නාඩි සෙට් එක

Saturday, January 10, 2015

දයාබර මහින්ද මාමේ

දයාබර මහින්ද මාමේ,
ජන්දේ ඉවර උනාය. සිරිසේන මාමා දිනුවේය! පහළ ගෙදර විමලසේන මාමා හුරේ දමද්දී වෙලේ ගෙදර සුමනේ මාමා දුකට බී ඇනිකට් එක පහළ ඇළේ පෙරළි මහ මරාලයක් උනේය. 

ඔක්කොම ඉවරය. දින 100 මොකද්ද එක ක්‍රියාත්මක බව අපේ තාත්තා කියනවා ඇහුනේය. ඒ කියන්නේ මොකක් නමුත් වෙනසක් වේගන එනවාය. 

මොනවා උනත් යුද්ධේ කොරන්නට මහ බර ඇද්ද නායකයා විදිහට මාමා කරපු හරිය අපිට අමතක නැතිය. හදිසි නීති එහෙම දාන්නේ නැතිව සිංහයෙක් වගේ ගෙදර ගිය හැටි දැක්ක විදිහට අවංකෙන්ම පපුව හෝස් ගාලා ගියේය. ගියා කිව්වේ ඔය මාලදිවයින් සී ෂෙල්ස් එහෙම නෙවේය. පපුවය!

මාමා හොඳට කරපු තැන් වගේම හත් පොලේම ගා ගත් තැන් ගොඩක් තිබුනේය. වක්කඩ කටක් ඇති සිනි බනිසා කැම්පස් බාර ඇමති කොරපු තැන ඉඳන් රත්තරං, මැරවින්, ඩස්ටින් දුමින්ද ආදී මෙකි නොකී මී හරක් රැළ (බත්තරමුල්ලේ හිමි කියපු හැටියට ආයුබෝවන්ඩ. මී හරක්ට අගෞරවයක් කරන්න හිතාගෙන නෙවෙයි) මාමා ගා ගත්තේය. ගාලා හොඳට නා ගත්තේය! කෙහෙළිය ගොයියා ගේ ඇපිල්ලිම ඊට හරි ගියේ නැත!

අනික පටන් ගත තැන ඉඳන් තිබ්බේ සොහොන් ලකුණු ය! සුමනදසයා කෙබ්බ පත බෑවේය! විමසුම ලියපු ගොයියා වැලිගම්පිටි ගියේය! සලමන් අයියාට ශාරුක් කිව්වේය! ගූ හතයි වැලි බාස්කට් එකයි ය!

නාමල් බේබිට වරදක් කියන්ට බැරිය! ගොනා කියලා තමන්ට ජාතක වෙච්චි එකා අහක දාන්න කියලයි! මං නම් එකට වැරැද්ද කියන්නේ මාමා ටය! ඕකාට සල්ලි දීලා අරං දෙන්න තිබ්බේ පෙරකදෝරු කමක් නොව හොඳ කේප්ප වැස්සියෙකි! මොකෝ වැඩි කාලයක් යන්නට කලින් තියෙන මදන විසේට පැටියෙක් හදලා දෙනවා සිකුරුය!

මෙදා සැරේ ජන්ද ප්‍රතිපල නම් ආයේ ක්‍රිකට් මැච් එක වගේය. අපේ මැකෝ ලෙසටම වැඩේ කළේය. ආරංචි විදිහට ජිල්මාට් තිබිලා නැත්තෙමත් නැත. කොහොම උනත් අන්තිමේ ජන්ද හාරලක්ෂ පනස්දාහකින් විතර සිරිසේන ගොයියා ගොඩ ගිහිං තිබ්බේය. සිරිසේන කිව්වේ අර මාමා ජන්දේ දාන්න යද්දී එක්කං ආපු පිම්පියා නෙවෙයිය. මේ ඔරිජිනල් එකය. 

හොඳම වැඩේ කළ එළි බැස්සේ ඊට පස්සේය. දැන් කියන විදිහට පැරදිලා තියෙන්නේ ඔබතුමා නොව සිංහල ජනතාවය. මං සමාජ අධ්‍යනය පාඩමට ඉගෙන ගත්තු විදිහට ලංකාව බහුජාතික බහුආගමික රටක්ය. උතුරු නැගෙනහිර ඔක්කොම රතු පාට වෙලා හංසයෝ ඉගිල්ලෙද්දී මටත් නිකම් මොකද්ද කිචියක් ආවේය.

