නාඩි සෙට් එක

Friday, June 11, 2021

කෝපි


ඇටකෝටු හිරිවට්ටන පාන්දර හීතල එක්ක ඔට්ටු වෙන්න පොරොව ගත්තු ජැකට් එක ඇතුලෙනුත් හරිම අකීකරු විදිහට හීතල හුළඟ ඉදිකටු වගේ හමට වදිනවා. හුස්ම පිටවෙද්දී නහයෙන් කටින් දුම් දානවා වගේ මීදුම් ගුලි පිටවෙනවා.. මෙල්බර්න් වල සීත කාලේ ඇවිත්. හැම තැනටම හිම වැටෙන්නේ නැති උනාට සමහර දවස් වල උදේට බිංදුවට ළං වෙන්නම සීත. සීතලට ඔළුවේ ඉඳන් පොරෝගෙන නිදාගන්න හිතුනත් ලැබ් එකේ ඉතුරු වෙලා තියෙන වැඩ කන්දරාව මතක් වෙද්දී නිකම්ම ඇඳෙන් බිමට පැන්නෙනවා. 


උදේට කාර් එක එළියට ගන්න කලින්  මං ටිකක් හීටර් එක දාල තියනවා. නැත්නම් අළු පාට වෙච්චි අහසක් යටින් තෙත බරිත තාර පාරේ යද්දී හරිම මලානික හැඟීමක් එනවා. වාහනේ පාක් කරලා සීතල යන්නත් එක්ක ටිකක් හයියෙන් හයියෙන් ඇවිඳගෙන මං  ලැබ් එක පැත්තට යනවා. උදේ වැඩ පටන් ගන්න කලින් අනිවාර්‍යෙන්ම යන්න ඕනි තැනක් තියෙනවා.. 


ඔව්.. ඒ කෝපි කඩයක්. මෙහෙ තාලෙට කිව්වොත් කොෆි ෂොප් එකක්. ඇතුළට යන තැනම කළු පාට ලෑල්ලක හුණු කූරකින් අද ස්පෙශල් තියෙන කෑම එහෙම ලියලා තියෙනවා. කඩේ ඇතුලේ දිස්නේ දාන්න ලයිට් දාපු වීදුරු කූඩු ඇතුලේ දිලිසෙන ලස්සන මෆින් පේළියක් තියේ.. ඊටත් එහායින් දැක්කත් සීනි වැඩි වෙන සයිස් එකේ චොක්ලට් කේක් කෑල්ලක් වැජඹෙනවා. උදේ හීතලත් එක්ක මුහු වෙලා හරි අපූරුවට කඩෙන් එළියටත් කෝපි සුවඳ එනවා. මං ලොකු හුස්මක් එක්ක කෝපි සුවඳ පපුවට පුරවගෙන ඇතුළට යනවා. 


කෝපි කඩේ කරන බිල් අංකල් අවුරුදු තුනක් තිස්සේ දැන් මාව දන්නවා. “හලෝ ගුඩ් මෝනින්…..” මිනිහා ක්‍රිකට් පිස්සා.. මගේ ක්‍රෙඩිට් කාඩ් එකේ ගහලා තියෙන නම මතක තියාගෙන ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ නමින් බිල් අංකල් මට කතා කරනවා. හරිම උනුහුං හිනාවත් එක්ක “The usual one right?” කියලා අහනවා. හැමදාම උදේට මං ගන්නේ regular Mocha එකක් කියලා එයා දන්නවා. මම ඔළුව වනන පරක්කුවට කොන්ඩේ නිල් පාටට පාට කරලා තියෙන බැරිස්ටා ගෑනු ළමයා කොෆි මැෂින් එක දිහාවට හැරිලා පොඩි කෝප්පෙකට කොෆි බීන්ස් ක්‍රශ් එක එකතු කරගන්නවා. ඊට පස්සේ “ශුස්…” ගාලා සද්දේට කිරි කෝප්පයක් ස්ටීම් කරනවා. එහෙම කරන ගමන් හරි ලස්සනට මාත් එක්ක හිනා වෙලා “The usual melbourne weather is here right?” කියලා අහනවා. කට මට්ටමට පුරෝපු කඩදාසි කෝප්පෙට උඩින් චොක්ලට් පව්ඩර් ටිකකුත් දාලා පියනකින් වහලා දෙන Mocha එක අරගෙන මං ඉක්මනට පඩිපෙළ නඟිනවා. වැඩ පටන් ගන්න වෙලාව හරි. 


