නාඩි සෙට් එක
Saturday, April 12, 2014
ඔන්ලයින් අවුරුදු? ඈ???
කජු ඇට ද කොස් ඇට ද! මෙන්න online අවුරුදු! ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙන්න full online අලුත් අවුරුදු උත්සවයක්!! පිස්සු බම්ප් වෙනවා ඈ! ඇතෙක් බරට තෑගී ලු!
ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රථම Online අවුරුදු උළෙල, IMCD අපි ඔබ වෙත ඉදිරිපත් කරන්නෙ මහත් වූ ආඩම්බරයකිනි! ඔබ ලොව කොතැනක සිටියත් ,තරඟ ඉසව් රැසක් සමඟින් මෙම අවුරුදු උළෙලේ අසිරිය විඳ ගැනීමට ඔබට අවස්ථාවක් ලබදීමට අප සූදානම්!
අපේ අවුරුදු උළෙලේදි ඔබට සහභාගී විය හැකි තරඟ ඉසව් ,
1.අවුරුදු කුමරා
2. අවුරුදු කුමරිය
3. කනා මුට්ටි
4. අලියාට ඇස තැබීම
5. ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම
6. කඹ ඇදීම
7. ලිස්සන ගහ නැගීම
8. කොට්ට පොර
9. බාධක දිවීම
10. බෝනික්කාට නම දැමීම
11. සැඟවුණු භාණ්ඩය සෙවීම
12.හොඳම හිනාව
13. හොඳම ඇඬීම
14. ලොකුම බොරුව
15.සැඟවුණු අමුත්තා
ජයග්‍රාහකයින් සඳහා වටිනා ත්‍යාග ලබාදීමට මව්බිම Ceylon Today සහ DIALOG ආයතන සූදානමින්.
දැන්ම ඔබෙ මිතුරන් දැනුවත් කරන්න.සියලු දෙනා සමඟින් 13 වන දින සවස 6 සිට අවුරුදු අසිරිය විඳ ගැනීමට ඔබත් එක්වන්න..
ප්‍රධාන අනුග්‍රාහක / Partnering with : මව්බිම (Mawbima) Ceylon Today
Powered by : Dialog Axiata
තාක්ෂණික අනුග්‍රාහක : Brightron Solutions
ඔය ඇති! වැඩි විස්තර ටික ඔක්කොම බුකියේ event එකේ තියනවා!!
එහෙනම් ශ්‍රී සුභ නව වසරක් වේවා ඈ!!!!
කිරි ඉතිරේවා නව වසරේ!!!!
Saturday, April 5, 2014
ආටක නාටක
ඇතාවැටුණු වැව සියාතු
ගොයියාට කාසි පනම් වල අඩුපාඩුවක් තිබුනේ නැත. වතු පිටි වලින් එන ආදායමට හරි හරියට
හරකා බාන නඩත්තු කරන එකෙන් එන මිල මුදල් ටිකත් එකතු පහදු උනාම අඩුවක් පාඩුවක්
නැතිව විය පැහැදම් කරන්නට කාසි පනම් අතේ තිබ්බේය. ඒ අස්සේ මැම්බර් මහතැන් ගිය
ජන්දෙන් පස්සේ ගංතුලානේ උන්නැහේට උදව් පදව් කරපු මිනිස්සුන්ට තාන්න මාන්න දීපු
වෙලේ සියාතු ගොයියටත් සාම විනිසුරු පට්ටමක් පන්ගරාත්තු වුනේය. ඒ හින්දාම ගමේ ගොඩේ
උන්ගේ සහතික කොළ මිටි අත්සන් කරලා පඬුරු පාක්කුඩම් ටිකක් පොදි ගහන්නට ඒ නිසාම ඉඩ
පරස්තාව ලැබුණි.
