණය වැඩි උනාට ඒ එන අය මෙහෙ වියදම් කරන සල්ලි ප්‍රමාණය අඩු වෙලා කියන එක. ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. මොකෝ සංඛ්‍යාත්මක විදිහට දියුණුවක් පෙන්නුම් කලාට මදි ඇත්තටම ඒකෙන් රටේ ආර්ථිකේ ට හොඳක් වෙලා නැත්නම්.

ලංකාවට එන හැම සංචාරකයෙක්ම එකම විදිහේ ආර්ථිකයක් තියෙන අය නෙවෙයි. ඒ අය සමහරක් high budget travelers ලා. ඒ අතරේ සමහර අය low budget එකක් වියදම් කරන්න පුළුවන් හැබැයි ඒ වියදම් කරන ගානෙන් වැඩිම ප්‍රයෝජනයක් ගන්න බලාගෙන එන අය. ඉතිං අපි කරන්න ඕනේ මේ හැම කට්ටියටම හරි යන විදිහට සංචාරක ව්‍යාපාරේ කරගෙන යන එක.

ටිකක් හිතලා බලන්න අපි කොහේ හරි පිටරටක සවාරියක් ගිහිං එහෙ තියෙන මොනවා හරි බලන්න හරි කන්න බොන්න හරි ගිහාම ඒ රටේ උදවිය අපි ටුවරිස්ට් ලා විදිහට ගණන් අරගෙන වැඩි ගානක ටිකට් එකක් ගන්න කිව්වොත් අපිට? එපා වෙයි නේ! ඒකම තමා අනිත් පැත්තට ලංකාවේදී වෙන්නේ.

ලංකාවේ ටුවරිසම් කිව්වහම අපිට මතක් වෙන්නේ AC කරපු පත ටුවරිස්ට් බස් එකක යන සෙට් එකක් ගැන විතරයි. ඒ අය විතරක් නෙවෙයි.. ලොකු බෑග් එකක් උස්සගෙන මැප් එකක් බලාගෙන හැම තැනම ඇවිදින පාරේ බස් එකේ යන ඩයල් තමයි වැඩියෙන්ම ලංකාවට එන අය. ඒ කියන්නේ Backpack travelers ලා. මේ අය බොහොමයක් ඒ රටවල විශ්වවිද්‍යාල වල ඩිග්‍රිය ඉවර කරපු ගමන් රට තොට බලන්න සංචාරේ කරන අය වගේ උදවිය. ඉතිං වැඩි බජට් එකක් නෑ. ඒ විදිහේ අයගෙනුත් අස්ප ගණන් ගන්න ගිහාම වෙන්නේ අපේ රට ගැන එළියට යන පින්තුරේ නරක එකක් වෙන එක.

අපි හැමදාම සංචාරක ව්‍යාපාරේ කියලා මාකට් කරන්නේ හැමදාම තිබ්බ පින්නවලයි, නුවරඑළියයි, දඹුල්ලයි සීගිරියයි වගේ ටිකක් විතරයි. හැබැයි දැන් ඒ ටිකෙන් පොඩ්ඩක් එහාට යන්න කාලේ හරි. Eco tourism වගේ concept ලංකාවේ දැන් දැන් එළියට එන්න පටන් අරගෙන. ඒක හොඳ ප්‍රවණතාවයක්. ඒ වගේ Agri-tourism වගේ දේවල්.. කරදිය වගේම මිරිදිය ධීවරයෝ එක්ක එකතු වෙලා කරන Aqua-tourism වගේ දේවල් ලංකාවට අදුන්වලා දෙන්න දැන් කාලේ හරි. 

මං දන්නා විදිහට දැනට අවුරුදු දෙක තුනකට ඉස්සරලා ත්‍රිකුණාමල පැත්තේ ධිවර පවුල් එකතු කරගෙන දුම් ගැසූ මාළු (Smoked Fish) හදලා ඒවා එන සංචාරකයන්ට ලබා දෙන ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න ගියා. හැබැයි ආරංචි හැටියට ඒකත් ලප් තැනම ලොප්!

අනිත් එක තියෙන තැන් ටිකට ගිහාමත් ඒ එක එක තැන් ගැන විස්තර තියෙන මොනවා හරි දෙයක් තියෙන්න ඕනේ. අත් පත්‍රිකා වගේ දේවල් හොඳයි. හැබැයි දැන් අලුත් තාක්ෂණය තියෙන එකේ mobile App එකක්, තැන් හදුනා ගන්න GPS, ඒවා ටැග් කරන්න QR codes වගේ දේවල් හරිම ලේසියෙන් ඇති කරන්න පුළුවන්. ඒ වගේම මේ වගේ තාක්ෂණ කෞතුකාගාර වල වගේ හරිම ලේසියෙන් ඇති කරන්න පුළුවන්.

මේ තියෙන්නේ QR Codes පාවිච්චි කරලා සංචාරක ආකර්ෂණය තියෙන පැත්තක හරිම ලේසියෙන් ඒ තොරතුරු සංචාරකයෝ අතට පත් කරන ප්‍රොජෙක්ට් එකක් ගැන විස්තරයක්

ලංකාවේ ටුවරිසම් ගැන ඉන්ටනෙට් එකේ search කරපුවහම එන දෙයක් තමයි ලංකාවේදී මොනවාගෙන්ද සංචාරකයෝ පරිස්සම් වෙන්න ඕනේ කියන එක. ඒ ලිස්ට් එකේ මුලින්ම ඉන්නේ වැඩි ගණන් වලට හයර් දුවන ඩ්‍රයිවර් ලා සහ ගයිඩ් ලා. දෙවැනි තැනට ඉන්නේ බීච් බෝයිස් ලා. ඔන්න අපි ගැන ගිහිං තියෙන පින්තුරේ. 

