නාඩි සෙට් එක

Sunday, August 10, 2014

නාඩි ඇට් ඇමරිකා - 2

පළවෙනි පට්ටන්දර ජාතකේ ඉවර උණු එකේ ඔන්න දෙවැනි එක! සියැටෙල් නගරේ මාසයක් විතරම හිටපු එකේ තව ඩිංගිත්තක් ඒ ගැන කොටන්න හිතුවා.

මං හිටියේ වසන්ත කාලේ  summer එකේ නිසා වැඩේ ශේප්! වැඩිය වැස්ස නෑ. නැත්නම් සියැටේල් කියන්නේ හැමදාම වැහි වලාකුළු වලින් බර වෙච්චි නගරයක්. මේ මිනිස්සු පරිසරේට හරිම ආදරේ ජාතියක් කිව්වනේ... නගරේ නම හැදිලා තියෙන්නෙත් ගහ කොළේ එක්ක ජිවත් වෙච්චි කෙලින් කතා කරපු මනුස්සයෙක් ගේ නමින්. රතු ඉන්දියන් නායක සියැටෙල්! තමන්ගේ භුමිය රැක ගන්න. ඒ තුයෙන සුන්දරත්වය ඒ විදිහටම රැක ගන්න සුද්දා ඉස්සරහ කෙලින් කතා කරපු මනුස්සයෙක්. අදත් ඉංග්‍රීසි සාහිත්‍යය ගැන එහෙම හදාරද්දී සියැටෙල් ගේ ප්‍රසිද්ධ කතාව ගැන කතා කරනවා.

ටහෝමා - ජල දිනිතිය 

Summer එකේ ගිනිකන්ද - tripadvisor.com


සියැටෙල් ඉදි කට්ට ගැන පහුගිය නාඩියේ කියද්දී පොරොන්දු උනානේ ඒකත් එක්ක තියන කන්ද ගැන කියනවා කියලා. මවුන්ට් රේනියර් ගිනි කන්ද.  මේක පිහිටලා තියෙන්නේ සියැටෙල් නගරයේ ඉදන් හැතැම්ම 60ක් විතර එහාට වෙන්න (ඇමරිකාවේ භාවිතා වෙන්නේ හැතැම්ම, යාර, අවුන්ස, රාත්තල් වගේ ඉස්සර ලංකාවේ එහෙම භාවිතා කරපු ඒකක ! කොටින්ම වාහනේ වේගේ මනින්නේ පැයට හැතැම්ම වලින්! ටික දවසක් යනවා ඒකට පුරුදු වෙන්නත්! )

රේනියර් නැග්ම
1894 දී අන්තිම වතාවට සද්ද දාපු මේ ගිනි කන්ද සක්‍රිය ගිනි කන්දක් විදිහට ලිස්ට් එකේ තිබ්බත් ළඟ පාතකදී සද්දයක් නම් දාල නෑ. මේක එසේ මෙසේ උස කන්දක් නෙවෙයි. පිදුරුතලාගල වගේ දෙගුණයක් විතර උසයි. ඒ කියන්නේ මීටර් 4,392 ක් උසයි.

ටහෝමා නැත්නම් ටකෝමා ( Tahoma or Tacoma) කියලා තමයි ස්වදේශී ඇමරිකානුවන් (ඔය රතු ඉන්දියන් කට්ටිය කියන්නේ)  මේ කන්ද හදුන්වන්නේ. එකේ තේරුම “Mother of waters” නැත්නම් ජලයේ උපත කියන එකයි. පැසිපික් සාගරයට ගලාගෙන යන ජල මුලාශ්‍ර බොහොමයක් පටන් ගන්නේ මේ කන්ද ආශ්‍රයෙන්.
ඔය හිටිය දවස් වල අපිත් ගියා ඔය  ගිනිකන්ද නගින්න. හැබැයි උඩටම නෙවෙයි. උඩටම යන්නනම් හිම කඳු නැගලා හොඳ පළපුරුද්දක් වගේම ඊට ඕනේ ආම්පන්න එහෙමත් ඔක්කොම තියෙන්න ඕනේ.

