නාඩි සෙට් එක

Friday, October 9, 2015

ආෆියා

“දැන් සෙල්ලම් කළා ඇති. හොඳටෝම හවස් වෙලා”

සාරි එකතු කරලා හදපු සෙල්ලම් ගේ අස්සෙන් එළියට ආවේ අම්මාගේ සද්දෙට. ආෆියා සෙල්ලම් ගෙදර අම්මා වෙද්දී මං තාත්තා උනා. දුඹුරු පැටි. අපේ ගෙදර පූසා... ගෙදර පොඩි එකා! මයිල් ගහක්වත් හොලවන්නේ නැතිව සැපේට නිදාගෙන ඉන්න පූස් තඩියා වඩාගෙන අපි සෙල්ලම් දොස්තර ළඟට බේත් ගන්න ගියා. 

සෙල්ලම් ඉස්කෝලේ දාන දවසට මං ළමයා... එයා ටීචර්. අපේ අම්මගෙන් ඉල්ලගත්තු පරණ සාරිය පටලවාගෙන පේර කෝට්ටක් අතට අරගෙන එයා මට ඉගැන්නුවා. 

“මේ ළමයාට මොකක්වත් මතක හිටින්නේ නෑ! හරිම දඟයි. කෝ දික් කරන්න අත!”

බොරු තරහක් අරගෙන කට උල් කරගෙන අතේ තිබ්බ පේර කෝට්ටෙන් එකක් දෙකක් තැලුවා. ඒ කාලේ හරිම සුන්දරයි. 

ආෆියා හිටියේ අපිට එහා පැත්තේ ගෙදර. ආෆියාගේ තාත්තා, ඉම්රාන් අංකල් අපේ අප්පච්චිත් එක්ක එක ඉස්කෝලේ ඉගැන්නුවා. 

දිග කලිසමක් ඇඳගෙන, ඒ උඩින් සුදු ගවුම ඇඳගෙන ආෆියා ඉස්කෝලේ ගියා. උදේ අපිත් එක්කම එකම වෑන් එකේ. හවස ඉස්කෝලේ ඇරිලා අපේ අම්මා අපි දෙන්නවම එක්කගෙන ගෙදර ආවේ හන්දියේ කඩෙන් චොකලට් බෝල පැකට් දෙකක් දෙන්නගේ අතට අරං දීගෙන. 

මුෆිඩා, ආෆියාලගේ අම්මට රසට වටලප්පන් හදන්න පුළුවන්. හැමදාම රාමලාන් වලට හදන පැණි රහ වැඩි වටලප්පම් කන්න අපේ ගෙදර අය මඟ බලාගෙන හිටියා. 

ශිෂ්‍යත්වේ පාස් වෙලා මං කොළඹ ගියත්, හැම සිකුරාදාම හවස මම ගෙදර ආවේ ආෆියා එක්ක කතා කරගෙන. ඕ ලෙවල් ලං උනා. ගණන් හැදිල්ල අරහං වෙච්චි මට ගණන් කියලා දුන්නේ ආෆියා. 

“කොච්චර කිව්වත් මතක හිටින්නේ නැත්තේ හිත වෙන තැනකද දන්නේ නෑ!”

එයා මට විහිළු කළා. 

ඒ ලෙවල් වලින් පස්සේ මං කැම්පස් යද්දී ආෆියා ගෙදර නැවතුනා. එයාගේ මාමා කෙනෙක්ට අයිති බිස්නස් එකක accounting assistant කෙනෙක් විදිහට එන්න කියලා ආෆියාට කියලා තිබ්බා. 

“කැම්පස් ගිහාම ඉතිං අපිව අමතක වෙයිද දන්නේ නෑ”

“පිස්සුද! එතකොට මං කියන පිස්සු කතා අහගෙන ඉන්නේ කවුද?”

ඉස්සර වගේම බොරු තරහක් අරගෙන අහද්දී මං හිනාවෙන් උත්තර දුන්නා. 


...............................................


විභාගේ ඉවර වෙච්චි දවසක තඩි බෑග් එකත් එල්ලගෙන ගෙදර එද්දී ආෆියාලගේ ගෙදර ඉස්සර අලුත් වෑන් එකක් නවත්තලා තිබ්බා. මුළු ඇඟම කළු පර්දාවකින් වහ ගත්තු ගෑනු කෙනෙක් වෑන් එකට නගින ගමන් මං දිහා බැලුවා. තෙත් වෙච්චි කතා කරන ඇස් දෙකක් ඒ අස්සේ හිර වෙලා තිබ්බා.

