නාඩි සෙට් එක

Saturday, January 5, 2019

වමෙන් එළවීම සහ ප්ලාස්ටික් බෝතල්


අටං අයියා පහුගිය දොහේ මං කොටපු නාඩියකට “මා නොදකින විසිතුරු ගැන මට පවසනවද ඔයා ............ කියලා කියවනවා මමනං” කියලා කොමෙන්ට් එකක් දාලා තිබ්බා. ගියපු කරපු තැන් ගැන මොනවා හරි කොටනවා කියලා ඒ නිසා හිතුවා.
පහුගිය දොහේ මං ට්‍රම්ප්පච්චීගේ දේශයට ගැච්චුවා පොඩි වැඩ වගේකට. ගියේ ඇමරිකා එක්සත් ජනපදේ වොශින්ටන් ප්‍රාන්තයේ සියැටෙල් වලට. (කලින් ගියපු කරපු එව්වා ගැන ඔන්න ඔය පහළින් තියෙන එව්වගේ ඇති)

සියැටෙල් තමයි ලෝක ප්‍රසිද්ධ මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධාන ඔපිසිය තියෙන්නේ. දැන් ඔය සමාගමේ ලොකු තැන ඉන්නේ බිල් ගේට්ස් ලොක්කා නෙවෙයි. “සත්‍යා නඩෙල්ලා” කියලා අපේ අල්ලපු රටේ ඩයල් එකක්.

සියැටෙල් කියන්නේ මං ලෝකේ දැකපු ලස්සනම නගර වලින් එකක්. කතාවට කියන්නේ සියැටෙල් වලට හැමදාම වහිනවා කියලා. කොහොමත් හරිම සෞම්‍ය දේශගුණයක් තමයි තියෙන්නෙ. සියැටෙල් වල තියෙන කරන දේවල් එහෙම ගැන විස්තර ඉස්සර කොටපු එව්වගේ ඇති.

හිටපු දවස් හැම එකේම උදේ ඉදන් හවස් වෙනකම් වැඩ, මීටින් තිබ්බා. මෙහෙ තියෙන වෙනස තමයි අපි ලංකාවේ හුරු වෙලා ඉන්නවා වගේ පැය ගණන් දිග කෑම පැය එහෙම නැති එක. ගොඩක් වෙලාවට කෑම එකත් අරගෙන මොකක් හරි මීටින් එකකට දුවන්න ගොඩක් වෙලාවට වෙනවා. කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න තමයි ට්‍රයි එක. කලිනුත් මම කියලා ඇති මෙහෙ ප්ලාස්ටික් වතුර බෝතල් ඇත්තේම නැති තරම් කියලා. හැම එක්කෙනෙක් අතේම වගේ reusable water bottle එකක් තියනවා. ඒක රීෆිල් කරගෙන පාවිච්චි කරනවා. මේ අවුරුද්දේ අපිත් ඒ ට්‍රයි එක දෙමුද? මොකෝ ඔය හැමදාම පාවිච්චි කරන ප්ලාස්ටික් බෝතල් අන්තිමේ යන්නේ මුහුදට. මං ඔන්න දැක්කා වැඩියෙන්ම මුහුදට කුණු දාන රටවල් අටට ලංකාවත් තියනවා කියලා.
Vertical Farming

තව අපූරු දෙයක් තමයි මේ ආයතනය ඇතුලේ පොඩි පොඩි එළවළු එහෙම වවලා තියෙනවා පස් නැතිව! “Vertical Farming” සිස්ටම් එකට. ඔන්න විඩියෝ කෑල්ලක් දැම්මා. කැමති නම් බලන එකයි ඇත්තෙ. ලංකාවෙත් මේ දේ පරේෂණ මට්ටමෙන් වෙනවා. CodeGen එකේ තියෙන එකනං මං දැකලා තියෙනවා.  


