සදාදර හිමාලි,
කඩදාසියක්
හොයාගෙන මොනවා හරි කුරුටු ගාන්න ඕනේ කියලා හිතා ගත්තේ හිතේ පිරිච්චි කතා ඔක්කොම
අකුරු වලට ගුලි කරනවා කියලා හිතාගෙන. කොළඹ හරි නපුරුයි.. කවුදෝ කියලා තිබ්බා. ඔව්...
කොළඹ හරි නපුරුයි.. වියලුවේ ඉඩෝරෙට ඔක්කෝම වේලලා කරකුට්ටන් කරලා දාන ගිනි ගහන
අව්වටත් වඩා කොළඹ නපුරුයි.
කතාවෙන්
කතාව ඔය පැත්තේ විස්තර අහන්නත් බැරි උනා. කොහොමද ඉතින්? අම්මා මේ මාසේ බේත් ගන්න ක්ලිනික්
එකට ගියා නේද?මං ගිය සතියේ මනි ඕඩරයක් එව්වා. ඒකෙන් අප්පච්චිටත් බේත් ටික ගන්න
පුළුවන් වෙයි. දෙයියන්ගේ පිහිටෙන් පහුගිය
මාසේ දවස් දෙකේ නිවාඩුවට ගෙදර ඇවිත් ආපහු යද්දී බස් හෝල්ට් එකට වෙලා ඔයා කඳුළු
පුරෝගෙන මං දිහා බලාගෙන හිටියා මං දැක්කා. දැක්කේ නෑ වගේ බස් එකේ එල්ලුනේ ආපහු
බැලුවොත් ආයේ කඳුළු අලුත් වෙයි කියලා හිතලා.
“මමත්
එනවා ඊළඟ පාර අයියත් එක්ක කොළඹ යන්න” බරක් පතලක් නොදන්න උඹ එහෙම කියන්නේ ටී.වී එකේ
පෙන්නන කොළඹ දැකලා. ඔව්... ඒ කොළඹ හරි ලස්සනයි. උසට උසේ ලයිට් දාපු පතාර බිල්ඩින්.
ඒ බිල්ඩින් ඔක්කොම සීත කරලා. උඩහා කන්දේ හුළං කපොල්ලෙන් යද්දී ඇඟට වදින හුළඟටත්
වඩා ඒ බිල්ඩින් අස්සේ සීතලයි. හවසට පාට පාට සපත්තු දාගෙන සිමෙන්ති ගඩොල් අල්ලපු
පාරවල් වල දුවන මිනිස්සු ගෑනු... හන්දියේ සයිබු නානාගේ කඩේ වගේ සිය ගුණයක් විතර
ලොකු කඩවල්. මං දන්නවා උඹ ගොඩක් ආස විදුරු කූඩු ඇතුලේ ලස්සනට පේන්න එක එක ඇඳුම්
අන්දපු ප්ලාස්ටික් මිනිස්සු බලන්න කියලා. ඒත් හිමාලි කොළඹ එච්චර ලස්සන නෑ.
කොළඹ වකාරෙට
තියෙන පාට පාට තොරොම්බල් ඇතුලේ කළු පාට කතා ගොඩක් හැංගිලා තියනවා. සතියේ දවස් පහේ
කිසිම දවසක හරි හමං විදිහට ඉර එළියවත් දකින්නේ නැති අපි වගේ කන්තෝරුකාරයෝ ගිලගන්න ඒ
කළු පාට කතාකාරයෝ බලාගෙන ඉන්නවා.
පඩියෙන්
හතරෙන් එකක්ම ගෙවලා ඉන්න බෝඩිමේ ඉඳන් ඔපිසියට තියෙන්නේ හැතැම්ම හයක් උනාට උදේ හයටවත්
බස් එක අල්ලගත්තේ නැත්නම් රතු ඉර තමයි. එක එක සුවඳ කොලෝන් එක්ක දාඩිය ගඳ කරකැවෙන
සින්දු පටෝපු සෙනග අදින බස් එකේ ගුලි වෙලා කන්තෝරුවට ආපුවහම හවස් වෙනකං එකම
සුමයයි. උදේට හැටේ බත් එක. දවල්ට කැන්ටිමේ සීයේ බත් එක. චිකන්ද මාළුද එළවලු ද....
