නාඩි සෙට් එක

Friday, May 15, 2015

වියපත් වෙසඟන



 රෑ තවම තරුණයි සල්ලාල දෙනෙතට
නුරා ගිනි නැවිලේද සුරා සොඬ ඇසකට
තරබාරු මුදලාලි සයිමන් නැතත් අද පැයකට
නාට්ටාමි පිටකින් ගත්තු පන්සීය වටී මට ගමකට

පාට වැඩි කියුටෙක්ස් රැළි ඇඟිලි කැත වහන්ට
වයසට සැලෙන තොල් ලිප්ස්ටික් ලා මකා ගන්ට  
එල්ලෙන පයෝදර ඉහළට කර එල්ලගන්ට  
පේමන්ට් බලාගෙන අඩන තන පුඩුව පේන්නට  

කඩල ගොට්ටක් අරගෙන යන්නත් හිතයි දෝණිට
අහුඋනොත් ඒකත් ගනියි මහ එකා බයිටට
සන්තෝසම් මුදල් දෙන ලියන මහතැන් ආවට
දුන්නෙත් නෑ කාසි උන්ගෙත් පර්ස් බර නෑ ඕසෙට

දිගු දෑස් කෝල බැල්මන් නැතත් කම් නෑ මෙතැනට
ඕනෑ ගුලක් විතරයි අසංවර ලිඟුවට
ආටා එකත් කදිමයි ලිහිල් සළු ගලවන්ට
සිලික් ඇතිරිලි සුදු රෙදි ලැබෙයි මළගම දාට  


ප්‍රස්තුතය - ආමර් විදියේ සුරා සැලක් අසළ රැයෙහි සරනා ගණිකාවක්

Monday, April 27, 2015

ඉන්ටවිව්

“ඔයාගේ නම්බර් එක ෆෝර්ට් සෙවන්. ඉස්සරහට වෙලා ඉඳගෙන ඉන්න. නම්බර්ස් පිළිවෙළට තමයි ඇතුලට ගන්නේ”

ටයි පොල්ල ටිකක් තද කරගෙන ඇතුළට AC එකෙන් සීත කරපු කාමරේ ඇතුලට එබුන ගමන් ඉස්සරහ ඩෙස්ක් එක ළඟ වාඩි වෙලා හිටිය සිරියාවන්ත ගෑනු ළමයා බාගයක් ඉංගිරිසියෙන් කෙටුවා. එහෙම්මම අනිත් පැත්ත හැරුණු මම බිත්තිය දිගට තියලා තිබිච්ච ප්ලාස්ටික් පුටු පේළියේ ඉතුරු වෙලා තිබ්බ පුටුවකට බර දුන්නා. 

පුටු පේළිය පිරෙන්න ළමයි ඇවිත්. ඔක්කොම මේ ජොබ් එකටමද දන්නේ නෑ...

හොඳටෝම දාඩිය දාල. බයට නෙවෙයි. පැයක් විතර සාඩින් වගේ පැක් කරපු 154 බස් එකේ හිරවෙලා ඇවිත් බැහැපුවහම දාඩිය විතරක් දාල බේරුනොත් ඇති. ලේන්සුව සාක්කුවෙන් ඇඳලා ගන්න ගමන් මං ඉස්සරහ දිලිසෙන වීදුරුවෙන් ලාවට පේන මං දිහාම බැලුවා. 

ටොපියාගෙන් ඉල්ල ගත්තු කලිසම නම් ගානට හරි! බැච් එකේ හැමෝගෙම ඉනේ ගානට හිල් හදලා තියෙන ලෑටියාගේ බෙල්ට් එක මං අරං ඇවිත් සතියකටත් වැඩියි. ඇයි ඉතිං හැමදාම මේ වගේ බඩ ගැන එකනේ වැඩේ. සපත්තු දෙක ගලෝගන්න තිබ්බනං මරු. හරි අමාරුවෙන් සොක්කා ට බටර් පාර ගාල සපත්තු කුට්ටම ඉල්ල ගත්තේ. හැබැයි ඇඟිලි හරියෙන් ටිකක් හිරයි වගේ... ලේස් එක පොඩ්ඩක් බුරුල් කරලා තියා ගත්තහම හරි. 

එහා පැත්තේ ඉන්න එකානම් ෆුල් රෙඩි පිට වගේ ඇවිත් තියෙන්නේ. ඌ ළඟින් එන්නේ මහ සැර සෙන්ට් පුසුඹක්. අපිට කොයින්ද ඉතිං ප්‍රෝ ස්පෝර්ට්. ඔඩිකොලෝන් පිහිට තමා. 

