නාඩි සෙට් එක

Sunday, November 3, 2024

Scholarship විස්තරේ

 මේක බුකියේ දැම්මා.. කවදාහරි මටම කියෝගන්න හරි කියලා මේකටත් ඔබන්න හිතුනා. 

PhD එක ඉවර වෙලා සේප්මන්ට් එකේ ගෙදරට වෙලා ඉන්න දවසක යාළුවෙක් කතා කරලා ඇහුවා “උඹට හෙන free එකක් ඇති නේද දැන්” කියලා… 
 
ප්ලේන්ටියක් ගහන ගමං පහුගිය අවුරුදු දහය පහළව ගැන පොඩි review එකක් දාද්දී හිතුනා අඩේ ඇත්තට වැහැලා වැහැලා පෑව්වා වගේ සීන් එකක් තමා දැන් තියෙන්නේ කියලා. මගේ හැටියට අප්පට සිරි වෙන master plan එකක් ගහලා තියෙන්නේ. උණහපුළුවට උගේ පැටියා මැණිකක් කියනවනේ.. ඒ විදිහට මටනං මං මහන්සියෙන් කරපු දේ මාරම වටිනවා. ඒ හින්දා ඕනි එකෙක් කියවපුවාවේ නැත්නං පස්සේ දවසක මටම කියෝ ගන්න කොටලා තියෙනවා කියලා හිතුවා හෑල්ලක්. 
 
හෑල්ලක් කිව්වට මං හිතුවා මේක හෑලි දෙකක් විදිහට දාන්න. පළවෙනි එක ආචාර්ය උපාධියක් කරන්න පාර කපා ගත්තු හැටි.. දෙවැනි එක ඒක අවුරුදු හයක් තිස්සේ ඇඳගෙන ගිය හැටි. ඔන්න මේ පළවෙනි එක.
 
පොඩි කාලේ ඉඳන් මට සැරම උණක් තිබ්බේ ඔය සයන්ටිෆික්, ගැජමැටික් වැඩ වලට. ගෙදර ඉගෙනුම් පරිසරයක් තිබ්බා. හැබැයි ඒක පොතේ ගුරා මොඩල් එකක් නම් නෙවෙයි. අනිත් ළමයින්ගේ තාත්තා ලා වාඩි කරෝගෙන ගණන් වනපොත් කරද්දී අපේ අප්පච්චී මට අවුරුදු දහය එකොළහේදී කියලා දුන්නේ එක එක රටවල් වල අගනුවරවල්, ඒ ඒ රටවල විශේෂතා.. එහෙමත් නැත්නම් pH මීටරෙන් ගෙදර මාළු ටැංකි වල pH එක බලන්න… නවය වසරේදී තරු රටා ගැන.. ලංකාවේ ලොකුම දුරේක්ෂය තියෙන ආතර් සී ක්ලාක් එකට බස් එකේ එක්කං ගිහිං ඒක පෙන්නන්න. ඒකට හරියන්න පන්නල ඉස්කෝලේ අපේ ගුරුවරුත් විභාග පස්සේම පන්නන්නේ නැතිව අපිට ඇත්තම අධ්යාපනය කියන්නේ මොකද්ද කියලා ඔළුවට දැම්මා. 
 
A/L කළේ combined maths. ලොකු ලොකු පන්ති කෙරුවාවල් නෑ.. ඉස්කෝලේ තියෙන හැම අමතර වැඩකටම ඔළුව දාගෙන, සාහිත්ය දින තරඟ වලට හිටං යන ගමන් 2010 A/L කළා. ලොකුම රිසල්ට් එකක් නෑ. BCC! හැබැයි කැම්පස් යන්න පුළුවන්. ඒ වෙද්දී මාරම සැරට කොම්පියුටර් උණ ගහලා තිබුණු කාලේ. ඉතිං ආයේ දෙපාරක් exam කරන එක අත ඇරලා අනිවාර්යෙන්ම IT කරන්න කැම්පස් යනවා කියලා හිතා ගත්තා.. Private university කියන එක මගේ equation එකේ නොතිබිච්චි දෙයක්. මොකද ගුරුවරියක් වෙච්චි අම්මාගේ පඩියයි, ඒ වෙද්දී විශ්රාම අරගෙන හිටිය අප්පච්චිගේ වැටුපයි එක්ක ලක්ෂ පහක් හයක් එක සැරේ වියදම් කරනවා කියන එක කරන්න හරිම අමාරු දෙයක්. පිහිට නිදහස් අධ්යාපනය විතරයි. 
 
