නාඩි සෙට් එක

Sunday, March 24, 2019

කට කහනවට කියන කතාවක්...


අපි හැමදාම කතා වෙනවා ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් වෙන්න ඕනේ කියලා. ඇත්ත!ජාතික අධ්‍යාපන ප්‍රථිපත්තියක් වගේම විෂය නිර්දේශ වල වෙනස්කම් එක වසරේ ඉදන්ම ඇති විය යුතුයි. විශ්වවිද්‍යාල වල syllabus, course content වෙනස් විය යුතුයි. ඒක තියෙන vital need එකක්. හරි! ඒක වෙනකම් බලං හිටියහම හරිද?
ලංකාවේ state universities වගේම private degree offering institutes වලත් මේ මං දැක්ක දුටුව දේව්ල් ටිකක්. සමහට විට මේවා ගොඩක් STEM සහ IT related වෙන්න පුළුවන්. හැබැයි generalise කරලා ගත්තොත් ඔක්කොටම අදාළ ඇති.
ළමයි -
- ගොඩක් වෙලාවට ඩිග්‍රී එක කරන්නේ ඒකට select වෙච්චි නිසා, නැත්නම් අම්මලා තාත්තාලා කියන නිසා.. එහෙමත් නැත්නම් කරන්න තියෙන එකම option එක නිසා. ඒ ඇර ආසාවෙන් සහ field එක ගැන උනන්දුවෙන් කරනවා අඩුයි.
- ඒ නිසාම බලන්නේ GPA එක හරි assignment ටික හරි සල්ලි වලට හරි ගොඩ දාගන්න.
- self learning බිංදුවයි!
- research එකක්, project එකක් කරන්නේ වදෙන් පොරෙන් බේරෙන්නෙ මිසක් කිසිම තේරුමකින්, ආසාවකින් නෙවෙයි.
- Union එකකින් ළමයින්ගේ research equipment වලට අඩුවක් වගේ දෙයක් ගැන කතා කරනවා හරිම අඩුයි.


ආචාර්‍යවරු -
- ගොඩක් වෙලාවට හොද රිසල්ට් එකක් දාල එතනට ආවාට industry එකේ තියෙන්නේ මොන වගේ trends ද කියලවත් ටිකක් වත් හොයලා බලන්න කම්මැලියි.
- Industrial Engagement නිල්!
- සමහර අය තමන්ගේ university මේල් එක වැඩ කරනවද දන්නේත් නෑ!
- අලුත් subject එකක්, අලුත් technology එකක් course එකට දාගන්න කොහෙත්ම කැම්ති නෑ.
- research paper එකක් මලාට කියවන්නේ නෑ! හැබැයි දේශපාලන පෝස්ට් නම් newsfeed එකේ වැහි වැහැලා!
- තමන්ගේ පත්වීම ස්ථීර කරගන්න, නැත්නම් grant එකක් ගන්න research, higher studies කරනවා මිසක් ඒකේ outcome එක ගැන හිතනවා හරිම අඩුයි.
- තමන්ගේ තත්ත්වේ, පොරත්වය පෙන්නන්න මහන්සි වෙනවා මිසක් හිතලා දෙයක් කරන්නේම නැති තරම් (සමහර විට සිස්ටම් එක run වෙන විදිහට අමාරු ඇති එහෙම කරන්න)
- ලෙක්චර් එක කළාම, practical sheet එක ඉවර කළාම තමන්ගේ duty එක ඉවරයි කියලා හිතාගෙන ඉන්නේ.
- කැපිලි කෙටිලි, මඩ ගැහිලි වලට දෙයියෝ!


