නාඩි සෙට් එක

Saturday, June 14, 2014

ඔත්තු දෙකක්!

ඔත්තු දෙකක් කණේ තියන්න කියලයි ඔන්න නාඩියා හදන්නේ!

පලවෙනි ඔත්තුව නම් කස්ටිය දන්නවත් ඇති...
අපි හැමෝම සයිබරේට එකතු පහදු වෙච්චි උදවිය වෙච්චි සමාජ ජාල එක්ක ඉතිං හැමදාමත් සහ සම්බන්ධයිනේ.. කවුරු මොනවා කිව්වත් ඒක අපේ ජිවිතේ කොටසක් වෙලා ඉවරයි. හැබැයි කොරන්න ඕනේ දේ තමයි ඒ දේ හරියට පාවිච්චි කරන එක. දැලි පිහියෙන් උනත් කිරි කෑවොත් කිරි රහයි. 

ඔන්න එහෙනම් Social Media Day එකක් ගැන මේ කියන්න යන්න. ලංකාවේ තෙවැනි වරට පවත්වන්න යෙදෙන Mashable Social Media Day ( #SMDayCMB )එක ඔන්න මේ මාසේ ඒ කියන්නේ ජුනි මාසේ 29 වෙනිදා පවත්වන්න කටයුතු ලක ලැස්ති වේගන යනවා. 

සමාජ ජාලකරණය කොහොමද අපේ සමාජයට බලපාල තියෙන්නේ.. මොන වගේ දේවල් ද වෙනස් වෙන්න ඕනේ වගේ කරුණු කාරනා වගේම හැබෑවටම දැක්ක නැති හැබැයි සයිබරේ නිතර අහන දකින මූණු ගොඩක් බලා හදාගන්නත් එදාට එකතු උනොත් පුළුවන් වේවි...

උඩ තිබිච්ච ලින්ක් එකෙන් ගිහිං එහෙනම් විස්තර සබ්බ සකලමනාවම බලාගන්නකෝ...

ඒත් එක්ක ඔන්න ජන්දේ දාන්නත් පුළුවන්...


ඔන්න මෝස්ට් පොපියුලර් බ්ලොගර් එහෙමත් තෝරනවා කියන්නේ.... ;)

ජුනි 29 තමයි දවස...

කොහොමෙන් කොහොම හරි එදාට නාඩියාට නම් එන්න වෙන්නේ නෑ! (සාදු කියපල්ලා ඉතිං)

ගොඩ ගැහිච්චි වැඩ කඳු අස්සේ නාඩියා ජුනි 20 රට අත ඇරලා යන්නයි සුජානම.. පාටි නෑ බොලව්! සති පහ හයකින් ආයේ එනවා!!

 ඇමරිකානු රජයෙන් ලැබිච්චි ශිෂ්‍යත්වෙකට නාඩියා මේ විසි වෙනිදා ඔබාමා මාමාගේ රටට ගච්ච්නවා...... සියැටෙල් නුවර වොෂින්ටන් සරසවියේ “New Media & Journalism” ඒ කියන්නේ ඔය සමාජ ජාල භාවිතය ගැන එහෙම ඉගෙන ගෙන එන්නයි නාඩියාගේ කල්පනාව. 

එහෙනම් මාස එක හමාරකට දෙකකට විතර බොලාගේ බ්ලොගී වල කොමෙන්ට් එහෙම නැති උනොත් දුම්මල වරම අතට අරං බනින්න එනවා එහෙම නෙවෙයි!

ඉස්පාසුවක් ලැබුන ගමන් එහෙ විස්තර ටිකකුත් කොටන්නම්කො එහෙනං....

ඔය පැත්තේ ඉන්න එකෙක් එහෙම ඉන්නවනම් නොම්බරේ එවපන්.. ඇවිත් පෝන් කෝල් එකක්වත් දෙන්නම්කො.... දෙවැනි ඔත්තුවත් ඔන්න දුන්නා!

එහෙනං....   

එදා රෑ..... ගුවන් තොටුපොලේදී මා........


