PhD එක ඉවර වෙලා සේප්මන්ට් එකේ ගෙදරට වෙලා ඉන්න දවසක යාළුවෙක් කතා කරලා ඇහුවා “උඹට හෙන free එකක් ඇති නේද දැන්” කියලා…
ප්ලේන්ටියක් ගහන ගමං පහුගිය අවුරුදු දහය පහළව ගැන පොඩි review එකක් දාද්දී හිතුනා අඩේ ඇත්තට වැහැලා වැහැලා පෑව්වා වගේ සීන් එකක් තමා දැන් තියෙන්නේ කියලා. මගේ හැටියට අප්පට සිරි වෙන master plan එකක් ගහලා තියෙන්නේ. උණහපුළුවට උගේ පැටියා මැණිකක් කියනවනේ.. ඒ විදිහට මටනං මං මහන්සියෙන් කරපු දේ මාරම වටිනවා. ඒ හින්දා ඕනි එකෙක් කියවපුවාවේ නැත්නං පස්සේ දවසක මටම කියෝ ගන්න කොටලා තියෙනවා කියලා හිතුවා හෑල්ලක්.
හෑල්ලක් කිව්වට මං හිතුවා මේක හෑලි දෙකක් විදිහට දාන්න. පළවෙනි එක ආචාර්ය උපාධියක් කරන්න පාර කපා ගත්තු හැටි.. දෙවැනි එක ඒක අවුරුදු හයක් තිස්සේ ඇඳගෙන ගිය හැටි. ඔන්න මේ පළවෙනි එක.
පොඩි කාලේ ඉඳන් මට සැරම උණක් තිබ්බේ ඔය සයන්ටිෆික්, ගැජමැටික් වැඩ වලට. ගෙදර ඉගෙනුම් පරිසරයක් තිබ්බා. හැබැයි ඒක පොතේ ගුරා මොඩල් එකක් නම් නෙවෙයි. අනිත් ළමයින්ගේ තාත්තා ලා වාඩි කරෝගෙන ගණන් වනපොත් කරද්දී අපේ අප්පච්චී මට අවුරුදු දහය එකොළහේදී කියලා දුන්නේ එක එක රටවල් වල අගනුවරවල්, ඒ ඒ රටවල විශේෂතා.. එහෙමත් නැත්නම් pH මීටරෙන් ගෙදර මාළු ටැංකි වල pH එක බලන්න… නවය වසරේදී තරු රටා ගැන.. ලංකාවේ ලොකුම දුරේක්ෂය තියෙන ආතර් සී ක්ලාක් එකට බස් එකේ එක්කං ගිහිං ඒක පෙන්නන්න. ඒකට හරියන්න පන්නල ඉස්කෝලේ අපේ ගුරුවරුත් විභාග පස්සේම පන්නන්නේ නැතිව අපිට ඇත්තම අධ්යාපනය කියන්නේ මොකද්ද කියලා ඔළුවට දැම්මා.
A/L කළේ combined maths. ලොකු ලොකු පන්ති කෙරුවාවල් නෑ.. ඉස්කෝලේ තියෙන හැම අමතර වැඩකටම ඔළුව දාගෙන, සාහිත්ය දින තරඟ වලට හිටං යන ගමන් 2010 A/L කළා. ලොකුම රිසල්ට් එකක් නෑ. BCC! හැබැයි කැම්පස් යන්න පුළුවන්. ඒ වෙද්දී මාරම සැරට කොම්පියුටර් උණ ගහලා තිබුණු කාලේ. ඉතිං ආයේ දෙපාරක් exam කරන එක අත ඇරලා අනිවාර්යෙන්ම IT කරන්න කැම්පස් යනවා කියලා හිතා ගත්තා.. Private university කියන එක මගේ equation එකේ නොතිබිච්චි දෙයක්. මොකද ගුරුවරියක් වෙච්චි අම්මාගේ පඩියයි, ඒ වෙද්දී විශ්රාම අරගෙන හිටිය අප්පච්චිගේ වැටුපයි එක්ක ලක්ෂ පහක් හයක් එක සැරේ වියදම් කරනවා කියන එක කරන්න හරිම අමාරු දෙයක්. පිහිට නිදහස් අධ්යාපනය විතරයි.
