කෑම එහෙමත් නැත්නම්
ආහාර අපේ ජීවිතේ වැදගත්ම අංගයක් නේ.. (කාට නැති උනත් මටනං එහෙමයි :D ) සමහරු ජීවත් වෙන්න කද්දී,
තවත් සමහරු කන්න ජීවත් වෙනවා. කොහොමෙන් කොහොම හරි කෑම කියන දේත් එක්ක අපි කාටත් අපූරු
මතකයන් බැඳිලා තියෙනවා.
අපි හැමෝම ගොඩක්
වෙලාවට ආසාවෙන් මතක් කරන ගෙදර අම්මා හදන බත් එක, නැත්නම් කිරිඅම්මා උයන කිරිකොස් මාළුව,
පොලොස් ඇඹුල මතක් කරද්දිත් අපේ කටට කෙළ උනනවා. ගෙදර ජීවිතෙන් මිදිලා එළියට යන්න ගත්තු
දවසේ ඉඳන් අපි විවිධ රස තියෙන කෑම වලට ආස කරනවා. සමහර එව්වට හරිම අමුතු විදිහට
ඇබ්බැහි වෙනවා.
මංතුමා ඉස්කෝලේ
ගියේ ගෙදර ඉඳන් හූවක දුර තියෙන ඉස්කෝලෙක වෙච්චි, හිච්චි කාලේ ඉස්කෝලේ කැන්ටිමේ කෑම
කන්න මාරම විදිහට ආස කළා. ඒත් හරහට හිටියේ ගෙදරින් ඔතලා දෙන බත් පෙට්ටිය. ඉතිං හරි
ආසාවෙන් හිටියේ කුලේ මාමාගේ කැන්ටිමට ගිහිං රුපියල් දහයක් වගේ දික් කරලා, බිත්තර බනිස්
එකක්, බටර් පාන් කාලක් (හැබැයි ඒකේ තිබ්බේ මාජරින්), නැත්නම් රුපියල් පහට බයිට් පැකට්
එකක් වගේ කන්න.
ගැටව් කාලෙට එද්දී,
සාක්කුවට රුපියල් විස්සක් තිහක් වැඩිපුර වැටෙද්දී, කුලේ මාමා කුලේ අයියා උනා! උදේ
පීරියඩ් එකත් කට් කරලා තෝසේ පාරක් දාන්න, පරාටයක් කාලා ප්ලේන්ටියක් බොන්න හුරු උනා.
ඒ අස්සේ ඉස්කෝලේම පදිංචි වෙලා හිටිය කැඩෙටින් කාලේ බතක් මාළුවක් උයාගෙන, ලයනල් සර්
බලාගත්තු ඉස්කෝලේ ගෙවත්තෙන් හොරෙන් එළවළුවක් එහෙමත් කඩාගත්තු වෙලාවල් නැතිවාම නෙවෙයි.
කැඩෙට් කරපු
එකෙක්ට රන්ටැඹේ මෙස් එකේ කෑම වේලවල් නම් අමතක වෙන්න කොහොමත් බෑ! ගිනි අව්වේ පෙරඩ්
කරලා මෙස් එක ඉස්සරහා පෝලිම් වෙන්නේ යකෙක් කන්න බඩගිනි හැදිලා. පරිප්පු පීනලා හොයන්න
ඕනි පරිප්පු හොදි, බොර මාළු හොඳි, කටු එහෙන් මෙහෙන් තියෙන බිත්තර විනාඩි පහෙන් අතුරුදහන්
කරන්න අපේ උන් හෙනම රුසියෝ!
ඒ අහු අස්සේ ආයේ
නානාප්‍රකාර කෑම කඩ අස්සේ රිංගන්න පටන් ගන්නේ A/L ක්ලාස් යන කාලේ. තෙල් මෝරන කාලේ වෙච්චි, සමහර
වෙලාවට සමහර කෑම කඩ අස්සට ගොඩ වෙන්නේ කෑම කන්න විතරක්ම නෙවෙයි 😉 කුරුණෑගල පන්ති ගාටපු
එකෙක්ට පරණ මාකට් එකේ බන්ඩාගේ කඩේ තෝසෙයි වඩෙයි , ශොපින් කම්ප්ලෙක්ස් එකේ ආරාධනා එකේ
මැගී එකයි අමතක වෙන්න විදිහක් නෑ. ඔය හැම තැනකම අපේ මතක අට්ටි ගණන් ගොඩ ගැහිලා තිබ්බා.
