නාඩි සෙට් එක

Tuesday, October 28, 2014

නිත්‍යරංජනා


පින්තූරය - colombogazette.com
ඩුකු ඩුකුස් ඩුකු ඩුකුස්...

යාල්දේවි නාගොල්ලාගම පහු කරගෙන යනවා. ඉඳගන්න තියා හිටගෙන ඉන්නවත් ඉඩක් නෑ. රාම්රාජ් හරිම අමාරුවෙන් දොර ගාව එලා ගත්තු පත්තර කොළේ උඩ හරි බරි ගැහුනා. රාම්රාජ් විතරක් නෙවෙයි භානු, රාම්රාජ් ට එහා පැත්තෙන් වාඩි වෙලා හරිම ආසාවෙන් එළිය බලාගෙන හිටිය රාම් ගේ ආදරණිය අඹු සිඟිත්තත් කෝච්චියක මුලින්ම යන්නේ අද!

වයස යාන්තම් 27ක් වෙච්චි මේ රාම්රාජ්ලා ට තේරෙන වයස වෙද්දී යාපනේ කෝච්චි ඉස්ටේෂමට කෝච්චි ආවේ නෑ. කොහොමෙන් කොහොම හරි එදා ඉදන් වැල්ලවත්තේ මාමණ්ඩි බලන්න රාම්රාජ් ආව ගියේ බස් එකේ. යුද්දේ කාලේ තිබිච්ච මාමි ගේ මලගෙට ඕමන්තේ පහු කරගෙන හරිම අමාරුවෙන් ආපු හැටි මතක් වෙද්දී රාම්රාජ්ට අද දාහෙන් සම්පතයි කියලා හිතුනා. 

මාස ගානකට කලින් යාපනේට යනකම් කෝච්චි පාර දික් කරනවා කියලා හා හෝව කනින් කොනින් ගිහිල්ලා ගරා වැටිලා තිබිච්චි යාපනේ ස්ටේෂම හැදිලා කෙරිලා ටෙස්ට් රන් කියලා කෝච්චි ආපුවාම භානු විතරක් නෙවෙයි රාමුත් පුංචි උන් වගේ ගිහිං යකඩ අස්පයා අත ගෑවා හරිම ආසාවෙන්.

උත්සවේ තිබ්බා. මල් මාලා දාගෙන යාල් දේවි ආවා. හැමදාම ටීවී එකේ දැකලා පුරුදු රතු පාට සාටකේ දාපු පෙරිය දොරේ ඇවිත් අත වනලා යනවා සෙනඟ අස්සෙන් රාම් දැක්කා. 

සති දෙකකට පස්සේ ආපහු වැල්ලවත්තේ කෝච්චියෙම ගිහිං එන්න ඕනේ කියලා හිතිලා කොට්ට කිලංගු ටිකක් හොයා කරාගෙන කොළඹ පොඩි නංගි සෙලවී හැමදාම එනකොට අහන නෙල්ලි කෝඩියල් බෝතල් දෙකකුත් අරගෙන රාම්රාජ් භානුත් එක්ක කොළඹ ආවා.

කලින් සැරේ ආවාට වඩා පාරවල් එහෙම හොඳටෝම වෙනස් වෙලා. කොටුවෙන් බැහැලා පුරුද්දෙන් බස් එක හොයා ගත්තට බහින තැන ටක්කෙටම හොයා ගන්න හරිම අමාරු උනා රාම් ට. 

වෙනස නරකක් නෑ හොඳයි...

කලින් වතාවක් කිව්වා වගේම ජනවාර්ගික ප්‍රශ්නේ අර ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ හැම එකටම විසඳුම් තියෙන්නේ යටිතල පහසුකම් දියුණු කරන එකේවත් කෝච්චියක් යාපනේ ට ලොකු මිඩියා ෂෝ එකක් දාගෙන යවන එකේවත් නෙවෙයි.

වෙනස් වෙන්න ඕනේ මිනිස්සු.