හැබැයි අන්තිමේ බලපුවහම ඒ සිරිසේන උන්නැහැ ගත්තු ඔක්කොම ජන්ද වලින් උතුරු නැගෙනහිර ජන්ද 16% විතරය. අනික් 84% එහෙනං සිංහල නෙවෙයි මොකක් හරි පිටිසක්වල ජාතියක් වෙන්න ඕනෑය. 

දැන් අපේ උන්ට තියෙන ලොකුම වැඩේ ලංකාවේ සිතියමක් අරගෙන උඩ කෑල්ල කොළ පාටින් පාට කරගෙන යට කෑල්ල නිල් පාටින් පාට කරගෙන එක එකාට පේන්න අල්ලාගෙන “තොපිට තේරෙයි යකෝ” කියා හෙළ යක්කු ටිකට කෑ ගැසීමය. එතකොට ඒ මිනිස්සු ලංකාවේ මිනිස්සු නොවේදැයි මගේ කුඩා මොළයට නොවැටහේ. අපරාදේ මාමට තිබ්බේ අර ඔරලෝසු, සීල් රෙදි බෙදන වෙලේ මුන්ට පාට කරන පොත් ටිකක් බෙදලා දෙන්නය. 

මාමා 2009 යුද්ධ කරලා රට බේරා ගත්තේ අපරාදේය. මොකෝ අපේ උන්ට තවත් යුද්ධේ ඕනෑය. යාල්දේවි අරින්න තිබ්බේ යාපනේට නොව ඔය සිංහල කියා කෑ ගහනා උන්ගේ පස්සා පැත්තේය. “ජාතික සමගිය, ඒකීය රටක් “ වගේ වචන හරියට අර මාමාගේ කාලේ ආමි එකට “සරත් තහනම” දැම්මා වගේ තහනම් කරලා දාන්න තිබ්බාය. 

ලංකාව සිංහල බෞද්ධ රටක් බව සැබෑය. හැබැයි දහම් පාසලේ මං ඉගෙන ගත්තු විදිහට මරක්කලයා, දෙමළා කියා නානා කඩේ මොහොමඩ්ටයි, ලැයිමේ ඉන්න සිත්තමනිටයි ගල් ගහන්න අපිට කියලා දුන්නේ නැත. අපිට ගමේ හාමුදුරුවෝ කිව්වේ උනුත් රටේ ඉන්න ඕනෑය කියාය. හැබැයි මොහොමඩ් ගේ මාමා නවුෆර් පන්සල ඉස්සරහම මුස්ලිම් පල්ලියක් අටවන්න යද්දී නම් හාමුදුරුවෝ වලියට බැස්සේය. 

වෙලේ ගෙදර සුමනේ මාමා කියන විදිහට ආයේ යුද්ධේ ඇතිවෙනවාය. හැබැයි මෙහෙම ගියොත් අනිවා යුද්ධේ ඇති වෙනවාය. මොකෝ අපේ උන්ට ඕනෑ යුද්ධ කොරන්නටය. යුද්ධේ ඕනෑය කියන්නේ TNA එකවත් එහා ගෙදර වයිකෝ වත් රනිල් ගොයියවත් නෙවෙයි ය. අපේ උන්මය. උන්ට ඕනෑ සිංහල, එකෙක් දෙමළ එකෙක් කියා මරාගන්නටය. අපේ ඇඟේ දුවන්නේ එකම රතු ලේ! ඕවා ඉරාජ් ගේ බයිලා වලට අන්ත චොකා බයිලාය.

සිරිසේන ගොයියාත් සාන්තුවරයෙක් නොවෙයිය. ජන්දේ දිනපු එකා පැරදුනු එකා වැඩක් නැත. මේ ජන්දේ නිකම් අපේ වගේ කරට අරං කරපු ටිකේ ඉතුරු ටිකත් ඈදිය යුතුය. මොකෝ ජනතාව හරියට ඇස් අරගෙන හිටියේ නැත්නම් මේ සෙට් එකත් රෝන්ග් ටර්න් ගහනවා සිකුරුය. 