කැකුළු බතට ගලේ අඹරපු සම්බෝලෙත් එක්ක උණු උණුවේ කන බත් කටේ රහ ඒ එකකවත් නෑ හිමාලි...
හැමදාම
කළුවර වැටුනාම එකම වෙලාවට එළියට පැනලා... කොළ එළිය වැටුනාම එකම කහ ඉරෙන් පාර පැනලා,
කණ බීරි කරන හෝන් සද්දේ දාගෙන එන බස් එකකට පැටවිලා, වැරදිලා හරි ඇඟේ වැදුනොත් ගන සැරේට
ඔරවලා බලන නෝනා මහත්තුරු ඉවසා වදාරගෙන.... බස් හෝල්ට් එක ළඟ නවත්තන ඉඳි ආප්ප වෑන්
එකෙන් රුපියල් පනහේ පාර්සලයක් සිලි මල්ලක දාගෙන බෝඩිමට එද්දී හොඳ පණ ගිහිං.
පයිප්පෙන්
සලාකෙට එන වතුර ටිකෙන් නා ගත්තට ඇල වක්කලම ළඟ ලිඳෙන් වතුර දෙකක් ඇඟට හලා ගද්දි එන
සනීපෙ කවදාවත් එන්නේ නෑ. ප්ලාස්ටික් කෝප්පෙට හීටරේ ගහලා උණු කරගත්තු වතුර ඩිංගෙන්
තේ කහට හදා ගත්තට උඹම හදලා හකුරු ඇබිත්තක් එක්ක දෙන කහට කෝප්පේ එක්ක ඒක ළඟින්වත්
තියන්න බෑ.
ආයෙත්
හෙට උදේට එකම සිංදුව... මොනවා කියලා කරන්නද... මීගහකිවුලේ උඩහ ගෙදර මද්දුම එකා කොළඹ
ලොකු රස්සාවක් කරලා ගෙදර එනකං ගෙදරටම නාකි වෙවී උඹ බලාගෙන ඉන්න ඕනෙම නෑ හිමාලි....
තෙරුවන්
සරණයි!
මීට,
ආදර,
බණ්ඩාර
පින්තූරය - http://www.udawalawesafari.com/Udawalawe-Village/
බංඩාරයා එනකන් බලං ඉන්න එපා හිමාලි...මට දුක හිතෙය
ReplyDeleteයකෝ.. මෙන්න බාර ගන්න මිනිස්සු
Deleteහම්මේ බං. මෙහෙම පපුවට අනිනවා වගේ ලියන්න එපා..
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්ම්
Deleteඔක්කොටම වඩා මටනම් වටින්නේ, අපේ කාලයේදී වගේ, මේ විදිහට ලියුමක් ලිවීමය. ඇත්තටම හොඳ ප්‍රේම සාහිත්‍යයක් බිහිවෙන්නේ, මේ වගේ ලිපි ලිවීම නිසා ඇතිවන පරිචය තුලින්ය.
ReplyDeleteබණ්ඩාරගේත් හිමාලිගේත් කතාව, සුඛාන්තයක් වේවා!
අනිවා. දැන් තියෙන්නේ එස්.එම්.එස් නේ....
Deleteපඩියෙන් කාලක් බෝඩිමටයි, තව කාලක් කෑමටයි වියදම් කරගෙන කොලඹ රස්සා කරන බණ්ඩාර ලා ගැන බලා ඉන්න එපා හිමාලී. ගමේ තියෙන දෙයක් දෙන්නත් එක්ක එකතුවෙලා වැඩි දියුණු කරගෙන ජීවත් වෙන්න කැමති කෙනෙක් හොයා නොගත්තොත් උඹලා දෙන්නම අනාථයි.
ReplyDeleteඅන්න ඒකනම් ඇත්ත කතාවක්. ඔන්න ඔය වගේ දෙයක් තමයි කරන්න ඕනේ
Deleteමේක නං වැදුනා කඳුළු පනින්නම. ඇයි යකූ මෙහෙම ලියන්නේ!