බණ්ඩාරනායක මහත්තයා රාජ්‍ය භාෂා පනත ගෙනාව දවසේ ඉදන්, සමහර වෙලාවට ඊට කලින් ඉදන්ම ලංකාවේ දේසපාලුවෝ කළේ තමන්ගේ උවමනා එපාකම් පිරිමහගන්න අසරණ මිනිස්සු ටික කඩේ යවපු එක. රතු කොළ නිල් හැම පැත්තක්ම කළේ ඒක. ඉතිං යාල් දේවි නෙවෙයි එදා බෝම්බ තියපු කෝච්චිය හදපු කැනේඩියන් කාරයා ලංකාවට ගෙනල්ලා පටෝලා යාපනේ යැව්වත් මේක ඔය ප්‍රශ්න වලට එක පැලැස්තරයක් විතරයි. හැබැයි අගය කරන්න ඕනේ දීර්ඝ කාලීනව හොඳ ප්‍රතිපල දෙන පැලැස්තරයක්.

යාල්දේවිගේ යාල්පානම් ගමන අස්සේ තවත් අමුතු නිව්ස් එකක් මං ඇහුවා. උතුරුකරේ සංචාරයේ යෙදෙන හැම විදේශ සංචාරකයෙක්ම අනිවාර්යෙන් ලියාපදිංචි වීමක් වෙන්න ඕනෙලු. මොකද්ද එතකොට ඒ හරුපේ? කෝච්චි නෙවෙයි ප්ලේන් දාල හරි බලාපොරොත්තු වෙන්නේ සංචාරක කර්මාන්තේ දියුණුවක් නම් මේ වගේ එක පළාතකට විතරක් සීමා වෙච්චි නීති රීති වලින් වෙන්නේ තවත් ඒ කරුමාන්ත වල පල්ලට යන එක නෙවෙයිද? හරියට නිකම් වෙනම රටකට යනවා වගේ.

සාමන්‍යයෙන් යාපනය පැත්තේ ජිවත් වෙන අපේ දමිළ බොහෝ පිරිසක් ඉංජිනේරු ක්ෂේත්‍රයේ බොහෝ විස්කම් දස්කම් දක්වපු අය. ඇමරිකාව වගේ විදෙස් රටවල් වලත් software engineers ලා විදිහට වගේ බොහෝ පරිගණක ආශ්‍රිත වෘත්තීන් වල ඒ අය නිරත වෙලා ඉන්නවා. ඔන්න දැන් දැන් යාපනේ අලුතින් IT පුනුරුදයක් ඇති කරන්න ඒ knowledge pool එක ලෑස්තියි. ආරංචි විදිහට දැන් දැන් ගොඩක් වැඩසටහන් ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා. ඉදිරියේදී ඒ ගැන තොරතුරු ටිකක් කියන්නම්කො. අපි හොයලා බලන්න ඕනේ ඒ දැනුම කොහොමද ජාතික සංවර්ධනයට එකතු කරගන්නේ කියලා. 

බලන්න ඕනේ 13, 14, 15 අනම් මනම් සංශෝදන වලට කලින් මිනිස්සුන්ගේ මොළේ සංශෝධනේ කරන්න පුළුවන් කොහොමද කියලා. 

හැමදාම සිංහල එකා අපිට ගැහුවා ඒකා නරක එකා! මරක්කලයා මෙහෙ එකා නෙවෙයි! උන් ඔක්කොම අතු ගාල දාන්න ඕනේ... දෙමළ උන් තමයි මේ වින්නැහිය කළේ කියලා හිත හිතා හිටියොත් කාට කාටත් හැදි ගෑවිලා ම යන්න වෙයි.

එතකොට ඉතිං රආම්රාජ් භානු එක්ක යාල්දෙවියෙන් කොළඹ ඇවිත් හයිවේ එකේ මාතර ගිහිං සුපර් ඉන්ටසිටියක හම්බන්තොට වරාය බලාගෙන කතරගම ගිහිං පඬුරු පාක්කුඩම් පුජා කළා කියලා සතේක වැඩක් වෙන්නේ නෑ!


