නාඩි සෙට් එක

Sunday, October 21, 2018

අතීසාර මිත්‍රයෝ සහ ලැට්ක්ලා එක - ක්ලාස් කතා 01


ගොඩක් කාලෙකින් ඒ කිව්වේ සෑහෙන්න කාලෙකින් නාඩියක් කොටපු නැති වෙච්චි, ආයේ කොටපන් ආයේ කොටපන් කියලා හතර අතෙන් කෑ ගහන්න ගත්තු එකේ ඔන්න ඔහේ කොටලා දානවා කියලා හිතුනා.

පහුගිය දොහේ මොකුත් කොටන්න කරන්න බැරි උනේ නාඩියා ජුන්ඩියක් විතර ලොකු පිම්මක් පැනපු නිසා. ඒ කිව්වේ කසාද බැන්දේ එහෙම නැතුවා. මංතුමා අධ්‍යාපන සහ පරේක්ෂණ කාරණේකට විප්‍රවාසගත උනා. දැන් වාසේ දේසේ කැන්ගරු දේසේ. ඒ අල්ල පනල්ලේ මේක කොටන්න ඉස්පාසුවක් ලැබුනේ හදිසි වැඩකට ට්‍රම්ප් දේසෙට යන ගමන් අඩි දහපාලොස්දාහක් උඩ ඉඳන්. (ඔව් දැන් කියපං උඹට එච්චර උඩට යන්න උනා අකුරක් කොටන්න කියලා.. )

හැමදේම වෙනස් වෙලා බොලව්...

ඒ ඇහැව් අස්සේ ඉස්සර දොහේ කරපු කියපු දේවල් තනියම මනෝ පාරක් ගහගෙන ඉන්න වෙලාවට ඔළුවට එන එක වලක්වන්න අමාරුයි. ඒ අස්සේ ඇස් අග්ගිස්ස තෙත් වෙන වේලාවන් නැතිවමත් නෙවෙයි.

කොහොමෙන් කොහොම හරි අද කොටන්න හිතුවේ හරිම අපූරු අතීත මතක ටිකක්. අපි කොයි කාගේත් ජිවිතේ සොමිබර ජෝලිබර කාලසීමාවක් තමයි ඉස්කෝලේ කාලේ. ගෙදර ඇඳේ ඉඳන් හැතැම්ම බාගයක් දුරින් තිබිච්චි ඉස්කෝලේට අවුරුදු දහතුනක් ගච්චපු එකා වෙච්චි මං  ඉස්කෝලේ කාලේ ආයේ මදි නොකියන්න ආතල් එකේ හිටියා.

ඒ අස්සේ තිබිච්චි AL කාලේ පිස්සු බම්ප් වෙන කාලයක්. අවුරුදු දෙකකින් විතර ජිවිතේ තීරණේ කරන (ටිකකට හරි) මහා විබාගයක් තියාගෙනත් අපි ආතල් එකේ හිටියා. ගෙදරින් පොකැට් මනි විදිහට දෙන රුපියල් සීයෙන් පන්ති ගිහිං දවල්ට බඩ පුරව දානකම් බණ්ඩාගේ කඩෙන් තොසේ කන්න පුළුවන් උනා.

AL පන්ති තමා හොඳම එක. මෙහෙමයි. කාඩ් ගන්න නොගන්න එක වෙනම දෙයක් 😉 ඒ අස්සේ පොඩ්ඩක් ගණන් හදන්න එහෙම කම්මැලි නම්. Chemistry පරිවර්තන අරහං නම් ක්ලාස් එකක් දෙකක් කට් කරන්න අපේ සැට් එක පසුබට උනේ නෑ. ඔය කාලේ සිද්ධ වෙච්චි කතා දෙක තුනක් මතක විදිහට කොටලා දාන්න හිතුවා.

