නාඩි සෙට් එක

Monday, November 17, 2014

රිවර්ස් යන ගඟ - Chicago River

මිචිගන් පාලම උඩ ඉදන් චිකාගෝ ගඟ
පහුගිය දොහක කොටපු නාඩි ඇට් ඇමරිකා නාඩියක පොරොන්දු උනා චිකාගෝ ගඟ ගැන අලුත් නාඩියක් කොටනවා කියලා. මොකෝ ඒ ඉසව්ව එච්චර මගේ හිතට අල්ලපු නිසා...

චිකාගෝ Mag Mile එකේ ෂොපින් කරපු හැටි. බෝංචි ඇටේ විස්තරේ වගේ කතා බතා ඒ නාඩියේ කෙටුවනේ.. ගිහිං ඒකත් කියවලා ආවානම් හොඳා ඉතිං. නැත්නම් අන්ද කයිප්පු වගේ වෙයි. මෙන්න ලින්කුව.
චිකාගෝ කියන්නේ දැනට ඇමරිකා එක්සත් ජනපදයේ ඉලිනොයිස් ප්‍රාන්තයේ අගනගරය. 

ඔය චිකාගෝ කියන නම හැදිච්චි විදිහ ගැනත් හරි අපූරු කතාවක් තියනවා. මේ ප්‍රදේශයේ මුල් පදිංචිකාරයෝ උනේ ස්වදේශික ඇමරිකානුවෝ. ඔය රතු ඉන්දියන්වරු කියලා කියන්නෙත් මෙයාලා තමා. හැබැයි දැන් ඒ වචනේ පාවිච්චි වෙන්නේ නෑ. Native American කියන යෙදුම තමයි භාවිතා වෙන්නේ. කොලොම්බස් ඇමරිකාවට පය තිබ්බට පස්සේ හිතලා තියෙන්නේ එයා ඉන්දියාව හොයා ගත්තා කියලාලු නේ.. ඒ නිසාලු ඔය රතු ඉන්දියන්වරු කියන නම හැදුනේ. 

ස්වදේශික භාෂාවෙන් “Chicagoua” කියන්නේ වල් ළුණු වලට. ජනප්‍රවාද වල එන හැටියට චිකාගෝ ගඟේ ඉවුර දෙපැත්තේම මේ වල් ළුණු සාරේට වැවිලා තිබ්බලු. ඉතිං ස්වදේශික ඇමරිකන්වරු පාවිච්චි කරපු “Chicagoua” කාලෙන් කාලෙට වෙනස් වෙලා “Chicago” වෙලා තියනවා.

කොහොමත් ජනාවාස ගොඩ නැගෙන්නේ ජල පහරක් තියෙන තැනක් මුලික කරගෙන නේ. එක්දහස් හයසිය ගණන් වල හත්සිය ගණන් වල චිකාගෝ නගරය කාර්මික නගරයක් විදිහට ප්‍රසිද්ධ වෙලා තිබ්බා. නැව් හදන්න වගේම port city එකක් විදිහට මේ නගරය හරිම කාර්යබහුල තැනක් උනා. Port city එකක් කිව්වට චිකාගෝ නගරේ ළඟ පාත මුහුදක් නෑ. මේ ඔක්කොම නැව් ගමනාගමන කටයුතු සිද්ධ උනේ පංච මහා විල් ආශ්‍රිතව. චිකාගෝ නගරෙට මායිම් වෙලා තියෙන මිචිගන් විලෙන් තමයි චිකාගෝ ගඟ පටන් ගන්නෙත් (දැන්).

1779 දී චිකාගෝ ගඟ අසබඩ ජනාවාස පිහිටවන්න මුල් වෙච්චි Jean Baptiste Point DuSable තමයි චිකාගෝ නගරේ නිර්මාපකයා විදිහට හදුන්වන්නේ. 

මේ කාලේ චිකාගෝ ගඟ ආශ්‍රිතව කෝච්ච නැව් ගමනාගමනය සිද්ධ උනාද කිව්වොත් නැව් ගමන් ගන්න අකුලන පාලම් නිසා ලොකු වාහන තදබදයක් ඇති උනාලු නගරේ.

19 වෙනි ශතවර්ෂයේ දී ඇති වෙච්චි කාර්මික විප්ලවෙත් එක්ක චිකාගෝ ගඟ හරිම දරුණු විදිහට දුෂණය වෙන්න පටන් ගත්තා. කර්මාන්ත ශාලා වල අපද්‍රව්‍ය, නැව් හදන කම්හල් වල ඉවත දමන දේ විතරක් නෙවෙයි චිකාගෝ නගරයේ පිහිටලා තිබිච්ච සත්ත්ව ඝාතකාගාරවල අපද්‍රව්‍යත් ගඟට එකතු උනා.  කොච්චර ගඟ දුෂණය උනාද කියනවනම් ගඟේ මතුපිට එකතු වෙච්චි කුණු තට්ටුව උඩ මිනිහෙක්ට ඇවිදින්න උනත් පුළුවන් උනාලු!
ගඟ උඩ මිනිහෙක්! - http://www.oftimeandtheriver.org/resources/colonial/fr1800to1876_21.htm