ඔය කෑම රටාව,
හොඳටම වෙනස් වෙන්නේ කැම්පස් ගෑටුවට පස්සේ! රජරට කාස්ටකේ සුන්දරත්වේ විඳින ගමන් හිල්ටන්
එකේ, queens එකේ, ෆැක්ල්ටි
කැන්ටිමේ කෑම රහ ආයේ කොයි ලෝකෙන්වත් හොයාගන්න නම් වෙන්නේ නෑ. අල්කයිඩාගේ ෆ්‍රයිඩ්
රයිස්, නයිකැට්ටාගේ කොත්තුව, පොතානේ වඩේ, අඩව්වාගේ රොටී , හීන්සැරේ බත් එක අපිව මැරෙන්නේ
නැහිව ජීවත් කළා. ඒ කෑම වලට එහෙං මෙහෙං මැස්සෙක්, පණුවෙක් එහෙම දැම්මේ අපේ ප්‍රෝටින්
intake
එක වැඩි කරන්න
කියලා තමයි දැනමුත්තෝ කිව්වේ. ඒ අස්සේ ඉතිං
රුපියල් පහේ ප්ලේන්ටි ගැලුම් ගණන් බිබී කැන්ටිමේ බෙන්ච් වල ගත් කරපු සුන්දර වරු ගණන්
නොතිබුනාම නොවෙයි 😉
පහේ විසිපහේ කෑම
වලට තිත වැටෙන්නේ කොළඹ බෝඩිංකාරයෙක් වෙන්න පටන් ගත්තහම. Intern කාලේ කොහොමත් කෝඩේ නේ..
ඒ කාලේ හොයන්නේ අඩුම ගාණකින් සැරටම බඩ පුරවගන්න පුළුවන් තැන. රත්මලානේ, බත්තරමුල්ලේ,
මාලඹේ, තලාහේනේ නොගියපු කෑම කඩයක් නැති තරම්. මොන රස මසවුළු තිබ්බත්, බස් එකක තෙරපිලා
ඇවිත්, වොශ් එකක් කාරිය දාලා, බෝඩිමේ උන් එක්ක කයියක් දාන ගමන් කන ෆුල් කොත්තුව....
ඒක පට්ට නැද්ද කියපං.. පඩි දවසට ඕක ටිකක් තව සරු වෙනවා. ඉදිආප්ප දහයේ මුලයි හොඳියි
විතරක් නැතිව තව කට ගැස්ම ටිකකුත් සමහර වෙලාවට එකතු වෙනවා.
ඔය අහව් අස්සේ
එක එක වැඩ රාජකාරි වලට රට රටවල් වලට ගාටන්න වෙච්චි, ඒ රටවල් වලටම ආවේණික වෙච්චි පතාරාස
වගේම හරිම අමුතු කෑමත් බඩට යනවා. ඉන්දියාවේ පේමන්ට් එකේ සුප්‍රසිද්ධ පාවෝ බජී එකේ
ඉඳන්, පිලිපීනේ බලූත්, ඇමරිකාවේ පත සයිස් ස්ටේක් ඔය කොයි දේත් හරිම අපූරු මතක එක්ක
එක්කහු වෙලා තියෙනවා. කොයි දේ අමාශෙට
ගියත් දිරෝගන්න හැකියාවක් තියෙන අපිට ආයේ ඉතිං මකුළුවෙක් බැඳලා දුන්නත් කන්න පුළුවන්!
:D
ජීවිතේ වෙනමම
ගමනක් පටන් ගන්න හරියටම මීට අවුරුදු හතරකට කලින් දකුණුකුරු දිවයිනට විප්‍රවාසගත උනාට
පස්සේ ගොඩක් වෙලාවට කඩපිල් වලින් කන්නේ බොන්නේ නැතිව ගෙදරම හදාගෙන කන්න හුරු වෙනවා.
කොයි ලෝකේ ගිහිං කෑවත් ගෙදර ඇවිත් බතක් රයිස් කුකර් එකට දාගෙන, සම්බෝලයක් හරි කොටාගත්තහම
දිව්‍ය භෝජනේ වගේ දැනෙනවා.
ඔය සමහර කෑම කටවල් වල ආදරය, විරහව, වේදනාව, සතුට ඔය ඔක්කොම එක්කහු වෙලා තියෙනවා. ඒකයි ජීවිතේ මෙච්චර රහ!
++++++++++👌🙏😊
ReplyDelete:) :) :)
Deleteභායි සහාබ්, කෑම කොතනද අපි එතන!
ReplyDeleteඔය බතයි සම්බෝලෙයි කතාව නං හරියටම හරි, මටනං.