සෙට් උනේ රජරට විශ්වවිද්යාලය. රජරට නෙවෙයි මොන තූත්තුකුඩියකට ගියත් වැඩේ හරියට ගොඩ දාගන්නවා කියලා ගැම්මක් අරගෙන හිටියේ. “උඹට රජරට ගිහිං වෙන්නේ කොළඹින්, මොරටුවෙන්, පේරෙන් එන උන් ළඟ assistant විදිහට වැඩ කරන්න” කියලා කියපු උනුත් හිටියේ නැත්තාම නෙවෙයි
2011 කැම්පස් ගියා.. සුපිරි ආතල්.. නියඟේ නම් නියඟේ, ගංවතුර නම් ගංවතුර, ස්ට්රයික් නම් ස්ට්රයික්! කොළඹට බස් එකේ එන්න පැය හතයි, හෙදරට යන්න පැය පහයි! ලෙක්චර්ස් එහෙම අවුලක්ම නෑ.. ඔන්න ශේප් එකේ යනවා.. අවුල් යන එව්වා පතා ඇතුළු අපේ කුප්පි බලකාය ගොඩ දානවා. මමත් එහෙං මෙහෙං කුප්පියක් දෙකක් කරලා දානවා. Exam තියෙනවා.. සමහර එව්වගේ result එනවා.. එව්වත් අවුලක්ම නෑ.. ඔහොම මල් සමය ගෙවීගෙන යනවා.
ඔහොම ඉද්දි අපේ අතීසාර මිත්ර පිරිසට ඕනි වෙනවා එළියේ මොකෝ වෙන්නේ, අනිත් කැම්පස් වල මොනවද වෙන්නේ, industry එකේ සීන් එක මොකද්ද කියලා වගේ හොයලා බලන්න. කොළඹ IT meetups කියලා ජාතියක් එහෙම තියෙනවා කියලා අපිට අහන්න ලැබෙනවා. යාල්දේවියේ නැගලා අපි කොළඹ එනවා. අම්මටසිරි වෙනවා. අනිත් කැම්පස් වල උන් ඒ වෙද්දී andoird එහෙම කාලා වමාරනවා. Imagine Cup වලට රට යනවා. Hackathon වල පැය ගණන් code කරනවා! මේ යන විදිහ නම් හරියන්නේ නෑ පුතී කියලා අපිට තේරෙනවා.
අපේ අති උත්තම ලෙක්චර් රත්න එක්ක අපි ඔව්වා ගැන කතා කරනවා. හැප්පෙනවා.. කාමර වලට දාලා වහනවා පොඩි පොඩි සපෝට් හම්බෙනවා… හැබැයි අපිට තේරුම් යනවා industry එකත් එක්ක කැම්පස් එක ලොකු connection එකක් නෑ.. තමන් හිසට තම අතමය සෙවනැල්ල කියලා. අපි ARICT එක එහෙම අටෝගෙන පටන් ගන්නවා hackathon වලට යන්න. Microsoft Student Champs, Google I/O යන්න. පුළුවන් තරම් self learning කියන සීන් එකට බහින්න.
2013 වෙද්දී මට පුළුවන් වෙනවා Microsoft Student Ambassador කෙනෙක් විදිහට වැඩ කරන්න. ලංකාව වටේම සුපිරි යාළුවෝ ටිකක් හම්බෙනවා. Wellington Perera මහත්තයා වගේ සුපිරි mentors ලා සෙට් වෙනවා. හැබැයි මේ ඔක්කොම කරන්න පැය ගණන් බස් වල බඩගාගෙන, අනුන්ගේ බෝඩිම් කාමර වල කාඩ්බෝඩ් උඩ නිදාගෙන තමයි ගේම ගොඩ දාන්නේ. සමහට දවස් තිබුනා පැය හතක් බස් එකේ කොළඹ ඇවිත් පැය දෙකේ meetup එකට ඉඳලා එදාම රෑ නයිට් මේල් එකේ අනුරාධපුරේ ගියපු.
ඒ අස්සේ Thejan Rajapakshe, මමයි තව සෙට් එකකුයි startup සීන් එකටත් බහිනවා. Software විකුණනවා.. CD විකුණනවා.. හෙනම බිස්නස් සීන් එකේ ඉන්නේ. දැන් වැඩිය ලෙක්චර්ස් යන්නේ නෑ.. සමහර ලෙක්චරස් ලාට මල! හැබැයි සමහරු හරිම කැමතියි. මොකෝ වදකාරයෝ ටික නෑනේ..
එතකොට research, higher studies? එහෙම මඟුලක් ගැන අපි දැන් තියාම ලෑස්ති වෙන්න ඕනි කොහොමද කියලවත් අපි දැනගෙන හිටියේ නෑ. ඒ ගැන ලොකුවට කියන්න ආචර්යවරු හිටියෙත් නෑ.. මොරටුවෙන් Sabotical ආපු ආචාර්ය ශාන්ත ෆර්නෑන්ඩු සර් තමයි පොඩ්ඩක් හරි ඔය ගැන අපිට තේරෙන විදිහට ඔළුවට දැම්මේ.. සීනියර්ස් ලාටත් ඒ වගේ ලොකු අදහසක් තිබ්බේ නෑ.. මොකෝ එහෙම ගිය අය ටිකක් අඩු නිසා සහ ගිය උන් එව්වා පසේ බුදු ස්ටැයිල් එකෙන් තියාගත්තු නිසා.
