නාඩි සෙට් එක

Friday, December 5, 2014

හිනාව

image source - sushkrsh.blogspot.com
“මචං!!!”
නේපාලෙන් ආපු දීපෙන්ද්‍ර සීතලට රතු වෙච්චි නාහේ කස කසා හින් ඇස් පොඩි කරගෙන මට ඇහැරවනවා!” ගුඩ් මෝනින්”. ඌ හිනා වෙනවා. “අද උදේ ලෙක්චර් යන්නේ නැද්ද?” හිනා වේවි ඌ අහනවා. හීනියට හිනාවේගන ගුඩ් මෝනින් කියන ගමන් මං බාත්රුම් එකට රිංගනවා. 

හදිස්සියෙන් ලැස්ති වෙලා ඊයේ පහළ මාකට් එකෙන් ගත්තු සැන්ඩ්විච් එක කටේ ඔබාගෙන එළියට බහිද්දී රූම් සර්විස් එකේ කළු මිටි මහත සුසෑන් දොර ගාව ඉන්නවා. සුසෑන් ගේ කටේ ඉස්සරහ එක දතක් නෑ. හැබැයි සුසෑන් “හෙලෝ හව් ඩු යූ ඩු” කියාගෙන සුභ දවසක් කියලා කියනවා. මමත් හිනාවේගනම පහළට බහිනවා. ලිෆ්ට් එකේදී හැමදාම හම්බෙන ඉහළ තට්ටුවේ ඉන්න අකී අදත් ඉන්නවා. අකී ආවේ ජපානෙන්. අකී ගුඩ් මෝනින් කියද්දී පොඩ්ඩක් ඉස්සරහට නැමෙනවා. පිට රටකදී උනත් අකී තමන්ගේ රටේ සංස්කෘතිය රකිනවා.
“අද හවස අපේ බැච් එකේ පාටියක් තියනවා. එනවා නේද?” අකී දිගටි ඇස් රවුම් කරගෙන අහනවා. මං හිනාවේගන “ඔව් ඔව් අනිවාර්යෙන් එනවා” කියාගෙන එළියට යනවා.

දොර ඇරගෙන එළියට යද්දී ඉදිකටු වලින් අනින්නා වගේ සියැටෙල් වල හීතල හුළඟ ඇඳගෙන ඉන්න ඕවර්කෝට් එක පසාරු කරගෙන ඇතුලට එනවා. මං බස් ස්ටේෂම ඇතුලට රිංගනවා. 

වැඩි සද්දයක් නැතිව ලතාවකට පැද්දී පැද්දී එන දෙකට කැඩෙන බස් එක පේමන්ට් එකටම ලං කරලා නවත්තනවා. රෝදෙකින් හුළං යනවා වගේ සද්දයක් දාගෙන බස් එක පාත් වෙනවා. “Kneeling busses” ඒ අය කියන්නේ එහෙම. රෝද පුටුවෙන් කැම්පස් එන චාලිට උනත් අමාරුවක් නැතිව රෝද පුටුව බස් එක ඇතුලට ගන්න පුළුවන්. 

“Hello good morning. Have a nice day”. හැමදාම මේ පතරංග බස් එක එලෝන බස් ඩ්‍රයිවර් ගෑනු කෙනා කට කණ ගාවට පළල් කරගෙන හිනා වෙනවා. ටිකට් දෙන්නෙත් එයාමයි. මං Orcha කාඩ් එක මැෂින් එකේ තියලා ඇතුලට යනවා. බස් එකේ ඉඳගෙන ඉන්න හැමෝම හිනා වෙලා ඉන්නවා මට පේනවා. 

බස් එකෙන් බැහැලා සූසලෝ හෝල් එකට යනකම් ඇවිදගෙන යන්න තියේ. මං බස් එකෙන් බහිද්දිම කොහෙද ඉඳන් දුවගෙන ආපු සීමි “හායි හරී... ගුඩ් මෝනින්” කියාගෙන ඉස්සරහට පනිනවා. සීමි ආවේ ඉන්දියාවෙන්. දිගටි මූණේ සීමි හිනාවෙනකොට කම්මුලේ වලක් හැදෙනවා. ලස්සන තොල් දෙක හිනාවත් එක්ක ඉස්සෙනකොට හිනියට නල දතක් පේනවා. 

හරියටම උදේ 9 ට ලෙක්චර් එක පටන් ගන්නවා. ෆොටෝග්‍රැෆි උගන්නන ඇලෙක්ස් අඩි හයකටත් වඩා උස මනුස්සයෙක්. බර අඩි තිය තිය ලෙක්චර් රුම් එකට එන එයා අතේ ගෙනාපු කෝපි කෝප්පේ මේසේ උඩින් තියලා මුලිනම “ගුඩ් මෝනින්” කියලා මුළු පන්තියත් එක්කම හිනා වෙනවා. 