ඔය ඉහළින් තියෙන ලිස්ට් එක ඔක්කොටම අදාළ නෑ! තමන්ගේ අතින් වියදම් කරගෙන පැය හයක් drive කරගෙන lectures කරන්න ආපු මිනිස්සු, අතේ සල්ලි වලින් ළමයින්ට research equipment අරගෙන දුන්නු ඩයල්, එකම citation එකක්වත් යන්නේ නැතිව ළමයින්ගේ papers correct කරපු lecturers ලා ඕනේ තරම් ඉන්නවා.
මේ අපි කතා කරන්නේ experience තියෙන ටිකක් ඉහ නිකට පැහිච්චි කට්ටිය ගැන විතරක් නෙවෙයි. University out වෙච්චි ගමන් Demonstrator/ Tutor/ Assistant Lecturer විදිහට ඉන්න අපේ අයත් අදාළයි. නිකමට මතක් කරලා බලන්න මචං අන්තිමට අලුත් technology එකක් අල්ලලා ළමයෙක්ව mentor කළේ කවද්දා කියලා??
මේක ඇති වෙන්න හේතු ඉතින් ගොඩක් තියෙනවා. මම හිතෙන විදිහට ලොකුම salary scale එකක place කරන්න ඕනේ මේ positions සොච්චම් පඩියකට දාන තැන ඉදන්ම වෙනස් වෙන්න ඕනේ.
හැබැයි අපි පොඩ්ඩක් කම්මැලිකම අත ඇරලා ඔය ලිස්ට් එක කියවලා බැලුවොත් ගොඩක් එව්වා අපිටම කරන්න පුළුවන් changes!
එහෙම අපි change වෙන්නෙ නැතිව system change එකක් ගැන හීනෙකින් වත් හිතනවනම් නිදහස් අධ්‍යාපනයයි, අධ්‍යාපනයේ නිදහසයි ගැන අපි කතා නොකර ඉමු.
මඟුලක් කතා කරනවා! මාසේ අන්තිමේ පඩිය එනවනම්.. මොන ලබ්බකටද මෙව්ව කරන්නෙ?

Saturday, January 5, 2019

වමෙන් එළවීම සහ ප්ලාස්ටික් බෝතල්


අටං අයියා පහුගිය දොහේ මං කොටපු නාඩියකට “මා නොදකින විසිතුරු ගැන මට පවසනවද ඔයා ............ කියලා කියවනවා මමනං” කියලා කොමෙන්ට් එකක් දාලා තිබ්බා. ගියපු කරපු තැන් ගැන මොනවා හරි කොටනවා කියලා ඒ නිසා හිතුවා.
පහුගිය දොහේ මං ට්‍රම්ප්පච්චීගේ දේශයට ගැච්චුවා පොඩි වැඩ වගේකට. ගියේ ඇමරිකා එක්සත් ජනපදේ වොශින්ටන් ප්‍රාන්තයේ සියැටෙල් වලට. (කලින් ගියපු කරපු එව්වා ගැන ඔන්න ඔය පහළින් තියෙන එව්වගේ ඇති)

සියැටෙල් තමයි ලෝක ප්‍රසිද්ධ මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධාන ඔපිසිය තියෙන්නේ. දැන් ඔය සමාගමේ ලොකු තැන ඉන්නේ බිල් ගේට්ස් ලොක්කා නෙවෙයි. “සත්‍යා නඩෙල්ලා” කියලා අපේ අල්ලපු රටේ ඩයල් එකක්.

සියැටෙල් කියන්නේ මං ලෝකේ දැකපු ලස්සනම නගර වලින් එකක්. කතාවට කියන්නේ සියැටෙල් වලට හැමදාම වහිනවා කියලා. කොහොමත් හරිම සෞම්‍ය දේශගුණයක් තමයි තියෙන්නෙ. සියැටෙල් වල තියෙන කරන දේවල් එහෙම ගැන විස්තර ඉස්සර කොටපු එව්වගේ ඇති.

හිටපු දවස් හැම එකේම උදේ ඉදන් හවස් වෙනකම් වැඩ, මීටින් තිබ්බා. මෙහෙ තියෙන වෙනස තමයි අපි ලංකාවේ හුරු වෙලා ඉන්නවා වගේ පැය ගණන් දිග කෑම පැය එහෙම නැති එක. ගොඩක් වෙලාවට කෑම එකත් අරගෙන මොකක් හරි මීටින් එකකට දුවන්න ගොඩක් වෙලාවට වෙනවා. කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න තමයි ට්‍රයි එක. කලිනුත් මම කියලා ඇති මෙහෙ ප්ලාස්ටික් වතුර බෝතල් ඇත්තේම නැති තරම් කියලා. හැම එක්කෙනෙක් අතේම වගේ reusable water bottle එකක් තියනවා. ඒක රීෆිල් කරගෙන පාවිච්චි කරනවා. මේ අවුරුද්දේ අපිත් ඒ ට්‍රයි එක දෙමුද? මොකෝ ඔය හැමදාම පාවිච්චි කරන ප්ලාස්ටික් බෝතල් අන්තිමේ යන්නේ මුහුදට. මං ඔන්න දැක්කා වැඩියෙන්ම මුහුදට කුණු දාන රටවල් අටට ලංකාවත් තියනවා කියලා.
Vertical Farming

තව අපූරු දෙයක් තමයි මේ ආයතනය ඇතුලේ පොඩි පොඩි එළවළු එහෙම වවලා තියෙනවා පස් නැතිව! “Vertical Farming” සිස්ටම් එකට. ඔන්න විඩියෝ කෑල්ලක් දැම්මා. කැමති නම් බලන එකයි ඇත්තෙ. ලංකාවෙත් මේ දේ පරේෂණ මට්ටමෙන් වෙනවා. CodeGen එකේ තියෙන එකනං මං දැකලා තියෙනවා.  