සෙට් උනේ රජරට විශ්වවිද්යාලය. රජරට නෙවෙයි මොන තූත්තුකුඩියකට ගියත් වැඩේ හරියට ගොඩ දාගන්නවා කියලා ගැම්මක් අරගෙන හිටියේ. “උඹට රජරට ගිහිං වෙන්නේ කොළඹින්, මොරටුවෙන්, පේරෙන් එන උන් ළඟ assistant විදිහට වැඩ කරන්න” කියලා කියපු උනුත් හිටියේ නැත්තාම නෙවෙයි
😃
2011 කැම්පස් ගියා.. සුපිරි ආතල්.. නියඟේ නම් නියඟේ, ගංවතුර නම් ගංවතුර, ස්ට්රයික් නම් ස්ට්රයික්! කොළඹට බස් එකේ එන්න පැය හතයි, හෙදරට යන්න පැය පහයි! ලෙක්චර්ස් එහෙම අවුලක්ම නෑ.. ඔන්න ශේප් එකේ යනවා.. අවුල් යන එව්වා පතා ඇතුළු අපේ කුප්පි බලකාය ගොඩ දානවා. මමත් එහෙං මෙහෙං කුප්පියක් දෙකක් කරලා දානවා. Exam තියෙනවා.. සමහර එව්වගේ result එනවා.. එව්වත් අවුලක්ම නෑ.. ඔහොම මල් සමය ගෙවීගෙන යනවා. 
 
ඔහොම ඉද්දි අපේ අතීසාර මිත්ර පිරිසට ඕනි වෙනවා එළියේ මොකෝ වෙන්නේ, අනිත් කැම්පස් වල මොනවද වෙන්නේ, industry එකේ සීන් එක මොකද්ද කියලා වගේ හොයලා බලන්න. කොළඹ IT meetups කියලා ජාතියක් එහෙම තියෙනවා කියලා අපිට අහන්න ලැබෙනවා. යාල්දේවියේ නැගලා අපි කොළඹ එනවා. අම්මටසිරි වෙනවා. අනිත් කැම්පස් වල උන් ඒ වෙද්දී andoird එහෙම කාලා වමාරනවා. Imagine Cup වලට රට යනවා. Hackathon වල පැය ගණන් code කරනවා! මේ යන විදිහ නම් හරියන්නේ නෑ පුතී කියලා අපිට තේරෙනවා. 
 
අපේ අති උත්තම ලෙක්චර් රත්න එක්ක අපි ඔව්වා ගැන කතා කරනවා. හැප්පෙනවා.. කාමර වලට දාලා වහනවා 😉 පොඩි පොඩි සපෝට් හම්බෙනවා… හැබැයි අපිට තේරුම් යනවා industry එකත් එක්ක කැම්පස් එක ලොකු connection එකක් නෑ.. තමන් හිසට තම අතමය සෙවනැල්ල කියලා. අපි ARICT එක එහෙම අටෝගෙන පටන් ගන්නවා hackathon වලට යන්න. Microsoft Student Champs, Google I/O යන්න. පුළුවන් තරම් self learning කියන සීන් එකට බහින්න. 
 
2013 වෙද්දී මට පුළුවන් වෙනවා Microsoft Student Ambassador කෙනෙක් විදිහට වැඩ කරන්න. ලංකාව වටේම සුපිරි යාළුවෝ ටිකක් හම්බෙනවා. Wellington Perera මහත්තයා වගේ සුපිරි mentors ලා සෙට් වෙනවා. හැබැයි මේ ඔක්කොම කරන්න පැය ගණන් බස් වල බඩගාගෙන, අනුන්ගේ බෝඩිම් කාමර වල කාඩ්බෝඩ් උඩ නිදාගෙන තමයි ගේම ගොඩ දාන්නේ. සමහට දවස් තිබුනා පැය හතක් බස් එකේ කොළඹ ඇවිත් පැය දෙකේ meetup එකට ඉඳලා එදාම රෑ නයිට් මේල් එකේ අනුරාධපුරේ ගියපු. 
 
ඒ අස්සේ Thejan Rajapakshe, මමයි තව සෙට් එකකුයි startup සීන් එකටත් බහිනවා. Software විකුණනවා.. CD විකුණනවා.. හෙනම බිස්නස් සීන් එකේ ඉන්නේ. දැන් වැඩිය ලෙක්චර්ස් යන්නේ නෑ.. සමහර ලෙක්චරස් ලාට මල! හැබැයි සමහරු හරිම කැමතියි. මොකෝ වදකාරයෝ ටික නෑනේ.. 
 
එතකොට research, higher studies? එහෙම මඟුලක් ගැන අපි දැන් තියාම ලෑස්ති වෙන්න ඕනි කොහොමද කියලවත් අපි දැනගෙන හිටියේ නෑ. ඒ ගැන ලොකුවට කියන්න ආචර්යවරු හිටියෙත් නෑ.. මොරටුවෙන් Sabotical ආපු ආචාර්ය ශාන්ත ෆර්නෑන්ඩු සර් තමයි පොඩ්ඩක් හරි ඔය ගැන අපිට තේරෙන විදිහට ඔළුවට දැම්මේ.. සීනියර්ස් ලාටත් ඒ වගේ ලොකු අදහසක් තිබ්බේ නෑ.. මොකෝ එහෙම ගිය අය ටිකක් අඩු නිසා සහ ගිය උන් එව්වා පසේ බුදු ස්ටැයිල් එකෙන් තියාගත්තු නිසා. 
 