Monday, August 10, 2015

හොලොලෙන්ස්


මේ නාඩිය කොටන්න කියලා පටන් ගත්තේ මහා පොළොවේ ඉඳන් අඩි තිස් හතරදාහක් උඩ ඉදන්. හැබැයි ඉවර කර ගන්න හම්බුනේ මහ පොළොවේදී. 

පහුගිය දොහොක මං තුමා ඔබාමා ගොයියාගේ රටට ගැච්චුවා. ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ සියැටෙල් නුවර රෙඩ්මන්ඩ් වල තියෙන මයික්‍රොසොෆ්ට් ප්‍රධාන ආයතනයේ තිබිච්ච Worldwide MSP Summit එකට සහභාගී වෙන්න තමා මං තුමා ගියේ. 

පැය 18ක ගුවන් ගමනක්. එක දිගට නෙවෙයි. ඩුබායි වල පැය දෙකක විතර transit එකක් එහෙම ඉඳලා තමා ගමන. 

සියැටෙල් නුවර කියන්නේ ලෝකේ මං ආසම නගරයක්. ගිය අවුරුද්දේ මාසයක් විතර හිටියනේ. ඒ විස්තරේ මෙතැනටඇමුනුවා. මොකෝ ආයේ කොටන්න කම්මැලියි.

මෙදා සැරේ එච්චර ඇවිදින්න කරන්න හම්බුනේ නෑ. මොකෝ දවස් පහම එක දිගට වැඩ තිබ්බා.
මේ දවස් ඇමරිකාවේ summer එක. ඒකත් එක්ක හරි අපූරු දේවල් ගොඩක් එහෙ සිද්ධ වෙනවා. 

අහලා තියනවද Microsoft Imagine Cup Competition එක ගැන. මයික්‍රොසොෆ්ට් ආයතනය මඟින් වාර්ෂිකව පවත්තවන තරඟයක්. Games, Innovation, World Citizenship කියන අංශ තුනෙන් මේ තරඟය පැවැත්වෙනවා. එක් එක් රටවල් වලින් තරඟ වැදිලා අවසාන වටේට තේරිච්ච ලෝක ශුරයෝ තමන්ගේ අපූරු සොයාගැනීම් එක්ක සියටෙල් වලට ඇවිත් හිටියා. ඒත් එක්ක TechReady event එක. Microsoft OneWeek වගේ IT related event නිසා ලෝකේ හතරදික්බාගෙන්ම කොම්පීතර කාරයෝ ඇවිත් හිටියා එකම තැනකට.

මේ දවස් පහේ මගේ නවාතැන උනේ වොෂිංටන් සරසවිය. හරිම ලස්සන තැනක්. ලෝකේ ලස්සනම පුස්තකාල දහයෙන් එකක් තියෙන්නේ මේ සරසවියේ. ඒ වගේම ඇමරිකාවේ හොඳම medical faculty එක තියෙන්නේ මේ සරසවියේ. 

උදේ හතට රෙඩ්මන්ඩ් මයික්‍රොසොෆ්ට් ඔෆිස් එකට යන්න බස් එකට නගිනවා. ආපහු එන්නේ රෑ 9 ට විතර. හැබැයි එද්දිත් ඉර බැහැලා නෑ!

බිල් ගේට්ස් ගොයියා පටන් ගත්තු මයිකොසොෆ්ට් එක දැන් Satya Nadella යටතේ තමයි තියෙන්නේ. ඉස්සර operating system එක්ක හැප්පුණු කොම්පැනිය දැන් අලුත් පැති හොයාගෙන යන්න පටන් අරගෙන. Windows Phone, Microsoft Band, Microsoft Azure cloud වගේ අලුත් පැති ඉස්සරහට එන්න පටන් අරගෙන ඒ වගේම Visual Studio වගේ IDE open source වල‍ට support කරන්න පටන් අරගෙන. 

දෙවෙනි දවසේ අපිට හරි අපූරු අත්දැකීමක් අත්දකින්න පුළුවන් උනා. Microsoft Hololens. මුලින්ම මේ වීඩියෝ එක බලලා ඉන්නකෝ..

බළලා මල්ලෙන් එළියට පැනලා හිටියට තාම මේ අපූරු ගැජට් එක මාකට් එකට ඇවිත් නෑ. Augmented Reality සාමාන්‍ය භාවිතයට ගේන මරු බඩුවක්. තාම තියෙන්නේ experimental stage එකේ. වැඩිය හින්ට් එළියට දෙන්න බෑ. ඔන්න මං තුමාම ලියපුබ්ලොග් පෝස්ට් එකක් තියනවා. කියවලා බලන්නකෝ ඔච්චර interesting නම්...