ඔය එහෙ මෙහෙ රටවල් වල යද්දී දැක්ක තවත් අපූරු දෙයක් තමයි විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සහ වැඩිගිටි අයට තියෙන පහසුකම් වගේම ඔවුන්ව රටේ work force එකට සම්බන්ධ කරගෙන තියෙන අපූරුව. මයික්‍රොසොෆ්ට් ආයතනය ඇතුළේ තියෙන සමහර කැන්ටීන් වල වැඩ කරන්න ඉන්නේ විශේෂ අවශ්‍යතා සහිත අය. සමහර වෙලාවට ඔවුන් අතින් සුළු අත්වැරදීම් වෙනවා. සමහර වෙලාවට වැඩ කරන්න ටිකක් වෙලා ගන්නවා. හැබැයි ආයතනයේ සේවකයෝ එව්වා හරිම සිනහමුසු මුහුණින් ඉවසගෙන ඉන්නවා.

දැනට මං ඉන්න කැන්ගරු දේසෙත් මේක මම දැකලා තියෙනවා. මගේ research center එක තියෙන විශ්වවිද්‍යාලේ වෙනමම ඒකකයක් තියෙනවා ඒ වගේ අය ගැන හොයලා බලන්න. ඒ වගේම පුළුවන් හැම වෙලේම ඒ අයට පොඩි පොඩි වැඩ පවරලා සාමාන්‍ය පුද්ගලයෝ වගේම සමාජයේ පිලි ගැනීමක් ලබා දෙන්න උත්සාහ කරනවා.

ඔය කිව්වෙ ටිකක් සිරියස් කෑලි දෙක තුනක් නේ. ඔය වගේ එහෙ මෙහෙ යන එකේ ටිකක් ඇවිදලා කරලා ෆන් එකක් ගන්නත් මංතුමා ඉතිං පැකිලෙන්නෙ නෑ. මොකෝ කොහෙ හරි ගිහිං හෝටලේ ඇතුලේ ගේ ගෙම්බා වගේ ඉන්න එක මට එපා කරපු දෙයක්. ඉතිං පොඩ්ඩක් ඇවිදලා කරලා බැලුවා. ඔක්තොම්බර් කියන්නෙ ඇමරිකාවට සරත් සමය. ඉතිං කහ පාටට, තැඹිලි පාටට හරි ලස්සනට ගස් කොලන් බලා ගන්න පුළුවන්. 

කොළ හැලිලා

පාරෙ තොටේ ඇවිදිදී මොලේ කොලොප්පන් වෙන වැඩේ තමයි වාහන යන පැත්ත! එහෙ වාහන එළවන්නේ දකුණෙන් නේ. නිකම් හිතලා බලපන්කෝ පාර පනිද්දී.. නිකමට හරි වාහනයක් එළවද්දී තියෙන සනීපේ! දෙපාරක් තුන් පාරක් ම මං ටැක්සියේ ඩ්‍රයිවර් සීට් එක පැත්තෙන් නගින්න ගිහිං පීචං උනා.
එන ගමන් ලොස් ඇන්ජලීස් සැන්ටා මොනිකා පියර් එකට

කාල වෙලාව ලැබෙන විදිහට හිමීට කොටන්නම් එහෙනං! ජය!
  

Wednesday, November 7, 2018

අරගලේ දවසක්



සුබාෂ් මෙහි එන්න...
ගිය සතියේ අපි දැමූ සිස්ටමේ බග් එකක්.
හනික ගොස් client හට - Fix එකක් කර එන්න.

ලොක්ක දුන් අවසරෙන් - ටුක් එකක නැඟුණු මම
කළු දුමාරය මැදින් ක්ලයන්ට් දෙවි සොයාගෙන -  පියාඹා දැන් යමි
උන්ගේ රස්පැට් බලා - දෙක තුනට වැඳ වැටී
පැච් එකක් අලවා - ජාමේ බේරා එමි.

