නාඩි සෙට් එක

Thursday, September 30, 2021

මං සුවඳට කෑදර මිනිහෙක්


පෘථග්ජන මිනිස්සු වෙච්චි අපි හැම මොහොතේම මොකක් හරි දේකට ආසා කරනවා.. මොකක් හරි හැඟීමකට ආදරය කරනවා. ඒ ආසාව සන්තෝසදායක දෙයක් නම් ඒ විඳීම ආයේ සැරයක් විඳින්න උත්සාහ කරනවා.. ඒ අපේ හැටි. ඒ විඳීම් එක්ක මිහිරි අමිහිරි මතක සමුදායක් බැඳිලා තියෙනවා.

මං සුවඳට කෑදර මිනිහෙක්!
මගේ ලෝකේ මතක ගොඩාරියක් බැඳිලා තියෙන්නේ සුවඳ එක්ක. සමහර සුවඳ හරියට පැහැදිලි කරන්නත් අමාරුයි. ඒ ඇත්තටම තියෙන සුවඳක්ද නැත්නං අපි හිතින් මවා ගත්තු දෙයක්ද කියලා හිතෙන තරම් මායාකාරියි. හදිස්සියේ අහම්බයකින් දැනෙන සුවඳකට පුළුවන් අවුරුදු ගානක් අතීතයට එක පාර මාව ගෙනියන්න.
පොඩිම කාලේ මං හැදුනේ ආච්චි අම්මලාගේ ගෙදර. සුදු පාට වැලි අතුරාපු දිග පාරක කෙලවරේ තිබිච්චි මහගෙදර දර ලිපේ ඉඳුනු බතේ සුවඳ හරිම අපූරුයි. කාලයක් පාවිච්චි කරලා කළු පාට වෙච්චි මැටි හට්ටියේ ඉ‌ඳුනු කෑම සුවඳත් එක්ක දර පිච්චෙනකොට අඟුරු වලින් එන සුවඳත් එක්කහු වෙලා කොහේවත් හොයාගන්න බැරි සුවඳක් හැදුනා.
පන්නල අපේ ගෙවල් ළඟම තමයි කුමුදු මම්මලාගේ ගෙදර තිබ්බේ. ඇච්චා කාලේ වැඩි කාලයක් ගත උනේ එහේ. වේලපු මල් වලින්, කොළවලින් ලස්සන ලස්සන නිර්මාණ කරලා රට ඇරපු එහේ තියෙන්නේ අමුතුම සුවඳක්. ජයන්ත මාමා හැමදාම හවසට පත්තු කරන හඳුන්කූරු සුවඳට මල් කොළ වේලෙද්දි එන නැවුම් සුවඳත් එව්වා අලවන්න ගෙනාපු ගම් මැලියම්වල සුවඳත් එකතු වෙලා හරිම උනුසුම් ආදරණීය සුවඳක් එතැන තිබ්බා.
ටිකක් කරදඩු උස් මහත් වෙලා ඉස්කෝලේ යන්න පටන් ගත්තහම අලුත් අලුත් සුවඳවල් අපේ ලෝකේට එන්න පටන් ගත්තා. කාටත් හොරෙන් ඉස්කෝලේ අරං යන ලේන්සුවට සැන්ට් චුට්ටක් දාගෙන යන්නත් අපි පුරුදු වෙලා හිටියා. ඒ කොච්චර තිබ්බත් මට ඉස්කෝලේ කාලෙත් එක්ක එකටම මතක් වෙන්නේ ඉස්සර ඉස්කෝලේ ඇරිලා ගෙදර එද්දී අතරමඟ තිබිච්චි පොල්තෙල් මෝලේ අලුත හින්දපු පුන්නක්කු සුවඳ. ඒ සුවඳත් එක්ක ගෙදර එන්නේ යකෙක් කන බඩගින්නෙන්.
ජීවිතේ ගත උනු අපූරුම කාලයකෙට එක පාර අරං යන්න පුළුවන් සු‌වඳක් මට තියේ. ඒ සපත්තු පොලිෂ්, බ්රාසෝ, කාඩිනල් එකට එකතු වෙලා එන ‘රන්ටැඹේ’ සුවඳ. ටිකක් විතර වෙනස් නේද.. ඔව්.. අවුරුදු පහක් ශිෂ්යබට කඳවුරු ගත උනු මට ඒ සුවඳනම් අමතක කරන්නම බැරි වෙයි. අදටත් සපත්තු දෙක පොලිෂ් කරන්න පොලිෂ් ටින් එක අරිද්දි එන සුවඳ එක පාරටම මාව හැතැම්ම දාස් ගානක් එහා මහවැලි ග‌ඟ අයිනේ ගෝනාකන්ද පාමුල බිලට් එකක් ඉස්සරහට අරගෙන යනවා.