ආපහු ලංකාවට එන දවස ලං වෙලා. ඩලාස් එයාපෝර්ට් එක ඉස්සරහ අපේ සෙට් එක එක එක්කෙනා බදාගෙන ඉවරවෙලා කලබලෙන් වගේ බෑග් මලු ටිකත් උස්සගෙන ඇතුලට යනවා. ඉබේ ඇරෙන වැහෙන දොර ළඟ ඉන්න කළු උස මහත්තයා අපි හැමෝම යනකම් දොර අල්ලාගෙන ඉන්නවා. පාස්පෝට් චෙක් කරන තැනින් ඇතුළට ගිහිං පෙන්නේ ඇතිව යනකම් කැතී අත වනනවා. “අයි මිස් යූ” කැති කෑ ගහනවා අපිට ඇහෙනවා.

ප්ලේන් එකට නගිද්දී ලස්සනට ඇදගෙන තොල් පාට කරපු ගුවන් සේවිකාව හරිම ලස්සනට හිනා වෙලා එන හැමෝම පිලිගන්නවා. පැය 18ක් ප්ලේන් එකේ එක තැන වාඩි වෙලා අමාරුවෙන් ඇඹරි ඇඹරි ඉද්දි ලඟට ඇවිත් හිනා වෙලා “සර්.. වට් ඩු යූ වෝන්ට්” කියලා අහනවා. 

අතේ කරේ මළු උස්සගෙන ලංකාවේ එයාපෝර්ට් එකෙන් මං එළියට එනවා. ටැක්සි ඩ්‍රයිවර්ලා රොත්තක්ම එළියට එන මිනිස්සු දිහා හිනාවේගන දිලිසෙන ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්නවා. ඒ අස්සේ මගේ ෆෝන් එකට මැසේජ් එකක්. “I safely returned home :) What about you? “ මේධා ඉන්දියාවේ ඉඳන් හිනා මූණක් දාල වට්ස්ඇප් මැසේජ් එකක් දාල තියනවා.

තෙහෙට්ටුවයි බඩගින්නයි දෙකම එකට එකතු වෙලා. මහන්සි යන්නත් එක්ක ප්ලේන්ටියක් බොන්න කියලා මං පාර අයිනේ තියෙන පෙට්ටි කඩේක වාහනේ නවත්තනවා. සල්ලි දීලා ඉතුරු සල්ලි දිපුවහම මං “බොහොම ස්තුතියි” කියනවා. කැෂියර් කුඩුවේ ඉන්න මහත මුදලාලි මං දිහා බය වෙලා වගේ බලාගෙන ඉන්නවා.

27 comments:

  1. මේම තමයි ලංකාවෙත්.. (අනේ මන්දා)

    ReplyDelete
  2. අපේ උන්ට හිනාව අරුමයක්.. ස්තූතිය ඊට එහා.. ඒ උනාට තවමත් අපිලු ලෝකේ ආගන්තුක සත්කාර අතින් ඉස්සරහින් ඉන්නේ.. පස්සේ බදාගෙන ඉම්බත් වැඩක් නෑ මුලින් ඔරවගෙන ඉඳලා.. හිනාවට වියදමක් යන්නේ නැති බවත් හිනාවකින් දෙදෙනෙක් අතර සුහද බව ගොඩ නගා ගන්න කොච්චරක් පහසුද කියන එකත් අපේ උන්ට කවදා තේරෙයිද දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා... හිනා වෙන්න කෝස් කරන්න යයි ළඟදීම

      Delete
  3. පට්ටයි නාඩියෝ!
    අර කඩ්ඩ බ්ලොගේ මේකෙ ට්‍රාන්ස්ලේශන් දානවනම් අන්තිම කෑල්ල වෙනස් කොරපන් නැත්තම් අපිටමයි ලැජ්ජා....

    ReplyDelete
    Replies
    1. හික්ස්! ඒකේ මේක දාන්නේ නෑ

      Delete
  4. සමහර වෙලාවට අවංක හිනාවක් දිහාත් වපර ඇහින් බලන මිනිස්සු ඉන්නවා ලංකාවෙ... සමහරවිට ඒ ලංකාවෙ ගතිය වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. ඒක ඉතිං ඒ මිනිස්සුන්ගේ ගතිය! පොදුවේ නෙවෙයි නේ

      Delete
  5. අන්න මචං දිස් ඉස් ද ශ්‍රි ලංකන් ස්ටැයිල්..උඔට නිකන් ඇගට දැනුනා නේද ලංකාවට ආවා කියලා..හැබැයි මෙහෙම එකක් තියනවා වෙන රටක පිලිවෙලට ඡිවත්වෙන අපේ අය ලංකාවේ එයාපෝර්ට් එකෙන් බහිනකොට ටොපි කොලේ බිම දානවා..

