නාඩි සෙට් එක

Wednesday, April 23, 2014

සයිබරේ 20




මුලින් හිතාගෙන හිටියේ 20 ගැන කොටන්නේ නම් නැතිය කියාය. හැබැයි කොහේදෝ කැසිල්ලකට 20 ගැන ලියන්නට හිතුනේය.

වෙනදා වගේම ඉතිං සයිබරේ මඟුලක් කියපු සැනින් මං තුමා ගොයින් දැම්මේය. තනියම ඇවිත් ඩබල් යනවා කියා ටෝක්ස් දුන්නේය! ඒවා නම් හරි ගියේ නැත. කොහොමෙන් කොහොම හරි මරු පහේ දවසක් උනේය.

කලින් දවසේ නිකමට වගේ ළඟ පාත ඉන්න රන් ගොජා ට චැට් පාරක් දැම්මෙමි.

“මේ උඹ හෙට යනවා නේද? කොහොමද කීයටද යන්නේ?”

“බයික් එකේ යන්න ඉන්නේ බං. එක්කෙනෙක් එනවා කිව්වා ඉතිං ඩබල් දාල යන්නයි කල්පනාව”

“හාකෝ එහෙනම්”

ඒකත් ජය සිරි මංගලම් කිව්වට ආරංචි විදිහට රන් ගොජාට ඒ පාර්සවේ පොල්ලක් තියලා කියලයි ආරංචිය. නංගි පිටේ තනියම ආවයි කියන්නේ! ඒ කොල්ලෙක් කියන්නේ! ඒ කියන්නේ රජා ??????

අප්පේ පිට්ටනිය ඇතුලට එද්දී හෝ ගෑවිල්ලේ සෙනගය. ආපු ගමන් 200ක දත ගලවා ලක්ෂිතයා අතට දුන්නේය! අපිනං ඉතිං බැස්සේ ෆුල් සිරි ලන්කන් ඉස්ටයිල් එකටය. මෙන්න බොලේ බලද්දී සරම් සැට් එකක්ම ඉන්නවය. එක එකා සරම් කඩන්නට ට්‍රයි කොලත් අපේ උන් ඉතා සුක්ෂම පරිදි පටි භාවිතා කරමින් සරම් ආරක්සා කොර ගත්තෝය.

මතක හැටියට මුලින් ජාතික ගිය එහෙම ගයා දිවිල්ල තිබ්බේය! ෆුල් සිරි ලන්කන්ය! රජා, තරියා පුබුදුවා මංතුමා ඇතුළු අපේ සරම් බලකාය කණ්ඩායම් හැඟීම ප්‍රදර්ශනය කරමින් දුවන ලද්දේය!
සරම් බලකාය

බනිස් කෑම නම් හෙනම අසාධාරණය! යකෝ ඉතියෝපියාවෙන් ආව උන් කියලා හිතලාද කොහෙද කාන්තා පාර්සවෙට වෙනම බනිස් සමඟ අඩි හැට හැත්තෑවක ඉලිපුමක්ද ලබා දී තිබුණි රනා අයියේ වැරදියි ඕන් ඈ!!!
සයිලට් බස්සා සමගින් බස්සි අක්කා ඇවිත් හිටියේය! උඹලට කියන්න බොලව් ඒ අක්කා කෙල්ල දැක්කේ අවුරුදු 13 පස්සේ කියපන්කො!!! 

සත්සරයා කවුදෝ මන්දා කෙල්ලෙක් අමාරුවේ දමා තිබ්බේය! පව් අහිංසක කෙලි පොඩිත්ති! මොනා උනත් සත්සරයා හොඳ එකා! කවුරුත් ඌ ට මොතුත් කියන්නේ නෑ හරිද ඩො! (නැද්ද මල්ලි ;) )

නිමේසයා (පොඩි ඔටුවා) මං තරම් හයේ හතරේ ඩයල් එකක්ය! කාටද සන්තෝස ඈ!!

අර අඟහරුවාට කවුරු කවුරුත් සල්ලි සම්මාදම් කර කෝච්චියක් අරං දෙනවානම් මමත් හිඟා කාල හරි සම්මාදම් වෙනවාය! අන්වාර්යේන්ම ඕකා කසාද බදින්නේ කෝච්චි ඩයිවර් කෙනෙක්ගේ දුවක්ය! ඊට පස්සේ කෝච්චි පෙට්ටියක ගෙදරක් හදාගෙනඅර කොහේ හරි එන්ජින් කරකොන ටේබල් එකකට වී ඉන්නවාට කිසිඳු සැකයක් නැත!

