සුරුට්ටුවක් වගේ දුම් පිඹගෙන යන යාල්දේවියට හයි
කරපු අලුත් නිල් පාට කෝච්චි පෙට්ටි අනුරාධපුරේට උදේට සැරේට වැටෙන අව්වට දිලිසෙනවා.
පේන තෙක් මානෙකට විහිදිච්ච වෙල් යාය හාල කරලා වපුරන්න ලඟයි. හිනියට එන රොන් මඩේ
කුයිල නහය හාරගෙන යනවා.
අලුත් ටයිම් ටේබල් එක හින්දා සිට් ඕනේ තරම්
තියනවා. මමත් කරේ එල්ලගෙන ආපු විසාල බෑග් මල්ල උඩින් ගහලා තියෙන සුදු යකඩ රාක්කෙට
තල්ලු කරලා අව්ව නැති පැත්තෙන් සිට් එකකට බර වෙනවා. අලුත් නැවෙන් ආපු නංගි කෙනෙක්
මාත් එක්ක හිනියට හිනා වෙලා ඉස්සරහට යනවා. ඉස්සරහ පෙට්ටියේ පොඩි බැච් එකේ මල්ලි
කෙනෙක් සිට් එකක් අල්ලාගෙන බෙල්ල දික් කර කර බලාගෙන ඉන්න හැටි මට යාන්තමට වගේ
පේනවා...
හිත ගිය තැන මාළිගාව කිව්වලු....
ගල්ගමුවෙන් හැමදාම වගේ කෝච්චියට ගොඩ වෙන පැටිස්
ශෝටිස් විකුණන මිනිහෙක් ඉන්නවා. පොඩ්ඩක් නිල් වැඩි වෙච්චි සුදු පාට ෂර්ට් එකට කොටු
වැටිච්චි පලේකාට් සරමක් මිනිහා හැමදාම අඳිනවා. කරේ තියෙන ලොකු යකඩ බේසමේ දාරේට
හේත්තු වෙන්න එලපු විනිවිද පේන ඉටිකොලේ අස්සෙන් කහ දුඹුරු පාටට බැදිච්චි තුන්
හුලස් බිත්තර රෝල්ස් අට්ටියක් ගොඩ ගහලා තියනවා පේනවා. හීනියට පිට වෙන රස්නේ දුම
හින්දා ඉටි කොලේ වටේට මිදුම් බැඳිලා තියනවා. මට සිට් දෙකක් එහා පැත්තෙන් සුදු
ඇඳගෙන ඉන්න ජෝඩුව ඒ මිනිහා නවත්තලා රෝල්ස් අරගන්නවා. දුම් දාන බිත්තර රෝල්ස් අතෙන්
අරගෙන අච්චු ගහපු කඩදාසි පිටු වලින් හදපු කවර වලට දාල දෙනවා. මිනිහා හීනියට හිනා
වෙලා ඉතුරු සල්ලිත් දීලා ඉස්සරහට යනවා. ඉතුරු සල්ලි දෙන්න පර්ස් එක අදිද්දී පර්ස්
එකේ විනිවිද පේන පොකට් එකේ පුංචි ළමයෙක් වඩාගෙන ඉන්න අම්මා කෙනෙක්ගේ පින්තුරේ
තියෙනවා මට පේනවා.
හිත ගිය තැන මාළිගාව කිව්වලු...
සිට් එකේ තුන් දෙනෙක්ට අත පය දිග ඇරලා යන්න ඉඩ
තිබ්බත් රෝල්ස් ගත්ත ජෝඩුව එකට ගුලි වෙලා රෝල්ස් කනවා. විටින් විටෙ මොනවදෝ හිමිට කිය
කියා හිනා වෙනවා. ඒ ගෑනු ළමයා හිනා වෙද්දී කම්මුලේ පුංචියට හැදෙන වලක් තියේ. උඩට
උස්සපු ජනේලෙන් එන හුළඟට ඒ ළමයගේ කෙස් ටික අවුල් වෙනවා. පිරිමි ළමයා ඇඟිලි වලින්
කෙස් හදන්න ලොකු ට්‍රයි එකක් දෙනවා.
හිත ගිය තැන මාළිගාව කිව්වලු...