“කෝපි නැති උනොත් මේ ස්ට්‍රීට් ඔක්කොම වැහිලා යාවි” සිටි එක මැද්දේ ජනාකීර්ණ සෙන්ටර් ප්ලේස් එකේ කෝපි කඩේක වාඩි වෙලා බනානා බ්‍රෙඩ් එකක් කන ගමන් මං මගේ යාළුවත් එක්ක කෝපි ගැන කතා කරනවා. “උඹ කොහොමද බං ඔය තාර වගේ තිත්ත කෝපි බොන්නේ?” පැණිම පැණි රස මාස්මෙලෝස් දාපු හොට් චොක්ලට් එකක් බොන ගමන් එයා මට කෑගහනවා. “තිත්තත් හරි අපූරු රහක් බං” මං තව උණු කෝපි උගුරක් තොල ගානවා.


කොහේ කොයි දිග්බාගේ ගියත් කෝපි කඩයක් හොයාගෙන යන පුරුද්දක් මට තියෙනවා. මේ කොරෝනා කරදරේට කලින් සියැටෙල් ගිය වෙලාවක දිනේශ් අයියත් එක්ක ලෝක ප්‍රසිද්ධ Starbucks කෝපි කඩේ මුලින්ම දාපු තැනට යනවා. ඒක තියෙන්නේ Seattle වල pike place market එකේ. පැයක් විතර පෝලිමේ ඉඳලා අපි දෙන්නා ඒ ඉතිහාසගත කෝපි එක බීලා එනවා. ඒකෙත් අමුතු රහක් තියෙනවා. 


කොළඹ ඉන්න දවස් වල සමහර වෙලාවලට බිස්නස් මීටින් කියලා එව්වා තියේ. පොඩි වෙනසක් ඕනි උනාම කොහේ හරි තියෙන කෝපි කඩයක මේසෙක ලෝකේ කොහේ හරි තියෙන සිස්ටම් එකක ප්ලෑන් එකක්, නැත්නම් අලුත් ප්‍රොජෙක්ට් එකක් දිග ඇරෙනවා. මීටින් එක දික් වෙන තරමට හිස් වෙන කෝපි කෝප්ප ගාන වැඩි වෙනවා. 


තෙතබරියං වෙන්න වැහැලා හිතත් පෙඟිලා ගිය සමහර දවස් වල ඒ කෝපි කඩ ඇතුලේම මං තනියම ඉඳලා තියෙනවා. උස වීදුරු හූරගෙන වැහි කැට පහළට වැටෙන හැටි පැය ගණන් බලාගෙන ඉඳලා තියෙනවා. හිස් වෙච්චි මේසේ එහා පැත්තේ පුටුවේ ඉහපත්ත උඩින් කෝපි බොන මිනිස්සුන්ගේ ගුමුගුමුව මට ඇහෙනවා.


වැහි දාට නුවර යනකොට ගලගෙදරට ඉහළින් පොඩ්ඩක් නවත්තලා දුම් දාන කළු කෝපි එකක් බොන ගමන් සැර ලුණුමිරිස් එක්ක පොල් රොටී කන කඩයක් තියෙනවා. හැරිලා පෙරලිලා ඇඹරෙන ගමනක කාංසිය තෙහෙට්ටුව උණු කෝපි උගුරකින් මැකිලා යනවා.


ළඟදීම දවසක වහින වෙලාවක පොඩි කෝපි කඩයකට වෙලා කෝපි එකක් බොන්න මං මඟ බලාගෙන ඉන්නවා. ඒ කෝපි කඩේ මේසේ ළං වෙලා ඉඳගන්න දිග බංකුවක් තියෙනං හොඳයි කියලා මට හිතෙනවා. 