2014 දී මට මාර chance එකක් සෙට් වෙනවා USA වලට යන්න. ගිහිං University of Washington එකේ ටික කාලයක් ඉගෙන ගන්න. US Embassy එක fund කරන්නේ.. ඒක තනිකරම සෙට් වෙන්නේ ඒ කාලේ බැහැගෙනම කරපු සිංහල බ්ලොග් එකක් නිසා. ඉගෙන ගන්නේ New Media & Journalism! හැබැයි ඒ කැම්පස් එක එහෙම දැක්කමහම ඔළුවට වදිනවා කොහොම හරි research පැත්තෙන් ඉස්සරහට යන්න ඕනි, ඒත් එක්ක industry එකෙත් ගේමක් ගහන්න ඕනි කියලා. 
 
ඔය අස්සේ 4th year research එක එනවා. මට ඕනි වෙනවා machine learning කරන්න. හැබැයි මුළු සිලබස් එකටට AI ගැන කියලා තිබ්බේ credit 4 ක expert system කියන subject එක විතරයි. දැන් ඉතිං තනියම back propergation algorithm එකේ ඉඳන් ඉගෙන ගැනිල්ලක් තමා තියෙන්නේ. යාන්තම් උපහාර ඩොන්ගල් දෙක තුනක් තිබ්බා රූම් එකට internet යන්න. හොඳ සපෝට් එකක් දෙනවා ආචර්ය කෞෂල්යා ප්රේමචන්ද්ර, මගේ සුපවයිසර්. කොහොමද research paper එකක් ලියන්නේ කියන තැන ඉඳන්ම කියලා දෙනවා. ඒ අතරේ ශාන්ත සර් මාවයි තේජානයවයි යොමු කරනවා Dr Dilrukshi Gamage එක්ක research එකක් කරන්න. ඒ පිහිටෙන් පුළුවන් වෙනවා Standford university එකේ research group එකක් එක්ක පොඩි කාලයක් වැඩ කරන්න. Publications දෙකකුත් ගොඩ දාගන්න.
 
මුලින්ම intern එක සෙට් වෙන්නේ Microsoft Sri Lanka එකේ. සිරාවටම මාර දේවල් ගොඩක් ඉගෙන ගත්තු තැනක්. මහ රෑ වෙනකම් ඉඳගෙන ඕනි තරම් learning කරන්න සපෝට් එක දුන්නා. 
 
2016 යාන්තං ඩ්රිග්රිය ගොඩ දාගන්නවා. GPA එක 3.8/4.0! නරකම නෑ. හොඳ ලකුණක්නේ යකෝ ඒක!
 
ඒ අස්සේ අර research scholarship ගැන ආසාව හින්දා ඒ ගැනත් හොයන්න පටන් ගත්තා. හැමෝම කියනවා දැන් නම් scholarship වලට apply කරන්න කාලේ හරි කියලා. ඉතිං මිත්රවරුනි, apply කරන්න ඒ ගැන දැන ගන්න එපැයි. 
 
පටන් ගත්තා කොනක ඉඳන් ඒ ගැන හොයන්න. අනිත් කැම්පස් වල ඉන්න යාළුවෝ එහෙම පට්ට සපෝට් එකක් දුන්නා. කියලා දුන්නා IELTS කියලා එකක් තියෙනවා ඒක කරපං කියලා. ක්ලාස් බ්ලාස් මොකුත් නෑ.. සතියක් විතර තනියම read කරලා ඒකත් ගොඩ දැම්මා. ඊළඟට කියපි GRE කියලා එකක් තියෙනවා.. පේරේ එහෙම නම් උන් 3rd year එකේදි වගේ ඒක කරනවා කියලා.. Exam එක සුදුද කළුද කියලාවත් දන්නේ නැතිව ඉද්දී Ashan Imantha Bandara තමා පොතක් දුන්නේ මේක බලලා පාඩම් කරපං කියලා. හැබැයි ඒක කරන්න උනේ නෑ.
 