ලෝකේ රටවල් 75කින් විතර එකතු වෙච්චි ඩයල් එක්ක වැඩ කරද්දී මරු මරු වැඩත් වෙනවා. මගේ room mate උනේ ජපන් ඩයල් එකක්. මරුම සිද්ධිය ඌට සිංහල බෑ. මට ජපන් බෑ. ඊටත් වඩා ඌට එච්චර ඉංගිරිසිත් බෑ! අතින් පයින් තමා වැඩියෙන්ම ගනුදෙනු. පොඩි කාලේ ඉඳලා ටිකක් හරි අපිට ඉංගිරිසිය කට ගාපු ඒ ගුරු උත්තමයොන්ට පිං අයිති වෙන්න ඕනේ. :D
ලෝකයම එක තැනක
තවත් මගේ හිතට වැදිච්චි දෙයක් තමයි innovative thinking කියන එක. ලංකාවේ හැම තැනම දැන් IT කාරයෝ. ඒ වගේම අපි හැම වෙලේම කතා කරනවා සීගිරිය වගේ අරුම පුදුම නිර්මාණ ගැන. Innovation ගැන උපන් හැකියාවක් තියෙන අපි හැබැයි ඒ හැකියාවෙන් ප්‍රයෝජන ගන්නේ නෑ. 

අපි බලන්න ඕනේ ඇමරිකාව වගේ හඳට යන නිර්මාණ කරන්න නෙවෙයි (පුළුවන් නම් කිසි වැරැද්දක් නෑ) අපි කරන්න ඕනේ අපේ වටපිටාවට ගැලපෙන නිර්මාණ. උදාහරණ දෙකක් තුනක් කියන්නම්. 

නයිජීරියාව කියන්නේ අප්‍රිකාවේ තියෙන රටක්. ඒ රටේ විශ්වවිද්‍යාල කණ්ඩායමක් නිර්මාණය කරලා තිබ්බා ඇස්මා රෝගීන්ට අතේ පළදින්න පුළුවන් උපකරණයක්. ඒ මඟින් පුළුවන් වෙනවා ඇස්මා රෝගීන්ට අහිතකර තත්ත්ව හදුනා ගන්න. 

සයිප්‍රස් රටේ කෘෂිකර්මාන්තය ඉතා දියුණු රටක්. ඒ අය නිර්මාණය කරලා තිබ්බේ automated green house එකක්. ඒ කියන්නේ ඒ රටට ඉතා වැදගත් දෙයක්.

අපි කරන්න ඕනේ අපිට තියෙන දේවල් තාක්ෂණයත් එක්ක මුහු කරන්නේ කොහොමද කියලා බලන එක. 

කොහොමෙන් කොහොම හරි වැඩ කටයුතු ඉවර වෙලා මංතුමා ලංකාවට සැපත් උනා. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටින්. ආපහු ලංකාවට එද්දී මට එක දෙයක් හිතුනා. ගුවන් තොටුපොල කියන්නේ ලංකාවට එන විදේශිකයෙක්ට මුලින්ම පේන කරන තැන. හරියට ගෙදර ඉස්සරහ දොර වගේ. ඉතිං ඒ තැන ලස්සනට තියෙන්නේ එපැයි. ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ලස්සනට පේන විදිහට මේ තැන හදන්න අපේ ලොකු මහත්තුරු ටිකක් හිතලා බලනවනම් කොච්චර හොඳඳ...

ෆොටෝ නෑ කියලා බනිනවනේ! මෙන්න ඇල්බම් එකක්ම! 

Sunday, July 12, 2015

උඹ එනකම් අපි බලාගෙන ඉන්නවා. #RanaViruMeetup


ඒ 2008 අවුරුද්ද, ගෙදරින් එළියට බැහැලා කොළඹ ආපු මුල්ම කාලේ. උතුරුකරේ ඇවිලිච්චි යුද්ධේ භයානකකම, මිලේච්ඡත්වය කොළඹට විතරක් නෙවෙයි. ලංකාවේ දකුණු කෙළවරටත් කාන්දු වෙලා තිබ්බා. අපේ අම්මා මං උදේ ගෙදරින් ගිහාම ආයේ එනකම් කෝල් කර කර කොහෙද ඉන්නේ මොනවාද කරන්නේ කියලා අහපු වාර අනන්තයි. ඒ සාමාන්‍ය ජන ජිවිතේ කාලකන්ණි යුද්ධයක් හින්දා උඩු යටිකුරු වෙලා තිබිච්චි හින්දා. උදේ ගෙදරින් ගිය තමන්ගේ අප්පච්චි හවසට යහතින් ගෙදරට එයිද කියලා සැකයක් හැම ගෙදරකම ඇවිලුනා. 