රතට රතේ ඇඳගෙන දේවා කොල්ලා කාන්තා පාරසවේ සමඟ ඇවිත් තිබ්බේය! ඒකත් ජය සිරි මංගලම් කියන්නේ!

කුරුටු ගෑ පොතේ දිලිනි අක්කා නම් හරිම හොඳ පාටය! හිනා කටයි මල් අහුරයි ඈ!

ඉවාන් ගොයියා ඉතිං අපේ හිත හොඳ බුලට් එකය! මොක මොකා හෙම්බා කිව්වත් ජෙන්ට්ලිමන් මෑන්ස් ය! ගාලු කොල්ලා ඌ එක්ක වතුර පුරෝලා දිනපු එකේ කතෘ බාගය තාම ගෙව්වේ නැත! ඊළඟ සයිබරේ දිවත් ගෙවන්නට වෙනවාය. යකෝ නාඩියාගේ “පුනිල ක්‍රමය” සෙල්ලං තියරියක්ද යකෝ

අයිසා හෙවැහැ ටකරමි පැමිණි වහාම බුද්දදාස ක්‍රීඩාංගනය වට සිටි සියලු කපුටෝ පලා ගියහ. බල්ලෝ බලල්ල්ලු හිස ලූ ලූ අත දිව ගියෝය! ජේඩ් කොල්ලා විලි ලජ්ජාවෙන් සරමෙන් මුණ වසා ගත්තේය!

කකා මහත්තයා මටත් පොතක් දුන්නේය! “සිව් වසරක් මරදානේ” එකය! මේ ටිකේ පොත ටික ටික කියවනවාය! කොහොම හරි අදනම් කියවලා ඉවර කරනවාය! කාඩ් එකක් දුන්නු වෙලේ මං හිතුවේ ඩයලොග් කාඩ් එකක්වත් කියලාය! එහෙම එකක් උනානං හුරලා පෝන් එකටවත් දා ගන්නවාය!

 සෑම් ගොයියා තනියම සැපත් වී නිකම් තනිකඩ ගොයියා වගේ ඉන්ට ට්‍රයි කොලත් දුක් සීන් එක කියන්නේ කවුරුත් කෙල්ලෝ ඊට රැවටුනේ නැතිය. මොකෝ අර වෙඩින් වීඩියෝ එකේ මූ රඟ පෑ හැටි දැකලා අජුවටය!

සන්තෝසේ ට කාරණාව නලින් අයියාගේ තට්ටේ වැහෙන්න කොන්ඩේ ඇවිත් තිබීම උනේය! ආරංචි විදිහට යුරියා කිලෝ බර ගානක් ඊට වියදම් වෙලා තියනවාය.

ස්කුබියා මැරුණු බව ආරංචිය. කොට්ටා පොර ගහලා ඌ වැටුණු හැටියට මටනම් හිතුනේ හත් දවසක් සුවර් කියලාය!

පැට්ටා අයියාව වහාම එෆ් බී ඇයි එකට යැවිය යුතුය! මොකෝ එකා රෑ කොටු පැනීමේ ආනුභාවයෙන් ඇස් බැන්දත් අලියට ඇහැ තියනවාය. මුට්ටියට ගහනවාය. හැබැයි අර රෑට හීනෙන් රනිල් මහත්තයා පෙනිලා ඇහැ තියන්න කියපු එක ගැනනම් ටිකක් හොයලා බලන්න වටිනවාය.

සමියා දැන් බහින්නේ නිකම් නළුවා වගෙය! එදත් සුකිරි බටිල්ලන් කාන්තා පාර්සව දෙකක් තුනක් මන්දෝ කරගෙන ගොඩ බැහැලා තිබ්බේය! ඔහොම යන් පුතේ ඔහොම යන්.

සූදු මහත්තයා පව් ය. කවුරුන් හෝ උගේ අහවල් එක මෙව්වා කර ඇත! සුවනා අඩමින් “මම මොසිලා යනවා බං “ කියමින් චුත උනේය.

