නාඩි සෙට් එක

Tuesday, January 7, 2014

දයාබර පරිගණිකාව


අලුත් අවුරුද්දේ පළවෙනි නාඩිය ටිකක් වෙනස් විදිහකට කොටන්න හිතුවා. දැන් ඉතිං ඔක්කොම දවසේ වැඩි දවසක් ජිවත් වෙන්නේ පරිගණක රාජයා එක්කනේ! අපේ සමහර උන්ට නම් ඉතිං ලැපී නැත්නම් ජිවිතයක් නෑ. මංතුමාටත් එසේම තමා. ඔය පරිගණක රාජයෝ එක්ක ගනුදෙනු කරන්න යමක් කමක් කරන්න පුළුවන් එකා වෙච්චි මට ඔය අන්ජබකල් වෙච්චි ලැප් කේස්.. මැෂින් කේස් බර ගානක් අහන්න වෙනවා. “අනේ මේක හදලා දෙන්නකෝ...” වැඩියෙන්ම ඉතිං බවලත් උදවිය ගෙන් තමයි.

මංතුමා කල්පනා කළා ඒ හින්දා පොඩි පොඩි උපදෙස් වගේ මෙව්වා ටිකක් දෙන්න කියලා අලුත් අවුරුද්දේ.

මට ඕනේ මොකද්ද?

මැෂින් එකක් ගද්දි පොඩ්ඩක් බලන්න ඕනේ මට මේක ඕනේ මොකටද කියලා. මොකෝ ලියුමක් ටයිප් කරලා film එකක් බලලා Facebook යන්න වගේ පොඩි වැඩවලට ලොකු RAM තියෙන VGA තියෙන මැෂින් ඕනේ නෑ. බොරු සල්ලි නාස්තියක්. හැබැයි ඉතිං programming කරන්න එහෙම අදහසක් තියනවනම් RAM එක හොඳ මැෂින් එකක් ගන්න එක ඇඟට ගුණයි. අනිත් එක ඔය laptop එකක් එහෙම ගනිද්දී review ටිකක් එහෙම කියවලා ගන්න. සල්ලි ටිකක් වියදම් කරන එකේ හොඳ එකක් ගන්න බලන්න.

පරිස්සම

මෙහෙමයි මං හිතන විදිහට මේ ලැප්ටොප් වලට ඉතිං බබා වගේ සැප දෙන්න ඕනේ නෑ.මගේ එක 2011 අප්‍රේල් වල ගත්ත දවසේ ඉඳන් මේ වෙනකම් අඩුම ගානේ දවසකට පැය 18ක් වත් on! බබා වගේ වැඩ! හැබැයි ඉතිං ඔය ලැප් ඒක උඩ තියාගෙන චොක්ලට් කන ඒවා. කිරි බොන්න ගිහිං හලා ගන්න ඒවා වගේ ඒවානම් කරන එක පව් ඈ! පුළුවන් හැමවෙලේම ලැප්ටොප් වල ventilation holes ඇරිලා තියන විදිහට තියන්න. පොඩි බ්‍රෂ් එකක් අරගෙන සතියකට සැරයක් වත් ඒවා පිහලා දානවනම් හොඳයි.

Operating System එක

අපි වැඩිය සැලකිලිමත් වෙන්නේ නැති දෙයක් තමයි මේක. ගොඩක් කස්ටිය හිතාගෙන ඉන්නේ windows තමයි ඉතිං එකම එක කියලා. නරකක් නෑ ඒකෙත්. මෙහෙමයි OS එක දාද්දි machine එකේ hardware requirements වලට හරියන එකක් දාන්න බලන්න. Windows family එකේ අලුතින් ඇවිත් තියන ජනෙල් 8 (Windows 8.1 එකත් තියනවා හරිය) ගොඩක් machine එක්කනම් හොඳට වැඩ කරනවා. හැබැයි ඉතිං Windows පාවිච්චි කරනවානම් මම දෙන අවවාදේ තමයි Original Software එකක් පාවිච්චි කරන්න කියන එක. ටිකක් සල්ලි යනවා තමයි. හැබැයි performance අතින් පැහැදිලි වෙනසක් තියනවා. කොහොම උනත් pirated software පාවිච්චි කරන එක වැරදියි නේ. (තොටනම් ඉතිං මොකෝ නිකම්ම හම්බ වෙනවනේ කියලා බැනපන් දැන්!)