දැන් ලන්ච් ටයිම් එක කියා - මොර ගසන බඩ ගෙඩිය
පොකැට්ටුව ගමි අතට - අසුවුනේ බිරින්දෑ අතට දුන් බඩු ලිස්ට් ය

ක්‍රෙඩිට් කාඩය හංගවා - සියයේ කොළයක් ගුලි කරන්
රිංගුවා මං හනික - තුන්මුල්ලේ කෙලවරේ සීයේ කඩයේ පිලට

මෙතැන නැත අමුත්තක් - අවුරුදුම හතරක් තැප උන්නු තැන වෙච්චි
නැහැ තවම වෙනසක් - හිටියේ ඒ අයියා මූනේ පැත්තක් කළු වෙච්චි

ආ.. මල්ලි මෙහි එන්න - දැක්කේ නෑ කාලෙකින්
ඔව් අයියේ දැන් ඉතිං වැඩ රාජකාරි නේ... - අවුට් වී ගිහිං හෙම උනා අවුරුදු දෙකක්!

අප්පේ එසේනම් දැන් හොඳට සරු ඇති - බැඳලා කරලා හෙම වාහනේ ගන්නැති

ගිය ජනේරුවේ බැන්දා - ගල්කිස්සේ හෝටලේ එක දවසේ වෙඩින් එක
දවස් දෙක තුන ගන්න දැන් හරිම වියදම්!
(ඒ දවසත් ගත්තේ ලෝන් එකකින් කියල - කටක් ඇරලා මූට කෙසේ නම් කියම් මම!)

මොනවාද අද කන්නේ
සීයේ රයිස් එක අයියේ - වෙනදා කන එකම අද කන්න කියලා හිතුනා
(ක්‍රෙඩිට් කාඩයේ ලිමිට් -  පැනපු බව මේකා දන්නවානම්...)

බැලුවා ගහ යට බංකුව - අපි දෙන්නා හිටිය තැන
ඉඩක් තිබුනේ නෑ මට - එතැන තිබුනා වෙනත් කුඩයක්

අනිත් මල්ලිලා හෙම - හම්බෙනවා වෙන්නැති
ඉස්සර වාගේම - සෙට් වෙනවාද තාම?

බැච් එකේ එකෙක්ගේ - වෙඩිමක් තිබ්බොතින්
හම්බෙනවා සමහරක් - උනුත් දැන් වැඩ වලම
(සෙට් වෙන්න කෝ ඉඩක් - පොකැට්ටුවේ ලොකු හිලක් - ගල් බෝතලෙත් දැන් ගිණි ගණන්!)

කාලෙකින් උඩ නාපු වට්ස්ඇප් ගෘප් චැට - අන්තිමේ අපි ගහපු කැම්පස් එකේ සෙල්ෆිය
මොබයිලේ අස්සේ හිර වෙලා දැක්කා මම

දේශපාලන ටෝක් දී හිටපු මල්ලී - කෝ දැන් තාම යනවාද එල්ලී
නෑ අයියේ ඌ ලඟදි පත්වීම ගත්තා - ඉස්කෝලේ උප ගුරු!
ක්ලාස් කරගෙන ඉන්නේ - ඌට නම් දැන් සරුයි.  

හැමදාම අයියගෙන් ණය ගත්තු කිතුලා - අයියාට මතකද අර බඩ තිබ්බ ලොකු එකා
ඌ දැන් පිට රටක - එන්නේ නෑ ආයෙත් කියලා එහෙ පැන්නා
(කිව්වහම මතක් උනේ - ගිය සතියේ ඌ එවපු මැසේජ් එක තිබ්බා අන්රීඩයේ)

මචං අපි සෙට් වෙමු!
ගෑනු දරු මල්ලොත් අරං හරි සෙට් වෙමු!
හොස්ටලේ බිත්තියේ අත ගසා දිව්රාපු - අපේ උන් සැට් එක උන්නාද මලා ද!!!

මතකද සුන්දරී ඉස්සර කාලේ දවසක...
බංකුවේ ඉඳගෙන.. උඹේ අතින් අල්ලා..
දුන්නා මං වචනයක්
යමු අපිත් සිංගා - හනිමූන් කැන්දා  
(ලෝන් එක මේ මාසේ ලැප් නොවී බේරුනොත් ඒ ඇති!)