ජනතාවගේ පරමාධිපත්‍ය බලය කියන්නේ උදේ පාන්දර ගිහිං කතිරේ ගහන එක නෙවෙයි ය. රට යන විදිහ තීරණේ කරන්න ඕනෑ ජනතාවය. ඒ කියන්නේ අපිය. 

වැරැද්ද දුටු තැන විවේචනය කළ යුතුය. නිල් එකා කොළ එකා රතු එකා මොකා වැරැද්ද කරලත් දඬුවම් දිය යුතුය. ශක්තිමත් ආණ්ඩු පක්ෂයක් වගේම ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතුය. 

“තොපිට තේරෙයි” කියා ගෙදරට වෙලා මතට තිත තිබ්බාට වැඩක් නැත. ඔක්කොම එළියට බැහැලා රට හදන්න වැඩ කළ යුතුය. මාමා මේ ඔක්කොම හොඳට දන්නා බව මම ටක්කෙටම දන්නවාය. මොකෝ මාමා අගය කළ යුතු රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. 

මැදමුලනේ ඉන්න ගමන් මාමාට කරන්න ආස හිතෙන වැඩක් තියනවාය. මෙච්චර කල් මාමා ලඟින් හිටපු මාමාට කඩේ ගිය (ඒ කිව්වේ මාමාට ටොපි ලොසින්ජර එහෙම ගේන්න) කස්ටිය දැන් කියන්නේ කරන්නේ මොනවාද කියලා හොයලා බලන එකය. සමහර උන් හින් සීරුවේ සිරිසේන සරණං ගච්චාමි වෙලාය. මාමාට කඩේ ගිය සමහර අන්තර්ජාතික සමුළු වල පේජ් එහෙම ආගිය අතක් නැත! සුදු වෑන් වලින් අරගෙන ගිහිංය. 

පුළුවන් නම් ඔය ගෙම්බෝ සෙට් එකේ ලිස්ට් එකක් හදලා සිරිසේන ගොයියාට යැව්වත් වැරැද්දක් නැත. ඉස්සර තමන් එක්ක හිටපු එකා අමාරුවේ වැටෙන්න නොදී තියා ගන්න එකත් කළගුණ සැලකීමක් ය. 

මාමේ, අපිට මාමා අමතක නැත. කුරහන් සාටකය අමතක නැත. විමල් අයියා, නාමල් අයියා ඇතුළු චක්ගෝල පිරිස අමතකද නැත.

රොකට් මල්ලි මතක් කළා කියන්න. රොකට් හදන්න කොළ නැත්නම් පිටු ඉතුරු වෙච්චි මහින්ද චින්තනේ පොතක් තිබ්බා ඒක එවන්නම් කියා කියන්න. 

අරලිය ගහෙන් කෑවා වගේ මැදමුලනේ ශිරන්ති නැන්දා හදන ඇඹුල් තියල් මාළුවක රහ බලන්න ආසාවෙන් ඉන්න බව කියන්න. 

මාමාට සුභ අනාගතයක්!

මිට ඔබේ හිටපු යටත්වැසියා,
පොඩි එකා

Sunday, December 14, 2014

වැස්ස - ආදරය හා හිඟන්නෙක්

www.washingtonpost.com
උදේ ඉඳන් බිම් කළුවර වැටෙන තුරා 
වැහි කළුවර ඉර හොරෙන්ම වසන් කළා 
හීතල හුළඟට එරෙහිව අත පය හකුළා 
බුදිය ගන්න පුළුවන් මට අලස වෙලා 

හොඳ උණුසුම් ඇඳ ඇතිරිලි - දුම් දමනා කෝපි එක්ක 
සීතල යන්නට හපන්න- කටට සැරට කට ගැස්මක් 
විදුලි කොටයි හඳ ගෙරවිලි - ගස් වල් අඹරා හමනා සුළං එක්ක 
කියවන්නට අතට ගන්න - අලුත් සුවඳ හොඳම පොතක් 