මංතුමා කඳු නැගලා තිබ්බට හිම වැස්සක හිමෙන් පිරිච්ච කන්දක් හා හා පුරා කියලා මුලින්ම නැග්ගේ එදා. සූදු පාට හිම ගොඩේ වැටී වැටී නැගපු හැටි මල් හතයි. ඔන්න පොඩි වීඩියෝ කෑල්ලක් තිබ්බා කඳු ගැටේකින් පහළට රූටගෙන එද්දී ගහපු... බයිට් ඉතුරු වෙලා තියනවනම් ඉතිං බලලා ගියත් අවුලක් නෑ. :D

මේ ඉන්නේ කඳු අතරේ දැක්ක එකම සතා! Marmot මාමත් ද මොකාද කියලා කියන්නේ (marmota Olympus) පත ලේනෙක් වගේ. හැබැයි ලඟට නම් ගියේ නෑ. 
marmota Olympus

කඳු නගින්න ගිහිං දවස් දෙකක්ම pack forest කියන camping site එකේ ඉදලයි ආවේ. සීතල යන්නත් එක්ක ගිනි මැලයක් ගහගෙන ඒක වටේට ඉදගෙන එක එක භාෂා වලින් සින්දු කියපු ඒ දවස් නම් හරිම සුන්දරයි.
මෙන්න මේ ගෘප් ෆොටෝ එක ගැහුවෙත් ඔන්න ඔය දවසෙම තමා. 



නැවේ ගමන හා ස්වදේශී ඇමරිකානුවෝ 

ටිලිකුම් ගම
ජිවිතේ එක පාරක් හරි සියැටෙල් නගරෙට ගියොත් ආර්ගොසි කෘස් එකක නැගලා රවුමක් ගිහිං ටිලිකුම් ගමට (Tillicum village) එකට යන්න අමතක කරන්න එපා. සියැටෙල් waterfront එකට ගිහාම ටිකට් එකක් අරගෙන මේ අපූරු ගමනට එකතු වෙන්න පුළුවන්. රෝස් ආච්චි ටයිටැනික් නැවේ ගියා වගේ නිවී හැනහිල්ලේ වටේ පිටේ සුන්දරත්වය බලාගෙන යන්න පුළුවන්.  මං තුමා නම් දවස් තුනක් රවුම් ගැහුවා ඔය නැවේ...
 
නැවේ යනකම් ජෙටියේ තියෙන Seattle Eye එක
සියැටෙල් නගරේ කියන්නේ ඇමරිකානු ස්වදේශී ජනතාව ජිවත් වෙච්චි පැත්තක්. ගම් දනව් වල නම් එහෙම හැදිලා තියෙන්නෙත් ඒ ඌරුවට. Tacoma කියලා සියැටෙල් වලට එහා පැත්තෙන් තියෙන නගරේ නමත් රතු ඉන්දියන් නමක්. අන්න එහෙ තමා ලෝක ප්‍රසිද්ධ බෝයින් ගුවන් යානා ෆැක්ටරිය තියෙන්නේ. 

ගුවන් යානා ඉතිහාසය ගැන ඉගෙන ගන්න ඕනෙනම් යන්න ඕනේ තැනක් තමයි බෝයින් ගුවන් යානා කටු ගේ. රයිට් සහෝදරයන්ගේ ගුවන් යානයේ ඉදන් විශ්‍රාම යවපු යකඩ කුරුල්ලා ,කොන්කෝඩ් වෙනකම් ෆ්ලයිට් ටික ඔක්කොම මෙතැනදී බලාගන්න පුළුවන්. 