අයියේ මේ සීය -  ගන්න දෑතින් ඔන්න
මල්ලි සිකැරට් එකක්?
එපා අයියේ දැන් - බ්ලොග් ගලක් ඔය ගණන්!       

Tuesday, October 30, 2018

ආදර බෘංගයා


පාසල් ප්‍රේමේ හරිම අලංකෘත එකක්. මේකත් එහෙම කතාවක්. නම් ගම් ඔක්කොම කල්පිතයි. විස්තර ඔක්කොම කල්පිත නෑ.

මේක අට වසරේ විතර වෙච්චි දෙයක්.  දැන් තොපි කියයි කටේ කිරි සුවඳ යන්නත් කලින් තොපිට මදන කුලප්පුව ගහලා තිබිලා කියලා! ඔව්. අපි ඉස්සර ඉඳන් වනචර කොල්ලෝ!

අපේ පන්තියේ හිටපු කොල්ලෙක්ට කෙල්ලෙක් ගැන ආදර හැඟීමක් පහල උනා! අපි කෙල්ලට මල්රානි කියමු! කොල්ලට නිමල් කියමු. අවධාරණයෙන් කියන්නේ නිමල් කියන්නේ මං නෙවෙයි!

නිමල් මල්රානි ට පැලෙන්න ආදරේ කළා. අට වසරේ ඇටකිති කොල්ලෙක්ට හිතාගන්න බැරි තරමට මල්රානිගේ හැමදේටම නිමල් ආදරේ කළා. කොච්චරද කිව්වොත් මල්රානි පාවිච්චි කරන.. මල්රානි ලඟින් හරි ගියපු දේවල් හරිම පරිස්සමෙන් එකතු කරන්නත් නිමල් පුරුදු උනා.

මේ අපූරු එකතුවේ, මල්රානිගේ කොන්ඩේ බදින කළු රිබන් පටියක්, මල්රානිගේ ඔටෝ බුක් එකේ පුංචි යතුරක්, මල්රානි ලියලා ඉවර වෙච්චි පෑනක් වගේම මල්රානිගේ උප්පැන්න සහතිකේ පොටෝකොපියක් වගේ දේවලුත් නිමල් ළඟ තිබ්බා.

කොහොමෙන් කොහොම හරි එකොළහ වසරට එද්දී මල්රානිට වචනේ දාන්න නිමල් එඩිතර උනා. මල්රානි හා කිව්වද! නෑ මිතුරනි! මල්රානි බෑ කිව්වා. OL පාස් වෙලා මල්රානි වෙන ඉස්කෝලෙකට ගියා.

අපි අපේ රාජධානියේ තනි උනා. නිමල් අස්පයා මැරිච්චි සොල්දාදුවා වගේ මල්රානි යන එන තැන්, ක්ලාස් හොයන්න පටන් ගත්තා.

මල්රානි අපි ගියපු සමහර ක්ලාස් වලට ගියේ නෑ. ඒත් නිමල් ට සහයෝගයක් විදිහට ඒ ක්ලාස් මුර කරන්න යන්න අපි බොක්කෙන්ම සපෝට් එක දුන්නා. මල්රානිගේ එක හිනාවක්, කොන්ඩ කරලක් පිසගෙන එන හුලං රොදක් නිමල් මාසයක් නොකා නොබී ජිවත් කරන්න ඇති බව අපි දැනගෙන හිටියා.

ගණන් පන්තිය ඉවර වෙන්නේ පහයි තිහට, YMBA එකේ ක්ලාස් කරපු ඒ උත්තමයා සමහර දවස් වලට හය වෙනකනුත් ක්ලාස් ඇද්දා මතක ඇති. මල්රානි පහයි කාලට ක්ලාස් ඉවර වෙලා පහයි තිහේ බස් එකේ යන බව නිමල් දැනගෙන හිටියා. ඒ හින්දාම පහයි කාල වෙද්දී උගේ පුකේ කිරිපනුවෝ නලියන්න පටන් ගන්නවා.

“ ඒ යමන්කෝ!”
“කොහේ යන්නද බං. මේකා දැක්කොත් ඉවරයි. දන්නවනේ කට!”

සත්‍ය ප්‍රේමයට අග්න්‍යාසයෙන් උදව් කරන්න බැඳිලා හිටිය අපි සර් උත්තමයා SF එක්ක හදන කොනේ හොයන්න බෝඩ් එක දිහාට හැරෙද්දීම ජනේලෙන් පැන්නා.
සර් උත්තමයා දැක්කා!