ඉස්කෝලේ කාලේ ටිකක් රෑ වෙලා ගෙදරට යද්දී ඉස්සර පාර අයිනේ තිබ්බ රුපියල් දෙකේ වඩේ කඩ මතකද.. ඒත් එක්ක තිබ්බ භූමිතෙල් ලිපේ කඩල හට්ටිය..අර කූනිස්සෝ දාලා සූස් සූස් ගාන තරම් සැරට දෙන්නේ. ඒ කඩල තෙම්පරාදුවේ සු‌වඳ මතක් වෙන වාරයක් ගානේ කටට කෙලත් එනවා. හරිම උනුසුම් සුවඳ මතකයක්.
හැමෝම වගේ ආසයිනේ අළුත් වැස්සේ සුවඳට.. රජරටට එන වැස්සේ සුවඳ වෙනස්. ගොඩාක් කාලයක් අව්වෙන් පිච්චිච්ච පොළොවට දොඹ ගෙඩි තරම් වැහි වැටෙද්දී පොළොවෙන් එන්නේ වෙනස්ම සුවඳක්. ඒත් එක්ක අපේ හොස්ටල් එක වෙච්චි දුට්ටේ සුවඳත් එකතු උනාම ‘රජරට සුවඳ’ ඉපදෙනවා. රජරට සුවඳත් එක්ක බැදිච්චි එකී නොකී කතා ගොඩක් සුවඳ කෝච්චියේ එකතු වෙලා මගේ නහයෙන් ඔළුව ඇතුලේ දුවනවා.
“කොළඹ හරි නපුරුයි අම්මේ” කියලා උදාර කිව්වට කොළඹටත් අනන්ය වෙච්චි සුවඳක් තියෙනවා. කොළඹ තියෙන්නේ අංක පහළොවක් උනාට තියෙන සුවඳ ගාන ඊට බොහොම වැඩියි.
අලුත් පොත් සුවඳයි. හැමෝම වගේ මමත් ඒ සුවඳට පෙරේතයි. ඊටත් වඩා සුවදයි එහෙන් මෙහෙන් එකතු කරපු පොත් ගොඩවල් පුරවපු කාමරේක කාඩ්බෝඩ් එකක් උඩ නිදා ගද්දි එන පොත් සුවඳ. ඒත් එක්ක කාලයක් මාසෙකට සැරයක්වත් දුර පළාතක ඉස්කෝලෙක පුටු බංකු පේන්ට් කරන්න අරං යන තීන්ත ලැකර් සුවඳත් ඒකට එකතු වෙලා තිබ්බා.
ගාලු පාරේ ගල්කිස්ස එහෙම පහු කරලා රත්මලාන හරියට එද්දී එන මැලිබන් එකේ සුවඳ මතකද? ජිවිතේ තවත් අපූරු කාලයක් ගත උනේ එහෙ. මැලිබන් එකෙං එන බිස්කට් සුවදට බෝඩිමේ හෝදපු නැති ඇඳුම්, පරණ වෙච්චි කෑම ඔක්කොම එකතු වෙලා බෝඩිං සුවඳ හැදුනා.
බත්තරමුල්ලේ දියත උයනේ එහෙම තියෙන්නේ ඊට වෙනස් සුවඳක්. ඒක ටිකක් නිස්කලංකයි.. සමහර වෙලාවට ආදරණීයයි.. සමහර වෙලාවට හරිම ගුප්තයි. දියවන්නාවෙන් එන කෝඩ හුළඟත් එක්ක වැඩ කරන මිනිස්සුන්ගේ දහඩිය, ඩීසල් දුම එක්ක එකතු වෙච්චි හරිම බර සුවදක්.
මුහුදේ තියෙනේ වෙනස්ම සුවඳක්. හැබැයි ගෝල්ෆේස් එකේ තියෙනේ ඒ සුවඳ නෙවෙයි. බර වෙච්චි සුසුම්.. හිනා හඩ… ඉස්සෝ වඩේ.. ඔය ඔක්කෝම එකතු වෙලා ආදරණීය කෙලිලෝල සුවඳක් තමයි මට ‘ගෝල්ෆේස් සුවඳ’
ලෝකේ එක එක තැන් වලින් කෑදරෙන් එකතු කරගත්තු සුවඳවල් එහෙමත් නැතිවාම නෙවෙයි. සියැටෙල් වල මේපල් ගස් වලින් වැහිච්චි පාරවල් වල ඔක්තොම්බර් මාසේ තියෙන බර වෙච්චි සුවඳ වගේ එව්වා හරිම උනුසුම්. හැමදාම උනත් විඳින්න කෑදර හිතෙන තරම්…
අදටත් හදිස්සියේ නාස් කුහර අස්සෙන් ඔය එකී මෙකී නොකී සුවඳවල් හිමිහිට රිංගනවා. මටත් නොදැනීම මාව ඒ සුවඳට අරගෙන යනවා.
මං සුවඳට කෑදර මිනිහෙක්!