ඔන්න එක දවසක් උදේ පාන්දර හයේ බස් එක අල්ලාගෙන ක්ලාස් යන්නයි සූදානම. ඕක සෙනසුරාදා ඉරිදා දවස් දේකට බදු අරගෙන හිටියේ ක්ලාස් යන උන්. ඩබල් සීට් බොහොමයක් පාසල් ප්‍රේම වලින් පිරිලයි තිබ්බේ. අපි වගේ අහිංසකයන්ට පිටිපස්සේ සීට් එකේ පොඩි ඉඩක් සෙට් උනා. නැත්නම් පුට්බෝඩ් තමා. එක එක හෝල්ට් වලින් සැට් එකේ එක එකා ගොඩ වෙනවා. දැන් ඔන්න බස් එක ගිරිඋල්ල පාස් කරලා යනවා. 

පුට්බෝඩ් එකේ ඉන්න මට උදේ බඩට දාගත්තු කිරි එක සිග්නල් දෙන්න පටන් අරගෙන.

“අඩෝ පුෂ්පේ.. බොක පාරක් බාන්න ඕනේ වගේ ඕයි”

“මොන මඟුලක්ද. මං අදවත් ක්ලාස් යන්න ඕනේ. උඹ නාරම්මලින් බැහැලා වැඩේ කරගෙන ඊළඟ බස් එකේ වරෙන්”

බඩේ හොල්මන් ටික හරි අමාරුවෙන් ඉවසගෙන බස් එක නාරම්මල ස්ටෑන්ඩ් එකට දාපු ගමන් හුරේ රන් එක පබ්ලික් ලැට් එකට (ඒ වෙද්දී වටේ පිටේ නගර බොහොමයක ලැට් එක ඇස් පියාගෙන හොයාගන්න තරං මට්ටමක අපි හිටියා) නයි කයිද රෝස් පාන් කියපි! එතැන ලැට් එක නෑ කියපන්කො!

පුක බෙරි කරගෙන වටේ කැරකිච්චි මාව දැකපු ත්‍රිවිල් අයියා කෙනෙක්...

“මල්ලි ලැට් එක ගිය බදාදා කැඩුවනේ අලුතින් හදන්න කියලා!!!”

හිටපං ඇති වෙච්චි තත්ත්වේ! හරිම අමාරුවෙන් එතැන තිබ්බ තේ කඩේකට දුවලා වැඩේ ගොඩ දාගත්තා. මොන ක්ලාස් යාමක්ද එදා. පැයක් පරක්කු වෙලා ක්ලාස් යන්න පුළුවන් යෑ! බෝකක් සෙට් වෙලා ක්ලාස් ගියේ නෑ කියලා රෙද්දක් ඇදගෙන ගෙදර යන්න පුළුවන් යැ!

ඔය AL කාලේ කියන්නේ කොල්ලෝ කෙල්ලොන්ගේ හද මෝරන කාලේ නේ. එකම විදිහේ විත්‍රපටි හැමදාම බලලා ඇති වෙලා හිටිය අපිට, නෙක නෙක පාට ඇඳගෙන හතර අතෙන් එන කෙලි පොඩිත්තියෝ දැක්කහම නිකම් කාන්තාරේ යන ඔටුවොන්ට වතුර පෙන්නුවා වගේ කිචි කැවෙන සීන් එකක් තිබ්බා. ඉතිං ඔය කාලේ පොඩි පොඩි හුට්ටප්පර තිබුනේ නැතිවමත් නෙවෙයි. හැබැයි ඉතිං මේ කාලේ වගේ වට්සැප්, වයිබර මොකුත් නෑ. පොඩි නොකියා මෝබයිලාවකට රුපියල් පනහක රිලෝඩ් එකක් දාගෙන මාසයක්වත් අදින්න අපිට සිද්ධ වෙලා තිබ්බා. ඉතිං ලොකුම communication medium එක මැසේජ් තමා. නැත්නම් මිස් කෝල්! ඔව් යකෝ! අපි සමහරු මිස් කෝල් වලින් මෝස් පණිවිඩ යවන ක්‍රමයක් හොයාගෙන තිබ්බා!