Research කළාට industry අත අරින්නත් බෑනේ… ජොබ් එක පටන් ගත්තා software engineer කෙනෙක් විදිහට Tech One එකේ. එ දවස් තමා මරුම.. දවල්ට බැහැලා ජොබ් එකේ වැඩ කරනවා. රෑ වෙලා බෝඩිමට ඇවිත් scholarship ගැන හොයනවා. කැම්පස් වල ඉන්න professors ලාගේ ලිස්ට් හදාගෙන මේල් දානවා. පිටු ගණන් application පුරවනවා.. Research proposal ලියනවා. මොකෝ සල්ලි පෙන්නලා, සල්ලි ගෙවලා masters එකකට යනවා කියන එක කරන්න බැරිම දෙයක්. දාන එව්වා reject වෙනවා.. සමහර එව්වගෙන් masters ඉල්ලනවා.. US වල එව්වගෙන් GRE score එක අහනවා. හෙනම කේස්.
 
ඔහොම ඉද්දී 2017 සැප්තැම්බර් වල ඔය යට තියෙන මැසේජ් එක එනවා Dr Rajitha M Silva ගෙන්. ඒ වෙද්දී මම මනුස්සයා හැබැහින් දැකලාවත් නෑ. කෝල් කරලා මැසේජ් කරලා විතරයි. රජිත අයියා කියලා දෙනවා කොහොමද professor කෙනෙක්ට ලියන්නේ වගේ දේවල්. කියන විදිහට PhD එක තියෙන්නේ Deep Learning ගැන. හැබැයි මම Deep Learning ලොකුවට කරලා නෑ ඒ වෙද්දී. 
 
Apply කරලා ටික දවසකින් interview එක එනවා. ලංකාවේ වෙලාවෙන් පාන්දර 5 ට ඉන්වවිව් එක. Professors ලා දෙන්නෙක් මාව interview කරනවා. මගෙන් අහන්නේ degree එකේ machine learning වත් කරලා නැතිව ඔයා කොහොමද thesis එක ඒ ගැන කළේ කියලා. Online courses සහ self learning පිහිට ගැන මං කියනවා. ඒත් එක්ක පොරවල් ලොකුවටම අහන්නේ industry එකේ මම කරන වැඩ සහ coding practices වගේ දේවල් ගැන. මොකද මේක industry PhD එකක්.
 
සති ගානකට පස්සේ මේල් එකක් එනවා… අපි කැමතියි ඔයාට මේ opportunity එක දෙන්න. හැබැයි අපිට 4 year final thesis එක ආපහු review කරන්න ඕනි Australian markers ලා දාලා කියලා. හොඳ වෙලාවට ඒ වෙද්දී ඒකෙන් research paper එකකුත් publish කරලා ඒ කාලේ හැටියට හොඳට ගොඩ දාලා තිබ්බේ. ඒකත් submit කරලා දැන් මාස දෙක තුනක් යනවා.
 
කෝකටත් කියලා ඒ අස්සේ මම අනිත් එව්වටත් apply කළා. Erusmus Mundus එකටත් පිටු ගානක ඇප්ලිකේෂන් එකක් දැම්මා ඔය අස්සේ. කොහොම හරි සීයක් විතර මේල් එහෙට මෙහෙට ගිහිං 2018 මැද වගේ වෙද්දී La trobe university එකෙන් confirmation එක එනවා full scholarship එක හරි කියලා! පට්ටම සතුටුයි. ඒ මේල් එක ඇවිත් දවස් දෙකකින් Erusmus මේල් එක එනවා Europe වල masters එකකට full scholarship එකත් හරි කියලා! 
 
පස්සේ මම මගේ Australian supervisor එක්ක කතා කරනවා. (මනුස්සයා දෙයියෙක් වගේ ඩයල් එකක්. ඒ ගැන ඊළඟ හෑල්ලේ ලියන්නම්). පොර කියනවා ඔයාගේ industry යන්න තියෙන ආසාව එක්ක අපි එක්ක PhD එක කරමු. මාස තුනක් දෙන්නම් learning වලට.. ඒ කාලේ ඇතුළත ඔයා deep learning ගැන ඉගෙන ගන්න කියලා. හරි තීරණේ finalised! මම PhD එකට ඕස්ට්රේලියා එනවා. 
 
Health insurance එකට ගෙවන්න සල්ලි හිර වෙලා ඉද්දී ඉඩමක් විකුණලා තිබ්බ සල්ලි ටික දෙන්නේ අතීසාර මිත්Tharindu Nanayakkara මටයා! අතට අරං එන්න සල්ලි වලට කවදාවත් නොගෙවපු ලෝන් එකක් දෙන්නේ Prabath Maduranga Peiris අයියා. පළවෙනියට හිටිය කාමරේ කී මනි එකයි රෙන්ට් එකයි ගෙවන්නේ Prabath Fonseka අයියා.. Air ticket එක අරං දෙන්නේ අප්පච්චි ගේ credit card එකෙන්. ඩොලර් පන්සීයක් අතේ අරං 2018 ජූලි වල මෙල්බර්න් වල La Trobe university එකට මම එනවා PhD කරන්න. 
 