සල්ලි ගෙවන්නත් අකමැතියි නම් ඉතිං තියන හොඳම විසඳුම තමයි Free & Open Source (FOSS) පැත්තට හැරෙන එක. Ubuntu, Fedora, Hanthana Linux, Cent OS වගේ ඒවායින් තමන්ට ගැලපෙන එකක් දා ගත්තහම ලේසියි. කට්ටිය කිව්වට ඒවාගෙන් වැඩ කරන එක අමාරුයි කියලා මොකෝ අපේ අය ඒවා දාගෙන ලොකු system ගහන්න යන්නේ නෑනේ. සාමාන්‍ය පාවිච්චියට පංකාදු පහයි ඉතිං. හැබැයි මේ වගේ OS එකක් install කරගන්න එක ටිකක් කල්පනාවෙන් කර ගන්න එක හොඳයි.

අලුතින් එන Dell laptop වල එහෙම Ubuntu දාලමයි එන්නේ. එහෙම එකක් windows වලට හරවා ගන්නවනම් දන්නා කියන කෙනෙක්ට කියලා hard එකේ partition ටික හරියට හදාගෙන දාන්න. නැත්නම් ඉතිං ටිකක් ලෙඩ දෙනවා.

Software කෝටියයි

Application software install කරද්දී අපිට ඕනේ ඒවා විතරක් දා ගන්න. හිතන්න මට ටික දවසකට විතරක් video ටිකක් edit කරගන්න තියනවා කියලා. එහෙනම් ඒ editing software එක පාවිච්චි කරලා ඉවර උනාට පස්සේ uninstall කරලා දාන්න. Setup එක ඕනෙනම් තියාගන්න පස්සේ ඕනේ උනොත් ආයේ දා ගන්න. අනිත් එක ඔය free software එහෙම පාවිච්චි කරද්දී ටිකක් පරිස්සමින්. ගොඩක් ඒවා අස්සේ තව එක එක ඕනේ නැති දේවලුත් install වෙනවා. 

Internet Downloading

දැන් ඉතිං හැමෝම internet එක්ක බද්ධ වෙලා ඉන්න එකේ අපි ගොඩක් දේවල් බාගන්නවා. හැබැයි මම දැකලා තියනවා මේ download කිරිල්ලත් එක්ක browser එක පිරෙන්නම එක එක add-on install වෙලා. Homepage මාරු වෙලා එක විකාරයයි. ඒ හින්දා මොකක් හරි  download කරන්න යද්දී එන message ටික එහෙම හොඳට කියවලා බලන්න.නැත්නම් වෙන්නේ machine එක slow වෙන එක විතරයි.


C එකේ නෙවෙයි desktop එකෙයි save කලේ.

අද තියන ගොඩක් මැෂින් වල ලොකු hard එකක් තියන නිසා ඒක partition කරලයි තියෙන්නේ. එහෙම තියෙද්දී රීතියක් විදිහට C drive එකට අපි OS එක දානවා. Software ටිකත් දානවා. එහෙම එකේ අනිත් තියන ෆිල්ම් සින්දු අනම් මනම් ටිකත් ඒක අස්සෙම පුරවන්න යන්නෙපා. ලබ්බේ ඇතුලේ තොවිලේ වගේ තියෙයි එතකොට! ඔය desktop එකත් තියෙන්නේ C එකේම තමයි ඈ! :D

පුළුවන් තරම් අලුත් දේවල් හොයන්න. දැන ගෙන කලොත් ඔය මැෂින් වලට මොකුත් වෙන්නේ නෑ! ඕවා හදලා තියෙන්නේ වැඩ ගන්න. හැබැයි computer එකේ වහලෙක් වෙන්නේ නැතිව computer එක වහලෙක් කර ගන්න. හැබැයි තමන්ගේ ලැපී ගණිකාවක් කරන්න නම් එපා ඈ! තමන්ගේ ගෑනු ළමයා වගේ බලාගන්න.  ;)

ආයු බෝ වේවා!!!   