Tuesday, June 10, 2014

බිත්තිය




හමු නොවන්නට තිබුණු දෙහදක්
අහම්බයකින් හමුවෙලා...
මහ බඹුන් කල අලකලංචිය
නිසා දෙහදක් ගොළු වෙලා....

බැඳ දැමූ බැමි සුනු විසුණු කර
රන් රසේ ලෙස එක් වෙලා...
ගයන්නට පෙම් ගීය ඔවුනට
සත්සරේ අමතක වෙලා...

නෙත් තෙමා එන කඳුළු ගඟුලැලි
සඟවලා හසකැන් පෙරා...
ගයයි ආසිරි ගී තුටින් උන්
දෙහද අඳුරක අගුළුලා....

Saturday, May 17, 2014

කෝ???

උදේ පාන්දර හයයි දහයේ බස් එකට නැග්ග මම රතු පාට CTB බස් එකේ මුල්ලක් අල්ලාගෙන හොඳට නිදා ගන්නවා. බස් එකේ ජනේලෙත් එක්ක හයි කරලා තියෙන දිලිසෙන ඇල්මිනියම් බටේ වැදිලා තඩිස්සි වෙච්චි තට්ට ගෙඩිය අත ගාන ගමන් මං පිටකොටුවෙන් බහිනවා. 

වෙනසක් නෑ. වෙනදා වගේමයි. කෑල්ලක් සීයයි.. හැටයි හැටයි අරං යන්න.... අද විතරයි වෙන කොහෙවත් නෑ කිය කියා සද්ද ඇහෙනවා. ඒ ඔක්කොම සද්ද පරද්දගෙන හැම තැනින්ම එකම විදිහේ කවි ටිකක් ඇහෙනවා. අම්මා ගැන තාත්තා ගැන කියපු කවි ටිකක් හරි අපූරුවට මහ සද්දෙන් පේමන්ට් එකේ ඇහෙනවා. 

බෝධිය ඉස්සරහින් පාර පනින්න ගිහාම පොඩ්ඩක් බලාගෙන ඉන්න වෙනවා. කාකි සූට් එක ඇඳලා සන් ග්ලාස් එකක් එහෙම දාගෙන ඉන්න පොලිස් අයියා හරි හදිස්සියෙන් නලා පිඹ පිඹ කට්ටිය එහා මෙහා කරනවා.
එතන ඉඳන් කොටුව පැත්තට තියෙන කඩ පේළිය අරින්න පටන් ගන්නේ දැන්... කහ වතුර පුරෝපු දිලිසෙන පුංචි බේසම් අරගෙන එලියට ආපු කඩවල ඈයෝ පාරටත් කහ වතුර පොඩ්ඩක් ඉහිනවා. කෙලවරේ කඩේක ඉන්න පිරිමි ළමයා සාම්බ්‍රානි පැකට් එකක් රතු පාට වෙච්චි පොල් කටු අඟුරු තියෙන දුම් කබලට දාගෙන දුම් අල්ලනවා.

නිදි මතේ හිටපු මට ඒ දුම් සුවඳට ඇහැරෙනවා. ඉක්මනට අඩිය ඉක්මන් කරලා 120 බස් එකක් අල්ලගන්න දුවනවා, 

කොටුව ඉස්ටේෂම ඉස්සරහ අට්ටාලයක් ගහලා තියේ. රටේ උගත්තු යැයි සම්මත වෙච්චි උපාධි අපේක්ෂකයෝ ගොඩක් අට්ටාලේ උඩට වෙලා බලාගෙන ඉන්නවා. උන්ගේ ඇස් වල තියෙන්නේ බලාපොරොත්තුවක්. 

අවුරුද්දට ගෙදරින් කිරිබත් කටක් කන්න බැරි උනාට කැම්පස් ඇතුලේ වද දෙන දහසක් වෙච්චි ප්‍රශ්න ඉවර කරලා හැමෝම එකට කිරිබත් කමු කියන බලාපොරොත්තුව උන්ට තියනවා.

කඳුළු වේලිච්ච ඒ ඇස් දිහා බලාගෙන මූණු හපුටු කරගෙන යන සෙනඟ අතරේ නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගත්තු එකෙක්වත් නැතිව ඇති කියලා මට සැක හිතෙනවා.