“යකෝ! අර බලාපියව් අරුන්ගේ දිවිල්ල. මොකෝ රෑ උනාම පාරට අලි එනවද! කමක් නෑ පුතාලා ලබන සතියේ කාඩ් ගන්න ඕනේ නිසා ක්ලාස් එන්න!!”

ඒ උත්තමයා කියන දේවල් අහන්න නොහිටිය අපි නිමලත් එක්ක ස්ටෑන්ඩ් ඒකට දිව්වා. හරි අමාරුවෙන් අද්දන බස් එකට දුවලා ගොඩ උනා. මෙන්න නිමලා නගින්නේ නෑ!

“නැගපන් යකෝ! මල්රානි ඇතුලේ ඇති!”

“ඔව් බං. ඒකි ඇතුලේ ඇති. ඒත් මට අද ඒකිව බලන්න බෑ වගේ බං”

එහෙම හිතෙන එකත් සත්‍ය ප්‍රේමයේ ම කොටසක් වෙන්න ඇති කියලා නිමලට අම්මමෝ නැතිව බැනලා අපි පුට්බෝඩ් එකෙන් බිමට පැන්නා.

කාලය ගත උනා. නිමල් රට ගියා. මල්රානි කැම්පස් ගියා. ඊට පස්සේ බැන්දා. නිමල් නෙවෙයි. වෙන කෙනෙක්!

නිමල් ළඟ අර උප්පැන්න සහතිකේ තාම තියනවා ඇති.  

Sunday, October 21, 2018

අතීසාර මිත්‍රයෝ සහ ලැට්ක්ලා එක - ක්ලාස් කතා 01


ගොඩක් කාලෙකින් ඒ කිව්වේ සෑහෙන්න කාලෙකින් නාඩියක් කොටපු නැති වෙච්චි, ආයේ කොටපන් ආයේ කොටපන් කියලා හතර අතෙන් කෑ ගහන්න ගත්තු එකේ ඔන්න ඔහේ කොටලා දානවා කියලා හිතුනා.

පහුගිය දොහේ මොකුත් කොටන්න කරන්න බැරි උනේ නාඩියා ජුන්ඩියක් විතර ලොකු පිම්මක් පැනපු නිසා. ඒ කිව්වේ කසාද බැන්දේ එහෙම නැතුවා. මංතුමා අධ්‍යාපන සහ පරේක්ෂණ කාරණේකට විප්‍රවාසගත උනා. දැන් වාසේ දේසේ කැන්ගරු දේසේ. ඒ අල්ල පනල්ලේ මේක කොටන්න ඉස්පාසුවක් ලැබුනේ හදිසි වැඩකට ට්‍රම්ප් දේසෙට යන ගමන් අඩි දහපාලොස්දාහක් උඩ ඉඳන්. (ඔව් දැන් කියපං උඹට එච්චර උඩට යන්න උනා අකුරක් කොටන්න කියලා.. )

හැමදේම වෙනස් වෙලා බොලව්...

ඒ ඇහැව් අස්සේ ඉස්සර දොහේ කරපු කියපු දේවල් තනියම මනෝ පාරක් ගහගෙන ඉන්න වෙලාවට ඔළුවට එන එක වලක්වන්න අමාරුයි. ඒ අස්සේ ඇස් අග්ගිස්ස තෙත් වෙන වේලාවන් නැතිවමත් නෙවෙයි.

කොහොමෙන් කොහොම හරි අද කොටන්න හිතුවේ හරිම අපූරු අතීත මතක ටිකක්. අපි කොයි කාගේත් ජිවිතේ සොමිබර ජෝලිබර කාලසීමාවක් තමයි ඉස්කෝලේ කාලේ. ගෙදර ඇඳේ ඉඳන් හැතැම්ම බාගයක් දුරින් තිබිච්චි ඉස්කෝලේට අවුරුදු දහතුනක් ගච්චපු එකා වෙච්චි මං  ඉස්කෝලේ කාලේ ආයේ මදි නොකියන්න ආතල් එකේ හිටියා.

ඒ අස්සේ තිබිච්චි AL කාලේ පිස්සු බම්ප් වෙන කාලයක්. අවුරුදු දෙකකින් විතර ජිවිතේ තීරණේ කරන (ටිකකට හරි) මහා විබාගයක් තියාගෙනත් අපි ආතල් එකේ හිටියා. ගෙදරින් පොකැට් මනි විදිහට දෙන රුපියල් සීයෙන් පන්ති ගිහිං දවල්ට බඩ පුරව දානකම් බණ්ඩාගේ කඩෙන් තොසේ කන්න පුළුවන් උනා.

