නාඩි සෙට් එක

Friday, June 11, 2021

කෝපි


ඇටකෝටු හිරිවට්ටන පාන්දර හීතල එක්ක ඔට්ටු වෙන්න පොරොව ගත්තු ජැකට් එක ඇතුලෙනුත් හරිම අකීකරු විදිහට හීතල හුළඟ ඉදිකටු වගේ හමට වදිනවා. හුස්ම පිටවෙද්දී නහයෙන් කටින් දුම් දානවා වගේ මීදුම් ගුලි පිටවෙනවා.. මෙල්බර්න් වල සීත කාලේ ඇවිත්. හැම තැනටම හිම වැටෙන්නේ නැති උනාට සමහර දවස් වල උදේට බිංදුවට ළං වෙන්නම සීත. සීතලට ඔළුවේ ඉඳන් පොරෝගෙන නිදාගන්න හිතුනත් ලැබ් එකේ ඉතුරු වෙලා තියෙන වැඩ කන්දරාව මතක් වෙද්දී නිකම්ම ඇඳෙන් බිමට පැන්නෙනවා. 


උදේට කාර් එක එළියට ගන්න කලින්  මං ටිකක් හීටර් එක දාල තියනවා. නැත්නම් අළු පාට වෙච්චි අහසක් යටින් තෙත බරිත තාර පාරේ යද්දී හරිම මලානික හැඟීමක් එනවා. වාහනේ පාක් කරලා සීතල යන්නත් එක්ක ටිකක් හයියෙන් හයියෙන් ඇවිඳගෙන මං  ලැබ් එක පැත්තට යනවා. උදේ වැඩ පටන් ගන්න කලින් අනිවාර්‍යෙන්ම යන්න ඕනි තැනක් තියෙනවා.. 


ඔව්.. ඒ කෝපි කඩයක්. මෙහෙ තාලෙට කිව්වොත් කොෆි ෂොප් එකක්. ඇතුළට යන තැනම කළු පාට ලෑල්ලක හුණු කූරකින් අද ස්පෙශල් තියෙන කෑම එහෙම ලියලා තියෙනවා. කඩේ ඇතුලේ දිස්නේ දාන්න ලයිට් දාපු වීදුරු කූඩු ඇතුලේ දිලිසෙන ලස්සන මෆින් පේළියක් තියේ.. ඊටත් එහායින් දැක්කත් සීනි වැඩි වෙන සයිස් එකේ චොක්ලට් කේක් කෑල්ලක් වැජඹෙනවා. උදේ හීතලත් එක්ක මුහු වෙලා හරි අපූරුවට කඩෙන් එළියටත් කෝපි සුවඳ එනවා. මං ලොකු හුස්මක් එක්ක කෝපි සුවඳ පපුවට පුරවගෙන ඇතුළට යනවා. 


කෝපි කඩේ කරන බිල් අංකල් අවුරුදු තුනක් තිස්සේ දැන් මාව දන්නවා. “හලෝ ගුඩ් මෝනින්…..” මිනිහා ක්‍රිකට් පිස්සා.. මගේ ක්‍රෙඩිට් කාඩ් එකේ ගහලා තියෙන නම මතක තියාගෙන ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ නමින් බිල් අංකල් මට කතා කරනවා. හරිම උනුහුං හිනාවත් එක්ක “The usual one right?” කියලා අහනවා. හැමදාම උදේට මං ගන්නේ regular Mocha එකක් කියලා එයා දන්නවා. මම ඔළුව වනන පරක්කුවට කොන්ඩේ නිල් පාටට පාට කරලා තියෙන බැරිස්ටා ගෑනු ළමයා කොෆි මැෂින් එක දිහාවට හැරිලා පොඩි කෝප්පෙකට කොෆි බීන්ස් ක්‍රශ් එක එකතු කරගන්නවා. ඊට පස්සේ “ශුස්…” ගාලා සද්දේට කිරි කෝප්පයක් ස්ටීම් කරනවා. එහෙම කරන ගමන් හරි ලස්සනට මාත් එක්ක හිනා වෙලා “The usual melbourne weather is here right?” කියලා අහනවා. කට මට්ටමට පුරෝපු කඩදාසි කෝප්පෙට උඩින් චොක්ලට් පව්ඩර් ටිකකුත් දාලා පියනකින් වහලා දෙන Mocha එක අරගෙන මං ඉක්මනට පඩිපෙළ නඟිනවා. වැඩ පටන් ගන්න වෙලාව හරි. 