ඔය එහෙ මෙහෙ රටවල් වල යද්දී දැක්ක තවත් අපූරු දෙයක් තමයි විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සහ වැඩිගිටි අයට තියෙන පහසුකම් වගේම ඔවුන්ව රටේ work force එකට සම්බන්ධ කරගෙන තියෙන අපූරුව. මයික්‍රොසොෆ්ට් ආයතනය ඇතුළේ තියෙන සමහර කැන්ටීන් වල වැඩ කරන්න ඉන්නේ විශේෂ අවශ්‍යතා සහිත අය. සමහර වෙලාවට ඔවුන් අතින් සුළු අත්වැරදීම් වෙනවා. සමහර වෙලාවට වැඩ කරන්න ටිකක් වෙලා ගන්නවා. හැබැයි ආයතනයේ සේවකයෝ එව්වා හරිම සිනහමුසු මුහුණින් ඉවසගෙන ඉන්නවා.

දැනට මං ඉන්න කැන්ගරු දේසෙත් මේක මම දැකලා තියෙනවා. මගේ research center එක තියෙන විශ්වවිද්‍යාලේ වෙනමම ඒකකයක් තියෙනවා ඒ වගේ අය ගැන හොයලා බලන්න. ඒ වගේම පුළුවන් හැම වෙලේම ඒ අයට පොඩි පොඩි වැඩ පවරලා සාමාන්‍ය පුද්ගලයෝ වගේම සමාජයේ පිලි ගැනීමක් ලබා දෙන්න උත්සාහ කරනවා.

ඔය කිව්වෙ ටිකක් සිරියස් කෑලි දෙක තුනක් නේ. ඔය වගේ එහෙ මෙහෙ යන එකේ ටිකක් ඇවිදලා කරලා ෆන් එකක් ගන්නත් මංතුමා ඉතිං පැකිලෙන්නෙ නෑ. මොකෝ කොහෙ හරි ගිහිං හෝටලේ ඇතුලේ ගේ ගෙම්බා වගේ ඉන්න එක මට එපා කරපු දෙයක්. ඉතිං පොඩ්ඩක් ඇවිදලා කරලා බැලුවා. ඔක්තොම්බර් කියන්නෙ ඇමරිකාවට සරත් සමය. ඉතිං කහ පාටට, තැඹිලි පාටට හරි ලස්සනට ගස් කොලන් බලා ගන්න පුළුවන්. 

කොළ හැලිලා

පාරෙ තොටේ ඇවිදිදී මොලේ කොලොප්පන් වෙන වැඩේ තමයි වාහන යන පැත්ත! එහෙ වාහන එළවන්නේ දකුණෙන් නේ. නිකම් හිතලා බලපන්කෝ පාර පනිද්දී.. නිකමට හරි වාහනයක් එළවද්දී තියෙන සනීපේ! දෙපාරක් තුන් පාරක් ම මං ටැක්සියේ ඩ්‍රයිවර් සීට් එක පැත්තෙන් නගින්න ගිහිං පීචං උනා.
එන ගමන් ලොස් ඇන්ජලීස් සැන්ටා මොනිකා පියර් එකට

කාල වෙලාව ලැබෙන විදිහට හිමීට කොටන්නම් එහෙනං! ජය!
  

13 comments:

  1. ඔය වමෙන් පැදවීම නිසා අපිටත් කරදර වුනා වියට්නාමයේ ගිය වෙලාවේ.පාර පනින්න හදන කොට බලන්නෙම දකුණු පැත්තෙන් වාහන එනවද කියලා.
    ප්ලාස්ටික් බෝතල් ප්‍රශ්නයට හොඳ විසඳුමක් ඒත් හිතලා බලන්න කොළඹ ආවොත් කොහොමද බෝතලේට වතුර පුරවා ගන්නේ කියලා.
    තායිලන්තයේ ඓරාවණ වනෝද්‍යානය ඇතුලේ තියන දිය ඇල්ල බලන්න යන්න ලැබුණා. ඒකේ දෙවෙනි ගේට්ටුවෙන් එහාට පාස්ටික් වතුර බෝතලයක් ගෙනියනවා නම් බාත් 40 ක ඩිපොසිට් එකක් ගේට්ටුවට ගෙවන්න ඕන. බෝතලය mark කරනවා. ආපහු එනකොට බෝතලය පෙන්නලා බත් 40 ආපහු ගන්න ඕන. ලංකාවෙත් බෝතල් කුඩු කරන පිස්සන්ට ේ ේ මේ වගේ ්‍රමයක් හැදුවොත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒ වගේම Drinking water dispensers ප්‍රසිද්ධ තැන් වල හදලා තියෙන එකත් හොඳ පිළියමක්.