දැන් මටත් අර පදුරු තලන ලෙඩේ ලාවට බෝ වේගන එනවද මන්දා! කිය කියා හිටියේ රතු ඉන්දියන් නැත්නම් ස්වදේශී ඇමරිකන් ජනතාව ගැන. ඩුවාමිශ් (Duwamish tribe) කියන ගෝත්‍රය තමයි මේ ප්‍රදේශයේ වැඩියෙන්ම ජිවත් වෙලා තියෙන්නේ. එක්දහස් අටසිය ගණන් වල සූදු මිනිස්සු ඒ පැත්තේ ජනාවාස පිහිටවන්න පටන් ගත්තත් එක්ක මේ අයගේ නිජ භුමිය අහිමි වෙලා. 
දුම් ගහන සැමන් මාළු

නමුත් ඒ අය තවම තමන්ගේ සංස්කෘතිය රැක ගන්න ලොකු වෑයමක් ගන්නවා. Tillicum village එකට ගිහාම ඒ අයගේ සාම්ප්‍රදායික ඇදුම් ආයිත්තම් ඇදගෙන ඒ විදිහට උයලා පිහලා තියෙන කෑම එකක් රස විදින ගමන් සාම්ප්‍රදායික නැටුම් එහෙම තියෙන සංදර්ශනයක් බලන්නත් පුළුවන්. හැබැයි ඉතිං ඔක්කොම සල්ලි වලට තමා.  ඒ කෑම වේලට දුම් ගහපු සැමන් මාළු ( මේ සැමන් කිව්වේ ලංකාවේ ටින් වල ඉන්න බොරු සැමන් නෙවෙයි. මූදේ ජිවත් වෙලා බිත්තර දාන්න ගංගා දිගේ ඉහල එන ඇත්ත genuine සැමන් සෙට් එක) වරදින්නේ නෑ .
ටෝටෙමි කණුවක් - Wikipedia

රතු ඉන්දියන් ජනතාවට අනන්‍ය වෙච්චි ටෝටෙම් කණු (totem poles) වල හැංගිලා තියෙන අපූරු කතන්දර එහෙම ලස්සනට ඒ ඉන්න මාර්ගෝපදේශකයෝ විස්තර කරලා දෙනවා. 

ගංජා

අපේ මෙහෙ අයියලා ටික අහපු ප්‍රධාන පුරස්නේතමා මේ මරිජුවානා සීන් කෝන් එක. මං සියැටෙල් වලට පය තියලා හරියටම සතියකින් වොෂින්ටන් ප්‍රන්තේ මර්ජුවානා අලෙවිය නීතිගත කළා. ඒ කියන්නේ කඩ වලින් මිලදී ගන්න පුළුවං. හැබැයි යම් කිසි නීති රාමුවකට යටත් වෙලා. ඇමරිකාවේ මේ විදිහට ගංජා නීතිගත කරලා තියෙන ප්‍රාන්ත මම දන්න හැටියට තියෙන්නේ දෙකයි. එකක් වොෂින්ටන් අනිත් එක කොලරාඩෝ ප්‍රාන්තය.
මොනවා උනත් පිට රටින් එන හැම ජරාවක්ම ගිලින උන් ඉන්න අපේ රටේ මේකත් ලඟදි නොකෙරුවොත් පුදුම වෙන්න ඕනේ නෑ!

Saturday, August 2, 2014

නාඩි ඇට් ඇමරිකා 01

ඔන්න එහෙනම් පට්ටන්දර ජාතකේ පටාන් ගන්නයි යන්නේ.... හැබැයි වැඩිය දිගට කොටන්න කම්මැලියි... යකෝ සති පහක වෙච්චි කෙරිච්චි දේවල් ඔක්කොම කොටන්න ගියොත් අත ගෙවිලා යයි!
කලින් කිව්වා විදිහට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුවෙන් ප්‍රදානය කරපු ශිෂ්‍යත්වයකට නාඩි ඇතුළු ලංකාවේ හතර දෙනෙක් මේ වැඩසටහනට ලංකාවෙන් සහභාගී උනා. 

SUSI for StudentLeaders තමයි මේ ශිෂ්‍යත්වයේ නම. මම සහභාගී උනේ New Media & Journalism අංශය ගැන හදාරන්න. 

