නාඩි සෙට් එක

Monday, March 14, 2016

ටුක් ටුක්

ටුක් ටුක්… ලංකාවේ අපේ කටට හුරුවෙච්චි ඒ අපූරු වචනේ අහපු නැති කෙනෙක් නැති තරම්. දුප්පත් පෝසත් කොයි කාගේත් වාහනේ වෙච්චි ත්‍රී විලරේ ලංකාවේ සංස්කෘතියේ නැතිවම බැරි අංගයක් වෙලා. 

ගම්බද පළාත් වල ලෙඩට දුකට බේතක් හේතක් ගන්න කොයි රෑක දවාලක උනත් උදව්වට එන්නේ ත්‍රී විල් මල්ලි. කොලොම්පුරේ හදිස්සියට එහාට මෙහාට යා ගන්න.. ඕනේ රෑක ආපහු බෝඩිමට යන්න අපිට තියෙන්නේ ඉතිං ටුක් එක තමයි.

“මේ ත්‍රී විල් කාරයෝ හින්දා තමයි පාරක යන්න එන්න බැරි!”
මේ ගෝරනාඩුව කාර් බස් එලවන කොයි කවුරුත් මන්තරේ වගේ කියන එකක්. කොයි ට්‍රැෆික් එකක උනත් අස්සෙන් රිංගලා යන්න ත්‍රී විල් අයියලා හරි දක්ෂයි. “මේ ත්‍රී විල් හින්දා තමයි අපරාධ වැඩි වෙන්නේ”... තවත් කොම්ප්ලේන් එකක්! ලැඟුම්පොළවල්, ගණිකාවන්, මත්ද්‍රව්‍ය එක්ක ඈඳුණු වෙනමම ත්‍රී විල් සංස්කෘතියක් තිබ්බත් අද කතාව ඒ ගැන නෙවෙයි. 

ඉස්සර නම් ආටා මල්ලි හයර් දිව්වේ හිතේ ගාන මිම්මට.. දැන ඇඳුනුම්කමට හිතවත්කමට ගාස්තුව පොඩ්ඩක් එහෙ මෙහෙ උනා. පොඩ්ඩක් හෙට්ටු කරලා ගාන පොඩ්ඩක් බස්ස ගන්නත් පුළුවන් අය හිටියා. 

හැබැයි ඊට පස්සේ මීටරේට දුවන්න පටන් ගත්තා. එක එක මීටර් කොම්පැනි, ඒ අයගේ පැකේජ වලට ත්‍රී වීලර් වල මීටර් හයි කළා. ත්‍රී විල් වලින් මාසෙකට ගානක් ගෙවන්න උනා. හැබැයි රියදුරු මහත්තුරු එහෙම ගානක් ගෙවලා උනත් මීටරයක් හයි කරගන්න කැමති උනේ මිනිස්සු මීටරේ ගානට ගෙවන එක ලේසියි වගේම ලාභයි කියලා තේරුම් ගත්තු නිසා. 

ඊට පස්සේ ත්‍රී විලරේ උනත් බුක් කරන්න පුළුවන් mobile app ආවා. මිනිස්සු smart phone වලට පුරුදු වීමත් එක්ක ඇප් එකෙන් වැඩේ කරගන්න එක දැන් හරියට ප්‍රචලිත වෙලා. PickMe App එක වගේ එකක් පාවිච්චි කරපුවහම හරි ලේසියි. කිලෝමිටරේට රුපියල් තිස්පහයි. ආපහු හෙට්ටු කරන්න වගේ සීන් මොකුත් නෑ! ගමන ගිහිං ඉවර උනාම රිසිට් එකත් කෙලින්ම e-mail එකට එනවා. ඔෆිස් එකෙන් ක්ලෙම් කරන්න උනත් ලේසියි. ටුක් ටුක්, මිනි, කාර් ඕනේ එකෙක්නේ... 

මට මේ ලඟදි මරු වැඩක් උනා. හදිස්සියටකට කොළඹ ඇතුලේ ත්‍රී විලරයක් අරගෙන යද්දී අරං ගිය බෑග් එකක් ටුක් එක ඇතුළේ අමතක උනා! අවාසනාව කියන්නේ එක පික්මි එකක් නෙවෙයි! නැත්නම් ආපු ගියපු තැන ට්‍රැක් කරගන්න තිබ්බනේ. ඉතිං ලොසේ ලොස් තමා!