යාල්දේවි ගෑවිච්චි අනිත් නාඩි  -

යාල් දේවි කිලිනොච්චි ගියා.. දැන් ඔක්කොම හරිද??

හිත ගිය තැන මාළිගාව



Sunday, October 12, 2014

හීන


පින්තුරය - srilankanweddingphoto.blogspot.com

මොකෝ බං උඹ අහස දිහා බලාගෙන අනිමිස ලෝචන පුජාවද?

මාතලීගේ සද්දෙන් මං ගැස්සිලා ඇහැරුනා.. දන්නේ නැතිවම පොඩ්ඩක් නින්ද ගිහිං.. මාතලී කියන්නේ ඒකිගේ උප්පැන්නේ නම නෙවෙයි. හැම විශ්වවිද්‍යාල ජිවියෙක්ම ආඩම්බරෙන් උරුම කර ගත්තු කාඩ් එක. ඒකිට ඒ කාඩ් එක වැදුනේ ගම මාතලේ හින්දා නෙවෙයි. දවස තිස්සෙම කොක්ක අතේ පටලෝගෙන පිස්සිට හැතැම්ම නෑ වගේ කැම්පස් එක වටේ රවුම් ගහන්න ගත්තට පස්සේ.

“මෙහෙ බලපන් කවී.. උඹ ඔහොම බකං නිලාගෙන බලං ඉන්නවා දැක්කහම අපිටත් අවුල් යනවා බං. මොනවා උනත් ක්ලාස් එකක් ගහන්න ඉන්න කෙල්ලෙක් නේ.. නිදිමතනම් හිටපන් ගෙනාපු කිරි පැකට් එකේ අන්තිම ටික ඇති කිරි එකක් හදලා දෙන්නම්. සීනි නෑ. අතේ කාල බීපන්..”

මොනවා උනත් හිත හොඳ කෙල්ල. අවුරුදු තුනකට ඉස්සරලා අප්පච්චිත් එක්ක ඇඳ යට තියෙන පත බෑග් එකත් අරගෙන බස් එකෙන් බැහැලා පැණි මුල්ල පැත්තට එද්දී මුලින්ම හිනා වෙලා කතා කළේ ඒකි. එදා ඉදන් අතීසාර රූමා. 

තේ මන්ඩි වලට කළු පාට ගැහිච්චි ජෝගුවට ෆිල්ටරෙන් ගෙනාපු වතුර එකක් පුරෝලා සුදු පාටට කුඩු බැදිච්චි හීටරේ උණු වෙන්න දාල මාතලී ඒ දිහා බලාගෙන ඉන්නවා. වතුර රත් වෙද්දී සෝ ගාල හීනි සද්දයක් දාගෙන පුංචි බුබුළු ජෝගුවේ උඩට නගිනවා. ඇවිත් පෙන්නේ නැතිව යනවා.. හරියට අපේ ජිවිතේ හීන වගේ..

“අපි කොහොමත් දැනගෙන හිටියා මේ ළමයා විශ්වවිද්‍යාලෙ යන විත්තිය. හරිම සන්තෝෂයි. පාසලට ආඩම්බරයක්.”

කැම්පස් තේරුණු ලියුම අරගෙන ඉස්කෝලේ ගිය වෙලේ ප්‍රින්සිපල් මැඩම් කිව්වේ එහෙම. ක්ලාස් යද්දී සර්ලා කිව්වේ “පුතා AL තමයි විභාගේ.. කැම්පස් ගිහාම කිසි ප්‍රශ්නයක් නෑ.” සුධර්මාරාමේ හීනි බංකු වල වාඩි වෙලා අපි එදා සුරංගනා ලෝක මැව්වා. Physics පේපර් එකේ අමාරු ගානක් හදා ගන්න බැරි උනාම මේසෙට උඩින් බිත්තියේ ගහලා තිබ්බ කළු පාට ලෝගුවක් දාගෙන ඉස්සරහ බලාගෙන ඉන්න ඇස් හීනි කෙල්ල දිහා බලලා තනියම කියා ගත්තේ කෙල්ලේ මමත් උඹ වගේ ඩිග්‍රියක් ගන්නවාමයි කියලා. 