ඔන්න මංතුමත් ගල අයිනේ ඉස්කෝලේ ගෑල්ලමයෙක් එක්ක පොඩ්ඩක් හිනා වෙන්න කතා කරන්න පටන් අරගෙනයි තිබ්බේ ඒ වෙද්දී. 😉 වැඩේට සපෝට් කරන්න ඕනෑම වෙලාවක ක්ලාස් කට් කරන්න උනත් උරදෙන අතීසාර මිතුරු කැලක් හිටියා. ඔන්න මිස් කෝල් වලින් මැසේජ් වලින් ගලා ගිය ප්‍රේමේ හා හා පුරා කියලා හම්බෙන්නයි මංතුමාගේ සූදානම. කුරුණෑගල පරණ මාකට් එක ඉස්සර කොක්කු පිරිච්චි ගස් යට ගහන ලෝකේ හිමිංම යන බස් සැට් එක මතක ඇතිනේ. ඔතන තමා තැන. දවල් දොළහට විතර “එයා” එනවා කිව්වා. මගේ තනි නොතනියට අපේ උන් දෙක තුනක් හත් අට පොලක උකුසු ඇස් යොමාගෙන හිටියා. ඇතුගල රත් වෙලා උණුහුම් වෙච්චි හුලං පාරක් ඉම්පීරියල් එක පැත්තෙන් ඇවිත් ගස් අතු හොලවගෙන හැමුවා. කපුටු කූඩු වල අපිළිවෙලට තිබිච්චි කෝටු හයියෙන් හයියෙන් අඩි තිය තියා යන කෙල්ලොන්ගේ කුඩ උඩට වැටුනා. එයා ආවා!

“අද ක්ලාස් ගියාද” - ඒ මම!
“හ්ම්ම්...”
“මමත් ගියා”
“හ්ම්ම්..”
“හවස ක්ලාස් යනවද?
“හ්ම්ම්....”

ඒ අහව් අස්සේ කෙල්ල බයෙන් බයෙන් වගේ මහේ උරිස්සට උඩින් පිටිපස්ස බලනවා මට පේනවා. මං තුමා පිටිපස්ස බැලුවද? නෑ සහෝදරවරුනි, ඒ අක්ෂි රසායනය නේත්‍ර දෙකෙන් මොහොතකටවත් අයින් කරගන්න මං ලෝබ උනා මිත්‍රවරුනි!

කෙල්ල ටිකක් සලිත උනා කියලා මට තේරුනා. හදිස්සියෙන් වගේ අතේ බැඳපු ඔරලෝසුවෙන් වෙලාව බලපු දැරිවි,

“මට පරක්කු වෙනවා. මං යනවා!”
ඈ යන්න ගියා!

මොහොතක් ගල් ගැහුණු මං පිටිපස්ස බැලුවා. කිව්වට ඇස් වහක් කටවහක් නෑ පුෂ්පයා ඇතුළු අතීසාර මිතුරු කැල කට බලියාගෙන විරිත්තාගෙන පිටිපස්සේ!

“තොපි මොකෝ මැද්දට පැන්නේ?”

“නෑ බං ඒ කෙල්ල අපිත් එක්ක නිකං යන්තමට හිනා වෙනවා වගේ අපි දැක්ක. ඉතිං හිතුවා උඹ අපි ගැන කියන්න ඇති කියලා. ඉතිං අපි පොඩ්ඩක් කෙල්ල හොඳට බලාගන්න ලොකේෂන් ගත උනා”

එච්චරයි! මුන්ගේ විරිත්තිල්ලෙන් කෙල්ල බය උනා! නානා හරක් දිහා බලනවා වගේ කෙල්ලෙක් දිහා කොල්ලෝ රංචුවක් බලං ඉද්දි මොන මුවැත්තියද බිය නොවන්නේ මිතුර!
මට කෙල උනා. එයා ආයේ මිස් කෝල් එකක්වත් ගැහුවේ නෑ.


මේ ටිකයි! ඉතුරු ටික පස්සට!

Saturday, May 19, 2018

ඉර


දවස් ගානක් වැහැලා මුළු කොළඹ ම තෙත බරියන් වෙච්චි සතියකට පස්සේ හරි අපූරුවට ඉර එළිය වැටිලා තිබිච්චි දවසක අවසානේ.. වැස්සට ලුණු කහට හේදුනු තට්ටු බර ගාණක බිල්ඩිමේ ජනේලයකින්, රතුවට රතුවේ ගිලෙන්න යන්න ඉර ගෙඩිය දිහා මං බලාගෙන ඉන්නවා.