දැනට මං දන්නා විදිහට මේ වගේ පුංචි පුංචි ප්‍රශ්න නිසා ආසියානු කලාපයේ සංචාරය කරන්න බලාගෙන ඉන්න සංචාරකයෝ බොහොමයක් ලංකාව තෝරාගන්නේ නැතිව මාලදිවයින, ඉන්දියාවේ ගෝව වගේ destination තෝරා ගන්නවා!

ශ්‍රී ලංකාව කියන්නේ අවුරුද්ද පුරාම ඉර එළිය තියෙන සංචාරක ව්‍යාපාරේට කියාපු රටක්! එහෙව් එකේ මේ වගේ ගොන් ඔලමොට්ටල වැඩ නිසා වෙන්නේ අපිට එන්න තියෙන විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වෙන රටවල් උදුරා ගන්න එක. 

ලෝකේ හැම තැනම “Visit Sri Lanka” ප්‍රදර්ශන තිබ්බට මදි. සංචාරක කර්මාන්තේ උඩ ඉඳන් යටට තියෙන හැම පැත්තක් ගැනම හොඳ අවධානයක් යොමු කරලා මේ අඩු පාඩු හදාගත්තේ නැත්නම් අපිට බොන්න වෙන්නේ හුළං තමයි!

පින්තුරය - www.wptb.lk

66 comments:

  1. හොඳ ලිපියක් නාඩියෝ. අපේ යාලුවෝ ගොඩක් දුක් වෙන දෙයක් ගැන ඔයා කතා කරලා තියෙන්නේ. ඒ වගේම එයාලගේ රටවලට ආවාම සංචාරකයෝ, ඒ රටේ මිනිස්සු කියලා වෙනසක් නෑ. එකම ගනන් ගෙවන්නේ.

    අනෙක මිනිස්සු වට කරගන්න එක. එච්චර එපා වෙන එකක් නම් තවත් නෑ.

    එකපාරක් සීගිරිය බලන්ට යාලුවෝ කට්ටියක් එක්ක ගිහින් පොඩ්ඩිටත් සුද්දොන්ගේ ගානම ගෙවන්ට වුනා. මතක් වෙනකොටත් තාම දුකලු. :(

    ReplyDelete
    Replies
    1. සීගිරියට තියෙන්නේ අස්ප ගානක්! ඒ මොකෝ පොඩ්ඩි ටත් ඒ ගානම ගෙවන්න උනේ?

      Delete
  2. බීච් බෝයි ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද සුද්දියො කොහොමත් අපේ කොල්ලන්ට මාර කැමතියි. ලස්සන සුදු කෙල්ලො කොච්චර උන් එක්ක සෙට් වෙනවද. කොහොමත් දැන් අපේ කොල්ලන්ට සෙට් වෙන්නෙම සුද්දියො තමයි. අපේ කෙල්ලන්ට හුළං තමයි.!

    ReplyDelete
    Replies
    1. මීට මාතලන්

      Delete
    2. ඔන්න ඉතිං‍ ට්‍රැක් එක පැනලා කවුරු හරි

      Delete
    3. track pannath katawa atta

      Delete
  3. Backpack travelers ලට ගොඩක් මිනිස්සු කියන්නේ හිඟන සුද්දෝ කියලා, එත් මමනම් හිතන්නේ රටක ඇවිදින්න යන්න ඕනි එහෙම. අපේ සමහරු දත ගලවන විදිහට පිට රටකදී අපේ දත ගැලේවූවොත් නම් අඩන්න තමයි වෙන්නේ.
    මෙන්න තවත් නාඩියා කියපු කතාව ඔප්පුවෙන උදාහරණයක්‌. මටත් ලැජ්ජා හිතුන.

    Dhammika>>>
    so how was the tour in sri lanka?

    XYZ>>>
    it was nice
    its a pitty that the sri lankians are not that nice to tourists, your country has that much potential, it is perfect cause of its different landscapes etc
    but it was a good expierience of course

    Dhammika>>>
    did u faced any trouble in here?

    XYZ>>>
    there were some situations i felt not safely or bothered by sri lankians guys

    Dhammika>>>
    may be some, but not everyone. yes we do hv such beautiful country

    XYZ>>>
    of course not everyone, thats not what i said !
    but ive been travelling over the world that much, but on sri lanka most of people give tourists the feeling, what only their money is welcome and even fooling tourists is not that kindly of course, most of people ive met tried to fool of money...but landscapes, food, etc. is really nice,really similar to asian islands

    Dhammika>>>
    i'm really sad about hearing that, as a srilankan i feel sorry abt that

    XYZ>>>
    dont worry i had a good time, im just honest
    and of course six weeks are a long time, of course there arent only good situations

    ඔන්න ඕකයි තත්වේ. ලංකාව සංචාරක කර්මාන්තෙට සුපිරි රටේ. මොනා කීවත් අපේ මිනිස්සුත් හොදයි. හැබැයි සල්ලි අතපත ගාන තැන් වලදී තමයි ප්‍රශ්නය

    ReplyDelete
    Replies
    1. උඹට ඕනේ තරම් මේ වගේ අත්දැකීම් ඇති AIESEC එකේ වැඩ කරද්දී.... ඔන්න පුතේ අපේ රට!

      Delete
  4. ඔය කියන බැක් පැක් ට්‍රැවලර්ස්ල තමයි දැං වැඩි හරියක් ඉන්නෙ. මේ පැත්තෙ දාල තියෙන සාමාන්‍ය හෝටලේකටත් (පාරෙන් ටිකක් ඇතුලට වෙන්න තියෙන) ඔය වගේ කට්ටිය නවාතැන් ගන්න යනව එනව පේනව. වැඩි දෙනෙක් යන්නෙ බයිසිකල් වලින්.
    සමහර තැන් බලන්න විදේශිකයන්ගෙන් ගන්න ගාන දැක්කම මඤ්ඤං වෙනව.