ප්‍රදීප් දොස්තර තැනගේ දැන් බඩ එහෙම දාලා ය. සෙල්ලං ද යකෝ සභාපති ගොයියා කියපුවහම! අපි නම් දෙයි අස් වෙන්න තොට!

මොනා උනත් එකම වගේ අනිත් එකා කෝරළේ ගොයියා පළමු වතාවට සෙට් විය. මඩ ගහන්න කියා හොම්බ දිග කැමරාවක් ගෙනාවාට බාගයක් සිරිසගබෝ නිසා පබ්ලිෂ් කොරන්ට දෙයක් නැතිව අඩමින් සිටින බව ආරංචිය. 

ඌ ත් එක්ක ආපහු යන ගමන්... 

“මේ උඹට ලයිසන් තියනවද?”

“තියනවා කියපන්..”
“ආ.. හෙනම් අවුලක් නෑ. මම මේ රේඩියෝ ලයිසන් එකෙන් වාහනේ එළවන්නේ”

ටිකකින්...

“උඹට ඉන්සුවරන්ස් එකක් තියනවද බං”
“තිබ්බා. කියපන්කො....”

“ආ ... එහෙනං කමක් නෑ මේකේ බ්‍රේක් නෑ බං”

අනේ බනියෝ පරිස්සමෙන් පලයන් මේකා එක්ක. දැන්වීමයි - දන්න කියන කිසිම එකෙක් කෝරළේ ගොයියා එක්ක වාහනේ නොයන්න.

දන්න කියන උන් ගොඩක් මීටර් උනි! නොදන්නා උන්ද මීටර් උනි! ඒ සයිබරේ හැටිය! මොනා උනත් සර්ට් එක එහෙම පංකාදු පහය! ඔර්ගනයිසර් ලා එලම කිරිය.

චන්දන අයියගේ වීඩියෝ එක මල් හතයි ගස් දෙකය!!!!! සුප්පාය.

හොඳ හොඳ සෙල්ලම් බලන්න හවස ඉන්ඩ උනේ නැති එකට දුකය. කරන්ට දෙයක් තිබ්බේ නැත. මහරගම බෝයිස් හෝම් එකේ IMCD Amuzed අවුරුදු උත්සවේට යන්න තිබ්බේය. පුළුවන් නම් සයිබරේ  අපිත් එහෙම දෙයක් කරමුකෝ ඈ! මේ ඒකෙ ඇල්බම් එකය.

පොටෝ දැම්මේ නැත. බුකියේ යමරෙට ඕනෑ තරම් ඇතිය!

එහෙමනම් ජය ඈ!!!!


Saturday, April 12, 2014

ඔන්ලයින් අවුරුදු? ඈ???


කජු ඇට ද කොස් ඇට ද! මෙන්න online අවුරුදු! ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙන්න full online අලුත් අවුරුදු උත්සවයක්!! පිස්සු බම්ප් වෙනවා ඈ! ඇතෙක් බරට තෑගී ලු!

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රථම Online අවුරුදු උළෙල, IMCD අපි ඔබ වෙත ඉදිරිපත් කරන්නෙ මහත් වූ ආඩම්බරයකිනි! ඔබ ලොව කොතැනක සිටියත් ,තරඟ ඉසව් රැසක් සමඟින් මෙම අවුරුදු උළෙලේ අසිරිය විඳ ගැනීමට ඔබට අවස්ථාවක් ලබදීමට අප සූදානම්!

අපේ අවුරුදු උළෙලේදි ඔබට සහභාගී විය හැකි තරඟ ඉසව් ,

1.අවුරුදු කුමරා
2. අවුරුදු කුමරිය
3. කනා මුට්ටි
4. අලියාට ඇස තැබීම
5. ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම
6. කඹ ඇදීම
7. ලිස්සන ගහ නැගීම
8. කොට්ට පොර
9. බාධක දිවීම
10. බෝනික්කාට නම දැමීම
11. සැඟවුණු භාණ්ඩය සෙවීම
12.හොඳම හිනාව
13. හොඳම ඇඬීම
14. ලොකුම බොරුව
15.සැඟවුණු අමුත්තා

ජයග්‍රාහකයින් සඳහා වටිනා ත්‍යාග ලබාදීමට මව්බිම Ceylon Today සහ DIALOG ආයතන සූදානමින්.

