කෑම එහෙමත් නැත්නම්
ආහාර අපේ ජීවිතේ වැදගත්ම අංගයක් නේ.. (කාට නැති උනත් මටනං එහෙමයි :D ) සමහරු ජීවත් වෙන්න කද්දී,
තවත් සමහරු කන්න ජීවත් වෙනවා. කොහොමෙන් කොහොම හරි කෑම කියන දේත් එක්ක අපි කාටත් අපූරු
මතකයන් බැඳිලා තියෙනවා.
අපි හැමෝම ගොඩක්
වෙලාවට ආසාවෙන් මතක් කරන ගෙදර අම්මා හදන බත් එක, නැත්නම් කිරිඅම්මා උයන කිරිකොස් මාළුව,
පොලොස් ඇඹුල මතක් කරද්දිත් අපේ කටට කෙළ උනනවා. ගෙදර ජීවිතෙන් මිදිලා එළියට යන්න ගත්තු
දවසේ ඉඳන් අපි විවිධ රස තියෙන කෑම වලට ආස කරනවා. සමහර එව්වට හරිම අමුතු විදිහට
ඇබ්බැහි වෙනවා.
මංතුමා ඉස්කෝලේ
ගියේ ගෙදර ඉඳන් හූවක දුර තියෙන ඉස්කෝලෙක වෙච්චි, හිච්චි කාලේ ඉස්කෝලේ කැන්ටිමේ කෑම
කන්න මාරම විදිහට ආස කළා. ඒත් හරහට හිටියේ ගෙදරින් ඔතලා දෙන බත් පෙට්ටිය. ඉතිං හරි
ආසාවෙන් හිටියේ කුලේ මාමාගේ කැන්ටිමට ගිහිං රුපියල් දහයක් වගේ දික් කරලා, බිත්තර බනිස්
එකක්, බටර් පාන් කාලක් (හැබැයි ඒකේ තිබ්බේ මාජරින්), නැත්නම් රුපියල් පහට බයිට් පැකට්
එකක් වගේ කන්න.
ගැටව් කාලෙට එද්දී,
සාක්කුවට රුපියල් විස්සක් තිහක් වැඩිපුර වැටෙද්දී, කුලේ මාමා කුලේ අයියා උනා! උදේ
පීරියඩ් එකත් කට් කරලා තෝසේ පාරක් දාන්න, පරාටයක් කාලා ප්ලේන්ටියක් බොන්න හුරු උනා.
ඒ අස්සේ ඉස්කෝලේම පදිංචි වෙලා හිටිය කැඩෙටින් කාලේ බතක් මාළුවක් උයාගෙන, ලයනල් සර්
බලාගත්තු ඉස්කෝලේ ගෙවත්තෙන් හොරෙන් එළවළුවක් එහෙමත් කඩාගත්තු වෙලාවල් නැතිවාම නෙවෙයි.
කැඩෙට් කරපු
එකෙක්ට රන්ටැඹේ මෙස් එකේ කෑම වේලවල් නම් අමතක වෙන්න කොහොමත් බෑ! ගිනි අව්වේ පෙරඩ්
කරලා මෙස් එක ඉස්සරහා පෝලිම් වෙන්නේ යකෙක් කන්න බඩගිනි හැදිලා. පරිප්පු පීනලා හොයන්න
ඕනි පරිප්පු හොදි, බොර මාළු හොඳි, කටු එහෙන් මෙහෙන් තියෙන බිත්තර විනාඩි පහෙන් අතුරුදහන්
කරන්න අපේ උන් හෙනම රුසියෝ!
ඒ අහු අස්සේ ආයේ
නානාප්‍රකාර කෑම කඩ අස්සේ රිංගන්න පටන් ගන්නේ A/L ක්ලාස් යන කාලේ. තෙල් මෝරන කාලේ වෙච්චි, සමහර
වෙලාවට සමහර කෑම කඩ අස්සට ගොඩ වෙන්නේ කෑම කන්න විතරක්ම නෙවෙයි 😉 කුරුණෑගල පන්ති ගාටපු
එකෙක්ට පරණ මාකට් එකේ බන්ඩාගේ කඩේ තෝසෙයි වඩෙයි , ශොපින් කම්ප්ලෙක්ස් එකේ ආරාධනා එකේ
මැගී එකයි අමතක වෙන්න විදිහක් නෑ. ඔය හැම තැනකම අපේ මතක අට්ටි ගණන් ගොඩ ගැහිලා තිබ්බා.