17 comments:

  1. අඩේ... නාඩිය දැක්ක කල්. පට්ට ඈ. දිගටම ලියමු ඉතිං දැන්.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී! එල එල ඈ.. ඉස්පාසුවක් ලැබෙන විදිහට ලියමු.

      Delete
  2. ++++++++++

    ආයෙ එන්නම්. දැකීමත් සතුටක්.

    ReplyDelete
    Replies
    1. නියමයි. Perfume: The Story of a Murderer ෆිල්ම් එක මතක් වුනා.

      The Smell Of Rain On Earth කියන්නෙ ඉන්දියාවෙ විතරක් පාරම්පරික විදිහට හදන සෙන්ට් එකක්. ඔරිජිනල් එක ගණන් වගේම හොයාගන්න අමාරුයි. හොර එව්වා එලෝ කෝටියයි.

      https://www.youtube.com/watch?v=CkM0QI3c3Yk

      Delete
    2. මටත් ලියාගෙන යද්දි ඕක මතක් උනා :D

      Delete
  3. නාඩි මහත්තැං දැක්ක කල්.
    මට පේන්නෙ පරණ බ්ලොග් ඔක්කම ආපහු රන් වෙන්න වගේ යන්නෙ. 😃😃
    කැහැ කැහැ ස්ටාට් වෙන ඇන්ජින් තාම. හුඟ කාලෙකින් දුවල නැති නිසා වෙන්ඩැ.

    ලියමු ලියමු.. 😃😃😃😃

    එක එක සුවඳ ජාති තියේ.. කියන්න බැරි විතරක් නෙවී අපිට විතරක් දැනෙන සුවඳවල්. නැද්ද මං අහන්නෙ

    ReplyDelete
    Replies
    1. දැන් කට්ටිය බුකියෙන් එළියට එන ගමං මං හිතන්නේ.. පරණ රන් එක ආයෙ පටන් ගත්තොත් නම් පංකාදු පහයි.

      Delete
  4. සුවඳ දැනී දැනී දැනෙනවා....

