නාඩි සෙට් එක

Thursday, June 25, 2026

තේ කතා


 හැමතැනම කෝපි කඩ ගැන, හරිම බරසාර coffee culture එක ගැන කතා කරනවා.

කළබල සතියකට පස්සේ චුරු චුරු වැස්සක් වැටෙන හැන්දෑවක ලබුකැලේ තේ කුඩු වලින් රස වැටුනු ඉඟුරු ප්ලේන්ටියක් අතේ තියාගෙන මං මෙහෙම කල්පනා කරනවා..
කෝපි කතා වගේ “තේ කතා” නැද්ද?
ඔහොම හිතාගෙන යද්දී මට මතක් වෙනවා එංගලන්ත සංස්කෘතියත් එක්ක එකතු වෙච්චි “afternoon tea” එක. පොඩි පොඩි සැන්ඩ්විච් වගේම රහක් කියන්න බැරි ස්කෝන් බෝලයි ජෑමුයි ඒකට එකතු වෙලා තියෙනවා. ඉවෝයි මායි ඉර අව්ව හොඳට තියෙන දාක යන්න ආස සිඩ්නි සිටියේ රොක්ස් වල පුංචි තේ කඩේ ඔයි වගේ එකක්.
චීනේ, ජපානේ වගේ පෙරදිගකරේ රටවල කළු තේ වගේම ඕසෙට ග්රීන් ටී පාවිච්චි වෙනවා. හරිම ලස්සන පොඩි පෝසිලේන් කෝප්ප වල සීරුවට පිළිගන්වන තේ කෝප්ප එක්ක හරිම නිස්කලංක අධ්යාත්මීය බැඳීමක් තියෙනවා. මෑතකදී ඉඳන් ටිකක් වැඩියෙන් ප්රසිද්ධ වෙච්චි මාචා තේ සෙන් බුද්ධාගමත් එක්ක හරි ළඟ සම්බන්ධයක් තියෙනවා කියලා මම කියෝලා තියෙනවා. මාචා tea කියන්නේ කියන්නේ කොළ කැඳ බොනවා වගේ කියලා ඉවෝ කියද්දී මට හිනහත් යනවා.
පෙරදිගෙන් කැරකිලා භාරතේ පැත්තට එද්දී චායි කියන්නේ ආගමක් වෙනවා. මසාලා යහමින් දාපු, එළකිරි වලින් උකු වෙච්චි චායිවාලා ඉන්දියානු සංස්කෘතියේ හරිම වැදගත් දෙයක් වෙලා තියෙනවා. හවසට මිනිස්සු එකතු වෙලා චායි එකක් ගහන ගමං ඕපාදූප කතා කරනවා. ඔය පැත්තෙන් පර්සියාවට ළං උනොත් හරිම උනුසුම් තුර්කි තේ අපිට හම්බෙනවා. ඕනෙම තුර්කි කඩේකට ගියොත් නොමිලේ තේ එකක් හම්බෙනවා!
ලංකාවේ අපිට තේ කියන්නේ හුස්ම ගන්නවා වගේ අමතක කරන්න බැරි දෙයක් කියලා මට හිතෙනවා. උදේ නැඟිටලා තේ එකකින් දවස පටන් අරගෙන, “තේ එකක් බොමුද” කියලා ඇදිලා යන සංවාද විසංවාද අතරේ නිදාගන්න කලිනුත් තේ එකක් බොන්න මනාප ලාංකිකයෝ අතරේ මමත් ඉන්නවා.
පොඩි කාලේ තේ වලට ලොකු කැමැත්තක් හරි අකමැත්තක් හරි තිබ්බා කියලා මට මතකෙට එන්නේ නෑ. හැබැයි A/L කාලේ ඉස්කෝලේ කැන්ටිමෙන් තෝසේ කාලා තේ එකක් බොන්න පටන් ගත්තු ඇබ්බැහිය කැම්පස් එකේදී ඔඩු දුවනවා. අපේ කාලේ ෆැකල්ටි කැන්ටිමේ ප්ලේන්ටියක් රුපියල් පහයි! තහඩු කෝප්පෙක රස්නෙට පොඩි වැනිලා රහකුත් එක්ක තියෙන ඔය ප්ලේන්ටි ගැලුම් ගානක් ඒ කාලේ මතක එක්ක හිස් කරන්න ඇති. සමහර දවස් වලට සීනි වැඩියෙන් දාපු “නූල් ප්ලේන්ටියක්” ඕනි වෙනවා.
රස්සාවට කොළඹට සේන්දු උනාම මොන මොන කඩ තිබ්බත් ඔපිස් අස්සේ තියෙන පොඩි පෙට්ටි කඩේක ප්ලේන්ටිය බොන්න අපි එකතු වෙනවා. එතැන තමයි මැනේජර්ලාගේ ඉඳන් හැම එකාගෙම පළු අරින්නේ! හවසට පොඩි සෙට් වීමක් උනත් ඉවර කරන්න ප්ලේන්ටියකුත් ඕනි වෙනවා. මහ පාන්දරට පිලවුස් එක ළඟ පේමන්ට් එකේ ප්ලේන්ටි ගහපු කාල එතකොට මතක් වෙනවා.
ලෝකේ කොහේ ගියත් ගොඩක් වෙලාවට තේ එකක් බොන්න ගිහාම Ceylon tea හම්බෙනවා. හරිම ආඩම්බරෙන් ටී බෑග් එකේ තියෙන නම දිහා බලබලා අපි රටේ රහ විඳිනවා.
ෆැන්සි කොෆී මැෂින් වගේ නැතිවට තේ හදන එකත් කලාවක් කියලා මට ටක්කෙටම දන්නවා. ගමේ ගෙදරක දර ලිපේ පොල් කොළ සුවඳත් එක්ක එන ප්ලේන්ටියේ රහ තරු හෝටලේක හයි ටී පාටියක නෑ කියලා මට හිතෙනවා.
තේ අස්සේ හැංගිච්චි කතා ගොඩක් තියෙනවා. එතකොට කළු කෝපි මැද්දෑවේ තේ කෝප්පේ තනි වෙලා නෑ කියලා මට හිතෙනවා.