    ReplyDelete
    Replies
    1. ඔව්... ඒ මිනිස්සු බලන්නේ අඩු ගානෙන් වැඩි තැන් ප්‍රමාණයක් බලාගෙන යන්න. හැබැයි ඒ අය ලෝකෙට අරගෙන යන message එක ගොඩක් බලවත්

      Delete
  5. වැදගත් ලිපියක් මචෝ. සුද්දො කියන්නෙ සල්ලි ගස් කියලත් සුද්දියො කියන්නෙ පෝන් ස්ටාර්ල කියල හිතන එවුන් වැඩි උනාම ඕකයි අවුල

    ReplyDelete
    Replies
    1. අන්න කතාව! සුද්දෙක් දැක්කොත් කඩා ගන්නයි අපේ උන් බලන්නේ

      Delete
  6. ඉතාම වැදගත් කාලෝචිත කතාබහක්. සීගිරියෙදි මට ඔහොම වැඩක් වුනා රට ගැනත් මම ගැනත් ලජ්ජා හිතෙන. මම වැඩ කරන රටේ දන්නා අඳුනන වයසක අය කන්ඩායමක් ලංකාවට ආවා සංචාරයකට. මමත් ඒ රටේ භාෂාව කතා කරන නිසා මම ඒ අයව සීගිරි දඹුලු ඇතුලු තැන් කීපයකට එක්ක යන්න බාර ගත්තා. සීගිරියට ආවා විතරයි ගයිඩ්ලා කියාගෙන කිසිම පිළිවෙලක් නැති කලු හිපියො වාගෙ සෙට් එකක්ම වටකරගත්තා මේ අයව. සුදුසුකම් පෙන්වන හැඳුනුම්පතක්වත් පැලදගෙන හිටියෙ නැහැ. මම ඒ අයව ප්‍රතික්ෂේප කලා මට මේ අයට පැහැදිලි කරන්න පුලුවන් බව කියලා. යක්කු වගේ මගෙ දිහා බලලා පැත්තකට වෙලාා හෙමිහිට බැන බැන හිටියා. ඊට අමතරව හෙල්පර්ස්ලා කියලා පුකපල්ලෙන් කලිසම අැදගෙන කොන්ඩෙ ටින්ට් කරලා කරාබු තෝඩු දාපු සිගරට් ගඳ තදටම හමන තරුණ කන්ඩායමක් බලෙන්ම අපිත් එක්ක ආවා. පඩිනගින කොට වයසක අයව බලෙන්ම අල්ලනවා. අත දෙනවා. මගේ කන්ඩායම වයස වුනාට කිසිම ප්‍රශ්නයක් නැතිව නගින්න පුලුවන් ශක්තිමත් අය. ඒ අය ඕන නෑ කියද්දිම අපේ රටේ හෙල්පර්ස්ලා කියන උන් අපි එක්ක එනවා. මං කිහිප විටක්ම උවමනා නැති බව කිව්වහම මට තර්ජනය කරලා අනික් වයසක සංචාරකයන් පැත්තට හැරුනා. ආයෙත් අතරමගදී අපේ කන්ඩායමේ සංචාරකයන්ට ඇනුම් පද කියන්නත් අමතක කලේ නෑ උං. පුදුම කලකිරීමක් මට ඇතිවුනා. සීගිරියෙදි ගන්නා ටිකට් එක ඒ දිනවල රැපියල් 4000 ක්. ඒකට ඇති වෙන පහසුකමක් නෑ. හොඳ වැසිකිලි පහසුකම්. සීගිරිය ගැන පොඩි පොතක් හරි ඩීවීඩී එකක් හරි. නැත්නම් බැහැලා ආවට පස්සෙ ඒ ටිකට් එකට නොමිල‍ෙ refreshments වගේ දේවල් ඇතුලත් වෙන්න එපැයැ. ඒ කිසි දෙයක් නෑ. ආයෙත් මං මෙවැනි ගමන් වලට සහභාගී නොවෙන්න හිතා ගත්තා. යහපාලනයෙන් වත් දූෂිත ගයිඩ්ලා අයින් කරලා මේක විධිමත් කරනවා නං හොඳයි. නාඩියාට ස්තුතියි්‍

    ReplyDelete
    Replies
    1. //සීගිරියෙදි ගන්නා ටිකට් එක ඒ දිනවල රැපියල් 4000 ක්. ඒකට ඇති වෙන පහසුකමක් නෑ. හොඳ වැසිකිලි පහසුකම්. සීගිරිය ගැන පොඩි පොතක් හරි ඩීවීඩී එකක් හරි. නැත්නම් බැහැලා ආවට පස්සෙ ඒ ටිකට් එකට නොමිල‍ෙ refreshments වගේ දේවල් ඇතුලත් වෙන්න එපැයැ.//
      මෙන්න මේක හොඳ අදහසක්. මොකද අපිට පුළුවන් ඔය 4000 ම අරගෙන මොනවා හරි මතක හිටින්න දෙයක්. නැත්නම් documentary film එකක් වගේ දෙයක් උනත් දෙන්න. කෝ ඉතිං කරනවා කියලය!

      Delete
  7. Maathalan - Priyantha Hewage5 February 2015 at 16:06

    මම පුරවැසියෙක් ලෙස මේ රටට මගේ යුතුකම් ඕනෑවටත් වඩා ඉටු කොට ඇත.

    Anonymous5 February 2015 at 20:11

    කරපු දේවල් එකක් දෙකක් කියන්නකො තරහ නැතිව .නොදන්නා කමටයි අහන්නේ

    Maathalan - Priyantha Hewage5 February 2015 at 22:05

    අපි අණබෙර ගගහා බුකියේ පොටෝ දාගෙන අනිත් උන්ගේ සාක්කුවලටත් ගේම දීලා කරන උන් නෙමෙයි නේ. මම කරපු දේ මම දැන ගත්තාම හොඳටෝම ඇති. දන්නෝ පමණක් දනිති. බ්ලොග් එක මුල ඉඳන් කියෙව්වා නම්, සමහර දේ ඒ තුල ඇති. ඒ ඇති.