120 බස් එක සැර දාගෙන ඇස් වාට්ටුව පහු කරනවා. විහාරමහාදේවි පාක් එකේ වටේට ලස්සනට හීනි පාරවල් හදලා තියේ. සූදු සපත්තු දාගත්ත නෝනලා හති ඇර ඇර අර පාරේ දුවනවා. සපෝටර්ස් හයි කරපු උස නැති පුංචි බයිසිකල් වල නැගපු පුංචි උන් දුවන සෙනඟ අස්සේ වෙට්ටු කපනවා. 

වෙනදා පොලිසිය ඉස්සරහින් බහින මට පොඩ්ඩක් හෝල්ට් එක පහු කරගෙන ගිහිං ඉස්සරහින් බහින්න හිතෙනවා. උදේ වැටිච්ච ඉර අව්වට රේස් කෝස් බිල්ඩින් එක සූදු පාටට දිස්නේ දෙනවා. 

සූදු පාට බිල්ඩිම උඩින් කහ පාට ලොකු එම් අකුරක් පේනවා. රේස් කොස් එක එළියේ හයි කරපු බංකු වල වාඩි වෙච්චි මහත්තුරු ටිකක් කෑම කනවා. පිටිපස්සට වෙන්න කොළ පාටට පේන පිට්ටනියේ ඉස්කෝලේ ළමයි වගයක් රගර් ප්‍රැක්ටිස් කරනවා. 

රේස් කොස් එක අස්සෙන් ඇවිදගෙන මම ඉස්සරහට එනවා. නිදහස් චතුරශ්‍රේ ඉස්සරහ තියෙන වතුර මල ළඟ පුංචි එකෙක් දන ගහගෙන වතුර අත ගානවා, ඊට පොඩ්ඩක් එහාට වෙන්න ආච්චි කෙනෙක් වාඩි වෙලා පොතක් කියවනවා. 

නිදහස් චතුරශ්‍රේ වටේට වවලා තියෙන තණකොළ බිස්සේ තැන් තැන් වල ජෝඩු ජෝඩු උන්ගේ ලෝක වල තනි වෙලා ඉන්නවා. රෑ රතු පාට නා දළු වැක්කෙරෙන නා ගහ යට තුරුළු වෙච්චි ජෝඩුවේ ඉන්න ගැනු ළමයා හිනා වෙනවා මට ඇහෙනවා. ඒ ළමයා හිනා වෙද්දී ලස්සනට කම්මුලේ වලක් හැදෙනවා. කෙලවරේ ඉන්න ගල් සිංහයා කට බලියාගෙන බලාගෙන ඉන්නවා. 

මට 2008 අවුරුද්ද මතක් වෙනවා. අද වගේම ඒ දවස් වලත් මම 120 බස් එකේ මෙතනට එනවා. උසට හදලා තියන තාප්ප පහු කරගෙන මම කෙලවරේ තියෙන මුර මඩුවට එනවා. අරගෙන එන බෑග් මලු ඔක්කොම චෙක් කරලා ඉන ඉහ අත ගාලා සංස්ථා අයි.ඩි එක චෙක් කරලා ඇතුලට යන්න දෙනවා. එහෙම යද්දී අව්වට දිලිසෙන බැජ් එකක් ගහපු බෙරේ එකක් දා ගත්තු හමුදාවේ අයියා “ගුඩ් මෝර්නින්” කියනවා” මම හීනියට ගුඩ් මෝර්නින් කියාගෙනම බිම් එකට දුවනවා.

එදා “ගුඩ් මෝර්නින්” කියපු අයියා අද PT කිට් එකක් දාගෙන රේස් කෝස් බිල්ඩිමට එහා පැත්තේ අලුතින් හදන බිල්ඩිමේ බදාම අදිනවා මට පේනවා. 

මම “ගුඩ් මෝර්නින්” කියන්නේ නැතිව ඇතුළට යනවා.....


පින්තුරේ : www.telegraph.co.uk
Related Posts Plugin for WordPress, Blogger...