ReplyDeleteහයියෝ.... මොනවා කරන්නද ඉතින්
Deleteහිමාලි ඔයාට මං ඉන්නව.. බණ්ඩාරය අමතක කරල දාමු හිමාලි
ReplyDeleteමෙන්න තව එකෙක්
Deleteසුපිරියට ගලපලා බන් අපි අපි ගැනම එල නියමයි
ReplyDeleteඅපි අපි ගැනම තමයි
Deleteහුඟ කාලෙකින් ලියුමක් කියෙව්වේ. අවුරුදු ගානකින් වගේ.
ReplyDeleteදැන් ඉතිං මෙව්වා නෑනේ ඉතිං
Deleteගම, නගරය, මුදල් ඔස්සේ ගලා යන අපේ ජීවිත. දෙන්නම පව්. ලියමන අපූරුයි.
ReplyDeleteජයවේවා!!!
මුදල් තමයි ඉතිං මූලික...
Deleteමේක කියවන් යද්දී මට හිතුනේම මේ අපේ හැඟිම්, අපි වටේ ඉන්න හැමෝගෙම හැගීම කියලයි... අපූරුයි.. හිතට වදින්න ලියලා..
ReplyDeleteඅපේ කතාව තමයි ඉතිං හැම තැනම....
Deleteකඳුළු අතරින් ලියුම කියෙව්වා...
ReplyDeleteදැන් ඉතිං කඳුළු පිහ දාගන්න...
Deleteගමේ ඉඳල කොළඹ ගිහිල්ල ඔෆිස් වල වැඩ කරන අයගෙ තත්වෙ ඔහොමනං ඔය බිල්ඩිං සයිට් වල කුළියට වැඩ කරන කොල්ලංගෙ තත්වෙ කොහොම වෙයිද.
ReplyDeleteඉයන් කියල තියෙනව වගේ ගමේ ඉඳගෙන කරන්න පුලුවන් දෙයක් කරල ජීවත්වෙන්න උත්සාහ කරන එක තමයි හොඳම දේ.
ඒ මිනිස්සු ගැන නම් හරිම දුකයි හිතපුවහම...
Deleteමට තෙරෙන්නේ නැත්තේ ලොකු රස්සාවක් කරන්න කොලඹම එන්න ඔනේ ඇයි.. මොකද්ද ඒ ලොකු රස්සාව මනින මිනුම් දණ්ඩ...
ReplyDeleteඇයි ඉතිං වයිට් කොලර්!
Deleteඅප්පා දුක හිතුනා මහ ගොඩක්... මේ වගේ බණ්ඩාරලා හිමාලිලා කොච්චරක්නම් ඇද්ද හැබෑවටම
ReplyDeleteහැමෝම බණ්ඩාර ලෑ හිමාලි ලා තමයි
Deleteපට්ට අයියේ!!!
ReplyDelete:)
Deleteවේදනාව පිරිච්ච දූපතක් මේක
ReplyDeleteවේදනාව විතරක් නෙවෙයි...
Deleteමක් කොරන්ඩද බණ්ඩෝ දුක තමයි
ReplyDeleteබහුතරයකගේ ජිවිත වල ඇතුල් පැත්ත බොහොම ලස්සනට ලියල...
ReplyDeleteහරිම රහයි නාඩියො...උඹ ඉතාම ව්‍යක්ත ලේඛකයෙක් තරමට මේ ප්‍රස්තූතය මැනවින් ඉදිරිපත් කොට තිබෙනවා.
ReplyDeleteකොළඹ රහයි කියලා හිතාගෙන මාත් ආවා හිමාලි ඒත් ඉතිං දුක තේරුනේ ඊට පස්සෙයි. බංඩාර අයියා කියන කතාව හරි හිමාලි කොළඹ හරිම නපුරුයි.
ReplyDeleteගමත් නපුරු වෙනවා මල්ලි කසාද බදින්නේ නැතුව ගෙදරම හිටියොත්. ආයේ කොළඹ ගම කියල වෙනසක් නැහැ. සංවේදී ලිපියක්නේ.
ReplyDelete