මේසේ උඩින් කඩදාසි කෝප්පේ තියෙන ගමන් මං මැශින් එක ඔන් කරනවා. කෝපි කෝප්පෙකින් උනුහුං වෙලා මං දවස පටන් ගන්නවා… 

Saturday, March 13, 2021

කඳුළු

 

නැගිටින්නෙපා ඉක්මනින් පුතේ අද
පෙන්නන්න බෑ මට කඳුළු
ගුරු “දෙ” ගුරු රැස්වීම ඉස්කෝලෙ අද
එක්කෙනෙක් ආවට මදිලු

එදා අවුරුදු පහට කලියෙන්
ආවේ පැනගෙන කඩුළු
ගිවිස ගත්තේ ආදරෙන් ඉමු
කියලා කරගෙන තුරුළු

උඹේ වාගේ ඇස් දෙකක්
රෑ ඉහ ඉද්දරින් මැකු පාලු
තෑගි දුන්නේ උඹේ ඇස් දෙක
මකන්නට දැන් පාලු

දවස් ගෙවුනා කාලයක් දැන්
හැමදාම බිව්වේ කඳුළු
යුද්දෙ කාලේ උන්නු හිමි ගැන
තාම තොරතුරු නැතිලු

ඇහුව යාදිනි අවලාද ගිනි
හිරිවැටෙන ඇට මිදුළු
ඉවසුවා උඹ හින්දාම මම
සිඹින්නැතිවම රේල්ලුව රෑ බදුලු

ඒත්…
නැගිටින්නෙපා ඉක්මනින් පුතේ අද
පෙන්නන්න බෑ මට කඳුළු

Tuesday, December 8, 2020

කැරළිකාරිය

කෝල සිනහව හිතේ රැඳුනා

උර තලේ බර සුසුම් දැනුනා

සුමුදු අතැඟිලි පහස දැනුනා

කැරලි කෙහෙරැලි අතර වෙලුනා


සිසි කැලුම් පරදන සිනා ඇත්තී

හී සරය පරදන බැලුම් ඇත්තී

වෙඬරු මෙන් මුදු හදක් ඇත්තී

කතරේ කෙම් බිම ඔබ මුවැත්තී


සවන් සනහන කතාකාරිය

නුවන් පිනවන ලතා නාරිය

දැහැන් බින්දන දේහ දාරිය

මගේ හිතගත් කැරළිකාරිය

Friday, October 9, 2020

සැලෝන් සහ බාබර් සාප්පු

 

සීතල කරපු කාමරේ සැප පුටුවට බර වෙලා වටේට ලයිට් හයි කරපු කන්නඩියෙන් මං බලාගෙන ඉන්නවා. දකුණු අර්ධගෝලේ තියෙන ලොකුම ශොපින් සෙන්ටර් එකේ මේ ‘සැලෝන්’ එක හැම වෙලාවෙම බිසි. අඩුම ගානේ දවස් දෙකකට කලින්වත් බුකින් එකක් දාගන්න ඕනි. ඒත් ඒක එච්චර අමාරු වැඩක් නෙවෙයි. වෙබ් එකට ගිහිං ෆ්‍රී වෙලාවක් හොයාගෙන බුකින් එක දැම්මහම කොන්ඩේ කපාගන්න ඕනි දවසට වෙලාවත් එක්ක මතක් කරලා මැසේජ් එකක් එනවා. ගොඩක් වෙලාවට කොන්ඩේ කපන්න ඉන්න ඇස් පොඩි රටේ කිරි සුදු පාට ගෑල්ලමයි.