15 comments:

  1. බොහොම ලස්සන ලිපියක්. මට කටසැර සම්බෝල, වඩේ කාලා බීපු වැඩි සීනී ප්ලේන් ටී මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. අනිවා.. කට සැර දෙයක් කාලා ප්ලේන්ටියක් නම් ගහන්නම ඕනි!

      Delete
  2. කන්ඩ නැතිව හිටියැකි, තේ එකක් නැතිව ඉන්න බෑ කියලා අපේ වැඩකරන ඇත්තෝ කියන්නේ ඒකනේ!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. අර සූර පප්පා එකේ යුද්ධ කරන්න බෑ කියන්නේ තේ නැතිව

      Delete
    2. පල හීන දකින පොන්නයා

      Delete
  3. චායි කියන්නේ මටත් ආගමක් වගේ එකක් . හවසට තේකක් හා සුරුට්ටුවක් නැත්නම් ජිවිතයක් නැහැ වගේ නිකන්

    ReplyDelete
    Replies
    1. තේ ඇබ්බැහියක් තියෙන්නේ :D

      Delete
    2. ටිල්වින්ගේ සුරුට්ටුවද

      Delete
  4. ගිය සතියෙ චීන දේසෙ ගියපු සංචාරෙ පුරාම මල්රොන් මුසු කරාපු ග්‍රීන් ටී සෑහෙන්න බිව්වා. වැහිදැරිය වැහිදරුවා වගේ තේ රසිකයෙක් නූනාට මං හිතන්නෙ ඒ සංචාරය තේ ගැන මගේ ආකල්පය සෑහෙන්න වෙනස් කළා..!

    ReplyDelete
    Replies
    1. චීන දේසේ තේ මාරම ලොකු සීන් එකක් නේ.

      Delete
    2. හුතු දැරිය

      Delete
  5. රුපියල් පහට තේ එකක් කැම්පස් කැන්ටිමෙන් බිව්වා නේද. මම පොඩි කාලේ තේ එකක් සත පහයි. ඕක මත හයට වැඩි කලා. හේතුව නම් මට මතක නෑ දැන්. හැබැයි යන්තම් අකුරු ගැට ගහගෙන පත්තර කියවන්න පටන් ගත් කාලයේ නිසා ඔය සතයකින් මිල වැඩි කිරීමේ ආදිනව ලියලා තිබුනා මතකයි. ඔය අඩුම බස් ටිකට් එක මත පහ කාලේ.

    ReplyDelete
    Replies
    1. ඔව්.. මිනිස්සු උද්ධමනය මනින්නේ ප්ලේන්ටියේ ගානින්!

      Delete
  6. ඉස්කෝලෙ ටක් එකේ ප්ලේන්ටිය සත පහයි, පරිප්පු වඩේ එක සත පහයි. ඉන්ටවල් එකට සත දහයයි. සරලයි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...