කුමාර, සියාතු ගොයියාගේ
ලොකු පුතණ්ඩියාය. නාමලී මැණිකේ කුමාර ඉපදී දොළොස් අවුරුද්දකට පස්සේ මිය පරලොව
ගියාට පස්සේ කුමාර බලා කියා ගන්න හිටියේ සියාතු විතරය. ඒ නිසාම ඕනෑවට වඩා නිදහසක්
ඉලන්දාරියාට ලැබුනේය. ගං තුලානේ වතු පිටි අස්සේ කරක් ගහමින් කොල්ලෝ කුරුට්ටෝ එක්ක
රංචුවට වැටී රෑ දෙගොඩ හරි යාමේ ගේ දොර මතක් වෙච්චි එකා වගේ හීන් සීරුවේ ගෙට
රිංගන්නට කුමාරට කිසිම තහංචියක් තිබ්බේ නැත. සියාතු ගොයියා ද වැඩි නිච්චියක්
නිලව්වක්නැති මනුස්සයා වෙච්චි කොලුවා යන එන තැන්, කරක් ගහන තැන් ගැන හොයා බලන්නට
වෙලාවක් කලාවක් තිබ්බේම නැත.
කොල්ලගේ කර දඬු උස් මහත්
විය. වදෙන් පොරෙන් වගේ ඒකා ඉස්කෝලෙට යැව්වත් ඉගෙන ගත්තු අකුරක් නැත. ගමේ එකෙක්
“සියාතු ගොයියෝ ටිකක්
හොයලා කරලා බැලුවනම් හොඳයි නේද කොලුවා කරන කියන වැඩ කටයුතු ගැන ටිකක්”
සියාතු කියන්නේ
“අම්මා නැති එකානේ බං.
ඔය කෙලි සෙල්ලම් කරන වයසනේ බං. හය හතර තේරෙන කාලේ එද්දී ඕවා හරි යයි. මොකෝ මොකෙන්
කියලා අඩුවක් පාඩුවක් ද! රටේ තොටේ පරක් තෙරක් දන්න කියන එකක්යැ. ලොකු තනතුරු
තානාන්තර මොකටද බං. ගොවිතැනක් බතක් කරගෙන ඉන්න පුළුවන්නේ බං. මේ ඉඩම් කඩම් ටික බලා
කියා ගන්න එකෙකුත් එපැයි!”
සියාතු ගොයියාත් කොලුවාට
සැර වැර කරන්නට ගියේ නැත. ඕනෑ එපාකම් ටික හොයා බලා සල්ලිය බාගේ අතට දුන්නා විතරය.
කුමාර කොලුවාත් කිසිම අර පරිස්සමක් නැතිව විය පැහැදම් කරගෙන හොඳ හොඳ අඩව් කස්තිරම්
ඇල්ලුවේය.
කොහොමෙන් කොහොම හරි
කොලුවා 10 විභාගෙට වාඩි උනේය. අනෙක් උන් ලියන කරන ඒවා දිහා ඕනෑවට එපාවට බලං හිටි
කොලුවා වෙලා පහින්ම ප්‍රශ්න පත්තරේ බාර දීලා එලියට ඇවිත් වෙනදා වගේම බූරු පොළේ
සූදු කෙලින්ටත්, අල්ලපු කඩමණ්ඩියේ වෙලේ කඩේ ගැටිස්සිගේ අනගාර දඟර බලන්ට යන්ඩත්
කාන්ඩේ එක්ක වැටුනේය.
අනේ වාසනාවට අතුරු
ආන්තරාවක් නැතිව ලයිට් කණු පෝලිමක් ම ප්‍රතිපල කඩදාසියේ තිබ්බේය.
කොහොමෙන් කොහොම හරි ඔන්න
දැන් ආරංචි විදිහට සියාතු ගොයියාගේ පුතණ්ඩියා, කුමාර ප්‍රයිවොට් දොස්තර විභාගේ
අරගන්න යනවා කියන්නේ!