AL පන්ති තමා හොඳම එක. මෙහෙමයි. කාඩ් ගන්න නොගන්න එක වෙනම දෙයක් 😉 ඒ අස්සේ පොඩ්ඩක් ගණන් හදන්න එහෙම කම්මැලි නම්. Chemistry පරිවර්තන අරහං නම් ක්ලාස් එකක් දෙකක් කට් කරන්න අපේ සැට් එක පසුබට උනේ නෑ. ඔය කාලේ සිද්ධ වෙච්චි කතා දෙක තුනක් මතක විදිහට කොටලා දාන්න හිතුවා.

ඔන්න එක දවසක් උදේ පාන්දර හයේ බස් එක අල්ලාගෙන ක්ලාස් යන්නයි සූදානම. ඕක සෙනසුරාදා ඉරිදා දවස් දේකට බදු අරගෙන හිටියේ ක්ලාස් යන උන්. ඩබල් සීට් බොහොමයක් පාසල් ප්‍රේම වලින් පිරිලයි තිබ්බේ. අපි වගේ අහිංසකයන්ට පිටිපස්සේ සීට් එකේ පොඩි ඉඩක් සෙට් උනා. නැත්නම් පුට්බෝඩ් තමා. එක එක හෝල්ට් වලින් සැට් එකේ එක එකා ගොඩ වෙනවා. දැන් ඔන්න බස් එක ගිරිඋල්ල පාස් කරලා යනවා. 

පුට්බෝඩ් එකේ ඉන්න මට උදේ බඩට දාගත්තු කිරි එක සිග්නල් දෙන්න පටන් අරගෙන.

“අඩෝ පුෂ්පේ.. බොක පාරක් බාන්න ඕනේ වගේ ඕයි”

“මොන මඟුලක්ද. මං අදවත් ක්ලාස් යන්න ඕනේ. උඹ නාරම්මලින් බැහැලා වැඩේ කරගෙන ඊළඟ බස් එකේ වරෙන්”

බඩේ හොල්මන් ටික හරි අමාරුවෙන් ඉවසගෙන බස් එක නාරම්මල ස්ටෑන්ඩ් එකට දාපු ගමන් හුරේ රන් එක පබ්ලික් ලැට් එකට (ඒ වෙද්දී වටේ පිටේ නගර බොහොමයක ලැට් එක ඇස් පියාගෙන හොයාගන්න තරං මට්ටමක අපි හිටියා) නයි කයිද රෝස් පාන් කියපි! එතැන ලැට් එක නෑ කියපන්කො!

පුක බෙරි කරගෙන වටේ කැරකිච්චි මාව දැකපු ත්‍රිවිල් අයියා කෙනෙක්...

“මල්ලි ලැට් එක ගිය බදාදා කැඩුවනේ අලුතින් හදන්න කියලා!!!”

හිටපං ඇති වෙච්චි තත්ත්වේ! හරිම අමාරුවෙන් එතැන තිබ්බ තේ කඩේකට දුවලා වැඩේ ගොඩ දාගත්තා. මොන ක්ලාස් යාමක්ද එදා. පැයක් පරක්කු වෙලා ක්ලාස් යන්න පුළුවන් යෑ! බෝකක් සෙට් වෙලා ක්ලාස් ගියේ නෑ කියලා රෙද්දක් ඇදගෙන ගෙදර යන්න පුළුවන් යැ!

ඔය AL කාලේ කියන්නේ කොල්ලෝ කෙල්ලොන්ගේ හද මෝරන කාලේ නේ. එකම විදිහේ විත්‍රපටි හැමදාම බලලා ඇති වෙලා හිටිය අපිට, නෙක නෙක පාට ඇඳගෙන හතර අතෙන් එන කෙලි පොඩිත්තියෝ දැක්කහම නිකම් කාන්තාරේ යන ඔටුවොන්ට වතුර පෙන්නුවා වගේ කිචි කැවෙන සීන් එකක් තිබ්බා. ඉතිං ඔය කාලේ පොඩි පොඩි හුට්ටප්පර තිබුනේ නැතිවමත් නෙවෙයි. හැබැයි ඉතිං මේ කාලේ වගේ වට්සැප්, වයිබර මොකුත් නෑ. පොඩි නොකියා මෝබයිලාවකට රුපියල් පනහක රිලෝඩ් එකක් දාගෙන මාසයක්වත් අදින්න අපිට සිද්ධ වෙලා තිබ්බා. ඉතිං ලොකුම communication medium එක මැසේජ් තමා. නැත්නම් මිස් කෝල්! ඔව් යකෝ! අපි සමහරු මිස් කෝල් වලින් මෝස් පණිවිඩ යවන ක්‍රමයක් හොයාගෙන තිබ්බා!