    ඹන්න ගඩිඩාට කරනවවම් වැඩ

    ReplyDelete
  8. නාඩියා කතාව නම් අැත්ත... අද අපි ගියා රාවණා අැල්ල බලන්න.. පාර තාමත් අන්තිමයි.... නාය යන්න ඔන්න මෙන්න... කදු බාගෙට පාත් වෙලා... කිසිම සැලකීමක් නැහැ.... මේ මිනිස්සු දකින්නේ මේවා.... අපි ප්‍රචාරය කරාට විතරක් මදි. හැම දෙයක් ගැනම සැලකිලිමත් වෙන්න ඔ්නේ.. විශේෂයෙන් ම රටේ මිනිස්සුන්ගේ අාකල්ප පවා වෙනස් කළ යුතුයි.....

    ReplyDelete
    Replies
    1. ආකල්ප තමයි මුලින්ම වෙනස් වෙන්න ඕනේ

      Delete
  9. සංචාරකයන්ට ගයිඩ්ලාගෙන් වෙන වද හිරිහැර ගැන කියන්නත් හිරිකිතයි.ඉතිං සැරයක් ආපු එකා ආයෙ සැරයක් ඒවිද?මෙන්න මේ වගේ උන් සංචාරකයන්ව ගසා කනකල් ලංකාවෙ සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා බොරු බං.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.. එක සැරයක් ආපු එකෙක් ආයේ එනවා කියන්නේ කැස්බෑවා හඳ බලනවා වගේ සිද්ධියක්! මොකෝ ආපු වෙලේ ඉදන් රට එපා කරන එකනේ කරන්නේ

      Delete
  10. නාඩියත් එක්ක මුළුමනින්ම එකඟවෙනවා මේ ප්‍රශ්ණයෙදි නම්. සුද්දෝ පැත්තකින් තියහංකෝ නාඩි. මේ කලු හම තියෙන ලාංකිකයෝ උනත් පිට රටක ඉඳලා ආවා කියලා දැනගත්තාම එයාපෝට් එකේ ඉඳන්ම ගාන කපන්න බලාගෙන ඉන්න උන් කී දෙනෙක්ද!

    ReplyDelete
    Replies
    1. අම්මේ... group travel.. ගෙදරට ගිහිං දැන්නම්.. සල්ලි මාරු කරලා දෙන්නම්.. වැඩ කෝටියයි!

      Delete
  11. උඹේ කථාව සහතික ඇත්ත නාඩි කොලුවො....ලංකාවට ගොඩාක්ම එන්නෙ ඇති හැකි සුද්දො වෙනුවට නැති බැරි සුද්දො....ඇති හැකි උන් ගොඩාක්ම යන්නෙ තායිලන්තයට හරි මාලදිවයිනට හරි...ඉතිං මේ නැතිබැරි සුද්දො අතර හිත හොද ලංකාවට කැමති සුද්දොත් ඉන්නවා...එහෙම සුද්දො රෑනක්ම ඉන්නවා සංචාරක කර්මාන්තයේ නිරත වෙලා ඉන්න මගේ ඥාතිවරු එක්ක...ඒ අය එක්ක ඉන්න බහුතරය යුරෝපයේ අය...ලංකාවෙදි හමුවෙලා කථා කරලා පාටි දාලා මා එක්ක සුහද වෙච්ච ජර්මන් / හොලන්ඩ් / හංගේරියා මිතුරො කීප දෙනෙක් මටත් ඉන්නවා. ජර්මන් මිත්‍රයට වයස අවුරුදු 71 ක්...හැබැයි කොල්ලා වගේ තමයි වැඩ...හරිම නිරෝගී මනුස්සයා...වතාවක් මම ගෙදර එක්කගිහින් බත් කන්නතු දුන්නා...අපි ඒ වතාවෙ ගම්පහ මල්වත්ත බලන්න එක්කගෙන ගියා....දේශීය රු 30/ විදේශීය රු 900....වෙනස 30 ගුණයක්...එදා මේ සුද්දා මට යන්න ඕනෙ නෑ කියලා ආයෙමත් වාහනයට නැග්ගා...මම ඇහුවා ඇයි කියලා...මේ වගේ අසාධාරණ ගනන් ගෙවලා යන්න මට ඕනෙ නෑ කිව්වා...උඹ වරෙං ජර්මනියට...මට පෙන්නහං එහෙ උඹලට එක ගානකුයි..අපිට එක ගානකුයි තියෙන්නෙ කොහෙද කියලා...මිනිහා එහෙමයි මට කිව්වෙ.

    ලංකාවෙ හොර ගයිඩ් ලා කිඹුලා කියලා කබරයා පෙන්නපු අවස්ථා පවා තියෙනවා...එකෙක් එක සැරයක් කැලණිය කියලා වෙන පන්සලක් පෙන්වලා තිබුනා..අපි නම් ලංකාවෙදි ගොඩාක් වෙලාවට සුද්දන්ට උදව් කලා ඒ හින්දයි ඒ අය වාර්ෂිකව තවමත් ලංකාවට යන්නෙ එන්නෙ සහ අපි සමග සුහද....හංගේරියාවෙ එක්කෙනෙක් එහෙ භෞත චිකිත්සකයෙක්...මගේ බෙල්ලෙ අමාරුවක් නිට්ටාවටම සුව කලේ එයා...මේ මිනිස්සු හරිම සුහදයි..අපේ වංචා කාරයො නිසා අවසානයෙ ලංකාවට එන්නෙම නැතුව යනවා...

    ReplyDelete
    Replies
    1. සීගිරියෙ දේශීය 50/- විදේශීය 4000/- කොහොමද ඒක?

      Delete
    2. ඔන්න ඕකනේ වැඩේ.. මං මේ ලඟදි ආපු මාලදිවයින් යාලුවෝ වගයක් සිගිරි අරගෙන ගියා 50 ටිකක්ට් එකෙන්ම.. මොකෝ උන් නම් පෙනුමෙන් ලංකාවේ වගේනේ...
      ඔය වැරදි තොරතුරු දෙන එකනම් යමරෙට කරනවා. සමහර ගයිඩ් ලා කියන විස්තර ඇහුවම අපිට පුකෙනුත් හිනා යනවා!

