නාඩි සෙට් එක

Showing posts with label නාඩි ගමන්. Show all posts
Showing posts with label නාඩි ගමන්. Show all posts

Saturday, January 5, 2019

වමෙන් එළවීම සහ ප්ලාස්ටික් බෝතල්


අටං අයියා පහුගිය දොහේ මං කොටපු නාඩියකට “මා නොදකින විසිතුරු ගැන මට පවසනවද ඔයා ............ කියලා කියවනවා මමනං” කියලා කොමෙන්ට් එකක් දාලා තිබ්බා. ගියපු කරපු තැන් ගැන මොනවා හරි කොටනවා කියලා ඒ නිසා හිතුවා.
පහුගිය දොහේ මං ට්‍රම්ප්පච්චීගේ දේශයට ගැච්චුවා පොඩි වැඩ වගේකට. ගියේ ඇමරිකා එක්සත් ජනපදේ වොශින්ටන් ප්‍රාන්තයේ සියැටෙල් වලට. (කලින් ගියපු කරපු එව්වා ගැන ඔන්න ඔය පහළින් තියෙන එව්වගේ ඇති)

සියැටෙල් තමයි ලෝක ප්‍රසිද්ධ මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධාන ඔපිසිය තියෙන්නේ. දැන් ඔය සමාගමේ ලොකු තැන ඉන්නේ බිල් ගේට්ස් ලොක්කා නෙවෙයි. “සත්‍යා නඩෙල්ලා” කියලා අපේ අල්ලපු රටේ ඩයල් එකක්.

සියැටෙල් කියන්නේ මං ලෝකේ දැකපු ලස්සනම නගර වලින් එකක්. කතාවට කියන්නේ සියැටෙල් වලට හැමදාම වහිනවා කියලා. කොහොමත් හරිම සෞම්‍ය දේශගුණයක් තමයි තියෙන්නෙ. සියැටෙල් වල තියෙන කරන දේවල් එහෙම ගැන විස්තර ඉස්සර කොටපු එව්වගේ ඇති.

හිටපු දවස් හැම එකේම උදේ ඉදන් හවස් වෙනකම් වැඩ, මීටින් තිබ්බා. මෙහෙ තියෙන වෙනස තමයි අපි ලංකාවේ හුරු වෙලා ඉන්නවා වගේ පැය ගණන් දිග කෑම පැය එහෙම නැති එක. ගොඩක් වෙලාවට කෑම එකත් අරගෙන මොකක් හරි මීටින් එකකට දුවන්න ගොඩක් වෙලාවට වෙනවා. කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න තමයි ට්‍රයි එක. කලිනුත් මම කියලා ඇති මෙහෙ ප්ලාස්ටික් වතුර බෝතල් ඇත්තේම නැති තරම් කියලා. හැම එක්කෙනෙක් අතේම වගේ reusable water bottle එකක් තියනවා. ඒක රීෆිල් කරගෙන පාවිච්චි කරනවා. මේ අවුරුද්දේ අපිත් ඒ ට්‍රයි එක දෙමුද? මොකෝ ඔය හැමදාම පාවිච්චි කරන ප්ලාස්ටික් බෝතල් අන්තිමේ යන්නේ මුහුදට. මං ඔන්න දැක්කා වැඩියෙන්ම මුහුදට කුණු දාන රටවල් අටට ලංකාවත් තියනවා කියලා.
Vertical Farming

තව අපූරු දෙයක් තමයි මේ ආයතනය ඇතුලේ පොඩි පොඩි එළවළු එහෙම වවලා තියෙනවා පස් නැතිව! “Vertical Farming” සිස්ටම් එකට. ඔන්න විඩියෝ කෑල්ලක් දැම්මා. කැමති නම් බලන එකයි ඇත්තෙ. ලංකාවෙත් මේ දේ පරේෂණ මට්ටමෙන් වෙනවා. CodeGen එකේ තියෙන එකනං මං දැකලා තියෙනවා.  


ඔය එහෙ මෙහෙ රටවල් වල යද්දී දැක්ක තවත් අපූරු දෙයක් තමයි විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සහ වැඩිගිටි අයට තියෙන පහසුකම් වගේම ඔවුන්ව රටේ work force එකට සම්බන්ධ කරගෙන තියෙන අපූරුව. මයික්‍රොසොෆ්ට් ආයතනය ඇතුළේ තියෙන සමහර කැන්ටීන් වල වැඩ කරන්න ඉන්නේ විශේෂ අවශ්‍යතා සහිත අය. සමහර වෙලාවට ඔවුන් අතින් සුළු අත්වැරදීම් වෙනවා. සමහර වෙලාවට වැඩ කරන්න ටිකක් වෙලා ගන්නවා. හැබැයි ආයතනයේ සේවකයෝ එව්වා හරිම සිනහමුසු මුහුණින් ඉවසගෙන ඉන්නවා.

