උදේ අටයි පහයි.....ගොජ ගොජ සද්දේ දාගෙන යාල්දේවිය
නාගොල්ලාගමින් අද්දදීම යාන්තම් එල්ලුනා. හොඳ වෙලාවට කන්දේ සුමනේ මාමාගේ බල්ලෝ ගිය
බයිසිකලේ හරි ගෙදරින් එලියට බහිද්දිම හම්බ උනේ! නැත්නම් අදත් හුළං!
පෙට්ටි 4ක් 5ක් වත් ඇද ගත්තොත් නංගි ඊයෙත් නහයෙන්
අඩ අඬා කියපු පොත් ලිස්ට් එක පුරෙන් ගන්න පුළුවන් වෙයි.
ටිනර් පතුරු ගැලවිලා දාඩියට කළු පාට වෙච්චි
බොන්ගෝ එකත් අරගෙන මම කැන්ටිම් පෙට්ටියේ ඉදන් 3rd ක්ලාස් පෙට්ටි පැත්තට ඇදුනා. කවුරු මොනවා කිව්වත්
හැමදාම වැඩිම කලෙක්ෂන් එක හම්බ වෙන්නේ ඒ පෙට්ටි වලින්! උගුර ලේ රහ වෙනකම් දෙකේ
පෙට්ටි වල කෑ ගැහුවට අත් දිගට දාගෙන සැප සීට් වල දිග ඇදිලා යන අපේ මහත්තුරු නෝනලා
පර්ස් එලියට අදින්න ටිකක් කම්මැලියි...
“වඩේ... වඩේ... වඩේ...ඉස්සෝ වඩේ...උම්බලකඩ වඩේ...පරිප්පු
වඩේ...”
වඩේ මල්ලි කෑ ගහගෙන ගියා. මනුස්සයාට නම් අද
බිස්නස් සරුයි වගේ. මිනිස්සු කෙල හල හලා වඩේ ගන්නවා...
මමත් උගුර පොඩ්ඩක් පාදලා පටන් ගත්තා...
“සඳ තනිවෙලා අහසේ... හිරු තනි වෙලා......”
කෝච්චියේ ඩක ඩකේ කන් හිල් කරාගෙන ඇතුලට බැස්සට උදේ
බීපු ප්ලේන්ටියේ පිහිටෙන් මම මගේ සාක්කු පුරෝ ගන්න පටන් ගත්තා.
කෝච්චි පෙට්ටියේ කොනේම ලොකු කච කචයක්...
“අන්න මචං උඹේ යාලුවා අදත් ඇවිත්...”
“කවුද බං...?”
“අර සින්දු කියන අයියා...”
“ආ...ඉතිං මට මොකෝ...”
“හික්ස්.. මොකෝ අද මනෝ පාර ගහන්නේ නැද්ද?”
කැම්පස් සෙට් එක! හැමදාම සදුදා උදේට මේ පෙට්ටියේ
සෙට් වෙන එකම සෙට් එක! ටිකක් විතර මහත හයියෙන් හිනා වෙන නංගි... හැමදාම ලොකු බෑග්
එකක් අරගෙන පෙට්ටිය දෙවනත් වෙන්න කෑ ගහන කෙට්ටු මල්ලි.. හිනා වෙද්දී කම්මුලේ වලක්
හැදෙන ලස්සන සුදු නංගි..... කට්ටියම එතන.... සෙට් එකම එකතු වෙලා එක කොල්ලෙක්ව
චාටර් කරනවා...
“පියමන් කළා දෙදෙනෙක් සෙවණක් බලා.....”
“අහා...”
කොල්ලෝ කෙල්ලෝ ටික අත්වැල අල්ලනවා.මම අර කට්ටියම
විහිළු කරන කොල්ලගේ මුණ බැලුවා. දැකලා පුරුදුයි වගේ....
ඔව්... ඉස්සර හැමදාම සදුදා උදේ යාල්දේවියේ එන
කපල් එකේ පිරිමි ළමයා! ඒ කපල් එක මට අමතක උනේ නැත්තේ හැමදාම මම නැග්ගොත් කෝච්චියට
ඒ ජෝඩුව ඉන්න තැනට ගිහින් සින්දුවක් කියන හින්දමයි! :D අනිවා
රුපියල් 20ක් වත් දෙනවනේ! ඊටත් වඩා ඒ කෙල්ලගේ හිනාව... හිනා වෙද්දී එක දතක් වත්
පේන්නේ නැති උනාට හරිම සිරියාවන්ත හිනාව...
හැබැයි හුඟ කාලෙකින් ඒ ජෝඩුව කෝච්චියට නැග්ගේ නෑ.
අද කොල්ලා විතරක් තනියම... එහෙනම් ඒකත්.....
“උයනක් පිරි පිපි මල් අද පර වෙලා.....”
“ඒයි... මූඩ් ගහන්නේ නැතිව ඉදපන් යකෝ! මූදේ ඉන්නේ
එක මාලුවද!”
අර සෙට් එකම තනියම සීට් එකක ඉගෙන හිටිය කොල්ලට
කින්ඩි දානවා.. ඌ මාත් එක්කත් හිනා වෙලා වෙනදා වගේම රුපියල් 20ක් දුන්නා...
මම ඉස්සරහට ගියා... අර කොල්ලා නැගිටලා දොර ගාවට
ඇවිත් එළිය බලාගෙන ඉන්නවා.. බර කල්පනාවක්...
“මල්ලි.. මොකෝ තනියම...? අර නංගි.....”
“ආ.... එයා අයියේ වෙන කැම්පස් එකකට ගියා...”
“ඒත් ඉතිං කතා බහ කරනවා ඇතිනේ...”
“නෑ.......”
ඌ අහිංසක
විදිහට හිනා උනා......
“තේරෙයි තේරෙයි තේරෙයි.... සුභ සන්ධ්‍යාවක් වේවා.....”
මම එහා පෙට්ටියේ සින්දු කියන්න පටන් ගත්තා....


