නාඩි සෙට් එක

Friday, June 21, 2013

ඉරට්ටෙන් වතුර හොයමු

මේක අමුතුම කතාවක්.. විශ්වාස කරන්න අමාරු උනත් විශ්වාස කරන්න වෙන කතාවක්! මොකද අදෘශ්‍යමාන බලවේග... භූතයෝ... කුම්භාණ්ඩයෝ ගැන කතා කරන ලෝකේ.. අංජනම් එලි වලින් ලෝකේම හොල්ලන කාලේ අපේ මනුස්සයෙක් ඉරට්ටෙන් පොළොව ඇතුලේ හැංගිලා තියෙන භූගත ජල ධාරා ඉරට්ටකින් හොයන්න පටන් අරගෙන!
 
මේ සිද්ධිය මට ආරංචි උනේ අවාරෙට පොල් වැටෙනවා වගේ ගමේ ගිය වෙලාවක. ආරංචිය ආපු විදිහට මේ හපන්කම කරන කෙනා මම හොඳට දන්නා අඳුනන කෙනෙක්! මෙච්චර කාලයක් කොහොමද මේ නාඩියා දන්නේ නැතිව මෙහෙම දෙයක් වෙන්නේ ඈ!

කෙටියෙන්ම කිව්වොත් මෙහෙමයි වෙන දේ!

ඒ මාමාගේ නම ජයසුන්දර. ගමේ අය කියන්නේ ගොවිරාළ මාමා කියලා... ගම කුරුණෑගල දිස්ත්‍රික්කයේ මා ඔයට මායිම් වෙලා පිහිටලා තියෙන කොහොඹපොළ කියන ගම.

ඒ මාමට පුළුවන් පොල් ගහක අත්තකින් කඩා ගන්න ඉරට්ටක් නමලා අතේ අරගෙන ගිහින් පොලොව යට ජල උල්පත් තියෙන තැන් හරියටම කියන්න! ඒ මාමා අතේ තියෙන ඉරට්ට පොළොවේ යට වතුර තියෙන තැන් වලදී පොලොව දිහාට ඉබේ හැරෙනවා!

මම ඉතිං ප්‍රශ්න පත්තරයක් දිග ඇරියා...

කොච්චර යටක තියෙන වතුරක් මේ ක්‍රමයෙන් හොයන්න පුලුවන්ද?
“ඒ ගැන නම් මම දන්නේ නෑ! බඹ 10ක් 15කට වඩා වැඩි යටකින් තියෙන වතුරක් උනත් මේකට අහු වෙනවා.”

මාමාට මේ විදිහට වතුර හොයන්න පුළුවන් කියලා කිව්වේ කවුද? කවුරු හරි ඉගැන්නුවාද?
“එහෙම නෑ.අපේ අප්පොච්චා කියලා තියනවා මේ විදිහට කරන්න පුළුවන් කියලා. ඒ උන්දෑ ටත් පුළුවන්. මේක මං නම් හිතන්නේ අපේ ලේ භූගත ජලය එක්ක තියෙන ආකර්ෂණයක් කියලා.”

පොලොව මතුපිට තියන වතුරටත් මේ විදිහට ඉරට්ට ඇදෙනවද?
“නෑ.පාලමක් උඩින් ගියත් යටින් වතුර ගලාගෙන ගියා කියලා ඉරට්ට ඇදෙන්නේ නෑ.(මේ වග මා විසින් සනාථ කරගන්නා ලදී)”

මේ ගන්න ඉරට්ටේ මොකක් හරි විශේෂත්වයක් තියනවද?
“කිසිම දෙයක් නෑ.නිකම් ගහකින් කඩා ගන්න ඉරට්ටක්”

මේ දේ කරන්න ඉස්සරලා පේ වෙනවා හරි මොකක් හරි දෙයක් කරනවද?
“නෑ...”

මේකට මොකක් හරි අදෘශ්‍යමාන බලවේගයක් සම්බන්ධ කරගෙනද කරන්නේ?
“නෑ..එහෙම දෙයක් කරන්නේ නෑ...”