චිකාගෝ වැසියෝ තමාගේ පානීය ජල අවශ්‍යතා සපුරා ගත්තේ මිචිගන් විලෙන්. හැබැයි දුෂිත නගරය හරහා ගලන වතුර මේ පානීය ජලයත් එක්ක මුහු වෙලා කොලරාව, ටයිපොයිඩ් උණ වගේ වසංගත නගරය පුරා පැතිරිලා යන්න පටන් අරගෙන තියනවා. නගර වැසියෝ බර ගානක් සෙත්ත පෝච්චි උනාලු! කට්ටිය නගරේ අත ඇරලා යන්න පටන් අරගෙන!

http://99percentinvisible.org/episode/episode-86-reversal-of-fortune/
මිට පිලියමක් විදිහට 1848 දී චිකාගෝ ගඟෙන් මිචිගන් විලට එන අපිරිසිදු ජලය ආපහු හරවන විදිහක් ගැන යෝජනා උනා. ඒ කියන්නේ ගඟ ආපහු හරවන්න!

1892 ඩි පටන් ගත්තු මේ ව්‍යාපෘතිය විශාල ඇළ මාර්ග තුනකින් සමන්විත උනා. 1922 මෙම ව්‍යාපෘතිය ඉවර වෙද්දී නගරය හරහා මිචිගන් විලට ගලාගෙන ගිය චිකාගෝ ගඟේ වතුර ආපහු හැරිලා මිසිසිපි ගඟ පැත්තට යන විදිහට සකස් කරලා තිබ්බා. මේ ව්‍යාපෘතිය දැනට ලෝකයේ කෙරිච්චි විශාලතම සිවිල් ඉංජිනේරු ව්‍යාපෘති වලින් එකක්.

ලෝකේ ලොකුම water treatment plant එක
ඒ වගේම දුෂණය වෙච්චි චිකාගෝ ගඟේ වතුර පිරිපහදු කරන්න ජල පිරිපහදු මධ්‍යස්ථාන ටිකකුත් ඇති කළා. මිචිගන් විල් ඉවුරේ තියෙන Stickney Water Reclamation Plant එක තමයි දැනට ලෝකේ තියන විශාලතම ජල පිරිපහදු මධ්‍යස්ථානය. 

කාලේ ගත වීමත් එක්ක චිකාගෝ ගඟ චිකාගෝ නගරෙට එන සංචාරකයන් හිත ගන්න එක් අංගයක් උනා. ඒ වගේම ලෝකේ ඉන්න ධන කුවේරයෝ ගංගා ඉවුරේ නිවාස තනන්න්ත් පටන් ගත්තා. ඒ වගේම ලෝකේ ගෘහ නිර්මාණ ශිල්පයේ අපූරු නිර්මාණ වෙච්චි tribune tower එක වගේ ගොඩනැගිලි ගඟ දෙපැත්තේ ඉදි උනා.
නාඩි තුමා ගඟ දිගේ
චිකාගෝ නගරයට එන සංචාරකයන් අමතක කරන්නේ නැතිවම යන එක් අංගයක් තමයි ferry එකක නැගලා ගඟ දිගේ යන එක. බොහෝ වෙලාවට ferry එකේ ඉන්න මාර්ගෝපදේශකයෙක් යන ගමන් වටේ තියෙන ගොඩනැගිලි වල ඉතිහාස කතා, විශේෂත්වය එහෙම අපූරුවට පැහැදිලි කරලා දෙනවා. 

සම්පුර්ණ ගඟක් ඩයි දාල කොළ පාට කරනවා අහලා තියනවද! St. Patrick Day එක දවසට, බොහෝ වෙලාවට ඊට ආසන්තම සෙනසුරාදා දවසට චිකාගෝ ගඟ කොළ පාට ඩයි එකකින් පාට කරනවා.  මේ සඳහා පරිසර හිතකාමී එළවලු ඩයි එකක් පාවිච්චි කරනවා කියලා තමයි ආරංචිය .
කොළ පාට කරපු ගඟ - පින්තුරය - Wikipedia

ඔන්න ඔහොමයි චිකාගෝ ගඟේ කතාව. කවදා හරි චිකාගෝ පැත්තේ සවාරියක් ගියොත් චිකාගෝ ගඟේ බෝට්ටු සවාරියක් යන්න අමතක කරන්න එපා. ගිහිං ඇවිත් ගඟ අද්දර තියෙන restaurant එකකට ගොඩ වැදිලා නිවී හැනහිල්ලේ උණු කොපි කෝප්පයක් බිලා ආවත් නරක නෑ ;)

Friday, November 7, 2014

උතුර - ලංකාව නෙවෙයිද?


යුද්ධේ ඉවරයි! හැබැයි තාම සෙල්ලම ඉවර නෑ!

ඔන්න දැන් නීති රීති එහෙමත් දාල කියන්නේ අලුතින්!

හිංගලෙන් පරිවර්තනේ කොටන්න කම්මැලියි! නිකමට වගේ ගිහිං කියවලා බැලුවට පාඩුවක් වෙන එකක් නෑ.

මොකෝ නාඩියා කියලා එකෙක් දැන් කඩ්ඩෙන් කොටන්න පටන් අරගෙන! ගිහිං follow පාරක් එහෙම දාගෙනමගියානං හොඳා!

Related Posts Plugin for WordPress, Blogger...