දැන්ම ඔබෙ මිතුරන් දැනුවත් කරන්න.සියලු දෙනා සමඟින් 13 වන දින සවස 6 සිට අවුරුදු අසිරිය විඳ ගැනීමට ඔබත් එක්වන්න..

ප්‍රධාන අනුග්‍රාහක / Partnering with : මව්බිම (Mawbima) Ceylon Today

Powered by : Dialog Axiata

තාක්ෂණික අනුග්‍රාහක : Brightron Solutions



ඔය ඇති! වැඩි විස්තර ටික ඔක්කොම බුකියේ event එකේ තියනවා!! 

එහෙනම් ශ්‍රී සුභ නව වසරක් වේවා ඈ!!!!

කිරි ඉතිරේවා නව වසරේ!!!!

Saturday, April 5, 2014

ආටක නාටක

ඇතාවැටුණු වැව සියාතු ගොයියාට කාසි පනම් වල අඩුපාඩුවක් තිබුනේ නැත. වතු පිටි වලින් එන ආදායමට හරි හරියට හරකා බාන නඩත්තු කරන එකෙන් එන මිල මුදල් ටිකත් එකතු පහදු උනාම අඩුවක් පාඩුවක් නැතිව විය පැහැදම් කරන්නට කාසි පනම් අතේ තිබ්බේය. ඒ අස්සේ මැම්බර් මහතැන් ගිය ජන්දෙන් පස්සේ ගංතුලානේ උන්නැහේට උදව් පදව් කරපු මිනිස්සුන්ට තාන්න මාන්න දීපු වෙලේ සියාතු ගොයියටත් සාම විනිසුරු පට්ටමක් පන්ගරාත්තු වුනේය. ඒ හින්දාම ගමේ ගොඩේ උන්ගේ සහතික කොළ මිටි අත්සන් කරලා පඬුරු පාක්කුඩම් ටිකක් පොදි ගහන්නට ඒ නිසාම ඉඩ පරස්තාව ලැබුණි.

කුමාර, සියාතු ගොයියාගේ ලොකු පුතණ්ඩියාය. නාමලී මැණිකේ කුමාර ඉපදී දොළොස් අවුරුද්දකට පස්සේ මිය පරලොව ගියාට පස්සේ කුමාර බලා කියා ගන්න හිටියේ සියාතු විතරය. ඒ නිසාම ඕනෑවට වඩා නිදහසක් ඉලන්දාරියාට ලැබුනේය. ගං තුලානේ වතු පිටි අස්සේ කරක් ගහමින් කොල්ලෝ කුරුට්ටෝ එක්ක රංචුවට වැටී රෑ දෙගොඩ හරි යාමේ ගේ දොර මතක් වෙච්චි එකා වගේ හීන් සීරුවේ ගෙට රිංගන්නට කුමාරට කිසිම තහංචියක් තිබ්බේ නැත. සියාතු ගොයියා ද වැඩි නිච්චියක් නිලව්වක්නැති මනුස්සයා වෙච්චි කොලුවා යන එන තැන්, කරක් ගහන තැන් ගැන හොයා බලන්නට වෙලාවක් කලාවක් තිබ්බේම නැත.

කොල්ලගේ කර දඬු උස් මහත් විය. වදෙන් පොරෙන් වගේ ඒකා ඉස්කෝලෙට යැව්වත් ඉගෙන ගත්තු අකුරක් නැත. ගමේ එකෙක්
“සියාතු ගොයියෝ ටිකක් හොයලා කරලා බැලුවනම් හොඳයි නේද කොලුවා කරන කියන වැඩ කටයුතු ගැන ටිකක්”

සියාතු කියන්නේ
“අම්මා නැති එකානේ බං. ඔය කෙලි සෙල්ලම් කරන වයසනේ බං. හය හතර තේරෙන කාලේ එද්දී ඕවා හරි යයි. මොකෝ මොකෙන් කියලා අඩුවක් පාඩුවක් ද! රටේ තොටේ පරක් තෙරක් දන්න කියන එකක්යැ. ලොකු තනතුරු තානාන්තර මොකටද බං. ගොවිතැනක් බතක් කරගෙන ඉන්න පුළුවන්නේ බං. මේ ඉඩම් කඩම් ටික බලා කියා ගන්න එකෙකුත් එපැයි!”