2014 දී මට මාර chance එකක් සෙට් වෙනවා USA වලට යන්න. ගිහිං University of Washington එකේ ටික කාලයක් ඉගෙන ගන්න. US Embassy එක fund කරන්නේ.. ඒක තනිකරම සෙට් වෙන්නේ ඒ කාලේ බැහැගෙනම කරපු සිංහල බ්ලොග් එකක් නිසා. ඉගෙන ගන්නේ New Media & Journalism! හැබැයි ඒ කැම්පස් එක එහෙම දැක්කමහම ඔළුවට වදිනවා කොහොම හරි research පැත්තෙන් ඉස්සරහට යන්න ඕනි, ඒත් එක්ක industry එකෙත් ගේමක් ගහන්න ඕනි කියලා.
ඔය අස්සේ 4th year research එක එනවා. මට ඕනි වෙනවා machine learning කරන්න. හැබැයි මුළු සිලබස් එකටට AI ගැන කියලා තිබ්බේ credit 4 ක expert system කියන subject එක විතරයි. දැන් ඉතිං තනියම back propergation algorithm එකේ ඉඳන් ඉගෙන ගැනිල්ලක් තමා තියෙන්නේ. යාන්තම් උපහාර ඩොන්ගල් දෙක තුනක් තිබ්බා රූම් එකට internet යන්න. හොඳ සපෝට් එකක් දෙනවා ආචර්ය කෞෂල්යා ප්රේමචන්ද්ර, මගේ සුපවයිසර්. කොහොමද research paper එකක් ලියන්නේ කියන තැන ඉඳන්ම කියලා දෙනවා. ඒ අතරේ ශාන්ත සර් මාවයි තේජානයවයි යොමු කරනවා Dr Dilrukshi Gamage එක්ක research එකක් කරන්න. ඒ පිහිටෙන් පුළුවන් වෙනවා Standford university එකේ research group එකක් එක්ක පොඩි කාලයක් වැඩ කරන්න. Publications දෙකකුත් ගොඩ දාගන්න.
මුලින්ම intern එක සෙට් වෙන්නේ Microsoft Sri Lanka එකේ. සිරාවටම මාර දේවල් ගොඩක් ඉගෙන ගත්තු තැනක්. මහ රෑ වෙනකම් ඉඳගෙන ඕනි තරම් learning කරන්න සපෝට් එක දුන්නා.
2016 යාන්තං ඩ්රිග්රිය ගොඩ දාගන්නවා. GPA එක 3.8/4.0! නරකම නෑ. හොඳ ලකුණක්නේ යකෝ ඒක!
ඒ අස්සේ අර research scholarship ගැන ආසාව හින්දා ඒ ගැනත් හොයන්න පටන් ගත්තා. හැමෝම කියනවා දැන් නම් scholarship වලට apply කරන්න කාලේ හරි කියලා. ඉතිං මිත්රවරුනි, apply කරන්න ඒ ගැන දැන ගන්න එපැයි.
පටන් ගත්තා කොනක ඉඳන් ඒ ගැන හොයන්න. අනිත් කැම්පස් වල ඉන්න යාළුවෝ එහෙම පට්ට සපෝට් එකක් දුන්නා. කියලා දුන්නා IELTS කියලා එකක් තියෙනවා ඒක කරපං කියලා. ක්ලාස් බ්ලාස් මොකුත් නෑ.. සතියක් විතර තනියම read කරලා ඒකත් ගොඩ දැම්මා. ඊළඟට කියපි GRE කියලා එකක් තියෙනවා.. පේරේ එහෙම නම් උන් 3rd year එකේදි වගේ ඒක කරනවා කියලා.. Exam එක සුදුද කළුද කියලාවත් දන්නේ නැතිව ඉද්දී Ashan Imantha Bandara තමා පොතක් දුන්නේ මේක බලලා පාඩම් කරපං කියලා. හැබැයි ඒක කරන්න උනේ නෑ.
Research කළාට industry අත අරින්නත් බෑනේ… ජොබ් එක පටන් ගත්තා software engineer කෙනෙක් විදිහට Tech One එකේ. එ දවස් තමා මරුම.. දවල්ට බැහැලා ජොබ් එකේ වැඩ කරනවා. රෑ වෙලා බෝඩිමට ඇවිත් scholarship ගැන හොයනවා. කැම්පස් වල ඉන්න professors ලාගේ ලිස්ට් හදාගෙන මේල් දානවා. පිටු ගණන් application පුරවනවා.. Research proposal ලියනවා. මොකෝ සල්ලි පෙන්නලා, සල්ලි ගෙවලා masters එකකට යනවා කියන එක කරන්න බැරිම දෙයක්. දාන එව්වා reject වෙනවා.. සමහර එව්වගෙන් masters ඉල්ලනවා.. US වල එව්වගෙන් GRE score එක අහනවා. හෙනම කේස්.