වැස්සට හේදිලා කළු පාට උනු පාර දිගේ කහ පාට ලයිට් පත්තු කරගෙන හිමිහිට ගාටන වාහන කන්දරාව දිහා බලාගෙන හිටිය මට හදිස්සියේම පොඩ්ඩක් එළියට යන්න ඕනේ කියලා හිතෙනවා. පාට පාට සරුන්ගෝල ඉගිලෙන ගෝල් ෆේස් එක. හැමදාම වගේ ලොකු බර හුස්මක් පහළ දාන්න ඕනේ උණු වෙලාවට ඉබේටම වගේ කකුල් දෙක ඇදෙන්නේ එතැනට.

කොළඹ වරායේ බඩු බාන ජිරාෆ්ලාගේ බෙල්ලේ හයි කරපු ලයිට් හරි අපූරුවට ඈතට පේනවා. හැබැයි වෙනදට නිල් පාට සාගරේ මැද්දෑවෙන් පෙනෙද්දී තිබුණු ලස්සන අලුත ගොඩ දාපු මඩ පාට වැලි අස්සෙන් පෙනෙද්දී නැත්දෝ මන්දා කියලා හිතෙනවා.

මොන මොනවාදෝ කියවා කියවා හයියෙන් හිනාවෙන සුදුමිටි ඇස් පුංචි මිනිස්සු හතර පස් දෙනෙක් මාව පහු කරගෙන යනවා. හැමදාම වගේ රතු වෙන්න බැඳපු ඉස්සෝ වඩයකට කැරට් රට ළුණු ටිකක් ඉහගෙන අතට අරගෙන මං හිස් වෙලා තිබිච්චි බංකුවක ඉඳගන්නවා.

ඉර හරි අපූරුවට බැහැලා යනවා. මහ මුහුද මැද්දේ නැව් දෙක තුනක් හීනියට ඉහළ පහල යන හැටි හුළඟත් එක්ක මුහු වෙලා බලාගෙන ඉන්නකොට කවුරු හරි පිටිපස්සෙන් මගේ නම කියනවා ඇහෙනවා.

“ඔයා මොකෝ මෙතැන කරන්නේ?

අනූ! පොඩි කාලේ ඉඳන් එකට ඉස්කෝලේ ගිය එකී දැන් ලොකු තැනක ලොකු රස්සාවක්! මට හීනියට හිනාවක් යනවා.

“අපි ඉතිං කොහොමත් එහා වැටේනේ ඉන්නේ. මොකෝ මේ හදිස්සියේ ලොකු නෝනා කලින් ඔෆිස් එකෙන් පැනලා වගේ”

“නෑ අනේ.. මේ නංගි මගේ බෝඩිමේ මයි. අද ගෝල් ෆේස් එන්නම ඕනේ කිව්වා. ඉතිං එක්කගෙන ආවා.”

අනූ ත් එක්ක කොන්ඩේ කැරලි ගැහිච්චි හරිම ලොකු හිනාවක් තියෙන කෙල්ලෙක්.. ඒ ළමයා හිනා වෙද්දී කම්මුලේ හරිම අපූරුවට වලක් හැදෙනවා.

“ආ.. නංගි.. මේ නාඩි.. ඉස්කෝලේ කාලේ ඉඳන් දන්න පරාළ ඇණයක්!” අනූ කියවන්න පටන් ගන්නවා.

ඒ ළමයා කියන හැම ඒකට හරිම අපූරු විදිහට හිනා වෙනවා.

කොයි වෙලෙත් කරදර කරන මෝබයිලේ ඒ වෙලෙත් සද්ද කරනවා.
“ඔව්. මං ඉක්මනට එනවා ඔෆිස් එකට. පොඩ්ඩක් එළියට ආවා.” තට්ටු තිහක් උඩින් එන කෝල් එකකට මං උත්තර දෙනවා.

“දැන් හරි බිසී මිනිහෙක් නේ..” යන්න යන්න ඉතිං” අනූ ආයෙත් කින්ඩි දානවා.

“අනේ අයියේ.. යන්න කලින් අපි දෙන්නගේ ෆොටෝ එකක් අරගෙන දෙන්නකෝ..” හිමාලි; අනූත් එක්ක ආපු ළමයා ෆෝන් එකක් දික් කරන ගමන් කියනවා.