“What’s your preferred style?” කියලා අහපුවහම මං නම් කරන්නේ මූණට ගැලපෙන හොඳ කට් එකක් දාන්න කියන එක. එතකොට ඉතිං ඒ ළමයා හරිම අපූරුවට හිනා වෙලා හරිම හුරුබුහුටි විදිහට වැඩේ පටන් ගන්නවා. කොන්ඩේ කපන්න කලින් හෝදන්නත් ඕනි.. ඊට පස්සේ කැපුවට පස්සේ හෝදලා ඔයිල් මසාජ් එකක් දාන්නත් ඕනි.. ඔය ඔක්කොම කරලා ඉවර වෙලා කාඩ් එකෙන්ම ලොකු ගානක් ගෙවලා.. ආපහු එද්දි ආයෙත් සැරයක් එන්න කියලත් කියනවා. ආපහු එන්න ඉතිං කොන්ඩේ වැවෙන්න එපැයි!

අවුරුදු තුන හතරකට කලින් කොළඹට හිර වෙච්චි ජීවිතේ මොකක් හරි හදිස්සියකට පිළිවෙලකට යන්න ඕනි උනහම දුවගෙන ගිය සැලෝන් දෙක තුනක්ම තිබ්බා. නවම් මාවත පැත්තේ තිබ්බ සැලෝන් එකත් ටිකක් අලුත් පහේ එකක්. කොන්ඩේ කපන්න හිටිය මල්ලී ඇඟට හොර වෙන්න කළු පාට කලිසමක් කමිසයක් එහෙම ඇඳලා ජැන්ඩි පහට හිටියේ. කොන්ඩෙත් හරි අපූරුවට රතු පාටින් පාට කරලා, ඇහි බැම් එහෙම හදලා… හරිම ජේත්තුකාරයෙක් කොන්ඩේ කපලා පිළිවෙලක් කරලා.. “අයියා.... හෙඩ් මසාජ් එකක් දාන්නද” කිව්වහම විනාඩි පහළොවක් විතර දාන මසාජ් එකෙන් කොළඹ කළු දුමට කරකුට්ටං වෙලා ගිය ඔලු ගෙඩිය ටිකක් රිලැක්ස් වෙනවා.

කොළඹ සැලෝන් තිබ්බට අපේ ගමේ තිබ්බේ බාබර් සාප්පු. මතක ඇති පොඩි කාලේ අප්පච්චි එක්කං ගියේ “බොස්ගේ” බාබර් සාප්පුවට. බොස් අපේ අම්මලාගෙත් කොන්ඩේ කපලා තියේලු පොඩි කාලේ. එච්චර වයසක් උනාට ටක්කෙට පීරපු කළු කොන්ඩයක් බොස්ට තිබ්බා. කිරි කිරි ගාන ෆෑන් දාපු හීනි කඩ කෑල්ලේ තිබ්බ රතු පාට උස පුටුවට අපිව වාඩි කෙරෙව්වේ පුටු ඇන්දට ලෑල්ලක් දාලා. “බොස්” මුලින්ම කරන්නේ “චිස් චිස්” ගාලා වතුර විදින බෝතලෙන් ඔළුව තෙමන එක. ඊට පස්සේ පනාව අරගෙන සිරිමත් කට් එකට කොන්ඩේ පීරනවා. “ඉස්කෝලේ යන විදිහට කපන්න බොස්” කියලා අප්පච්චි කිව්වහම කතුර අරගෙන “කට කට” ගාලා පනාවෙන් උස්සන කොන්ඩ කෑලි ටික කපාගෙන කපාගෙන යනවා. ඒ කොන්ඩ කෑලි බෙල්ලේ ඔතලා තියෙන සිල්ක් රෙද්දට අස්සෙන් ගිහාම හීනියට කසන්න ගන්නවා. පොඩ්ඩක් බෙල්ල කසන්න කියලා අත පය හෙල්ලුවොත් “හා හා කැපෙයි කැපෙයි” කියලා බොස් අපිව බය කරනවා. බොස් කොන්ඩේ කපලා ඊළඟට කරන්නේ බය හිතෙනම වැඩේ තමයි දැලි පිහියෙන් ලයින් කපන එක. බ්ලේඩ් තලේ දෙකට කඩලා අලුත් එකක් දානවද කියලා අප්පච්චි හොඳට බලාගෙන ඉන්නවා. ඊට පස්සේ වතුර ටිකක් ගාලා “සරස් සරස්” කියලා ඔලුව වටේටම ලයින් කපනවා. සමහට වෙලාවට පොඩි බිබිලක් එහෙම කැපිලා එතැන දන්න ගන්නවා. කොන්ඩේ කපලා ඉවර වෙලා තුවායක් අරගෙන ඇ‌ඟ ගසලා දාලා බොස් ඊළඟට අතට ගන්නේ පියරු මල. බෙලෙක් කෝප්පෙක තියෙන පියරු මලෙන් අරගෙන ඔලුව වටේට ගාලා.. “හා එහෙනං ගිහිං එන්න” කියනවා. අප්පච්චි බොස්ට සල්ලි කොළයක් දෙනවා.