ඔය කෑම රටාව,
හොඳටම වෙනස් වෙන්නේ කැම්පස් ගෑටුවට පස්සේ! රජරට කාස්ටකේ සුන්දරත්වේ විඳින ගමන් හිල්ටන්
එකේ, queens එකේ, ෆැක්ල්ටි
කැන්ටිමේ කෑම රහ ආයේ කොයි ලෝකෙන්වත් හොයාගන්න නම් වෙන්නේ නෑ. අල්කයිඩාගේ ෆ්‍රයිඩ්
රයිස්, නයිකැට්ටාගේ කොත්තුව, පොතානේ වඩේ, අඩව්වාගේ රොටී , හීන්සැරේ බත් එක අපිව මැරෙන්නේ
නැහිව ජීවත් කළා. ඒ කෑම වලට එහෙං මෙහෙං මැස්සෙක්, පණුවෙක් එහෙම දැම්මේ අපේ ප්‍රෝටින්
intake
එක වැඩි කරන්න
කියලා තමයි දැනමුත්තෝ කිව්වේ. ඒ අස්සේ ඉතිං
රුපියල් පහේ ප්ලේන්ටි ගැලුම් ගණන් බිබී කැන්ටිමේ බෙන්ච් වල ගත් කරපු සුන්දර වරු ගණන්
නොතිබුනාම නොවෙයි 😉
පහේ විසිපහේ කෑම
වලට තිත වැටෙන්නේ කොළඹ බෝඩිංකාරයෙක් වෙන්න පටන් ගත්තහම. Intern කාලේ කොහොමත් කෝඩේ නේ..
ඒ කාලේ හොයන්නේ අඩුම ගාණකින් සැරටම බඩ පුරවගන්න පුළුවන් තැන. රත්මලානේ, බත්තරමුල්ලේ,
මාලඹේ, තලාහේනේ නොගියපු කෑම කඩයක් නැති තරම්. මොන රස මසවුළු තිබ්බත්, බස් එකක තෙරපිලා
ඇවිත්, වොශ් එකක් කාරිය දාලා, බෝඩිමේ උන් එක්ක කයියක් දාන ගමන් කන ෆුල් කොත්තුව....
ඒක පට්ට නැද්ද කියපං.. පඩි දවසට ඕක ටිකක් තව සරු වෙනවා. ඉදිආප්ප දහයේ මුලයි හොඳියි
විතරක් නැතිව තව කට ගැස්ම ටිකකුත් සමහර වෙලාවට එකතු වෙනවා.
ඔය අහව් අස්සේ
එක එක වැඩ රාජකාරි වලට රට රටවල් වලට ගාටන්න වෙච්චි, ඒ රටවල් වලටම ආවේණික වෙච්චි පතාරාස
වගේම හරිම අමුතු කෑමත් බඩට යනවා. ඉන්දියාවේ පේමන්ට් එකේ සුප්‍රසිද්ධ පාවෝ බජී එකේ
ඉඳන්, පිලිපීනේ බලූත්, ඇමරිකාවේ පත සයිස් ස්ටේක් ඔය කොයි දේත් හරිම අපූරු මතක එක්ක
එක්කහු වෙලා තියෙනවා. කොයි දේ අමාශෙට
ගියත් දිරෝගන්න හැකියාවක් තියෙන අපිට ආයේ ඉතිං මකුළුවෙක් බැඳලා දුන්නත් කන්න පුළුවන්!
:D
ජීවිතේ වෙනමම
ගමනක් පටන් ගන්න හරියටම මීට අවුරුදු හතරකට කලින් දකුණුකුරු දිවයිනට විප්‍රවාසගත උනාට
පස්සේ ගොඩක් වෙලාවට කඩපිල් වලින් කන්නේ බොන්නේ නැතිව ගෙදරම හදාගෙන කන්න හුරු වෙනවා.
කොයි ලෝකේ ගිහිං කෑවත් ගෙදර ඇවිත් බතක් රයිස් කුකර් එකට දාගෙන, සම්බෝලයක් හරි කොටාගත්තහම
දිව්‍ය භෝජනේ වගේ දැනෙනවා.
ඔය සමහර කෑම කටවල් වල ආදරය, විරහව, වේදනාව, සතුට ඔය ඔක්කොම එක්කහු වෙලා තියෙනවා. ඒකයි ජීවිතේ මෙච්චර රහ!