දැනට මං ඉන්න කැන්ගරු දේසෙත් මේක මම දැකලා තියෙනවා. මගේ research center එක තියෙන විශ්වවිද්‍යාලේ වෙනමම ඒකකයක් තියෙනවා ඒ වගේ අය ගැන හොයලා බලන්න. ඒ වගේම පුළුවන් හැම වෙලේම ඒ අයට පොඩි පොඩි වැඩ පවරලා සාමාන්‍ය පුද්ගලයෝ වගේම සමාජයේ පිලි ගැනීමක් ලබා දෙන්න උත්සාහ කරනවා.

ඔය කිව්වෙ ටිකක් සිරියස් කෑලි දෙක තුනක් නේ. ඔය වගේ එහෙ මෙහෙ යන එකේ ටිකක් ඇවිදලා කරලා ෆන් එකක් ගන්නත් මංතුමා ඉතිං පැකිලෙන්නෙ නෑ. මොකෝ කොහෙ හරි ගිහිං හෝටලේ ඇතුලේ ගේ ගෙම්බා වගේ ඉන්න එක මට එපා කරපු දෙයක්. ඉතිං පොඩ්ඩක් ඇවිදලා කරලා බැලුවා. ඔක්තොම්බර් කියන්නෙ ඇමරිකාවට සරත් සමය. ඉතිං කහ පාටට, තැඹිලි පාටට හරි ලස්සනට ගස් කොලන් බලා ගන්න පුළුවන්. 

කොළ හැලිලා

පාරෙ තොටේ ඇවිදිදී මොලේ කොලොප්පන් වෙන වැඩේ තමයි වාහන යන පැත්ත! එහෙ වාහන එළවන්නේ දකුණෙන් නේ. නිකම් හිතලා බලපන්කෝ පාර පනිද්දී.. නිකමට හරි වාහනයක් එළවද්දී තියෙන සනීපේ! දෙපාරක් තුන් පාරක් ම මං ටැක්සියේ ඩ්‍රයිවර් සීට් එක පැත්තෙන් නගින්න ගිහිං පීචං උනා.
එන ගමන් ලොස් ඇන්ජලීස් සැන්ටා මොනිකා පියර් එකට

කාල වෙලාව ලැබෙන විදිහට හිමීට කොටන්නම් එහෙනං! ජය!
  

Monday, August 10, 2015

හොලොලෙන්ස්


මේ නාඩිය කොටන්න කියලා පටන් ගත්තේ මහා පොළොවේ ඉඳන් අඩි තිස් හතරදාහක් උඩ ඉදන්. හැබැයි ඉවර කර ගන්න හම්බුනේ මහ පොළොවේදී. 

පහුගිය දොහොක මං තුමා ඔබාමා ගොයියාගේ රටට ගැච්චුවා. ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ සියැටෙල් නුවර රෙඩ්මන්ඩ් වල තියෙන මයික්‍රොසොෆ්ට් ප්‍රධාන ආයතනයේ තිබිච්ච Worldwide MSP Summit එකට සහභාගී වෙන්න තමා මං තුමා ගියේ. 

පැය 18ක ගුවන් ගමනක්. එක දිගට නෙවෙයි. ඩුබායි වල පැය දෙකක විතර transit එකක් එහෙම ඉඳලා තමා ගමන. 

සියැටෙල් නුවර කියන්නේ ලෝකේ මං ආසම නගරයක්. ගිය අවුරුද්දේ මාසයක් විතර හිටියනේ. ඒ විස්තරේ මෙතැනටඇමුනුවා. මොකෝ ආයේ කොටන්න කම්මැලියි.

මෙදා සැරේ එච්චර ඇවිදින්න කරන්න හම්බුනේ නෑ. මොකෝ දවස් පහම එක දිගට වැඩ තිබ්බා.
මේ දවස් ඇමරිකාවේ summer එක. ඒකත් එක්ක හරි අපූරු දේවල් ගොඩක් එහෙ සිද්ධ වෙනවා. 

අහලා තියනවද Microsoft Imagine Cup Competition එක ගැන. මයික්‍රොසොෆ්ට් ආයතනය මඟින් වාර්ෂිකව පවත්තවන තරඟයක්. Games, Innovation, World Citizenship කියන අංශ තුනෙන් මේ තරඟය පැවැත්වෙනවා. එක් එක් රටවල් වලින් තරඟ වැදිලා අවසාන වටේට තේරිච්ච ලෝක ශුරයෝ තමන්ගේ අපූරු සොයාගැනීම් එක්ක සියටෙල් වලට ඇවිත් හිටියා. ඒත් එක්ක TechReady event එක. Microsoft OneWeek වගේ IT related event නිසා ලෝකේ හතරදික්බාගෙන්ම කොම්පීතර කාරයෝ ඇවිත් හිටියා එකම තැනකට.

මේ දවස් පහේ මගේ නවාතැන උනේ වොෂිංටන් සරසවිය. හරිම ලස්සන තැනක්. ලෝකේ ලස්සනම පුස්තකාල දහයෙන් එකක් තියෙන්නේ මේ සරසවියේ. ඒ වගේම ඇමරිකාවේ හොඳම medical faculty එක තියෙන්නේ මේ සරසවියේ. 

උදේ හතට රෙඩ්මන්ඩ් මයික්‍රොසොෆ්ට් ඔෆිස් එකට යන්න බස් එකට නගිනවා. ආපහු එන්නේ රෑ 9 ට විතර. හැබැයි එද්දිත් ඉර බැහැලා නෑ!