ඔන්න මංතුමත් ගල අයිනේ ඉස්කෝලේ ගෑල්ලමයෙක් එක්ක පොඩ්ඩක් හිනා වෙන්න කතා කරන්න පටන් අරගෙනයි තිබ්බේ ඒ වෙද්දී. 😉 වැඩේට සපෝට් කරන්න ඕනෑම වෙලාවක ක්ලාස් කට් කරන්න උනත් උරදෙන අතීසාර මිතුරු කැලක් හිටියා. ඔන්න මිස් කෝල් වලින් මැසේජ් වලින් ගලා ගිය ප්‍රේමේ හා හා පුරා කියලා හම්බෙන්නයි මංතුමාගේ සූදානම. කුරුණෑගල පරණ මාකට් එක ඉස්සර කොක්කු පිරිච්චි ගස් යට ගහන ලෝකේ හිමිංම යන බස් සැට් එක මතක ඇතිනේ. ඔතන තමා තැන. දවල් දොළහට විතර “එයා” එනවා කිව්වා. මගේ තනි නොතනියට අපේ උන් දෙක තුනක් හත් අට පොලක උකුසු ඇස් යොමාගෙන හිටියා. ඇතුගල රත් වෙලා උණුහුම් වෙච්චි හුලං පාරක් ඉම්පීරියල් එක පැත්තෙන් ඇවිත් ගස් අතු හොලවගෙන හැමුවා. කපුටු කූඩු වල අපිළිවෙලට තිබිච්චි කෝටු හයියෙන් හයියෙන් අඩි තිය තියා යන කෙල්ලොන්ගේ කුඩ උඩට වැටුනා. එයා ආවා!

“අද ක්ලාස් ගියාද” - ඒ මම!
“හ්ම්ම්...”
“මමත් ගියා”
“හ්ම්ම්..”
“හවස ක්ලාස් යනවද?”
“හ්ම්ම්....”

ඒ අහව් අස්සේ කෙල්ල බයෙන් බයෙන් වගේ මහේ උරිස්සට උඩින් පිටිපස්ස බලනවා මට පේනවා. මං තුමා පිටිපස්ස බැලුවද? නෑ සහෝදරවරුනි, ඒ අක්ෂි රසායනය නේත්‍ර දෙකෙන් මොහොතකටවත් අයින් කරගන්න මං ලෝබ උනා මිත්‍රවරුනි!

කෙල්ල ටිකක් සලිත උනා කියලා මට තේරුනා. හදිස්සියෙන් වගේ අතේ බැඳපු ඔරලෝසුවෙන් වෙලාව බලපු දැරිවි,

“මට පරක්කු වෙනවා. මං යනවා!”
ඈ යන්න ගියා!

මොහොතක් ගල් ගැහුණු මං පිටිපස්ස බැලුවා. කිව්වට ඇස් වහක් කටවහක් නෑ පුෂ්පයා ඇතුළු අතීසාර මිතුරු කැල කට බලියාගෙන විරිත්තාගෙන පිටිපස්සේ!

“තොපි මොකෝ මැද්දට පැන්නේ?”

“නෑ බං ඒ කෙල්ල අපිත් එක්ක නිකං යන්තමට හිනා වෙනවා වගේ අපි දැක්ක. ඉතිං හිතුවා උඹ අපි ගැන කියන්න ඇති කියලා. ඉතිං අපි පොඩ්ඩක් කෙල්ල හොඳට බලාගන්න ලොකේෂන් ගත උනා”

එච්චරයි! මුන්ගේ විරිත්තිල්ලෙන් කෙල්ල බය උනා! නානා හරක් දිහා බලනවා වගේ කෙල්ලෙක් දිහා කොල්ලෝ රංචුවක් බලං ඉද්දි මොන මුවැත්තියද බිය නොවන්නේ මිතුර!
මට කෙල උනා. එයා ආයේ මිස් කෝල් එකක්වත් ගැහුවේ නෑ.


මේ ටිකයි! ඉතුරු ටික පස්සට!

Related Posts Plugin for WordPress, Blogger...