සියාතු ගොයියාත් කොලුවාට සැර වැර කරන්නට ගියේ නැත. ඕනෑ එපාකම් ටික හොයා බලා සල්ලිය බාගේ අතට දුන්නා විතරය. කුමාර කොලුවාත් කිසිම අර පරිස්සමක් නැතිව විය පැහැදම් කරගෙන හොඳ හොඳ අඩව් කස්තිරම් ඇල්ලුවේය.

කොහොමෙන් කොහොම හරි කොලුවා 10 විභාගෙට වාඩි උනේය. අනෙක් උන් ලියන කරන ඒවා දිහා ඕනෑවට එපාවට බලං හිටි කොලුවා වෙලා පහින්ම ප්‍රශ්න පත්තරේ බාර දීලා එලියට ඇවිත් වෙනදා වගේම බූරු පොළේ සූදු කෙලින්ටත්, අල්ලපු කඩමණ්ඩියේ වෙලේ කඩේ ගැටිස්සිගේ අනගාර දඟර බලන්ට යන්ඩත් කාන්ඩේ එක්ක වැටුනේය. 

අනේ වාසනාවට අතුරු ආන්තරාවක් නැතිව ලයිට් කණු පෝලිමක් ම ප්‍රතිපල කඩදාසියේ තිබ්බේය.

කොහොමෙන් කොහොම හරි ඔන්න දැන් ආරංචි විදිහට සියාතු ගොයියාගේ පුතණ්ඩියා, කුමාර ප්‍රයිවොට් දොස්තර විභාගේ අරගන්න යනවා කියන්නේ!


ලඟදි ශිෂ්‍යත්වේ කාලේ ලියපු පොතක් හම්බුනා. :D

Thursday, March 20, 2014

රාධා


“යුද්දේ ඉවර වෙලා අවුරුදු ගානක් ගියත් අපේ අයගේ හිත් ඇතුලේ යුද්ධේ තාම ඉවර වෙලා නෑ රාධා..” 

මොනරගල කෙළවරින් රතු පාටට ගිනියම් වෙච්චි ඉර බැහැලා යනවා. ආකාසේ පාවෙන වලාකුළු අමුතුම පාටක් අරගෙන සැර හුළං කොඩේට අහු වෙලා ආරාධනා ගල පැත්තට තල්ලු වෙනවා. හුළඟ නැවතිලා ඉගිල්ලිලා යන්න හදපු කොහොඹ ගහේ අලුතින් ලියලපු දළු සද්ද නැතිව පාතට වැක්කෙරෙනවා. තාමත් මෙහෙන්දි පාට ගිහිං නැති හීනි දිග ඇඟිලි වලින් මෙච්චර වෙලා හුළඟට දඟ කරපු කෙස් කැරැල්ල ආයේ උඩට කරන ගමන් රාධා මං දිහා බලනවා.

“ඒක මම දන්නවා.. ඒත්....”

“නෑ රාධා කවදාවත් අපේ අප්පච්චිලගේ අම්මලාගේ හිතන විදිහ වෙනස් කරන්න බෑ. එකම රතු ලේ අරවා මේවා කොච්චර බයිලා ගැහුවත් ඔයා ගැන කිව්වහම මං දිහා බලන්නේ නිකම් මිනියක් මරලා ගෙදර එනවා කියන්නා වගේ.”

රාධා.. ඔව්.. එයා දෙමළ... පුංචි කාලේ යාපනේ හැදිලා වැඩිලා තිබ්බට යුද්දේ පටන් ගන්නකොටම වගේ යාපනේ ගෙවල් දොරවල් අත ඇරලා කොළඹ ඇවිත්. අවුරුදු දෙකකට ඉස්සරලා කයිමන් දොරකඩින් ඇතුලට ඇවිත් “අමරේ” රෙජිස්ටර් වෙන්න ආපු දවසෙත් ඉනෙන් පහළටත් කඩා හැලෙන ගොතපු දිග කොන්ඩේ උඩට වෙන්න පොඩි පිච්ච මල් දෙකක් තුනක් ගහලා තිබ්බා මට මතකයි.