බිල් ගේට්ස් ගොයියා පටන් ගත්තු මයිකොසොෆ්ට් එක දැන් Satya Nadella යටතේ තමයි තියෙන්නේ. ඉස්සර operating system එක්ක හැප්පුණු කොම්පැනිය දැන් අලුත් පැති හොයාගෙන යන්න පටන් අරගෙන. Windows Phone, Microsoft Band, Microsoft Azure cloud වගේ අලුත් පැති ඉස්සරහට එන්න පටන් අරගෙන ඒ වගේම Visual Studio වගේ IDE open source වල‍ට support කරන්න පටන් අරගෙන. 

දෙවෙනි දවසේ අපිට හරි අපූරු අත්දැකීමක් අත්දකින්න පුළුවන් උනා. Microsoft Hololens. මුලින්ම මේ වීඩියෝ එක බලලා ඉන්නකෝ..

බළලා මල්ලෙන් එළියට පැනලා හිටියට තාම මේ අපූරු ගැජට් එක මාකට් එකට ඇවිත් නෑ. Augmented Reality සාමාන්‍ය භාවිතයට ගේන මරු බඩුවක්. තාම තියෙන්නේ experimental stage එකේ. වැඩිය හින්ට් එළියට දෙන්න බෑ. ඔන්න මං තුමාම ලියපුබ්ලොග් පෝස්ට් එකක් තියනවා. කියවලා බලන්නකෝ ඔච්චර interesting නම්...

ලෝකේ රටවල් 75කින් විතර එකතු වෙච්චි ඩයල් එක්ක වැඩ කරද්දී මරු මරු වැඩත් වෙනවා. මගේ room mate උනේ ජපන් ඩයල් එකක්. මරුම සිද්ධිය ඌට සිංහල බෑ. මට ජපන් බෑ. ඊටත් වඩා ඌට එච්චර ඉංගිරිසිත් බෑ! අතින් පයින් තමා වැඩියෙන්ම ගනුදෙනු. පොඩි කාලේ ඉඳලා ටිකක් හරි අපිට ඉංගිරිසිය කට ගාපු ඒ ගුරු උත්තමයොන්ට පිං අයිති වෙන්න ඕනේ. :D
ලෝකයම එක තැනක
තවත් මගේ හිතට වැදිච්චි දෙයක් තමයි innovative thinking කියන එක. ලංකාවේ හැම තැනම දැන් IT කාරයෝ. ඒ වගේම අපි හැම වෙලේම කතා කරනවා සීගිරිය වගේ අරුම පුදුම නිර්මාණ ගැන. Innovation ගැන උපන් හැකියාවක් තියෙන අපි හැබැයි ඒ හැකියාවෙන් ප්‍රයෝජන ගන්නේ නෑ. 

අපි බලන්න ඕනේ ඇමරිකාව වගේ හඳට යන නිර්මාණ කරන්න නෙවෙයි (පුළුවන් නම් කිසි වැරැද්දක් නෑ) අපි කරන්න ඕනේ අපේ වටපිටාවට ගැලපෙන නිර්මාණ. උදාහරණ දෙකක් තුනක් කියන්නම්. 

නයිජීරියාව කියන්නේ අප්‍රිකාවේ තියෙන රටක්. ඒ රටේ විශ්වවිද්‍යාල කණ්ඩායමක් නිර්මාණය කරලා තිබ්බා ඇස්මා රෝගීන්ට අතේ පළදින්න පුළුවන් උපකරණයක්. ඒ මඟින් පුළුවන් වෙනවා ඇස්මා රෝගීන්ට අහිතකර තත්ත්ව හදුනා ගන්න. 

සයිප්‍රස් රටේ කෘෂිකර්මාන්තය ඉතා දියුණු රටක්. ඒ අය නිර්මාණය කරලා තිබ්බේ automated green house එකක්. ඒ කියන්නේ ඒ රටට ඉතා වැදගත් දෙයක්.

අපි කරන්න ඕනේ අපිට තියෙන දේවල් තාක්ෂණයත් එක්ක මුහු කරන්නේ කොහොමද කියලා බලන එක. 

කොහොමෙන් කොහොම හරි වැඩ කටයුතු ඉවර වෙලා මංතුමා ලංකාවට සැපත් උනා. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටින්. ආපහු ලංකාවට එද්දී මට එක දෙයක් හිතුනා. ගුවන් තොටුපොල කියන්නේ ලංකාවට එන විදේශිකයෙක්ට මුලින්ම පේන කරන තැන. හරියට ගෙදර ඉස්සරහ දොර වගේ. ඉතිං ඒ තැන ලස්සනට තියෙන්නේ එපැයි. ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ලස්සනට පේන විදිහට මේ තැන හදන්න අපේ ලොකු මහත්තුරු ටිකක් හිතලා බලනවනම් කොච්චර හොඳඳ...

ෆොටෝ නෑ කියලා බනිනවනේ! මෙන්න ඇල්බම් එකක්ම! 