      Delete
    3. There is another side to this. Sri Lankan Visa for a UC citizen is just $30 (on arrival stamping), but US visa for a Sri Lankan citizen is $160 and you have to waste a whole day at the US embassy in colombo to get it.
      My personal view is this price difference is acceptable. Rs.900 is just 6 Euros. For comparison entrance to Deutsches Museum is 8.5euros.

      Delete
    4. මුදලෙ වටිනාකම නෙමෙයි සුද්දා බැලුවෙ...වටිනාකම් දෙක අතර තියෙන අසාධාරණය...නැත්තං රුපියල් 900 ක් කියන්නෙ මිනිහට ගේමක් නෑ...අනික මමයි ටිකට් අරගෙන දෙන්න හැදුවෙත්...එදා..

      Delete
    5. අන්න ඒකයි... මුදලේ වටිනාකම නෙවෙයි ප්‍රශ්නේ.. ඇයි වෙන වෙනම ගොඩක් වෙනස් price දෙකක්?

      Delete
  12. අපේ රටවල ඉන්න මැටි ඇමැටි යො උංගෙ හෙංචය්යො කරන්නෙම පය බරවායට පිටිකර බේත් බදින එක මනෙ...
    අර වෑන් කබලක් තියං ඉන්න ගොං ඩ්‍රැවා ලයි මෙලෝ හසරක් නොදන්න ගඩ්ඩොයි ඇරෙන්න වෙන උං දාගන්න වැඩ පිලිවෙලක් නැත්තං ලංකාවට ටුවරිස්ට් ල එන එක ඉක්මණට නවතී

    ReplyDelete
    Replies
    1. අනිවා! මොකක් හරි විසඳුමක් ඉක්මනට ඕනේ

      Delete
  13. වෙනරටවල තියෙන්නෙ ඩිස්කවුන්ට් නේ? For students, senior citizens, members of organizations like National Heritage Trust

    ReplyDelete
    Replies
    1. ඔව්... මම Chicago Contemporary Arts Museum එකට ගිය වෙලාවේ මගෙන් ඇහුවා උඹ student කෙනෙක්ද කියලා. ලංකාවේ මගේ Student ID එක දුන්න ගමන් ඩොලර් 15 ක් වෙච්චි ටිකක් එක ඩොලර් 7ක් කරලා Audio Guide Book එකකුත් අතට දීලා පට්ට සැලකිල්ලක් කළේ.. ඔන්න කරනවානම් වැඩ!

      Delete
  14. සුද්දෝ විතරක් නෙවෙයි බන් ලංකාවේ ගොඩක් පැති වල අපි ගියත් ඔච්චරම තමයි

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත. උන්ගේ හිතේ අපි මේ අත කහනවට සල්ලි අතේ තියාගෙන ඇවිදිනවා කියලා

      Delete
  15. කතා කරල වැඩක් නෑ නාඩියෝ ඒ ටිකනම්. මගේ ක්ලාස් එකේ යාලුවෙක් හිටියා ඒ මැට්ටි මාස ගානක් ටුක්ටුක් එකේ ඇවිත් තියෙන්නෙ රුපියල් 50 දුරට 400ක් ගෙවලා. දවසක් අහම්බෙන් එයා එක්ක ගමනක් යද්දි තමයි වැඩේ අහු වුනේ.

    හැබැයි නාඩියෝ දවසක් මම ඔෆිස් යන්න එද්දි එක ටුක්ටුක් මාමෙක් ජ'පුර යුනි එකේ වෙන්න ඕන විදේශික ස්ටුඩන්ට් කෙනෙක්ව විජේරාමෙන් බස්සවලා, එයා රුපියල් 2000ක් දුන්නම මාරු සල්ලි නැද්ද අහලා රුපියල් 100ක් අතටත් දීලා ගියා පස්සෙ වෙලාවක ගම්මු කමක් නෑ කියල.

    ReplyDelete
    Replies
    1. ඔව්.. එහෙම හොඳ ඩයල් ඉන්නවා. වෙන්නේ සුළු පිරිසක් වෙච්චි පිස්සෝ නිසා බහුතරයගේ නම කැත වෙන එක

      Delete
  16. ඇයි අපි අදුරන සුද්දෝ ටිකක් එක්ක අපි වට පිටාව පෙන්නන්න ගියාම ලංකාවේ ගයිඩො අපිට දාන සද්ද..මට නම් හොද අද්දැකීම් තියෙනවා අපේ සමහරක් කාලකන්නි එක්ක..

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා! උන්ගේ අම්මගේ අප්පාගේ බූදලේ කියලා හිතන්නේ

      Delete
  17. මේකට මට දාන්න තියෙන්නේ මෙතන කොමෙන්ට් එකක් නෙවි බන් පොස්ට් එකක්... එක්කොත් මම එක පස්සේ වෙලාවක මගේ එකේම දාන්නම්

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. කොටුවේ සුද්දෙක් බස් එකෙන් බැස්ස ගමන් ට්‍රි විල් කාරයෝ ටික සුද්දෝ වට කරන්. ගිය සතියේ මට ඇහුන එතැනදී කෙනෙක් කියනවා ට්‍රි විල් එලවන මනුස්සයට "කප්පන් පන්සියක්වත් " .
    ඇයි මම බස් ඒකෙ එද්දී සුද්දෙකුයි සුද්දීයෙකුයි මගෙන් පාරක් අහනවා. GPS ඔන් කරගෙන කියනවා අපි දෙන ඉන්නේ මෙතන මට යන්න ඕනේ මෙතෙන්ට කියල. කාල වරෙන්කො . මාත් ෆෝන් එක අරන් බැලුව. ඒක ස්ටඩි කරන්න වෙලා යන හින්ද මන් කිව්වා කොටුවටම ගිහින් අහවල් බස් ඒකෙ යන්න කියල.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනේ වැඩේ.. කප්පම් ගන්න කතා කරන්නේ නිකම් උන් ප්‍රාණ ඇපකරුවෝ වගේ

