නාඩි සෙට් එක

Showing posts with label ආදරය. Show all posts
Showing posts with label ආදරය. Show all posts

Tuesday, October 30, 2018

ආදර බෘංගයා


පාසල් ප්‍රේමේ හරිම අලංකෘත එකක්. මේකත් එහෙම කතාවක්. නම් ගම් ඔක්කොම කල්පිතයි. විස්තර ඔක්කොම කල්පිත නෑ.

මේක අට වසරේ විතර වෙච්චි දෙයක්.  දැන් තොපි කියයි කටේ කිරි සුවඳ යන්නත් කලින් තොපිට මදන කුලප්පුව ගහලා තිබිලා කියලා! ඔව්. අපි ඉස්සර ඉඳන් වනචර කොල්ලෝ!

අපේ පන්තියේ හිටපු කොල්ලෙක්ට කෙල්ලෙක් ගැන ආදර හැඟීමක් පහල උනා! අපි කෙල්ලට මල්රානි කියමු! කොල්ලට නිමල් කියමු. අවධාරණයෙන් කියන්නේ නිමල් කියන්නේ මං නෙවෙයි!

නිමල් මල්රානි ට පැලෙන්න ආදරේ කළා. අට වසරේ ඇටකිති කොල්ලෙක්ට හිතාගන්න බැරි තරමට මල්රානිගේ හැමදේටම නිමල් ආදරේ කළා. කොච්චරද කිව්වොත් මල්රානි පාවිච්චි කරන.. මල්රානි ලඟින් හරි ගියපු දේවල් හරිම පරිස්සමෙන් එකතු කරන්නත් නිමල් පුරුදු උනා.

මේ අපූරු එකතුවේ, මල්රානිගේ කොන්ඩේ බදින කළු රිබන් පටියක්, මල්රානිගේ ඔටෝ බුක් එකේ පුංචි යතුරක්, මල්රානි ලියලා ඉවර වෙච්චි පෑනක් වගේම මල්රානිගේ උප්පැන්න සහතිකේ පොටෝකොපියක් වගේ දේවලුත් නිමල් ළඟ තිබ්බා.

කොහොමෙන් කොහොම හරි එකොළහ වසරට එද්දී මල්රානිට වචනේ දාන්න නිමල් එඩිතර උනා. මල්රානි හා කිව්වද! නෑ මිතුරනි! මල්රානි බෑ කිව්වා. OL පාස් වෙලා මල්රානි වෙන ඉස්කෝලෙකට ගියා.

අපි අපේ රාජධානියේ තනි උනා. නිමල් අස්පයා මැරිච්චි සොල්දාදුවා වගේ මල්රානි යන එන තැන්, ක්ලාස් හොයන්න පටන් ගත්තා.

මල්රානි අපි ගියපු සමහර ක්ලාස් වලට ගියේ නෑ. ඒත් නිමල් ට සහයෝගයක් විදිහට ඒ ක්ලාස් මුර කරන්න යන්න අපි බොක්කෙන්ම සපෝට් එක දුන්නා. මල්රානිගේ එක හිනාවක්, කොන්ඩ කරලක් පිසගෙන එන හුලං රොදක් නිමල් මාසයක් නොකා නොබී ජිවත් කරන්න ඇති බව අපි දැනගෙන හිටියා.

ගණන් පන්තිය ඉවර වෙන්නේ පහයි තිහට, YMBA එකේ ක්ලාස් කරපු ඒ උත්තමයා සමහර දවස් වලට හය වෙනකනුත් ක්ලාස් ඇද්දා මතක ඇති. මල්රානි පහයි කාලට ක්ලාස් ඉවර වෙලා පහයි තිහේ බස් එකේ යන බව නිමල් දැනගෙන හිටියා. ඒ හින්දාම පහයි කාල වෙද්දී උගේ පුකේ කිරිපනුවෝ නලියන්න පටන් ගන්නවා.

“ ඒ යමන්කෝ!”
“කොහේ යන්නද බං. මේකා දැක්කොත් ඉවරයි. දන්නවනේ කට!”

සත්‍ය ප්‍රේමයට අග්න්‍යාසයෙන් උදව් කරන්න බැඳිලා හිටිය අපි සර් උත්තමයා SF එක්ක හදන කොනේ හොයන්න බෝඩ් එක දිහාට හැරෙද්දීම ජනේලෙන් පැන්නා.
සර් උත්තමයා දැක්කා!