මේ විදිහට මාමා දැන් ළිං කීයක් විතර කපන්න උදව් කරලා තියනවද?
“අපේ ගමෙයි අහළ පහල ගම් වලයි ළිං තුන් හාරසීයක් විතර කපන්න ඕනේ තැන් මම පෙන්නලා දීලා තියනවා කිසිම සල්ලියක් ගන්නේ නැතිව”

මෙන්න මේකයි කතන්දරේ... ගත්ත පොඩි වීඩියෝ ක්ලිප් එකකුත් ඔන්න යටින් දැම්මා.... බලලා කියලා එහෙම මොකද්ද මේ කියලා හොයලා කියන්නකෝ....
අපේ ගම් වල ඉන්න මිනිස්සු ළඟ කොච්චර නම් අපූරු තොරතුරු රහස් හැංගිලා තියනවද.... ඇයි අපි ටිකක් ඒ ගැන හොයලා බලන්නේ නැත්තේ???


Monday, June 3, 2013

අ.පො.ස. (18+)

Image Source - nation.lk
දුඹුරු පාට දුවිලි පිරිච්ච බස් එක කළු පාට ඩිසල් දුම් ගුලි පිඹලා අලුතින් කාපට් දාපු රත් වෙච්ච පාරට දැම්මා.. යාන්තම් ස්ටෑන්ඩ් එකෙන් එලියට දානකොටම බස් එකෙන් පැන ගත්තේ.. නැත්නම් ආයේ හෝල්ට් දෙක තුනක්ම පයින් බඩ ගාන්න වෙනවා මේ ඉලව් පත්තර මිටියත් උස්සන්!

අද නම් මහ චාටර් දවසක් .. උදේ කුදලාගෙන ආපු මිටියෙන් තාම බාගයක්වත් ගිහින් නෑ! මේ අව්වේ කර වෙන කරවිල්ලට අවුරුදු 3 ඉවර වෙද්දී දත් ටික විතරක් සුදුවට පෙනෙයි!

“මේ *ත්ත කරන්න බෑ බං.. බලපන් මේ ක්ලාස් යන උන් දාන කින්ඩි සිරික්කිය! උන්ගේ හිතේ අපි අත පල්ලෙන් වැටිලා කියලා වගේ බං! එක *ත්තිගේ කොල්ලෙක් බස් එකෙන් බහින්න යද්දී ආ..පත්තර මාමේ කිව්වා බං! දහයක් දීලා බත් ඔතන්නවත් පත්තරයක් ගන්න බෑ!කටනම් ගහගෙන එනවා ගමකට!මේ ටික කාණුවකට විසික් කරලා යමු බං යන්න මල ඉලව් 750!”

ටික්කා කෑ ගහනවා! ඌට මලම පැනලා!

ඇත්ත... දවසම ලෙක්චර් කට් කරගෙන රුපියල් 750කට මෙච්චර පුක ඉරා ගන්න ඕනෙද!
ඒත්.....මහපොළ 2500න් සති දෙකක් ශේප් කර ගත්තත් ඉතුරු සති දෙක හුළං බොන්නද???

නංගිට පන්ති යන්නත් සල්ලි ටිකක් යවා ගන්න තිබ්බොත් හොඳයි...අප්පච්චිත් දුවිල්ලටම ලෙඩ වෙලා දවස් ගානක් කොරියේ වැඩට ගියේ නෑලු... ඔහොම කෑ ගැහුවට ටික්කා මේක දාල යන්නේ නෑ... මොකෝ ඌ පවුලක් නඩත්තු කරන්නත් එපැයි! ;)

“මේ පොරියා... උඹේ තව කීයක් ඉතුරුද?”

බාගයක් වත් ගියේ නෑ බං... මිනිස්සුන්ට පත්තර කියවන එකත් එපා වෙලාද කොහෙද! මොනවා කියලා කියවන්නද... කියෙව්වහම ඇඟේ ලේ රත් වෙන සිද්ධි නේ වැඩියෙන්ම තියෙන්නේ...

“අනේ මන්දා බං..මටනම් තව දවස් හතර පහක් මේ සාම්බුව අදින්න වෙයි වගේ බං මේ මාසේ... අරකිගේ උපන් දිනේ මේ මාසේ.. ගිය සැරේ වගේ කිච වෙන්නත් බෑනේ බං! මොනවා හරි අරං දෙන්නත් ඕනේ! අම්මා සල්ලි දානවා කිව්වෙත් 20. ඒත් බං ඒ සොච්චම කන්නත් මදිනේ.තව කොහොම ඉල්ලන්නද.. ගෙදර ලෝන් එකට කැපිලා අම්මා අතට එන්නෙත් බිජ්ජයි නේ බං...රෙද්ද බර්සරියවත් නෑනේ! රජයේ සේවකයෝ වෙච්ච එකේ පව!”