      Delete
  20. හොද ලිපියක් බං.. අපේ සංචාරක කර්මාන්තය දියුණු වෙන්න හොද අදහස් තියෙන උන් ඇඩිමින්ල වෙන්න ඕන.. මාලේ වල බලහංකෝ ලෝකල්ල පොරිනස්ල කියල උන්ව සතේකට මායිම් කරන්නෑ.. ඒ වගේම උන්ය කියල වෙනම වැඩිකිරීමකුත් නෑ.. සැලකිල්ලකුත් නෑ. පාඩුවේ තමන්ගේ වැඩේ කරගෙන යන්න පුලුවන්.. බොට කියන්න දවසක් බීච් බෝයිස් ල සැට් එකක් මාත් එකක් කොක්කට ආවනේ පොරින් කපල් එකකට පාරවල් කියා දීලා.. ඔන්න ඔහොමයි තත්වේ..

    ReplyDelete
    Replies
    1. එහෙම බැනේ! සංචාරක ජාවාරමේ එහෙම උන් නෑ!

      Delete
  21. සංචාරක ව්‍යාපාරය තියෙන සම හර රටවල් එක්ක ගත්තාම අපේ රට සෑහෙන ඉස්සරයින් ඉන්නවා. අඩු පාඩු නැත්තෙ නෑ. ඒත් මේ දේවල් හැම රටේම තියෙනවා. කරුමේ කියන්නේ ගොඩක් හිරිහැර විඳින්නේ මේ විදියට එන ගෙස්ට්ලා වීම. නමුත් ඒ අය නොදන්න දෙයක් තමයි තව සුළු මුදලක් වියදම් කරාම, ඔවුන්ට කිසිම කරදරයක් නැතිව හොඳ ටුවට් එකක් විඳින්න තියෙන හැකියාව. ටුවරිසම් ගැන නොදන්න කාළේ මමත් රට රටවල ගියේ ඔය ආකාරයට. ඒත් දැන් යන්නේ ගෲප් එකක් එක්ක සෙට් වෙලා. එහෙම නැත්නම් කොම්පැනියක් හරහා පැකේජ් එකකට. එතකොට කිසිම ලෙඩක් නෑ. ගයිඩ්ලා කොම්පැනිවලට වග කියනවා..

    ලාබ බඩුවේ හිලක් තියෙනවා කියන්නේ නිකං නෙමෙයි නේ.. පෙරේත කම් කරන්න ගියාම වැටෙන ලෙඩ වලට ඊට වඩා වියදම් වෙනවා. හිත් නොහොඳකම් එමටයි..

    ReplyDelete
    Replies
    1. අනික කාරනේ උඹ ඔය මෙහේ නැතෙයි කියලා හිතන ගොඩාක් දේවල් ලංකාවේ තියෙනවා..

      ඔය කියන තරම් කේස් තියෙනවා නම් ඇයි මේ රට එන සුද්දෝ ප්‍රමාණය වැඩි වෙන්නේ. අනික වැඩිම ප්‍රතිශතය එන්නේ. යාළුවෝ රෙකමන්ඩ් කල නිසා.. ඒවා අපි අත්දැකීමෙන් දන්න දේවල්.. දැන් ඉන්න සුද්දන්ට ඔය නටබුන් පෙන්නලා වැඩක් නෑ.. වෙන ඇක්ටිවිටීස් ඕන තරම් තියෙනවා..

      Delete
    2. වෙන ඇක්ටිවිටීස් කියල අදහස් කරේ මොකද්ද? සුද්දො වෙන රටවලට යන්නෙ තමන්ගෙ රටේ නැති දෙයක් බලන්න නෙමේද? ඉතිං හුඟක් ඇක්ටිවිටීස් වගේ දේවල් නං උන්ගෙ රටවල ඕන තරං තියෙනව. මොන වගේ දේවල් ගැනද මාතලං කියන්නෙ?

      Delete
    3. මාතා උඹ මේකට උත්තරයක් ලියන්න ඕන.. නාඩියා කිව්ව දේවල් සම්පුරුණ ඇත්ත නෙමෙයි කියන්න නං.. ඕ යෑස්.. පත්තරේ කාපු මිත්තරයෝ..

      Delete
    4. මෙහෙමනේ දේශා.. අපි හිතමුකෝ පිටරටින් බෞතික විද්‍යාඥයෝ පිරිසක් එනවා කියලා ඒ සම්බන්ධ පර්යේෂණයකට. ඒකට එයාලා තෝරගන්නවා පුරා විද්‍යාඥයෙක්.. ඒ යකා දන්න භෞතික විජ්ජාවක් තියෙනවය.. ඒ වගේ තමයි ඔය හිඟන සුද්දෝත්. (සංචාරකයොත්) බැග් පැක් එකක් දාගෙන නැවිගේසොන් වලින් පාරවල් හොයාගෙන අගුපිලක වැටිලා නිදාගෙන හිටපු රටට බැනලා යනවා. ලංකාවේ නෙමෙයි කොයි රටට ගියත් අදාලයි.

      ගයිඩින් කියන්නේ වෙනම විෂයක්. ඒකෙත් දොස්තරලා වගේම ලයිසන් නැති උනුත් ඉන්නවා. ඔය පාරේ ඉන්නේ එහෙම උන්. උන්ව ඉග්නෝ කලාම, උන් පස්සෙන් එන්නේ නෑ. ළඟම ඉන්න පොලිස් කාරයෙකුට කිව්වාම හරි ඕනම රටක. අනික සංචාරක පොලිසි වෙනම තියෙනවා.