      Delete
  2. ඔය පොඩි පොඩි දේවලින් ලංකාවත් ඉහලින් ඉන්නවා. බිහිරි සේවකයයින්ගෙන් පමණක්ම සමන්විත Pizza Hut එකක් කොළඹ තිබෙනවා. මේ ඒක ගැන විදේශ වල පළ වෙච්ච වාර්ථා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. ළඟදී දැම්ම පීසා හට් එක. හරිම හොඳ වැඩක්. හැබැයි ගොඩක් විශෙෂ අවශ්‍යතා ඇති ළමයි ගෙදර කොන් කරලා තියෙන අවස්තා වැඩියි.

      Delete
    2. අනේ එහෙමද .. ඒක කොච්චර වටිනවද

      Delete
  3. සියැටල් ගැන මුලින්ම දැනගත්තෙ එවක ඇමරිකානු ජනාධිපතිවරයාට යවපු චීෆ් සියැටල්ගෙ බොහොම ප්‍රසිද්ධ ලියුම හදාරනකොට.

    ඒ වගේම මැදපෙරදිග ආව අලුතම වම දකුණු ගැටළුව දරැණුවට තිබ්බ. ඇෆ්ඇෆ්ගනිස්තානයේ ගිහිල්ලත් පණපිටිං ආපු මංතුමා පාර මාරැවෙනකොට මැරෙන්නම ගියා කිහිප වතාවක්.

    ReplyDelete
  4. විශේෂ අවශ්‍යතා ඇති අයව කොන් කරන්නෙ නැතුව ඒගොල්ල සාමාන්‍ය සමාජයට හුරු කරවනවනං ඒ අයට තියෙන ගොඩක් ප්‍රශ්න මගහරවගන්න පුලුවන්. නමුත් ලංකාවෙ ගොඩක් මිනිස්සු ඒ වගේ අය ගැන බලන්නෙ වැරදි විදියට.

    ReplyDelete
  5. අර දඩ ගහන සිස්ටම් එක නං ලංකාවට හරියටම ගැලපෙනව

    ReplyDelete
  6. මං ඉස්සෙල්ලම සියැටල් ගැන ඇහුවෙ ට්වයිලයිට් කතා මාලාවෙන්. ඒකෙ ඔය පළාත ගැන හොඳට විස්තර කරලා තියෙනවා...
    මෙහේ ඉන්න බොහොමයක් ආබාධිත අය අනිත් අය වගේ වැඩ කරනවා දැකලා මටත් හිතුනු දෙයක් තමයි එහෙම උපදිනවා නම් මේ වගේ රටවලවත් උපදින්න ඕන කියන එක. ඒත් ඉතින් ඒක තමුන්ට ඕන විදියට කරගන්න පුළුවන් දෙයක්යැ.
    අර කොළ හැලිලා තියෙන පින්තූරෙ හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ලෝකෙන් උතුම් රට ලංකාවයි...
      සිරි ලංකාවයි..
      ලෝකෙන් උතුම් රට ලංකාවයි...
      සිරි ලංකාවයි..

      Delete
  7. මෙල්බර්න්වල ඉන්න විශ්වවිද්‍යාලය මොකක්ද?

    ReplyDelete
  8. නියම සටහනක් . වතුර බෝතල් සහ විශේෂ අවධානය යොමු විය යුතු අය කොන් නොකර ඉන්න ආකල්ප වෙනසක් අවශ්‍යමයි . ඔබේ ලියුම් රටාවට කැමතියි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...