ජුනි මාසේ 21 වෙනිදා Qatar Airways ගුවන් යානයකින් ඔන්න නාඩි තුමා ඇමරිකාව බලා සංචාරේ ආරම්භ කළා. Transit පලවෙනි එක තිබ්බේ දෝහා කටාර් වල. වැඩි අවුලක් නෑ. පැය හතරනේ... ෆිල්ම් එකක් බලලා නිදා ගෙන ගියා. එතනින් ඊළඟ නැවතුම ඇමරිකාවේ මයාමි ගුවන්තොට ! පිහිටලා තියෙන්නේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ.. අප්පේ පැයම 16ක්! මොනවා කරන්නද බකං නිලාගෙන හිටියා ඉතිං.. 
සුන්දර මයාමි වෙරළ

මයාමි වලදී මම දැක්ක එක විශේෂත්වයක් තමයි මයාමි වල මිනිස්සු ඉංග්‍රීසි වලට වඩා Spanish භාෂාව පාවිච්චි කරන එක. මොකද කියන හේතුව නම් මම දන්නේ නෑ. තාමත් ගමන අවසාන නෑ පින්වතුනි! ඇමරිකාවේ නැගනහිර කෙලවරේ ඉදගෙන බටහිර කෙලවරේ තියෙන මගේ ගමනාන්තය වෙච්චි සියැටෙල් නුවරට තවත් ගුවන් ගමනක් සිදු කරන්න උනා.  පැය 6ක් රට ඇතුලේ flight එකක!! නයි කයිද රෝස් පාන් කියපි. ප්ලේන් එකෙන් Seattle Tacoma International Airport එකෙන් බහිද්දී හොඳ පණ ගිහිං!

අපිට දේශන සියල්ල වගේ තිබ්බේ University of Washington වල. ගොඩක් කස්ටිය වරද්ද ගන්න එකක් තමයි මෙන්න මේ වොෂින්ටන් හුටපටේ. Washington ප්‍රාන්තය, ඒ කියන්නේ සියැටෙල් නගරේ.. වොෂින්ටන් සරසවිය එහෙම තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදේ බටහිර කෙලවරේ. හැබැයි ඔය ධවල මන්දිරේ, පෙන්ටගන් එහෙම තියන Washington D.C නැත්නම් ඇමරිකාවේ අගනුවර තියෙන්නේ නැගෙනහිර කෙලවරේ. එක අයිති වෙන්නේ District of Colombia වලට.

බල්ලෙක් ට ගිය සරසවිය 
චෙරි මල් පිපිලා

වොෂින්ටන් සරසවිය 1861 පටන් ගත්තු සරසවියක්. UDub කියලත් හදුන්වනවා. සිසුන් 30,000 පමණ මේ විද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. ලෝකයේ ජනප්‍රිය වගේම ඉතා හොඳ වෙද්‍ය විද්‍යාලයක් සරසවියට අයත් වෙනවා. UDub එකේ nickname එක. නැත්නම් කැම්පස් එකේ කොල්ලෝ කෙල්ලෝ තමන්ව හදුන්වා ගන්නේ Washington Huskies කියන නමින්. ඒ කියන්නේ බල්ලෙක්! ඒ ගොල්ලොන්ගේ official mascot එක විදිහට පාවිච්චි වෙන්නේ Husky dog කෙනෙක්. මරු ආතල් වැඩේ..

Official Mascot at a basketball game
හැරී පෝටර් ලයිබ්‍රි එක විදිහට ලෝක ප්‍රසිද්ධ suzzallo library එක තියෙන්නේ මේ කැම්පස් එකේ. හැබෑවටම ඒකනම් ෆිල්ම් එකක තියෙන ලයිබ්‍රි එකක් වගේ තමා 

ලෝක ප්‍රසිද්ධ සුසලෝ පොත් ගුල
ඒ වගේම Burke Museum එක තියෙන්නෙත් කැම්පස් එකට අයත් භූමියේම තමා. ඇමරිකන් ස්වදේශී ඉතිහාසය ගැන වගේම ස්වභාවික විද්‍යාවට අදාළ බොහොමයක් වටිනා පුරාවස්තු ඒ කටුගෙයි තියනවා. 

කටු ගෙයි ඇතුලේ පරණ එකෙක්
සියැටෙල් ඉදිකට්ට!