පළවෙනියට කැම්පස් ගිය දවසේ ඔළුවෙන් හිටගත්තු පිළිමේ ළඟ ඉඳලා ගහපු පොටෝව තමයි අනික. 
 
කෙටියෙන්ම කතාව මෙච්චරයි…
 
“අපි වගේ මිනිස්සුන්ට අධ්යාපනය කියන්නේ අත්තටු. අත්තටු තමන්ගේනම් කොහාටද පුතා පියාඹන්න බැරි?”

Thursday, July 21, 2022

කෑම කතා

 


කෑම එහෙමත් නැත්නම් ආහාර අපේ ජීවිතේ වැදගත්ම අංගයක් නේ.. (කාට නැති උනත් මටනං එහෙමයි :D ) සමහරු ජීවත් වෙන්න කද්දී, තවත් සමහරු කන්න ජීවත් වෙනවා. කොහොමෙන් කොහොම හරි කෑම කියන දේත් එක්ක අපි කාටත් අපූරු මතකයන් බැඳිලා තියෙනවා.

 

අපි හැමෝම ගොඩක් වෙලාවට ආසාවෙන් මතක් කරන ගෙදර අම්මා හදන බත් එක, නැත්නම් කිරිඅම්මා උයන කිරිකොස් මාළුව, පොලොස් ඇඹුල මතක් කරද්දිත් අපේ කටට කෙළ උනනවා. ගෙදර ජීවිතෙන් මිදිලා එළියට යන්න ගත්තු දවසේ ඉඳන් අපි විවිධ රස තියෙන කෑම වලට ආස කරනවා. සමහර එව්වට හරිම අමුතු විදිහට ඇබ්බැහි වෙනවා.

 

මංතුමා ඉස්කෝලේ ගියේ ගෙදර ඉඳන් හූවක දුර තියෙන ඉස්කෝලෙක වෙච්චි, හිච්චි කාලේ ඉස්කෝලේ කැන්ටිමේ කෑම කන්න මාරම විදිහට ආස කළා. ඒත් හරහට හිටියේ ගෙදරින් ඔතලා දෙන බත් පෙට්ටිය. ඉතිං හරි ආසාවෙන් හිටියේ කුලේ මාමාගේ කැන්ටිමට ගිහිං රුපියල් දහයක් වගේ දික් කරලා, බිත්තර බනිස් එකක්, බටර් පාන් කාලක් (හැබැයි ඒකේ තිබ්බේ මාජරින්), නැත්නම් රුපියල් පහට බයිට් පැකට් එකක් වගේ කන්න.

 

ගැටව් කාලෙට එද්දී, සාක්කුවට රුපියල් විස්සක් තිහක් වැඩිපුර වැටෙද්දී, කුලේ මාමා කුලේ අයියා උනා! උදේ පීරියඩ් එකත් කට් කරලා තෝසේ පාරක් දාන්න, පරාටයක් කාලා ප්ලේන්ටියක් බොන්න හුරු උනා. ඒ අස්සේ ඉස්කෝලේම පදිංචි වෙලා හිටිය කැඩෙටින් කාලේ බතක් මාළුවක් උයාගෙන, ලයනල් සර් බලාගත්තු ඉස්කෝලේ ගෙවත්තෙන් හොරෙන් එළවළුවක් එහෙමත් කඩාගත්තු වෙලාවල් නැතිවාම නෙවෙයි.

 

කැඩෙට් කරපු එකෙක්ට රන්ටැඹේ මෙස් එකේ කෑම වේලවල් නම් අමතක වෙන්න කොහොමත් බෑ! ගිනි අව්වේ පෙරඩ් කරලා මෙස් එක ඉස්සරහා පෝලිම් වෙන්නේ යකෙක් කන්න බඩගිනි හැදිලා. පරිප්පු පීනලා හොයන්න ඕනි පරිප්පු හොදි, බොර මාළු හොඳි, කටු එහෙන් මෙහෙන් තියෙන බිත්තර විනාඩි පහෙන් අතුරුදහන් කරන්න අපේ උන් හෙනම රුසියෝ!

 

ඒ අහු අස්සේ ආයේ නානාප්‍රකාර කෑම කඩ අස්සේ රිංගන්න පටන් ගන්නේ A/L ක්ලාස් යන කාලේ. තෙල් මෝරන කාලේ වෙච්චි, සමහර වෙලාවට සමහර කෑම කඩ අස්සට ගොඩ වෙන්නේ කෑම කන්න විතරක්ම නෙවෙයි 😉 කුරුණෑගල පන්ති ගාටපු එකෙක්ට පරණ මාකට් එකේ බන්ඩාගේ කඩේ තෝසෙයි වඩෙයි , ශොපින් කම්ප්ලෙක්ස් එකේ ආරාධනා එකේ මැගී එකයි අමතක වෙන්න විදිහක් නෑ. ඔය හැම තැනකම අපේ මතක අට්ටි ගණන් ගොඩ ගැහිලා තිබ්බා.