“ආ.. කෙල්ලට තේ දළු කඩන්න කියලා තෝ වත්තේ මහත්තයා වගේ රඟ පාපන් බලන්න”

සින්නෝ ටිකක් “හිල්ටන්” එක ලඟදි අල්ලගෙන පුංචි පහේ rag එකක් කරද්දී ලෙච්චමී උනේ “රාධා. එදා ඉඳන් උදේ හවස හම්බුනත් හිතේ කියාගන්න බැරි මොකක් හරි හිර වෙලා තියනවා කියලා දෙන්නටම තේරිලා තිබ්බා. 

“උඹ සෝෂල් එක පැත්තේ රවුම් ගහනවා වැඩියි.....”

 මෙලෝ හසරක් තේරෙන්නේ නැති සුගතයාගේ ලෙක්චර් එක කට් කරලා සෙනට් එකේ පඩි පෙළ යටට වෙලා සිය ගානක් වෙච්චි සෝෂල් කෙල්ලෝ මැද්දෙන් මතු වෙන ඒ දොඹ ගෙඩි වගේ ඇස් දෙක බලාගන්න වලි කාපු මාව අපේ උන්ට නෝට් වෙලා තිබ්බා.   

“අම්මලා අප්පච්චිලා හිත රිදෙන දෙයක්නම් නොකරන එක හොඳයි... ඒත්.....” 

“පච බංකුවේ” එහා පැත්තේ ඉඳගෙන රාධා ඇස් දෙක තවත් ලොකු කරගෙන මං දිහා බලාගෙන ඉන්නවා. කවදත් හෙවණේට තිබිච්ච පච ගහ මැද්දෑවෙන් හීනියට එන රතු පාට ඉර අව්වට ඒ ඇස් දිලිසෙනවා. කඳුළු....

“මෙයා දැන් කවි පොත් කියනවා වැඩියි!”

“ඇයි අපිට කවි අකැප ද?”

“නෑ ඕවා කියවලා ඔය කෝඩ් බෝඩ් ඔක්කොම අමතක වෙලා යයි!”

ලයිබ්‍රිය ඉස්සරහ තෙල් බැම්මට වෙලා අපි වාද කළා. ෂ්‍යාම් සෙල්වදුරෙයි අමුතු ඉලන්දාරියෙක් උනේ ඇයි කියලා අපි පැය ගණන් කතා කළා. මෙච්චර තාක්ෂනේ දියුණුයි කියලා කෑ ගහන ලෝකේ ප්ලේන් එකක් නැති උනොත් හොයා ගන්න සති ගානක් යන එකේ මගේ කන්නාඩි දෙක හොයාගන්න මට පැය ගානක් යන එක පුදුමයක් නෙවෙයි කියලා රාධා මට විහිළු කළා.  

ඒ දවස ආවා. කළු පාට ලෝගුව පොරෝගෙන එයා යන්න ගියා. තවත් අවුරුද්දක් ලුණු නැති බත් එකේ රහ බල බල හිටපු මම ඇස් ලොකු කරලා හීනියට හිනා වෙන රාධා අමතක කරන්න වලි කෑවා.

අවුරුද්දක් ගිහිං. අලුතින් කාපට් දාපු කැම්පස් එකේ ඇතුලේ පාරවල් පිරෙන්න කිචි බිචි ගැන සෙනඟ පිරිලා. රතු පාට ලෝගු දාපු කට්ටිය පිටිපස්සෙන් අපිත් ඇතුලට ගියා. උපාධි බම්බුව අතට අරගෙන එලියට බහිද්දී මං ගල් ගැහුනා!

 “Congratulations….ආ.. අපේ cousin නංගි කෙනෙක් medical එකේ හිටියා. එයත් අද cloak දානවා. ඒ නිසා ආවා. Sorry... අදුන්නලා දෙන්නත් අමතක උනා. මේ රාජ්.... My husband. We married last December.”




ඔව්.. ඒ රාධා!


පසුසටහන : අකුරු ඇමුණුමේ සමහර වදන් රජරට සරසවි උප සංස්කෘතියෙන් පෙරී ආ ඒවාය. රාධා මනකල්පිත චරිතයක් නොවුනත් මේ මගේ කතාව නොවේ. Off road යාමට බිය වූ කතා කාරයා මෙන්ම රාධා seat belt තද කරගත් යෞවනයේ තවත් එක් කැඩපතක් පමණි. 
  
Related Posts Plugin for WordPress, Blogger...