“කෝපි නැති උනොත් මේ ස්ට්‍රීට් ඔක්කොම වැහිලා යාවි” සිටි එක මැද්දේ ජනාකීර්ණ සෙන්ටර් ප්ලේස් එකේ කෝපි කඩේක වාඩි වෙලා බනානා බ්‍රෙඩ් එකක් කන ගමන් මං මගේ යාළුවත් එක්ක කෝපි ගැන කතා කරනවා. “උඹ කොහොමද බං ඔය තාර වගේ තිත්ත කෝපි බොන්නේ?” පැණිම පැණි රස මාස්මෙලෝස් දාපු හොට් චොක්ලට් එකක් බොන ගමන් එයා මට කෑගහනවා. “තිත්තත් හරි අපූරු රහක් බං” මං තව උණු කෝපි උගුරක් තොල ගානවා.


කොහේ කොයි දිග්බාගේ ගියත් කෝපි කඩයක් හොයාගෙන යන පුරුද්දක් මට තියෙනවා. මේ කොරෝනා කරදරේට කලින් සියැටෙල් ගිය වෙලාවක දිනේශ් අයියත් එක්ක ලෝක ප්‍රසිද්ධ Starbucks කෝපි කඩේ මුලින්ම දාපු තැනට යනවා. ඒක තියෙන්නේ Seattle වල pike place market එකේ. පැයක් විතර පෝලිමේ ඉඳලා අපි දෙන්නා ඒ ඉතිහාසගත කෝපි එක බීලා එනවා. ඒකෙත් අමුතු රහක් තියෙනවා. 


කොළඹ ඉන්න දවස් වල සමහර වෙලාවලට බිස්නස් මීටින් කියලා එව්වා තියේ. පොඩි වෙනසක් ඕනි උනාම කොහේ හරි තියෙන කෝපි කඩයක මේසෙක ලෝකේ කොහේ හරි තියෙන සිස්ටම් එකක ප්ලෑන් එකක්, නැත්නම් අලුත් ප්‍රොජෙක්ට් එකක් දිග ඇරෙනවා. මීටින් එක දික් වෙන තරමට හිස් වෙන කෝපි කෝප්ප ගාන වැඩි වෙනවා. 


තෙතබරියං වෙන්න වැහැලා හිතත් පෙඟිලා ගිය සමහර දවස් වල ඒ කෝපි කඩ ඇතුලේම මං තනියම ඉඳලා තියෙනවා. උස වීදුරු හූරගෙන වැහි කැට පහළට වැටෙන හැටි පැය ගණන් බලාගෙන ඉඳලා තියෙනවා. හිස් වෙච්චි මේසේ එහා පැත්තේ පුටුවේ ඉහපත්ත උඩින් කෝපි බොන මිනිස්සුන්ගේ ගුමුගුමුව මට ඇහෙනවා.


වැහි දාට නුවර යනකොට ගලගෙදරට ඉහළින් පොඩ්ඩක් නවත්තලා දුම් දාන කළු කෝපි එකක් බොන ගමන් සැර ලුණුමිරිස් එක්ක පොල් රොටී කන කඩයක් තියෙනවා. හැරිලා පෙරලිලා ඇඹරෙන ගමනක කාංසිය තෙහෙට්ටුව උණු කෝපි උගුරකින් මැකිලා යනවා.


ළඟදීම දවසක වහින වෙලාවක පොඩි කෝපි කඩයකට වෙලා කෝපි එකක් බොන්න මං මඟ බලාගෙන ඉන්නවා. ඒ කෝපි කඩේ මේසේ ළං වෙලා ඉඳගන්න දිග බංකුවක් තියෙනං හොඳයි කියලා මට හිතෙනවා. 


මේසේ උඩින් කඩදාසි කෝප්පේ තියෙන ගමන් මං මැශින් එක ඔන් කරනවා. කෝපි කෝප්පෙකින් උනුහුං වෙලා මං දවස පටන් ගන්නවා… 

Related Posts Plugin for WordPress, Blogger...