පොඩි වෙලාවකට ෆොටෝග්‍රෑෆර් කෙනෙක් වෙච්චි මං ඒ දෙන්නගේ ෆොටෝ එකක් අරගෙන ෆෝන් එක ආපහු දෙනවා..

“අයියේ.. ඉර බහින එකෙත් ෆොටෝ එකක් අරගෙන දෙන්න. අද හරි ලස්සනට ඉර බහිනවා ඇති”

.... “ඇති”???

හිමාලි එහෙම කියනවා. අනූ ගේ අත අත අරින්නෙම නැතිව හයියෙන් හිනාවෙන, කළු පාට අඩු අව පාට ඇස් කොහේදෝ ඈත බලාගෙන මට කතා කරනවා.  

Tuesday, August 22, 2017

ප්‍රථම හාදුව

මේ ඒ හාදුව නෙවෙයි...

දස මාසයක් කුසයේ වද දිදී ඉඳලා නෙක් වේදනා දීලා මේ ලෝකේ එළිය දැක්ක මොහොතේ, ඒ වේදනා ඔක්කොම අමතක කරලා තෙත් වෙච්චි කම්මුලට සදාදරණිය අම්මා දුන්නු උණුහුම් හාදුව නෙවෙයි..

වෙන එකක්...

වැලි කෙළි... කෝම්පිට්ටු බත්... කොස්කොළ ඔටුනු කාලේ පහු කරන් සෙනෙහෙ කොළ.. චොකලට් යුගයට පය තිබ්බ කාලේ....හිත් ඇතුලේ හොල්මන් කරපු හාදුව..

ආදරේටම ලියාපදිංචි වෙච්චි... ආදරේම අයිතිවාසිකමක් වෙච්චි අපූරු මානවීය සන්නිවේදනයක්...

ටෙලි චිත්‍රපට වල බොඳ කරලා පෙන්නුවට, දෙන්න ලබාගන්න තිබිව්ච්චි අහිංසක හීනේ කවදාවත් බොඳ නොවිච්චි හාදුව

සරාගික සංඛේතයක් විදිහට හංවඩු ගැහෙද්දි විරාගික නොවිච්චි ලෝකෙක නුරා හැඟුම් පුබුදවපු හාදුව  

ඒ ඔක්කොම අතරේ අති විශේෂ උත්කර්ෂය....

"ප්‍රථම හාදුව"

අමතක කරන්න කොහෙත්ම බැරි, මතක් කරගන්න උවමනා නැති, ඇඟ කිලිපොලා යන මතක ගොන්නක්.

අඩ අඳුරු සිනමා හලක, සරසවියේ බංකුවක, බස් එකක මුල්ලක, සමහර විට මහ පාරේම... ඔව්... සෙනඟ සිය ගානක් එහා මෙහා යන මහ පාරේම... පවුරු වළලු සීමා බිඳ දමාගෙන දොරේ ගලපු හැඟීම් ගොන්න...

එහෙමත් නැත්නම්...

ලක්ෂ ගානක් වියදම් කරපු හරිම ලස්සන විවාහෝත්සවයක් අවසන... සීතල කරපු කාමරේක.. රතු මල් පෙති විසිරුණු සයනයක... විල්ලුද ඇතිරිල්ලක... ලැජ්ජාවෙන් මිරිකිච්චි හැඟීම් ගොන්න...

කවුරු කොහොම කෙසේ කිව්වත්...



ඒ හාදුවට අපි හැමදාම ආදරෙයි..