Monday, November 17, 2014

රිවර්ස් යන ගඟ - Chicago River

මිචිගන් පාලම උඩ ඉදන් චිකාගෝ ගඟ
පහුගිය දොහක කොටපු නාඩි ඇට් ඇමරිකා නාඩියක පොරොන්දු උනා චිකාගෝ ගඟ ගැන අලුත් නාඩියක් කොටනවා කියලා. මොකෝ ඒ ඉසව්ව එච්චර මගේ හිතට අල්ලපු නිසා...

චිකාගෝ Mag Mile එකේ ෂොපින් කරපු හැටි. බෝංචි ඇටේ විස්තරේ වගේ කතා බතා ඒ නාඩියේ කෙටුවනේ.. ගිහිං ඒකත් කියවලා ආවානම් හොඳා ඉතිං. නැත්නම් අන්ද කයිප්පු වගේ වෙයි. මෙන්න ලින්කුව.
චිකාගෝ කියන්නේ දැනට ඇමරිකා එක්සත් ජනපදයේ ඉලිනොයිස් ප්‍රාන්තයේ අගනගරය. 

ඔය චිකාගෝ කියන නම හැදිච්චි විදිහ ගැනත් හරි අපූරු කතාවක් තියනවා. මේ ප්‍රදේශයේ මුල් පදිංචිකාරයෝ උනේ ස්වදේශික ඇමරිකානුවෝ. ඔය රතු ඉන්දියන්වරු කියලා කියන්නෙත් මෙයාලා තමා. හැබැයි දැන් ඒ වචනේ පාවිච්චි වෙන්නේ නෑ. Native American කියන යෙදුම තමයි භාවිතා වෙන්නේ. කොලොම්බස් ඇමරිකාවට පය තිබ්බට පස්සේ හිතලා තියෙන්නේ එයා ඉන්දියාව හොයා ගත්තා කියලාලු නේ.. ඒ නිසාලු ඔය රතු ඉන්දියන්වරු කියන නම හැදුනේ. 

ස්වදේශික භාෂාවෙන් “Chicagoua” කියන්නේ වල් ළුණු වලට. ජනප්‍රවාද වල එන හැටියට චිකාගෝ ගඟේ ඉවුර දෙපැත්තේම මේ වල් ළුණු සාරේට වැවිලා තිබ්බලු. ඉතිං ස්වදේශික ඇමරිකන්වරු පාවිච්චි කරපු “Chicagoua” කාලෙන් කාලෙට වෙනස් වෙලා “Chicago” වෙලා තියනවා.

කොහොමත් ජනාවාස ගොඩ නැගෙන්නේ ජල පහරක් තියෙන තැනක් මුලික කරගෙන නේ. එක්දහස් හයසිය ගණන් වල හත්සිය ගණන් වල චිකාගෝ නගරය කාර්මික නගරයක් විදිහට ප්‍රසිද්ධ වෙලා තිබ්බා. නැව් හදන්න වගේම port city එකක් විදිහට මේ නගරය හරිම කාර්යබහුල තැනක් උනා. Port city එකක් කිව්වට චිකාගෝ නගරේ ළඟ පාත මුහුදක් නෑ. මේ ඔක්කොම නැව් ගමනාගමන කටයුතු සිද්ධ උනේ පංච මහා විල් ආශ්‍රිතව. චිකාගෝ නගරෙට මායිම් වෙලා තියෙන මිචිගන් විලෙන් තමයි චිකාගෝ ගඟ පටන් ගන්නෙත් (දැන්).

1779 දී චිකාගෝ ගඟ අසබඩ ජනාවාස පිහිටවන්න මුල් වෙච්චි Jean Baptiste Point DuSable තමයි චිකාගෝ නගරේ නිර්මාපකයා විදිහට හදුන්වන්නේ. 

මේ කාලේ චිකාගෝ ගඟ ආශ්‍රිතව කෝච්ච නැව් ගමනාගමනය සිද්ධ උනාද කිව්වොත් නැව් ගමන් ගන්න අකුලන පාලම් නිසා ලොකු වාහන තදබදයක් ඇති උනාලු නගරේ.

19 වෙනි ශතවර්ෂයේ දී ඇති වෙච්චි කාර්මික විප්ලවෙත් එක්ක චිකාගෝ ගඟ හරිම දරුණු විදිහට දුෂණය වෙන්න පටන් ගත්තා. කර්මාන්ත ශාලා වල අපද්‍රව්‍ය, නැව් හදන කම්හල් වල ඉවත දමන දේ විතරක් නෙවෙයි චිකාගෝ නගරයේ පිහිටලා තිබිච්ච සත්ත්ව ඝාතකාගාරවල අපද්‍රව්‍යත් ගඟට එකතු උනා.  කොච්චර ගඟ දුෂණය උනාද කියනවනම් ගඟේ මතුපිට එකතු වෙච්චි කුණු තට්ටුව උඩ මිනිහෙක්ට ඇවිදින්න උනත් පුළුවන් උනාලු!
ගඟ උඩ මිනිහෙක්! - http://www.oftimeandtheriver.org/resources/colonial/fr1800to1876_21.htm