එහෙ මෙහෙ යද්දී එද්දී ත්‍රී විල් අයියලා එක්ක කතා බහ කළොත් අපූරු විස්තර ටිකක් හොයා ගන්න අමාරු වෙන්නේ නෑ. සමහර අය ත්‍රී විල් එක හයර් කරන්න පාට් ටයිම් ජොබ් එකක් විදිහට. දවල් කාලේ රස්සාව කරලා රෑට ත්‍රී විල් එක දුවනවා. නැත්නම් වදුවෙන ජිවන වියදමත් එක්ක ගොඩ යන්න බෑනේ!

“උදේ හයට විතර පටන් ගත්තහම රෑ එක දෙක වෙනකං උනත් පාරේ ඉන්න දවස් තියනවා මල්ලි..නැත්නම් කොහොමද මේකේ රෙපයාර් එකක් ආපුවහම, රෝදයක් දා ගන්න උනාම කවර් කරගන්නේ!” එක දවසක් දෙහිවලදී සෙට් වෙච්චි අයියා කෙනෙක් කියපු කතාවක්.

“ඇප් එකනං හොඳයි. හැබැයි පිළියන්දල, කොට්ටාව පැත්තට හරි වත්තල ජා ඇල පැත්තට හරි හයර් එකක් වැදුනොත් ආපහු ගමන හුළං තමා. ඒක ටිකක් පාඩුයි.” තාමත් app එකෙන් ත්‍රී විල් එකක් බුක් කරගන්න එක ප්‍රචලිත කොළඹ වටේ විතරයි. 

“සමහර වෙලාවට බුකින් එක අපිට මැප් එකේ පෙන්නවා. එතනට ගිහාම මනුස්සයා ඉන්නේ ඊට කිලෝමීටරයකටත් වඩා එහා. නිකමට හිතලා බලන්න කොළඹ හවස ට්‍රැෆික් එකක විනාඩි 30ක් විතර වටේ ගිහිං මනුස්සයා ලඟට ගිහාම රුපියල් අසූවක විතර පොඩි හයර් එකක් වැදුනම තියෙන සනීපෙ! එතකොටනම් පට්ට පාඩුයි!” මේ තවත් පික්මි ෆෝන් මීටර් හයි කරපු ත්‍රී විල් අයියා කෙනෙක් කියපු කතාවක්. 

“සුද්දෝ ආපුවහම ඉස්සර නම් පොඩ්ඩක් වැඩි ගානට ගියා. දැන් මීටර් නිසා ඒ වැඩේත් බෑ. දුර පාරවල් වලින් අරං යන්නත් බෑනේ. ෆෝන් එකේ මැප් එක දාගෙන එන්නේ!” ගල්කිස්ස සයිඩ් එකේ හයර් කරන මල්ලි කෙනෙක් මේ සීන් එක කිව්වේ. හැබැයි ඒ වගේ නම් හොඳයි. මොකෝ ලංකාවට එන සංචාරකයෝ හූරන් කන්න බලාගෙන හිටිය කට්ටියකුත් ලංකාවේ හැදිලා හිටියනේ. මේක ඒ වගේ දේවල් වලට හොඳ විසඳුමක්. 

ලංකාවේ ත්‍රී වීලර් අනාරක්ෂිතයි කියනවනේ... නිකමට ඉන්දියාවේ, නැත්නම් කාම්බෝජේ වගේ රටක ටුක් ටුක් එකක ගිහිං බලන්නකෝ.. මතක් කරලා හයියෙන් අල්ලගෙන යන්න! :D
  

Wednesday, February 3, 2016

පුන්සඳ රෑට ඇවිදින්...


පුන්සඳ රෑට ඇවිදින් ඔපීසියේ කළුව බිඳ
පණ කෙදි සේම ලැප්ටොප් එක උඹේ ඉඹිනවද
තනියම හින දැක දැක මොටදැයි ගෙදර ඉඳ
රන් කඳ තාම ඔපීසියේ කෝඩින් කරනවද

ක්ලයන්ට් ලා රෑන කරදර කරන තුන් තිස් පැයම
රෑටත් කෝල් කර කර වද කරනවද
නෙස්කැෆෙ එහෙම වැඩිපුර බොන්න එපා පණ...
වැඩ කෙරුවාට මාසේ පඩිය නැද්ද තව

පුන්සඳ රෑට....