 

ඔය කෑම රටාව, හොඳටම වෙනස් වෙන්නේ කැම්පස් ගෑටුවට පස්සේ! රජරට කාස්ටකේ සුන්දරත්වේ විඳින ගමන් හිල්ටන් එකේ, queens එකේ, ෆැක්ල්ටි කැන්ටිමේ කෑම රහ ආයේ කොයි ලෝකෙන්වත් හොයාගන්න නම් වෙන්නේ නෑ. අල්කයිඩාගේ ෆ්‍රයිඩ් රයිස්, නයිකැට්ටාගේ කොත්තුව, පොතානේ වඩේ, අඩව්වාගේ රොටී , හීන්සැරේ බත් එක අපිව මැරෙන්නේ නැහිව ජීවත් කළා. ඒ කෑම වලට එහෙං මෙහෙං මැස්සෙක්, පණුවෙක් එහෙම දැම්මේ අපේ ප්‍රෝටින් intake එක වැඩි කරන්න කියලා තමයි දැනමුත්තෝ කිව්වේ.  ඒ අස්සේ ඉතිං රුපියල් පහේ ප්ලේන්ටි ගැලුම් ගණන් බිබී කැන්ටිමේ බෙන්ච් වල ගත් කරපු සුන්දර වරු ගණන් නොතිබුනාම නොවෙයි 😉

පහේ විසිපහේ කෑම වලට තිත වැටෙන්නේ කොළඹ බෝඩිංකාරයෙක් වෙන්න පටන් ගත්තහම. Intern කාලේ කොහොමත් කෝඩේ නේ.. ඒ කාලේ හොයන්නේ අඩුම ගාණකින් සැරටම බඩ පුරවගන්න පුළුවන් තැන. රත්මලානේ, බත්තරමුල්ලේ, මාලඹේ, තලාහේනේ නොගියපු කෑම කඩයක් නැති තරම්. මොන රස මසවුළු තිබ්බත්, බස් එකක තෙරපිලා ඇවිත්, වොශ් එකක් කාරිය දාලා, බෝඩිමේ උන් එක්ක කයියක් දාන ගමන් කන ෆුල් කොත්තුව.... ඒක පට්ට නැද්ද කියපං.. පඩි දවසට ඕක ටිකක් තව සරු වෙනවා. ඉදිආප්ප දහයේ මුලයි හොඳියි විතරක් නැතිව තව කට ගැස්ම ටිකකුත් සමහර වෙලාවට එකතු වෙනවා.

 

ඔය අහව් අස්සේ එක එක වැඩ රාජකාරි වලට රට රටවල් වලට ගාටන්න වෙච්චි, ඒ රටවල් වලටම ආවේණික වෙච්චි පතාරාස වගේම හරිම අමුතු කෑමත් බඩට යනවා. ඉන්දියාවේ පේමන්ට් එකේ සුප්‍රසිද්ධ පාවෝ බජී එකේ ඉඳන්, පිලිපීනේ බලූත්, ඇමරිකාවේ පත සයිස් ස්ටේක් ඔය කොයි දේත් හරිම අපූරු මතක එක්ක එක්කහු වෙලා තියෙනවා. කොයි දේ අමාශෙට ගියත් දිරෝගන්න හැකියාවක් තියෙන අපිට ආයේ ඉතිං මකුළුවෙක් බැඳලා දුන්නත් කන්න පුළුවන්! :D

 

ජීවිතේ වෙනමම ගමනක් පටන් ගන්න හරියටම මීට අවුරුදු හතරකට කලින් දකුණුකුරු දිවයිනට විප්‍රවාසගත උනාට පස්සේ ගොඩක් වෙලාවට කඩපිල් වලින් කන්නේ බොන්නේ නැතිව ගෙදරම හදාගෙන කන්න හුරු වෙනවා. කොයි ලෝකේ ගිහිං කෑවත් ගෙදර ඇවිත් බතක් රයිස් කුකර් එකට දාගෙන, සම්බෝලයක් හරි කොටාගත්තහම දිව්‍ය භෝජනේ වගේ දැනෙනවා.

 

ඔය සමහර කෑම කටවල් වල ආදරය, විරහව, වේදනාව, සතුට ඔය ඔක්කොම එක්කහු වෙලා තියෙනවා. ඒකයි ජීවිතේ මෙච්චර රහ!

 

 

 

  

 

 

Saturday, June 11, 2022

ඔටු කිරි වල ගුණ සහ තවත් කතා


මිත්‍රවරුනි YouTube එක කියන්නේ පිස්සු හැදෙන වංකගිරියක්. ඔන්න ලැප්ටොපේ ඔන් කරලා.. හරිබරි ගැහිලා වාඩි වෙලා.. කන් දෙක වැහෙන්න හෙඩ් ෆෝන් එක එහෙම දාගෙන ලෑස්ති වෙන්නේ පොඩි කෝඩ් කෑල්ලක් ගහන ගමං සින්දුවකුත් අහනවා කියලා.. යනවා YouTube එකට.. දාගන්නවා ඔය ලයාන්විත ගීතයක්.. 