නිකමට වගේ මං කොනේ ඉඳන් ඉගෙන ඉන්න කට්ටිය දිහා බැලුවා. ගොඩක් උන් ඉන්නේ බයෙන් වගේ. සමහරු තනියම හිමින් මොනවාද කියවනවා. සමහර කෙල්ලෝ ෆෝන් එක දිග ඇරගෙන ඒ දිහා බලාගෙන ඉන්නවා. ෆයිල් එක හදනවා. වැඩ ගොඩයි.

මට පුටු හතරක් එහායින් ඉන්න ගෑනු ලමයානම්.. අප්පේ... ඒකිගේ මූණේ තියෙන මේකප් තට්ටුව! ෆයිල් එක අතේ තිබුනේ නැත්නම් ඇදගෙන හිටිය කොට්ට උරේ දිගේ හැටියට අවීචි මහා නරකාදියම බලාගන්න තිබ්බා. මට හීන් හිනාවක් ගියා. 

ෆයිල් එක ඇතුලට නැමිලා මොනවාද කියෝන කන්නාඩි දාපු පිරිමි ළමයාට එහා පැත්තේ ඉන්න කෙල්ල නම් කොහේදී හරි දැකලා තියනවා වගේ. පිකට් එකකදී වෙන්න ඇති. නැත්නම් කොහේ හරි පෙරලා ගත්තු බකට් එකක සම්මාදම් කාරියක්ද දන්නෙත් නෑ. මොනා උනත් සිරියාවන්ත ළමයා. හිනා වෙනකොට හරි ලස්සනට කම්මුලේ වලක් හැදෙනවා.

මට එහා පැත්තේ පුටුවේ ඉන්න කොල්ලා ආපු වෙලේ ඉඳන් තනියම මොනවාද කියනවා. ඉස්සරහ තියන ජනේලයෙන් එළිය බලනවා. බෑග් එකේ තියෙන වතුර බෝතලයක් ඇදලා අරගෙන ගුඩු ගුඩු ගාලා වතුර බොනවා. මිනිහා ඉන්නේ බයෙන් වගේ. පලවෙනි ඉන්ටවිව් එක වෙන්නැති. අපි වගේ ඉන්ටවිව්මැ දහයකට පහළවකට ගිහිං තෙම්පරාදු උනාම ඔය බය ඉබේම නැති වෙලා යයි. මං ඒ කොල්ලා දිහා බලලා හිනා උනා. ඌ බයෙන් වගේ බිම බලා ගත්තා. පව්...

“හෙලෝ.. How are you? Which university you from?”

මට එහා පැත්තේ ඉන්න එකා කඩ්ඩෙන් වැනුවේ නැතැයි! යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නයි! ඔන්න ඔහේ මමත් ඇදලා දානවා.

විස්තර ටික කියලා කරලා බලපුවහම ඌ කොහෙද මන්දා උපාධි දෙන ආයතනයකින් උපාධි ගත්තු එකෙක්. ඌ මගෙන් අහනවා රජයේ කැම්පස් වල උන් හැමදාම මේ පාරවල් ගානේ උද්ඝෝෂණ කරන්නේ ඇයි කියලා...

“උන් ඒ විදිහටවත් කෑ ගැහුවේ නැත්නම් උඹේ පොඩි එකාට ඉස්කෝලෙට ෆීස් ගෙවලා ඉගෙන ගන්න වෙයි බං”

ඒ ටික විතරක් කියල මං අනිත් පැත්ත හැරුනා. 

මං අතේ තිබිච්චි ෆයිල් එක දිග ඇරියා. රිසල්ට් ෂීට් එක.

ඉස්සර ක්ලාස් යද්දී, ඉස්කෝලෙදි ගුරුවරු කිව්වේ “කැම්පස් පලයන්. එතකොට අමාරු විභාග ඔක්කොම ඉවරයි” කියලා. එහෙම කියපු කට්ටිය හොයලා ග්‍රීක් භාෂාවෙන් අන්ඩර දෙමළ කියලා දෙනවා වගේ තියෙන ලෙක්චර් එකක වාඩි කරලා තියන්න හිතෙනවා. ඇසයින්මන්ට්, මිඩ් එක්සැම්, වයිවා, ප්‍රොජෙක්ට් මෙකි නොකී හැම විකාරයක්ම කරලා හරි අමාරුවෙන් ගොඩ දාගන්නේ. එක්සැම් එක කට උඩ තියලා අපේම එකෙක් කරන කුප්පිය නැත්නම් අපි තාමත් කැම්පස් එකේ! 