ඔයිට ටිකක් වයසට ගිහිං දැලි රැවුල් එන කාලේ වෙද්දී බාබර් සාප්පු අපේ නවාතැන්පොළවල් වෙනවා. ඉස්කෝලේ ඇරිලා ගෙදරට යන්න කලින් බස් ස්ටෑන්ටඩ් එක ළඟ තියෙන බාබුගේ සැලුන් එකට ඉබේම වගේ යැවෙනවා. කොන්ඩේට වතුර පොඩ්ඩක් ඉහගෙන කන්නඩියෙන් බලලා කොන්ඩෙ පොඩ්ඩක් හදාගද්දී රාඝු.. බාබුගේ මල්ලී කෑ ගහනවා. “වතුර ඉවර කරනවනම් ටැප් එකෙන් පුරවං වරෙල්ලා!”

ඒ කාලේ හවසට පොඩි කයියක් ගහන්න ඕනි උනාමත් කරන්න සැලුන් එකට රිංගන එක. කොහොමත් කොල්ලො හතර පස් දෙනෙක් සැලුන් එකේ වරදින්නේ නෑ. රාගු දෙමළ.. උදේම ප්‍රාදේශය සභා කුණු ට්‍රැක්ටරේ එළවලා ගෙදර ගිහිං නාලා කරලා දිලිසෙන ශර්ට් එකක් සුදු සරමට ඇදලා තමයි ඩයල් එක සැලුන් එකට බහින්නේ. පොර කොන්ඩේ කැපුවේ මැශින් එකෙන්. හැබැයි ලයින් කපලා වැඩේ පිළිවෙලක් කළේ කතුරෙනුයි දැලි පිහියෙනුයි. හරිම අපූරු “පේසල්” කිරිල්ලක් රාගු දැනගෙන හිටියා. කොහෙන් හරි හොයා ගත්තු ෆේස් වොශ් එකකුයි scrub එකකුයි මූණේ හරි සැරට අතුල්ලලා අපේ මූණු වල කුණු තට්ටුව යැව්වා. ඊට පස්සේ මූණ හෝදගන්න කියලා අර පේසල් පිරිච්චි මූණෙන් අපිව අරං ගියේ ත්‍රී විල් පාක් එක ළඟ ටැප් එකට. මොකෝ රාගුගේ කඩ කෑල්ලේ ටැප් එකක් තිබ්බේ නෑ.

“මසාජ් එකක් දානවා නේද?” කොන්ඩේ කපලා ඉවර වෙද්දී අහද්දී ඉබේම ‘හා’ කියවෙන්නේ මිනිහගේ රළු පරළු හෙඩ් මසාජ් එක අපිට ඒ කාලේ හොඳට අල්ලලා ගිහිං තිබ්බ නිසා. ටොනික් ටිකක් ඉස් මුදුනට දාලා “පුස්’ ගාලා පිඹලා සීතල කරලා පටන් ගන්න මසාජ් එක ඉවර වෙන්නේ බෙල්ල දෙපැත්තේ කරගැටත් කඩලා.