      Delete
    5. //බැග් පැක් එකක් දාගෙන නැවිගේසොන් වලින් පාරවල් හොයාගෙන අගුපිලක වැටිලා නිදාගෙන හිටපු රටට බැනලා යනවා// මෙන්න මේ කතාවට නම් මං එච්චර එකඟ නෑ. මං දන්නා විදිහට Back pack travelers ලා කියන්නේ තමන් සංචාරය කරන රටේ සංස්කෘතිය, ඒ වගේම සමාජය එක්ක මුහු වෙන්න තියෙන කැමැත්තට ඒ විදිගට ගමන් කරන අය. ඉතිං ඒ මිනිස්සු ගයිඩ් කෙනෙක් හොයනවා අඩුයි!

      අනිත් එක ගයිඩ් කෙනෙක් හොයාගෙන ඒ පස්සේ යනවා කියන එකට මමත් එච්චර කැමති නෑ. මෙච්චර තාක්ෂනේ දියුණු එකේ මොකෝ තව කෙනෙක් මත යැපෙන්නේ? පොඩ්ඩක් වැරදිලා හරි ගමන ගිහිං ආපුවහම thrill එකක් තියනවා.

      Delete
  22. උඹේ ලිපිය බොහොම වැදගත් සංචාරක කර්මාන්තෙ දියුණුව බලාපොරොත්තු වෙන පුද්ගලයෙක් නම්, හැමදේටම වගේ මෙතනටත් නිසි පාලනයක් සහ ප්‍රමිතියක් හඳුන්වාදීමට පසුබට වීම තමයි ප්‍රධාන කරණය. සංචාරක කර්මාන්තෙ නියුතු වූවන් නිසි ලෙස නියාමනය නොකිරීම තමා ප්‍රධාන හේතුව හැටියට මම නම් දකින්නේ ,

    මේ අහන්න අමතක් වුනා අර පින්තුරේ ,කෙල්ලගේ කලිසම කොල්ලා ඇඳගෙනද? කොල්ලගේ කමිසේ කෙල්ල ඇඳගෙනද? :D

    ReplyDelete
    Replies
    1. //සංචාරක කර්මාන්තෙ නියුතු වූවන් නිසි ලෙස නියාමනය නොකිරීම// මෙන්න මේක ප්‍රධානතම හේතුවක්

      ඒකනම් උන් දෙන්නගෙන්ම තමයි අහලා බලන්න වෙන්නේ කොහොමද ඇදගෙන ඉන්නේ කියලා

      Delete
  23. සුද්දෙක් කියපු ගමන් ඉතින් වැඩිපුර කීයක් හරි කඩා ගන්නනේ කට්ටිය බලන්නේ.. ඒ උනාට ඉතින් ලංකාවට එන අය විතරක් නෙමෙයි අනික් රටවලට යන සංචාරකයොත් දැන් වියදම් ගැන හොදට හිතනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්...එහෙම කරන්න වෙනවා අනිවාර්යෙන්ම

      Delete
  24. මම නං සංචාරක ඔස්තාඩ් කෙනෙක් නෙවෙයි එත් මගේ අත්දැකීම මීට වෙනස් නෑ. ලංකාවට මගේ බොස් ආව වෙලේ ත්‍රීවීල් අයියලා බැහැල ඕනෙම ස්පොට් එකක් තියන තැන පෙන්නන්න එක්ක යන්නද අහල. සීගිරිය ගැන නම් බොහොම පැහැදීමෙන් කතා කළා.

    මෙතන 4000ක් කියන්නේ ඩොලර් වලින් නම් 30ක් විතර නේ. ඩොලර් 20ක් අරගෙන ඩොලර් එකක දෙකක සීඩි එකක් දුන්න නං හරි ඩොලර් තුනක විතර පොඩි පොතක් දුන්නනං හරි වටිනවා තමා. තව ඩොලර් පහක් විතර වියදම් කරලා වැසිකිලි නඩත්තුව පොඩි වතුර එකක් හරි වගේ දීම කරන්නත් පුළුවන්. ඉතුරු දහය පහලවම ආදායම නේ.

    ඔය රස්තා ටයිප් ගයිඩ්ලා නම් මම දැකලම තියන කොටසක්. ඒවා ගැන නං ඉතිං පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එහෙම වග කියන්න ඕනේ. කොහොමත් මේවා ගැනත් පොඩ්ඩක් හිතන්න දැන් කාලේ හරි.

    ReplyDelete
    Replies
    1. අන්න ඒ වගේ දේවල් ටිකක්වත් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්

      Delete
  25. හොඳ ලිපියක්
    හැබැයි නාඩියො ලංකා පුරේට දැං එන ගොඩාක් සුද්දංව ඒමම අන්දන්න බෑ ඕං මොකෑ කිව්වොත් උනුත් ඔක්කෝම බලා කියාගෙන එන්නෙ අගෝඩා එකෙන් හොටෙල් රේට් අරගෙන සයිට් පීරල විස්ථර හොයාගෙන එන්නෙ ලේසි නෑ...............

    ඒත් අරකිව්වැහෙ ඉන්නව තමයි ගයිටො උන් දන්න උලව් නෑ ගිරව් වගේ පාඩං කොරං ඉන්නෙ ඇත්තම කිව්වොත් උන් ගයිඩ් ල නෙවී ගයිටුවො......

    එක දවසක් අපි පොලොන්නරු ගිහිල්ල අපේ බාප්ප කෙනෙක් කොහේ තිබ්බ අමාරුවකටද මන්ද ඔය එකෙක් බස් එකට නග්ග ගත්ත ඌ විස්ථර කියනව පාඩං කරල මම ප්‍රශ්න දෙකක් ඇහුව හරි ඒක කියන්නං ඉන්න කියල ඔහේ ආයෙ කියෝනව පාඩං කොරපු ටික අනික් ප්‍රශ්නෙ අහනකොට මූ මට කියනව කට පියගෙන ඉන්න කියල අන්න එතනදීඊඊඊඊඊඊඊඊ මගේ යකා ආවේස වෙලා අනේ තෝ ***ගන්නෙ නැතුව බැහැල පල කියල ඌව දාල තමයි ගියේ අන්න ගයිටුවො