“යකෝ! අර බලාපියව් අරුන්ගේ දිවිල්ල. මොකෝ රෑ උනාම පාරට අලි එනවද! කමක් නෑ පුතාලා ලබන සතියේ කාඩ් ගන්න ඕනේ නිසා ක්ලාස් එන්න!!”

ඒ උත්තමයා කියන දේවල් අහන්න නොහිටිය අපි නිමලත් එක්ක ස්ටෑන්ඩ් ඒකට දිව්වා. හරි අමාරුවෙන් අද්දන බස් එකට දුවලා ගොඩ උනා. මෙන්න නිමලා නගින්නේ නෑ!

“නැගපන් යකෝ! මල්රානි ඇතුලේ ඇති!”

“ඔව් බං. ඒකි ඇතුලේ ඇති. ඒත් මට අද ඒකිව බලන්න බෑ වගේ බං”

එහෙම හිතෙන එකත් සත්‍ය ප්‍රේමයේ ම කොටසක් වෙන්න ඇති කියලා නිමලට අම්මමෝ නැතිව බැනලා අපි පුට්බෝඩ් එකෙන් බිමට පැන්නා.

කාලය ගත උනා. නිමල් රට ගියා. මල්රානි කැම්පස් ගියා. ඊට පස්සේ බැන්දා. නිමල් නෙවෙයි. වෙන කෙනෙක්!

නිමල් ළඟ අර උප්පැන්න සහතිකේ තාම තියනවා ඇති.  

Tuesday, August 22, 2017

ප්‍රථම හාදුව

මේ ඒ හාදුව නෙවෙයි...

දස මාසයක් කුසයේ වද දිදී ඉඳලා නෙක් වේදනා දීලා මේ ලෝකේ එළිය දැක්ක මොහොතේ, ඒ වේදනා ඔක්කොම අමතක කරලා තෙත් වෙච්චි කම්මුලට සදාදරණිය අම්මා දුන්නු උණුහුම් හාදුව නෙවෙයි..

වෙන එකක්...

වැලි කෙළි... කෝම්පිට්ටු බත්... කොස්කොළ ඔටුනු කාලේ පහු කරන් සෙනෙහෙ කොළ.. චොකලට් යුගයට පය තිබ්බ කාලේ....හිත් ඇතුලේ හොල්මන් කරපු හාදුව..

ආදරේටම ලියාපදිංචි වෙච්චි... ආදරේම අයිතිවාසිකමක් වෙච්චි අපූරු මානවීය සන්නිවේදනයක්...

ටෙලි චිත්‍රපට වල බොඳ කරලා පෙන්නුවට, දෙන්න ලබාගන්න තිබිව්ච්චි අහිංසක හීනේ කවදාවත් බොඳ නොවිච්චි හාදුව

සරාගික සංඛේතයක් විදිහට හංවඩු ගැහෙද්දි විරාගික නොවිච්චි ලෝකෙක නුරා හැඟුම් පුබුදවපු හාදුව  

ඒ ඔක්කොම අතරේ අති විශේෂ උත්කර්ෂය....

"ප්‍රථම හාදුව"

අමතක කරන්න කොහෙත්ම බැරි, මතක් කරගන්න උවමනා නැති, ඇඟ කිලිපොලා යන මතක ගොන්නක්.

අඩ අඳුරු සිනමා හලක, සරසවියේ බංකුවක, බස් එකක මුල්ලක, සමහර විට මහ පාරේම... ඔව්... සෙනඟ සිය ගානක් එහා මෙහා යන මහ පාරේම... පවුරු වළලු සීමා බිඳ දමාගෙන දොරේ ගලපු හැඟීම් ගොන්න...

එහෙමත් නැත්නම්...

ලක්ෂ ගානක් වියදම් කරපු හරිම ලස්සන විවාහෝත්සවයක් අවසන... සීතල කරපු කාමරේක.. රතු මල් පෙති විසිරුණු සයනයක... විල්ලුද ඇතිරිල්ලක... ලැජ්ජාවෙන් මිරිකිච්චි හැඟීම් ගොන්න...

කවුරු කොහොම කෙසේ කිව්වත්...



ඒ හාදුවට අපි හැමදාම ආදරෙයි..