    ReplyDelete
  5. අම්මට සිරි! ඇත්ත නේන්නම්! අපි හැමෝම එක් එක් කාලෙක ආසා කල හිතේ පැල පදියම් උනු සුවඳක් තියෙනවා නේන්නම්! නත්තල් කාලෙට ලොකු බෙන්තොට ලොකු අව්වලාගේ ගෙදර ගියාම නත්තල් ගහෙන් වහනය වන සයිප්‍රස් (කැශුවරිනා) ගස් සුවඳ! මට අදටත් නත්තල කිව්වාම මතකයට මුලින්ම එන්නේ ඒ සුවඳ නේන්නං!
    මෝටර් සයිකලේ සීට් එකේ ඉඳගෙන තෙල් ටැංකිය ඇරලා දෙපැත්තට හොල්ල හොල්ල ටැංකිය හිස් ද කියලා බලන කොට එන පැට් රෝල් සුවඳ?
    අවුරුදු කාලෙට ගෙදර කුස්සිය පැත්තෙන් එන සූදුරු බදින සුවඳ , කැවුන් සුවඳ එතැනින් ගියාම පැනි උනු කරණ සුවඳ?
    බස් වල එල්ලිලා දත කාගෙන ගෙදර ආවාම තමං ගාවෙන්ම එන විණාකිරි මිශ්‍ර ජීවන සුවඳ!
    මතකද හැත්තෑවෙ කාලෙ සමූප කාරෙන් දෙන රෙදි වල තිබුනු ලාම්පුතෙල් සුවඳ?
    රැකියා ස්ථාන වල තිබ්බ ඒ ඒ තැන් වලට ආවේනික වූ සුවඳවල්!
    ඉස්සර අවිස්සාවේල්ලේ ටවුමෙ තානායමට පහලින් තිබුනා චන්ද්‍රා මල් ශාලාව කියලා අවමංගල සේවාවක්! මට මතකයි ඒකෙ තිබුනා පත බෝඩ් එකක්! "මි නී පෙ ට් ටි" කියලා. ඔය අවිස්සාවේල්ල තිබුනේ කොළඹ දිස්තිරික්කයේ උනාට ඔය කාලේ ඔය කටයුතු කෙරුණේ ඉතාමත් ප්‍රාථමික විදියට! දවල්ට මිනී පෙට්ටි වල පොලිෂ් ගාලා ඒවා එළියේ බිත්තියට හේත්තු කරලා තියෙනවා අව්වේ වේලෙන්න! එතැනින් යන කොට එනවා දුම්මල මිශ්‍ර පොලිෂ් සුවඳක්! අදටත් මළ ගෙදරකට ගොඩවූ සැනින් ඒ සුවඳ පැරණි මතකය සමග සමපාත වෙනවා!
    ඔය කාලේ අවිස්සාවේල්ලේ තොග කඩයක් කේ ඇන් ජී කියලා. නාඩියා කිව්වා වගේම ඒකඩේ ඇතුලට ගියාම එනවා තොග බඩු සුවඳ! තීන්ත කලවම් කරණ කොට ගන්න ප්‍රධාන වර්ණයනේ බේස් කලර් එක කියන්නේ! ආන්න ඒ වගේ තොග බඩු සුවඳට බේස් වෙලා තිබ්බේ පුන්නක්කු වලින් එන සුවඳ! කඩේ හිටපු දෙමල්කොල්ලන් (මේක ආදරණීය ආමන්ත්‍රණය බව විශ්වාස කරණ්න!) බඩු කිරණ තෙක් බඩු ගන්න ආපු අය අතරෙ ඉන්න එකෙක් දෙන්නෙක්; කට මට්ටං වෙන්න පුරවලා තිබ්බ පුන්නක්කු ගෝනියෙන් පුන්නක්කු කෑල්ලක් අරං කටේ දාගත්තේ නිකං ගල් අරක්කු වඩිය කටේ හලා ගෙන කඩල ඇටයක් හපනවා වගේ නොසිතාම ඉබේම! ඇත්තටම මේ සියල්ල හිතට වැදුන්නු සුවඳවල්! ලියනවා නම් මොනතරන් ජීවිතය අරක් ගත්තු සුවඳවල් තියෙනවාද හිතේ ගතේ මෙන්ම ඇඟිළිවල පවා තැවරුණු!?

    ReplyDelete
  6. හැමදාම වගේ ලියන්න හිතාන ඔතාගෙනම ආපු එක දිග අරින්නේ නැතුව තව පොඩ්ඩෙන් ගෙදර ගේන වා! මොකක්ද දන්නවාද! "අපිත් සුවඳට කෑදර මිනිස්සුම තමයි හරියට ඇද නැතිව ලියා ගන්න බැරි උනාට (යාන්තමින් කිව්වාට!)!

    ReplyDelete
    Replies
    1. සිරාවට.. ඔය පැට්‍රෝල් සුවඳත් හරි අපූරු සුවඳත්.. ඉස්සර හරියට තිබ්බ 2 stroke එන්ජිං වල ටූටී මික්ස් වෙච්චිචි එව්වගේ තිබ්බේ වෙනමම සුවඳක්.

      හැමෝම බලාගෙන ගිහාම සුවඳට කෑදර මිනිස්සු.

      Delete
  7. මාත් ගොඩ උනා සින්දියකින් දැකල. නාඩිය කිව්වා වගේ ජීවිතේ එක එක සුවදවල් දැනෙනව. වෙලාවකට හිතෙනව ඒ අපේ නාස් කුහරයටද නැත්තම් පපුකවුත්තුවටද කියල. ජීවිතෙත් ඒ වගේ හරි සුවඳයි. හිතේ කහටක් නැත්තම්. මතක සුන්දරයි කොහොමත් හැමකල්!

    ReplyDelete
  8. සුදීක මලයා බ්ලොග් එකක් අටවලා දුන්නා. දැන් ලියනවා. මලයාව ෆලෝ කළා. මං අතුල සමරසේකර.

    ReplyDelete
  9. මරු.පන්නල හංදියේ අමතක නොවන සුවඳ ක් තිබ්බ ඒ කාලේ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...