චිකාගෝ වැසියෝ තමාගේ පානීය ජල අවශ්‍යතා සපුරා ගත්තේ මිචිගන් විලෙන්. හැබැයි දුෂිත නගරය හරහා ගලන වතුර මේ පානීය ජලයත් එක්ක මුහු වෙලා කොලරාව, ටයිපොයිඩ් උණ වගේ වසංගත නගරය පුරා පැතිරිලා යන්න පටන් අරගෙන තියනවා. නගර වැසියෝ බර ගානක් සෙත්ත පෝච්චි උනාලු! කට්ටිය නගරේ අත ඇරලා යන්න පටන් අරගෙන!

http://99percentinvisible.org/episode/episode-86-reversal-of-fortune/
මිට පිලියමක් විදිහට 1848 දී චිකාගෝ ගඟෙන් මිචිගන් විලට එන අපිරිසිදු ජලය ආපහු හරවන විදිහක් ගැන යෝජනා උනා. ඒ කියන්නේ ගඟ ආපහු හරවන්න!

1892 ඩි පටන් ගත්තු මේ ව්‍යාපෘතිය විශාල ඇළ මාර්ග තුනකින් සමන්විත උනා. 1922 මෙම ව්‍යාපෘතිය ඉවර වෙද්දී නගරය හරහා මිචිගන් විලට ගලාගෙන ගිය චිකාගෝ ගඟේ වතුර ආපහු හැරිලා මිසිසිපි ගඟ පැත්තට යන විදිහට සකස් කරලා තිබ්බා. මේ ව්‍යාපෘතිය දැනට ලෝකයේ කෙරිච්චි විශාලතම සිවිල් ඉංජිනේරු ව්‍යාපෘති වලින් එකක්.

ලෝකේ ලොකුම water treatment plant එක
ඒ වගේම දුෂණය වෙච්චි චිකාගෝ ගඟේ වතුර පිරිපහදු කරන්න ජල පිරිපහදු මධ්‍යස්ථාන ටිකකුත් ඇති කළා. මිචිගන් විල් ඉවුරේ තියෙන Stickney Water Reclamation Plant එක තමයි දැනට ලෝකේ තියන විශාලතම ජල පිරිපහදු මධ්‍යස්ථානය. 

කාලේ ගත වීමත් එක්ක චිකාගෝ ගඟ චිකාගෝ නගරෙට එන සංචාරකයන් හිත ගන්න එක් අංගයක් උනා. ඒ වගේම ලෝකේ ඉන්න ධන කුවේරයෝ ගංගා ඉවුරේ නිවාස තනන්න්ත් පටන් ගත්තා. ඒ වගේම ලෝකේ ගෘහ නිර්මාණ ශිල්පයේ අපූරු නිර්මාණ වෙච්චි tribune tower එක වගේ ගොඩනැගිලි ගඟ දෙපැත්තේ ඉදි උනා.
නාඩි තුමා ගඟ දිගේ
චිකාගෝ නගරයට එන සංචාරකයන් අමතක කරන්නේ නැතිවම යන එක් අංගයක් තමයි ferry එකක නැගලා ගඟ දිගේ යන එක. බොහෝ වෙලාවට ferry එකේ ඉන්න මාර්ගෝපදේශකයෙක් යන ගමන් වටේ තියෙන ගොඩනැගිලි වල ඉතිහාස කතා, විශේෂත්වය එහෙම අපූරුවට පැහැදිලි කරලා දෙනවා. 

සම්පුර්ණ ගඟක් ඩයි දාල කොළ පාට කරනවා අහලා තියනවද! St. Patrick Day එක දවසට, බොහෝ වෙලාවට ඊට ආසන්තම සෙනසුරාදා දවසට චිකාගෝ ගඟ කොළ පාට ඩයි එකකින් පාට කරනවා.  මේ සඳහා පරිසර හිතකාමී එළවලු ඩයි එකක් පාවිච්චි කරනවා කියලා තමයි ආරංචිය .
කොළ පාට කරපු ගඟ - පින්තුරය - Wikipedia

ඔන්න ඔහොමයි චිකාගෝ ගඟේ කතාව. කවදා හරි චිකාගෝ පැත්තේ සවාරියක් ගියොත් චිකාගෝ ගඟේ බෝට්ටු සවාරියක් යන්න අමතක කරන්න එපා. ගිහිං ඇවිත් ගඟ අද්දර තියෙන restaurant එකකට ගොඩ වැදිලා නිවී හැනහිල්ලේ උණු කොපි කෝප්පයක් බිලා ආවත් නරක නෑ ;)

Friday, September 12, 2014

නාඩි ඇට් ඇමරිකා - 3

 ගැත්තා ට සමාව දෙන සේක්වා.. ඇමරිකන් සීරිස් එකේ තුන් වෙනි නාඩිය කොටන්න දිකක් කල් ගන්න සිද්ධ උනා. මේ ටිකේ ෆුල් ටයිම් ස්ටඩින්!! වැඩ වැඩ වැඩ!!!!