ලඟදි ශිෂ්‍යත්වේ කාලේ ලියපු පොතක් හම්බුනා. :D
Thursday, March 20, 2014
රාධා
“යුද්දේ ඉවර වෙලා
අවුරුදු ගානක් ගියත් අපේ අයගේ හිත් ඇතුලේ යුද්ධේ තාම ඉවර වෙලා නෑ රාධා..”
මොනරගල කෙළවරින් රතු
පාටට ගිනියම් වෙච්චි ඉර බැහැලා යනවා. ආකාසේ පාවෙන වලාකුළු අමුතුම පාටක් අරගෙන සැර
හුළං කොඩේට අහු වෙලා ආරාධනා ගල පැත්තට තල්ලු වෙනවා. හුළඟ නැවතිලා ඉගිල්ලිලා යන්න හදපු
කොහොඹ ගහේ අලුතින් ලියලපු දළු සද්ද නැතිව පාතට වැක්කෙරෙනවා. තාමත් මෙහෙන්දි පාට
ගිහිං නැති හීනි දිග ඇඟිලි වලින් මෙච්චර වෙලා හුළඟට දඟ කරපු කෙස් කැරැල්ල ආයේ උඩට
කරන ගමන් රාධා මං දිහා බලනවා.
“ඒක මම දන්නවා.. ඒත්....”
“නෑ රාධා කවදාවත් අපේ
අප්පච්චිලගේ අම්මලාගේ හිතන විදිහ වෙනස් කරන්න බෑ. එකම රතු ලේ අරවා මේවා කොච්චර
බයිලා ගැහුවත් ඔයා ගැන කිව්වහම මං දිහා බලන්නේ නිකම් මිනියක් මරලා ගෙදර එනවා
කියන්නා වගේ.”
රාධා.. ඔව්.. එයා දෙමළ...
පුංචි කාලේ යාපනේ හැදිලා වැඩිලා තිබ්බට යුද්දේ පටන් ගන්නකොටම වගේ යාපනේ ගෙවල්
දොරවල් අත ඇරලා කොළඹ ඇවිත්. අවුරුදු දෙකකට ඉස්සරලා කයිමන් දොරකඩින් ඇතුලට ඇවිත්
“අමරේ” රෙජිස්ටර් වෙන්න ආපු දවසෙත් ඉනෙන් පහළටත් කඩා හැලෙන ගොතපු දිග කොන්ඩේ උඩට
වෙන්න පොඩි පිච්ච මල් දෙකක් තුනක් ගහලා තිබ්බා මට මතකයි.
“ආ.. කෙල්ලට තේ දළු කඩන්න
කියලා තෝ වත්තේ මහත්තයා වගේ රඟ පාපන් බලන්න”
සින්නෝ ටිකක් “හිල්ටන්”
එක ලඟදි අල්ලගෙන පුංචි පහේ rag එකක් කරද්දී ලෙච්චමී උනේ
“රාධා. එදා ඉඳන් උදේ හවස හම්බුනත් හිතේ කියාගන්න බැරි මොකක් හරි හිර වෙලා තියනවා
කියලා දෙන්නටම තේරිලා තිබ්බා.
“උඹ සෝෂල් එක පැත්තේ
රවුම් ගහනවා වැඩියි.....”
මෙලෝ හසරක් තේරෙන්නේ නැති සුගතයාගේ ලෙක්චර් එක කට්
කරලා සෙනට් එකේ පඩි පෙළ යටට වෙලා සිය ගානක් වෙච්චි සෝෂල් කෙල්ලෝ මැද්දෙන් මතු වෙන
ඒ දොඹ ගෙඩි වගේ ඇස් දෙක බලාගන්න වලි කාපු මාව අපේ උන්ට නෝට් වෙලා තිබ්බා.
“අම්මලා අප්පච්චිලා හිත
රිදෙන දෙයක්නම් නොකරන එක හොඳයි... ඒත්.....”