ඊට පස්සේ කාලෙක නිවාඩුවට ගමට ගිහාම බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැලා පුරුද්දට වගේ රාගුගේ සැලුන් එකට ගොඩ උනොත් “මොකෝ බං.. කොන්ඩෙත් වැවිලා” කියලා පුරුද්දට වගේ ඌ කිව්වා. කොන්ඩේ කපාගෙන, මසාජ් එකත් දාගෙන සල්ලි කොළ දෙක තුනක් මිට මොලවලා අපි ඉක්මනට සැලුන් එකෙන් ආවා.

එක එක සුවඳ පිරිච්චි සීතල ‘සැලෝන්’ කාමරේ කොන්ඩේ කැපුවට අදටත් අර ටොනික් සුවඳ පිරිච්චි හන්දියේ රාගුගේ බාබර් සාප්පුව තරම් ගතියක් නම් මට තාම දැනිලා නෑ.

Friday, July 31, 2020

ඉවර නැති කතාවක්



“723”
ටීවී එකේ එහෙම කිව්වා. ඒ මං ඉන්න වික්ටෝරියා ප්‍රාන්තේ ඊයේ දවස ඇතුළත කොවිඩ් පොසිටිව් වෙච්චි ගාන.. මැච් එකක රිසල්ට් බලනවා වගේ හැමදාම උදේට ඇඳෙන් නැගිටින්නේ මේ අංක ටික චෙක් කරගෙන. දැන් මාස පහක වෙලේ ඉඳන් හැමදාම උදේට මේ වගේ අංක අප්ඩේට් එකක් එනවා.
සීතලට බ්ලැන්කට් එක අස්සෙම ගුලි වෙලා ෆෝන් එක අතට අරගෙන ඊළඟට බැලෙන්නේ ඊ-මේල් ටික. “පේපර් සබ්මිශන් ඩෙඩ්ලයින් එක හෙට...අද හවස් වෙද්දී experiment results ටික ගමු.” මාත් එක්ක වැඩ කරන බංගලි මිත්‍රයා සොහෙල් මට මැසේජ් එකක් දාලා තියෙනවා. “Server එකේ නම්බර් 5 නෝඩ් එකේ driver conflict එකක්. පොඩ්ඩක් බලනවද?” DNA වල සැකැස්ම ගැන මොකද්ද රිසර්ච් එකක් කරන චීන කෙල්ල මින්හුවා වටේටම CC කරලා මේල් එකක් දාලා තියෙනවා. නිදියන ඇඳේ ඉහපත්තේ ඉඳන් හරියටම අඩි හතයි අඟල් හයක දුරකින් තියෙන කම්පියුටර් screen එක දිහා මං හොරෙන් වගේ බලනවා. කරන්න දෙයක් නෑ. ආයෙත් දවසක් පටන් ගන්න දැන් වෙලාව හරි.
“Hey Google.. Good morning”
මං එහෙම කිව්වහම කාමරේ හයි කරලා තියෙන පොඩි ස්පීකර් ගැජට් එකකින් ගැහැණු කටහඩකින් දවසේ නිව්ස් ටික කියනවා. වෙනසක් නෑ. ඒ කතා කරන්නෙත් කොවිඩ් ගැනම තමයි.
“අද උදේ 11 ට ප්‍රෝග්‍රස් මීටින් එකක්. ඇසිස්ටන්ට් ඒත් එක්කම මතක් කරනවා. අවුලක් නෑ. සරමට උඩින් ජැකට් එකක් දා ගත්තහම ඇති. නිදියන ඇඳේ ඉහපත්තේ ඉඳන් හරියටම අඩි පහළවයි අඟල් අටක දුරින් තියෙන කුස්සියට බඩ ගාලා කිරි එකක් හදාගෙන ඇවිත් මැෂින් එක ඉස්සරහින් ඉඳ ගද්දී දහයයි. තව පැයක් තියෙනවා. මං වැඩ පටන් ගන්නවා.