Thursday, December 12, 2013

මනුස්සකම

පහුගිය සිකුරාදා. ඒ කිව්වේ දෙසැම්බර් 6 වෙනිදා මගේ අතිජාත මිත්තර අසීම්, මටයි පොලොස් මාමාටයි එවලා තිබ්බා අපූරු ආරාධනා පත්‍රයක්. සිරස News First, UN Volunteers සමඟ සමාජ සේවා දෙපාර්තමේන්තුව සංවිධානය කරපු V Awards 2013 අවසන් රාත්‍රිය බලන්න එන්න කියලා. Volunteering කියන එක ඔළුවට ගහපු එවුන් වෙච්චි අපිට ආයේ හිත හිතා ඉන්න දෙයක් තිබ්බේ නෑ! එක පයින් එතන! තිබ්බේ සිරස රත්මලාන Stein Studio එකේ.
 
සමහර අය මේ අපූරු වැඩසටහන live බලන්න ඇති එදා සිරසෙන්. මෙහෙමයි.මෙතෙක් කාලෙකට මම රූප පෙට්ටියේ දැකපු වැඩසටහන් වලින් මගේ ඇස් දෙක තෙත් කරන්න පුළුවන් වෙච්චි එකම වැඩසටහන මේක!
අපි මිනිස්සු. ඒ කිව්වේ මනසින් උසස් යැයි කියා ගන්නා ජාතියක්. සමාජ සත්ත්වයෝ වෙච්චි අපි කරන සමහර වැඩ දැක්කහම මනුස්සයෝ කියලා කියා ගන්නත් ලජ්ජා හිතෙනවා. එහෙව් වෙච්චි ලෝකෙක තමන්ගේ ජීවිතය සමාජයේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන් කැප කරපු අපේ කාලයේ වීරවරු එකතු කරපු අපූරු උත්සවයක්.

මේ සම්මාන ප්‍රදාන උත්සවයට අයදුම්පත් දහස් ගණනක් අතරින් තේරුණු උදාර සමාජ සේවකයෝ 12 දෙනෙක් අවසන් වටයේ තරඟකරුවන් විදිහට පෙනී සිටියා.



මේ අතරින් වසරේ හොඳම සමාජ සේවකයා විදිහට තේරුනේ බිහිරි ජනතාව වෙනුවෙන් තමන්ගේ කාලය ධනය කැප කරපු ආනන්ද ගුරුගේ මහත්තයා. ඔහුත් ඒ වගේම ආබාධිතයෙක්. තමන් විදිනවා සමාන වූ දුකක් විදින තාමගේම ජනතාව වෙනුවෙන් හැකි විදිහට උදව් කරන්න ඒ අපූරු “මනුස්සයා” ඉදිරිපත් වෙලා තිබ්බා. සම්මානය ලබාගත්තට පස්සේ සංඤ භාෂාවෙන් ඔහු කරපු කතාව අංග කීරි ගැස්සුවා. මුදල් පස්සේ හබාගෙන යන මිනිස්සු වෙච්චි අපිට හිතන්න ගොඩක් දේවල් එතන තිබ්බා. තමන්ගේම රැහේ එකෙක් ලස්සන වේදිකාවක සම්මානයක් ගද්දි එන සතුට ඒ අහිංසක මිනිස්සුන්ගේ ඇස් වලින් දෝරේ ගැලුවා.

ලංකාවේ හරියට youth ගැන කතා කරනවා. ආඩම්බරේකට වගේ යොවුන් පාර්ලිමේන්තුවක් හිටං අපිට තියෙනවනේ. ;) හැබැයි අපේ රටේ වැඩක් කරන්න පුළුවං වෙච්චි youth වෙච්චි අපි සමාජෙට දෙන්නේ මොනවාද කියන එකනං පොඩි ප්‍රශ්නාර්ථයක්! රියලිටි ෂෝ වලින් බිමට බැහැපු හතු පිපෙනවා වගේ එලියට බහින වීරයෝ ඉන්න රටක, වසරේ හොඳම තරුණ සමාජ සේවකයා විදිහට සම්මාන ලබපු අරලියා අබේසේකර තරුණිය නමටම හරියන විදිහට මුළු ලෝකෙටම සුවඳ බෙදන අපූරු චරිතයක්. ඈ මානසික උපදේශිකාවක්.  තමන් ලබා ගත්ත දැනුම සමාජයෙන් කොන් වෙච්චි ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් ඇය කැප කරලා. අපි???