අතට අරං සෙල්ෆෝනය - අමතන්නට හිතාන උඹ 
අහන්න ආසයි කටහඬ - තොදොල් වෙන්න උඹත් එක්ක 
ජනේලයේ වීදුරුවෙන් - හූරාවැටෙනා වැහි බිඳු 
බලාන මං කවි ලිව්වා - මතක් කරන් උඹේ උණුසුම 

ගෙයි එළියේ කුණු කානුව - උතුරනවා වැහි වතුරට 
කානුව ළඟ පිළ උඩ ඌ - බුදිනයනවා හැමදාකම 
ගඳ ගහනා රැළි කඩමලු - ඔතන් ඇඟේ හැම තැනකම 
සුදූ ඌව එලෙව්වා මං - ගඳ ගහනා කැහැටු එකා!

මක්නිසාද යත්...

ඌ හිඟන්නෙක්!

Friday, December 5, 2014

හිනාව

image source - sushkrsh.blogspot.com
“මචං!!!”
නේපාලෙන් ආපු දීපෙන්ද්‍ර සීතලට රතු වෙච්චි නාහේ කස කසා හින් ඇස් පොඩි කරගෙන මට ඇහැරවනවා!” ගුඩ් මෝනින්”. ඌ හිනා වෙනවා. “අද උදේ ලෙක්චර් යන්නේ නැද්ද?” හිනා වේවි ඌ අහනවා. හීනියට හිනාවේගන ගුඩ් මෝනින් කියන ගමන් මං බාත්රුම් එකට රිංගනවා. 

හදිස්සියෙන් ලැස්ති වෙලා ඊයේ පහළ මාකට් එකෙන් ගත්තු සැන්ඩ්විච් එක කටේ ඔබාගෙන එළියට බහිද්දී රූම් සර්විස් එකේ කළු මිටි මහත සුසෑන් දොර ගාව ඉන්නවා. සුසෑන් ගේ කටේ ඉස්සරහ එක දතක් නෑ. හැබැයි සුසෑන් “හෙලෝ හව් ඩු යූ ඩු” කියාගෙන සුභ දවසක් කියලා කියනවා. මමත් හිනාවේගනම පහළට බහිනවා. ලිෆ්ට් එකේදී හැමදාම හම්බෙන ඉහළ තට්ටුවේ ඉන්න අකී අදත් ඉන්නවා. අකී ආවේ ජපානෙන්. අකී ගුඩ් මෝනින් කියද්දී පොඩ්ඩක් ඉස්සරහට නැමෙනවා. පිට රටකදී උනත් අකී තමන්ගේ රටේ සංස්කෘතිය රකිනවා.
“අද හවස අපේ බැච් එකේ පාටියක් තියනවා. එනවා නේද?” අකී දිගටි ඇස් රවුම් කරගෙන අහනවා. මං හිනාවේගන “ඔව් ඔව් අනිවාර්යෙන් එනවා” කියාගෙන එළියට යනවා.

දොර ඇරගෙන එළියට යද්දී ඉදිකටු වලින් අනින්නා වගේ සියැටෙල් වල හීතල හුළඟ ඇඳගෙන ඉන්න ඕවර්කෝට් එක පසාරු කරගෙන ඇතුලට එනවා. මං බස් ස්ටේෂම ඇතුලට රිංගනවා. 

වැඩි සද්දයක් නැතිව ලතාවකට පැද්දී පැද්දී එන දෙකට කැඩෙන බස් එක පේමන්ට් එකටම ලං කරලා නවත්තනවා. රෝදෙකින් හුළං යනවා වගේ සද්දයක් දාගෙන බස් එක පාත් වෙනවා. “Kneeling busses” ඒ අය කියන්නේ එහෙම. රෝද පුටුවෙන් කැම්පස් එන චාලිට උනත් අමාරුවක් නැතිව රෝද පුටුව බස් එක ඇතුලට ගන්න පුළුවන්. 

“Hello good morning. Have a nice day”. හැමදාම මේ පතරංග බස් එක එලෝන බස් ඩ්‍රයිවර් ගෑනු කෙනා කට කණ ගාවට පළල් කරගෙන හිනා වෙනවා. ටිකට් දෙන්නෙත් එයාමයි. මං Orcha කාඩ් එක මැෂින් එකේ තියලා ඇතුලට යනවා. බස් එකේ ඉඳගෙන ඉන්න හැමෝම හිනා වෙලා ඉන්නවා මට පේනවා. 