බිල් ලොක්කාගේ ජනෙල් 8 පාවිච්චි කරන මිනිස්සු ඔය රූපේ දැකලා ඇති! ඕනෑ ඔකේ තියෙන හුටප්පරේ තමයි Seattle Space Needle කියලා කියන්නේ. (නෙලුම් කුළුන හදපු දවසට අපිත් නගිමු ඈ! ) ඔය ඒක පිටිපස්සෙන් තියෙන්නේ Mount Rainier ගිනිකන්ද.. ඒක ගැන පස්සේ නාඩියක කොටන්නම්.

බිල් ලොක්කා ඕක ජනෙල් 8 ට ඔබන්න ඇත්තේ Microsoft head office එක තියෙන්නේ සියැටෙල් වල නිසා වෙන්න ඇති. කොහොම වෙතත් ඕක උඩට නැග්ගහම නගරේ වටේටම පංකාදු පහට පේනවා! හැබැයි උඩට නගින්න නම් ටිකට් එකක් කඩනවා! :D

කෝපි කාලේ...
Starbucks කෝපි කඩයක්
වටේ පිටේ තොරණේ විස්තරේ පොඩ්ඩක් කියලා මිනිස්සු ගැන එහෙම ටිකක් කියන හිතුවා. මොකෙක් හරි ඇමරිකා ගිහිං තේ බොන්න හිතාගෙන ඉන්නවනම් පුතේ ඒ අදහස හිතෙන් අත ඇර ගනින්! එහෙ උන් නැති වෙනකම් බොන්නේ කෝපි! ලෝක ප්‍රසිද්ධ Starbucks කෝපි කඩ සෙට් එකේ කඩයක් හැම හන්දියක් ගානෙම තියනවා. ආ... ලෝකේ මුල්ම Starbucks කඩේ තියෙන්නෙත් සියැටෙල් වල තමා. කෝපි කිව්වට මේ කෝපි සමහර ඒවා පට්ට තිත්තයි! දැන් අහන්න එපා තෝ ඔච්චර කෝපි බීලා සරීර කෘත්‍ය කොලේ කොහොමෙයි කියලා! :D

මිනිස්සු සහ බල්ලෝ!



පාරේ උදේට හම්බ වෙන හැම එකාම හොඳට හිනා වෙලා ගුඩ් මෝනින් පාරක් දාගෙන ගිහිං උදේට කන්න කඩේට ගිහාම කඩේ එකා හොඳට හිනා වෙලා “කොහොමද ඉතිං” කියලා අහලා... බස් එකට නැග්ගහම ඩයිවර් මාමා තැන්කු පාරක් දාලා බස් එකට නග්ගගෙන බස් එකේදී ඇන්ටි කෙනෙක් ඇඟේ හැප්පුනාම sorry. Pardon me කියලා කිව්වහම තියන කික් එක කොහොමද කියලා හිතපන්කෝ...

එහෙම තමයි මෙහෙ මිනිස්සු! හරිම ආචාරශිලියි. නීති නම් නීති! පාර මාරු වෙන්න බල්බ් එක වැටිලා නැත්නම් පාරේ වාහන එකක්වත් නැති උනත් පාර පනින්නේ නෑ! එච්චර නීති රකිනවා!

මිනිස්සු සත්තුන්ට හරි ආදරෙයි. නිවාඩු දවසක පාක් එකකට ගියොත් එක එක සයිස් එකේ බල්ලෝ අල්ලාගෙන ජෝගින් යන සූදු අක්කලා ඇන්ටිලා ඕනෑ තරම් බලා ගන්න පුළුවන්. බල්ලෝ අරගෙන බස් එකේ උනත් කස්ටිය ගමන් බිමන් යනවා. කොටින්ම කිව්වොත් බල්ලොන්ටම ඇරිච්චි සැලෝන් මසාජ් සෙන්ටර් හිටං තියනවා බොලව්!