    ReplyDelete
    Replies
    1. ඒ ඉතිං එවුන් හැදිලා තියෙන හැටියේ වැරැද්ද

      Delete
  6. කතාව ඇත්ත. :)

    ඒත් මට නම් ඕකේ මෙහෙම දේකුත් පේනවා. ඔය රටවල අය පොඩි කාලේ ඉඳලම ආචාරශීලී වෙන්ට ඉගෙන ගන්නවා. ශිෂ්‍යයින් බාරව ඉන්න අය නම් ඉතින් කියලා වැඩක් නෑ. ඒත් සමහරුන්ගේ ඒක අවංකවම හිත ඇතුලෙන් එන දෙයක්ද, පුරුද්ද හන්දා වෙන දෙයක්ද කියලා කියන්ට අමාරුයි. යුරෝපෙන් ආපු මගේ යාලුවෝ වගයක් නම් කීවේ සමහර අයගේ හිනාවල් එයාලට පේන්නේ බොරුවට කරන දේවල් වගේ කියලයි.

    ලංකාවේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න බැලුවාම හිනාවෙන්ට හිතෙන්නේ නැතුව ඇති නාඩියෝ...

    මට නම්, ගමේ ගියාම ඒ අයගේ හිනාවල් දකිනකොට පුදුම ආදරයක් දැනෙනවා.

    අපි බලමුද නාඩිගේ හිනාව? :P

    ReplyDelete
    Replies
    1. අප්පේ.. අපේ උන් මට කියන්නේ තෝ පොඩ්ඩක් හිනා වෙන්නේ නැතිව ඉඳපන් කියලා!

      Delete
  7. නොහිතපු අවසානයක්..දුකකට තියෙන්නෙ මේක ඇත්ත කතාවක් වුණු එක ගැන..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..... හදාගන්න බලමු අපි

      Delete
  8. ලංකාවෙ අපි අනික් හැමෝටම වඩා වෙනස් ජාතියක්නෙ.

    ReplyDelete
  9. පැණි වළලු ඉස්ටැයිල් එක
    නාඩි විදියට කතාව ලීව නං ගති අනුකරනය හොදයි කතා විලාසයක් නැති කෙනෙක්ට ඒත් නාඩි වගේ කෙනෙක්ට ඒක හරියන්නෑ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... පොඩි ට්‍රයි එකක් දෙන්න හිතුවා ආයෙත්..

      Delete
  10. නාඩියෝ.......................... පට්ට කතාව හරිය.....................

    ReplyDelete
  11. මට නම් ලංකාව තරම් කිසිම රටක් වටින්නෙ නෑ...ඔය කිසිම රටක අපේ කියන හැගීම එන්නෙ නෑ කියලයි මගේ අදහස...අපිට කියන්න පුලුවන් අපි දැන් ඉන්නෙ අහවල් රටේ කියලා ගොඩාක් ආඩම්බරයෙන්....ඒ රට ලෝකයේ දියුණුම රටක් නම් අහන එකාත් ඇස් ලොකු කරලා අහගෙන ඉදියි....ඒත් ඒ වගේ රටවල් වල ඉන්න බහුතරයක් ඒවායෙ ඉන්නෙ මවුරටේ විදින්න බැරි උණුසුම නිසා හිත ඇතුලෙන් අඩ අඩා කියලා මම අත්දැකීමෙන් දන්නවා...

    පිටරට තරම් අපේ මිනිස්සු සමහර තැන් වලදි සදාචාරාත්මක නොවෙන්න පුලුවන්...ඒත් මේ අපේ මාතෘභූමිය කියන හැගීම ඒ සියලු හැගීම් යටපත් කරනවා කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි ලංකාව තරම් කිසි තැනක් හොඳ නෑ. හැබැයි අපේ මිනිස්සු තව ටිකක් හැදෙන්න ඕනේ

      Delete
  12. ගංගානාත් නාඩියා ජයරත්න

    ReplyDelete
  13. අපේ මිනිස්සු අතරේ මමනම් හිනාව සහ ලෙන්ගතුකම හොඳට දැකල තියෙනවා...
    තමන් දකින බොහොම පොඩි සිද්ධියක් සම්පුර්ණ චිත්‍රය විදිහට දැක්කොත් අවුල්...
    කොළඹ හරි වෙනත් නාගරික පරිසරයක හිරවෙලා ඉන්න මිනිස් සත්තුන්ගේ ගති පැවතුම් නෙමෙයි අපේ බහුතර මිනිස්සුන්ගේ නියම ගති ස්වභාවය.

    ReplyDelete
    Replies
    1. මේ සම්පූර්ණ චිත්‍රය නෙවෙයි. හැබැයි කවුරු කවුරුත් සම්පූර්ණ කරන්න යන චිත්‍රය. ඒක සම්පූර්ණ කරන්න අපි එකතු වෙන්නේ නැති එකයි කරන්න ඕනේ

      Delete
  14. මේ ලගදි බස් එකක කොන්දොස්තර කෙනෙක් සොරි කිව්වා . මටත් හරි පුදුමයි . අප්සැට් අය අතරේ අප්සැට් නැති අයත් ඉන්නවා . පොස්ට් එක මරු

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...