මේ උදාර සමාජ සේවකයෝ අතර හිටි සචින්ද දුලංජන තවත් අපූරු තරුණයෙක්. අපි සමාජයට අයිති නෑ කියලා අත හැරලා දාපු අහිංසක මිනිස්සු වෙනුවෙන් කැප වෙච්චි ඔහු ඇත්තටම ධීර තරුණයෙක්. කාඩ්බෝඩ් වීරයෝ පස්සේ යන අපේ තරුණ පරපුරට හොඳ ආදර්ශයක්. අපිත් එක්ක තරුණ සමුළුවට සහභාගී උනා. ඇත්තටම ඔහු “මනුස්සයෙක්”.

මේ කවුරුත් ලක්සෙට කොඩි දාපු ධන කුවේරයෝ නෙවෙයි! නැත්නම් මේ කවුරුත් සුදු නැෂනල් ඇඳගෙන වියලි ආහාර පාර්සල් ටිකක් බෙදලා චන්දේ හිඟා කන තුට්ටු දෙකේ දේශපාලුවෝ නෙවෙයි. මේ හැමෝම අපේ සමාජ පන්තියේ ජිවත් වෙන අපිත් එක්ක හුස්ම ගන්න මිනිස්සු. වෙනස තියෙන්නේ තමන් එක්ක එකට වැටිලා ඉන්න මිනිස්සුන්ගේ නාඩි වැටෙන තාලේ උන් හොයාගෙන. ඒ මිනිස්සුන්ට මොකක් හරි කරන්න ඕනේ කියලා උන්ට හිතිලා. ඒ “මනුස්සකම”.

සමාජ සාධාරණත්වය උදෙසා කියලා කෑ ගහන අපේ කාලයේ “විරවරු” ගොඩක් කරන්නේ තේරෙන්නේ නැති වචන වලින් මොනවාදෝ කියවන එක විතරයි. ලොකු ලොකු තැන් අල්ලන්න කලින් තමන්ගේ වටේ පිටේ එකට හුස්ම ගන්න මිනිස්සු දිහා බලන්නවත් උන් ඉගෙන ගත්තොත්...


සමාජයේ විවිධ අහුමුලු ස්පර්ශ කරමින් මේ උදාරතර මිනිස්සු ගැන නිර්මාණය වෙච්චි ඇස් තෙත් කරවන මේ video ටික බලන්න. අනිවාර්යෙන්ම... මෙගා බයිට් ටිකක් ගියාට කමක් නෑ. අත පය හතර හොඳට තියෙන මිනිස්සු වෙච්චි අපි මොනවාද කරන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න.
එතකොට අපි?????


ආ.. තව දෙයක්.... අපිත් මේ පුංචි පහේ සමාජ සත්කාරයක් කරන්න හිතුවා මෙදා සැරේ නත්තලට. අපි එකතු වෙන්නේ කළුතර මාක් ශ්‍රී සරණ නිවාසයට.. උදුවප් මාසේ 28 වෙනිදා. මේ බුකියේ event එක. කැමති කෙනෙක් ඉන්නවනම් අපිත් එක්ක යමු හිනා වෙන්න. අපේම සහෘදයොත් එක්ක.

"ජනතාව වෙත ගියෙමි.

ඔවුන් සමඟ ජිවත් වුනෙමි. ඔවුන්ට ආදරය කලෙමි.

ඔවුන් දන්නා තැන සිට පටන් ගත්තෙමි. ඔවුන් සතු දෙය මත ගොඩ නැංවූයෙමි.

මා කලේ එයයි."
දොස්තර ආරියසේන යූ ගමගේ.

Related Posts Plugin for WordPress, Blogger...