“පච බංකුවේ” එහා පැත්තේ
ඉඳගෙන රාධා ඇස් දෙක තවත් ලොකු කරගෙන මං දිහා බලාගෙන ඉන්නවා. කවදත් හෙවණේට තිබිච්ච
පච ගහ මැද්දෑවෙන් හීනියට එන රතු පාට ඉර අව්වට ඒ ඇස් දිලිසෙනවා. කඳුළු....
“මෙයා දැන් කවි පොත් කියනවා
වැඩියි!”
“ඇයි අපිට කවි අකැප ද?”
“නෑ ඕවා කියවලා ඔය කෝඩ්
බෝඩ් ඔක්කොම අමතක වෙලා යයි!”
ලයිබ්‍රිය ඉස්සරහ තෙල්
බැම්මට වෙලා අපි වාද කළා. ෂ්‍යාම් සෙල්වදුරෙයි අමුතු ඉලන්දාරියෙක් උනේ ඇයි කියලා
අපි පැය ගණන් කතා කළා. මෙච්චර තාක්ෂනේ දියුණුයි කියලා කෑ ගහන ලෝකේ ප්ලේන් එකක්
නැති උනොත් හොයා ගන්න සති ගානක් යන එකේ මගේ කන්නාඩි දෙක හොයාගන්න මට පැය ගානක් යන
එක පුදුමයක් නෙවෙයි කියලා රාධා මට විහිළු කළා.
ඒ දවස ආවා. කළු පාට
ලෝගුව පොරෝගෙන එයා යන්න ගියා. තවත් අවුරුද්දක් ලුණු නැති බත් එකේ රහ බල බල හිටපු
මම ඇස් ලොකු කරලා හීනියට හිනා වෙන රාධා අමතක කරන්න වලි කෑවා.
අවුරුද්දක් ගිහිං. අලුතින්
කාපට් දාපු කැම්පස් එකේ ඇතුලේ පාරවල් පිරෙන්න කිචි බිචි ගැන සෙනඟ පිරිලා. රතු පාට
ලෝගු දාපු කට්ටිය පිටිපස්සෙන් අපිත් ඇතුලට ගියා. උපාධි බම්බුව අතට අරගෙන එලියට
බහිද්දී මං ගල් ගැහුනා!
“Congratulations….ආ.. අපේ cousin නංගි කෙනෙක් medical එකේ හිටියා. එයත් අද cloak දානවා. ඒ නිසා ආවා. Sorry...
අදුන්නලා දෙන්නත් අමතක
උනා. මේ රාජ්.... My husband. We
married last December.”
ඔව්.. ඒ රාධා!
පසුසටහන : අකුරු ඇමුණුමේ සමහර වදන් රජරට සරසවි උප සංස්කෘතියෙන් පෙරී ආ ඒවාය. රාධා මනකල්පිත චරිතයක් නොවුනත් මේ මගේ කතාව නොවේ. Off road යාමට බිය වූ කතා කාරයා මෙන්ම රාධා seat belt තද කරගත් යෞවනයේ තවත් එක් කැඩපතක් පමණි.
Friday, February 28, 2014
ආයිබෝ වේවා යම රජාණෙනි
ආදරණිය යම රජතුමාණන් වෙත
ලියමි,
හුඟ දවසක ඉඳන් ලියුම්
කරදහියක් ලියන්නට හිටියත් මලදාන,හත් දවස දාන, සත්‍යග්‍රහ අනම් මනම් ඒවා මේවා
හින්දා ඉස්පාසුවක් තිබ්බේම නැත. තරහ අවසර (නො) යම ද කින් තුමෝ මම මේ ලිපිය ලියන්නේ
ඔබතුමාගේ කුඩා මොළේට නූලෙන් ඩිස් මිස් විය හැකි ඉම්පෝටන්ට් ටොපික්ස් ටිකක් මතක්
කොරන්නටය!
