නාඩි සෙට් එක

Saturday, March 21, 2015

කාන්තා දිනය තියෙන මාසයේ නම් කාන්තාව ගැන කතා එමටය. කාන්තා අයිතිවාසිකම්, සම තැන, නිසි තැන ආදී මෙකි නොකී කතා බහුලය. හැබැයි බොහෝ කතා එතැනින්ම ඉවර වෙනවා. ආයෙත් ඒ කතා පටන් ගන්නේ ඊළඟ අවුරුද්දේ කාන්තා දින සැමරුම් තියනා විටය.

කාන්තා දිනය ඉවර වෙලා දවස් දෙක තුනකට පස්සේ ඉන්දියාවේ ඉන්නා මගේ යාලුවෙක් (ගෑල්ලමයෙක්) කතා කළාය. 

“මාර වැඩක් නේ මට අද උනේ. හවස ලෙක්චර්ස් ඉවර වෙලා ඔටෝ එකක (ඉන්දියාවේ ත්‍රි වීලර් නැත්නම් ටුක් ටුක් වලට කියන්නේ එහෙමලු) එද්දී පාරේ පාලු හරියක නවත්තලා එලවපු මනුස්සයා ආපහු හැරිලා මගෙන් වැඩිපුර සල්ලි ඉල්ලුවා. මං බෑ කිව්වහම කෑ ගහන්න එපා කියලා තර්ජනේ කළා. මං ඉතිං සල්ලි දුන්නා. ටික කාලයක් යනකං ඉතිං බයට ඔටෝ වල යන එක නවත්තන්න වෙයි!” 

මේක හයිද්‍රාබාද් වල හොඳට එළිය තියෙන හවස හතරට විතර වෙච්චි වැඩක්. ලංකාවේ හැබැයි මෙච්චර දරුණු නැති උනත් තත්ත්වේ මිට පොඩ්ඩක් හරි සමානයි.

“බස් එකේ රෑ වෙලා කැම්පස් එන්න බෑ. මහන්සියට නින්ද ගියොත් එහා පැත්තේ ඉඳන් ඉන්න එකා අපිව කොට්ටේ කර ගන්නනේ බලාගෙන ඉන්නේ.” නුවර ඉඳන් කැම්පස් එන ආලෝකා ඒ විදිහට කිව්වේ අතිශෝක්තියකින් උනත් බොහෝ දුරට කතාව හරි. 

මේ වගේ බස් එකේ හේත්තුවක් දාන්න ආපු “අයියා” කෙනෙක්ට අපේ කෙල්ලෙක් මේ ලඟදි අතේ තිබ්බ කුඩෙන් හොඳට බැට දීලා තිබ්බා. මනුස්සයා හිමින්ම බස් එකෙන් බැහැලා ගිහිං.

හැමදාම පත්තෙරේ අරගෙන බැලුවොත් ස්ත්‍රී දූෂණ, අතවර වලින් නම් අඩුවක් නෑ. හැමදාම බණ අහන බණ කියන රටේ වෙන දේවල් කියලා හුල්ලන්න විතරයි අපිට පුළුවන් උනේ.

SLCERT එකට, ඒ කියන්නේ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට එන පැමිණිලි වලින් වැඩි හරියක් සමාජ ජාල, දුරකථන වගේ තාක්ෂණික මෙවලම් යොදා ගෙන කාන්තා හිංසනයට අත වනපු අවස්ථා. බලපුවහම අපේ උන්ට තියෙන්නේ පුදුම අහේනියක්.

ඔෆිස් එකක උනත් තත්ත්වේ මීට වෙනස් නෑ. ඇහැට කනට පේන කාන්තා පරාණයක් ආවොත් ඒක බාර ගන්න කට්ටිය එන්නේ පෝලිමේ. 

රටට විදේශ විනිමය ගේන ප්‍රධාන මාර්ගයක් වෙච්චි ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ මේ ලිංගික සුරා කෑම වගේම ශ්‍රමය සූරා කන එකත් අඩුවක් නැතිවම සිද්ධ වෙනවා. Man Power ආයතන කියලා අටවා ගත්තු උගුල් වලින් බොහෝ වෙලාවට වෙන්නේ අර්ථසාධක මුදලක් වත් දෙන්නේ නැතිව හොඳට වැඩ අරගෙන ඕනේ නැති උනාම එළවලා දාන එක.