Wednesday, September 24, 2014

අබ්බගාත



කඳුළු ලුණු රහ බව මම දැන සිටියෙමි
නමුත් එය කට කාරවන අමි රහ බව නොදැන සිටියෙමි

සුසුම් බර වැඩි  බව මම දැන සිටියෙමි
නමුත් එය බරින් බිම හෙලන බව නොදැන සිටියෙමි

විරහව දුකක් බව මම දැන සිටියෙමි
නමුත් එය මරණිය බව නොදැන සිටියෙමි 

ආදරය අන්ධ බව දැන සිටියෙමි
නමුත් එය අඳ ගොළු බිහිරි බව???

Thursday, March 20, 2014

රාධා


“යුද්දේ ඉවර වෙලා අවුරුදු ගානක් ගියත් අපේ අයගේ හිත් ඇතුලේ යුද්ධේ තාම ඉවර වෙලා නෑ රාධා..” 

මොනරගල කෙළවරින් රතු පාටට ගිනියම් වෙච්චි ඉර බැහැලා යනවා. ආකාසේ පාවෙන වලාකුළු අමුතුම පාටක් අරගෙන සැර හුළං කොඩේට අහු වෙලා ආරාධනා ගල පැත්තට තල්ලු වෙනවා. හුළඟ නැවතිලා ඉගිල්ලිලා යන්න හදපු කොහොඹ ගහේ අලුතින් ලියලපු දළු සද්ද නැතිව පාතට වැක්කෙරෙනවා. තාමත් මෙහෙන්දි පාට ගිහිං නැති හීනි දිග ඇඟිලි වලින් මෙච්චර වෙලා හුළඟට දඟ කරපු කෙස් කැරැල්ල ආයේ උඩට කරන ගමන් රාධා මං දිහා බලනවා.

“ඒක මම දන්නවා.. ඒත්....”

“නෑ රාධා කවදාවත් අපේ අප්පච්චිලගේ අම්මලාගේ හිතන විදිහ වෙනස් කරන්න බෑ. එකම රතු ලේ අරවා මේවා කොච්චර බයිලා ගැහුවත් ඔයා ගැන කිව්වහම මං දිහා බලන්නේ නිකම් මිනියක් මරලා ගෙදර එනවා කියන්නා වගේ.”

රාධා.. ඔව්.. එයා දෙමළ... පුංචි කාලේ යාපනේ හැදිලා වැඩිලා තිබ්බට යුද්දේ පටන් ගන්නකොටම වගේ යාපනේ ගෙවල් දොරවල් අත ඇරලා කොළඹ ඇවිත්. අවුරුදු දෙකකට ඉස්සරලා කයිමන් දොරකඩින් ඇතුලට ඇවිත් “අමරේ” රෙජිස්ටර් වෙන්න ආපු දවසෙත් ඉනෙන් පහළටත් කඩා හැලෙන ගොතපු දිග කොන්ඩේ උඩට වෙන්න පොඩි පිච්ච මල් දෙකක් තුනක් ගහලා තිබ්බා මට මතකයි.

“ආ.. කෙල්ලට තේ දළු කඩන්න කියලා තෝ වත්තේ මහත්තයා වගේ රඟ පාපන් බලන්න”

සින්නෝ ටිකක් “හිල්ටන්” එක ලඟදි අල්ලගෙන පුංචි පහේ rag එකක් කරද්දී ලෙච්චමී උනේ “රාධා. එදා ඉඳන් උදේ හවස හම්බුනත් හිතේ කියාගන්න බැරි මොකක් හරි හිර වෙලා තියනවා කියලා දෙන්නටම තේරිලා තිබ්බා. 

“උඹ සෝෂල් එක පැත්තේ රවුම් ගහනවා වැඩියි.....”

 මෙලෝ හසරක් තේරෙන්නේ නැති සුගතයාගේ ලෙක්චර් එක කට් කරලා සෙනට් එකේ පඩි පෙළ යටට වෙලා සිය ගානක් වෙච්චි සෝෂල් කෙල්ලෝ මැද්දෙන් මතු වෙන ඒ දොඹ ගෙඩි වගේ ඇස් දෙක බලාගන්න වලි කාපු මාව අපේ උන්ට නෝට් වෙලා තිබ්බා.   

“අම්මලා අප්පච්චිලා හිත රිදෙන දෙයක්නම් නොකරන එක හොඳයි... ඒත්.....” 

“පච බංකුවේ” එහා පැත්තේ ඉඳගෙන රාධා ඇස් දෙක තවත් ලොකු කරගෙන මං දිහා බලාගෙන ඉන්නවා. කවදත් හෙවණේට තිබිච්ච පච ගහ මැද්දෑවෙන් හීනියට එන රතු පාට ඉර අව්වට ඒ ඇස් දිලිසෙනවා. කඳුළු....