Tuesday, December 27, 2016

අශෝකමාලා


වනේ වන කුසුම් පරයන පැහැ වත කමලේ
බාලේ ඉඳන් රැහැ බබලපු නෙත් සඟලේ
කොමළ සිනා කැන් වගුරපු දසන් පෙලේ
මිහිර කෙලෙස මකවන්න ද පපු මඩලේ

උක්දඬු බටනලා සර රස හිඟ උනාදෝ
මොර පලු කෝන් දිව තෙත් නොකලාදෝ
තුන් ගල් ලිපේ ඉදෙනා බත් රස නොවුනාදෝ
පුලා යදින්නට හිත දිරි මදි උනාදෝ

ඇත් අස් සෙනග පිරිවර නැත රැකවල් යන්න
රන්වන් දුහුල් සළු නැත සතපන්න
තන්තිරි මාල නැත ගෙල පටලා රදවන්න
ආල පිරුණු හිත ඇත මදි නොකියන්න

රන්මසු උයන් කෙළි කැප නැත රොඩි දනන් හට  
අඩ මස්සටත් වේ මහජන වැද යදින්නට
සාලිය නාමේ ළඟකින් බෑ තබන්නට
ඒත් හිතේ ආලේ බෑ වහන්නට  

රජ කුමරෙකු රවටපු මායම්කාරි
චණ්ඩාලියකැ වාසල අවමන්දාරි
රන්මසු උයනේ මල් නෙලනා කටකාරි
ඔබමයි තවත් මගේ හිත දිනු හැඩකාරි   



සාලිය අශෝකමාලා පවත ලක් ඉතිහාසයේ පරසිඳු පෙම්  වෘතාන්තයකි. සාලිය කුලගොත් නොසලකා රාජ සම්පත් අතහැර අශෝකමාලා සරණ කොටගත් බව සැබෑව...

නමුදු....

අශෝකමාලාවන්ට පෙම් බැඳී රැහේ එකෙක්ගේ සරය මෙසේ විය නොහැකිද...?


Thursday, November 24, 2016

කාසි

“මෙදා පොටේ නම් පිල්ලෑවේ ගෙදර බබානිස් ගොයියට හොඳටම සරු පාටයි. තාර පීප්පේ වගේ හිටියට ඔය ගෙනාවේ යස රන් තැඹිලි ගෙඩියක් වගේ හාමිනේ පොඩ්ඩක්...”

ආයෙත් අහලා.... කිව්වට ඇස් වහක් කටවහක් නෑ.. අහළ ගම්තුලානක නම් නෑ ඒ වගේ හැඩකාරියක්”
ගම්සභා හන්දියේ සිමියොන්ගේ කඩේ හැමෝගෙම කතාව බබානිස්ගේ කසාදේ ගැන..  

“දවස් තුනක් ම ඔය මඟුල් කෑවේ.. ආයේ අඩුවක් පාඩුවක් කළේ නෑ. රට බීම ගෙනත් දුන්නේ ගමේ උන්ට ඉස්ම යන්ඩ බොන්ඩ! සුදුවා අරවා මෙව්වා වගේද එව්වා! අන්න මඟුල්!”

“ඔව් ඉතිං... රට වටේ ඉන්න උන්ට ගිනි පොලියට ණය දීලා බලෙන්ම වගේ ඉඩම් කඩම් ලියා ගත්තු එකාට බැරියැ ගමට බැරිනං අල්ලපු ගං තුන හතරකට කියලා මඟුල් කන්න!”

මෙච්චර වෙලා සද්ද බද්දයක් නැතිව කොනේ බැංකුවේ කෝපි කෝප්පයක් බිබී හිටපු පීටර් සීයා කියපු කතාවෙන් පස්සේ කවුරුත් මීක් නැතිව ගියා...

බබානිස්.. අවුරුදු හතරකට පස්සේ ගමට ඇවිත් හා හා පුරා කියලා ආයෙත් අහන්න උනේ ඒ මූසල නම! ගම රට අත ඇරලා ගිනි ගහන කට්ට අව්වේ කර වෙවී වැස්සට තෙමි තෙමි සිමෙන්ති එක්ක ඔට්ටු වෙලා හම්බ කරපු හැම තුට්ටුවම ඒ මනුස්සයාට ගිනි පොලී ගෙව්වා.

අප්පච්චි හතර අතේ ණය වෙලා වපුරපු කුඹුරු කෑල්ල පුරන් උනේ මං උසස් පෙළ ඉවර වෙච්චි ගමන්මයි.
“වෙන කරන්න දෙයක් නෑ. කෙල්ලටවත් කොහොම හරි හොඳට උගන්නමු. බබානිසා දැන් ගිනි පොලියටවත් සතයක් දෙන්නේ නෑ හිලව්වට ඔප්පුවක් නැතිව. කොහෙද ඉතිං අපි බැංකු ගානේ යන්ඩයැ! සේසතකට තියෙන්නේ මේ ගේයි ඉඩම් කෑල්ලයි තමා.”