“මට ඒ කම්පැනි එකේ වැඩ කරන්න බෑ මල්ලි. බොසා වැඩ දෙනවා දෙනවා ඉවරයක් නෑ. Deadline එකට දුන්නේ නැතිවහම කියන්නේ කරන්න බැරි නම් අස්වෙලා යන්න. ඔයාගේ Position එකේ වැඩ කරන්න ඕනේ තරම් male workers ලා අපිට හොයාගන්න පුළුවන් කියලා.”

රටේ හරිම ඉහළින් පිළිගන්න කොම්පැනියක වැඩ කරන අක්කා කෙනෙක් කියපු කතාවක් මේ.

ඉස්සර සිව් සැට අබරණින් සැරසිලා කාන්තාවකට ලංකාවේ දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුවට පයින් එන්න පුළුවන් උනාලු. හැබැයි දැන් ගියොත් නම් අබ සරණයි තමා..

මේකද යහපාලනේ නෙවෙයි...

මේකද අපේ මහා ලොකු හැදියාව, සභ්‍යත්වේ කියන එක තමයි අහන්න තියෙන්නේ. 

කොතනද අපිට වැරදුනේ?


පින්තූරය - www.dnaindia.com

Saturday, February 14, 2015

සුද්දෝ සහ ලංකාව


නාඩියක් කොටනවා කියලා ගොඩ දවසක් බලං හිටියා. ඉස්පාසුවක් හම්බුනේ නෑ ඒකක් කොටා ගන්නවත්! හොස්ස ළඟටම වැඩ!

මේක කොටන්න හිතුනේ පහුගිය දොහක නාඩියා විඳපු අත්දැකීමක් හින්දා.. 

ස්ලෝවේකියාවේ ඉඳලා ලංකාවට ආපු අපේ යාලුවෝ දෙන්නෙක් මාස දෙකක් ලංකාවේ වැඩ කරලා අන්තිම සතියේ ලංකාව බලන්න ඕනේ කිව්වා! සකළ සිරින් පිරි සිරි ලංකාවේ අසිරිය මේ සුද්දෝ දෙන්නට පෙන්නන්න ඕනේ කියලා ලංකාව වටේ යන ගමන් අනුරාධපුරේ පැත්තට ගච්චන්න කියලා මංතුමා කිව්වා. 

අප්පේ.. ලංකාව සංචාරක ව්‍යාපාරේ අතින් කොච්චර දියුණුද කියලා තේරුනේ සුදු හම තියෙන ඒ ජෝඩුව එක්ක එළියට බැස්සහම. කෝච්චියෙන් බැස්ස ගමන්ම ගයිඩ් ලා තුන් දෙනෙක් විතර අපේ ඩයල් දෙකව වට කරගෙන. මං එතනට එන ටිකට මුන් දෙන්නා පුදුම අමාරුවකින් ඒ සෙට් එකෙන් බේරිලා තියෙන්නේ. වටවන්දනාවේ එක්කන් යන්න. නවාතැන් හොයලා දෙන්න හරිම උනන්දුවක් තිබ්බේ ගයිඩ් ලා සෙට් එකට. හැබැයි ගාන එහෙම අහලා බලපුවහම අස්ප ගණන්!

කෑම කන්න කියලා හැමදාම වගේ අපි යන එන කඩේකට ගොඩ උනා. මොකෝ ව්ලැඩ්මීර්, මගේ යාලුවා හරි ආසයි බත් මාළුපිණි කන්න.  කාලා බිලා ඉවර වෙලා බිල ආපුවහම වෙනදා ගානට වඩා වැඩියි. කැෂියර් ගෙන් අහපුවහම ඒ සුද්දොන්ට දාන ගානලු! කාපන්කෝ බුල්ටොත් එක්ක පාන් කියපි!