දැන් අහපන් බලු බෙටි ගැන! පාරේ කිසි තැනක මම නම් බෙට්ටක් දැක්කේ නෑ! මොකෝ මෙහෙ මිනිස්සු පාරේ තමන්ගේ සුරතලා එක්කගෙන යද්දී ඌ මලපහ කලොත් අරගෙන දානවා! ඔන්න මිනිස්සු! 

විවිධ පාටින් තියෙන කුණු කුඩ
ඇමරිකා එක්සත් ජනපදයේ පරිසර හිතකාමී නගර අතරින් මුල් තැනක් ගන්නේ සියැටෙල් නගරය. අපද්‍රව්‍ය බොහොමයක් ප්‍රතිච්ක්රිකරණය කරනවා. දිරන ඒවාගෙන් කොම්පෝස්ට් හදනවා. පාරේ කිසි තැනක කුණු දාන්නේ නෑ. හරිම විධිමත් විදිහට අපද්‍රව්‍ය බැහැර කරනවා. වැඩියෙන්ම මිනිස්සු ගමන් යන්නේ බයිසිකලේ! කොටින්ම අපිට ලෙක්චර් වලට එන ප්‍රොෆිසර් කාරයා කැම්පස් එකට එන්නෙත් පුට්සයිකලේ. ඔන්න ගන්නවනම් ආදර්ශ. 

එක එකාට වැරැද්ද පටවන්නේ නැතිව, ආණ්ඩුවේ අන්ධයෝ ටික වැඩේ කොරනකම් බලාගෙන ඉන්නේ නැතිව, විපස්සේ උන්ගේ පස්සට එලිය වැටෙනකම් ඉන්නේ නැතිව අපි අපි හැදෙමු. ඇමරිකාව කියන්නේ අයිස්චර්යේ නෙවෙයි බොලව්. හැබැයි උන් අම්බානෙකට මහන්සි වෙනවා ඒක අයිස්චර්යේ කරන්න. පාර අතු ගාන එකාගේ ඉදං..  

පලවෙනි පට්ටන්දරේ අහවරයි ඕං . තව ඕනෙනම් කියපං. නැත්නම් පුරුදු විදිහට පචයක් හලාගෙන ඉන්නම්.
      
   

Tuesday, July 29, 2014

බත් කමි!


අසව් අසව් අසව්!!!!
අති සාර්ථක එක්සත් ජනපද චාරිකාවකින් පසුව නාඩියා නාඩිරත්න නැවත සියරට බලා සැපත් ව ඇත! තම චාරිකාවේ විනෝදබර, හැගුම්බර, ජොලිබර, චූ බර  තොරතුරු වලින් සයිබරයේ සර්වර් රාජයාණන් පිරවීමේ එතුමාගේ ඒකායන වෑයම ඉදිරියේදී ඔබට අකමැත්තෙන් හෝ දැක ගැනීමට හැකි වනු ඇත!

ප.ලි
චොකලට් ඉල්ලීම වැනි මරණිය දණ්ඩනය ට හේතු වෙන කරුණු කාරණා වලින් බැහැරව දැහැමිව සෙමෙන් ආප්පයක් කා සැනසෙන ලෙස එතුමා හුදක්ම ඉල්ලා සිටි! (යකෝ චොකලට් ගේන්න ඌ ගියේ ස්විස්ටර්ලන්තේ යෑ බොලව්!)

හදිසියේ එක පාර ගුවන් යානා චකබ්ලාස් වීමට හේතුව මෙතුමා නොවන අතර ඉදිරි දින කිහිපයේ එක්සත් ජනපදයේ සිදුවන හදිසි ආපදා කිසිවකටඑතුමාගේ සම්බන්ධයක් නැති බවත් මෙලෙසදන්වා සිටිමි!

ඒ වගත් මෙසේම....

(යකෝ ඒ දවස් ටිකට ලංකාවේ උද්ධමනේ වැඩි වෙලා තියෙන තරමක්! උදේ ආප්පයක් කාලා ප්ලේන්ටියක් බොන්න ගිහාම ආප්පේ ඩොලර් 2ක් කිව්වනේ යකෝ!)
Related Posts Plugin for WordPress, Blogger...