ෆ්රෙෂර්ස් මීට්, කලා දින, පිකටින් අස්සේ අවාරෙට පොල් වැටෙනවා වගේ එහෙමත් දවසක ලෙක්චර්ස් ගියත් එදාටත් කළේ නිදා ගත්තු එක. නැත්නම් මනෝ පාරක් ගහගෙන ඔහේ බකං නිලාගෙන හිටිය එක. නැත්නම් කියන එකක් තේරෙනවා කියලයි!

“අද” පත්තරේ වැඩිම දවස් ගානක් විකුනපු එකට සහතිකයක් හම්බවෙනවා නම් මේ ෆයිල් එකටම දාගන්න තිබ්බා. එහෙම හරි කරලා නංගිට පන්ති සල්ලි ටික යවපු එක ලොකු දෙයක්. ඒකි යාන්තම් මේ අවුරුද්දේ විබාගේ ගොඩ දාගත්තොත් ඒ ඇති.   

ඒ අස්සේ ඇන්ටි කෙනෙක් ඇවිත් පෝලිමේ ඉඳන් ඉන්න උන්ට තේ අල්ලනවා. 

“තැන්ක්යූ...”

තේ කෝප්පේ ගත්තු ගමන් මතක් උනේ සීනි රහ නැති කැන්ටිමේ පහේ තේ එකයි, කවදාවත් හපලා ඉවර කරන්න බැරි වඩයයි. විසි පහේ බත් එකෙන් අවුරුදු හතරක් බඩ පුරෝගෙන කැන්ටිමේ කෑම නැති දවසට හන්දියට බඩ ගාල සීයේ බත් එක කද්දී බත් හිර උනේ ඒ වේල් හතරක සල්ලි හින්දා.

තේ කෝප්පේ බොන ගමන් මං ආයේ ඉඳන් හිටිය උන් දිහා බැලුවා. ඔන්න එක්කෙනක් ඇතුලේ ඉඳන් එලියට ආවා. උගේ මුණ නිකම් දෙඹරු ඇනපු ගානයි! ආයේ දෙකක් නෑ ඉන්ටවිව් බෝඩ් එක හොඳටම අන්නන්න ඇති. මොනවා කරන්නද! හරි යනකං ඉතිං මුන්ගේ රැස්පට් බලන්න ඕනෙනේ. 

“තර්ටි ෆයිෆ්....”

අර ඉඳගෙන හිටිය සිරියාවන්ත ගෑනු ළමයා නම්බර් කියවනවා. ෆයිල් එකත් උස්සගෙන තව එකෙක් ඉබේ වැහෙන විදුරු දොරෙන් ඇතුලට ගියා. 

“ඔයාට මේ ජොබ් එක හම්බුනොත් අපි අද හවස මැක්ඩොනල්ඩ් එකට යමු”
“ඒ මොකටද?”
celebrate කරන්න නේ අනේ..”

අද උදේ “එයා” කෝල් කරද්දී කිව්වේ ඒ ටික. මැක්ඩොනල්ඩ් යන්න තියා හවස බෝඩිමට යන්න බස් එකට දෙන්නත් වෙන්නේ පර්ස් එකේ අඩිය හූරලා... ආදරේ කියන්නේ සල්ලි.. සල්ලි කියන්නේ ආදරේ වෙන්න වැඩි දවසක් යන්නේ නැති වෙයි. 

ඉස්සර පච බංකුවේ ඉඳන් අපි දෙන්නා මවපු හීන... ලොකු හෝටලේක වෙඩින් එකක්... සිංගප්පුරු හනිමුන්... අපිටම කියලා පුංචි කාර් එකක්... හීන.....

විදුරු දොරෙන් එළියට එන සමහර එවුන් එන්නේ සතුටින් ඉපිලී ඉපිලී. මහා ලොකු බරක් ඉටවිව් ටේබල් එක උඩින් තියලා එනවා වගේ. සමහරු එන්නේ නිකම් දාහට අරං සීයට දීපු ගානට. 

“තව ටිකක් තෙම්පරාදු වෙලා වරෙන්” 

AC එකේ වැඩි වෙලාවක් හිටිය හින්දද මන්දා ඔළුව ටිකක් රිදෙනවා. මොනවා කරන්නද.. ඉවසන් ඉන්නත් එපැයි. ඔරලෝසුවේ කට්ට වේගෙන් කැරකෙනවා. ඒ කියන්නේ අපි වයසට යනවා. 


“නම්බර් ෆෝර්ට් සෙවන්....”  


පින්තූරය - www.collegemagazine.com
Related Posts Plugin for WordPress, Blogger...