හැම තැනම බලන්නේ කීයක් හරි වැඩියෙන් කඩා වඩා ගන්න. කොටින්ම කිව්වොත් පන්සලක් නැත්නම් ආගමික සිදධස්ථානයක් වෙච්චි මිහින්තලේ වදින්න රුපියල් 500ක් ගෙවලා ටිකට් එකක් ගන්න ඕනේ. අවුකන වදින්න රුපියල් 750යි!

මෙහෙමයි. සංචාරක ව්‍යාපාරයෙන් හම්බ කරන්න ඕනේ. ඒක ඇත්ත. හැබැයි ඒ කරන විදිහේ මොකක් හරි සීමාවක් තියෙන්න ඕනේ. ඒ වගේම නිසි පාලනයක් තියෙන්නේ ඕනේ. (යහපාලනයක් තිබ්බත් කමක් නෑ! :D ) මෑතක ඉඳන් කියවෙන දෙයක් තමයි ලංකාවට එන සංචාරකයෝ ප්‍රමාණය වැඩි උනාට ඒ එන අය මෙහෙ වියදම් කරන සල්ලි ප්‍රමාණය අඩු වෙලා කියන එක. ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. මොකෝ සංඛ්‍යාත්මක විදිහට දියුණුවක් පෙන්නුම් කලාට මදි ඇත්තටම ඒකෙන් රටේ ආර්ථිකේ ට හොඳක් වෙලා නැත්නම්.

ලංකාවට එන හැම සංචාරකයෙක්ම එකම විදිහේ ආර්ථිකයක් තියෙන අය නෙවෙයි. ඒ අය සමහරක් high budget travelers ලා. ඒ අතරේ සමහර අය low budget එකක් වියදම් කරන්න පුළුවන් හැබැයි ඒ වියදම් කරන ගානෙන් වැඩිම ප්‍රයෝජනයක් ගන්න බලාගෙන එන අය. ඉතිං අපි කරන්න ඕනේ මේ හැම කට්ටියටම හරි යන විදිහට සංචාරක ව්‍යාපාරේ කරගෙන යන එක.

ටිකක් හිතලා බලන්න අපි කොහේ හරි පිටරටක සවාරියක් ගිහිං එහෙ තියෙන මොනවා හරි බලන්න හරි කන්න බොන්න හරි ගිහාම ඒ රටේ උදවිය අපි ටුවරිස්ට් ලා විදිහට ගණන් අරගෙන වැඩි ගානක ටිකට් එකක් ගන්න කිව්වොත් අපිට? එපා වෙයි නේ! ඒකම තමා අනිත් පැත්තට ලංකාවේදී වෙන්නේ.

ලංකාවේ ටුවරිසම් කිව්වහම අපිට මතක් වෙන්නේ AC කරපු පත ටුවරිස්ට් බස් එකක යන සෙට් එකක් ගැන විතරයි. ඒ අය විතරක් නෙවෙයි.. ලොකු බෑග් එකක් උස්සගෙන මැප් එකක් බලාගෙන හැම තැනම ඇවිදින පාරේ බස් එකේ යන ඩයල් තමයි වැඩියෙන්ම ලංකාවට එන අය. ඒ කියන්නේ Backpack travelers ලා. මේ අය බොහොමයක් ඒ රටවල විශ්වවිද්‍යාල වල ඩිග්‍රිය ඉවර කරපු ගමන් රට තොට බලන්න සංචාරේ කරන අය වගේ උදවිය. ඉතිං වැඩි බජට් එකක් නෑ. ඒ විදිහේ අයගෙනුත් අස්ප ගණන් ගන්න ගිහාම වෙන්නේ අපේ රට ගැන එළියට යන පින්තුරේ නරක එකක් වෙන එක.