ඊයේ බස් එකට නගිද්දී මාත් එක්ක එකට පන්තියේ හිටිය එකෙක් බස් එකේ! ඌ මොකද්ද institute එකක ඩිග්රියක් කරනවලු! ඒකා මගෙන් උඹ කැම්පස් ආවා කියලා කරන්නේ මේකද කියලා ඇහුවේ නිකම් මම හොරකමේ අවලමේ යනවා වගේ!

“අපිට තමයි බං මේ *සෝ *සාවියෝ ඔක්කොම කින්ඩිය දාන්නේ! මහ ලොකුවට රට ගිහින් ඉගෙන ගන්නවා කියලා ඉන්න හැම බයියෙක්ම සල්ලි හොයා ගන්න ඒ දීපංකර වල කරන්නේ මේ වගේ වැඩ තමයි! සමහර උන් පාරවල් හිටන් සුද්ද කරනවලු! අපි මේ සම්තින් එකක් හොයා ගන්න එලියට බහින එකේ තමයි කුල වන්සේ හොයන්නේ!”

 ගණන් ගන්න එපා බං.. මොකෝ අපි එලියට ගියාට පස්සේ මේක කරනවයැ!

“කියන්න බෑ එදාටත් මේ වගේ සාම්බු කන්න වෙයිද කියලා!”

ක්ලාස් යන පුංචි සුරංගනාවියක් වගේ ලස්සන කෙල්ලෙක් බස් ස්ටෑන්ඩ් එකේ කොනකට වෙලා ෆෝන් එක ඔබනවා(ටච් කොරනවා)... හොඳ ඇපල් කන්නේ පණුවෝ ලු නේ! කොල්ලා ආවා.. හැබැයි ඌ ගේ අතේ ටීවී එකක් වගේ ලොකු ෆෝන් එකක්!

“මේ පොරියා අහක යන කෙල්ලන්ට බැල්මට් එක දාලා පත්තර ගොඩ උඩම පත බෑවිලා ඉන්න පෝරියල් සෙට් කරගන්නේ නැතිව ඉඳපන්! කන්නේ අඩු! ඒත් ලයින් කරන්න යන්නේ පොස් කෑලි! අනේ බං.....”

ටික්කා ඒකා ගේ සුපුරුදු බණ දේසනාව පටන් අරං!

උදේ  ඉඳන් වටේ කැරකුණු හිඟන මනුස්සයාගේ අතේ තිබිච්ච ටින් එක අපේ පොකට් එකට වඩා පිරිලද මන්දා.. ඒ හැටි! හිඟනකමත් දැන් රස්සාවක්!

අපරාදේ පොත් වලට ගිය සල්ලි! (අ.පො.ස) !!!!



*අසභ්‍ය යැයි කියා ගන්නා වචන කිහිපයක් අන්තර්ගත නිසා 18+ ලේබලය දැමීමට සිදුවූ බව සලකනු යෙහෙකි.

Monday, May 13, 2013

ආදර මලකෙලි

පහුගිය දොහේ අහපු දැකපු ඒවා දැකලා ඇඟේ මයිල් කෙලින් උනා ආයිබෝවන්ඩ! පිස්සු බම්ප් උනා! ලස්සනට තියෙන්න තිබිච්ච සරසවි ආදරයක් හුටස් පටස් වෙලා මෙඩිකල් ෆැකල්ටියේ හිටපු පිරිමි ළමයා එයා පණ වගේ ආදරය කරපු ගෑනු ළමයටත් වස දීලා ඒ මනුස්සයත් මැරිලා! සත් කෝරළය පැත්තේ පිරිමි ළමයා හදවත ඉල්ලන ආදරය ලැබුනේ නෑ කියලා ඒ කෙලිට පිහියකින් කොටලා මරා දාල ඒ කොල්ලත් සිය දිවි නැහැ ගන්න ගිහින්! හැබැයි කොල්ලා මැරිලා නෑ! ඒ අලකලංචිය වෙච්ච දිසාවට නාඩියාත් ගෑටුවා! මොකෝ අපේ ගම්පළාතේ සිද්ධියක්නේ! අනේ කාලේ වනේ වාසේ...

ආදරේ ආදරේ කියලා අපේ එව්වෝ කෑ කොස්සන් ගැහුවට උදේ ඉඳන් රෑ වෙනකම් ආදර ගීත..ආදර ෆිල්ම් බැලුවට අපේ අය ඒ සින්තටික් ලෝක වල හිර වෙලාමද මන්දා...