ටික වෙලාවක් යද්දී ඔන්න එක පාරට මතක් වෙනවා කෝඩ් එකේ තියෙන multi-label classification එකේ data transform කරන තියරිය මතක නෑ කියලා.. ටං ගාලා ටියුබේ ගහපුවහම ආර්ර්ර් අකුර වැඩියෙන් කියවෙන අල්ලපු රටේ ඩෑල් එකක කරන ටියුටෝරියල් එකක් තියෙනවා.. ඕක ටික වෙලාවක් බලද්දී කම්මැලි හිතෙනවනේ.. එතකොට පැත්තෙන් එන BGT finals වගේ එකක් ටිකක් බලන්න සෙට් වෙනවා. ඕක බල බලා ඉද්දී ඔළුවට එනවා මයික්‍රොවේව් අවන් එක වැඩ කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕනි කියලා.. මොකෝ හදිස්සියේ බස් එකේ යද්දී කවුරු හරි ඇහුවොත් එහෙම😃

මයික්‍රොවේව් අවන් එක වැඩ කරන හැටි ඉගෙන ගෙන දැනුමැති ඩෑල් එකක් උනාට පස්සේ ඕනේ වෙනව පාරවල් ඇස්පෝල්ට් කරන මැෂිමක් හරි ලස්සනට පාරවල් කාපට් කරනවා බලන්න. එතකොට පැත්තෙන් suggest වෙනවා ඒ පාර උඩ යන්න කියාපු Porsche 911 එකක review විඩීයෝ එකක්. ආයේ ගත්තු දවසක බොනට් එක අරින්නවත් දැනගෙන ඉන්න එපැයි කියලා ඕකත් බලනවා. මොන පෝශේ ද! තියෙන එකේ air filter එක මාරු කරන්නේ කොහොමද කියලා බලන්න ඕනි කියලා දැන් මිත්‍රවරුනි ඕකත් හොයලා බලනවා.

ඔහොම බලාගෙන බලාගෙන යද්දී හිතෙනවා ගොඩක් කාලෙකින් හොඳ මාළු කෑල්ලක් කෑවේ නෑ නේද කියලා මූදු ගිහිං කෙලවල්ලෝ අල්ලන වීඩියෝ එකකුත් බලනවා. ඊට පස්සේ දොදොල් කපනවා වගේ සුපිරි පිහියකින් ඒවා කපන එකකුත් බලනවා. දැන් දන්නවා ට්‍රෝලර් එකක ගිහිං මාළු අල්ලන්න!😃

මාළු අල්ලන එකක් බලපු එකේ පොඩි food review පාරක් බලලා Gordon Ramsey ගේ ලේසිම recipe පහක් බලන්නත් ඕනේ වෙනවා. සමහර වෙලාවට එතකොට ඔටු කිරි වල ඔබ නොදන්නා ගුණ 10ක් දැන ගන්න වීඩියෝ එකක් බලන්නත් හිතෙනවා.

ඔහොම බලාගෙන බලාගෙන යද්දී අර කැලේ මැද්දේ වලවල් කපාගෙන ගෙවල් හදලා වතුර මලවල් එහෙම හදන එකෙක් සෙට් උනොත් අබසරණයි!

කෝ එතකොට දැං අර ටියුටෝරියල් එක?😃

Thursday, May 5, 2022

මං ඔබේ කීකරු කුක්කා

 


දයාබර වැම්පයර්තුමනි,
අපි ඔබතුමාට මෙසේ රපෝර්තු කරමු!
හය හතරක් නොදන්නා මෝඩ ගුණමකු රැළක් ගෝ ගෝ ගගා හිටියා එකතු වී මහ පාරේ
යකෝ! කාගේ හයියෙන්ද උන් ලැයිට් ගැහුවේ ඔබතුමාගේ ඔපිසියට
යකෝ! කාගේ හයියෙන්ද උන් ගැහුවේ කළු කොඩි ඔබතුමාගේ මන්දිරේ දොර උඩ
තිබ්බේ නෑ එක කොඩියක් ගලෝලා දැම්මා ඒ ඔක්කොම!

මුන් මේ තෙල් ඉල්ලා කන්න ඉල්ලා කෑගන හඩ නෑහෙන්න
දැම්මා පිරිත් කැසට් එකක් ගෙනත් පැය විසිහතරටම!
එක දිගටම පිරිත් ඇහුනම මෙත් මල් පිබිදෙයි නේ ලොකු නෝනගේ නේද
ජාතියේ අපුච්චා වෙච්චි ඔබතුමාට මුන්ගේ මේ ලතෝනි ඇහෙන්න නරකයි හරිම!