අපි හැමදාම සංචාරක ව්‍යාපාරේ කියලා මාකට් කරන්නේ හැමදාම තිබ්බ පින්නවලයි, නුවරඑළියයි, දඹුල්ලයි සීගිරියයි වගේ ටිකක් විතරයි. හැබැයි දැන් ඒ ටිකෙන් පොඩ්ඩක් එහාට යන්න කාලේ හරි. Eco tourism වගේ concept ලංකාවේ දැන් දැන් එළියට එන්න පටන් අරගෙන. ඒක හොඳ ප්‍රවණතාවයක්. ඒ වගේ Agri-tourism වගේ දේවල්.. කරදිය වගේම මිරිදිය ධීවරයෝ එක්ක එකතු වෙලා කරන Aqua-tourism වගේ දේවල් ලංකාවට අදුන්වලා දෙන්න දැන් කාලේ හරි. 

මං දන්නා විදිහට දැනට අවුරුදු දෙක තුනකට ඉස්සරලා ත්‍රිකුණාමල පැත්තේ ධිවර පවුල් එකතු කරගෙන දුම් ගැසූ මාළු (Smoked Fish) හදලා ඒවා එන සංචාරකයන්ට ලබා දෙන ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න ගියා. හැබැයි ආරංචි හැටියට ඒකත් ලප් තැනම ලොප්!

අනිත් එක තියෙන තැන් ටිකට ගිහාමත් ඒ එක එක තැන් ගැන විස්තර තියෙන මොනවා හරි දෙයක් තියෙන්න ඕනේ. අත් පත්‍රිකා වගේ දේවල් හොඳයි. හැබැයි දැන් අලුත් තාක්ෂණය තියෙන එකේ mobile App එකක්, තැන් හදුනා ගන්න GPS, ඒවා ටැග් කරන්න QR codes වගේ දේවල් හරිම ලේසියෙන් ඇති කරන්න පුළුවන්. ඒ වගේම මේ වගේ තාක්ෂණ කෞතුකාගාර වල වගේ හරිම ලේසියෙන් ඇති කරන්න පුළුවන්.

මේ තියෙන්නේ QR Codes පාවිච්චි කරලා සංචාරක ආකර්ෂණය තියෙන පැත්තක හරිම ලේසියෙන් ඒ තොරතුරු සංචාරකයෝ අතට පත් කරන ප්‍රොජෙක්ට් එකක් ගැන විස්තරයක්

ලංකාවේ ටුවරිසම් ගැන ඉන්ටනෙට් එකේ search කරපුවහම එන දෙයක් තමයි ලංකාවේදී මොනවාගෙන්ද සංචාරකයෝ පරිස්සම් වෙන්න ඕනේ කියන එක. ඒ ලිස්ට් එකේ මුලින්ම ඉන්නේ වැඩි ගණන් වලට හයර් දුවන ඩ්‍රයිවර් ලා සහ ගයිඩ් ලා. දෙවැනි තැනට ඉන්නේ බීච් බෝයිස් ලා. ඔන්න අපි ගැන ගිහිං තියෙන පින්තුරේ. 

දැනට මං දන්නා විදිහට මේ වගේ පුංචි පුංචි ප්‍රශ්න නිසා ආසියානු කලාපයේ සංචාරය කරන්න බලාගෙන ඉන්න සංචාරකයෝ බොහොමයක් ලංකාව තෝරාගන්නේ නැතිව මාලදිවයින, ඉන්දියාවේ ගෝව වගේ destination තෝරා ගන්නවා!

ශ්‍රී ලංකාව කියන්නේ අවුරුද්ද පුරාම ඉර එළිය තියෙන සංචාරක ව්‍යාපාරේට කියාපු රටක්! එහෙව් එකේ මේ වගේ ගොන් ඔලමොට්ටල වැඩ නිසා වෙන්නේ අපිට එන්න තියෙන විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වෙන රටවල් උදුරා ගන්න එක. 

ලෝකේ හැම තැනම “Visit Sri Lanka” ප්‍රදර්ශන තිබ්බට මදි. සංචාරක කර්මාන්තේ උඩ ඉඳන් යටට තියෙන හැම පැත්තක් ගැනම හොඳ අවධානයක් යොමු කරලා මේ අඩු පාඩු හදාගත්තේ නැත්නම් අපිට බොන්න වෙන්නේ හුළං තමයි!

පින්තුරය - www.wptb.lk
Related Posts Plugin for WordPress, Blogger...