“මෙයා දැන් කවි පොත් කියනවා වැඩියි!”

“ඇයි අපිට කවි අකැප ද?”

“නෑ ඕවා කියවලා ඔය කෝඩ් බෝඩ් ඔක්කොම අමතක වෙලා යයි!”

ලයිබ්‍රිය ඉස්සරහ තෙල් බැම්මට වෙලා අපි වාද කළා. ෂ්‍යාම් සෙල්වදුරෙයි අමුතු ඉලන්දාරියෙක් උනේ ඇයි කියලා අපි පැය ගණන් කතා කළා. මෙච්චර තාක්ෂනේ දියුණුයි කියලා කෑ ගහන ලෝකේ ප්ලේන් එකක් නැති උනොත් හොයා ගන්න සති ගානක් යන එකේ මගේ කන්නාඩි දෙක හොයාගන්න මට පැය ගානක් යන එක පුදුමයක් නෙවෙයි කියලා රාධා මට විහිළු කළා.  

ඒ දවස ආවා. කළු පාට ලෝගුව පොරෝගෙන එයා යන්න ගියා. තවත් අවුරුද්දක් ලුණු නැති බත් එකේ රහ බල බල හිටපු මම ඇස් ලොකු කරලා හීනියට හිනා වෙන රාධා අමතක කරන්න වලි කෑවා.

අවුරුද්දක් ගිහිං. අලුතින් කාපට් දාපු කැම්පස් එකේ ඇතුලේ පාරවල් පිරෙන්න කිචි බිචි ගැන සෙනඟ පිරිලා. රතු පාට ලෝගු දාපු කට්ටිය පිටිපස්සෙන් අපිත් ඇතුලට ගියා. උපාධි බම්බුව අතට අරගෙන එලියට බහිද්දී මං ගල් ගැහුනා!

 Congratulations….ආ.. අපේ cousin නංගි කෙනෙක් medical එකේ හිටියා. එයත් අද cloak දානවා. ඒ නිසා ආවා. Sorry... අදුන්නලා දෙන්නත් අමතක උනා. මේ රාජ්.... My husband. We married last December.”




ඔව්.. ඒ රාධා!


පසුසටහන : අකුරු ඇමුණුමේ සමහර වදන් රජරට සරසවි උප සංස්කෘතියෙන් පෙරී ආ ඒවාය. රාධා මනකල්පිත චරිතයක් නොවුනත් මේ මගේ කතාව නොවේ. Off road යාමට බිය වූ කතා කාරයා මෙන්ම රාධා seat belt තද කරගත් යෞවනයේ තවත් එක් කැඩපතක් පමණි. 
  

Monday, May 13, 2013

ආදර මලකෙලි

පහුගිය දොහේ අහපු දැකපු ඒවා දැකලා ඇඟේ මයිල් කෙලින් උනා ආයිබෝවන්ඩ! පිස්සු බම්ප් උනා! ලස්සනට තියෙන්න තිබිච්ච සරසවි ආදරයක් හුටස් පටස් වෙලා මෙඩිකල් ෆැකල්ටියේ හිටපු පිරිමි ළමයා එයා පණ වගේ ආදරය කරපු ගෑනු ළමයටත් වස දීලා ඒ මනුස්සයත් මැරිලා! සත් කෝරළය පැත්තේ පිරිමි ළමයා හදවත ඉල්ලන ආදරය ලැබුනේ නෑ කියලා ඒ කෙලිට පිහියකින් කොටලා මරා දාල ඒ කොල්ලත් සිය දිවි නැහැ ගන්න ගිහින්! හැබැයි කොල්ලා මැරිලා නෑ! ඒ අලකලංචිය වෙච්ච දිසාවට නාඩියාත් ගෑටුවා! මොකෝ අපේ ගම්පළාතේ සිද්ධියක්නේ! අනේ කාලේ වනේ වාසේ...

ආදරේ ආදරේ කියලා අපේ එව්වෝ කෑ කොස්සන් ගැහුවට උදේ ඉඳන් රෑ වෙනකම් ආදර ගීත..ආදර ෆිල්ම් බැලුවට අපේ අය ඒ සින්තටික් ලෝක වල හිර වෙලාමද මන්දා...

පලවෙනි සිද්ධියට සම්බන්ධ වෙන්නේ රටේ උගත් යැයි සම්මත සරසවි පෙම්වතුන් දෙන්නෙක්... දෙවැනි සිද්ධියේ ගැහැණු දරුවා උපාධිදාරිනියක්! බලාගෙන ගිහාම ආදරේ ඉස්සරහ ඔක්කොම මෝඩ වෙලා!