නංගි උසස් පෙළ කරන්න කුරුණෑගල ඉස්කෝලේට ගියා. පන්ති සල්ලි... බෝඩින් සල්ලි... බස් ගාස්තු... වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ. පුරන් වෙච්චි කුඹුරේ කීයක් හරි හොයන්න කියලා ගොඩ වගාවක් දාන්න වෙලට යද්දී සර්පයෙක් කාලා ඔත්පල වෙච්චි අප්පච්චි අතින් පිරවෙච්චි ගෙදර හැඹිලිය පුරවන්න උනේ මට.

“ඔයාට ගම දාල... මේ මං දාලා... කොළඹ ගිහිං ඉන්න පුලුවන්ද අයියේ...”

“වෙන කරන්න දෙයක් නෑ හිමාලි... වැල යන අතට මැස්ස ගහන්න එපැයි ඉතිං... ඇරත් වැඩි කාලෙකට නෙවෙයි. මේ ණය තුරුස් ටික ඉවර කර ගන්නකම් විතරයි.”

වැලි කෙළියේ ඉඳන් එකට හිටිය හිමාලි ඩිංගෙන් ඩිංග පපු කැවුත්තට ලං උනේ ඇවැස්ස නෑනා හින්දම නෙවෙයි.  ඒකිගේ තිබිච්චි අපූරු ලෙංගතුකම ලේ නෑකමටත් එහා ගිය උනුහුමක් ගෙනාවා. සල්ලි වල ඉඩම් කඩම් වල තිබිච්චි හයිකාරකමට නැන්දා අපේ සම්බන්දෙට කොච්චර අහු කොන් පෑවත් නිවාඩු නිස්කලංක වෙලාවක කාටත් හොරා අපි මහ නියරේ කඩාඩුව කැඩෙන වක්කඩ ළඟ මුලච්චි උනා.

උපන්තේකට මේසන් හැන්දක් අල්ලලා නැති මට අහස උසට බදින කොළඹ බිල්ඩින් වල පලංචි දිගේ බඩ ගාන්න උනා. උසස් පෙළ ඉහළින් පාස් වෙච්චි නංගි හන්තානට සින්න උනා.

බීලා ඉවර කරපු කහට කෝප්පේ කඩ ලෑලි ගොඩ උඩින් තියලා මං පාරට බැස්සා. ගම හුඟක් වෙනස් වෙලා. දූවිලි අහුරගෙන රතු පාට ලකඩ බස් එකක් දුවපු පාරට තාර කට්ටයක් වැටිලා.  හන්දියේ තොග කඩෙන් ගෙදරට ගත්තු සිල්ලර බඩු ටිකයි, ඩිස්පැන්සරියෙන් ගත්තු බේත් අප්පච්චිගේ බේත් කවරෙයි අත් දෙකට අරං මං අවුරුදු හතරකට එහා පිටමං වෙච්චි ගෙයි කඩුල්ල හොයාගෙන තාර කට්ටේ අයිනෙන් කකුල් ඉක්මන් කළා...

කොම්පැනි රබර් කෑල්ල ළඟ වංගුව හැරුණු ගමන් පාර අයිනේම බබානිස්ගේ ගෙදර. මඟුල් කාපු ඉතුරු පතුරු තාම අස් පස් වෙලා නෑ වගේ... බබානිස් ගේ ඉස්සරහ හෙන්දිරික්කා ගහ මුල බංකුවේ ඉඳගෙන සද්දෙට සිරික්කිය! අලුත ගෙනා මනමාලිත් එක්ක.

අඩියට දෙකට ඇස් වලට කටු අනින්නා වගේ වෙච්චි මනුස්සයා දෑහට නොපෙනෙන්න පහු කරන්න යද්දී ඇහැ කොනින් දැක්ක දෙයින් මං ගල් උනා!


හිමාලි!!!




Related Posts Plugin for WordPress, Blogger...