සිංහ කොඩිය පොරවාපු මිනී පෙට්ටියක් හමුදා ආචාර මැදින් නොආපු ගමක් ලංකාවේ කොහෙන්වත් හොයා ගන්න බැරි උනා. දහස් ගානක් අපේ ත්‍රිවිධ හමුදා, පොලිසියේ වීරවරු තමන්ගේ අවසාන හුස්ම පොද ශ්‍රී ලංකාවේ ඒකීයත්වය උදෙසා පූජා කළා. කකුල් අත පය, ඇස් එකම කොඩියක් යට අපි හිනෙහෙනවා දකින්න කැප කළා. දින ගණන් සති ගණන් කුසට හරි ආහාරයක් නැතිව, බොන්න වතුර පොදක් නැතිව, වන්නි මහා කැලයේ ඒ අභීත විරවරු සටන් කළා. 

කවුරුත් වෙනුවෙන් නෙවෙයි! ඒ “අපි” වෙනුවෙන්...

යුද්ධේ ඉවරයි. දෙස්පාලුවොන්ට යුද්ධේ වවාගෙන කන තුවාලයක් උනාට,තමන්ගේ මුළු ජිවිතයම කැප කරලා ලංකාවේ ඒකීයත්වය වෙනුවෙන් සටන් කරපු අපේම සහෝදරවරු තවමත් ඒ අතීත ස්මරණයන් එක්ක ජිවත් වෙනවා. සමහරු රෝද පුටුවකට සිමා වෙලා... සිය ගණන් සතුරු ඉලක්ක හඹාගෙන ගිය උකුසු ඇස් අන්ධ වෙච්චි සමහර වීරවරු සුසුම් හඩකට සංවේදී වෙලා ... 

රාගම “රණවිරු සෙවණ” 

යුද්ධයෙන් අසරණ වෙච්චි රණවිරුවන් පුනුරුතාපනය කරන එක තැනක්. යුද්ධේ ඉවර උනාට ඒ විරවරු අමතක කරන එක මහා නිගාවක්. ඒ නිසයි ශ්‍රී ලංකාවේ Tweeps ලා එකතු වෙලා අපේ රණවිරුවන් හමු වෙන්න තීරණය කළේ.

දවස මේ මාසේ (ජූලි) 25 වෙනිදා. සෙනසුරාදා. උදේ නවයයි තිහේ ඉඳන් හවස පහ වෙනකම් ඒ අභීත විරවරුන්ගේ අඩවියේ ගත කරන්න අපි ඔබට ආරාධනය කරනවා.
මේ සත්කාරයට ඔබටත් සම්මාදම් වෙන්න පුළුවන්. 

පහත දේවල් තමයි එහෙට අවශ්‍යයි කියලා දන්වලා තියෙන්නෙ:
  • රෝද පුටු
  • වැලමිටි අත්වාරු
  • සිවිලිම් පංකා
  • ලිපිද්‍රව්‍ය
  • මුද්‍රණ යන්ත්‍ර සඳහා LQ2090 රිබන්

මුදලින් දායක වීමට කැමතිනම් මෙන්න ඒ ගැන විස්තර:
සම්පත් බැංකුව, Colombo Super ශාඛාව
නම: එම්. ඩී. සෙනරත් යාපා හෝ ඩබ්. ජී. ටී. ප්‍රනාන්දු
ගිණුම් අංකය: 1175-5482-2773

වැඩි විස්තර ඕනිනම් @RanaViruMeetup එකට tweet එකක් දාන්න, නැත්නම් muditha7@gmail.com හෝ gihangamos@gmail.comට ඊමේල් එකක් දාන්න. 

මෙන්න website එකේ ලින්ක් එක. 
http://ranavirumeetup.org/

දේශපාලනේ පැත්තකින් තියමු. අපි හැමෝගෙම ඇඟේ දුවන්නේ එකම රතු පාට ලේ. ඉතිං සත්කාරයකට එකතු වෙන්න තවත් මොන සීමා ද....?

ඔව්... උඹ එනකම් අපි බලාගෙන ඉන්නවා.


Related Posts Plugin for WordPress, Blogger...