    ReplyDelete
    Replies
    1. හික්ස්! උන්ව නම් එලෝලා ම දාන්න ඕනේ බං

      Delete
  26. මමත් පට්ට විරැද්දයි..අපේ රටට එන අය මරාගෙන කන්න හදනවාට..මගේ Buyer QC කෙනෙක් එක්ක ඇවිදින්න ගිය ටිකට ගයිඩ්ලා මගෙන් අහනවා “ඔයාට ගයිඩ් ලයිසන් එකක් තියනවද?“ “ ලයිසන් නැත්නම් ඔයාට සුද්දා එක්ක යන්න බෑ“ කියලා..මම කිවවා
    “ඔියි..මේ මනුස්සා මගේ පැක්ට්‍රි එකට ආපු කෙනෙන් මම එයාව එක්කරගෙන යන්න එපා නම් තමුස් එයාව ගෙදර එක්කරගෙන යනවා“ කියලා.

    ReplyDelete
    Replies
    1. පට්ට උත්තරේ...තනි ඇහැට ඇඩෙන්න ඇති උගෙ....

      Delete
  27. රටේ තියෙන පුරා විද්‍යා හෝ වෙනත් වැදගත් ස්ථාන පෙන්වීම සඳහා සංචාරකයන්ගෙන් ලොකු ගාණක් ගන්න එක ඒ තරම් ගැටළුවක් විදිහට මම හිතන්නේ නැහැ.
    නමුත් එහෙම වැඩි ගාණක් අරගෙන අපිට නොදෙන අමතර පහසුකම් ටිකක් ඔවුන්ට ලබා දුන්නනම් ඒ ගන්න ගාන අසාධාරණ නැහැ කියන හැඟීම ඔවුන් තුළම ඇති කරන්න අපිට පුළුවන්.
    ඒ අමතර පහසුකම් අදාළ ස්ථානය සම්බන්ධ පොතක්, CD එකක්, ඔවුන්ටම වෙන්වූ හොඳ මට්ටමේ වැසිකිලි පහසුකම් ආදිය ලබා දෙන්න පුළුවන්.

    නමුත් කෑම බීම, ගමන් පහසුකම් සඳහා අසාධාරණ මුදල් අයකිරීම වහා නතර කරවිය යුතුයි. එවැන්නන් හට දැඩි දඬුවම් ලබාදී හෝ මේ තත්ත්වය පාලනය කල යුතුයි.

    කරාබු දාල කොන්දේ තඹ කරගෙන පුකේ බාගයක් පේන්න කලිසම් අඳින හිපාටු ගයිඩ් සංස්කෘතියෙන් මිදෙන්න දැන් කාලේ හරි.

    ReplyDelete
  28. ගාන අඩුකරනවට වඩා සංචාරක ආකර්ශණය දිනා ගන්න පුළුවන් විදියට මේ ස්ථාන පිරිසිදුවට පිළිවෙලට නඩත්තු කරල අවශ්‍ය මූලික පහසුකම් ටිකවත් දෙන්න කටයුතු කරන්න ඕනි. ඒ වගේම විදේශිකයින්ට යම් විශේෂත්වයක් කිරීමෙත් වරදක් නෑ නැරඹුම් කුටි වලදී පෝලිම් වලදී වගේ. ඒ ස්ථාන පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීමට මාර්ගත් සකස් කරන්න ඕනි. ගයිඩ් ලගේ තත්ත්වෙත් හොයා බලන්න වෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ව සංචාරක ව්‍යාපාරය ගැන දැනුවත් කරනවනම් ඔවුන් සංචාරකයින් දිහා වෙනස් විදියකට බලයි.. තව ගොඩාක් දුර යන්න තියෙනවා..

    ReplyDelete
  29. හොඳ බ්ලොගයක්. මගේ බිරිඳයි එයාගේ පවුලයි එක්ක ගියහම වෙන දේවල්ම තම ඔය. බතික් frame කරපු ච්ත්‍ර වගයක් නුවරදී එක රුපියල් 10000 ගානේ විකුනන්න හැදුව. පස්සේ අඩු කරලා අඩු කරල බැති පොත එකේ මැනේජර් මට පැත්තකට කතා කරලා කීව මේ ගයිඩ් මල්ලි ඕනවට වඩා අඩු කරන්න එපා. ඔයාගේ ගානත් බහිනවා කියල. මට වැඩේ තේරුණා. මන් කිව්වා මේ ගොල්ලට වැඩිය සල්ලි නැහැ තව අඩු කරලා මට දෙන ගානත් කියන්න කියල. මට දෙදාහක් දෙන්නම් කිව්වා. පස්සේ දෙකක් ගත්ත එකක් 6000යි අනික 8000යි. ඊට පස්සේ මන් මගේ ක්‍රෙඩිට් කාර්ඩ් එක ඇදල ගෙවන කොට කිව්වා අර මගේ දෙදාහ අඩු කරලා ගන්න කියල. පොරවල් වලට අප්සෙට් . මන් කිව්වා මේ මගේ වයිපරෙයි එයාගේ අම්මයි නංගියි මට තමා කොහොමත් බිල කියල. පස්සේ ඉතින් 3000 ක් අඩු කරලා දුන්න. ගෙදර ආවහම අම්ම ඔලුවේ අත ගහගෙන කිව්වා ඇයි පුතේ අර ලක්සලේ 800ට තියෙන්නේ කියල. මොනවා කරන්නද ? මමත් අහු වෙලා. ඊට පස්සේ මොනවා හරි ගන්න ඕනේ වුණාම අම්මව දානවා ඉස්සරහට.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ සංචාරක ව්‍යාපාරය කලමනාකරණය සම්බන්ධව අවධානය යොමු විය යුතු, දැනට නොසලකා හැරෙන අංග පිළිබඳ කදිමට පෙන්වා දෙන පොස්ටුවක් සේම ඒ සම්බන්ධවම වටිනා තොරතුරු ගෙන එන කොමෙන්ටුවක්.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...