ආදරේ කියන උත්තරීතර සංකල්පය විස්තර කරන්න තාම භාෂාව දියුණු වෙලා මදි. එච්චර උත්තරීතර වෙච්ච දේක නාමයෙන් මෙච්චර මෝඩකම් වෙන්නේ ඇයි?

කතා කරන්න දැන් කාලේ හරි!

අපේ රටට කාලෙන් කාලෙට එක එක රැලි එනවා.අපේ අයත් හරිම සතුටින් ඒ රැලි එක්කම පාවෙලා යනවා..සමහරු ආපහු එනවා.. තවත් සමහරු එලෝ මෙලෝ හොයා ගන්න බැරිව ඒ රැලි එක්කම අතරමං වෙනවා... කාලයක් හින්දි චිත්‍රපට රැල්ලක් තිබ්බා.. ගෙවල් වැල ඉන්න අම්මලා තමන්ගේ දරුවන්ට කඩයප්පන් කවලා දවල් වරුවේ ගිය හින්දි පික්චර් බැලුවා... ඒ පික්චර් වල විදිහට මල් ගස් වටේ නට නට ආදරේ හොයන්න පටන් ගත්තා..

මෙගා රැල්ල ආවා... පවුල් කැඩෙන පවුල් හදන අලුත් රටාවක් අපේ අය ඒකෙන් හොයා ගත්තා. රෑ 8 ඉඳන් 10 වෙනකම් තමන්ගේ ගෙදර එකා උන්නද මලාද කියලා හොයලා බලන්නේ නැතිව රූප පෙට්ටිය දිහා ඔටෝගෙන බලං හිටියා!

ඒ අපේ අය! දැන් ගජරාමෙට ආදරේ කියලා ජීවිතෙත් බිල්ලට දෙනවා..

ඇත්ත..තරුණ කාලේ මේ අකුරු හතර කොලේ නැත්නම් වැඩක් නෑ.. හැබැයි ඉතිං ඒ තාවකාලික සැපයක් හොයාගෙන වෙනවනම් ඒක අන්තිම කැතයි! අනිත් එක කවුරු කොහම කිව්වත් ආදරේට සිමා මායිම් වැට කදුළු මොකවත් නෑ කියලා ඔය කවුරු කවුරුත් off road යන්න බයයි! 

හින්දි චිත්තර පට වල කොල්ලා පෝසත් කෙල්ල දුප්පත් නැත්නම් මේකේ අනිත් පැත්ත උනත් දෙන්නා කිරි පැණි කනවා.. අපෙත් කනවා.. හැබැයි ගොඩක් වෙලාවට අන්තිමේ කඳුළු බොනවා! ගඟේ මූදේ ගැඹුර හොයන්න යන්නේ ඒ වෙලාවට!

සුදට පාටට හිටියහම.. හයි ෆයි ෆෝන් වාහන පාවිච්චි කලාම.. ඔක්කොම හිතන්නේ දැන් හරි මෙයා තමයි බඹා කෙටූ එක්කෙනා කියලා..හැබැයි බැඳලා සතියෙන් දෙකෙන් මෙන්න දික්කසාදයි ලු! අදහස් ගැලපෙන්නේ නෑලු! ඇයි යකුනේ ඉතිං අර බීච් ගානෙයි ෆිල්ම් හෝල් ගානෙයි ගිහින් දවස් ගණන් මුණු මුණු ගාලවත් අදහස් මොනවාද කියලා හොයා ගන්න බැරි උනාද??

දෑවැද්දට වහල් වෙලා මාමණ්ඩිගේ බිස්නස් දිහා ඇහැ දාගෙන ආදරේ පාට හොයනවනම් ඉතිං කියන්න තියෙන්නේ ආදරේ කළු පාටයි කියලා! මොකෝ ඒකෙ මෙලෝ දෙයක් නෑනේ!

මංතුමා නම් කියන්නේ අපේ අය මේ ආදරේ කියන අලකලංචිය ගැන තීන්දු තීරණ ගද්දීවත් ටිකක් හිතලා මතලා තීරණ ගන්නවනම් ගොඩාක් ප්‍රශ්න විසඳෙයි... මොකෝ ජිවිතේට undo බට්න් එකක් නෑනේ!

Related Posts Plugin for WordPress, Blogger...