ඒ අස්සේ රඹුක්කන සැට් එකක් ඉල්ලුවා තෙල්!
අපි දුන්නා ගල්! ඒත් එක්කම වෙඩි! පුහුණුව තිබ්බනේ අපිට රතුපස්වලදී දුන්නු!
එකෙක් මැරුණාලු.. ඔබතුමාට නම් මදි ඇති..
ගැත්තාට සමා වෙලා ඒ බිල්ල පිළිගන්න - තවත් ඇහැකි විට දෙන්නං කැරකෙන්න

සිවුරුයි තම්බි තොප්පියි - කුරුසෙයි කෝවිලේ සාමියි
ඔක්කෝම බැහැලා හිටියා පාරට එකට
එරෙව්වා උන් ඔක්කෝටම
ඔබතුමා කියපු විදිහට

අන්තරේ වදකාර හැත්තම - ආවානේ ඔක්කොම පෙරළගෙන
චුට්ටක් හෙල්ලුනා තමයි තරහ අවසර
කෝ ඉතිං දෙන්නකෝ ඕඩරේ
දෙන්නෙක් තුන්දෙනෙක් ඇක්සිඩන්ට් කොරන්නට!

ඔබතුමා කියපු විදිහට වෑල්ඩින් කළා පාරවල් ඔක්කොම
වහලාම දැම්මා එකෙක්ට යනු එනු බැරි වෙන්න
කටුත් හයි කළා බැරියර් අස්සටම හංගලා
ආසයි ඔබතුමා අමු ලේ වලට

ප්රශ්නයක් තියෙනවා තුමනි අපිට තව
ඉන්නවා කළු කෝට් රැළක් රොත්තක් පිටින් වට වෙන
කුදලාන ගිහාම අර අවලමුන් කූඩුවට
මුන් ගන්නවානේ උන්ව එළියට - දෙන්නද උන්ටත් පොරි හැලෙන්නට

රටට කෙළ උනත් මොකද - ඔබතුමා ඉන්නකං අපිට තරු පටි දෙන්න
ගෙදර ගෑනිටත් කිව්වා බම්බු ගහගන්න
නොකා මලත් සැපයිනේ
ලෙවකාලා තුමනි ඔබේ සපත්තුව

~ මං ඔබේ කීකරු කුක්කා, පොලෝසිය

සේයාරූ : Thilina Kaluthotage Photography

Monday, February 21, 2022

‘මිස්’ වීම

 


කිටි කිටියේ හිරවී 

ෆුඩ් බෝඩයේ එල්ලී 

දාඩිය පෙරාගෙන 

ආපු කාලය මිස් වී 


රත්මලානෙන් නඟින නංගී 

පෑවා හිනාවක් ලංවී 

කොල්ලුපිටියේ බැංකු අක්කා 

කියන ‘මෝනින්’ මිස් වී 


දුවනා ගමන් ඔපිසියට 

ගත්තු ශෝටිස් කෑලි තුන

ලේහවුසිය ළඟ කැඳ කඩේ 

හකුරු කැඳ රහ මිස් වී


උදේ සිට මීටින්

තිබ්බත් එක දිගට කෝඩින් 

ඔපිසියේ කෝපි මැෂිමේ 

නෙස්කැෆේ රහ මිස් වී 


ලන්ච් එකට දොළහට 

එළියට බැස්සොත් හරියට 

හාබරේ බත් එක බෙදාගෙන 

කාපු රඟ දැන් මිස් වී 


නිදිමතක් එනකොට 

එහා පැත්තේ එකා අරගෙන 

පෙට්ටි කඩයේ ප්ලේන්ටියෙ  

ගිනි රස්නේ දැන් මිස් වී


ඔපිස් ඇරෙනා මොහොතට

ඇරෙනා තවත් ඔපිසියන් ඇත 

ඒ ඔපිසියන් ඇතුළත 

උකුළු මුකුලුත් මිස් වී


ප්‍රොඩක්ෂන් බග් එකක් 

රෑටත් වැඩ වැටුනොත්

QA අමතං - අපි හොඳටම පදං 

නයිටවල් දැන් මිස් වී 


හවසට හීනියට 

ඔපිසියේ උන් එක්ක 

නැත්නං කාගෙහරි  බෝඩිමක 

සාර සුභාවිත මිස් වී 


ආවා කොරෝනා 

ගෙදරටම වී වැඩ කරන්නට ඕනා 

නිකමට හිතලා බැලුවම 

ජීවිතෙන් බාගයක් මිස් වී 


අහෝ කොරෝනා… 

සිරාවට උඹ කළ හදියක්! 

Related Posts Plugin for WordPress, Blogger...