ලොකු නැන්දා ගේ පුතා, සහන් ඉංජිනේරින් වලට තේරුනා කියපු දවසේ ඉඳන් අම්මාට ඕනේ උනේ මාව කැම්පස් යවන්න. “ක්ලාස් යන්නේ නැතිව ඌ කට්ටි පැනපු හැටි දන්නේ අපිනේ. ඌට පුළුවන් නම් ඇයි ඉතිං උඹට බැරි!” අම්මා එදා ඒ කෑ ගැහුවේ තරහකට නෙවෙයි. හැබැයි ඒ කටේ වරුණේ හින්දා තමයි අපි මෙතන. 

“මනෝ පාර දාන්නේ නැතිව මේ තේ එක බීපන්! ඔන්න ඕකට කුඹිත් වහලා! මොකෝ බං උඹ? ඊතල පාරක් වත් කාලද?”

“අනේ පලයන් උඹලට විසේ ගැහුවට අපිව ඒකට ගාව ගන්නේ නැතිව ඉඳපන්”

“අම්මේ කොල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නැති සීදේවි කෙලි පොඩ්ඩ! මේ ටිකට උඹ කොල්ලොන්ට අහපු ගමන් දීපු ඇණ ටික එකතු කරගත්තනම් ඇති අවුට් වෙලා හාඩ්වෙයාර් එකක් දාන්න.පව් බං උන්. කොච්චර උඹ හින්දා නැහුණු උන් හිටියද! බලපන් අර අවුට් වෙලා ගිය බැච් එකේ අයියා. කී පාරක් නම් මගෙන් උඹේ නොමබරේ ඉල්ලුවද!හා හා ඔය මනෝ රාජ්ජෙන් බැහැලා ඇවිත් මෙන්න මේ තේ එක බීපන්”

අතට බෝතලෙන් සිනි ටිකක් හලා ගත්තු මං මාතලිගේ මේසේ පැත්තට පොඩ්ඩක් ඔලුව දැම්මා. පව් කෙල්ල. පෙර වැරදි බොහොමයි! රිපීට් දෙකක්ම එක ළඟ සෙට් වෙලා. 

“උඹලා වගේ ඉතිං අපි මීටර් නෙවෙයිනේ බං. පුළුවන් හැටියට C එකක් වත් දා ගන්න තමයි මේ සැරේ බලන්නේ.”

“උදව්වක් ඕනෙනම් කියපන්. මැත්ස් එච්චර මතක නෑ. හැබැයි පොඩ්ඩක් tute එකක් බැලුවොත් ගොඩ දාල දෙන්න පුළුවන්. අනිත් එක චීනා සර් දෙන්නේ කොහොමත් පාස් පේපර්ස් වලින් නේ...”

“හම්මේ එහෙමවත් බලමු කවී.. මේ ඒක නෙවෙයි කෙල්ලේ සඳලිගේ බර්ත් ඩේ එක ලබන සතියේ. මොනවා හරි present එකක් දෙන්න වෙයි නේද?”

සඳලි, එහා පැත්තේ රුම් එකේ හිටියට ගොඩක් වෙලාවට පොඩි කයියක් දාගන්න මේ පැත්තට එනවා. ගිය සැරේ මගේ බර්ත් ඩේ එකටත් පුංචි ලස්සන ප්‍රසන්ට් එකක් අරගෙන ආවා. ඉතිං නොදී කොහොමද? ඒත්... ගිය සතියේ වැටුණු බර්සරිය ඉවර වෙලා. ඇයි ෆොටෝ කොපි වලටම බර ගානක් ගියානේ. ගෙදරින් ඉල්ලන්නේ කොහොමද ආයේ. 20 වෙනකං අප්පච්චි හම්බෙන ගානෙන් අදින්නත් එපැයි. මල්ලිගේ ක්ලාස් ෆීස් වැඩි උනා කියලත් කිව්වනේ..