මුලින් නාඩි දෙකේම තිබ්බේ සියැටේල් ගැනයි වොෂින්ටන් කැම්පස් එක ගැනයි.. මේකේ කොටන්නේ චිකාගෝ සවාරිය ගැන. ස්ටඩි ටුවර් එකේ පාර්ට් එකක් විදිහටම සියටෙල් ඉදලා චිකාගෝ යන්න නාඩියාට සිද්ධ උනා. සියැටෙල් ගුවන් තොටුපොළේ ඉදලා පැය 4ක ගුවන් ගමනකින් පස්සේ චිකාගෝ වලට ගොඩ බැස්සා..

කම් ඕ ගෝ චිකාගෝ කියලත් කියනවනේ.. ඇත්තටම කිව්වොත් බැස්සේ ටිකක් විතර බයෙන්. මොකෝ අහලා කරලා තිබ්බේ එච්චර හොඳ ස්ටෝරි නෙවෙයිනේ! 

 කොහොමෙන් කොහොම හරි චිකාගෝ වලින් ගොඩ බැහැලා බෑග් ටික එහෙම පටෝගෙන හිල්ටන් හෝටලේට සැපත් උනා. හිල්ටන් කිව්වේ මේ අපේ ගෝල්ෆේස් එක ළඟ එක නෙවෙයි. එහෙත් එකක් තියනවා බොලව්.

චිකාගෝ අයිති වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ඉලිනොයිස් (Illinois State) ප්‍රාන්තයට. පංච මහා විල් වලින් මිචිගන් විල අයිනේ තමා මේ නගරේ පිහිටලා තියෙන්නේ. එක්සත් ජනපදයේ තුන්වෙනියට වැඩිම ජනගහනයක් ඉන්නේ මේ නගරයේ. වැඩියෙන්ම ඉන්නේ නිව්යෝක් වල දෙක ලොස් ඇන්ජලිස්. දැනට ලෝකේ පොලිස්කාරයා, ඔබාමා අයියාගේ අක් මුල් තියෙන්නේ චිකාගෝ වල තමයි. අප්‍රිකානු ඇමරිකානුවෝ නැත්නම් කළු ඇමරිකන් ඩයල් ලොකු ප්‍රතිශතයක් චිකාගෝ වල ඉන්නවා. 

මාධ්‍ය ගැන හොයන්න ගිය හින්දා මුලින්ම වැඩ කිඩ ටික ඉවර කරලා පොඩ්ඩක් ඇවිදලා බලන්න හිතුනා. සියැටෙල් වගේ නෙවෙයි චිකාගෝ ටිකක් රස්නෙයි. ටිකක් විතර ලංකාව වගේ. 

දැන් ඔය මානව හිමිකම් කේස් බේස් දැම්මට ඇමරිකාව කියන්නේ වහල් සේවය ගජරාමෙට කරගෙන ගිය රටක්. කළු හම තියෙන ඇමරිකානුවන් ඒ නිසා ගොඩක් දුක් වින්දා මාටින් ලූතර් කිං වගේ මනුස්සයන් නොහිටින්න ඒ සංහාරය තව ලොකු කාලයක් ඒ විදිහට තියෙන්නේ තිබ්බා. 

අපි මාධ්‍ය නිදහස ගැන උඩ දාගෙන කතා කරනවනේ. හැබැයි එක්දාස් අටසිය ගණන් වල ඇමරිකාවේ මාධ්‍ය නිදහස කොච්චර “හොඳද” කියනවනම් කළු ජාතියකයෙක්ට පුවත්පතක තමන්ගේ අදහසක් පල කරන්නවත් අවස්තාවක් තිබිලා නෑ. We the people magazineකියන්නේ ඒ කාලේ පටන් අරගෙන කළු ජාතික ඇමරිකන් හඬ ඉස්සරහට ගෙනියන්න හදපු පත්තරයක්. අදත් ඒ පත්තරේ තියනවා. හැබැයි දැන් දැන් තියෙන මුල්‍යමය ප්‍රශ්න වගේම trend එක නිසා ඒ අය online journalism පැත්තට නැඹුරු වෙලා ඉන්නේ. 
DuSable Museum of African American History

ඊළඟට ගියේ DuSable Museum of African American Historyඑකට. එතැන හරිම අපූරු තැනක්. අප්‍රිකානු ඇමරිකානුවන් ඇමරිකාවට ආවේ කොහොමද කියන එකේ ඉඳලා ඒ අය වහල් සේවයේ යොදවද්දී විඳපු දුක් වේදනා වගේ දේවල් ඔක්කොම මේ කෞතුකාගාරයේ පෙන්නලා තියනවා. 
එදා වහල් වෙළෙඳුන් යොදා ගත් විලංගු

ඒ වගේම ප්‍රසිද්ධ බොක්සින් ක්‍රීඩකයෙක් වෙච්චි ජෝන් ලුවිස් වගේ අමරණිය අප්‍රිකානු ඇමරිකන් අය ගැන විස්තරත් මෙතන තියනවා. චිකාගෝ නගරේ නගරාධිපති හැටියට කටයුතු කරපු හැරල්ඩ් වොෂින්ටන් මහත්තයා තාම මේක ඇතුලේ ඉන්නවා. ඇත්තටම නෙවෙයි! ඇත්ත වගේ හදපු ඩමියක්!