මැරුණා වාගේ  බෝඩිම් ඇවිදින් නිදන විට
මදුරුවෝ රෑන කණ ළඟ සිංදු කියනවද
ඇල්ටෝ එකවත් ලඟදි ගමු නේද පණ
සීපා ආවොත් කන්නට වෙන්නේ මගේ පඩි පතට 

IT කාරයෙක්ගේ තනි වූ පෙම්වතියකගේ කඳුළු කතාව... 

Monday, January 18, 2016

මගේ සිහින පාසල



කලකට පස්සෙයි බ්ලොගේට බැස්සේ... 

ජිවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්. එක එක කාලේට සමහර දේවල් වලට ප්‍රමුඛතාවේ දීලා අනිත් දේවල් පොඩ්ඩකට පැත්තකට කරලා තියන්න වෙනවා. පහුගිය මාස හතර පහම අධ්‍යාපනේ... රැකියාව වගේ දේවල් වලට පොඩ්ඩක් "එක" දීලා තිබ්බේ. බ්ලොගේ අමතක උනාම නෙවෙයි. ඇවිත් අනිත් ඒවා ටිකවත් කියවලා ගියා. 

දැන් කොලොම්තොටේ ඉන්න එකේ ආයේ මේ නාඩි වල මකුළු දැල් එහෙම කඩලා ගන්න කියලා බැලුවේ.

අලුත් අවුරුද්ද හොඳ දේකින් පටන් ගන්න හිතුවා. IMCD– International Movement for Community Development, සමාජ සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර එකමුතුව ගැන දන්නවනේ. දන්නේ නැත්නම් ඔතන කොටලා බලන්නයි ඇත්තේ.  කොහොමත් ඔය වගේ වැඩ වලට කැමති එකා වෙච්චි, මංතුමා අද කියන්න යන්නේ මේ මාසේ අන්තිමට වෙන්න යන අපූරු සමාජ සත්කාරයක් ගැන. 

IMCD කට්ටිය කරන “My Dream School - මගේ සිහින පාසල” ව්‍යාපෘතිය මේ සැරේ ව්‍යාපෘතිය කරන්න යන්නේ මොනරාගල ඔක්කම්පිටිය, සිරි සුමනජෝති විද්‍යාලයේ. 

අහිංසක ළමයි 268 ක් ඉගෙන ගන්න මේ පාසලේ අඩුපාඩු බොහොමයි. IMCD ස්වෙච්චා සංවිධානය බලාපොරොත්තු වෙන්නේ ඒ අහිංසක පුංචි උන්ගේ සිහින පාසල ගොඩ නගලා දෙන්න. 

ජනවාරි 30-31 සති අන්තේ ඔයාලටත් පුළුවන් නම් එකතු වෙන්න ශ්‍රම දායකත්වය වෙන්න. පෙබරවාරි පළවෙනිදා තමයි පුංචි උත්සවයක් තියලා පුංචි උන්ට තෑගී බෙදන්නේ.

පොතේ, පැන්සලේ ඉඳලා සිමෙන්ති කොට්ටේ වෙනකං පරිත්‍යාග කරන්න අපිටත් පුළුවන්.

Takas.lk එකත් මේ සත්කාරයට එයාලගේ පුර්ණ අනුග්‍රහය දීලා තියෙන්නේ. 

මෙන්න පහළින් ඔක්කොම සම්බන්ධ කරගන්න පුළුවන් විස්තර ටික දැම්මා.

අපිත් ඒ අපූරු ඉස්කෝලේ හදන්න යමු මචං...

ටකස් ගාල Donate කරන්න.

වැඩි දුර විස්තර - http://mydreamschool.imcds.org/

නැත්නම් ඔන්න කෝල් කරන්න.
Marino Joseph , Project Manager
M: 077 9006742
E: info@imcds.org
Lakmini Wahalathanthri , External Relations Manager
M: 077 230 7972
E: lakmini_26@hotmail.com

Related Posts Plugin for WordPress, Blogger...