“ම්ම්... ප්‍රසන්ට් එකක් නම් දෙන්නත් වෙනවා. අතේ සතේ නැති එක තමයි ප්‍රශ්නේ. ගෙදරින් ඉල්ලන්නත් ටිකක් අමාරුයි මාතලී...මේ උඹ මේ පැත්තේ නිසා බැරිවෙයිද මට ක්ලාස් එකක්වත් සෙට් කරලා දෙන්න කරන්න. මොකෝ අපිට කොල්ලෝ වගේ පත්තරේ යන්නවත් පුළුවන් එකක්යැ...”

“ක්ලාස් කරනවා කියන්නෙත් ලේසි වැඩක් නෙවෙයි කවී. අන්න මැනේජ්මන්ට් එකේ අපේ පැරා ළමයෙක් ක්ලාස් කරන්න ගිහිං ගෙදරකට. ගෙදර හිටිය මිනිහා මොකක්ද ඕන්නැති කතාවක් කියලා ආපහු ඇවිත්. ඒ මාසේ සල්ලි අරගන්නවත් ඒකි ආපහු ගිහිං නෑ.”

“ඒත්.... කියක් හරි අතට තියනවා නම් හොඳයි බං. තව අවුරුද්දක් මේකේ ඉන්නත් එපැයි.”

කියක් හරි හොයා ගන්න තියනවා නම් හොඳයි කියලා හිතුනේ අද ඊයේ නෙවෙයි. හැබැයි ගිය සතියේ නෙහාරා ගේ වෙඩින් එකට ගිය වෙලේ ඉඳලා ක්ලාස් හරි කරනවා කියලා හිතා ගත්තා. නෙහාරා මගෙත් එක්ක එක පන්තියේ හිටිය කෙල්ල. වැඩිය ඉගෙන ගන්න බැරි උනාට OL වලින් පස්සේ මොකක්ද කෝස් එකක් කරලා දැන් කොළඹ ප්‍රයිවට් කම්පැනි එකක වැඩ. බැන්දේ ඒ කම්පැනි එකේම HR එකේ executive කෙනෙක්. 

“Hello… කවින්ද්‍යා විමලවීර”

වෙඩින් එකට සතියකට විතර ඉස්සරලා පොෂ් වෙච්චි කටහඩකින් ඒකිම කතා කරලා එන්න කිව්වහම නොගිහිං කොහොමද. අනිත් එක ඉස්කෝලේ කාලේ යාළුවෝ ටික ආයේ හම්බෙන්නේ එහෙමත් තැනකදී නේ. 

වෙඩින් එක තිබ්බේ මීගමුවේ බීච් සයිඩ් එකේ ලොකු හොටෙල් එකක. Flower arrangement වලටම ලොකු ගානක් ගියාලු. නෙහාරා ගේ තාත්තා දෑවැද්ද කියලා එදා වෙඩින් එක වෙලේම අලුත්ම හයිබ්‍රිඩ් කාර් එකක් ඒකිට දුන්නා. කපල් එක නුවර එළියේ හනිමූන් ගියෙත් ඒකෙමයි. 

“උඹට දෑවැදි ඕනේ නෑනේ දුවේ.. උඹ ඉගෙන ගත්තු ටිකම ඇතිනේ නේද”

පහුගිය දවසක ගෙදර ගිය වෙලාවක අප්පච්චි ගේ ඉස්සරහ හාන්සි පුටුවේ වාඩි වෙලා කිව්වේ හුඟ කාලෙකින් පෝර සාත්තුවක් ලැබිච්චි නැති මහ ගෙදර වත්තේ උස පොල් ගස් ටික දිහා බලාගෙන. 

හාන්සි පුටුවට එහා පැත්තේ කනප්පුවේ එදා අරගත්තු ඉරිදා ලංකාදීපේ මංගල යෝජනා අතිරේකේ දිග ඇරිලා තිබ්බා.

  
Related Posts Plugin for WordPress, Blogger...