ඔය filed visit එහෙම අහවර කලාට පස්සේ පොඩි ඉස්පාසුවක් හම්බුනා පොඩි රස්තියාදු පාරක් ගහන්න. කෑම බිම වලට කොහොමත් රුසියා වෙච්චි මට චිකාගෝ වලට හොඳටම සෙට් උනේ මෙක්සිකන් කෑම. ඒ වගේම deep pan pizza වලටත් චිකාගෝ හරි ප්‍රසිද්ධයි.

මම දැකපු විදිහටනම් චිකාගෝ නගරේ බලන්න හොඳම විදිහ තමයි පයින් ඇවිදින එක. කිසි ප්‍රශ්නයක් නැතිව self-guided walking tour තියෙන පොඩි පොතක් හොයාගන්න පුළුවන් හොටෙල් එකෙන් හරි navy pier එක ළඟ tour center එකෙන් හරි. 

Navy pier & මෙරිගෝ රවුන්ඩ්
චිකාගෝ ගියොත් අනිවාර්යෙන්ම බලන්න යන්න ඕනේ තැනක් තමයි නේවි පියර් එක. මෙතන බලන්න තියන්න වැදගත්ම ඩේ තමයි මෙරිගෝ රවුන්ඩ් එකත් එක්ක තියෙන pier park එක. ලෝකේ මුලින්ම හදපු මෙරිගෝ රවුන්ඩ් එක තමයි චිකාගෝ වල තියෙන්නේ 1893 හදලා මේක හදලා තියෙන්නේ කොලොම්බස් ඇමරිකාව හොයා ගත්තු එක සිහි කරන්නලු. (හැබයි දැන් නම් තියෙන්නේ ඔරිම ජිනල් එක නෙවෙයි. ඒක තිබිච්චි තැනම ඒ වගේ හදපු වෙන එකක්.)

මේ මෙරිගෝ රවුන්ඩ් එකේ වටයක් කැරකෙන්න විනාඩි හතක් යනවා. මිචිගන් විලේ වගේම චිකාගෝ නගරයේ ලස්සන බලාගන්න මේකේ කරකුනාම පුළුවන්. මේ ළඟ තියනවා ලෝකේ තියෙන ලොකුම waste water treatment plant එක. චිකාගෝ ගඟේ වතුර පිරිපහදු කරන්නේ මේකෙන් තමයි.

Water Treatment Plant - Chicago
නාඩියාත් සෙට් එකත් එක්ක මේකේ වටයක් කැරකෙන්න අතමක කළේ නෑ. ලෝකේ පලවෙනි එකනේ බොලව්!  

රෑක වගේ ඔය හරියට යනවනම් හොඳයි. මොකෝ ලයිට් එහෙම දාල පංකාදු පහට තියනවා. බියර් ගාඩ්න් එකක් එහෙම තියනවා එතන ;)

උඩ වැඩියා
Millennium Park & “The Bean”
Cloud Gate
ඔය ගොඩක් ෆිල්ම් වල එහෙම තියන තැනක් තමයි මේක. මිලේනියම් පාක් එක හරි අපූරු තැනක්. චිකාගෝ නගරේ ගොඩක්ම ප්‍රසිද්ධ වගේම වැඩියෙන්ම ෆොටෝ අල්ලපු “බෝංචිය” තියෙන්නේ මේ පාක් එකේ. අනිෂ් කපූර් කියන බංග්ලාදේශ් ජාතික ගෘහ නිර්මාණ ශිල්පියා නිර්මාණය කරපු “Cloud Gate” කියන මේ නිර්මාණය ගාවට ගිහිං එක එක විදිහට ෆොටෝ අල්ලන්න චිකාගෝ එන කට්ටිය අතමක කරන්නේ නෑලු! ඉතිං මං තුමාත් ෆොටෝ කෑල්ලක් ඇල්ලුවා එතන ඉඳන්. හැබැයි ඉතිං මාත් එක්ක ගිය බංගලි කෙල්ලෝ ටිකෙන් එනකං අනිෂ් කපූර් ඇතුළු බංගලි ප්‍රසිද්ධ ඩයල් ගැන පතරංග ජාතකේ අහන්න උනා එනකං! :D

Jay Pritzker Pavilion and Great Lawn
Jay Pritzker Pavilion and Great Lawn කියන්නේ මේ පාක් එකේ තියෙන එළිමහන් රංග භුමිය. එක පාර 11,000 කට ෂෝ එකක් බලන්න පුළුවන්! පිස්සු බම්ප් වෙයි ඈ!

ඇමරිකාවේ මං ගිය ටුවර් වලින් ආසම එකක් තමයි මේක. ගත්තා මැප් එක ගියා. තනියම! තනියම කිව්වට තනියමත් නෙවෙයි ඈ! ;) 

චිකාගෝ ගියොත් මේ පැත්තට අනිවා ඔලුව දාන්න. ටුවර් එක පටන් ගන්නේ මිචිගන් පාලම ලඟින්. ඉවර වෙන්නේ මිචිගන් විල ලඟින්. සම්පූර්ණ දුර හැතැම්මකට ආසන්නයි. 