ඊයේ රෑ නිදි මරපු හින්දද කොහෙද මට හොඳ නින්දක්
යනවා. වැල්ලව ස්ටේෂන් එක පාස් කරද්දීම වගේ මට නැගිට්ටෙනවා. ලාවට සිරි සිරි පොදක්
එළියේ වැටෙනවා. ඒත් අව්ව පායලා තියේ. “අව්වයි වැස්සයි නරියගේ මඟුලයි” මට හීනියට
හිනා යනවා. කෝච්චිය වේගේ අඩු කරලා කුරුනෑගල නවත්තනවා. ටිකට් එක දීලා එලියට එද්දිම
යාන්තම් බස් එකක් අහුවෙනවා.
වෙනසකටත් එක්ක ඉම්පීරියල් හෝල් එක ලඟින් බැහැලා
පයින් යන්න හිතෙනවා. ඉස්සරහ “මට මගේ නොවන මගේම ආදරයක්” බැනර් එකක්. උදේ ෂෝ එක ඉවර
වෙලා ජෝඩු ජෝඩු එලියට බගින වෙලාව. ගෑනු ළමයා ඇස් කරකෝ කරකො වටේ බලනවා. ඒ අතරේ
ඇඳුමත් පොඩ්ඩක් හදාගෙන ඉස්සරහ නවත්තලා තිබ්බ රතු පාට ත්‍රි විලරේට දෙන්නත් එකක්ම
නගිනවා. දුම් දාගෙන උඩ පාරේ ගිය ත්‍රී විලරේ වැව පැත්තට වංගුව ගන්නවා.
හිත ගිය තැන මාළිගාව කිව්වලු...
වැහි වැස්සට ගන සැරේට අව්ව වැටෙනවා. මුණ
දෙපැත්තෙන් දාඩිය බේරෙනවා මට තේරෙනවා. ඉක්මනට ගෙදර යන්න නම් ඉන්ටසිටියක් ගන්න
හිතාගෙන පෝලිමට ගියත් දිග පෝලිමක් එතන තියනවා. යාන්තම් කොන්දා තනි සිට් එකකට ඉඩ
තියේ කියපු හින්දා බකට් සිට් එකක වාඩි වෙලා බරසාර බෑග් එක උකුලේ තියා ගන්නවා. හින්
සීරුවේ දෙපැත්ත බලපුවාම පන්ති යන වයසේ ජෝඩු දෙකක් බ්ලෝවරේ සීතලට ගුලි වෙලා ඉන්නවා
මට පේනවා. එක කොල්ලෙක් රවලා වගේ මං දිහා බලනවා.
හිත ගිය තැන මාළිගාව කිව්වලු...
ස්ටෑන්ඩ් එකෙන් බහිද්දී නිල් පාට ෂර්ට් ගොඩක් එහෙ
මෙහෙ යනවා පේනවා. ළඟ තියෙන ගාමන්ට් එකේ අයගේ පඩි දවස. සමහරු අතින් කටින් බඩු මලු
උස්සගෙන අද්දන බස් වලට නගින්න පොර කනවා. තවත් අය ෆෝන් එක කනේ ගහගෙන ලොකු කතාවක්. බුදු
මැදුර ඉස්සරහ නවත්තලා තිබ්ච්ච රතු පාට පල්සර් බයික් එකේ හිටිය මල්ලි නිල් පාට
ෂර්ට් ඇද ගත්තු අක්කා කෙනෙක්ගේ අතට ෆුල් ෆේස් හෙල්මට් එකක් දීලා නග්ග ගන්නවා.
බයික් එක සැර දාගෙන මීගමු පැත්තට යනවා.
හිත ගිය තැන මාළිගාව කිව්වලු....
අපේ ගෙවල් පාර මේ ටිකේ හදනවා. හැරෙන තැනම තියෙන
පරණ උළු හෙවිල්ලපු ගේ පාර ලොකු කරද්දී කැඩෙනවා. අලුත් JCB එකක් ඉස්සරහ කඩපු ගෙයි ගල් අස් පස් කරනවා. පාරෙන්
එහා පැත්තේ හිටගෙන කනුවකට බර දීගෙන ගෙයි හිටපු සීයයි ආච්චියි අව්ව හින්දා ඇස්
උඩින් අත් තියාගෙන ඒ දිහා බලාගෙන ඉන්නවා.
හිත ගිය තැන මාළිගාව කිව්වලු....