පලවෙනි සිද්ධියට සම්බන්ධ වෙන්නේ රටේ උගත් යැයි සම්මත සරසවි පෙම්වතුන් දෙන්නෙක්... දෙවැනි සිද්ධියේ ගැහැණු දරුවා උපාධිදාරිනියක්! බලාගෙන ගිහාම ආදරේ ඉස්සරහ ඔක්කොම මෝඩ වෙලා!

ආදරේ කියන උත්තරීතර සංකල්පය විස්තර කරන්න තාම භාෂාව දියුණු වෙලා මදි. එච්චර උත්තරීතර වෙච්ච දේක නාමයෙන් මෙච්චර මෝඩකම් වෙන්නේ ඇයි?

කතා කරන්න දැන් කාලේ හරි!

අපේ රටට කාලෙන් කාලෙට එක එක රැලි එනවා.අපේ අයත් හරිම සතුටින් ඒ රැලි එක්කම පාවෙලා යනවා..සමහරු ආපහු එනවා.. තවත් සමහරු එලෝ මෙලෝ හොයා ගන්න බැරිව ඒ රැලි එක්කම අතරමං වෙනවා... කාලයක් හින්දි චිත්‍රපට රැල්ලක් තිබ්බා.. ගෙවල් වැල ඉන්න අම්මලා තමන්ගේ දරුවන්ට කඩයප්පන් කවලා දවල් වරුවේ ගිය හින්දි පික්චර් බැලුවා... ඒ පික්චර් වල විදිහට මල් ගස් වටේ නට නට ආදරේ හොයන්න පටන් ගත්තා..

මෙගා රැල්ල ආවා... පවුල් කැඩෙන පවුල් හදන අලුත් රටාවක් අපේ අය ඒකෙන් හොයා ගත්තා. රෑ 8 ඉඳන් 10 වෙනකම් තමන්ගේ ගෙදර එකා උන්නද මලාද කියලා හොයලා බලන්නේ නැතිව රූප පෙට්ටිය දිහා ඔටෝගෙන බලං හිටියා!

ඒ අපේ අය! දැන් ගජරාමෙට ආදරේ කියලා ජීවිතෙත් බිල්ලට දෙනවා..

ඇත්ත..තරුණ කාලේ මේ අකුරු හතර කොලේ නැත්නම් වැඩක් නෑ.. හැබැයි ඉතිං ඒ තාවකාලික සැපයක් හොයාගෙන වෙනවනම් ඒක අන්තිම කැතයි! අනිත් එක කවුරු කොහම කිව්වත් ආදරේට සිමා මායිම් වැට කදුළු මොකවත් නෑ කියලා ඔය කවුරු කවුරුත් off road යන්න බයයි! 

හින්දි චිත්තර පට වල කොල්ලා පෝසත් කෙල්ල දුප්පත් නැත්නම් මේකේ අනිත් පැත්ත උනත් දෙන්නා කිරි පැණි කනවා.. අපෙත් කනවා.. හැබැයි ගොඩක් වෙලාවට අන්තිමේ කඳුළු බොනවා! ගඟේ මූදේ ගැඹුර හොයන්න යන්නේ ඒ වෙලාවට!

සුදට පාටට හිටියහම.. හයි ෆයි ෆෝන් වාහන පාවිච්චි කලාම.. ඔක්කොම හිතන්නේ දැන් හරි මෙයා තමයි බඹා කෙටූ එක්කෙනා කියලා..හැබැයි බැඳලා සතියෙන් දෙකෙන් මෙන්න දික්කසාදයි ලු! අදහස් ගැලපෙන්නේ නෑලු! ඇයි යකුනේ ඉතිං අර බීච් ගානෙයි ෆිල්ම් හෝල් ගානෙයි ගිහින් දවස් ගණන් මුණු මුණු ගාලවත් අදහස් මොනවාද කියලා හොයා ගන්න බැරි උනාද??

දෑවැද්දට වහල් වෙලා මාමණ්ඩිගේ බිස්නස් දිහා ඇහැ දාගෙන ආදරේ පාට හොයනවනම් ඉතිං කියන්න තියෙන්නේ ආදරේ කළු පාටයි කියලා! මොකෝ ඒකෙ මෙලෝ දෙයක් නෑනේ!

මංතුමා නම් කියන්නේ අපේ අය මේ ආදරේ කියන අලකලංචිය ගැන තීන්දු තීරණ ගද්දීවත් ටිකක් හිතලා මතලා තීරණ ගන්නවනම් ගොඩාක් ප්‍රශ්න විසඳෙයි... මොකෝ ජිවිතේට undo බට්න් එකක් නෑනේ!

Related Posts Plugin for WordPress, Blogger...