බස් එකෙන් බැහැලා සූසලෝ හෝල් එකට යනකම් ඇවිදගෙන යන්න තියේ. මං බස් එකෙන් බහිද්දිම කොහෙද ඉඳන් දුවගෙන ආපු සීමි “හායි හරී... ගුඩ් මෝනින්” කියාගෙන ඉස්සරහට පනිනවා. සීමි ආවේ ඉන්දියාවෙන්. දිගටි මූණේ සීමි හිනාවෙනකොට කම්මුලේ වලක් හැදෙනවා. ලස්සන තොල් දෙක හිනාවත් එක්ක ඉස්සෙනකොට හිනියට නල දතක් පේනවා. 

හරියටම උදේ 9 ට ලෙක්චර් එක පටන් ගන්නවා. ෆොටෝග්‍රැෆි උගන්නන ඇලෙක්ස් අඩි හයකටත් වඩා උස මනුස්සයෙක්. බර අඩි තිය තිය ලෙක්චර් රුම් එකට එන එයා අතේ ගෙනාපු කෝපි කෝප්පේ මේසේ උඩින් තියලා මුලිනම “ගුඩ් මෝනින්” කියලා මුළු පන්තියත් එක්කම හිනා වෙනවා. 

ආපහු ලංකාවට එන දවස ලං වෙලා. ඩලාස් එයාපෝර්ට් එක ඉස්සරහ අපේ සෙට් එක එක එක්කෙනා බදාගෙන ඉවරවෙලා කලබලෙන් වගේ බෑග් මලු ටිකත් උස්සගෙන ඇතුලට යනවා. ඉබේ ඇරෙන වැහෙන දොර ළඟ ඉන්න කළු උස මහත්තයා අපි හැමෝම යනකම් දොර අල්ලාගෙන ඉන්නවා. පාස්පෝට් චෙක් කරන තැනින් ඇතුළට ගිහිං පෙන්නේ ඇතිව යනකම් කැතී අත වනනවා. “අයි මිස් යූ” කැති කෑ ගහනවා අපිට ඇහෙනවා.

ප්ලේන් එකට නගිද්දී ලස්සනට ඇදගෙන තොල් පාට කරපු ගුවන් සේවිකාව හරිම ලස්සනට හිනා වෙලා එන හැමෝම පිලිගන්නවා. පැය 18ක් ප්ලේන් එකේ එක තැන වාඩි වෙලා අමාරුවෙන් ඇඹරි ඇඹරි ඉද්දි ලඟට ඇවිත් හිනා වෙලා “සර්.. වට් ඩු යූ වෝන්ට්” කියලා අහනවා. 

අතේ කරේ මළු උස්සගෙන ලංකාවේ එයාපෝර්ට් එකෙන් මං එළියට එනවා. ටැක්සි ඩ්‍රයිවර්ලා රොත්තක්ම එළියට එන මිනිස්සු දිහා හිනාවේගන දිලිසෙන ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්නවා. ඒ අස්සේ මගේ ෆෝන් එකට මැසේජ් එකක්. “I safely returned home :) What about you? “ මේධා ඉන්දියාවේ ඉඳන් හිනා මූණක් දාල වට්ස්ඇප් මැසේජ් එකක් දාල තියනවා.

තෙහෙට්ටුවයි බඩගින්නයි දෙකම එකට එකතු වෙලා. මහන්සි යන්නත් එක්ක ප්ලේන්ටියක් බොන්න කියලා මං පාර අයිනේ තියෙන පෙට්ටි කඩේක වාහනේ නවත්තනවා. සල්ලි දීලා ඉතුරු සල්ලි දිපුවහම මං “බොහොම ස්තුතියි” කියනවා. කැෂියර් කුඩුවේ ඉන්න මහත මුදලාලි මං දිහා බය වෙලා වගේ බලාගෙන ඉන්නවා.

Related Posts Plugin for WordPress, Blogger...