ගඟ දිගේ
මිචිගන් පාලම ලඟට ගිහාම ලෝක ප්‍රසිද්ධ චිකාගෝ ගඟ(මේ ගඟ ගැන පස්සේ දවසක අනිවා වෙනම නාඩියක් කොටන්නම්), එකේ යන බෝට්ටු ඔක්කොම ලස්සනට බලාගන්න පුළුවන්. මං තුමාත් ඔය ෆෙරියක නැගලා ගඟ දිගේ ගියා චිකාගෝ නගරේ අපූරු ගෘහ නිර්මාණ ශිල්පෙ ගැන ටිකක් හොයලා බලන්න. මොකෝ චිකාගෝ වල යුග ගොඩකට අයිති වෙන එක එක විදිහේ ගොඩනැගිලි ගොඩක් තියනවා. ඒ ටික බලන්න හොඳම විදිහ තමයි ගඟ දිහේ යන එක. මොකෝ යන ගමන් guide කෙනෙක් ෆුල් විස්තරේකුත් දෙනවා. 

නාඩියා ඇට් Tribune Tower
 ඔන්න තොරණේ ඊළඟ කෑල්ල. WrigleyBuilding එක. ඒ කියන්නේ ව්රිග්ලි චුයිංගම් කොම්පැනියේ ඔෆිස් එක තියෙන්නේ මෙතන. එතන ඉඳන් චුයිංගම් එකක් කකා ඉස්සරහ බලපුවහම පේන්නේ Tribune Tower එක. 1925 ලෝකේ ඉන්න ගෘහ නිර්මාණ ශිල්පියෝ සමුළුවකට එක්කාසු වෙලා ලෝකේ ලස්සනම බිල්ඩින් එක හදන්න ඕනේ කියලා තමයි මේක හදලා තියෙන්නේ. මේක පිට බිත්ති වල චීන මහා ප්‍රාකාරය, කොලොසියම් එක, ටජ් මහල් වගේ ලෝකේ ප්‍රසිද්ධ ස්ථාන වලින් ගෙනාපු කොටස් හයි කරලා තියනවා. කොහොම ගලෝගෙන ආවද දන්නේ නෑ ඉතිං!

මහන මැෂින් වලින් හදපු බිත්තියක්! ලෝක ප්‍රසිද්ධ ඇඳුම් කඩයක්
ඊළඟට තියෙන පාට් එකටනම් කාන්තා පරාණයක් එක්කං යන එක හරිම භයානකයි! අත්දැකීම් සහිතයි!මොකෝ ලෝකේ මිල අධිකම බඩු භාණ්ඩ තියෙන ෂොපින් මෝල් සෙට් එකක් මෙතන තියනවා. ඔය හොලිවුඩ් ඇත්තෝ එහෙම නිතර මේ පැත්තේ කරක් ගහනවා. Disney Store, American Girl’s Store වගේ ප්‍රසිද්ධ කඩ පිල් ගොඩක් මේ හරියේ තියනවා. පොකට් එක හිස් කරගන්න ඕනේ නම් මරු තැන! :D හැබැයි බලලා කියලා එන්නනම් නරකක් නෑ.
Disney Store - Chicago

The Museum of Contemporary Art, Chicago. විකල්ප කලාව ගැන උනන්දුවක් තියනවනම් අනිවා යන්න වටින තැනක්. යනකොට තියනවනම් student ID එකක් අරගෙන යන්න. ටිකට් වලින් ගානක් අඩු කරනවා. ආයේ එතන තියන ආට්ස් ගැන කියලා වැඩක් නෑ. බලන්නම වෙනවා. වෙලාවක් තිබ්බොත් ගත්තු ෆොටෝ ටික එකතු කරලා වීඩියෝ එකක් වත් හදන්නම්.

ඔය ටික බලා කියාගෙන තට්ටු 100ක් තියෙන ජෝන් හැන්කොක් බිල්ඩින් එකත් බලලා ඕනෙනම් එකේ 94වෙනි තට්ටුවට නැගලා චිකාගෝ වටේ බලලා බිච් එකට යන්න පුළුවන්!

මිචිගන් විල් තෙර
හෝව්!!! බිච් කිව්වට මේක මූද නෙවෙයි! මිචිගන් විලේ ඉවුර! හැබැයි පරක් තෙරක් පේන්නේ නෑ. පංච මහා විල්ම තමා! ලෝකේ තියෙන පිරිසිදු වතුර වලින් පහෙන් එකක්ම තියෙන්නේ එතැන කියනවනේ!
Chicago Water Tower

චිකාගෝ නයිට් ලයිෆ් එකත් අවුලක් නෑ.. ඕනේ තරම් විනෝද වෙන්න තැන්! හැබැයි ටිකක් පරිස්සමින්. මොකෝ කොයි වෙලේ මොකෙක් හරි අමාරුකාරයෙක් තුවක්කුවක් අරගෙන බහියිද දන්නේ නෑනේ! :D
කම් ඕ ගෝ චිකාගෝ කියන්නේ කට කහනවටද! මං තුමා නම් ඉතිං චිකාගෝ නගරෙට මනාපයි!

Related Posts Plugin for WordPress, Blogger...