මීටින් එක පටන් ගන්නවා. අපි හැමෝම එකම විදිහට ඉඳගෙන “Can you hear me” කියන සුපුරුදු වාක්‍යයෙන් පටන් අරගෙන කරපු වැඩ ගැන කියාගෙන යනවා. මීටින් එකේ ඉන්න ඒඩ්න් ගේ මිදුල කැමරාවෙන් මට යාන්තමට පේනවා. කොළ හැලිච්චි ගහක් වළාකුළු නැති නිල් පාට අහස ඩිහා බලාගෙන හෙලවෙනව මං බලාගෙන ඉන්නවා. ප්‍රොෆෙසර් ගේ පොඩි එකා දුවගෙන ඇවිත් මීටින් එක අස්සෙම තාත්තාගේ ඔඩොක්කුවේ ඉඳගන්නවා. මීටින් එක ඉවරයි. නිදියන ඇඳේ ඉහපත්තේ ඉඳන් හරියටම අඩි දෙකයි අඟල් තුනක් දුරින් තියෙන පොත් රාක්කෙන් මං reference පොතක් ගන්නවා. අලුත් ප්‍රොජෙක්ට් එකට කියවගන්න පොඩි පැසේජ් එකක් තියෙනවා.
බඩගිනියි.. මොනවා හරි කන්නත් ඕනි. ඊයේ හදපු මාළු හොද්දක් තියේ.. ඒකට සම්බෝලයක් කොටලා ගත්තහම ඇති. ඩෙසිකේටඩ් පොල් ටිකකට උණු වතුර දාලා මයික්‍රොවේව් එකෙන් අරං ලී වංගෙඩියේ කොටන සම්බෝලෙත් එක්ක බඩ පුරෝගන්නවා. රයිස් කුකර් එකේ මොකද්දෝ කේස් එකකට බත් එක පොඩ්ඩක් අඩිය අල්ලලා වගේ. ඒ ටික කන්න බලාගෙන කුරුල්ලෝ සෙට් එකක්ම පිටිපස්සේ කොළ හැලිච්චී මේපල් ගහේ වහලා ඉන්නවා. කුස්සියේ දොර ගාව ඉඳන් හරියටම අඩි දාහතරයි අඟලක් දුරින් තියෙන ලෑල්ල උඩට බත් ටික දාලා මං ආපහු හැරෙද්දිම කුරුල්ලෝ ටික බස බස ගාල ඒ ටිකට වැඩේ දෙන්න පටන් ගන්නවා.
හරියටම අඟල් විසි එකේ මොනිටර් දෙකක් අස්සෙන් කෝඩ් කෑලි එහෙ මෙහෙ කර කර ඉද්දී කොහොම හරි වෙලාව යනවා. වෙලාව පහයි. ඉර බැහැලා ගිහිං. ජැකට් ජර්සි ඔක්කොම පොරෝගෙන මාස්ක් එකත් මූණට දාගෙන මං එළියට බහිනවා. සීතල යන්නත් එක්ක ටිකක් හයියෙන් හයියෙන් ඇවිදගෙන කඩේට ගිහිං එළවළු ටිකකුයි පාන් ගෙඩියකුයි අරං එනවා. ගෙදර දොර ගාව ඉඳන් හරියටම අඩි එක්දහස් නවසිය හැට අටක් කඩේට තියෙනවා.
ගෙදරට එද්දී අම්මා ලංකාවේ ඉදන් කතා කරනවා. ලංකාවේ කොරෝනා උණ අඩු වෙලා චන්ද උණ වැඩි වෙලා කියලා අම්මා කියනවා. ෆෝන් එකෙන් ළඟ ඉඳලා වගේ කතා කෙරුවට හරියටම බන්දුරා හංදියේ ඉඳලා අඩි විසි හත් මිලියන තුන්සිය අනූඅට දහස් දෙසිය අනූහතරක් පන්නල අපේ ගෙදරට තියෙනවා.
කාලා බීලා ඉවර වෙලා මං ෆෝන් එක අතට ගන්නවා. හරියටම අඟල් පහයි ද‌ශම හතක් වෙච්චි screen එකේ මං ඉහළ පහළ යනවා. ඒ අස්සේ උඹව හොයනවා.. මගේ ඇඳ විට්ටමේ ඉඳන් හරියටම….
Related Posts Plugin for WordPress, Blogger...