මේ දොහේ අපේ ලන්තේ ජනතා
මතයට දෙකට තුනට නැමී හිස නමන චන්ද කාලේය! යම ලෝකේ පව් ලියන උන්නැහේලා අපේ පලා
බබාලා කියන බොරු ඔක්කොම ලියන්න ගියොත් තුන් ලෝකෙම මහා කොළ හිඟයක් ඇති වෙනවා නියතය.
ඒ හින්දා ඒ මෝඩ වැඩේ නොකර සිටීම ඇඟට ගුණය. මොකෝ ඒ බොරු කියන්නේ ළඟ එන හිංගල අලුත්
අවුරුදු උත්සවේ හොඳම බොරුව තරඟෙට ඉන්න මිසක්කා වෙන අටමන්ගල්ලෙකට නෙවෙයි ය.
සුරාමේරය නම් කැඩෙන්නේ
නැතිම තරමය. බොරුවට ඔය පැත්තේ ලෝදිය හැලි පිටින් රත් කොරන්නට ඕනේ නැත. අපේ අති
සුපින්වත් අම්බුළුවා උත්තමයා වැරදි කරන උන්ට පොවන්නටම නරකාදී පවුඩර් කන්ටේනර්
පිටින්ම ගෙන්වන්නේය.
ඊයේ පෙරේදා යම ලෝකේ
යමරෙට පාටි එහෙම තිබිච්ච බව අපිට ආරංචිය. මොකෝ අපේ ලන්තෙන් පරාණ තුන හතරක් සාරි,
කඹ, සල්වාරි පිහිටෙන් ඔය පැත්තේ ගැච්චු නිසාය.
ඉතිං යම කින් තුමනි,
කොහොමෙයි ආපු නඟාලගේ මලයලගේ වගතුග එහෙම? මතක් කරලා ඒ අසරණ සැට් එකට පැය 24ම බුකි යාමට පහසුකම් සලසා දෙනවානම් හොඳය. මොකෝ ඒ
උදවිය මෙහෙන් චුත වූයේත් බුකි කේස් නිසාය! අනිත් එක ඔය පත්තරකාරයෝ කියන එක එක ඒවා
අහලා ඒ අසරණ දරිවියොන්ට මහා දඬුවම් එහෙම දෙන්න එපාය. මොකෝ ඒ සම හරක් අය මෙහෙන් චුත
උනේ පිවිතුරු ප්‍රේමය නිසාය. මොනා උනත් නව තාක්සනේ එක්ක ආපු උන්නේ! වාසනාවන්!
තව ඩිංගිරිත්තෙන්
අහන්නත් අතමක වෙනවා මේ ටිකේ ලන්තේ මහා ඔටුනු සැණකෙළිය පැත්තේ එහෙම ගැච්චුවේ නැද්ද
අයිබෝවන්ඩ? මොකෝ හතර වටෙන්ම බස් දාලත් අද්දපු එකේ යම ලෝකෙට බස් එකක් දාන්න අපේ
ආඩම්බරකාර තාත්තට අතමක වෙන්න බැරිය.
අනිත් සැරේ ලන්තේ පැත්තේ
එනවනම් හොඳවයින් යම පල්ලියෝ දෙතුන් දෙනෙක් ඇන්න ආවනම් මෙහෙන් ගෞරව නාම
තානාන්තරයකුත් අරං යන්නට පුළුවන්ය. ඇන්න එන උන්ට රෙදි පෙරෙදි හොරකම් කරලා එහෙම
පළපුරුද්දක් තියනවානම් පංකාදු පහය!
සීවරන් දෙයියන්ගේම
පිහිටයි! ආරක්ෂාවයි !!!
මීට,
බ්ලොගී ජන ප්‍රසාදනී, බෘන්ග කලා ලෝකේෂ්වර, බුකි කීර්ති, තාක්ෂණ හිතවාදී, සමාජ ජාල සුබ සාධන, දිරිය වීර්ය පුත්‍ර නාඩියා
නාඩිරත්න මැතිතුමා
Subscribe to:
Posts (Atom)


.forblog.jpg)