මිෂෙලිං ඉස්ටාර් වලිං කෑවත් බලපිටියෙ උපං මට බලමාලු හොද්දකුයි සම්බෝලෙයි බතුයි බඩට වැටෙනව වගේ පිට් එකක් නෑ සහාබ්. ඒ අනිත්වගේ ඇති නරකක් වැරැද්දක් නිසා නෙවේ, අපේ සෙන්සර් සේරෝම ඇජස් වෙලා තියෙන්නේ ගමේ ඩයට් එකට නිසා වෙන්ඩෝන. තවදෙයක් කියන්ටෝන ..පිටරටක ගිහිල්ල මාස දෙක තුන බතක් හොද්දක් නැතිව ඉට්ටැයිල් කෑමම කකා ඉඳල ගෙදර එනකොට සීදූවෙම්ම ඇරියස් කවර් කරගෙන නැද්ද?
ජයවේවා!
Myself Hattor
අප්පේ... සිරා කතාව. අපේ ගෙදරට කටුනායක ඉඳන් පැය බාගයයි. ඔය පැය බාගේ යන්නත් බෑ කොච්චිකඩෙන් ඇරියස් කවර් කරගෙන තමා යන්නේ :D
Deleteහැට්ටර් මම වගේම එකෙක් නේ. ගෙදර ගිහින් පලවෙනි සැරේට කන්නේ රතු හාල් බත්, ගම්මිරිස් දාපු සම්බෝල, බලමාලු හරි කෙලවල්ලෝ හරි , පරිප්පු
Deleteකැඩෙට් කරපු එකෙක්ට රන්ටැඹේ මෙස් එකේ කෑම වේලවල් නම් අමතක වෙන්න කොහොමත් බෑ!
ReplyDelete**********************************
කුරුණෑගල පන්ති ගාටපු එකෙක්ට පරණ මාකට් එකේ බන්ඩාගේ කඩේ තෝසෙයි වඩෙයි , ශොපින් කම්ප්ලෙක්ස් එකේ ආරාධනා එකේ මැගී එකයි අමතක වෙන්න විදිහක් නෑ............
*******************
බලාගෙන ගිහාම මෙන්ඩත් රන්ටැඹේ කල්දේරම් බත් රහ බලපු එකෙක් වගේ
Deleteaniwa....රන්ටැඹේ කල්දේරම් බත් රහ බලපු එකෙක්
Deleteකුරුණෑගල පන්ති ගාටපු එකෙක්
This comment has been removed by the author.
ReplyDeleteගොඩක් දෙනෙක් පිළිගන්නා සහ සමීක්ෂණ වලින් හෙලිවෙලා තියෙන දෙයක් තමයි මිනිසුන් සෙක්ස් වලට වඩා කෑම රසවිඳින බව..ඒ වුණාට අපේ වයසට නම් ගන්න හැකියාව තිබ්බත් කන්න හොඳ නැති කෑම වර්ග බොහොමයි.
ReplyDeleteවෙන්ට පුළුවන්.. වෙන්ට පුළුවන්..
Deleteබෝතල් සම්බෝල නරකම නෑ. ක්ට්ට කරොල, හාල්මැස්සන් මෙකී නොකී සේරම දේ තියෙනවා. මෙල්බර්න්වලම හදන කරවලත් තියෙනවා නේ!
ReplyDeleteRashini Salmon එකේ සැමනුත් තියෙන්නේ. බොම්බිලි පරාදයි. රසයි. මතක් වෙද්දීත් තෙත් වෙනවා දිවේ ඉදං.
Deleteදකුණු කුරු දිවයින කොහෙද තියෙන්නේ
ReplyDeleteJust Google it mate!
Deleteමෙන්න ප්‍රතිඵල
"දකුණු කුරු දිවයින"
පොඩිකාලෙ අල්ලපු හෝටලෙන් ඉඳියාප්පයි කිරිහොදියි කෑවට පස්සෙ තනියම කඩෙන් කන්න පුරුදු උනේ ඒලෙවල් කරන කාලෙ තමයි.
ReplyDeleteඉස්කෝලෙ කැන්ටිමෙන් කෑම ගැනනං කතා කරන්න දේ බොහොමයි.
ඉස්කෝලේ කැන්ටිම නං ආයේ සුපිරිම තමා!
Deleteස්තිරි පරානයක්.... තමන් වෙනුවෙන් හදලා ගෙනත් දෙන කෑම එකෙන් දැනෙන්නෙ වෙනම රහක්
ReplyDeleteඅන්න අන්න.. ;) ඒක වෙනමම රහක්!
Deleteසම්පූර්ණයෙන් ම නිර්මාංශ උනාට පස්සේ කඩවල් වලින් කියලා කන්න දෙයක් නැති උනා . ඒත් පරණ මතක ආයේ අලුත් වෙනවා කෑම දකිනකොට . :)
ReplyDelete