ඔහොම ඉද්දී 2017 සැප්තැම්බර් වල ඔය යට තියෙන මැසේජ් එක එනවා Dr Rajitha M Silva ගෙන්. ඒ වෙද්දී මම මනුස්සයා හැබැහින් දැකලාවත් නෑ. කෝල් කරලා මැසේජ් කරලා විතරයි. රජිත අයියා කියලා දෙනවා කොහොමද professor කෙනෙක්ට ලියන්නේ වගේ දේවල්. කියන විදිහට PhD එක තියෙන්නේ Deep Learning ගැන. හැබැයි මම Deep Learning ලොකුවට කරලා නෑ ඒ වෙද්දී.
Apply කරලා ටික දවසකින් interview එක එනවා. ලංකාවේ වෙලාවෙන් පාන්දර 5 ට ඉන්වවිව් එක. Professors ලා දෙන්නෙක් මාව interview කරනවා. මගෙන් අහන්නේ degree එකේ machine learning වත් කරලා නැතිව ඔයා කොහොමද thesis එක ඒ ගැන කළේ කියලා. Online courses සහ self learning පිහිට ගැන මං කියනවා. ඒත් එක්ක පොරවල් ලොකුවටම අහන්නේ industry එකේ මම කරන වැඩ සහ coding practices වගේ දේවල් ගැන. මොකද මේක industry PhD එකක්.
සති ගානකට පස්සේ මේල් එකක් එනවා… අපි කැමතියි ඔයාට මේ opportunity එක දෙන්න. හැබැයි අපිට 4 year final thesis එක ආපහු review කරන්න ඕනි Australian markers ලා දාලා කියලා. හොඳ වෙලාවට ඒ වෙද්දී ඒකෙන් research paper එකකුත් publish කරලා ඒ කාලේ හැටියට හොඳට ගොඩ දාලා තිබ්බේ. ඒකත් submit කරලා දැන් මාස දෙක තුනක් යනවා.
කෝකටත් කියලා ඒ අස්සේ මම අනිත් එව්වටත් apply කළා. Erusmus Mundus එකටත් පිටු ගානක ඇප්ලිකේෂන් එකක් දැම්මා ඔය අස්සේ. කොහොම හරි සීයක් විතර මේල් එහෙට මෙහෙට ගිහිං 2018 මැද වගේ වෙද්දී La trobe university එකෙන් confirmation එක එනවා full scholarship එක හරි කියලා! පට්ටම සතුටුයි. ඒ මේල් එක ඇවිත් දවස් දෙකකින් Erusmus මේල් එක එනවා Europe වල masters එකකට full scholarship එකත් හරි කියලා!
පස්සේ මම මගේ Australian supervisor එක්ක කතා කරනවා. (මනුස්සයා දෙයියෙක් වගේ ඩයල් එකක්. ඒ ගැන ඊළඟ හෑල්ලේ ලියන්නම්). පොර කියනවා ඔයාගේ industry යන්න තියෙන ආසාව එක්ක අපි එක්ක PhD එක කරමු. මාස තුනක් දෙන්නම් learning වලට.. ඒ කාලේ ඇතුළත ඔයා deep learning ගැන ඉගෙන ගන්න කියලා. හරි තීරණේ finalised! මම PhD එකට ඕස්ට්රේලියා එනවා.
Health insurance එකට ගෙවන්න සල්ලි හිර වෙලා ඉද්දී ඉඩමක් විකුණලා තිබ්බ සල්ලි ටික දෙන්නේ අතීසාර මිත්ර Tharindu Nanayakkara මටයා! අතට අරං එන්න සල්ලි වලට කවදාවත් නොගෙවපු ලෝන් එකක් දෙන්නේ Prabath Maduranga Peiris අයියා. පළවෙනියට හිටිය කාමරේ කී මනි එකයි රෙන්ට් එකයි ගෙවන්නේ Prabath Fonseka අයියා.. Air ticket එක අරං දෙන්නේ අප්පච්චි ගේ credit card එකෙන්. ඩොලර් පන්සීයක් අතේ අරං 2018 ජූලි වල මෙල්බර්න් වල La Trobe university එකට මම එනවා PhD කරන්න.
පළවෙනියට කැම්පස් ගිය දවසේ ඔළුවෙන් හිටගත්තු පිළිමේ ළඟ ඉඳලා ගහපු පොටෝව තමයි අනික.
කෙටියෙන්ම කතාව මෙච්චරයි…
“අපි වගේ මිනිස්සුන්ට අධ්යාපනය කියන්නේ අත්තටු. අත්තටු තමන්ගේනම් කොහාටද පුතා පියාඹන්න බැරි?”